Wednesday, May 30, 2012

මේ ඇමරිකාවේ අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි...

බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි ‍මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ලියන්නට සිදුවීමත් නිසා අමතර වෙහෙසක් දරන්නටත් සිදුවුනා. කියවන්නට දේ ඕනෑනම් ඕනෑතරම් දේ සත් සමුදුරේ පළ වන නිසා එවා කියවා මේවා බල රසවිද හිතෙන දෙයක් Comment කරන්න...


























Friday, May 25, 2012

Windows Explorer ඔබට වද දෙනවාද? මෙන්න මේ විසදුම් ඔබට ගැලපේදැයි බලන්න...

මේ දවස් වල මම මේ කරදරයට සමහර අවස්ථාවල මුහුණ දෙනවා. ඒ තමයි හිටි හැටියේම Windows Explorer Crash වෙලා එය වසා දමන්නදැයි අසා සිටීම.

ඉතින් මෙයට විසදුමක් ලෙස තෙවන පාර්ශවයේ Explorer Tool එකක් හොයන කොට කිහිපයක්ම ලැබුනා. ඉතින් මම ඒවායෙන් හිත් ගත් ඒවා කිහිපය ගැන ඔබටත් කියන්නට සිතුනා.

මෙන්න එයින් එකක් Q-Dir. ‍1 MB එකකටත් වඩා කුඩා මෙම මෘදුකාංගය ඔබට  http:/http://www.softwareok.com/?seite=Freeware/Q-Dir වෙබ් අඩවියට පිවිසිමෙන් නොමිලේම ලබාගත හැකියි

තවත් මේ වගේ මෘදුකාංගයක් තමයි FreeCommander. මෙයත් නොමිලේම  ලබා  ගන්න පුළුවන් http://www.snapfiles.com/get/freecommander.html වෙබ් අඩවියට පිවිසීමෙන්.

මේ දෙකම ඔබට සිතට අල්ලන්නේ නැත්නම් CubicExplorer කියන මෘදුකාංගයත් අත්හදා බලන්න. මෙන්න එය ලබා ගැනී‍මට වෙබ් ලිපිනය http://www.cubicreality.com/ce/

මේ මෘදුකාංග ත්‍රිත්වය තුල ඒවාට ආවේණික ‍විශේෂ ලක්‍ෂනත් තිබෙනවා වගේම Windows Explorer වලදී ලබා නොදෙන වාසිත් මේවායේ අන්තර්ගතයි. කැමතිනම් භාවිතා කළාට වරදක් නැහැ.

පසු සටහනක් : මේ සටහන නම් මේ ලිපියට අදාල එකක් නොවෙයි. ‍මම මේ කියන්න යන්නේ ආගමික කටයුත්තකට සම්බන්ද බ්ලොග් අඩවියක් ගැන. මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ "හෙළ විජය තරුණ සංවිධානය" නම් බෞද්ධාගමික සංවිධානයක් වෙනුවෙන්. මෙහි නිර්මාතෘවරයා පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ. දැනට මම තමයි අවශ්‍ය තාක්‍ෂනික උපදෙස් සපයන්නේ. විවිද ධර්මානුකූල වැඩසටහන් ක්‍රියාත්මක කරන මෙම සංවිධානයේ දැක්ම හා ඉදිරි වැඩ පිළිවෙල ගැන සටහන් වන මෙම බ්ලොග් අඩවියටත් ඔබත් කැමති නම් ගොඩවෙලා බලන්න. මෙන්න ඒ සදහා ලිපිනය - http://helavijaya.blogspot.com/

Thursday, May 17, 2012

පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම

මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. 

අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action එකක් ලෙස සාදා ගැනීමෙන් නිතර නිතර එම කාර්යය කරනවා නම් ඒවා වෙන් වෙන් අවස්ථාවල වුනත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙන්න මෙහෙමයි මේ ලිපිය සදහා භාවිතා කිරීමට සරළ Action එකක් සාදා ගන්නේ. 

මුලින්ම අවශ්‍ය පින්තූර ගොන්නෙන් එක පින්තූරයක් විවෘත කර ගනිමු.

දැන් එම Menu bar හරහා Window වලදී Action Palette එක විවෘත කරගන්න.

රවුමින් දක්වා තිබෙන "Create New Action" තෝරන්න.

මෙහි රවුමින් දක්වා තිබෙන "Begin Recoding" button Click කරන්න.
 
මෙවිට ලැබෙන මේ Window එකේදී කැමති නමක්, අවශ්‍ය නම් තවත් පහසු කර ගැනීමට Function Key එකක් Assign කිරීම සිදු කරගෙන Record Button  එක Click කරන්න.

දැන් Image හරහා Image Size තෝරන්න.

දැන් අවශ්‍ය පියවරයන් වන පින්තූරයේ Width හෝ Height අගයක් හෝ අගයන් දෙකම වෙනස් කර Ok කරන්න. තවත් ඔබට අවශ්‍ය යමක් වේ නම් ඒවාත් සිදුකර කැමති නම් Image එක Save කර ගෙන හෝ නොමැතිව "Stop playing/Recording" button එක Click කරන්න.

දැන් ඔබ මෙම පින්තූරය close කර මෙම වෙනස්කමම සිදුකිරීමට බලාපොරොත්තුවන පින්තූරය හෝ පින්තූර තෝරා ඒවා Open කරගන්න.

ඔබට අවශ්‍ය එක් පින්තූරයකට මෙම වෙනස්කම සිදුකිරීමට නම්, Action Palette වෙතට ගොස් ඔබ විසින් සුදුසු නමක් ලබා දී තැනූ Action එක තෝරා මෙහි දැක්වෙන "Play Selection" button එක click කරන්න. එවිට වෙනස්කම ක්‍ෂනයකින් සිදුවනු ඔබට දිස්වනු ඇත.

ඔබට අවශ්‍ය පින්තූර රැසකටම එක්වර මේ වෙනස්කම සිදුකිරීමට නම් ඔබට අවශ්‍ය පින්තූර සියල්ල Open කර ගැනීමෙන් හෝ යම් Folder එකක ඇති සියළුම පින්තූරවලට මේ කාර්යය සිදුකරගැනීමට නම් පින්තූර අප විසින් Open නොකරද මෙම කාර්යය කළ හැක.

පළමුවෙන්ම විවෘත කරගත් පින්තූර කිහිපයකට මේ කාර්යය සිදුකර ගැනීමට නම්, එම පින්තූර Photoshop වලදී විවෘත කර ගැනීමෙන් පසුව Menu bar හිදී File හරහා Automate සහ Batch යන්න තෝරන්න. 

මෙහිදී ලැබෙන මෙම Window දී Action යන්නට ඔබ විසින් තැනූ Action name එකත් Source දී "Opened Files" යන්නත් තෝරා OK කරන්න. එවිට එක්වරම විවෘත කරගෙන සිටින පින්තූර සියල්ලටම මෙම වෙනස සිදුවනු ඇත.

යම් හෙයකින් ඔබට එක් Folder ක තිබෙන සියළුම පින්තූරවලට මෙම වෙනස්කම සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් Source හිදී Folder යන්න  තෝරා එහිදී "Choose" button click කර අවශ්‍ය Folder තේරීමෙන් අනතුරුව OK කිරීමෙන් Folder ඇති පින්තූර සියල්ලටම එකවර වෙනස් කම සිදුවනු ඇත.

මෙහි දැක්වූයේ කුඩා කාර්යයක් සිදුකරගන්නා අයුරුයි. ඔබටත් නිතර නිතර කරන්නට වෙනස්කම් කිහිපයක් එක්වරම සිදුකරගැනීමට මෙය උපකාරීවනු ඇතයි සිතමි.

Sunday, May 13, 2012

ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය

මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ
අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් සමග ලියවුන ඔහු ගැන මෙන්ම ඇපල් සමාගම ගැන ලිපි පෙල නිසා යටපත් වුන මෙම ලිපිය හදිස්‍සියේම ලියන්නට සිතුනේ මේ දක්වා දිගු ලිපි පෙලක් ලෙස ලියාගෙන එන දෙවන ලෝක යුද්දය පිළිබදව සවිස්තරාත්මකම ලිපි පෙළද ලියාගෙන යන අතරතුරයි.

ලන්ඩන් නුවර කේන්‍ද්‍රකරගෙන පිහිටුවා ඇති මෙම ඉටි රූප කෞතුකාගාරය මේ වන ‍විට ලෝකයේ ප්‍රධාන පෙලේ නගර කිහිපයකම පිහටුවා තිබෙනවා‍.  මේ කෞතුගාරයේ නම පරිදි මෙහි නිර්මාතෘවරිය කාන්තාවක් ඇය නමින් Marie Tussaud, 1761 දී ප්‍රංශයේ උපත ලද කාන්තාවක්. ඇගේ නමේ අගට මෙම Tussaud කියන කොටස භාවිතාවට යොදාගනු ලබන්නේ ඇය 1795 දී François Tussaud නම් මහත්මයා විවාහ කරගත් පසුවයි. එතැන් සිට ඇය, මෙම කාර්යයට වඩාත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුනද පෙර දැරි කරගෙන Madame Tussaud කියන නම භාවිතයට ගනු ලබනවා. ඒ අනුව ඇයගේ නියම නම තමයි Anna Maria Grosholt. 

ඇයට මෙම ශිල්පය ඉගනගැනුමට ලැබෙන්නේ ඇයගේ මව නිසා. ඒ ඇයගේ මව, සවිට්සර්ලන්තයේ සිටි ඉටි අනුරූ නිර්මාණය කිරීමේ දක්‍ෂයෙකු වූ වෛද්‍ය Philippe Curtius ගේ නිවසේ බලාගත් තැනැත්තිය නිසා ඇය සමග සිටි මෙම කතානායිකාවටත් හැකියාව ලැබෙනවා අද දක්වා ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඇයගේ කර්තව්‍ය පිළිබදව හැදෑරීමටත්‍. එම වෛද්‍යවරයාටත් ස්තූතිවන්තවිය යුතුයි මේ වගේ නිර්මාණාත්මක කලාවක් තම නිවස බලා ගත් තැනැත්තියගේ දියණියට ඉගැන්වීම පිළිබදව.

Tussaud ගේ පළමු ඉටි අනුරුව වශයෙන් තනන්නේ 1777 දී. ඒ කිර්තිමත් ප්‍රංශ දාර්ශනිකයෙකු වන Voltaire ගේ .ඉන් පසුව ඊ‍ට ආසන්න කාලයකදී ඇය විසින් Jean-Jacques Rousseau සහ Benjamin Franklin
කියන කෘතහස්ථ පුද්ගලයන්ගේ ඉටි අනුරූත් නිර්මාණය කිරීම කර තිබේ.
Voltaire ගේ ඉටි රුව
ප්‍රංශ විප්ලවය සමයේ ඇයගෙන් සිදුව තිබෙන කාර්යභාරයත් අමුතුම එකක්. ඒ අවධියේ ඇය මේ විප්ල‍වයේ, වැරදිකරුවන් වන ප්‍රමුඛ පෙලේ විප්ලවවාදීන්ගේ හිස ගස දැමූ පසු ඇය විසින් එම හිස් භාවිතා කර Death Mask තනන ලද අතර ඒවා ප්‍රංශයේ පැරිස් නුවර පුරා සංචාරය කරන විප්ලවවාදීන්ගේ පෙළපාලි වල ඉදිරියෙන්ම සංකේතාත්මක විප්ලවීය ධජ ලෙසත් භාවිතා කර තිබෙනවා.

1794 දී ඇයට මෙම මහඟු ශිල්පය කියා දුන් වෛද්‍යවරයාගේ මිය යාමත් සමග ඇය විසින් ඒ වන විට නිර්මාණය කරන ලද ඉටි අනුරූ එක්රැස් කරගෙන යුරෝපය පුරා ඒවා ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මෙම කාර්යය ඉන්පසු ගතවූ වසර 33 ක කාලය පුරා ඇය විසින් කරන ලද බව තමයි පැවසෙන්නේ.

ඇය ලන්ඩන් නුවරට පැමිණ තිබෙන්නේ 1802 දී. ඒ එහි වාසය කළ තවත් විවිද විශ්මිත දේවල් ප්‍රදර්ශනය කළ තැනැත්තෙකුගේ ආරාධනයෙන්. කෙසේවෙතත ඔහුගේ ආරාධනයෙන් ලන්ඩන් පුරවයට පැමිණ සිය නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කළත් ඇයගේ ආර්ථිකයට නම් එය යහපත් වී නැහැ. මන්ද එයට එක් හේතුවක් තමයි ඇය උපයන ආධායමෙන් අඩක්ම ඇයව මෙම නගරයට පැමණෙන ලෙස ආරාධනා කල තැනැත්තා විසින් ලබා ගැනීමත්.

1803 වසරේ සිට ප්‍රංශයේ එවකට අධිරාජ්‍යයා වන නැපෝලියන් විසින් බ්‍රිතාන්‍ය සමග යුද වැදීමත් සමග
Marie Tussaud ට නැවත ප්‍රංශයට යාමට ලැබෙන්නේ නැහැ. මේ නිසා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය පුරා සංචාරය කරමින් සිය ඉටි නිර්මාණ ප්‍රදර්ශනය කරන අතරතුරදී 1831 දී ඇය ලන්ඩනයේ සුප්‍රකට බේකර් වීදියේ ස්ථානයක් කුලී පදනම මත ලබාගෙන, තැනින් තැන ඇවිදිමින් තමන් කළ නිර්මාණ ලෝකෙට පෙන්නන එක නතර කරල මෙම ස්ථානයේ ඒවා ප්‍රදර්ශනයට තබන අතර පසුව 1835 දී ඇය මේ ස්ථානයේ ස්ථීරව පදිංචි වෙලා Madam Tussaud කෞතුකාගාරය ආරම්භකරනු ලබනවා.

1842 දී ඇය විසින් තමාගෙම රුව ඉටියෙන් නිර්මාණය කරන ලද බව පැවසෙන අතර එය කෞතුකාගාරයට ප්‍රවිශ්ඨ ‍වන දොරටුව අසලම තබා ඇති බව පැවසේ.මෙම කෞතුකාග‍රයේ තවතමත් ඇය විසින් පෞද්ගලිකවම නිර්මාණය ලද ඉටු අනුරූ රැසක්ම තිබෙන අතර අනෙක්වා ඇයගේ සහායක ශිල්පීන් හෝ වර්ථමාන ශිල්පීන් විසින් ගොඩනංවන ලද ඒවායි. මේ මහඟු කලාකාරිනියේ අභාවය 1850 අප්‍රේල් 15 වන දින ඇය නිදාසිටින විටදීම සිදුවූ බව තමයි කණගාටුවෙන් පවසන්නට සිදුවන්නේ.

කෙසේවෙතත් මේ මහඟු ආයතනය 1925 දී ගින්නකින් හා 1941 දී හිට්ලර්ගේ ජර්මානු ගුවන් යානා විසින් හෙලන ලද බෝම්බ වලට ලක්වීම නිසා පැරණි විශිෂ්ඨ නිර්මාණ රැසක් විනාශයට පත්වෙනවා. එයින් සමහරක් යථා තත්ත්වයට පත් කරන්නට හැකියාව ලැබුන බව පැවසෙනවා.

එදාටත් වඩා දියුණු හා සංකීර්ණ ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පුරා තම කීර්තියද දරා ගනිමින් මෙම ආයතනය ඉදිරි‍යට ගෙනයාමට අදටත් ඒ වෙනුවෙන් වෙහෙසෙන පිරිස රැසක් සිටිනා බව පැවසෙනවා. අප මේ ඉටි අනුරූ නිර්මාණ නරඹන තරම්, එසේත් නැතහොත් ඒ ගැන ලියන්න, කියවන්න දරන වෙහෙසට වඩා අප්‍රමාණ වෙහෙසක් මේ වෙනුවෙන් දරන්නට සිදුවන බව පැවසෙන අතර එක් ඉටි අනුරුවක් නිර්මාණයට පැය 800 ක් පමණ ගතවන වෙහෙසකාරී, කැපවීමෙන් සහ සීරුවෙන් කළ යුතු කාර්යයක් ලෙස අවිවාදයෙන් සදහන් කල යුතුයි.

මූලික මිමි අදාල පුද්ගලයාට ආරාධනා කොට ඔහු හෝ ඇය එම ආයතනට පැමිණි පසු සිරුරේ අවශ්‍ය සියුළු කොටස් වල මිමි හිසේ සිට දෙපතුල දක්වා සවිස්තරව ලබා ගැනීම සිදුකරනු ලැබේ. එසේ පැමිණීමට නොහැකි අය වන හෝ මේ ජීවතුන් අතර නොමැති අයෙකු (උදාහරණයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වැනි අයෙකු) නම් එම අයගේ ඡායාරූප ඇසුරෙන් මෙම ඉටි අනුරූ තැනීම සිදුකරන අතර කෙසේ මේ කාර්යය සිදුකලත් අදාල  පුද්ගලයාගේ  සේයාරූ 250 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඒවා සියුම්ව නිරීක්‍ෂනය කිරීම තුලින් හැඩය නිර්මාණය කිරීම ආරම්භකරනු ලැබේ.

මේ දැක‍්වෙන්නේ අපගේ අසල්වැසි රටේ සුන්දර මිනිසකු වන ශාරුක් ඛාන්ගේ ඉටි රුව සෑදීමේදී අනුගමනය කල පියවරයන්ය -


එසේ ලබා ගනු ලබන මිමි  සහ සේයාරූ භාවිතයෙන් මෙම මූර්ති ශිල්පීන් විසින්  විසින් මුලින්ම කරනු ලබන්නේ හිසේ හැඩය ඇති අච්චුව Clay වර්ගයක් භාවිතා කර ඇසුරෙන් සෑදීමයි. ඉන්පසු සිරුරේ සැකිල්‍ල වානේ භාවිතා කර තනන අතර ඒවා සිරුරේ හැඩය අනුව පුරවනු ලබන්නේද Clay වලින්මයි.  අනෙක් කරුණ වන්නේ මෙම ඉටි අනුරුවක් අදාල පුද්ගලයාගේ සත්‍ය දේහ ප්‍රමාණයට වඩා 2% ක් විශාලත්වයෙන් ඇඹීමයි.

මේ දැක්වෙන්නේ CNN නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකුගේ ඉටි රුව සාදන අයුරුයි.

මෙසේ තනා ගත් අච්චුවල මෙසේ වෙන් වෙන් වශයෙන් හිස සහ කද නිර්මාණය කරන අතර උණු කරන ලද ඉටි එම අච්චු වලට වක්කර ඒවා සිසිල් වී ඝනවීමට ඉඩහරිනු ලැබේ. ඉන්පසු මෙම තැනූ ඉ‍ටි අනුරුව තවදුරටත් අදාල පුද්ගලයාගේ සියුම් අංග ඉස්මතුවනසේ සීරුවෙන් හා සියුම්ව ඒ සදහා නිපුනත්වය ශිල්පීන් විසින් සකස් කරන අතර මිමි ලබා ගැනීමේදීම ලබා ගන්නා ඉටි අනුරුවෙන් නිරූපිත පුද්ගලයාගේ සමේ වර්ණය, ඇසේ වර්ණය හා හැඩය, කෙස්, දත් ආදියට ගැලපෙන ඒ ඒ කොටස් මෙම ඉටි රුවටද සවිකරන අතර ඒවාද විවිද හැඩයන්ගෙන්, විවිද වර්ණයන්ගෙන්,විවිද මූලද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත් ඒවා මෙම ආයතනය සතුව තිබේ. ‍එසේම කිවයුතුම කරුණක් වන්නේ මෙම ඉටි අනුරූ තැනීමට ලබා ගන්නා දත්ත කිසිවටෙකත් බාහිර පාර්ශවයකට ලබානොදීමට මෙම ආයතනය දැඩි ලෙස අනුගමනය කරන ප්‍රතිපත්තියයි.

ඇස්, ඇස් පිහාටු, කොන්ඩා, දත් අවශ්‍ය ආකාරයකට ඔවුන් සතුව ඇත.

ඒ ඒ වර්ණයේ කොණ්ඩ

කොන්ඩය සවිකිරීමට ගන්නා උපකරණය



මෙසේ ඉමහත් පරිශ්‍රමයක් යොදා කරන නිර්මාණය ප්‍රදර්ශනයට තැබූ විට ඇතැම් අවස්ථාවල සැබෑ පුද්ගලයා හා ඉටි රූපය අතුරින් කවරෙකු ජීවමානදැයි සොයාගැනීමට නොහැකිවන තරමටම ඒවා ස්වාභාවිකත්වයක් උසුලන බවද කිවයුතුය.
බි‍‍යොන්සේ නිර්මාණය කිරීම

මෙම නිර්මාණ නැරඹීමට පැමි‍ණෙන අයට තමන්ට අවශ්‍ය නම් මේවා සමග සේයාරූවලට පෙනීසිටිය හැකි අතර මේවායේ රූපය හිමි සැබෑ හිමිකාරයන් අසලටවත් සාමාන්‍ය පුද්ගලයන් හට එසේ යාමට නොහැකි නිසා එවන් ආශාවල් ඇති අයට මෙම ඉටි අනුරූ හොද අවස්ථාවවකි.
ජොනී ඩෙප්ට හාදුවක් දීමට හෝ
ශකීරා සමග නර්ථනයකට එක්වීමටත් බාදාවක් නොමැත

මේ අනර්ඝ උත්සා‍හයේ පියවරවල කෙටියෙන්
අවශ්‍ය නම් වැඩි විස්තර මේ වෙබ් අඩවි වලින් ලබා ගත හැකිය...
http://www.madametussauds.com/Hollywood/About/BehindTheScenes.aspx
http://www.madametussauds.com/Washington/PlanYourVisit/Explore/BehindtheScenes/Default.aspx
http://www.madametussauds.com/Amsterdam/en/About/Achterdeschermen/Default.aspx
http://www.madametussauds.com/London/About/SculptorsBlog/cleaningthewax.aspx
http://www.madametussauds.com/Blackpool/About/BehindTheScenes.aspx

පසුව ලියමි -
මේ ලිපිය පළකරන්නට යන ‍මොහොතේ කණගාටුදායක ආරංචියක් ඇස ගැටින. ඒ බ්ලොග් අවකාශයේ තවත් සුන්දර චරිතයක් වූ Observer නමින් පෙනී සිටි මහතාගේ හදිසි වියෝවයි. ඒ මහතා සත් සමුදුරටද ගොඩවැදී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers ලිපියේදී කමෙන්ටුවක් සදහන් කළා අද‍වගේ මතකයි. ඉතින් අප කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි මේ ධර්මතා‍වයේදී හදිසීයෙන් අප අතරින් සදහටම සමුගන්නට සිදුවූ ඔබතුමන්ට මේ අවස්ථාවේ සංවේගයෙන් යුතුව සත් සමුදුර වෙනුවෙන් මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි!