-->

Sunday, May 13, 2012

ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය

මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ
අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් සමග ලියවුන ඔහු ගැන මෙන්ම ඇපල් සමාගම ගැන ලිපි පෙල නිසා යටපත් වුන මෙම ලිපිය හදිස්‍සියේම ලියන්නට සිතුනේ මේ දක්වා දිගු ලිපි පෙලක් ලෙස ලියාගෙන එන දෙවන ලෝක යුද්දය පිළිබදව සවිස්තරාත්මකම ලිපි පෙළද ලියාගෙන යන අතරතුරයි.

ලන්ඩන් නුවර කේන්‍ද්‍රකරගෙන පිහිටුවා ඇති මෙම ඉටි රූප කෞතුකාගාරය මේ වන ‍විට ලෝකයේ ප්‍රධාන පෙලේ නගර කිහිපයකම පිහටුවා තිබෙනවා‍.  මේ කෞතුගාරයේ නම පරිදි මෙහි නිර්මාතෘවරිය කාන්තාවක් ඇය නමින් Marie Tussaud, 1761 දී ප්‍රංශයේ උපත ලද කාන්තාවක්. ඇගේ නමේ අගට මෙම Tussaud කියන කොටස භාවිතාවට යොදාගනු ලබන්නේ ඇය 1795 දී François Tussaud නම් මහත්මයා විවාහ කරගත් පසුවයි. එතැන් සිට ඇය, මෙම කාර්යයට වඩාත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුනද පෙර දැරි කරගෙන Madame Tussaud කියන නම භාවිතයට ගනු ලබනවා. ඒ අනුව ඇයගේ නියම නම තමයි Anna Maria Grosholt. 

ඇයට මෙම ශිල්පය ඉගනගැනුමට ලැබෙන්නේ ඇයගේ මව නිසා. ඒ ඇයගේ මව, සවිට්සර්ලන්තයේ සිටි ඉටි අනුරූ නිර්මාණය කිරීමේ දක්‍ෂයෙකු වූ වෛද්‍ය Philippe Curtius ගේ නිවසේ බලාගත් තැනැත්තිය නිසා ඇය සමග සිටි මෙම කතානායිකාවටත් හැකියාව ලැබෙනවා අද දක්වා ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඇයගේ කර්තව්‍ය පිළිබදව හැදෑරීමටත්‍. එම වෛද්‍යවරයාටත් ස්තූතිවන්තවිය යුතුයි මේ වගේ නිර්මාණාත්මක කලාවක් තම නිවස බලා ගත් තැනැත්තියගේ දියණියට ඉගැන්වීම පිළිබදව.

Tussaud ගේ පළමු ඉටි අනුරුව වශයෙන් තනන්නේ 1777 දී. ඒ කිර්තිමත් ප්‍රංශ දාර්ශනිකයෙකු වන Voltaire ගේ .ඉන් පසුව ඊ‍ට ආසන්න කාලයකදී ඇය විසින් Jean-Jacques Rousseau සහ Benjamin Franklin
කියන කෘතහස්ථ පුද්ගලයන්ගේ ඉටි අනුරූත් නිර්මාණය කිරීම කර තිබේ.
Voltaire ගේ ඉටි රුව
ප්‍රංශ විප්ලවය සමයේ ඇයගෙන් සිදුව තිබෙන කාර්යභාරයත් අමුතුම එකක්. ඒ අවධියේ ඇය මේ විප්ල‍වයේ, වැරදිකරුවන් වන ප්‍රමුඛ පෙලේ විප්ලවවාදීන්ගේ හිස ගස දැමූ පසු ඇය විසින් එම හිස් භාවිතා කර Death Mask තනන ලද අතර ඒවා ප්‍රංශයේ පැරිස් නුවර පුරා සංචාරය කරන විප්ලවවාදීන්ගේ පෙළපාලි වල ඉදිරියෙන්ම සංකේතාත්මක විප්ලවීය ධජ ලෙසත් භාවිතා කර තිබෙනවා.

1794 දී ඇයට මෙම මහඟු ශිල්පය කියා දුන් වෛද්‍යවරයාගේ මිය යාමත් සමග ඇය විසින් ඒ වන විට නිර්මාණය කරන ලද ඉටි අනුරූ එක්රැස් කරගෙන යුරෝපය පුරා ඒවා ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මෙම කාර්යය ඉන්පසු ගතවූ වසර 33 ක කාලය පුරා ඇය විසින් කරන ලද බව තමයි පැවසෙන්නේ.

ඇය ලන්ඩන් නුවරට පැමිණ තිබෙන්නේ 1802 දී. ඒ එහි වාසය කළ තවත් විවිද විශ්මිත දේවල් ප්‍රදර්ශනය කළ තැනැත්තෙකුගේ ආරාධනයෙන්. කෙසේවෙතත ඔහුගේ ආරාධනයෙන් ලන්ඩන් පුරවයට පැමිණ සිය නිර්මාණ එකතුව ප්‍රදර්ශනය කළත් ඇයගේ ආර්ථිකයට නම් එය යහපත් වී නැහැ. මන්ද එයට එක් හේතුවක් තමයි ඇය උපයන ආධායමෙන් අඩක්ම ඇයව මෙම නගරයට පැමණෙන ලෙස ආරාධනා කල තැනැත්තා විසින් ලබා ගැනීමත්.

1803 වසරේ සිට ප්‍රංශයේ එවකට අධිරාජ්‍යයා වන නැපෝලියන් විසින් බ්‍රිතාන්‍ය සමග යුද වැදීමත් සමග
Marie Tussaud ට නැවත ප්‍රංශයට යාමට ලැබෙන්නේ නැහැ. මේ නිසා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය පුරා සංචාරය කරමින් සිය ඉටි නිර්මාණ ප්‍රදර්ශනය කරන අතරතුරදී 1831 දී ඇය ලන්ඩනයේ සුප්‍රකට බේකර් වීදියේ ස්ථානයක් කුලී පදනම මත ලබාගෙන, තැනින් තැන ඇවිදිමින් තමන් කළ නිර්මාණ ලෝකෙට පෙන්නන එක නතර කරල මෙම ස්ථානයේ ඒවා ප්‍රදර්ශනයට තබන අතර පසුව 1835 දී ඇය මේ ස්ථානයේ ස්ථීරව පදිංචි වෙලා Madam Tussaud කෞතුකාගාරය ආරම්භකරනු ලබනවා.

1842 දී ඇය විසින් තමාගෙම රුව ඉටියෙන් නිර්මාණය කරන ලද බව පැවසෙන අතර එය කෞතුකාගාරයට ප්‍රවිශ්ඨ ‍වන දොරටුව අසලම තබා ඇති බව පැවසේ.මෙම කෞතුකාග‍රයේ තවතමත් ඇය විසින් පෞද්ගලිකවම නිර්මාණය ලද ඉටු අනුරූ රැසක්ම තිබෙන අතර අනෙක්වා ඇයගේ සහායක ශිල්පීන් හෝ වර්ථමාන ශිල්පීන් විසින් ගොඩනංවන ලද ඒවායි. මේ මහඟු කලාකාරිනියේ අභාවය 1850 අප්‍රේල් 15 වන දින ඇය නිදාසිටින විටදීම සිදුවූ බව තමයි කණගාටුවෙන් පවසන්නට සිදුවන්නේ.

කෙසේවෙතත් මේ මහඟු ආයතනය 1925 දී ගින්නකින් හා 1941 දී හිට්ලර්ගේ ජර්මානු ගුවන් යානා විසින් හෙලන ලද බෝම්බ වලට ලක්වීම නිසා පැරණි විශිෂ්ඨ නිර්මාණ රැසක් විනාශයට පත්වෙනවා. එයින් සමහරක් යථා තත්ත්වයට පත් කරන්නට හැකියාව ලැබුන බව පැවසෙනවා.

එදාටත් වඩා දියුණු හා සංකීර්ණ ක්‍රමවේදයන් ඔස්සේ ලෝකය පුරා තම කීර්තියද දරා ගනිමින් මෙම ආයතනය ඉදිරි‍යට ගෙනයාමට අදටත් ඒ වෙනුවෙන් වෙහෙසෙන පිරිස රැසක් සිටිනා බව පැවසෙනවා. අප මේ ඉටි අනුරූ නිර්මාණ නරඹන තරම්, එසේත් නැතහොත් ඒ ගැන ලියන්න, කියවන්න දරන වෙහෙසට වඩා අප්‍රමාණ වෙහෙසක් මේ වෙනුවෙන් දරන්නට සිදුවන බව පැවසෙන අතර එක් ඉටි අනුරුවක් නිර්මාණයට පැය 800 ක් පමණ ගතවන වෙහෙසකාරී, කැපවීමෙන් සහ සීරුවෙන් කළ යුතු කාර්යයක් ලෙස අවිවාදයෙන් සදහන් කල යුතුයි.

මූලික මිමි අදාල පුද්ගලයාට ආරාධනා කොට ඔහු හෝ ඇය එම ආයතනට පැමිණි පසු සිරුරේ අවශ්‍ය සියුළු කොටස් වල මිමි හිසේ සිට දෙපතුල දක්වා සවිස්තරව ලබා ගැනීම සිදුකරනු ලැබේ. එසේ පැමිණීමට නොහැකි අය වන හෝ මේ ජීවතුන් අතර නොමැති අයෙකු (උදාහරණයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වැනි අයෙකු) නම් එම අයගේ ඡායාරූප ඇසුරෙන් මෙම ඉටි අනුරූ තැනීම සිදුකරන අතර කෙසේ මේ කාර්යය සිදුකලත් අදාල  පුද්ගලයාගේ  සේයාරූ 250 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඒවා සියුම්ව නිරීක්‍ෂනය කිරීම තුලින් හැඩය නිර්මාණය කිරීම ආරම්භකරනු ලැබේ.

මේ දැක‍්වෙන්නේ අපගේ අසල්වැසි රටේ සුන්දර මිනිසකු වන ශාරුක් ඛාන්ගේ ඉටි රුව සෑදීමේදී අනුගමනය කල පියවරයන්ය -


එසේ ලබා ගනු ලබන මිමි  සහ සේයාරූ භාවිතයෙන් මෙම මූර්ති ශිල්පීන් විසින්  විසින් මුලින්ම කරනු ලබන්නේ හිසේ හැඩය ඇති අච්චුව Clay වර්ගයක් භාවිතා කර ඇසුරෙන් සෑදීමයි. ඉන්පසු සිරුරේ සැකිල්‍ල වානේ භාවිතා කර තනන අතර ඒවා සිරුරේ හැඩය අනුව පුරවනු ලබන්නේද Clay වලින්මයි.  අනෙක් කරුණ වන්නේ මෙම ඉටි අනුරුවක් අදාල පුද්ගලයාගේ සත්‍ය දේහ ප්‍රමාණයට වඩා 2% ක් විශාලත්වයෙන් ඇඹීමයි.

මේ දැක්වෙන්නේ CNN නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකුගේ ඉටි රුව සාදන අයුරුයි.

මෙසේ තනා ගත් අච්චුවල මෙසේ වෙන් වෙන් වශයෙන් හිස සහ කද නිර්මාණය කරන අතර උණු කරන ලද ඉටි එම අච්චු වලට වක්කර ඒවා සිසිල් වී ඝනවීමට ඉඩහරිනු ලැබේ. ඉන්පසු මෙම තැනූ ඉ‍ටි අනුරුව තවදුරටත් අදාල පුද්ගලයාගේ සියුම් අංග ඉස්මතුවනසේ සීරුවෙන් හා සියුම්ව ඒ සදහා නිපුනත්වය ශිල්පීන් විසින් සකස් කරන අතර මිමි ලබා ගැනීමේදීම ලබා ගන්නා ඉටි අනුරුවෙන් නිරූපිත පුද්ගලයාගේ සමේ වර්ණය, ඇසේ වර්ණය හා හැඩය, කෙස්, දත් ආදියට ගැලපෙන ඒ ඒ කොටස් මෙම ඉටි රුවටද සවිකරන අතර ඒවාද විවිද හැඩයන්ගෙන්, විවිද වර්ණයන්ගෙන්,විවිද මූලද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත් ඒවා මෙම ආයතනය සතුව තිබේ. ‍එසේම කිවයුතුම කරුණක් වන්නේ මෙම ඉටි අනුරූ තැනීමට ලබා ගන්නා දත්ත කිසිවටෙකත් බාහිර පාර්ශවයකට ලබානොදීමට මෙම ආයතනය දැඩි ලෙස අනුගමනය කරන ප්‍රතිපත්තියයි.

ඇස්, ඇස් පිහාටු, කොන්ඩා, දත් අවශ්‍ය ආකාරයකට ඔවුන් සතුව ඇත.

ඒ ඒ වර්ණයේ කොණ්ඩ

කොන්ඩය සවිකිරීමට ගන්නා උපකරණය



මෙසේ ඉමහත් පරිශ්‍රමයක් යොදා කරන නිර්මාණය ප්‍රදර්ශනයට තැබූ විට ඇතැම් අවස්ථාවල සැබෑ පුද්ගලයා හා ඉටි රූපය අතුරින් කවරෙකු ජීවමානදැයි සොයාගැනීමට නොහැකිවන තරමටම ඒවා ස්වාභාවිකත්වයක් උසුලන බවද කිවයුතුය.
බි‍‍යොන්සේ නිර්මාණය කිරීම

මෙම නිර්මාණ නැරඹීමට පැමි‍ණෙන අයට තමන්ට අවශ්‍ය නම් මේවා සමග සේයාරූවලට පෙනීසිටිය හැකි අතර මේවායේ රූපය හිමි සැබෑ හිමිකාරයන් අසලටවත් සාමාන්‍ය පුද්ගලයන් හට එසේ යාමට නොහැකි නිසා එවන් ආශාවල් ඇති අයට මෙම ඉටි අනුරූ හොද අවස්ථාවවකි.
ජොනී ඩෙප්ට හාදුවක් දීමට හෝ
ශකීරා සමග නර්ථනයකට එක්වීමටත් බාදාවක් නොමැත

මේ අනර්ඝ උත්සා‍හයේ පියවරවල කෙටියෙන්
අවශ්‍ය නම් වැඩි විස්තර මේ වෙබ් අඩවි වලින් ලබා ගත හැකිය...
http://www.madametussauds.com/Hollywood/About/BehindTheScenes.aspx
http://www.madametussauds.com/Washington/PlanYourVisit/Explore/BehindtheScenes/Default.aspx
http://www.madametussauds.com/Amsterdam/en/About/Achterdeschermen/Default.aspx
http://www.madametussauds.com/London/About/SculptorsBlog/cleaningthewax.aspx
http://www.madametussauds.com/Blackpool/About/BehindTheScenes.aspx

පසුව ලියමි -
මේ ලිපිය පළකරන්නට යන ‍මොහොතේ කණගාටුදායක ආරංචියක් ඇස ගැටින. ඒ බ්ලොග් අවකාශයේ තවත් සුන්දර චරිතයක් වූ Observer නමින් පෙනී සිටි මහතාගේ හදිසි වියෝවයි. ඒ මහතා සත් සමුදුරටද ගොඩවැදී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers ලිපියේදී කමෙන්ටුවක් සදහන් කළා අද‍වගේ මතකයි. ඉතින් අප කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි මේ ධර්මතා‍වයේදී හදිසීයෙන් අප අතරින් සදහටම සමුගන්නට සිදුවූ ඔබතුමන්ට මේ අවස්ථාවේ සංවේගයෙන් යුතුව සත් සමුදුර වෙනුවෙන් මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි!

14 comments:

  1. මේකෙ අමිතාබ්ගේ ඉටි රුව හදන්න ගිහින් ඔහුගේ ඔළුවේ මිම්ම විතරක් 300 වාරයක් විතර ගත්තය කියල මං අහල තියෙනවා.
    ලිපියට බොහොම ස්තූතියි දිනේශ්......

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරවිට එසේ වන්නට ඇති. මොකද ඔවුන් තම නිර්මාණයේ ගුණාත්මකබව ගැන නිරතුරුවම අවධානය යොමුකරන බව පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා...

      Delete
  2. මේ තැන ගැනත් ජනප්‍රිය පුද්ගලයන්ගේ ඉටි රූ ප්‍රදර්ශණයට පත් වෙන පින්තූර් දැකලා තිබ්බත් එහි පටන් ගැන්ම හා අතිතය ගැන මම දැනන් හිට්යේ නෑ.. ඒ නිසා මේ තොරතුරු සෑහෙන වැදගත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ පිළිබදව තව වැදගත් විස්තර දැනගන්නට ලැබුනොත් ඒවාත් පළ කරන්නම්...

      Delete
  3. කවදාවත් කියවලා ගන්න නොලැබෙන තොරතුරු ටිකක් අද දීපාල් සහෝ නිසා දැනගත්තා... සත් සමුදුරෙන් ඇරෙන්න මේ වගේ විශ්ලේශණාත්මක ලිපියක් කියවන්න ලැබෙන්නේ බොහොම කළාතුරකින් තමයි... වෙනදා වගේම, ගොඩක් ස්තුතියි මහන්සියට !!! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැබැයි මෙහෙම දෙයකුත් කියන්න හිතුනා. මේ ලිපියට නම් මගෙන් වුන සාධාරණය අඩුයි කියල මට හිතෙන්නේ. එකක් තමයි මේ ලිපිය ලියන්න සිතා සිටිය අවස්ථාවේ ලියන්න නොහැකිවීම නිසා එදා හිතේ මේ ලිපිය පිළිබදව ඇදි තිබුන බොහෝ‍දේ මේ අවස්ථාව වන විට ගිලිහිලා ගොස් තිබීම. අනෙක තමයි මම ටිකක් අසනීප තත්ත්වයක පසුවන අවස්ථාවක පසුවීම. කොහොමවුනත් වැදගත් කරුණු සෑහෙන්න ප්‍රමාණයක් එකතු කරන්න ලැබුනා යයි සිතනවා...

      Delete
  4. ස්තූතියි දිනේශ්, වෙනද වගේම අපූරු ලිපියක්....ලන්ඩනයේ බේකර් වීදිය ගැන කියද්දි මට මතක් උනේ තවත් සුප්‍රසිද්ධ චරිතයක්. හැබැයි කෙදිනක හෝ මෙලොව ජීවත් වූ පුද්ගලයෙක් නම් නෙවෙයි. ....ඒ තමා ෂර්ලොක් හෝම්ස්....

    දිනේශ්, හැකියාවක් තියේනම් ෂර්ලොක් හෝම්ස් ගැන ලිපියක් ලියන්න...කාරුණික ඉල්ලීමක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම පැහැර හරින්නේ නැහැ. එයට අදාලව තොරතුරු ගොනුවූ වහාම ඒ ගැනත් ලියන්නම්...

      Delete
  5. මමත් බොහොම කුතුහලයෙන් හිටිය සිද්ධියක් ගැන තමා දිනේශ් සවිස්තර වාර්තාවක් ඉදිරිපත්කරලා ඒ කුතුහලය නැති කළේ.. මම හිතන් හිටියේ මේ මැඩම් තුසේඩ් කියන කාන්තාව තවම ජීවතුන් අතර ඉන්න කෙනෙක් කියලා...

    ස්තූතියි දිනේශ්.. ජයම පතමි !!!

    ReplyDelete
  6. වටිනා ලිපියක්, මේ ඉටි අනුරූ වල පින්තුර අඩංගු ඊ මේල් ඇවිත් තිබුනත් , මේවගේ විස්තර දැනගෙන හිටියේ නෑ, ගොඩක් ස්තුතියි

    ReplyDelete
  7. Thilaka Randeni- 1979 අවුරුද්දේ දවසක මා මැඩම් ටුසේඩ්ස්වලට ගිය ගමන මතක්වුණා මෙම ලස්සන ලිපියෙන්. මගේ ළග තවම තියෙනවා ඒ පින්තූර. හලාවත පැත්තේ හිටිය මගේ කතෝලික යහ`ඵවන් ඇත්තටම රැුවටුනා මා පාප් වහන්සේ සමග ගත් පින්තූරයට. එයාලා මගෙන් ඇහැව්වා මෙච්චර ළගට ගිහින් පාප් වහන්සේට කතා කළා නම් අතට අතත් දෙන්න ඇති නේද? අනේ අපට ඔයාගේ අත දෙන්න සිප ගන්න කියා. මට පව් කියලා හිතුනා ටික වෙලාවකට හරි එයාලව රැුවැට්ටුවාට.
    තවත් මා ගත් හොඳ පින්තූරයක් තමයි මාග‍්‍රට් තැචර් හා ජේම්ස් කැලහයිම් අගමැති සමග ගත් එක. එයාලා එක්ක සමූහ ඡුායාරූපයකට පෙනී ඉන්නවා වගෙයි එය ගත්තේ. මට මතක හැටියට මෙම පින්තූරු දෙකම මගේ www.thilakarandeni.lk තියෙනවා.
    හැබැයි මෙම කෞතුකාගාරයේ තියෙන රාජකීය පවුලේ ඉටි රූප ළගට ගිහින් හිට ගන්න අපට දෙන්නේ නෑ.
    අගේ ඇති උත්සාහයක් දිනේශ්. සදා ජය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තිලකා මහත්මිය, බලාපොරොත්තුවූ ලිපියම ලියන්නට නොහැකිවූවත් යම් දෙයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට හැකිවීම ගැන සතුටු වෙනවා...

      Delete
  8. スリランカ
    にほんきれいだ
    ごはんとき

    ReplyDelete
  9. せかいみな
    なにやってよ久
    100歳幸

    ReplyDelete