Tuesday, November 1, 2011

ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? +18 - This Post is MORE SUITABLE for ADULTS -

හෙනගසා ඇති සහ දිනෙන් දින අභාවයට යමින් පවතින ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට ආදර්ශයක් වෙමින් හොද යයි කිව හැ‍කි ටෙලි නාට්‍ය මාලාවක් ගිය ඉරිදා එනම් 2011 ඔක්තෝබර් 30 වන දා නිමාව දකින අයුරු කණගාටුවෙන් මෙන්ම සතුටකින්ද නැරඹුවෙමි. කණගාටුව ඇතිවූයේ හොද නිර්මාණාත්මක කලා නිර්මාණයක නිමාව දුටු හෙයිනි. නැත්නම් පැහැදිලිව කියන්නේ නම් සෙනසුරාදා හා ඉරිදා රෑ නවයට නැවත හොද නිර්මාණයක් බලන්නට නොහැකි වන හෙයිනි. සතුට නම් අවසානයක් නොපෙනෙන, හරි තිර රචනයක් නැති බාල ගණයේ මෙගා ටෙලි නාට්‍යයක් මෙන් කොටස් සිය ගණනක් හෝ ආසියාවේ හෝ ලෝකයේ වැඩිම වාර ගණනක් පෙන්වූ ටෙලි නාට්‍යයක වාර්තා පොත් අතරට එක් නොවී කොටස් 42 ක් වැනි අද කාලයේ හැටියට සුළු සංඛ්‍යාවකින් නිමා කරනු දැකීම නිසාය. මේ ටෙලිනාට්‍ය නම් නදීශා හේමමාලි නම් යොවුන් රංගන ශිල්පිනය විසින් නිෂ්පාදනය කරන ලද ඇත්කඳ ලිහිණියා ටෙලි නාට්‍යයයි.

ඉස්සර නම්, එනම් 80 දශකයේ හා අනූව දශකයේ ටෙලි නාට්‍ය යනු කොටස් 13-14 කින් අවසන් වන අදත් අ‍පගේ සිත් තුල පහන් සිතින් තැන්පත්ව ඇති නිර්මාණයන් වන අතර ඒ කාලයේ තිරගතවූ පළිගු මැණිකේ, ලාහිරු දහසක්, යශෝරාවය වැනි නිර්මාණසේම ටිකක් කොටස් ගණන වැඩිවුනද අදත් නැරඹීමට ප්‍රිය කඩුල්ල, ඇල්ල ලග වලව්ව, වෙස් මුහුණ, වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා හෙවත් කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා සහ දූදරුවෝ වැනි නිර්මාණ ගැන මතක් කරන විටද ඇති වන්නේ සතුටකි. මෑත කාලයේදී විනෝදය හා විශිෂ්ඨ රංගනයන්ද දැක ගත හැකිවූ සබද පබිලිස්, සකිසද එලියස් හා කඩිමුඩියේ මෙන් අහවර කෙරුන වාසනා වේවා වැනි නිර්මාණ ගැනද ප්‍රශංසාත්මකව කතාබහ කල හැකිය.

ලංකාවේ මුළුමනින්ම සුද්දන්ගේ ග්‍රහණයට නතුවූ 1815 මාර්තු 02 වන දාට පසුව මෙරට ඇතිවී තිබූ යටත්විජිත ස්වභාවය හා ඉන් වසර තුනක් ඉක්මගිය තැන එනම් 1818 දී ඇතිවූ මොනරවිල කැප්පෙටිපොල මහදිසාවේ තුමාගේ නායකත්වයෙන්  වෙල්ලස්ස කැරැල්ල පිළිබදව සහ පාවාදීම්, සමහර සිංහලයන් තුල අත්මාර්ථකාමිත්වය ‍වැනි දුර්ගුණ නිසා තම ස්ව‍දේශික ජනතාව කෙරේ දැක්වූ අකටයුතුකම්ද ඇත්කඳ ලිහිණියා තුලින් අපට දැකගත හැකිවිය. බ්‍රිතාන්‍ය කිරීටයට නතුවී ටික කලක් පමණක් ගතවී ඇති නිසා වික්ටෝරියානු සම්ප්‍රධායට කොටුනොවී ලාංකීය ජනතා අකල්ප හා සිතුම් පැතුම් මෙන්ම එකල තදින් පවතින්නට ඇති කුල ක්‍රමයේ පීඩක ස්වරූපයන් එතරම්ම කැපී පෙනෙන ලෙස නැතිවුනත් යම් තාක් දුරකට දකින්නට ලැබුනි. තවද ඉහලින්ම පැවති රාජ්‍යත්වය පමණක් නොව පහළ ස්ථර හා ඍජුව ගණුදෙනු කෙරුන ප්‍රාදේශීය පාලකයන්ගේ ග්‍රහණය හා ඔවුන්ගේ සාධාරණ හෝ අසාධාරණ තින්දු හා වෙනත් බලපෑම් හා ක්‍රියාකලාපයන්ද මෙම නිර්මාණයේදී දැක ගතහැකිවිය. එසේම තමන්ගේ යටත් වැසියන් පාගමින් ඔවුන් කෙරේ ‍‍බොරු ගරු ගාම්භීරත්වයක්, වීරත්වයක් මවා පාමින් තමන්ට ඉහල හාම්පුතුන්ට දීන කීකරු බවක් පෙන්වන කිරිඔරුවේ විදානේ වැනි චරිතයන්ද මනාසේ මෙහි නිරූපනය කෙරුනි.

යම් යම් සංස්කරණ හා තවත් සුළු අඩුපාඩුකම් විටින් විට දක්නට ලැබුනත් මෑතකාලයේ බිහිවූ හොද නිර්මාණයක් ලෙස මෙය හැදින්විය හැකි අතර ඇතැම් මාධ්‍ය වල දැක්වුන පරිදි මෙම ටෙලි නාට්‍ය නිසා ජාතික රූපවාහිනි සංස්ථාව පාඩු ලබන බව කියා තිබුනත් හොද නිර්මාණයක් ප්‍රේක්‍ෂක අපට ලබා දීම පිළිබදව ඔවුන්ටද ස්තූතිවන්ත විය යුතුය. එසේම වර්ථමානයේ බහුලව පෙන්වන ‍බොලද ප්‍රේම සබදතා, අනියම් සබදතා, දෙපිට කැපෙන කතා ඇතුලත් මෙගා නාට්‍ය රැල්ලට හසුනොවී ඓතිහාසික වටිනාකමක් ඇති මෙවැනි නිර්මාණයක් කිරීමේ බරපැන දැරූ නදීශා හේමමාලී  රංගන ශිල්පිනීයටත් ස්තූති කල යුතු අතර ඇයගේ ද්විත්ව රංගනයද විශිෂ්ඨ බව කිව යුතුය. මුදියන්සේගේ හා උල්පැන්ගේ සට්ටම්භිගේ චරිතය නිරූපනය කල මලින්ද පෙරේරා රංගන ශිල්පියාගේ තාත්වික මෙන්ම විශිෂ්ඨ රංගනයද අතිශයින්ම ප්‍රශංසනීය බව කිව යුතු අතර ඔහුට ධනවත් නාගරික තරුණයාගේ මෙන්ම පැරණි ගැමි තරුණයාගේ චරිතයටද ලේසියෙන්ම ප්‍රවිශ්ඨවිය හැකි බව පෙන්වා ඇත. ඒවගේම හරිහැටි පොරබදන්න‍ටවත් බැරි සටන් නළුවන් යයි තමන්ම කියාගන්නා නූතන ඔළුව උදුමවාගත් නළුවන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් මලින්ද සිටින බවත් කිව යුතුයමය. 60/70 හා 80 දශක වල රොබින් ප්‍රනාන්දු, විල්සන් කරු හා ටෙඩී විද්‍යාලංකාර වැනි සටන් කලාව හැදෑරු කලාකරුවන් හිඟ මේ කාලයේ මෙවැනි නළුවන් ඉදිරියේදී සිනමාවටද අත්‍යාවශ්‍ය වනු ඇත.

ඇත්කද ලිහිණියා වැනි පැරණි කාලය පසුබිම් කරගත් චිත්‍රපටිවලට නැතුවම බැරි නළුවෙකි ශ්‍රියන්ත දිසානායක. ඔහුද චරිතය හොදින් නිරූපනය කල අතර විධානේ ප්‍රවීන නළු සිරිල් වික්‍රමගේ මෙන්ම කිරිඔරුවේ විදානේගේ චරිතය නිරූපනය රංග ශිල්පියාද එම කාර්යය ‍මැනවින් ඉටුකර තිබුනි. හේමසිරි ලියනගේ, බුද්ධදාස විතානාච්චි, අවන්ති අපොන්සු හා මෙකි නොකී රංගන ශිල්පීන් සෑමකෙනෙකුම පාහේ තම කාර්යය හොදින් හා කැපවීමෙන් ඉටුකල බව අවසාන වශයෙන්ද පවසමි. අවසානය දුංඛිතවුවද එය කතාවට උචිත අන්දමින් සිදුකර තිබූ බවද අදහස් කරමි.

මේ නාට්‍ය නරඹන අවධියේම තමයි මට හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ආරියසේන එදිරිවීර මහත්මයා ලියන ලද අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම  - ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව පොතද කියවන්නට ලැබුනේ. එහි තිබූ ඇතැම් කරුණු මේ ටෙලි නාට්‍ය තුලින්ද දැකගන්නට ලැබනු අතර ඒ අවධියේ මගේ හිතට ආපු කරුණක් තමයි යම් හෙයකින් යුරෝපීය ජාතීන් (පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි) අපේ රටේ බලය අත්පත් කර නොගත්තානම් මොනවගේ වෙයිද යන කාරණය‍‍. ඉතින් මෙම නාට්‍යයත් ගැනත් යමක් ලියන මොහොතේ සිතුනා මේ සිතේ උත්පාදනයවූ කරුණ ගැනත් යමක් ලියන්නට. මේ ලිපිය ලිවීමට යොදාගන්නා විවිදාකාර කරුණු කාරණා ඇතැම්විට වැඩිහිටියන්ට අදාල වන නිසා අඩු වයස්කාරයන් මෙය නොබලා සිටින්නේ නම් වඩාත යෝග්‍ය බවද සදහන් කරමි. මෙහිදී සදහන් කෙරෙන පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි ජාතීන්ට යුරෝපීය ජාතීන් ලෙස හදුන්වන්නට සිතුවේ බොහෝවිට මාධ්‍ය වල මෙම ජාතීන් පිළිබදව කතා කිරීමේදී ඔවුන් බටහිර ජාතීන් ලෙස හැදින්වෙන අතර දැන් බහුලව අසන්නට ලැබෙන "බටහිර විජාතික කුමන්ත්‍රණ, බටහිර බලවේග, බටහිර යටත් විජිතවාදය" යනාදී වාක්‍ය නිතර නිතර ඇසී බටහිර කියන වදන පවා දැන්නම් තිත්ත වී ඇති නිසාමය.

1505 දී පෘතුගීසින් ලංකාවට අහම්බෙන් ගොඩබැස්සත් ඔවුන් මෙරට පැලපදියම් නොවූයේ නම් බොහෝවිට ඔවුනුත් ඊට පෙර වෙලදාමට පැමිණි ආරබි ජාතීන් මෙන් වෙලහෙලදාම් කටයුතු වලට ලංකාවට පැමිනෙන ඇති අතර ඇතැම් විට අරාබි ජාතිකයන් අපේ රටේ කාන්තාවන් දැක සිත් ඇති කර මෙහිම බින්න බැස්සා සේ සිටිනු ඇති අතර ඔවුන්ගෙන් එසේ නම් ඒ ඒ ජාතියේ මිනිසුන් බිහිවනු ඇත. එසේම ඔවුන් එක් අතකින් කඩුවත් අනිත් අතින් බයිබලයත් රැගෙන ආවායයි කියන කරුණින් බයිබලය පමනක් ඉතිරි වනු ඇති අතර කඩුව නැති නිසා මන්දගාමීව කිතුදහම ව්‍යාප්තවනු ඇත. බුදුදහම ප්‍රධාන කොටම ගෞරවනීය ලෙස මිනිසුන් අදහනු ඇති අතර ප්‍රධාන විහාරස්ථාන හැරුන කොට අනෙක්වායේ ස්වාමීන්වහන්සේලා අල්පේච්ඡ වූ දිවියක් ගත කරමින් මිනිසුන්ට සමීපව සිල්වත්ව සිටිනු ඇත. මිනිසුන්ද පන්සල හා සමීපව සිටිනු ඇති අතර අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානයද බොහෝවිට පන්සල වනු ඇත. එසේම විහාරස්ථාන ආශ්‍රිතව කලා නිර්මාණ රැසක්ද බිහිවනු ඇත.

ඒ කාලයේ රාජ්‍ය පාලනය ගතහොත් ඇතැම් විට කෝට්ටේ රාජධානියම ප්‍රධාන කොට පැවතීමට ඉඩ ඇති අතර ලක්දිව එක් රජෙකු යටතේ හෝ ඒ ඒ ප්‍රදේශ වල රාජ්‍යයන් කිහිපයක්ද තිබීමට හැකිය. කෙසේවෙතත් පිය-පුතු ගැටුම්, ‍සහෝදර ගැටුම් ස්වාමියා හා භාර්යාව අතර ගැටුම් රාජ්‍ය පාලනය ලබාගැනීම සදහා ඇතිවන්නට නම් ඉඩ තිබෙන්නටත් ඇත. රාජ්‍ය විචාරීමේදි රජුට විශාල බලයක් තිබෙනු ඇති අතර ඔහුගේ තින්දුවලට අභියෝග කල හැකි සිහිබුද්ධිය ඇති අයෙක් නම් නොසිටිනු ඇත. රාජ්‍යයේ චංචල නිශ්චල දේපල වල අයිතිකරුවා ඔහු වනු ඇති අතර තමා උදහස් වන ඕනෑම කරුණක් අරඹයා ඕනෑම කෙනෙකුට හිතෙන ආකාරයේ දඩුවමක් දීමට ඔහුට හැකියාව ඇත. මන්ද රෝම ලන්දේසි නිතියක් යුරෝපීයන් නැති නිසා ලංකාවේද එවැනි නීතියක්ද නැත. ප්‍රශ්න කිරීම සදහා කුරිරු මූලෝපායන් යොදා ගන්නට හැකි අතර මානව හිමිකම් හෝ එවැනි කිසිම හිමිකමක් නීතිගත කොට ඇති වගක් නම් නොදනී. එය රාජ්‍ය විචාරන තැනැත්තාගේ පුද්ගල ආකල්පයන් හෝ මානුශිකත්වය මත රදා පවතිනු ඇති අතර දෙනු ලබන දඩුවම් වේදනාව අවම වන සේ හුස්ම හිරවෙන තෙක් එල්ලා මැරීම හෝ වෙනත් නූතන මරණිය දණ්ඩන ක්‍රමවේදයන් නොව හිසගසා දැමීම, අලියා ලවා පෑගවීම, උල තැබීම සහ ලොකු වැරදි නොවන වැරදි සදහා අරාබියේ මෙන් අත්පා කැපීම හෝ සිරුරේ වෙනත් අංගඡේදනයක් කිරීම හෝ කුලයෙන් නෙරපා කුලහීනයකු බවට පත්කිරීමද විය හැක.
(වර්ථමානයේ වේදනාව අඩුවෙන්ම දැනෙන මරණීය දණ්ඩන ක්‍රමය ලෙස ගැනෙන්නේ විශ එන්නතක් එන්නත් කර මරණයට ලක්කිරීමයයි අසා තිබෙන අතර එම එන්නත ලබා දෙන්නේ ඊට ප්‍රථමයෙන් සිහිසුන් වන්නට එන්නතක් ලබාදීමෙන් පසුව යයිද පැවසේ).

ආ තවත් කරුණක්. රජ්ජුරුවන්ට ඇස ගැසෙන හොද අංගපුලා ඇති (අංගපුලා කියන්නේ හොද හැඩ වැඩ ඇති කියන අරුත විය යුතු යයි සිතමි) තරුණියන් සිය අන්තංපුරයට ගෙන යනු ඇත. (වරෙක පුවත්පතක තිබූ ලිපියකද දැක්කා අන්තංපුරය යනු රජුගේ මනදොල සපුරා ගැනීමේ ස්ථානයක්ම නොව එකල හුදකලාව අනාරක්‍ෂිතව පැවති ප්‍රදේශ වල විසූ හැඩකාර ලමිස්සියන් නොහොබිනා නොසන්ඩාලයන් අතින් අතවරයට පත්වීම වැලකීම පිණිස ආරක්‍ෂාව සැපයූ ස්ථානයක් බවටත්. එහි ඇත්ත නැත්ත නම් නොදනී). සිය ගණන් මෙහි ලදුන් සිටි බව කියන අතර ඇතැම් විට ඔවුන් හමුවට රජු පැමිනෙනු ඇත්තේ වසරකට වරක් පමණක් වන්නටත් ඉඩ තිබෙන්නට ඇත. මොකද අපි භාවිතා කරන දිනදර්ශනය නොව එකල භාවිතාවන්නට ඇති දින දර්ශනයේ වුනත් තියෙන්නට ඇත්තේ දින සීමිත ගණනක් වෙන්නට ඇතිනොවැ.

රොබට් නොක්ස් එදා හෙලදිව පොතේද කියා ඇති ලෙස හුණු ගෑ හොද ගෙවල් දොරවල් තියෙනු ඇත්තේ ප්‍රභූන්ට පමණක් වනු ඇති අතර කුලවත් ස්ත්‍රීන් පමණක් උඩුකයට ඇදුමක් අදින්නට ඉඩ ඇත. කුල ක්‍රමය තදින් ස්ථාපිතව තිබෙනු ඇති අතර කුලයන් මත පදනම් වූ රැකියාවන් මිස කැමති කැමති රැකියා කිරීමට ඉඩක් ලැබේදැයි සැකය. (ජන විවිදත්වය පොතේද මේ ගැන වටිනා කරුණු ඇත) ප්‍රදේශයේ දරුවෙකු ඉපදුන විට නම තබනු ඇත්තේ ඒ ප්‍රාදේශීය සීමාවේ සිට පාලකයා වනු ඇති අතර ඔහුට සිතට නැගෙන නමක් තබනු ඇත.

ප්‍රාදේශීය පාලකයන් ගැමියන් තලා පෙලා පාගාගෙන සිටිනු ඇති අතර ඔවුන් අතරද හොද මිනිසුනුත් සිටිය හැක. කෙසේවෙතත් ඔවුන් දැකීමට යද්දී දැකුම් පෙට්ටි (තෑගිබෝග විය යුතුය). රැගෙන ගියහොත් මිස හිස් අතින් ගියහොත් වැඩවරදිනු ඇත. ඒවගේම තම පලාතට පිටින් පැමිනෙන සැලකිය යුතු ප්‍රභූන්ගේ සැනසීම සදහා නැටුම් ගැයුම් මෙන්ම හොද අංගපුලා ඇති කාන්තාවක් ඔහු හමුවට යවනු ඇත්තේ නවාතැන් හිරය සදහායි‍. ප්‍රභූවරයා තමන් ඒ ‍ප්‍රදේශයට පැමිණි කරුණු අවසන් කර යනු ඇති අතර සමහර විට නැවත එම පෙදෙසට කවදාවත් නොපැමිණීමටද ඉඩ ඇත. එහෙත් අර ඔහු හමුවට යැවූ කාන්තාවගේ ජීවවිද්‍යාත්මක චක්‍රය අනුව ඇතැම් විට ගැබ්ගෙන පියෙකු නැති දරුවෙකු හදාවඩා ගැනීමට සිදුවෙතත් එය නම්බුවක් ලෙස සැලකිය යුතුවේ. මන්ද එය පුරාණ චාරිත්‍රයක් අනුව ගරුකටයුතු පුද්ගලයෙකුගෙන් සිදුවූ දෙයක් හෙයිනි.

මුලින්ද කියුවා සේ  යම් වැරැද්දක් පිළිබදව සාක්‍ෂි විමසීමේදී නඩු විභාගයන් විද්‍යාත්මක පසුබිමක් මත සිදුවේදැයි සැක සහිත වන අතර ඇතැම් විට චූදිතයන්ට අදාල පාලකයාට තෑගි බෝග දී චෝදනාවෙන් ගැලවීමටද ඉඩ ඇත. නැතහොත් නිවැරදිකරුද, වැරදිකරුදැයි විමසීමට නයි මල්ලට හෝ පෙට්ටියට අත දැමීමට, උණු තෙල් තාච්චියට අත දැමීම ආදිය සිදුකිරීමට සිදුවිය හැක. එසේම ප්‍රශ්න කිරීමට ගිනියම් කල යකඩ වලින් පිළිස්සීම සහ තවත් ඇගකිලිපොලායන වදබන්ධන වලට ලක්වීමට සිදුවිය හැකියාව තිබෙන්නට ඇත. පාලකයන් කේලම් හොදින් අසන්නටත් දුරදිග නොබලා කුරිරු දඩුවම් නියම කිරීමටත් පෙලඹෙනු ඇති අතරම මද්දුම බණ්ඩාරලා සෑහෙන දෙනෙකුට දංගෙඩියට හිසදීමටත්, වැවේ දමා මැරීම, වංගෙඩියේ දමා කොටා මැරවීම වැනි ම්ලේච්ඡ සිදුවීම් රැසක් අසන්නටත් ලැබෙනු ඇත.

ඒ එක්කම පෘතුගීසි වැනි දැඩි කුරිරු ආක්‍රමණිකයන් නැති නිසා වෙහෙර විහාර ගිණි තැබීම, ඒවා මං‍කොල්ල කෑම, බිළිදු දරුවන් පොළවේ ගසා හෝ ඉහල දමා කඩුව අල්ලා මැරීම වැනි අසන්නට අකමැති දේවල් අසන්නට නොලැබේ. එසේම මුල්ලේරියා සටන වැනි රනශූර යුදගැටුම් ඇති නොවනු ඇත.

පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා වැනි නාමයන් අපගේ මිනිසුන්ට නොලැබෙනු ඇති අතර කොකිස්, තුවාය, ඉස්තෝප්පුව. කපිරිඤඤා වැනි වදන් සිහල ශබ්ද කෝශයට ආගන්තුක වනු ඇත. තවද යුරෝපීය චාරිත්‍ර විධිද අපට නුහුරු‍නුපුරදු වනු ඇත. කෝපි, තේ, රබර් යනාදී වැවිලි ඇතැම් විට අපේ ‍රටේ ඇති නොවනු ඇති අතර දුම්රිය මාර්ග තැනෙනු ඇත්තේද ‍ඊට වඩා බොහෝ පසු කලෙක වීමටත් ඉඩ ඇත. වාහන වුවත් ලංකවේ දැකිය හැක්කේ පසුකාලීනව විය හැකි අතර ගොනුන් බැදි කරත්ත ආදියෙන් ප්‍රවාහණ කටයුතු සිදුවිය හැක. වී වගාව මුල් තැනක් ගනු ඇති අතර ගොවිතැනට පරිභාහිර වෘත්තින් පෙරද කිව්වා සේ කුලය මත පදනම් වනු ඇත. මිනිරන් පතල් ව්‍යාපාර වැනි සුදු ජාතීන්ගේ පාලන සමයේ ඇතිවූ ව්‍යාපාර ඇතිනොවීමට ඇති ප්‍රවණතාවයද වැඩිය.

ගෙරිමස් ‍හෙවත් ගවමස් කෑම අල්ප වනු ඇති අතර හරකාට ලැබෙනු ඇත්තේ සැලකිය යුතු තත්වයකි. ගවමස් කන්නා පිළිබදව සමාජයේ අදට වඩා අප්‍රසාදයක් එකල තිබෙන්නටද ඇත. එසේම සුරාපානයද අල්ප වනු ඇති අතර දැන්නම් Liquor permit  මෙන් ඒකාලයේ අරක්කු රේන්ද වෙන්දේසි සිදුනොවේ. මන්ද යුරෝපීය ජාතින් ලංකාවේ පාලන තන්ත්‍රයේ නොමැති නිසාය.

ඉංග්‍රිසි පාලනයක් නොමැති නිසා වික්ටෝරියානු සම්ප්‍රධායේ සභ්‍යත්වයක් මුල් බැස ගැනීමක් සිදුනොවනු ඇති අතර මිනිසුන් විවෘත මනසකින් කටයුතු කරනු ඇත. රෑ පැල් රැක එන ස්වාමයා හා තනි වීමට බාදාවක් නොවනු ඇති අතර ඔවුන්ට කරදර කිරීම වලකා ගැනීම සදහා දොරේ අමුඩ ලේන්සුව එල්ලීම හෝ කුල්ල දොරට හේත්තු කර තැබීම සෑහෙන්න කලක් යනතුරු පවතිනු ඇත (Do not Disturb).

අයියමලෝ දෙන්නා එකම හිරය ගැනීමේ එක ගෙයි කෑමේ චාරිත්‍රද එළිපිට සෑහෙන්න කලක් පවතිනු ඇති අතර, බින්න විවාහ ක්‍රම හා ඒ ඒ ප්‍රදේශයට ආවේණික විවාහ ක්‍රමයන් පවතිනු ඇත. ඒවා අද මෙන් පොතක ලියා ලියාපදිංචිකිරීමක් ගොඩක් කල් යන තෙක් සිදුනොවනු ඇත.

සුද්දන නැති නිසා 1818 වෙල්ලස්ස කැරැල්ල වැනි ගැටළු ඇති නොවනු ඇති අතර කැප්පෙටිපොල දිසාවේ වැනි උතුමන්ද සිංහල රාජ්‍ය පාලනයට සහය ‍වනු හෝ රාජ්‍යත්වයට පත්වීමටද ඉඩ තිබෙන්නට ඇත. 1848 වීරපුරන් අප්පු විසින් මෙහෙයවූ කැරැල්ලද ඇති නොවන්නට ඉඩ ඇත.

එංගලන්තයට ‍ගොස් අධ්‍යාපනය ලැබීම සදහා නැව්නැගීමේ අවශ්‍යතාවක් නොමැති අතර දේශීයව අධ්‍යාපනය ප්‍රභූ පැලැන්තියේ කුලීන දරුවන්ට ලැබේ. ජාතිමමකයන් යැයි කියාගන්නා අය කියන සේ "බටහිර චින්තනයෙන්" යුතු උගතුන් බිහිවීමක් සිදුනොවනු ඇති අතර දේශීය චින්තනය ඇති උගතුන් බිහිවී ඇත. මිශනාරී පාසල්ද ඇති නොවී ඇති අතර සිංහල බසින් සියළු රාජකාරී සිදු‍කෙරේ. තාක්‍ෂනික මෙවලම් හෝ නව සන්නිවේදන ක්‍රමයන් කවදා කෙසේ ලංකාව තුල ස්ථාපිත වේ දැයි අදහසක් නොමැත.

සුද්දන් නැති නිසා 1948 දී නිදහස ලැබීමක් හෝ රාජ්‍ය මන්ත්‍රණ සභාව හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාලන ක්‍රමයක් ඇති නොවනු ඇති අතර ඩොමීනියන් ක්‍රමය, එය අහෝසිවීම ජනරජයක් බවට පත්වීම යනාදියක් සිදුවීමේ අවශ්‍යතාවයක් නොමැත. තරුණ අසහනයක් ඇතිවී 1971 හා 1989 වැනි භීෂණකාරී කැරලි ඇතිවේවිදෝ ‍නොවේවිදෝ යන්න නිර්ණය කිරීමට සෑහෙන්න තර්ක කිරීමට සිදුවේ.

දෙවන ලෝක යුද්දයේදී ජපනා බෝම්බ නොදමනු ඇතැයි සිතෙන්නේ ලංකාව ඉංග්‍රිසි කිරීටයේ රටක් නොවන නිසා හා ඔවුන්ට දුර බැහැර මධ්‍යස්ථ රටක් නිසා ඔවුන් අපට හිංසාකිරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසාය.

යුදහමුදාව සෑහෙන්න කාලයක් චතුරංගනී සේනාවෙන් එනම් ඇත්-අස් - රිය - පාබල සේනාංකවලින් යුතුවනු ඇති අතර නාවික හමුදාවකුත් තිබෙනු ඇති. (පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ පවා දක්‍ෂ නාවික හමුදාවක් අපට තිබූ බව කියන අතර බුරුමයට පවා ගොස් යුද කර ජය ගෙන ඇති බව පැවසේ). හමුදාවේ තුවක්කු ගිනි බලයට වඩා කඩු හෙල්ල දුන්න යනාදී කැපෙන ආයුදවලින් යුතුවේ යයි සිතන අතර බට්ටෝ හෝ බිම් බෝම්බවලට හසුවීමෙන් නොව යුද්ද වලදී කැපෙන ආයුද වලින් සිදුවන අත්පය කැපීම් නිසා අංගවිකල තත්වයටත්, තුවක්කුවෙන් වෙඩි තබා එකවර මරණය සිදුවනවා වෙනුවට කැපීම් කෙටීම් වලට ලක්ව දුක්විද මරණයට පත්වීමට ප්‍රතිවාදීන්ට සිදුවනු ඇත. අහස් යාත්‍රාවලින් යුතු ගුවන් හමුදාවක් කෙසේ බිහිවේ දැයි කීමට  අපහසුය.

බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට මුල් තැනක් ලැබෙන ඇති අතර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනාදී අදෘෂ්‍යමාන බලවේගවලින් සෙත් ශාන්ති, අණවින කොඩිවින කරන ගුරුන්නාන්සෙලාද සමාජයේ හොද ගරුබුහුමන් ලබනවා ඇත.

පක්‍ෂ දේශපාලනයක් යනාදිය ඇති නොවී සැහෙන කාලයක් තිබෙනු ඇති අතර ඇතැම් විට භූතානයේ මෙන් රජතුමාටම සිතී එවැනි ‍දේශපාලනික ප්‍රතිසංස්කරණ ඇතිවන්නට ඉඩ තිබෙන්නට ඇත. කෙසේවෙතත් බදු ක්‍රමයන් නම් රාජාණ්ඩු පාලනය තුලද යහමින් තිබී ඇති බව ඉතිහාස පොත්වලද තිබෙන අතර එය VAT හෝ දේශය ගොඩ නැගීමේ බද්ද ලෙස‍ නොව වෙනත් නම් වලින් තිබෙන්නට හා තිබීමට ඉඩ තිබින.

ඉතින් තව තව කරුණු මෙම කරුණ අරඹයා ඔබටත් තිබෙන්නට ඇති නිසා ඒවාද සටහන් කරන ලෙස ඉල්ලන අතර මෙම ලිපිය කිසිවෙකුට හෝ කිසිවකට හෝ සිදුවූ සිදුවීමක් හාස්‍යයට හෝ අපහාසයට ලක්කිරීමේ අදහසකින් නොලියවූ බවත් මෙම යුරෝපීය ආක්‍රමණ සිදුනොවූයේ නම් මෙලෙස ලක්දිව වනු ඇතැයි යන අදහසකින් ලියූවක් බවත් අවසන් මොහොතේ සටහන් කරනු කැමැත්තෙමි.

51 comments:

  1. නැ .... පහු කාලෙකදි හරි ලංකාව ලෝකයත් එක්ක ගැටගෙහෙනව , දූපතක් උනාට ලංකාව හුදකලා රටක් නෙවෙයි. ඒ සියල්ලටම වඩා ලංකාව යුරෝපීයන්ට යටත් නොවුනා නම් මුස්ලිම් ආක්‍රමනිකයින්ට යටත් වෙලා මුස්ලිම් රටක් වෙන්න ඉඩ තිබුනා . උන්ට යටත් වෙනවාට වඩා ඉංග්‍රිසින් හොඳා ... ඒ වගේම මුස්ලිමුන්ගෙන් බේරිලා හිටියා නම් , ලංකාවට නාව යුරෝපීයන් ඉන්දියාවට ආව කියල උපකල්පනය කලොත් , ලංකාව මේ වෙනකොට තමිල් නාඩුවෙ කැල්ලක් . ඒකට වඩාත් සුද්ද මෙහ ආව එක හොඳා

    ReplyDelete
    Replies
    1. උබට තම්බින්ව ඇද්දෙ නැත්තම් නින්ද යන්නෙ නැද්දබන් මල වදේ....

      Delete
  2. සුද්ද ආපු හින්ද රට ටිකක් හරි දියුනුත් වුනා. කිව්වත් වගේ තම්බින්ට වඩා සුද්දො හොඳා.

    ReplyDelete
  3. බුවාගේ පළමු අදහස හැර අනෙක් කාරණා හා එකඟයි. කිසිසේතම ළෝකයා හා බද්ද වෙන්නේ නෑ. ගඩාෆිට කළා වගේ බද්ද කලොත් මිස. නිදහස ලැබුනයින් පස්සෙත් (77-93 හැර.) නැවතත් රට ගෙනියන්නේ අර ගෝත්‍රික ක්‍රමයටමයි. මට අනාවැකියක් කියන්න හිතෙනවා. ඒත් ඒක කියන්න බයයි. නමුත් මේ යන විදියට නම් ඒ දේ වෙනවා අනිවාර්යයෙන්. ඒ ගැන ඔබේ ලිපියෙත් සඳහන් එක තැනක.

    ReplyDelete
  4. You should also consider the fact that many countries either got democracy through colonization or their Autocracy led to oppression causing a rebellion. And ultimately people chased the king and Queens out and ended up with either communism or democracy.

    In rare occasions countries moved on to democracy while having a nominal king/Queen. If that happened we would have our own grand royal weddings to celebrate :D.

    What ever happened nothing would stop us (May be except a North Korea type leadership) from being industrialized and embracing western culture, unless industrial revolution happen in east instead of west. Then of course instead of Europeans, Asians (Probably Chinese/Japanese) will run the show and become imperialists.

    ReplyDelete
  5. මාතලන් said...
    බුවාගේ පළමු අදහස හැර අනෙක් කාරණා හා එකඟයි. කිසිසේතම ළෝකයා හා බද්ද වෙන්නේ නෑ. ගඩාෆිට කළා වගේ බද්ද කලොත් මිස. නිදහස ලැබුනයින් පස්සෙත් (77-93 හැර.) නැවතත් රට ගෙනියන්නේ අර ගෝත්‍රික ක්‍රමයටමයි. මට අනාවැකියක් කියන්න හිතෙනවා. ඒත් ඒක කියන්න බයයි. නමුත් මේ යන විදියට නම් ඒ දේ වෙනවා අනිවාර්යයෙන්. ඒ ගැන ඔබේ ලිපියෙත් සඳහන් එක තැනක.

    Malli (77-93) kale thama issellama kudu rajala bihiwenna gaththe

    ReplyDelete
  6. රොහාන් සමරජීවNovember 1, 2011 at 5:30 PM

    රදළයින් උඩරට පවා නුදුන්නේ නම අද අප භූතානය මෙන් වනු ඇත. භූතානය කන්දෙ රාජධානිය මෙන් කඳුවලට සීමාවූ තැනිතලා අහිමිවූ රටකි.

    ReplyDelete
  7. බුවාත් සමඟ එකඟයි.

    ඔබගේ බෝමයක් ලිපි මම කියවා ඇතත් කමෙන්ට් කිරීමට සිදු නොවුනේ හැමදාම මම එයින් යමක් ඉගෙන ගත්ත නිසයි. හැබැයි අද ලිපිය ගැනනම් මම කිසිම පැහැදීමක් නැහැ. ඒත් ඔබ බොහෝ තැන් නිවැරදිව ලියා තිබෙනවා. ලංකාව කවදාවත් හුදෙකලාව තිබුනු රටක් නෙමෙයි. යම් යම් රටවල් සමග ඔබ හොදින් දන්නා පරිධි යුරෝපය සමග පවා සම්බන්ධකම් තිබුනු රටක්. යුරොපීයන් නම් ලංකාව වැනි රටවල් වලට නොආවානම් අද ඔවුන්ද මෙතරම් දියුණු නැහැ. ඒ කියන්නේ ආකාර දෙකකට ඔවුන් මේ ධනය සොයා ගත්තේ අපෙන්, ඉන්දියාවෙන්, වගේ රටවල් වලින්. ඒ වගේම ඔවුන් අපෙන් මහා දැණුමකුත් ගෙනිච්චා ඒ සම්බන්ධව මම නම් සතුටු වෙනවා. ඒ ඔවුන් ඒ දැණුම හරි විදියට තවත් දියුණු කල නිසා. ඔබට හැකියාව තිබෙනවා නැවත වටිනා ලිපියක් මේ ගැන දමන්න. අපේ දේශීය දේ ගැනත් තව හිතන්න. ඒ ගැනත් ලියන්න.

    ReplyDelete
  8. දැක්කෙ අදයි! තුලනාත්මකව ලියල තියන බවක් දැනෙනව! ලංකාව හුදෙකලා වෙනව කියන එක අපි දන්න ඉතිහාසයට අනුව හිතන්න අමාරුයි!

    [ප්‍රථමයෙන් සිහිසුන් වන්නට එන්නතක් ලබාදීමෙන් පසුව යයිද පැවසේ]
    මම අහල තියන විදියට ඔය පලවෙනි එක දෙන්නෙ සිහි නැති වෙන්න නෙවෙයි! හෙල්ලෙන්න බැරි වෙන්න! එ් තත්ව යටතේ දෙවෙනි එන්නත දුන්නම මැරෙන්නෙ ටිකටික! එතකොට මැරෙන එකාට ෆුල් අාතල්!

    ReplyDelete
  9. 2010 පොඩ්ඩක් හැදුවනම් හරි

    ReplyDelete
  10. මෙහෙම බලන කොට පාවල දුන්නු එකෙත් අති වැරද්දක් නෑ

    ReplyDelete
  11. අපේ තාත්තා නම් ඔය කතාව බැලුවා. මං නම් දැන් ටීවී කතා බලන්නේ නැති ගානයි. කොහොමවුණත් කාලීන දෙයක් ගැන ලිපියක් ගෙනාපු එක ගැන සන්තෝෂයි. මේ විදිහේ ලිපි දිගටම ලියන්න.
    ලිපියේ දෙවැනි කොටසේ තියෙන උපකල්පනයත් අපූරුයි... සුද්දා ආපු එකේ නරක වගේම හොඳත් තියෙන බවයි මගේ නම් අදහස.

    ReplyDelete
  12. මටත් රූපව බැලෙන්නෙම නෑ දැන්... නමුත් මම හිතන්නෙ ලංකාවට අද තියෙන වට වඩා ලොකු වෙනසක් වෙන එකක් නෑ කියලයි. මොකද ඒ වකවානුවෙ තිබුණ තත්ත්වයන් එක්ක ලංකාව අනිවාර්යයෙන්ම බටහිරයන්ගෙ නැවතුමක් වෙන්න හොඳටම ඉඩ තිබුණා. යුරෝපය අළුත් භූමි හොයමින් හිටපු කිලෙක ලංකාව පිහිටල තියෙන්නෙ හොඳම තැනක.

    ලංකාවෙ ඉතිහාසය අනුව වෙලා තියෙන දේ හොඳ හෝ නරකයි කියල කියන්න නම් මම උත්සාහ කරන්නෙ නෑ. මොකද සියවස් ගාණක් ඇතුලත සියළු දේ උඩු යටිකුරු වෙන්න පුළුවන් නිසා..

    මොකක් වුණත් වෙලා තියෙන දේ හොඳයි කියල පිළිගන්න වෙනව. හැබැයි අපි අද කරන්නෙ ඒක අවුල් කිරීමක් කියල නම් හිතෙනව.

    ReplyDelete
  13. ටෙලි නාට්‍ය ගැන කියලා තියෙන බොහෝ දේ ගැන එකඟයි. හොඳ නිර්මාණයක්. මමත් වැඩියෙ ටීවී බලන්නෙ නැහැ. ඒත් මේ කථාව බැළුවා. නදීශා ගේ දෙවෙනි චරිතය නම් එතරම් සාර්ථක නැහැ කියලා මම හිතන්නෙ.
    සාමාන්‍යෙයන් මේ වගේ හොඳ ගණයේ නාට්‍යක් හෝ නිර්මාණයක් පෙන්නන්නේ ජාතික නාලිකාවෙන් හරි ස්වාධීන රූපවාහිනියෙන් විතරයි. ඉරිද 8.30 යන කථා සාමාන්‍යෙයන් හොඳයි.
    විදේශිකයින් අපේ රට අල්ලා ගැනීමෙන් හොඳ වගේම නරකත් වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ සමහර අදහස් වලට එකඟයි.
    බාල ගණයේ වැල් නාට්‍ය වලට වඩා මේ වගේ ඓතිහාසික නිර්මාණයන් අපේ හිත ගන්නෙ සමහර විට ඒ අපේ ඇඟේ ඒ හැඟීම තියෙන නිසා වෙන්න ඇති.
    හොඳ නිර්මාණයක්.
    ස්තුතියි.

    ReplyDelete
  14. පෙරලුන අත හොඳයි කියන එකත් නරක නැහැ . මොකක් වුනත් යටත් වී ඉඳීම නම් මහා එපා කරපු දෙයක් .
    මරණ දඬුවම ගැන කියල තියෙන නිසා අහන්නේ . ලෝකේ මරණ දඬුවම දෙන රටවල් මොනවද

    ReplyDelete
  15. @Bindi - http://en.wikipedia.org/wiki/Use_of_capital_punishment_by_nation

    ReplyDelete
  16. ලංකාවේ පැරණි දඩුවම් සහ ජන සමාජය ගැනත් කාලින ලිපියක් දැම්මොත් හොඳය් නේද?

    ReplyDelete
  17. "... 2010 ඔක්තෝබර් 30 වන දා නිමාව දකින අයුරු කණගාටුවෙන් මෙන්ම සතුටකින්ද නැරඹුවෙමි."

    2011 නෙමේද?

    ReplyDelete
  18. මම නම් ආසම අපේ රට මුස්ලිම් රටක් උනේ නැති එකට,,මමත් හිතනවා සුද්දා ආවේ නැත්නම් අපේ රට මුස්ලිම් රටක් වෙලා තමා මේ වෙද්දි නම් තියෙන්නේ

    ReplyDelete
  19. "මෙම ටෙලි නාට්‍ය නිසා ජාතික රූපවාහිනි සංස්ථාව පාඩු ලබන බව කියා තිබුනත්"
    අහන්නත් පුදුමයි... මම ටෙලියකට කියලා පහුගිය කාලෙ බැලුවෙ ඕක විතරයි... අනිත් එව්වා මල ජරාවල්...
    මම හිතන්නෙ දැන් ලංකාවෙ මිනිස්සුන්ගෙ රසඥතාවය මොට වෙලාද කොහෙද අර කසිකබල් මෙගා බලලා...

    ලිපියත් ඉතාම වටිනවා. කවුරුත් නොදකින පැත්තක් ගැන කතා කරලා තියෙනවා... මොකද හැමෝම සුද්දා අපිව කෑවා කිය කිය ඉන්නවා මිසක් සුද්දා නැත්නම් අපිට මොකද වෙන්නෙ කියලා හිතෙන්නේ නෑනෙ...

    ReplyDelete
  20. මම හැමෝටම ස්තූතිකරන අතර 2011 වෙනුවට 2010 ලෙස වැරදියට සටහන් කල ස්ථානයද නිවැරදි කර ඇත. කිහිපදෙනෙකුම පවසා ඇති පරිදි ලංකාව මුස්ලිම් කොලනියක් බවට පත්නොවීම ගැන නම් සතුටක් ඇත්තේ මක් නිසාවත් නොව මූලධර්මවාදී මතයන් ඔස්සේ ඔවුන් මැදපෙරදිග කලාපය හා ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය වැනි රටවලට සිදුකල ඇති විනාශය‍ හොදින් පෙනෙන හෙයිනි. එහෙත් මුස්ලිම් වුවත් මැලේසියාව, ඉන්දුනීසියාව හා බෲනායි වැනි රටවල් අත්කරගෙන ඇති සමෘධියත් අපගේ කලාපයේ ඇති මාලදිවයින වැනි යම් දිනක ලෝක සිතියමෙන් වියැකී යන රටක් පවා දැන් දැන් අපට වඩා දියුණුවක් අත්පත් කරගෙන යමින් සිටින බවක් පෙනේ. කෙසේවෙතත් ලංකාවට නිදහස ලැබීම මීට වඩා ප්‍රමාදවූවා නම් යටත්විජිත සපත්තුවට යටවීම අනුමත කල නොහැකිවුවත් රට මීට වඩා හැදියාවකින් හා දියුණුවකට පත්වෙතැයි අනුමානද කරමි...

    ReplyDelete
  21. මිතුරන් කිහිපදෙනෙකුම කියා ඇති පරිදි ලංකාව හුදකලා රටක් නොවන නිසා කාලානුරූපියව ඒ ඒ තාක්‍ෂනයන් හා නව ලෝක රටාවන් අන්තර්ග්‍රහණය කර ගනු ඇතැයි කියන කරුණ ගැන මටනම් ඇත්තේ අපහැදිලි බවකි. මන්ද ලංකාව හුදකලා රටක් නොව ලෝකයේ විවිද රටවල් සමග ගණුදෙනු පැවති බව ඇත්තකි. ඒ ඇත්දල, විවිද සතුන්, කෘෂි නිෂ්පාදන ආදිය ඒ ඒ රටවල් සමග ගණුදෙනු කිරීමත් සමගයි. එහෙත් ඒ රටවලින් අපේ රටට රැගෙන ආ ද්‍රව්‍ය පිළිබදව මිසක තාක්‍ෂනික මෙවලමක් පිළිබදව නම් දැනුවත්ව නොමැත්තෙමි. ඒ නිසා කරුණාකර ඒ කරුණු පිළිබදව යමෙක් දන්නේ නම් හා ඔබලා පවසන පරිදි ඒ රටවල් අත්කරගන්නා තාක්‍ෂනයන් ලංකාවට බද්ධවන ආකාරය පිළිබදව යම් උපකල්පනයක් හෝ ඉදිරිපත්කරන මෙන් ඉල්ලමි...

    ReplyDelete
  22. මරණිය දණ්ඩනය දෙන රටවල් පිළිබදව චමිලා අසා තිබූ පැනයට යම් පිළිතුරක් ලැබී ඇතැයි සිතන අතර ඒ ගැන මමත් තවදුරටත් සොයා බලා ඉදිරියේදී ලියන්නම්.

    වෙද ගෙදර මහ වෙදනා පවසා ඇති බොහෝ කරුණු ගැන මටද එකඟවීමට නොහැකි බව කීමට සිදුවේ. හැබැයි ඒ ඔබ මේ ලිපියට අකමැතියි කිවු නිසා නොව ඒ ගැන කරුණු ඇති නිසාවෙනි. කෙසේවෙතත් පිළිතුරු ලිපියක් නම් ඒ ගැන ලිවීමට තරම් දෙයක් නම් මට නොමැති නිසා මෙතැනම ඒ ගැන ලියන්නම්.යුරෝපීයන් අපේ රට හා ආසියාවට දේශා‍ටනයේ හෝ වෙළදාමට පැමිණි අවස්ථාවල යම් යම් දේ රැගෙන ගියා ඒ ගැන සැබැයි. හැබැයි චිනය වැනි රටවල් කිහිපයක් හැරෙන්නට තාක්‍ෂනික නැතහොත් කාර්මික මෙවලම් තැනීම පිළිබදව දැනුමක් ආසියාවේ බොහෝ රටවලට තිබූ බවක් නම් දන්නේ නැත. අපේ රටවල් ගතහොත් වාරිමාර්ග තාක්‍ෂනය හා ගෘහ නිර්මාණ ක්‍ෂෙත්‍රයන්ගෙන් ඉමහත් දියුණුවක් ලබා තිබූ බව සත්‍යයකි. එහෙත් අප නිපදවූ භාණ්ඩ වූයේ ප්‍රාථමික නිෂ්පාදනයි. පැහැදිලිව කියතොත් සහල් වැනි කෘෂි නිපැයුම් සහ කුළුබඩු ආදියයි. යම් යම් සිද්ධාන්තයන් සමහර විට ‍ගෙන යන්නට ඇති. එහෙත් ඒවා‍ට වඩා යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවය සමග තමයි ඔවුන් විවිදාකාරයේ කාර්මික සොයාගැනීම් සිදුකලේ. මම බොහෝවිට ලිපි ලිවීමට කරුණු සොයා යන නිසා දැක ඇති දෙයක් තමයි සුද්දන් ඒ ඒ සොයාගැනීම් සිදුකල කාලවලදී අපේ රටේ තත්ත්වය සැසදීමේදී අප කෙතරම් පසුපසින්ද සිටින්නේ කියන එක දැක තිබෙනවා. ඉතින් මටනම් පෙනනා විදියට සුද්දන් අත්පත් කරගත් දියුණුවට ඉරිසියාවෙන් තමයි අපේ නායකයන් බොහෝවිට අපි අරක ‍මේක හදන කොට උන් හිටියේ ගල් ගුහාවල, ඇන්දේ කොල අතු කියා ගැලරිය පිනවන කතා කියන්නේ. අතීත ශ්‍රී විභූතිය සමග අතීතයේ ජීවත් වෙනවාට වඩා වර්තමානයේ දියුණුව අත්පත් කරගැනීමට තමයි සත්‍යවශයෙන් නම් සිතිය යුත්තේ. යුරෝපීයන් ඉන්දියාව හා ලංකාවේන් වටිනා කියන සම්පත් ගෙනගියා හැබැයි දැනුම විශාල පරාසයකින් ඔවුන් රැගෙන ගියද කියන එක පිළිබදව නම් දන්නේ නැහැ ගෙන ගියාද කියන එක ඒ ගැන ඔබ දන්නේ නම් කරුණාකර දැනුවත් කරන මෙන්ද ඉල්ලමි.

    දේශීය දේ ගැන නම් සිතන්නට ඇත්තේ ඉතාමත් ශෝකබරිතවයි. වර්තමානයේ ලංකාවේ නිපදවන දේවල් අතරින් නම් කිහිපයක් විශිෂ්ඨ ගණයේ ඇති යයි සිතන නිසා ඒවා නම් වැඩි මිලක් උවත් ගනිමි. උදාහරණයක් ලෙස ලංකා ටයිල්, ලංකා ලෝහ සංස්ථාවේ නිෂ්පාදන හා පිටරට පැනඩෝල් පෙත්තට වඩා සිද්ධාලේප ටිකක් ගා හිසරදය සනීප කරගැනීමට උත්සහ කරමි. අනෙක් දේවල් ගතහොත් ආගම ගැන කියන්න ගියහොත් නැති ප්‍රශ්න ඇති වෙන නිසා ඒ ගැන කතා නොකරමි. දේශපාලනයද ‍එසේය. මිනිසුන්ගේ ආකල්ප සහ හැදියාව, සහෝදරත්වය කතා කිරීමට වඩා කතා නොකර සිටීම ශරීර සෞඛ්‍යයට ගුණය.එපමණයි...

    ReplyDelete
  23. @ දිනේෂ් : last comment

    කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වුනු බව සැබැවි. ඒ කුමක් නිසාද ?

    ක්‍රි.ව. 1000 පමණ කාලයේ යුරෝපය හා අප රටවල් සංසන්දනය කරන්නේ කෙසේද ? 

    ඉහත පිළිතුරු දෙකට ලැබෙන්නේ පරස්පර විරෝධී උත්තර නම් එසේ වුනේ ඇයි ? යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ?

    ReplyDelete
  24. මිතුරු දිනේෂ්,
    ඔබ බොහෝ කියවා ඇති ඇසූ පිරූ තැන් ඇති තරුණයෙකි. එම නිසා මම ඔබට සැමදා ගරු කරමි. ඒ දැණුම ඔබ ල්බා ගත්තේ මහන්සියෙන් බවද දනිමි. එවැනි මහන්සියකට අඩු මහන්සියකින් ඔබට යම් දැණුමක් උපයා ගැනීමට අවස්ථාවක් ඇත. ඔබ දන්නවාත් ඇති ලංකාවේ පරිසර අමාත්‍යාංශය දැන් වසර කීපයක් පුරා ලංකාවේ දේශීය දැණුම ගැන පුරා දින දෙකක විද්‍යාත්මක සම්මන්ත්‍රණයක් පවත්වනවා. එහි පළමු අවස්ථාවේ සිට දේශනකල මා ඔබට ආරාධනා කරනවා එයට සහභාගී වන්නට. මෙවර රුහුණු විශ්ව විද්‍යාලයේ තමයි තබන්නේ. දිනය මම ඔබට දැණුම් දෙන්නම්. අවශ්‍ය නම් අපිට කොළඹ සිට එකට යාමටත් මාතර මගේ නිවසේ සිටීමටත් ඔබට හැකියි. ජය!

    ReplyDelete
  25. @වෙද ගෙදර මහ වෙදනා- ප්‍රථමයෙන්ම ඔබට ස්තුතිකරන අතර මා ලබාදුන් පිළිතුර නිසා ඔබට කිසියම් සිත්තැවුලක් ඇතිවූයේ නම් මම ඒ ගැන කණගාටුව පලකරමි. අද ලංකාවේ පවතින බොහෝ ක්‍ෂෙත්‍රයන්ගේ පවතින තත්ත්වය හා ඒවායේ වගකිවයුත්තන්ගේ හැසිරීම අනුව අපට දේශීයත්වය ගැන සිතන්නට කියමින්, දිනෙන් දින ඉහල යන අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ගේ මිල හිතුමතේ ඉහල දමමින් හෝ ඒවා ඉහල යාමට ඉඩ සලස්සවමින් ඒ ගැන තැකීමක් නොකර තමන්ගේ අභිවෘද්ධිය ගැන සිතමින් සිටිනා සමයකි. අපගේ රට ගැන කැක්කුමක් ඇතත් දේශීය සම්පත් හා සංකල්පයන් විනාශකරමින් සිටිනා මෙවන් සමයක ඒවා ගැන පුළුල්ව කතාකරන්නට ගිහ‍හොත් සිදුවන්නේ විවිද ගැහැටවලට ලක්වීමයි. කෙසේවෙතත් මෙවන් දේ කියන්නට යාමේදී ‍සමහරකු විවිද අන්තයන්ට මා ඇද දමන්නට උත්සහ දරන අවස්ථාවක ඔබ සතු ඉවසීම හා පරිණතභාවය අතිශයින්ම අගය කල යුතු දෙයකි. ඔබ පවසා ඇති සම්මන්ත්‍රණය පිළිබදව ඉදිරියේදී දන්වන මෙන් ඉල්ලන අතර සේවා ස්ථානයේ හා නිවසේ වැඩකටයුතුවලින් යම් අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකිවුවහොත් එයට සහභාගීවන බවද දන්වමි. ප්‍රවාහණ හා නවාතැන් පිළිබදව ඔබ දක්වා ඇති කරුණු ගැනද ස්තූතිවන්ත වන අතර මාතරදී නවාතැන් පිළිබදව නම් ගැටළුවක් නොවන්නේ මගේ මහගෙදරද මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බැවිනි. අපි ඉදිරියේදිත් කතා කරමු...

    ReplyDelete
  26. @Chathuranga Perera - ඔබ අසා ඇති පැනයන්ට විස්තරාත්මක පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තුවෙමි...

    ReplyDelete
  27. Some day i wanted to write a similar article. but i'm so happy to see you have done it perfectly ! congrads ! well said & very impartial explenation. Most of the rasist leaders & people blame the west without any base just to increase their votes. But the reality is quite different ! when it comes to history, there's nothing RIGHT or WRONG ! all what happend has happened. we should study history without taking one side ! pls keep posting similar articles !

    ReplyDelete
  28. අම්මෝ මේක හෙට එළිවෙනකම් තර්ක කල හැකි දෙයක්. ඉතාමත්ම කෙටියෙන් මගේ මතය ලිව්වොත්.

    - සුද්ද එන්න කලින් තිබ්බ කරණය දිගටම පවතියි කියන ඔබේ මතයට මා එකඟ නැහැ. ඒවා කාලයත් එක්ක වෙනස් වෙනවා. සුද්ද නාවත් අපි ලෝකය ගැන දැන ගන්නවා. ඔබේ විවරණය සුද්දට පෙර ලංකාවේ ස්ටටික් චිත්‍රයක් වීම ගැන මගේ එකඟත්වයක් නැහැ. ඩයිනමික් එවන්න ඕනේ මිනිස් ශිෂ්ටාචාර.

    - සුද්ද නොඑන්න අපි මුස්ලිම් රටක්. උදාහරණ කලාපයේ ඕන තරම්.

    ජය වේවා.

    ReplyDelete
  29. සුද්ද එන්න කලින් තිබ්බ කරණය = සුද්ද එන්න කලින් තිබ්බ ක්‍රමය

    ReplyDelete
  30. බුවාගෙ කතාව 100% හරි
    සුද්ද දිගටම හිටියනම් හොදයි මිට වඩා
    සුද්ද තමයි මොලකරයා අපෙ මොඩ සින්හලයො නෙවෙයි
    සුද්ද හම්බයන්ට ගගහ පන්නද්දි අපෙ බුරු සින්හලයො තමයි ඔය හම්බයන්ව බේරගෙන ඔව්න්ට ඉඩම් කඩම් එහෙම දිල බලගත්තෙත් උන් ඒකට දක්වන කෙලෙහිගුනෙ පෙනවා ඇතිනෙ දැන්
    මොනා උනත් සුද්ද ලන්කාවට අවෙ නැත්තම් මෙක මෙලහකටත් හම්බ රාජ්‍යක් එක නිසා සින්හල අපි සුද්දට සදා ණය ගැතියි කෙලහිගුනෙ දන්න කෙනෙක් නම් කවදාවත් සුද්දන්ට බනින් නෑ

    ~Bat Man~

    ReplyDelete
  31. හ්ම්ම්.. හරවත් වගේම තර්කයට බඳුන්කලහැකි මාතෘකාවක්... සමහර ඔබේ කාරණා ගැන මට එකගවෙන්න බැරි උනත් කොමෙන්ට් කියවගෙන යනවිට ඒ කාරණා මට නිරාකරණය කරගන්න ඉඩ ලැබුනා.. බොහොම ස්තුති.

    ReplyDelete
  32. නේපාලෙට සුද්ද ගියෙ කඳු නඟින්න විතරයි, පාලනය කරේ නෑ, අල්ලගත්තෙත් නෑ! ඉතින් උන්ට තාම ඉන්නෙ අස් ගව හමුදාද?
    සුද්ද නාවනම් මුස්ලිම් වෙන එක අනිව, ඒත් අනික්ව වෙනව!

    ReplyDelete
  33. deepal ufo gana lipiyak liyannako

    ReplyDelete
  34. @Sujeewa Kokawala - කරුණාකර සුද්දාකරණයට ලංකාව යටත්විජිතයක් නොවී ලක්වන ආකාරය පැහැදිලි කරන්න...

    ReplyDelete
  35. @ඉන්දික උපශාන්ත - නේපාලය යනු හතරවටින් ගොඩබිමින් වටවී ඇති රටක්. ඒවගේම ඉන්දියාවේ බලපෑමට අතීතයේ සිටම නතුවූ රටක්. ඉන්දියාවේ සුද්දන්ගේ පාලනය තිබූ නිසා නේපාලයත් එයට හසුවීම නිරායාස‍යෙන්ම සිදුවන්නකි.

    ලංකාව යනු දූපතකි. එය ඉන්දියන් සාග‍රයේ සමුද්‍ර ගමන් මගේ සුවිශේෂ නැවතුම් පොලක් බව ඇත්තකි. එහෙත් ආක්‍රමණ හෝ වෙනත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් සදහා මොන ජාතියක් හෝ මෙහි පැලපදියම් නොවෙන්නට මුළු දිවයිනටම බලපාන විදේශික සංස්කෘතියකට නතුවීමට සෑහෙන්න කාලයක් ගතවේ. මන්ද නේපාලයට එවරස්ට් නැගීමට සුද්දන් ගියාට ලංකාවට සිරීපාදේ නගින්න හෝ පිදුරුතලාගල නගින්නට සුද්දන් නොපැමිනේ. ඉතින් මටද ගැටළුවක් වී ඇති පසුකාලෙක යුරෝපීයකරණයකට ලංකාව ලක්වෙන සැටි තර්කානුකූල උපකල්පන මගින් පැහැදිලි කරන මෙන් ඉල්ලමි...

    ReplyDelete
  36. බුවාත් සමඟ මාත් එකඟයි. ලංකාව යුරෝපීයන්ට යටත් නොවුනා නම් මුස්ලිම් ආක්‍රමනිකයින්ට යටත් වෙලා මුස්ලිම් රටක් වෙන්න ඉඩ තිබුනා . උන්ට යටත් වෙනවාට වඩා ඉංග්‍රිසින් හොඳා.උදාහරණ කලාපයේ ඕන තරම්.

    ReplyDelete
  37. සුද්දා නාවානම් .........................!
    මට හිතෙන දේවල්ද ගොඩක් ඇත. ඇත්තම කීවොත් ලියන්න තියෙන කම්මැලිකම නිසාම තමයි මගේ කොමෙන්ට් හා ලිපි මෙතරම් කෙටි. මහ වේදනා සමගත් ඔබ සමගත් සමහර කරුණු වලදී මම එකඟ උනත් මගේ හිතෙත් ඕක නොවුනානම් සිද්ද වෙන දේ ගැන වෙනමම චිත්‍රයක් තියෙනවා පස්සේ දවසක ලිපියක් ලෙසම ඔය ගැන ලියන්නම්. මොනවා උනත් ඔහොම හිතන එකම ලොකු දෙයක්.

    ReplyDelete
  38. මම නම් එකගය් ...අපිගව ඔය ටරන් දැනුමක් තිබ්බනම්
    සුද්දා තුවක්කු අරන් සටනට එනකොට අපි මොනවින්ද සටන් කලේ කඩු පොලු වලින්...
    උන් අවේ නැත්තන් කවදාවත් අපිට කෝච්චියක් දකින්නවත් ලැබෙන නැ

    ReplyDelete
  39. සුද්දා ලංකාවට ආවෙ නැත්නම් ලංකාව මුස්ලිම් රටක් වෙයි කියන එකනම් පිලිගන්න බැරි දෙයක්. මොකද මෝගල් අධිරාජ්‍යයෙන් කෝට්ටෙ රාජධානිය අල්ල ගත්තත්කවදාවත් උඩරට රාජධානිය අල්ලගන්න ලැබෙන්නෙ නැහැ.මෝගල්වරු පරද්දලා ඉන්දියාව මුලුමනින්ම අල්ල ගත්ත සුද්දන්ටත් 1815 වෙනකන් උඩරට යටත් කරගන්න බැරිවුනේ උඩරට ආරක්ෂාසහගත පිහිටීමත් ලංකාවෙ දක්ෂ ගරිල්ලා සටන් ක්‍රම නිසා.අන්තිමේදි පාවාදුන්න නිසා තමයි යටත් කරගන්න පුළුවන් වුණේ.

    අනික ලංකාවෙ කොටසක් මෝගල් අධිරාජ්‍යයට අයිතිවුනත් ලංකාව මුස්ලිම් වෙන්නෙ නැහැ.මෝගල්වරු ඉන්දියාවෙ වැඩිහරියක් අල්ලගත්තත් ඉන්දියාව මුස්ලිම් රටක් කරන්න ඔවුන්ට බැරිවුන නිසා.

    තායිලන්තය කවමදාවත් සුදු අධිරාජ්‍යවාදීන්ට යට්ත් වුනේ නැහැ.ඒත් බලන්න ථෙරවාදී බෞද්ධ රටක් විදිහට අදට ගැළපෙන විදිහට නවීකරණය වෙලා තිබෙන හැටි.ලංකාවත් සුද්දන්ට යටත් නොවුනානම්
    ලංකාවත් අද තායිලන්තය වගේ තියෙවි.ලංකාවට් කාර්මික දියුනුව නැතිවුණත් මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මය හරි රැකිලා තියෙවි.

    අනික ඔය සුද්දන් අද ලබා තියෙනවා යැයි කියන කාර්මික දියුණුව හරිම තාවකාලික එකක්.වැඩිවන ජනගහනය නිසා ඉදිරි සියවස ඇතුළත ලෝකයේ ඛනිජතෙල්,ලෝහ සම්පත් ආදිය සියල්ල අවසන් වෙනවා.තවමත්මේවාට සාර්ථක විකල්ප සොයාගෙන නැහැ.ඉදිරියට එයි කියලා හිතන්නත් බැහැ තියෙන ආර්ථික අර්බුදය නිසා. ඒ නිසා අපිට අර පරණ සරල ජීවන රටාවට නොබෝකලකින්ම යන්නටවේවි.

    අනික මේ කාර්මික විප්ලවය නිසා ලෝකයෙ දේශගුනය වෙනස් වෙලා, ආහාර අර්බුදයකට ලෝකය තල්ලු වී ගොසින්.ලෙඩරෝග වලට නිපදවූ ප්‍රතිජීවක වලට එරෙහිව නව බැක්ටීරියා වර්ග බිහිවේගෙන යනවා.අලුත් ලෙඩරෝග ඇවිල්ලා.මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මය විනාශ වෙලා.ලෝකයට ඇතිවෙලා තියෙන වාසිවලට වඩා අවාසිවැඩියි.මොනතරම් භෞතික වශයෙන් දියුනුවුනත් වැඩක් නැහැ මිනිසුන්ගෙ මනස දියුනු වෙලා නැත්නම්.

    ReplyDelete
  40. Anonymous, දකුණු හා අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් වන මාලදිවයින, මැලේසියාව ඉන්දුනීසියාව වගේ රටවල් මුස්ලිම්කරණය වුනේ මෝගල් අධිරාජ්‍ය නිසා නෙවෙයි.

    ReplyDelete
  41. Anonymus December 24 to Anonymus December 28
    මාලදිවයින,මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් පෘතුගීසි ඉන්දියාවට එනවිටත් සහමුලින්ම මුස්ලිම් රටවල් බවට පත්වෙලා තිබුනා.ඒත් ලංකාව,තායිලන්තය, බුරුමය වගේ රටවල් මුස්ලිම් වෙලා තිබුනේ නැහැ.ඒ නිසා සුද්දන් පෙරදිගට පැමිණීම නිසා ලංකාව වගේ ථෙරවාද බෞද්ධ රටවල් මුස්ලිම්වීමෙන් වැළකුනා කියන එක සුද්දන් තමන්ගෙ කොලේ වහගන්න ගොතාපු අමූලික බොරුවක්. ඒක ඇත්තක් නම් මුස්ලිම් ඉන්දුනීසියාව ළගම තියෙන සුද්දන්ට යටත් නොවූ තායිලන්තයත් මුස්ලිම් වෙන්න ඕනෙ.

    බුදුන් තෙවරක් වැඩි අනාගත බුද්ධ ශාසනය පවතින බවට බුදුන් වදාරා සහතික කළ මේ පූජනීය ලංකාව කවදාවත් මුස්ලිම් නොව වෙන කවර අන්‍යාගමික රටක් බවටවත් පත්කරන්න බැහැ. එහෙම කරන්න 5වන සියවසේ ඉදන් සිය පණ මෙන් ථෙරවාද බුදුදහම රැකගත් බෞද්ධයින් කවමදාවත් ඉඩ තියන්නෙත් නැහැ.ලංකාවෙ අද දක්වාම පිරිසිදු ථෙරවාද බුදුදහම රැකිලා තියෙන්නෙ ඒනිසයි.

    ReplyDelete
  42. ඇත්තෙන්ම එම ටෙලි නාට්‍ය හොඳ එකක්..ආසාවෙන් බලන්න පුලුවන්..ඒත් මම තම බැලුවේ ටිකයි..ඒ වගේම දැන් හොඳ එකක් යනවා.සුනෙත්‍රාගේ කවිකඳුර පොත් වසන්ති චතුරානි ටෙලි නාට්‍යක් කරල..ඒකේ නම ධවල කඩුල්ල..ඒක රාජසිංහ රජ්ජුවන්ගේ කාලය ගැන කිය එකක්..

    ReplyDelete
  43. සමහර එයිතිහාසික සිද්දීන් භාවිතා කරලා තියෙන ආකාරය පිලිබඳ පැහැදීමක් නැහැ. උදාහරණ ලෙස මද්දුම බණ්ඩාර ඝාතනය. එය පෞද්ගලික තරහ පිරිමසා ගත රජු හා නිලමේවරුන්ගේ මෝඩ තීරණයක් මිස. රටේ පැවති සම්ප්‍රදාය නොවේ.

    ReplyDelete
  44. එම ටෙලි නාටිටියට මමත් මගේ දරු දෙදෙනාත් කැමතියි

    ReplyDelete
  45. සුද්ද ආවෙ නැත්නම් මෙ blog එක කියවන්න වෙන්නෙත් නැ නොවැ....

    ReplyDelete
  46. අතීතකාමයේ මහත් රසයක් ඇති බවත් ඒ රසය විදින අයත් බොහෝ සිටින බව කොමෙන්ට් වලින් පෙනේ.
    ඒත් මං නං ආස මට ඉස්සර මොලේ තිවුනා කියන්න නෙවෙයි දැං මොලේ පාවිච්චි කරල වැඩ කරන්න.

    ReplyDelete
  47. මම නම් දකින්නෙ සුද්දො අාපු ඒකෙන් අපෙ දෙය නැති වුන ඒකයි සමාජය අනවශ්‍ය විදියට සංකීර්ණ වුන ඒකයි විතරයි වුනෙ...තමිල් නාඩු බලපෑම් ජයගෙන අපෙ කම රැකගෙන වසර 2000ක් පමණ ලාංකිකයන් හිටිය...

    ReplyDelete
  48. මේ ප්‍රසිද්ධ බ්ලොග් ලියන උන් සේරම මෝඩයොද කොහෙද එක්කෝ ජෙවීපී ලණු කාලා නෑත්තම් සුපුරුදු කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලෙට ගිහින් හරි විශ්වවිද්‍යාල වල තියෙන ගොඩේ මඩ ගිලලා මුන් මේ මගුල් වික්ටෝරියා සදාචාර රෙද්දක් කියවනවා. යකෝ තොපිලාගේ තියෙන වනචරකමට සහ පටු චින්තනය හින්දා අපේ හෙළ සංස්කෘතියට පහර ගහනවා. හොද බෞද්ධ පාලනය රාජත්වය සමග තිබුණා නම් කොතරම් වටිනවාද. හෑබෑයි ඒ කියන්නේ නායක්කාර පාලනෙත් නෙමෙයි. උසස් කුළ වංශක්කාරයෝ තමයි බොල පාලනය කරන්න ඕනේ එහෙම නෑතුව මේ සල්ලි නෑතුව දේශපාලනේ කොරලා සල්ලි හම්බ කරන අද ඉන්න හිගන කුපාඩි හෑත්ත හොදයි කියන එකද උබලා කියන්නේ. යකෝ වංශක්කාරයන්ට ඒකාලේ ඔය සේරම තිබ්බා යස අගේට පාලනෙත් කලා........

    ReplyDelete