Tuesday, July 5, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? මායාවරුන්ගේ අවසාන යුගයට පිවිසීම - 5 කොටස

ස්වර්ණමය යුගය වන සම්භාව්‍ය යුගය බිදවැටීම හා මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයේ අවසාන යුගය වන පශ්චාත් සම්භාව්‍ය යුගය ගැන මේ ලිපියෙන් සොයා බලමු....

සම්භාව්‍ය යුගයේ බිදවැටීම - Collapse of Classic Civilization
ක්‍රි.ව. 790 සිට  ක්‍රි.ව. 889 දක්වා පමන වන විට පහත් බිම්වල තිබූ මායා ශිෂ්ඨාචාරයේ සම්භාව්‍ය යුගය බිදවැටීම සිදුවී ඇත. පූජනීය ස්ථාන, මාලිගා හා ස්මාරක ආදිය ඉදිකිරීමද නවතා දමා ඇති අතර පහත් බිම් වල ස්ථාපිතව තිබූ විශාල නගරද අත්හැර දමා තිබේ. විශේෂයෙන් දකුණුදිග හා මධ්‍යම පහත්බිම් වල ජනගහනයද ශීඝ්‍රයෙන් අඩුවන්නට පටන්ගෙන ඇත.

මායා ශිෂ්ඨාචාරය පිළිබද ප්‍රවීනයන්ගේ මතය අනුව එය කරුණු කිහිපයක් හේතුකොටගෙන සිදුවී ඇත. එසේම ඒ ඒ ප්‍රදේශ වලට එම කරුණු එකකට එකක් ආවේනික වී ඇති බවද පැවසේ. ඒ අනුව මෙ‍සේ මෙම යුගයේ පරිහාණියට හේතු‍ ලෙස දක්වන්නේ ස්වාභාවික උපද්‍රව, දේශගුණික විපර්යාසයන්, විවිද ලෙඩරෝග, පාංශු ඛාදනය හා අනිකුත් කෘෂිකාර්මික ගැටළු, ජනතාවගේ කැරලි ගැසීම්, අභ්‍යන්තරිකව හටගත් යුද්ද හා බාහිර පාර්ශව වලින් සිදුවී ඇති ආක්‍රමණ මෙන්ම අධික ජනගහන වර්ධනයත් ඔවුන් විසිරී සිටි ප්‍රදේශයේ තිබූ ස්වාභාවික සම්පත් අධික ලෙස පරිභෝජනය තුලින් එවා නිමවී තිබීමද මෙයට හේතු වශයෙන් දැක්‍වේ.
මෙම මොන කරුණ අරඹයා මෙම බිදවැටීම සිදුවුනද එහි අවසාන ප්‍රතිඵලය වූයේ පහත්බිම් වල සිටි මායාවරුන්ගේ සමාජීය, ආර්ථික හා දේශපාලන යන්ත්‍රණය දුර්වල වී එය තව දුරටත් විශාල ජනගහනයක් පාලනය කල නොහැකි තත්වයකට පත්වීමයි. එසේම අනිකුත් ප්‍රතිඵලය වූයේ අනර්ඝ දැනුමකින් යුත් ආගමික හා පුජනීය චාරිත්‍රවාරිත්‍රයන්ද ගිලිහී යාමට පටන් ගැනුමයි.

පශ්චාත් සම්භාව්‍ය යුගය - POSTCLASSIC PERIOD
මධ්‍යම හා දකුණු දිග පහත්බිම්වල බිදවැටීම් සිදුවුන පසුවද මායා ශිෂ්ඨාචාරය තවදුරටත් උතුරුදිග පහත්බිම් පිහිටා ඇති Yucatán වල හා දකුණු දිග උස් බිම් පිහිටි Guatemala වේ නොනැසී පැවතින. මෙම ප්‍රදේශ තුලදී තවදුරටත් ශිෂ්ඨාචාරය තවදුරටත් සංවර්ධනය සිදුවී ඇති අතර එහි නව නගර පවා ගොඩනැංවී තිබේ. Uxmal, Sayil, සහ Labna යන නගර ඒවා උදාහරන වන අතරම ඒවා තුල Puuc යන නමින් හැදින්වූ ගෘහනිර්මාණ ශිල්පයට අනුකූල ඉදිකිරීම්ද විවිද අලංකාරවත් සැරසිලි සහිතව සිදුවී ඇත.

මෙම පශ්චාත් සම්භාව්‍ය යුගය හෙවත් Postclassic Period යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි.. 900 සිට  ක්‍රි.. 1521 කාලයදී ඔවුන්ගේ ප්‍රධාන නගර-රාජ්‍යයක්වූ  Yucatán පාලනය කරනු ලැබුවේ පරම්පරාගතව පාලකයා බවට පත්වන halach uinic නැතහොත් ahau නමින් හැදින්වෙන තනතුර දරන අය විසිනි. මෙම තනතුර දරන්නාට ඉහලම ආගමික බලතලද තිබුන අතර අනිකුත් පාලන කටයුතු වලදීද ඔහුට අසීමිත බලයක් ලබාදී තිබින. ඔහු විසින් රාජ්‍ය අභ්‍යන්තර හා බාහිරව බලපැවැත්විය යුතු ප්‍රතිපත්ති තීරණය කරනු ලැබූ අතරම ඔහුගෙන් පහල තනතුරු වූ batabs ලෙස හැදින්වෙන යාබද නගර හා ගම්බිම් පාලනය කරන්නන්ගේ තනතුරුද මෙම පාලකයාගේ අභිමතය පරිදි පත්කර ඇත. (මෙම halach uinic ගත්විට ඔහු හා කිසිදු අයෙකුට ඍජුව කතාබහ කල නොහැකි අයෙක් ලෙස හැදින්වෙන අතර නිරතුරුවම ඔහු රෙද්දකින් මුහුණ වසා ගෙන සිට ඇති බවද ඇතැම් මූලාශ්‍රවල පැවසේ).

ක්‍රි.ව. 1520 දශකයවන විට ස්පාඤය ආක්‍රමණ සිදුවන විට ඒ අවධිය වන විට මායාවරුන්ගේ කේන්‍ද්‍රස්ථානය වන Yucatan කොටස් 18 කට බෙදී තිබූ බව පැවසේ. මේවා කුඩා නගර හෝ ගම්මාන වශයෙන් පැවති ඇති අතර ඒවා අගනගරයෙන් පාලනය වී ඇත. මෙවැනි කුඩා ප්‍රදේශ නවයක් පමණ එක් කොට තැනී ඇති ඒකකයක් කලින් පැවසූ halach uinic විසින් පාලනය කොට තිබේ. එසේම සමහර අවස්ථාවලදී halach uinic ටද පාලන කටයුතු වලට අවශ්‍ය සහය ලබා ගැනීමට පාලක සභාවක් සිටි බව පැවසෙන අතර එය holpop ලෙස හදුන්වා ඇත.

මෙම රාජ්‍යයන්වල ඉහලම හමුදා නිළධාරියා හදුන්වා ඇත්තේ nacom යන නාමයෙනි. ඔහු තුන්වසරක සේවාකාලයකට පත්කර ඇති අතර ඔහුගේ වගකීම වී ඇත්තේ හමුදාවේ ශක්තිය වර්ධනය කිරීමත් අවශ්‍ය මොහොතකදී සංග්‍රාම සදහා ඔවුන් යෙදවීමත්ය. එසේම ‍මායාවරුන්ගේ ඉතිහාසය තුල යුද්ද වල නිරත වීම් බොහෝවිට සිදුවී ඇති අතර ලැබී ඇති තොරතුරු අනුව අන්තර්ජාතික මට්ට‍මේ සහයෝගීතාවයන් පිළිබදව සාක්‍ෂි අල්ප බවද කියවේ.

ප්‍රාදේශීය මට්ටමේ පාලක සභාවන් batabs නායකත්යෙන් යුතු මණ්ඩලයකින් සමන්විත වී ඇති අතර එය ah cuch cabob ලෙස හදුන්වා ඇත. batabs  වරුන්ගේ ප්‍රධාන කාර්යයක් වූයේ ගම්බිම් පාලනයට අමතරව ඉහල නායකත්වය වන halach uinic විසින් සම්පාදනය කරන නීති පහල ස්ථරවෙත රැගෙන යාමයි. මෙම තනතුරට පහලින් පිහිටි තනතුර වන al kuleloob විසින් batabs වරුනගේ කාර්යයන් අවශ්‍ය සහය ලබා දීම සිදුකර ඇති අතර ඔවුන් වැසියන්ගෙන් බදු එකතු කිරීම හා නියෝග පැනවීම් සිදුකර ඇත.

නීතිය හා දඩුවම්
Batabs පාලකයන් අධිකරනයේ සිවිල් මෙන්ම සාපරධී නඩු සදහා  විනිසුරුවන් ලෙසද ක්‍රියා කර තිබේ.  මෙම නඩු විමසීම් පොදු රැස්වීම් ශාලාව වන popilna හිදී රැස්වී සිදු කර ඇත. මෙම අධිකරණ කටයුතුවලදී ලිඛිත වාර්තා කිසිවක් භාවිතා කර නොමැති අතර වාචිකවම පමණක් සියළු කටයුතු සිදුකර තිබේ. මායාවරු සාක්කිකරුවන්, සාක්‍ෂි ආදියද නඩු වලදී වැදගත්ම සාධක ලෙස යොදාගෙන ඇත. Batabs ‍ගේ තීරණය අවසන් තීරණය වන අතර එයට අභියාචනා කිරීමට ඉඩක් නොතිබූ නමුත් කළ වරදට සමාව අයැද සිටියහොත් කරුණු විමසාබලා දඩුවම ලිහිල් කර ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබී ඇත. වරද කරු‍වකු ලෙස නම් කල වහා එම ස්ථානයෙන් බැහැර‍ට ගෙන යන වරදකරුවා ලීයෙන් තැනූ මැදිරියක දඩුවම දෙන තෙක් සිරකරනු ලබන අතර මායාවරු කිසිවිටක සිපිරිගෙවල් නම් පවත්වාගෙන ගොස් නොමැත. කෙසේවෙතත් බැරෑරුම් නඩුවක් නම් batab වරුන්, සිය ප්‍රධානියා වන halach uinic ගෙන උපදෙස් එය විසදීම සදහා ලබාගෙන ඇත.

මායාවරු විවිද වැරදි සදහා දඩුවම් ලබාදී තිබේ. මිනී මැරුම්, ස්ත්‍රී දූශන, අනාචාරයේ හැසිරීම, විශ්වාසය කඩ කිරීම, ගිනි තැබීම් වැනි වැරදිවලට දෙවියන්ගේ නියමය පරිදි යයි ඔවුන්ගේ සම්මුතියකට අනුව මරණ දඩුවම පනවා තිබේ. යමෙකු මිනීමැරුමකට වරදකරුවකු කල හොත් ඔහුට මරණ දඩුවම නියම කරන අතර යම් හෙයකින් කිසියම් වැරදීමකින් එය සිදුවී ඇති බව සනාත කලහොත් කරුණු සලකා බලා මරණ දඩුවම ලිහිල් කර එම අගතියට පත් අයගේ ඥාතීන්ට වන්දි ගෙවීමක් ලෙස වරද කල පුද්ගලයා වහලෙකු ලෙස ඉහත කී අය වෙනුවෙන් සේවයට යොදවා ඇත‍. ‍එසේම කුඩා පරිමාණයේ වැරදි සදහාද දඩුවම ලෙස ලබා දී ඇත්තේ වහල්බාවයයි. සොරකම් සදහා දඩුවම වී ඇත්තේ ඒ නිසා පීඩාවට පත් අයට සොරකම් කල අය විසින් වන්දි ගෙවීම හෝ තාවකාලිකව වහල්භාවයට පත්කිරීමයි. සමහර අවස්ථාවලදී එම අපරාධය කරන ලද තැනැත්තා පමනක් නොව ඔහුගේ පවුලේ අයද වන්දිය ගෙවීම සදහා වහල්භාවයට පත් කර තිබේ. සුවිශේෂ කාරණයක් වන්නේ මායාවරුන්ගේ නිවාස වල වැසිය හැකි දොරටු නොමැතිවීමයි. එනිසා එම නිවාස වලට විශේෂ ආරක්‍ෂාවක් අවශ්‍ය වූ අතර යම් හෙයකින් යමෙක් මෙවන් නිවාසයකට ඇතුළු වී අලාභහානි සිදුකලහොත් හෝ නිවැසියකුට තුවාලයක් සිදුකල‍හොත් එම අපරාධයන් සිදුකල තැනැත්තාට නිසැක වශයෙන්ම හිමිවී ඇත්තේ මරණ  දඩුවමයි. යම් අයුරකින් වංශ‍වතෙකු වරදකරුවෙකු වුවහොත් ඔහුට විශේෂිත වූ වදබන්ධනයන්ට ලක්වීමට සිදුවී ඇතුවා පමනක් නොව ඔහුගේ මුහුනේ මැකිය නොහැකි පච්ඡයක් කොටා ඇති අතර එය ඔහු කල වරදට අදාලවන සංකේතයක් වී ඇත.

අනාචාරයේ හැසිරීමද සාපරාධී අපරාධයක් ලෙස සලකන ලදි. යම් හෙයකින් විවාහක කාන්තාවක් මෙවන් අපරාධයක් කර හසුවුවහොත් ඇයව ප්‍රසිද්ධියේ අපහාසයට ලක් කලා පමණක් නොව ඇයගේ ආදරවන්තයා ගල් ගසා මරණයට පත්කෙරින. එසේම ඇයගේ ස්වාමිපුරුශයාට එම විවාහයෙන් ඉවත්වීමට හා වෙනත් කතක් හා විවාහවීමේ අවස්ථාවද සලසාදී ඇත. ඊට අමතරව යම් හෙයකින් විවාහක පුරුෂයකු ‍මෙවන් දෙයකට සම්බන්ධ වී හසුවුවහොත් මරණ දණ්ඩනයට ලක්කොට ඇති අතරම එම සම්බන්ධයට හේතුවූ කාන්තාව අවිවාහකනම් පමනක් ඔහුට ජීවිතදානය ලැබී තිබේ. තවත් ජීවිතදානය ලබා ගැනීමේ හැකියාවක් නම් පීඩාවට ලක්වූ තැනැත්තා එනම් පරදාර සේවනයේ යෙදුන කාන්තාවගේ සැමියා හෝ එම කටයුත්තේ යෙදුන පුරුශයාගේ භාර්යාව සමාව ලබා දීමෙන් නැවතත් ජීවත්වීමේ වාසනාව උදාකරගැනීමේ හැකියාව ලැබේ. එසේම මිනීමැරුමකදී චෝදනාව ලැබ වරදකරුවූ තැනැත්තාට අගතියට පත් වූ අයගේ පවුලේ අය විසින් සමාව දීම හෝ වන්දියක් දඩුවම ප්‍රසිද්ධියේ ලබාදෙන මොහොතේ ප්‍රධානය කල හැක.


දේපල
මායාවරුන්ගේ දේපල සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අල්ප බව කිය‍වේ. එයට හේතුවිය හැක්කේ ස්පාඥය ආක්‍රමණ සිදුවූ පසු ඔවුන් විසින් පැරණි මායා ලේඛණ ගිනි තැබීම හෝ විනාශ කිරීම විය හැක. කෙසේවෙතත් දැනගන්නට ලැබෙන කරුණු අනුව පොදුවේ ඉඩම් වල හිමිකාරීත්වය ලැබී ඇත්තේ වංශවතුන් හෝ පාලක පැලැන්තිය වෙතයි. එම ඉඩම් වල සාමාන්‍ය ජනයා සේවය කර ඇත. මෙම පහල ස්ථරයේ ජනයාගේ ඒ ඒ පවුල් වෙත විශාල ඉඩම් වලින් කුඩා ප්‍රමාණයේ කොටස් කෘෂිකාර්මික කටයුතු පිණිස ලබා දී ඇත. යම් අවස්ථාවක එම කුඩා ඉඩම් ඒකකය ලබාගත් තැනැත්තා මිය ගිය හොත් ඔහුගේ පුත්‍රයාට එම කොටස ලැබේ. එසේම මෙම දිළිදු ජනයා සිය ස්වාමියාට, ප්‍රාදේශීය පාලකයා වෙත කප්පම් ලබාදීමද සිදුකල යුතුවිය. එසේම දෙවියන් වෙනුවෙන්ද කොටසක් වෙන්කිරීම එදා සිදුවිය. වගාකටයුතු වලට අමතරව වාර්ශිකව සිය ශ්‍රමය ලබා දීමේ ව්‍යාපෘතිද තිබී ඇත. ඒවා නම් සිද්ධස්ථාන, මාලිගා හා පාලම් ඉදිකිරීම වැනි කටයුතු සදහායි.



මායාවරුන් අතර ණය ගනුදෙනු ආදියද සිදුවී ඇති අතර ණය සදහා පොලී ගෙවීමක් සිදුවී නොමැත. එසේම යම් කිසිවකු ණයගෙවීමට අපහොසත්වුවහොත් එය සාපරාධී අපරාධයක් ලෙස නොසැලකූ අතර ඔහුට ඒ වෙනුවෙන් ණය හිමියා වෙතට වහල් භාවයට පත්වීමට සිදුවේ. යම්කිසි හේතුවක් නිසා ණයගැතියා මරණයට පත්වුවහොත් ඔහුගේ පවුලේ උදවිය ඒ වෙනුවෙන් වහල්සේව‍යේ යෙදවූ බවද පැවසේ.

විවාහය
මායා පිරිමින් හා ගැහැණුන් සාමාන්‍යයෙන් විවාහ වී ඇත්තේ සිය දිවියේ දෙවන දශකය නිමා‍වේදී එනම් විසිවැනි වියට එලඹුන පසුවයි. ඇතැම් අවස්ථාවල වයස 16 හෝ 17 වන විටද විවාහප්‍රාප්තවූ අවස්ථාද නැතුවා නොවේ. කෙසේවෙතත් නිරන්තරයෙන්ම ඔවුන්ගේ විවාහ සිදුවී ඇත්තේ කපුවෙකු ආධාරයෙනුයි. එහිදී මනමාලයාගේ පියා කපුවා විසින් ඉදිරිපත් කරන තරුණියන් අතරින් සිය පුත්‍රයාට සුදුසුයයි හැගෙන තැනැත්තිය සිය ලේලිය කරගෙන ඇත. මෙහිදී සුවිශේෂ කරුණක් පිළිබදව අවධානය යොමුකර ඇත. එනම් මනමාලයාගේ ‍හා මනාලියගේ වාසගම එකක් නොවීමයි. එයින් ඔවුන් අපේක්‍ෂාකලේ එකම පරම්පරාවට අයත් දෙදෙනෙකු අතර විවාහය සිදුනොකිරීමට වගබලා ගැනීමයි. මායාවරුන්ගේ සම්ප්‍රධාය අනුව දෑවැද්ද දී තිබෙන්නේ මනාලයාගේ පාර්ශවයයි. ඒවා අතරට රෙදිපිලි හා ගෘහ උපකරණ ප්‍රධාන වී ඇත. ඒවා නව විවාපත් යුවලගේ මතුදිවිය සදහා ප්‍රයෝජනයට ගෙන තිබේ. මංගල උත්සවය මනාලියගේ නිවසේ පූජකයකුගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත. විවාහ වූ පසු නව යුවල වසර 6 -7 ක් පමණ මනාලිගේ නිවසේ ඇගේ දෙමව්පියන් සමග වාසය කර ඇත. ඉන්අනතුරුව මනාලයා විසින් සිය මාපියන්ගේ නිවසට යාබදව නව නිවසක් තනා ඇති අතර එහි මෙම දෙපල සිය ජීවිතාවසානය දක්වා වාසය කර ඇත. සාමාන්‍ය ජනතාව නම් එක් ස්වාමියකු හෝ බිරිදකගෙන් සෑහිමකට පත්වී ඇතත් වංශවතුන්ට නම් බහු විවාහයන්ද අනුමතව තිබී ඇත. දික්කසාදය සරල ආකාරයකින් සිදුවී ඇති බව පැවසෙන අතර එහිදී සබදකම් අත්හැර ඉවත්ව යෑමෙන් එය සිදුවී ඇත. මෙවන් විවාහය දෙදරායාම් බොහෝවිට සිදුවී ඇත්තේ එක් පාර්ශවයක නිසරු භාවය හෝ පවුලේ වගකීම් හරිහැටි ඉටු නොකිරීමයි. යමෙකු වැන්දඹුභාවයට පත්වුවහොත් ඔහු හෝ ඇය වසරක කාලයක් අවිවාහකව සිටිය යුතු අතර ඉන් අනතුරුව උත්සවාකාරයකින් තොරව නැවත තමන් කැමති අයෙකු හා විවාහවීමේ ඉඩකඩද මායා සමාජය තුල අනුගතව තිබී ඇත.

මායා ශිෂ්ඨාචාරය තුල දෙමව්පියන් විසින් සිය දරුවන්ට හොදින් ආදරය කල බව කියයි. සිය නිවස තුලදී ඇතිදැඩි කරන අවස්ථාවලදී සදාචාරාත්මක කරුණු කාරණාවලින් පෝශනය කර තිබේ. දරුවෙකු ඉපදුන දා සිට යෞවනයකු වන තෙක්‍ම විවිදවූ ආගමික චාරිත්‍රයන් යටතේ ජීවත් වන්නට සිදුවී ඇත. ගැහැණු දරුවෙකු නම් යෞවනියක වූ පසු තමන් විවාහ දිවියට පත්වන තුරු සිය නිවසේම වාසය කර ඇත. පිරිමි දරුවන් සාමාජීය භූමිකාවක් ඉටුකරන ලද පාඨශාලාවක් වැනි ආයතනයකට යැවූ අතර දිනපතා ඔවුන් නිවසට පැමිණ සිය පියාගේ කටයුතු වලටද උදව් උපකාර කල යුතුවිය. මෙම ස්ථානයේ නිසි අධ්‍යාපනයක් ලැබුන බවක් සදහන් නොවන අතර මීට අමතරව මායාවරුන් නිශ්චිත ආකාරයක පාසල් ව්‍යුවහක් තනා තිබූ බවක්ද සදහන් නොවේ. එසේම ‍අධ්‍යාපනයක් ලැබීමක් තුලින් කිසියම් වූ වෘතියකට ප්‍රවේශවීමක්ද සදහන් නොවන අතර එය තීරණය වී ඇත්තේ ඔවුන් දරන සමාජ තත්වය මත හෝ කිසියම් කාර්යයකට එම පුද්ගලයා දරන දක්‍ෂතාවය මත බව පැවසේ. කාන්තාවක් නම් ප්‍රධාන වශයෙන් පුහුණුවක් ලබා ඇත්තේ ගෘහ කටයුතු කළමනාකරණය කිරීම පිණිස වන අතර ඊට අමතරව ඔවුන් වින්නඹුමාතාවන් ලෙසද, ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන්නියන් ලෙස හා මගුල්තුලා සිදුකරන කපුවන් ලෙසද ක්‍රියාකර ඇත. වංශවත් මායා කතුන් පාලක පන්තියට අදාල ආගමික කටයුතු වල නිරතවීමද එදා සිදුවී ඇති අතරම සමහර අවස්ථාවලදී එම පංතියේ කාන්තාවන් එම ප්‍රදේශ පාලන කටයුතුවලද නිරත වී ඇත.

සාමාන්‍යයෙන් දේපල පැවරී ඇත්තේ පියාගෙන් පුතාටයි. එසේම මෙම ශිෂ්ඨාචාරය පිළිබදව ලැබෙන සාක්‍ෂි අනුව සමහර වෘත්තීන්, පදවිනාම, ආණ්ඩුවේ තනතුරු පියාගෙන් පුතාට උරුම වී තිබේ. මීට අමතරව මෙම දේවල් සහෝදරයාගෙන් සහෝදරයාට, මාමාගෙන් බෑනාටද උරුම වී තිබේ. කාන්තාවන්ට දේපල හිමිකම් ලැබීමේ අයිතියක් නීතිමය වශයෙන් නොතිබුනද පවුලේ නයතුරුස් වල හා වහල්භාව‍යේ කටුක හිමිකම නම් ලැබී තිබේ.යම් මිය ගිය අයෙකුට පුත්‍රයෙකු නොසිටියහොත් ඔහුට අයත් දේපල සොහොයුරාට හිමිවේ. පුතෙකු සිටියත් ඔහු ලාබාල නම් ඔහු ඒවා පාලනය කිරීමට සුදුසු වයසට පත්වන තුරු ඔහුගේ සහයට විශ්වාසවන්‍තයෙකු පත්කෙරේ. මෙම අය බොහෝවිට මිය ගිය අයගේ සොහොයුරෙකු වී ඇත.
මෙම යුගයේදී ව්‍යාපාරිකයන් හා වෘත්තීය ශීල්පීන් මධ්‍යම ශ්‍රේණියට අන්තර්ග්‍රහණයවී සිට ඇත.


පශ්චාත් යුගයේ ආගමික නායකත්වය
පාලන ඒකකයේ නායක පූජකයා ahaucan ලෙස හැදින්වූ අතරම ඔහුගේ රාජකාරී අතරට ප්‍රධාන පූජනීය උත්සව මෙහෙයවීම හා පූජකයන්ගේ හා වංශවතුන්ගේ අධ්‍යාපනය පිළිබද ප්‍රධානියාද විය.ඔහුට සහය වීමට ඔහුට පහලින් තවත් පූජකයන් පිරිසක් සිටි අතරම ඔවුන් සිද්ධස්ථාන රැකබලා ගැනීම, ආගමික යාතිකා කිරීම, දෙවියන්ගෙන් ඔවුන්ට දැනගන්නට ලැබෙනවායැයි කියන අනාගත අනාවැකි පැවසීමද සිදුකලහ.පෙර තිබූ සම්භාව්‍ය යුගයේදීද මීට සමාන රාජකාරී නැතහොත් දේවකාරීන් පූජකයන්ට තිබුනත් පූජකයන් සදහාම වෙන්වූ වෙනමම ආයතනික ව්‍යුවහයක් පැවතු‍නේ පශ්චාත් සම්භාව්‍ය යුගයේදී බව පැවසේ.

මේ කාලවකවානුවේ, එනම් 9 වන සියවස තුලදී Putun නැතහොත් Chontal ලෙස හැදින්වෙන නම මායාවරුන් කණ්ඩායමක් ඔවුන්ගේ උපන්බිම වූ මෙක්‍සිකොවේ වෙරළ බඩ ප්‍රදේශයේ සිට Yucatán වෙත සංක්‍රමණය වීම ආරම්භකර ඇත. මෙම Putun ලෙස හැදින්වූ මායාවරු රණශූරයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත වී ඇත. මෙම ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික කටයුතු සදහා ප්‍රවාහන මාධ්‍ය ලෙස ගංඟාවන් මෙන්ම ගොඩබිම් මාර්ගද යොදාගෙන තිබේ. එසේම ඔවුන් canoes යාත්‍රා යොදාගෙන විශාල භාණ්ඩ ප්‍රමාණයක් පටවාගෙන මුහුදු මාර්ගිකවද වෙලදාමේ යෙදී ඇති බව පැවසේ. එසේම එය ඔවුන් එම අවධියේ එම කටයුත්ත කාර්යක්‍ෂමවද සිදුකර ඇති බව කිවයුතුය. සුප්‍රකට දේශගවේශක Christopher Columbus ට පවා සිය සිව්වන සමුද්‍ර චාරිකාවේ යෙදී Honduras වෙත යාමේදී මෙවැනි canoes යාත්‍රාවක් හමුවූ බවට ඔහුද සටහන් තබා ඇත.

එදා වෙළඳ වරායක් ලෙස භාවිතා කර ඇති Xicalanco හෙවත් අද මෙක්සිකෝවේ Tabasco ජාත්‍යන්තර මට්ටමෙන් එකිනෙකා අතර අදහස් හුවමාරුකරගන්නා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එය මායාවරුන් අතර පමණක් නොව මෙක්සිකෝවේ උස්බිම් ප්‍ර‍දේශවල සිට බටහිර දෙසට හා මධ්‍යම මෙන්ම දකුණු දිග දෙසට යන වෙළඳ ජනයාගේ එක් කේන්‍ද්‍රස්ථානයක්ව පැවත ඇත. ධනවත් මායා වෙළෙන්දන් දීර්ඝ දුරක් දේශගවේශනයේ යෙදීම සදහා අවශ්‍ය සංවිධාන කටයුතුවලටද දායකවී ඇති අතර ඒ සදහා වැඩිදියුණු කරන ලද canoes මෙන්ම ගොඩබිම් මාර්ග ඔස්සේ ඒ කාර්යයන් පහසුවීම පිණිස ගල් ඇතුරූ මාවත්ද තනවා ඇත. එපමණක් නොව වෙළද මාර්ග වැටී ඇති අතරමග ව්‍යාපාරිකයන් රැගෙන එන බඩුබාහිරාදිය ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා හා ‍නවාතැන් ගැනීමට තානායම් පවා ඒ අවධියේ තනා තිබේ. එසේම මෙම ගමනාන්තයන් අතරතුරේ සොරසතුරන් ආදින්ගෙන වියහැකි ගැහැට වැලකීම සදහා ශක්තිමත් මෙන්ම ආක්‍රමණශීලී හමුදාවක්ද තැනීමට අමතක කර නොමැත.

ඒවගේම මෙම අවධි ත්‍රිත්වයම ගත්වට මායාවරුන්, ඇමරිකානු මහද්වීප වල විසූ අනිකුත් ප්‍රධාන ශිෂ්ඨාචාර දෙක වන ඉන්කා හා ඇස්ටෙක් යන ශිෂ්ඨාචාර දෙකට වඩා වෙනස් ලක්‍ෂන වලින්ද සමන්විත වූ බව පෙනී යන අතර එයින් කැපී පෙනෙනම කරුණක් වනුයේ මායාවරුන් කිසිදා තනි අධිරාජ්‍යයෙකු වටා ගොනුවී නොසිටි අතර ඔවුන් වෙන් වෙන්ව පිහිටුවා ගෙන තිබූ පාලන ඒකක වලට බැදී සිටිමයි.

මෙලෙස එදා ලෝකයේ අභිමානත් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරය පූර්ණ වශයෙන් පරිහානියට පත්වීම සිදුවන්නේ 1500 ගණන් වල සිද්දවෙන්නාවූ ස්පාඤය ආක්‍රමණ සමගයි. ඒ ගැන ඉදිරි ලිපියේදී විමසා බලමු.

18 comments:

  1. වෙනද වගේම අදත් කියන්න තියෙන්නෙ සුපිරිම ලිපියක් කියල තමයි. ඊළඟ කොටසත් පුලුවන් ඉක්මනටම දෙන්න.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! හයවන ලිපියෙන් හමුවෙමු...

    ReplyDelete
  3. robert knox ge pothe thiyena ape athitaya wage.

    ReplyDelete
  4. යම් කිසි සමාන බවක් තියෙනවා තමයි. හැබැයි අපේ ඉතිහාසය මෙතනින් වෙනස් වන්නේ අපේ රට මේ කාලවකවානුවේ බෞද්ධාගම සමග හොදින් බද්ධ වෙලා සිටි නිසා බිලිපූජා වගේ ‍ආගමික මනෝවිකාරයන්ගෙන් තොරවීම හා මායාවරුවගේ හුදකලා බවකින් තොරව ලෝකයේ බොහෝ රටවල් සමග සබදතා පවත්වමින් සිටීම වගේ දේවල්. කො‍හොමවුනත් ඒ ශිෂ්ඨාචාරයේ සංස්කෘතියත්, අපේ සංස්කෘතියත් අතර යම් සමාන බවක් තිබෙන අවස්ථාත් තියෙනවා...

    ReplyDelete
  5. අපොයි අපියි එයාලයි ගොඩක් සමානයි . එච්චර විතරක් නෙමේ අපේ සමහර අය තවමත් ඉන්නේ මයා ශිෂ්ටාචාරයේ . අර දෑවැද්ද..වගේ සිරිත් දිහා බැලුවම. දිනේෂ් මේ ලිපි පෙලට ගොඩක් වෙහෙසෙනවා වගේ .

    ReplyDelete
  6. බැලුවහම ඔවුන්ට උරුම වූ අතිවිශිෂ්ඨ සංස්කෘතියක් තිබිලා තියනවා මෙම සංස්කෘතිය පසුකාලීනව නිවරදි මගපෙන්වීමක් නොමැතිවීම හා පාලකයන්ගෙත් පූජකයන්ගේත් බල ලොභය නිසා වල් වදින්න ඇති , නමුත් ශිෂ්ඨාචාරයේ නශ්ඨාවශේෂ ඔවුන් සමග ඉතිරි වන්න ඇති............. ,
    ඉන්කා සහ ඇස්ටෙක් ශිෂ්ඨාචාර සම්භන්ධවත් ලිපි පෙලක් ඉදිරිපත් කල හැකිනම් ඉතා හොදයි එමෙන්ම ඇමරිකානු ඉන්දියනුවන් සම්භන්ධවත් තොරතුරු කතාබහ කල හැකිනම් හොදයි.........
    මෙවැනි ඉතා දීර්ඝ ලිපියක් ඉතා වෙහෙස මහන්සි වී සීරුවට ඉදිරිපත් කිරීම ස්ම්භන්ධව ස්තුතියි.

    ReplyDelete
  7. @Bindi - ඔබ කියන දේ සත්‍යයක්. ඔවුන් සහ අපි අතර සෑහෙන සමානකම් තියෙනවා. දෑවැද්ද ගත්තහම නම් ඒකේ වෙනසක් වෙන්නේ ඔවුන්ගේ දෑවැද්ද දෙන්නේ මනාලයායි. තව දෙයක් තමයි ඔවුන්ගේ සමහර වැරැදිවලට දෙන වහල් භාවය වගේ දඩුවම අපේ රටේදි එය වහල්භාවමය නොවුනත් ඉස්සර කාලයේ මම පෙර කියවපු යම් ‍ලිපියක තිබුනා කුලයෙන් පහලට දාපු අවස්ථා ගැන සදහන් වෙන. අපේ රටේ මෙම කුල ක්‍රමය කියන්නේ බොහොම සංවේදී කාරණයක් නිසා එයත් මෙයට සමාන බවක් නැතුවාම නොවේ. ඇත්තෙන්ම මම වැඩියෙන්ම වෙහෙසුන ලිපිපෙලක් කියල මෙම ලිපි පෙල කියන්න පුළුවන්. මෙවර මම වෙනදා තරම් හදිස්සියක් නැතුව වැදගත් යයි හැගෙන කරුණු කිහිපවිටක්ම සොයාබලා තමයි ලිපි වල ඒ ඒ කොටස් සකස් කරන්නේ. හැබැයි ඇත්තටම මේ ජනතාව ගැන කියන්න තියෙන තව දේවල් මේ වගේ කිහිපගුණයක්ම තියෙනවා. නමුත් සියළු දේ ඉදිරිපත් කරන්න යාම ප්‍රායෝගික නොවන නිසා මේ මට්ටමෙන් ලිපිය ඉදිරිපත් කරනවා...

    ReplyDelete
  8. @sameera - සමීර ඔබත් මෙම ලිපිපෙලට ඉතාමත් කැමැත්තෙන් සියළු ලිපි කියවන බව දන්නවා. ඒ ගැන මගේ ස්තූතිය ඔබට පුදකරනවා. මෙම ලිපි සෑදීමට උපුටා ගන්නා මුල් ඉංග්‍රීසි ලිපි කියවන විට සමහර විට සිතුන දෙයක් තමයි මේ අපේ රටේ ශිෂ්ඨාචාරයේ ප්‍රතිබිම්බයක් දෝ යන හැගීම. ඒ තරමටම අපේ සහ ඔවුන්ගේ එදා සිදුවූ සිදුවීම් වල යම් සමාන බවක් තියෙනවා. ස්පාඤය ආක්‍රමණවලින් වගේම ඔවුන්ගේ පාලක හා පූජක පැලැන්තියේ අනුවන කම් නිසාත් මෙම ශිෂ්ඨාචාරය අහිමිවීමට බලපාන්න ඇති. මොකද තේරුමක් නැති බිලි පූජා නිසා මහා පරිමාණයෙන් තමන්ගේ ජනතාවම මරා දැමීම නිසා අහිමි වූ මානව සම්පත ඉතිරිව තිබුනා නම් එයත් ආක්‍රමණිකයාට මුහුණ දීමේදී යම් ආධාරයක් වන බව නිසැකයි. මෙම ලිපි පෙල අවසන් කල වහාම නොවුනත් ඉන් පසුව ඇස්ටෙක් හා ඉන්කාවරුන් ගැනත් කතා කරන්න බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  9. ලෝකයේ කොහෙ තිබුණ ශිෂ්ඨාචාර අතරත් බොහෝ සමානකම් තියෙන බව පේනව. මොකද කොහෙ හිටියත් මිනිස්සු විදියට මිනිස් මනසේ ස්වභාවයම පෙන්නුම් කරන නිසා වෙන්න ඇති. බලාගෙන ගියාම බිලිපූජා වැනි කරුණු ඔවුන් ආගමික අර්ථයෙන් කලා. අනෙක් ශිෂ්ඨාචාරවලත් එයම වෙනත් අර්ථයන්ගෙන් කලා. ඒ බිලිපූජා විදියට නෙවෙයි දඞුවම් වැනි දේවල් විදියට. අපේ රටේ වුණත් බෞද්ධ ශිෂ්ඨාචායක් තිබුණත් අතීත රාජාණ්ඩු කාල සීමාවල ඉතා ම්ලේච්ඡ දඞුවම් ක්‍රම වලින් මිනිස්සු මරල තියෙනව සමහර වෙලාවට අවිචාරවත් විදියට.පාලකයන්ගෙ පුද්ගලික හේතුමතත් එහෙම වෙලා තියෙනව.දැන් කියා වෙනසක් නෑ ක්‍රියාවට නැංවෙන තාක්ෂණය ‍විතරයි වෙනස් වෙන්නෙ.
    ඉන්කා සහ ඇස්‍ටෙක් ශිෂ්ඨාචාර ගැනත් හොඳ ලිපි පෙලක් ඔබෙන් එළිදැක්වෙයි කියල බලාපොරොත්තු වෙනව. සියල්ලටම ස්තූතියි.

    ReplyDelete
  10. @``` Outsider``` - ස්තූතියි! මුලින්ම කියන්න ඕන ඔබ‍ අවසානයේ ඉල්ලා තියෙන ඉල්ලීම ඉදිරි අනාගතයේ ඉටු වෙනවා ඇති. ඉන්පසුව පළමුවෙන් ඔබ දක්වා ඇති අදහසට අපි කාටත් එකඟවෙන්න වෙනවා. මිනිස් මනසේ ස්වාභාවය පොදුවේ ගත් කල කුමන ජන කොටසකවුවත් එකිනෙකට සමානකම් ති‍බිය හැකියි. ඒ වගේම අපේ ‍රටේ වුනත් අසරණයා හැමවිටම බලවතාගේ පීඩනයට ලක්වුනා. ඒක කොයි කාලෙත් විවිද මුහුනුවරින් සිදුවෙනවා...

    ReplyDelete
  11. obata hakinam serial minimaruvo sumbhanda lipi pelak ediripath karanna.kahavatteth inna nisa vadhagath vavi.

    ReplyDelete
  12. මීට පෙර වෙනත් බ්ලොග් සටහනක serial killers ගැන ලියන ලද ලිපියක් තිබුනා. ඊට වඩා වෙනස් තොරතුරු ලැබුනහොත් ඒ ගැනත් ලියන්නම්...

    ReplyDelete
  13. බිලි පුජා අපේ රටෙත් සිදු වෙලා තියෙනවා .මහනුවර යුගේ අවසන් කාලය දක්‌වම වසරකට වරක් තරුණියක් මහනුවර බහිරව කන්දේ යම් තැනක ගසක බැද බිලි පුජාවක් කර ඇති බව ජනප්ප්‍රවද වල සදහන්වෙනවාබහිරවකන්ද යන නමට හේතුවත් එය විය හැකි බවට විශ්වාසයක් ඇතේ.

    ReplyDelete
  14. වැදගත් කරුණක්, ඒ ගැනත් සොයා බලමු...

    ReplyDelete
  15. apocalypto film එකෙත් මායාවරුන් ගැන සදහන් වෙනවා නේද අය්යා.නියමයි අය්යා.

    ReplyDelete
  16. @මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! ඔව් apocalypto එකේදීත් ඇමරිකානු පුරාණ ශිෂ්ඨාචාරවල ඇතුලාන්තය හොදින් කියවෙනවා...

    ReplyDelete
  17. Oy nam niyamai aiye... Supirima supiri ahhh...Godak mahnsi wela thiyanawa...

    ReplyDelete
  18. @NC LABZ everything on your hands!!! - ස්තූතියි! ටිකක් මහන්සිවෙන්න නම් වුනා. කමක් නැහැ. ගොඩක් දේවල් දැන ගන්න ඇති‍නේ...

    ReplyDelete