Friday, November 22, 2013

අදවැනි නොවැම්බර් 22 දිනක් යෙදුන සිකුරාදාවක, අදට හරියටම වසර 50 කට පෙර එම ආකර්ශනීය මිනිසා ඔවුන් විසින් මරා දැමූහ

එදා දිනයත් නොවැම්බර් 22 වෙනිදාය. එසේම එදිනද අදවැනි සිකුරාදාවකි. හරියටම දිනය 1963 නොවැ. 22 වෙනි සිකුරාදා නැතහොත් අදට වසර 50 කට පෙරය. එදින ඇමරිකාවේ ටෙක්සාස් ඩලාස් හිදී වේලාව දහවල් 12.30 වේලාව සටහන් වූයේ ඇමරිකානු ඉතිහාසය වෙනස් කළ මොහොතයි. වෙඩි ප්‍රහාර තුනකින් ඇමරිකාව පමණක් නොව ලෝකයේ ඇතමෙකුගේ ආදරයටත්, තවත් අයෙකුගේ වෛරයටත් පාත්‍රවූ එම කඩවසම් මෙන්ම දකිනා ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නා සුළු එම මිනිසා සදහටම ලොවෙන් සමුගත්තේය. ඔහු ඇමරිකාවේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතාය.

ඇමරිකානු ඉතිහාසයේ පහළ වූ බොහෝ ජනාධිපතිවරුන්ට සාපේක්‍ෂව මෘදු ගතිගුණ ඇති, ලෝක සාමය වෙනුවෙන් ඉතා අසීරු තීරණ ගත් එම යුග පුරුශයාට එම අසීරු තීරණම ඇතැම්විට සිය ඉරණම තීරණය කරන්නටත් හේතුවන්නට ඇති. ඔහුට ආදරය කළ පිරිස් බෝහෝ වූහ. ඒවගේම ඔහුට වෛර කළ පිරිස්ද ඔහුගේ රටේ මෙන්ම ඉන් පිටතත් විසූහ. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ලී හාවි ඔස්වල්ඩ් නම් අයෙකුට ඔහුගේ මරණයේ වගකීම නිළ වශයෙන් පැවරුවද එයට සම්බන්ධවූවන් බොහෝ ඇති බව ප්‍රසිද්ධ රහසකි. එයට ඔහුගේම රජයේ වගකිව යුතු අය විශාල පිරිසක් සම්බන්ධ බව බොහෝ කරුණු කාරණා වලින් පැහැදිලි වුවත් එය හෙළිකරගැනීමට එදා මෙන්ම ඊට පසුකාලීනවද පනවා ඇති බාධක බොහෝය.

සීතල යුද්ධයේ දැඩි උණුසුම පැන නැගුන ඔහුගේ කාලසීමාවේදී ඔහු විසින් ගත ඇතැම් තීරණ වල ලිහිල් භාවයට එරට හමුදාවේ මෙන්ම දේශපාලනයේද බොහෝ දෙනෙකු අකමැතිවුනත් එම තීරණ නිසා ලෝක විනශයකින් ලෝකය බේරුන බව මධ්‍යස්ථ මතදාරීන් අදටත් සිහිකරන්නේ කෙනඩි මහතා පිළිබදව ගෞරවයෙනි. ඇතැමි විට සෝවියට්දේශය වැනි අංකඑකේ එළිපිට පෙනෙනා ලෙස සිටි සතුරා පවා තිරයෙන් පිටුපස සිට තමන්වත් විනාශකරන්නට හේතුවිය හැකි තීරණවලින් ඔහු වැලකීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙන්ටත් ඇති. එහෙත් සැබෑ සතුරා තම සුපිරි බලවත් ප්‍රතිවාදීයාට වඩා තමන්ගේ රටේම සිටි සතුරන් විය හැකි බව ඔහුට මෙන්ම ඔහුගේ හිතෛශීන්ටත් නොදැනෙන්නට ඇති. 

ජනපති කෙනඩි ගැන ලිපි කිහිපයක්ම ලියාගෙන ගොස් ඇති සහ තවත් ලියන්නට ඇති මේ අවස්ථාවේ ඒ ලිපි පෙලෙන් බැහැරව මෙම ලිපිය ලියන්නට යෙදුනේ ඔහු මිය ගොස් හරියටම වසර 50 ක් පිරෙන මෙම දිනයේ ඔහු පිළිබදව සිහිපත් කිරීමට අහඹුලෙස මඟපාදමිනි. ඒ මෙම සිදුවීම පිළිබදව පූර්ව නිරීක්‍ෂනයකින් තොරව කලකට ඉහත ගන්නා ලද සේයාරූ පිළිබදව කෙටි සටහන් තබා යන අවස්ථාවක, ජනපති කෙනඩි පිළිබදව කෙටි සටහනක් තබනවාට වඩා සවිස්තරාත්මකව කාරණා මතුකිරීම තුලින් මීට වසර 50 කට මදක් වැඩි හෝ මදක් අඩු කාලවකවානුවේ ලෝකයේ සුපිරි බලවතුන් හා ඔවුන්ට මැදිවුනු අනිකුත් රාජ්‍යයන් මුහුණ පෑ "දේශපාලනික කුණාටු" වල ස්වභාවයද හොදින් ගෙන දැක්වීමට හැකි වන බව දැනුන හෙයිනි.

ඉතින් තවත් කාරණා මෙම සොදුරු මිනිසා පිළිබදව ඉතිරිව තිබියදී එවා පිළිබදව වඩාත් ගැඹුරින් කතා කිරීමට ඉඩතබා මේ ලිපිය අවසන් කරන්නේ අදටත් ඇමරිකානු සලකුණක් සේ සලකන 35වන ජනපතිවරයාගේ පාලන කාලය යනතම් වසර 3 කටද, වසර 46 කට මදක් වැඩි ආයුකාලයක් මෙලොව වාසය කළද ඔහු පිළිබදව වූ අනස්මරණය තවත් වසර ගණනාවක් තුල පවා සිදුකෙරෙන්නේ ඔහු මිනිසුන්ට සමීප වූ නායකයෙකු හෙයිනි.

5 comments:

  1. නව හැවිරිදි කුඩා දරුවකු ලෙස, මේ සිද්ධිය ගුවන් විදුලියෙන් ඇසුවා මතකයි. දෙමවුපියන් බොහොම උනන්දුවෙන් ඒ ගැන කතාකල නිසාත්, පුවත්පත්වල පොල්ගෙඩි අකුරෙන් පලවී තිබුන නිසාත්, පසුකාලයේදී මේ ගැන විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් කරුණු අධ්‍යයනය කර ඇති නිසාත්, මේ වටිනා මිනිසා නැතිවීම, ලොවටම සිදුවූ පාඩුවක් බව වටහාගත්තා. මේ අනුස්මරණ ලිපිය අතිශයින් අගය කරනවා.

    ReplyDelete
  2. ඕක සී .අයි. ඒ එකෙන්ම කරපු එකක්ලු නේද? සමහරු කියනවා ඇමරිකාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදී රාජ්‍ය තන්ත්‍රය කතෝලික කෙනඩිව මරා දැමුවා කියලත්.

    ReplyDelete
  3. verry important....i never heard..... thanks you so much.

    ReplyDelete
  4. තවත් එක අභිරහසක්

    ReplyDelete
  5. මේ මතක් කිරීම ම බොහොම වටිනවා දිනේෂ්..........

    ReplyDelete