Saturday, July 28, 2012

5s හෝ Feng-Shui වලින් තොරව අපේම කියා ඵලදායිතා සැලැස්මක් සාදා ගත නොහැකිද?

මේ ලිපිය ලියන්නට සිතුනේ පසුගිය දිනක නරඹන්නට ලැබුන National Geographic Mega factories වැඩසටහන් මාලාව යටතේ නිර්මාණය කරන ලද TATA Nano මෝටර් රථය නිෂ්පාදනය හා එම TATA ආයතනය පිළිබදව වැඩසටහන දුටු පසුයි.

කුමක්ද මේ වැඩසට‍හනේදී දුටු විශේෂිත කරුණ?

නිශ්චිතවම කියනවා නම් එම වැඩසටහනේදී දැක්වුන නවක කාර්මිකයන් එම ආයතනය විසින් පුහුණු කිරීමේදී මෝටර් කාර්මික අධ්‍යාපනයට අමතරව භාවනා හා තවත් අධ්‍යාත්මික හරයන් වර්ධනය වන පුහුණුවක්ද ලබාදීමයි. තරගාකාරී වාණිජ සමාගමක් සහ ඉන්දියාවේ තෙවන විශාලතම සමාගම ලෙස පවා සැලකෙන මෙම සමාගම මෙවැනි පුහුණුවක්ද ලබාදීමට හේතුවක් ලෙස සලකනුයේ  ඔහු හොද මිනිසෙකු නොවේ නම් ඔහුට හොද රථයක් තැනීමද කළ නොහැකි බවයි බවයි (He can't build a better car, without also becoming better  Human being).

ඉන්දියානුවන්ගේ මෙම සංකල්පය සත්‍යයකි.යමෙකු හොද වෘත්තිකයෙකු හෝ අති දක්‍ෂයෙකු විය හැකි වුවත් ඔහු සතුව කරුණාව, අවංකකම, අනන්‍යන්ට ගරු කිරීම ආදී ‍යහපත් ගුණාංග නොවේ නම් එම පුද්ගලයාගේ පැවැත්ම දීර්ඝකාලීන නොවේ. ‍බො‍හෝවිට අපට හමුවන දක්‍ෂයන් හෝ නිපුණතාවය ඇති අය සතුව මනා ශිල්පීය දැනුම ඇතත් අනෙකුත් ගුණාංග වල හීනතාවයන් හේතුකොට ගෙන ඇතැම් විට එම ක්‍ෂෙත්‍රයේ හැකියාව ඇති වෙනත් කාර්මිකයකු සිටියහොත් ඔහුගේ සේවය ලබාගන්නවා මිස පෙරකී පුද්ගලයන් හැකි නම් දුරස්කිරීම බොහෝවිට දැකිය හැකි කරුණකි. ආයතනික මට්ටමෙන්ද මෙ‍වැනි දේවල් බොහෝවිට සිදුවන අතර සමහර විට තමන් දක්‍ෂයන් යයි ඔළුව උදුමවා ගෙන යහපත් ගති පැවතුම් ඈත්කොට සිටින පුද්ගලයන් වෙතින් අන්‍යයන්ට සිදුවන බාධාද බොහෝය.

මෙවන් මනුශ්‍ය දුර්වලතාවයන් අඩුකර ගැනීමට ඉන්දියානුවන් භාවිතා කරන වෘත්තිය පුහුණුවේදී භාවනාව සහ අනෙකුත් හරපද්දතීන් වර්ධනය කර ගැනීම උදෙසා වූ පුහුණු සැසියන්ද මහගු පිටුවහලකි. එහෙත් ඉන්දියාවෙන් ලැබෙන බොහෝ දේ වැලදගන්නා මෙරට සමාජය මෙවන් වූ වැදගත් කමක් ඇති දේවල් අප රටේ ඇති පුහුණු පාඨමාලා සදහා යොදා ගන්නවාදැයි මා නම් නොදනී. ඇතැම් විට ආයතන කිහිපයක් හෝ මෙවන් ක්‍රමවේදයන් භාවිතා කරනු ඇතැයි අනුමාන කරන අතර ඒ තුලින් නිපුණතාවය ඇති වෘත්තිකයන් බිහිකිරීම මෙන්ම "මිනිස් ගතිගුන" ඇති මිනිසුන් බිහිකිරීම තුලින් ආර්ථික ඵලදායිතාව මෙන්ම අනාගතයේ යන්ත්‍ර වැනි මිනිසුන්ට වඩා මිනිස්කම හදුනන මිනිසුන් බිහිකිරීමද තම යුතුකමක් සේම සත්කාර්යයක් ඉටුකළ ලෙස ස්තූතිවන්ත විය හැකිය.

5s කෝකටත් තෛලයද?

80 දශකයේදී ජපානයෙන් බිහිවූ එස් 5 නැතහොත් 5s සංකල්පය ලංකාවේදීද පසුගිය කාලවකවානුව පුරා කතා බහට ලක්වුනි. මෙම සංකල්පය ජපානයේ ක්‍රියාත්මක වූ පසු වඩාත් ජනප්‍රිය වූවත් පසුගිය සියවස් කිහිපයක සිටම ලෝකයේ බො‍හෝ රටවල මීට වඩා වෙනස් නම් වලින් යම් යම් වෙනස් කම් ඇතිව භාවිතයට ගත් බවද පැවසේ.

කෙසේවෙතත් දෙවන ලෝක යුද්දයට පෙර හා යුද්දයේදී කුරිරුම අත්දැකීමකට පවා මුහුණ දුන් පසුත් දැවැන්ත ශක්තියකින් නැගී සිටි "ජපනා හපනා" ලෙස මිනිසුන් අතර  පිළිගැනීමට ලක්වීමත් ජපානයේ මෙම සංකල්පය වඩාත් සුමට හා ජනප්‍රිය ලෙස යොදා ගැනුන නිසාත්  ජපානය ආදර්ශයට ගැනීමට ගිය බොහෝ රටවල්ද මෙම එස් 5 ක්‍රමයට නැඹුරු වීමට එක් හේතුවක් වන්නට ඇත්තේ "ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙයි" යන න්‍යාඥයද අනුගමනය කර විය යුතුයි.

වි‍ශේෂයෙන් ආසියාවේ පළමු කාර්මිකරණයට ලක්වූ රට ලෙස මෙන්ම අභිමානවත් සංස්කෘතික සමාජ වටපිටාවක් ඇති ජපානයේ විචිත්‍රවත් බව ඔවුන් අදහන ෂින්ටෝ දහමෙන් පවා ලැබුනි. එසේම ඉන්දියාවටත් වඩා බමුණුකරනයට ලක්වී ඇද්දැයි සිතෙන ගතානුගතික සිතුම් පැතුම් ඇති ලංකාවට වඩා ජපානයේ ඇති නිදහස මානසික වටපිටාව කාර්යශූරමෙන්ම කලාත්මක ගතිපැවතුම් ඇති ජපන් වැසියාට අමුතු බලහත්කාරකමකින් 5s කාවද්දන්ට හේතු නොවෙන්නටත් ඇති බව සත්‍යයකි.

එහෙත් විවිද හේතුමත කළමනාකරණය දුර්වල වන ලාංකික ආයතන වලට සිය බිදවැටීම වලකා ගැනීමට 5s ක්‍රමය මත එල්ලුන පමනින් අපේක්‍ෂිත අරමුණ ඉටුකරගන්නට හැකිවුනිදැයි සැක සහිතය. පෞද්ගලික ආයතන තුලදී නම් සිය ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කාර්යක්‍ෂමතාව හා පිළිවෙලකට වැඩ කිරීම මෙන්ම කළමණාකාරීත්වයට සිය සේවයකයන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලකට නැඹුරු කළ හැකිවූවත් අමුතුවෙන් පැහැදිලි කිරීමක් අනවශ්‍ය රාජ්‍ය ආයතනවලටත් මෙම ක්‍රමය ඇබ්බැහිකරන්නට යාමෙන් සිදුවූ දෙයක් වුනිදැයි ගැටළුවකි. විශේෂයෙන් ආදර්ශ ලෙස ඇතැම් ආයතන මෙම ක්‍රමය අනුගමනය කරන බව අපට පවා ඇතැම් වැඩමුළුවලදී Slideshow ආධාරයෙන් පෙන්වා මෙම එස් 5 ක්‍රමයේ විශිෂ්ඨත්වය ඒ වෙනුවෙන් ගෙන්වන සම්පත් දායකයන් පෙන්වූවත් ඒවා ක්‍රියාත්මක වූ බවක් නම් දැක නැත. එසේම ප්‍රාදේශීය සභා වැනි රාජ්‍ය ආයතන වල ‍මෙම ක්‍රමය අනුගමනය කරන බව පවසා එම ගොඩනැගිල ආදියේ යායුතු පැත්ත ආදිය සලකුණු කර ඇති මුත්, මෙම ක්‍රමය ගැන දන්නා හා එහි වැදගත් කම ඇති අය මිස හැකි ඉක්මනින් රස්තියාදු නොවී නැවත සිය ගමට යන්නට පැමිණෙන ගැමියාට මෙම එස් 5 ක්‍රමයේ ඇති වැදගත් කමක් හෝ එය දැනගැනීමට අවශ්‍යතාවයක් තිබේදැයි ප්‍රශ්නාර්ථයකි.

කෙසේවෙතත් මෙයින් මෙම ක්‍රමය ලංකාවට ඔබින්නේ නැති දෙයක් ලෙස හෝ ඵලක් නොමැති දෙයක් ලෙස අදහස් නොකරමි. මෙවන් ක්‍රමයක් ක්‍ෂනිකව අනුගමනය කරවිය නොහැකි දෙයක් ලෙස පෙනෙන අතර පාසල් කළ සිට කුඩා දරුවාගේ පටන් මෙවැනි ක්‍රම උගන්වීම වඩාත් කාලෝචිතය.

අපිළිවෙල වලකා ගැනීම ‍Feng shui වලින් කර ගැනීමට හැකිවේද?

අපි කොච්චර අනුන්ට බන කිව්වත් මා ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙකුට අපිළිවෙල කියන දුර්වලතාවයෙන් මිදිය නොහැකිය. මේ කතාව ලියන්නටත් පෙර මා පවා මේ ගොඩට ඇතුළු කළේ පසුව එය කරන්නට ගොස් අමතකවුවහොත් අනිවාර්යයෙන්ම කවුරුන් හෝ කමෙන්ටුවලදී මා සුපිරයටම පිළිවෙල අනුගමනය කරන්නෙක්ද ඇසුවොත් කට උත්තර නැතිවෙන නිසාය. වෙනකාගැනත් කියනවාට වඩා මම ගැනම කියනවා නම් මම කොච්චර හොදට පාවිච්චි කරන පරිගණක මේසය හෝ ලියන මේසය පිළිවෙලට තබා ගත්තත් වැඩිම උනොත් දින දෙකකට වඩා ඒ පිළිවෙල මේසය මත දැකගත නොහැකිවේ.

එවැනි දේ පෞද්ගලිකව අපහසුතාවයට ලක්කරන කාරණා වුවත් තවත් අය අන්‍යයන් පවා අපහසුතාවයට ලක්කරන අපිළිවෙල හා අශීලාචාර හැසිරීම් පෙන්වයි. එයට හොදම ආසන්නම උදාරහණයක් කියනවා නම් ඊයේ නුවරට ආසන්න හන්දියක මාර්ග තදබදයක් හොදින් පවතිද්දීත් රියදුරාගේ පැත්තේ අසුන්ගෙන සිටි අයෙක් පාර දෙසට එල්ල කළ බුලත් කෙල පහර ඒ අසලින් යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටි මාගේ සම්පූර්ණ වම්පස ප්‍රදේශයම මුහුනේ සිටි කකුල් දක්වාම නාවන්නට සමත්වුනි.

දැන් දියුණු රටක් යයි වේදිකාගානේ බොහෝ දෙනා පවසන මෙවැනි දේ මෙහි තවමත් දැකිය හැකි සාමාන්‍ය දේවල්ය. බටහිර සුද්දන්ගේ අශීලාචාර වල්කම්, ඔවුන් වැරදි කරනවා නම් අපිත් කරාට මොකදැයි පවසමින් බෞද්ධ සංස්කෘතියේ වටිනාකම කියාදෙන, මේ අපේ රටේ උසස් දේවල් යයි විවිද දේ පවසතත් වලකා ගතහැකි එනම් තමන් මේ කරනා දෙයින් අනෙකා අපහසුවට ලක්වෙනවාදැයි බොහොම කුඩා සිතුවිල්ලකින් වලකා ගත හැකි දේවල් තමන්ටම නවත්වා ගත හැකිමුත් ඒ දේ ‍නොකරමින් චීනයෙන් රැගෙන ආ Feng shui කලාවෙන් තම දියුණුව පැතීම විහිළුවකි.

චීනෙන් බිහිවූ තවත් සම්ප්‍රධායක් වන Feng shui වසර දහස් ගණනක සිට ක්‍රමිකව වර්ධනය වූ හා භාවිතා වූ ක්‍රමවේදයකි. එනිසා එය චිනයේ මිනිසුන්ට හොදින් හුරුපුරුදු සහ අනුගමනය කළ දෙයකි. එය හරියට අපේරටේ වසර දෙදහස් ගණනක සිට පැවැත එන බුදුදහමේ ධර්ම කරුණු ඕනෑම බෞද්ධයෙකු ආයාසයකින් තොරව අනුගමනය කිරීම හා සමානය. එබැවින් චීනයේ මිනිසුන්ට සාමාන්‍ය වූ හා පිළිවෙල හා කාර්යක්‍ෂමතාව හොදින් හුරුවී සිටින ඔවුනට මෙවන් කලාත්මක ශාස්ත්‍රයන් තවදුරටත් සිය කාර්යයන් පහසුකරගන්නා දේවල් මිස අපේ රටේ මෙන් මුදල් ගෙවා හෝ ආයාසයෙන් හුරුකරගත යුතු දේවල් නොවන්නට ඇත.


පසුවදන : මෙම ලිපිය ලියන්නට යෙදුනේ කිසියම් ක්‍රමයක් බැහැර කරන්නට හෝ ඒවා එම රටවලට ගොස් හෝ මෙහි සිට හදාරා මෙරට මිනිසුන්ට පුරුදු පුහුණු කරන අය අපහසුතාවයට ලක්කිරීමට නොවේ. බො‍හෝදෙනාට තමන් විසින්ම හදාගත හැකි දේවල් බොහෝ තිබුනත් ඒවා හදා ගැනීමට උත්සාහයක් නොදරමින් පිටින් ගෙනෙනා ආගන්තුක ශිල්පයක් ඔස්සේ ඒවා හදාගන්නට යාමෙන් ඇතිවන ඵලයක් නොමැතිබව අත්දැකීමෙන්ම දන්නා හෙයිනි.

19 comments:

  1. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වනතුරු මොන ක්‍රමයෙන් වත් ඵලක් නැත.

    ReplyDelete
  2. mewwa kiyala wadak na ban.

    ReplyDelete
    Replies
    1. ඔව් කොච්චර කිව්වත් එච්චර තමයි...

      Delete
  3. හ්ම් හ්ම්....

    ReplyDelete
  4. කාලෙන් කාලෙට එක එක එව්ව එනව..අපේ මිනිස්සුත් හායි හූයි ගාල වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වල , උපදෙස් පත්‍රිකා ගහල බෙදා හැරල ඔව්ව පටන් ගන්නව සෝඩ බෝතලේ ඇරිය වගෙ...ටික දවසකින් මොකවත් මතක නෑ. අර පරණ පුරුදු ක්‍රමේට ආපහු ගිහිල්ල.

    මමත් එකඟයි දිනේශ් ගෙ අදහසට. අපේ හැදියාවට පාරම්පරික ජීවන රටාවට නොගැලපෙන මොන ක්‍රමේ බලෙන් කා වද්දන්න හැදුවත් අසාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර කිව්වත් අපේ නූතන ඉතිහාසය පටන් ගත්තේ 1948 න් පසුවයි.ඉතින් අපි දැන් අපේ පරණ දේවල් නැවත අධ්‍යයනය කරල මේ සුදුසු දේ පිටින් අරගෙන අපිට සුදුසු ආකාරයකට පරිවර්ථනය කරගැනීමයි සුදුසු...

      Delete
  5. බුලත් කෙල පාර අපේ සිංහල බ්ලොග් කාරයෙක් ගෙන් වත් එල්ල වුන එකක්ද කියල හොයල බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ බුලත් කෙල පාරේ හැටියට එහෙම කෙනෙක් නම් වෙන්න බැහැ...

      Delete
  6. ඔය බුලත් කෙළ සංග්‍රහය මමත් ඕන තරම් විඳලා තියනවා.. ඒ වෙලාවට එන කේන්තිය කියන්ඩ වචන නෑ..

    අපි විනය පිරිහුන ජාතියක් බව තර්කයකින් යුතුව පිළිගන්ඩ ඕනා...ඕවා හදන්ඩනම් මුල ඉඳලම ආකල්ප වෙනසක් අවශ්‍යයි.. ලංකාව දියුණු කරන්ඩනම් අනිවාරයයෙන්ම දරුණු පාලනයක් අවශ්‍යයි.. නැත්තම් මලාට බෑ..

    පාර පනින්ඩ කහ ඉරට ඇවිදලා මම කී සැරයක් සමච්චල් විඳලා තියනවද කියලා මට මතක නෑ.. ඒක එච්චරට සුලබ දෙයක්.. නිකන් පිස්සෙක් දිහෑ බලනවා වගේ බලන්නෙ එතකොට..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේට එකඟයි. ඇත්තටම ලංකාවේ විනය බහුතරයක් දෙනා අතර ඇත්තෙම නැහැ. බොරු ආගමික උන්මාදයකුයි, වර්ගවාදයයි, ජාතිවාදයයි ගැන කතා කරමින් සිටියට විනයක් කියල නාමයක් නැහැ. ඒත් ඇමරිකාවට, යුරෝපයේ රටවලට සංස්කෘතිය සභ්‍යත්වය, උන් කොල අතු අදිනකොට අපි අරම දේවල් කළා මෙහෙම දේවල් කළා කියනවා මිසක් ඒ රටවල ක්‍රියාවේ යොදවන විනය, සහ තවත් සමාජ සාරදර්ම රැසක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම අමතක කිරීම හා ක්‍රියාවේ නොයෙවීම තමයි සිද්ද වෙන්නේ...

      Delete
  7. ඔබ කියන කතාවට එකඟයි. එස්5 වගේ ක්‍රමයක් දැනටමත් වෙනත් ක්‍රම වලට හුරු වුණ පද්ධතියකට ඇතුල් කරන එක කරන්න අමාරු වැඩක්. එස්5 සංකලිප ටික ලංකාවෙ හරියට තේරුම් අරගෙන කරනවද කියලත් සැක සහිතයි. මොකද එස්5 කියල ගොඩක් තැන්වල තියෙන්නෙ බාහිරව අලංකාර කිරීමක්. නමුත් එයින් වියු යුත්තේ රාජකාරි පද්ධතිය කාර්යක්ෂම වීමක්. ලංකාවෙ රජයේ ආයතන ‍වැඩි ගණනක එස්5 කියන්නෙ හරියට කුණු ටික පාපිස්සට යට කරනව වගේ වැඩක්. නමුත් හරියට එස්5 අනුව වැඩ සිද්ධ වෙන ආයතන නැත්තෙ නෑ. ගොඩක් විට ඒවයෙ එස්5 කියල අමුතුවෙන් එකක් ක්‍රයාත්මක වෙන්නෙත් නැතිව ඇති ;-)

    මොන ක්‍රමයක් හඳුන්වල දුන්නත් ඒක අධීක්ෂණය නොවුණොත් හරි යන්නෙ නෑ. මම හිතන්නෙ ඕක වෙන්න ඕන පොදුවේ එක සංකල්පයක් අනුව නෙවෙයි. යම් යම් රාජකාරි වල ස්වභාවය අනුව ඒකෙ කාර්යක්ෂමතාවය වැඩි කරන තනි තනි ක්‍රම හොයාගෙන ඒව ක්‍රියාවේ යොදවන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙහෙම දෙයක් කළොත් මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි. ඒ තමයි Allowance එකක් හරි වසරක් අවසානයේ මේවා රකින අයට යම් ත්‍යාගයක් ලබා දුන්නොත්?

      Delete
  8. ගොඩක් තැන්වල ,විශේෂයෙන් ආන්ඩුවේ ආයතන වල S5කියල තඩි බෝඩ්,කටවුට් ගහල තියෙනව.ඒත් වැඩක් කරගන්න යන්න ඕන බලන්න. උදාහරනයක්...කියන්නම් උප්පැන්නයක් විනාඩි 5න් කියල ගහල තියෙනව..ලේකම් කාර්්‍යාලවල..ෆෝම් එක එතනින් අරගෙන ආයිත් තකහනියක්..මුද්දර ගන්න කඩයක් හොයාගෙන යන්නඕන. ඊට පස්සෙ කියනව ඒ මහත්තය සීට් එකේ නැහැ..වි.15කින් එන්න කියල.ඔන්න තත්වේ

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ බෝඩ් කියෙව්වෙ නැද්ද. උප්පැන්න කොපියක් ගද්දි ගේන්න ඕන දේවල් ඒ බෝඩ් වල ලියල තියෙන්න ඇති.

      Delete
    2. නැහැ ෆෝම් එකේනෙ ඒක ගහල තියෙන්නෙ.එතකොට අපි එතන්ට ගිහිල්ලනෙ ෆෝම් එක ගන්නෙ.ඉතින් මුද්දර ගාස්තුත් එතනින්ම ගත්තනම් ලේසිනේ.5S වල කියන්නෙ කාර්්‍යක්ෂමතාවය ගැනනෙ. මම කියන්න උත්සාහ කලේ ඒක.මට මේ ලඟදි උන දෙයක්. අනික ගේන්න දෙයක් නැහැනෙ.උපන්දිනය ,නම නෙ ඕන. අංකය තියෙනව නම් ගාන අඩුයි.නැතිනම් ගාන වැඩියි.

      Delete
    3. ඔය තැන්වල වැඩ කරගන්න ගියාම විදින්න වෙන දේවල් වලට හිත හදාගෙනම තමයි යන්න ඕන...

      Delete