-->

Wednesday, January 8, 2014

ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමග කෙනඩි පවුල යාවුන හැටි....

මෙම ලිපියද පසුගිය "අඳුරු නොවැම්බරයට පෙර කෙනඩි පවුලේ විරල තොරතුරු"  ලිපිය හා සම්බන්ධවේ.

කෙනඩි පවුලේ දරුවන්ගේ විවාහ කටයුතුද සිදුවිය යුතු වූයේ කෙනඩි පවුලට සෑම අතින්ම ප්‍රයෝජනවත් පවුලකින් වියයුතු බව ජෝ කෙනඩි (ජ්‍යෙෂ්ඨ) ගේ නිගමනය විය. මෙම විවාහයන් හරහා මෙන්ම ඔවුන්ට සම්බන්ධ අනෙකුත් නෑදැහිතමිතුරන් ඔස්සේ කෙනඩි පවුලට ඇමරිකානු ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද සබඳතාවයන් වර්ධනය කර ගත්තේය.

ජනපති කෙනඩි විවාහ වූ ජැකී බොව්වියර් ඇමරිකාවේ ඉතා ධනවත් කතෝලික පවුලකට අයත් තැනැත්තියක් වූ අතර ඇය බුද්ධිමත්භාවයෙන්, රූපයෙන්, ධනයෙන් මෙන්ම සැබෑවටම ඇමරිකානු ඉහල පැලැන්තිය නියෝජනය කරන්නියක් විය. ඇයගේ පියා වූ  John Vernou ‘Black Jack’ Bouvier ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඉඩකඩම් රැසකට හිමිකම් කියු ධනවත් තැනැත්තෙකු විය. ඇයව ජැක් කෙනඩි හට හමුවූයේ වොෂින්ටන් හිදී මාධ්‍යෙවදිනියක ලෙස ඡායාරූපකරණයේ නිරතවෙමින් සිටියදීය. ඔවුන් දෙදෙනා 1953 සැප්. 12 වනදා විවාහ දිවියට පත් වූ අතර ජැකී තුල අනාගතයේ ජනාධිපති ආර්යාවකට අවශ්‍ය හැඩතල සියල්ලක්ම ඒ අවධියේ සිටිම තිබූ බවද පැවසේ. සැබැවින්ම ඇමරිකානු ඉතිහාසයේ ඇය තරම් ආකර්ශනයට, කතාබහට හෝ ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපති ආර්යාවක් නොවීය.

JFK හට සිය විවාහයෙන් මෙන්ම සිය සොහොයුරු රොබට් කෙනඩිගේ (බොබී) විවාහය හරහා වූ ඥාති සබඳතා ඔස්සේද ඇමරිකානු ආර්ථිකයේ ශක්තිමත් ස්ථාවරයක් තිබූ ව්‍යාපාරිකයන් සමග සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා ලැබී තිබුනි. රොබට් කෙනඩි විවාහ වූ Ethel Shakel ගේ පියා එරට දැවැන්ත සමාගමක් වූ the Great Lakes Carbon Corporation නම් වූ සමාගමේ හිමිකරුවා විය.

දේශපාලනයට ඇති සහසම්බන්ධතා තවදුරටත් සැලකූ කළ සිය පියාගේ ඉහළදේශපාලනික සම්බන්ධකම් සේම සිය ජනාධිපතිවරණ සටනේදී තමන්ගේ හඩටත් වඩා හඬක් නැගුවේ කෙනඩි පවුලේ බාලම පුත්‍රයා වූ ටෙඩ් කෙනඩිය. චතුර කථිකත්වයකට උරුමකම් කී ඔහු රොබට් කෙනඩිගේ ජනපති අපේක්‍ෂක සටනේදීද ප්‍රධානම හඬ ඔහුගේ හඬ වූයේය.

කලාව එසේත් නැත්නම් හොලිවුඩ් සිනමාවට කෙනඩි පවුල කිහිපාකාරයකින් සමසම්බන්ධතා ඇතිකරගෙන සිටියෝය. මුලීකවම කෙනඩි පවුලේ ප්‍රධානියා වූ JFK ගේ පියා හොලිවුඩ් චිත්‍රපටි නිෂ්පාදකයෙකු විය. JFK ගේ සහෝදරියක වූ Patricia Kennedy විවාහ වී සිටියේ ඉංග්‍රීසි ජාතික හොලිවුඩ් නළුවෙකු වූ Peter Lawford සමගය. ඔහු හරහා හොලිවුඩ් සබඳතා තවදුරටත් වර්ධනය වූ අතර ඔහු මගින් මැරලින් මොන්රෝ JFK හට සමීප වූ බවටද මතයක් තිබේ. තවද ජනප්‍රිය ගායකයෙකු හා නළුවෙකු වූ Frank Sinatra ද ඔහුගේ මිතුරෙකු වූවාසේම කෙනඩි පවුලේ පියා සහ පුතුන් ගේද මිතුරෙකු වූ නිසා ඔහු හරහාද සිනමාවට කෙනඩි පවුලේ යහළුමිතුරුකම් වර්ධනය වූවා සේම Sinatra හරහා මාෆියා සංවිධාන සමගද සබඳතා ඇතිවූ බවට කටකතා තිබේ.

ජූඩිත් කැම්ප්බල් වැනි රූමතියන් හරහාද ජනපති කෙනඩි වක්‍රමාර්ගයෙන් හෝ මාෆියා සංවිධාන සමග ඇයිහොදැයියක් තිබුනා යැයි දූෂමාන ආරංචි තිබෙනවා සේම ජෝ කෙනඩිගේ පියා ගේ මිතුරෙකු වූ ඉලිනොයිස් ප්‍රාන්තයේ සංචාරක උසාවියක විනිසුරෙකු වූ William J Tuohy හරහා චිකාගෝ මාෆියා නායක Sam Giancana සමග ඇතිකරගත් සමබඳතාවය කෙනඩිගේ ජනාධිපති සටනේදී පිටිවහලක් කරගත් බවටද මතයක් තිබේ.

1960 ජනාධිපතිවරණයේදී කෙනඩි හා සටන් වැදුන නික්සන් කෙනඩිට වඩා ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් අතින් පරිපූර්ණ වූ දේශපාලනඥයෙකු විය. මේ නිසා යම් වාසියක් නික්සන් හට තිබුනත් හොදින් මුදල් වියදම් කිරීමේ හැකියාව හා රූපවාහිනී මාධ්‍යය මනා ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබී තිබූ කෙනඩි ජනාධිපති සටනේ නියමුවන්ට නික්සන්ට වඩා කෙනඩිව ඉහල ආකර්ශයකට ලක්කර ගැනීමේ හැකියාව උදාවී තිබුනි. මෙම ජනාධිපතිවරණයේදී නික්සන් සිදුකර ගත් අතපසු වීමක් ලෙස සලකන්නේ තීරණාත්මක හා වැඩි ඡන්ද විද්‍යාල සංඛ්‍යාවක් දිනා ගත හැකි ප්‍රාන්ත වලට වැඩි අවධානය යොමු කරනවා වෙනුවට සියළු ප්‍රාන්ත වල රැස්වීම් පවත්වමින් වැඩි වෙහෙසක් දැරීම නිසා එම වැදගත් ප්‍රාන්ත අහිමි කර ගැනීමත් තීරණාත්මක රූපවාහිනි විවාද වලදී කෙනඩිට වඩා වෙහෙසට පත්ව සිටි ඔහුට කෙනඩි හා විවාදයේදී පසුබෑමක්ද සිදුවූ බවයි.

කෙසේවෙතත් මෙම ජනාධිපතිවරණයෙන් කෙනඩි ජයගත්තත් එය ඉතා ආසන්නම ජයග්‍රහණයක් වූ අතර විශේෂයෙන් කෙනඩිගේ සහායක එසේත් නැතහොත් උපජනපති අපේක්‍ෂක ලින්ඩන් බී ජොන්සන්ගේ උපන් බිම වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ඡන්ද කෙනඩිගේ ජයග්‍රහණයට ඉතාමත් තීරණාත්මක වූ පැවසේ.


කෙසේවෙතත් අවසානයේ කෙනඩිගේ ඉරණම තීරණය වූයේද මෙම ටෙක්සාස් ප්‍රාන්තයේදී වීමද දෛවෝපගත සංසිද්ධියකි.

ජනපති කෙනඩිගේ පාලන සමය ගැන තවදුරටත් යමක් පවසන්නේ නම්, ඔහුට සහ ඔහුගේ හිතවාදීන්ට ජෝන් එෆ් කෙනඩි ජනපති පුටුවට රැගෙන ඒම මිස ඉන් ඉක්බිති ඇමරිකානු අභ්‍යන්තරය තුළ සහ ඉන් පිටත දේශපාලනය කළ යුත්තේ කෙසේදැයි දැක්මක්, වැටහීමක් නොතිබුනාදැයි සැකයක් අවුල්වියවුල් පිරි ඔහුගේ පාලන සමය තුළ සිදුවූ කරුණුකාරණා තුලින් පෙනේ. ඔහුගේ ජනාධිපති සටනg මාසයකට පෙර කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදුන මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) අත්අඩංගුවට ගත් අවස්ථාවේ කෙනඩි ඒ පිළිබදව කණගාටුව පළ කළත් සැබෑලෙසම කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් යමක් කිරීමට ප්‍රමාද කිරීම 1963 අගෝස්තුවේ ඇමරිකානු අගනුවරට 200,000 කට අධික කළු ජාතීන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතු පෙළපාලියක් ඇතිකරවීම දක්වා උත්සන්න වී තිබුනි.

කෙසේවෙතත් ඉන් මාස 3 කට පමණ පසු කෙනඩි ඝාතනය සිදුවීමෙන් පසුව ප්‍රායෝගිකව කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සහන සැලසීමේ අවස්ථාව උදාවූයේද ජනපති ලින්ඩන් ජොන්සන් වෙතිනි.

කෙනඩි පාලනය ආරම්භයේදීම කියුබාව සරණාගතයන් ලවා ආක්‍රමණය කිරීම අවුල්ජාලාවක් කරගත්හ. ඉන්ඉක්බිතිව බර්ලින් නගරය දෙකට කඩමින් බර්ලින් පවුර ඉදිවීම ඇරඹුනා පමණක් නොව එයට එරෙහිව යමක් කිරීමේ අවස්ථාවක් කෙනඩි පාලනය තුල නොවීය. ඊට පසුවසරේ ඇමරිකාව පමණක් නොව සමස්ථ ලෝකයම සසල කරමින් කියුබානු මිසයිල අර්බුදය හටගත් අවස්ථාවේ අවසාන මොහොතේ එය නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබුනත් කෙනඩිගේ දේශපාලනයට එයින් සෑහෙන්න හානියක් සිදුවිය. සීතල යුද්ධය සමනය කරගැනීමට සංයමයෙන් සහ දුරදක්නා නුවනින් කෙනඩි ජනපති කටයුතු කළත් ඔහුගේ මෘදු ස්වභාවය නිසා ලතින් ඇමරිකාව කොමියුනිස්ට්කරණයට ලක්වේදොයි යන සැකයක්ද උග්‍ර ධනවාදී ඇමරිකානු ඉහළ දේශපාලනය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල කැපවීමක්, සැලැස්මක් අනුගමනය කළ CIA , FBI සහ අනෙකුත් නිල සහ නිල නොවන සංවිධාන තුල තිබුනි.

කෙනඩි පාලනය තුළ යම් පමණකට හෝ සාර්ථක කටයුතුද සිදුනොවුනා නොවේ. ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ, ආසියාවේ  දූගී රටවල තත්ත්වය නගාසිටුවීමට යම් සහනදායි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. අභ්‍යවකාශය ජයගැනීම සදහා වූ කඩිනම් වැඩ වැඩ පිළිවලද (Space Race) ඔහුගේ කාලය තුල ආරම්භ විය. ඇමරිකානු ආරක්‍ෂක අංශ කොතරම් දුරකට සතුටට පත්වූයේදැයි සැක සහිත මුත් න්‍යෂ්ඨික ගැටුමකින් ලෝකයට ඇතිවිය හැකි විනාශය අවමකරලනු වස් ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්.03 වනදා න්‍යෂ්ඨික අවි සීමාකිරීමේ ගිවිසුමකටද සිය අත්සන තැබීය.


බොහෝදෙනෙකු නොදන්නා කාරණයක් නම් ජනපති කෙනඩි බිහිසුනු වියට්නාම් යුද්ධය ඇතිවීම වලකනු පිණිසද කටයුතු යොදමින් සිටීමයි. ඔහු මිය යාමට මසකට පෙර එනම් 1963 ඔක්. 11 වනදා අත්සන් තැබුන ජාතික ආරක්‍ෂාව පිළිබදව 263 වැනි නිල ලේඛණයේදී වියට්නාමයේ එවකට රදවා සිටි 16,000 ක් පමණ වූ හමුදා නිලධාරීන් ඉවත්කර ගැනීම 1963 අවසානයේ සිටම ආරම්භ කිරීමට තීරණය කර තිබුනි. තවද 1965 වන විට මුළුමනින්ම වියට්නාමයෙන් ඇමරිකානු සන්නද්ධ අංශ ඉවත් කිරීම ඔහුගේ අරමුණ විය. එයින් අතිවිනාශකාරී යුද්ධයක් ඇතිවීම වැලකීම ඔහුගේ අරමුණ විය. එහෙත් එමගින් සමස්ථ වියට්නාමයම කොමියුනිස්ට්කරණයට ලක්වීම කෙසේනම් ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණය දරා ගන්නටද?
කෙනඩිගේ  අවසාන කටයුතු සිදුවී දිනකට පසු එනම් 1963 නොවැ. 26 වනදා ජනපති ලින්ඩන් බී ජොන්සන් විසින් නිකුත් කළ ප්‍රථම ආරක්‍ෂන නිල ලේඛණය වූ 273 න් පෙර පැවසූ 263 ලේඛණයේ අන්තර්ගත විධානයන් බලරහිත කරන ලදි. ඇමරිකානු දේශපාලනය, මිලිටරියාන්ත්‍රණයට මෙන්ම ඇමරිකානු අවි ව්‍යාපාරයටද වියට්නාම් යුද්ධය නිධානයක් මෙන් විය. මෙවන් කාරණා පසුකළෙක කෙනඩි ඝාතනයේ සැකසහිත කාරණා අතරටද එක්ව තිබුනි.

http://www.fas.org/irp/offdocs/nsam-jfk/nsam-263.htm



http://www.lbjlib.utexas.edu/johnson/archives.hom/nsams/nsam273.asp

ඇමරිකාවේ ආර්ථිකය, කලාව, දේශපාලනය හා පාතාලය සමගද මෙතරම් සබඳතා තිබු වෙනත් ජනාධිපති කෙනෙකු සත්‍ය වශයෙන්ම ඇමරිකාවේ ඉන් පෙර හෝ පසු නොසිටියා විය යුතුය. එහෙත් එවැනි බලයක් තිබූ ජනපති කෙනඩිගේ ඉරණම එසේ විසදුනේ ඇයි? මේ ගැන ඊලඟ ලිපියේදී කතාකරමු...


14 comments:

  1. වැදගත් ලිපි පෙළක්.ඊගාව කොටසත් බලාපොරත්තුවෙන් ඉන්නේ.

    ReplyDelete
  2. කෙනඩිටත් එහෙනම් පාතාල සබඳකම් තිබිලා තියනවා නේද ?

    ජෝර්ජ් බුෂ්ටත් හරහට හිටියෙ ඔය ටෙක්සාස් ප්‍රාන්තයම නේද ? කෙනඩි තව ටික කාලයක් බලයේ හිටියනම් ලෝක දේශපාලනය මීට වඩා වෙනස් වෙයි කියලා තමා මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම වෙනස්වේවි. හැබැයි ඒ වෙනස ඇමරිකාවේ ඉහළ පැලැන්තියට සමහරවිට දරා ගන්නට නොහැකිවන්නට ඇති. අපි ඊලඟ ලිපියෙන් ඒ ගැනත් කතාකරමු....

      Delete
  3. වටිනා ලිපි පළවෙන එකම බ්ලොගය මේ බ්ලොගය බවට පත් උනා දිනේෂ්... ඔබ වත් දිගටම ලියන්න ... ජය පතනවා ඔබට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වසර තුනක් (2011-2014) රැදුනා වගේම තවත් කාලයක් මේ කාර්යය කරගෙන යාමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙනවා...

      Delete
  4. බලාගෙන යද්දී කොයි දේශපානයෙත් පාතාලය ගෑවිලා තියෙනවා.. බලමු ඉතුරු ලිපිත් කියවලම..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කියනවානේ දේශපාලනයයි, පාතාලයයි ගස සහ පොත්ත වගේ කියලත්...

      Delete
  5. මෙතෙන්ට අදාල නැති උනත් වියට්නාමයම කොමියුනිස්ට්කරණය වීම ඇමරිකාවට ඔච්චර බලපාන දෙයක් උනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දෙවන ලෝක යුද්ධය අවසාන වීමටත් පෙර ලෝකයම හැකිතාක් කොමියුනිස්ට්කරණයට ලක්කිරීම සෝවියට් බලාපොරොත්තුව වුනා. සෝවියට් දේශයේ දේශපාලන දර්ශනය වූ සමාජවාදයේ න්‍යායන්ට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි ධනවාදය කියන්නේ. වෙනත් පැත්තකින් කියනවා නම් ධනවාදය මුලිනුපුටා දැමීම තමයි කොමියුනිස්ට්වාදයේ මූලික අභිලාශයම. ඉතික් තමන් දේවත්වයෙන් සලකන ධනවාදය ලෝකයේ කොතනම හෝ තැනකින් තුරන්වෙලා යනවට ධනවාදයේ දේවාලයක් වන් ඇමරිකාව කැමතිවෙයිද? ලෝකයේ තමන්ගේ දර්ශනය අදහන රටවල් සිටීම ඇමරිකාවට තමන්ගේ බලපරාක්‍රමය පවත්වාගැනීමට කොයි අතිනුත් වැදගත්. උදාහරණයක් විදියට චිනය කොමියුනිස්ට් නොවුනා නම් ඇමරිකාවට කොරියානු යුද්ධයේදී උතරු කොරියාව යටත් කරගන්නාව කියනඑක “සිම්පල්“ වැඩක්.

      Delete
  6. ඔබ පවසන කාලයට සාපේක්ෂව මා දන්නා ඇමරිකන් චිත්‍රපටි කලාවේ තොරතුරු කිහිපයක් මෙසේයි.

    1) 1934 දී ඇමරිකානු රජයේ සහභාගිත්වයෙන් තොරව චිත්‍රපටි රූගත කිරීම් තහනම් කිරීම සහ $25,000 ක දඩයක් එකල තීරණය කරන ලදී.

    2) 1935 දී රැගුම් පාලන නීති අනුව ක්‍රියාදාම චිත්‍රපටි සඳහා අවසර ලැබුණේ එම චිත්‍රපටියේ නීති විරෝධී පුද්ගලයන් FBI මගින් අල්ලා ගන්නේ නම් හෝ මරා දමන්නේ නම් පමණී. එය සම්ප්‍රදායක් ලෙස අදද දක්වාම ක්‍රියාත්මක වේ.

    3) 1942-43 කාලයේදී චිත්‍රපටි නිෂ්පාදකයින්ට ප්‍රශ්න ගණනාවක් යොමු කරන ලදී. ඉන් එක ප්‍රශ්නයක් වූයේ
    Will this picture help to win the war ?
    මෙම චිත්‍රපටිය යුද්ධය දිනවීම සඳහා දායක වේද?

    4) 1947-48 කාල තුළදී දක්ෂ නළුවන්, අධ්‍යක්ෂකවරුන්, තිර රචකයන් ඇතුළු විශාල පිරිසක් සිරගත කිරීම, ඇමරිකානු උපරිමාධිකරනයේ තීන්දු මත කේතුයෙන් පිටමං කිරීම සිදුවිය. (Eg. Chayefsky, Charlie Chaplin, Patton Trumbo)

    5) 50 සහ 60 දශකයේ ප්‍රසිද්ධ සහ දක්ෂ රූමත් නිලියක්ව සිටි Marilyn Monroe අභිරහස් අන්දමින් මිය යන ලදී. එය ඇමරිකාව තුළ දේශපාලන ගැටලුවක්ද ඇති කළ බව කියැවේ. මෙම මරණයට හේතු සාධක වී ඇත්තේ ජනාධිපති කෙනඩි සහ ඔහුගේ සහෝදරයා සමඟ ඇය පැවැත්වූ සබඳතාය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තෙන්ම සමහර කාරණා මමත් දැන සිටියේ නැහැ. ඒ වගේම පසුගිය කාලයේ මා හට නිරතවන්නට සිදුවූ අතපසු කිරීමට නොහැකි කාරණා නිසා බ්ලොග් අඩවියේ පළවු අදහස් සම්බන්ධයෙන් පිළිතුරු දීම මෙතරම් කාලයක් පමා වූවා ඒ ගැන කණගාටුවද පළ කර සිටිනවා...

      Delete
  7. ආර්ථික නිදහස 888

    ReplyDelete