Monday, January 23, 2012

සුපිරි නළුවන් රඟපෑ වැම්පයර් චිත්‍රපටි - Vampire Movies with Action Movie Heros

හොලිවුඩ් සිනමාව අපිට බොහෝ විට සමීප වන්නේ එහි නිපදවෙන ක්‍රියාදාම චිත්‍රපටි නිසා. ඉන් බැහැරවූ තේමාවන් ඇති චිත්‍රපටි නිපදවුනත් අපේ රටේ බහුතරයක් දෙනා කැමති වෙඩි තියාගන්න, ත්‍රාසජනක ජවනිකා තිබෙන, එහෙමත් නැත්නම් හොදට ගහගන්න චිත්‍රපටි වලටයි. හැබැයි රිදී තිරයේ මේ වගේ හපන්කම් කරන නළුවෝ බොහෝ දෙනෙක් වයසට යනවත් එක්ක ක්‍රියාදාම චිත්‍රපටි වලට වඩා වෙනස් තේමාවේ ඒවා හෝ ක්‍රියාදාමවූවත් තරුණකාලේ තරම් කලබල ගතිය අඩු චිත්‍රපටිවල රඟපාන බව ඔබත් දැක ඇති.


උදාහරණයක් විදියට ගත්තොත් Arnold Schwarzenegger, Jean-Claude Van Damme වගේ නළුවෝ දැන් රඟපාන්නේ ඉස්සර තරම් කලබල නැති චිත්‍රපටිවල. කලින් ඔවුන් මස්පිඩු වලින් සන්නද්ධව යෝදයෝ වගේ හිටියත් දැන් වයස්ගතවීමත් සමග වැ‍හැරෙන්නට පටන්ගෙන තිබෙන නිසා ඉස්සර තරම් ඔවුන් සිටින චිත්‍රපටි එතරම් ආකාර්ශනීය බවකුත් නැහැ කියල හිතෙනවා. ඒ එක්කම Silvester Stallone වුනත් විටින් විට ක්‍රියාදාම චිත්‍රපටි වල සිටියත් අපි ඉස්සර බලපු ඔහුගේ ක්‍රියාදාම චිත්‍රපටි සමග සැසදීමේදී එතරම් හිතට වදින්නේ නැහැ.

මේ ලිපියෙන් කතාකරන්නේ මෙසේ ක්‍රියාදාම චිත්‍රපටිවල වගේම වැම්පයර් චිත්‍රපටිවලත් රඟපෑ සුපිරි නළු නිලියන් සහිත චිත්‍රපටි කිහිපයක් ගැන කියන්නයි.


මේ අතරින් හොලිවුඩ් තරු වැඩිම පිරිසක් රඟපෑ වැම්පයර් වර්ගයේ චිත්‍රපටියක් ලෙස 1994 දී තිරගතවූ
Interview with the Vampire: The Vampire Chronicles චිත්‍රපටිය හදුන්වා දෙන්න පුළුවන්. එහි ප්‍රධාන පෙලේ නළුවන් රැසක් එකම අවස්ථාවක දැකගන්නට පුළුවන් වූ දුර්ලභ අවස්ථාවක් වූ අතර එහිදී Tom Cruise, Brad Pitt, Christian Slater සහ Antonio Banderas  කියන නළුවන් රැසම රඟපෑ වැම්පයර් චිත්‍රපටි අතරින් අපූර්වත්වයක් ගෙනදුන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. 

ඒ වගේම Jude Law කියන විවිදත්වයක් ඇතිව රඟපාන්න පුළුවන් නළුවා ප්‍රධාන චරිතයට, නැත්නම වැම්පයරයෙකුගේ චරිතය රඟපෑ, 1998  දී තිරගත වූ The Wisdom of Crocodiles හෙවත් Immortality කියන චිත්‍රපටි‍යත් අපට දකින්නට ලැබුන තවත් වෙනස් ආකාරයේ චිත්‍රපටියක්.

ඊයේ පෙරේදා නරඹපු ඒත් 1988 තරම් ඈත කාලෙක තිරගත වූ Vampire's Kiss නම් චිත්‍රපටියත් විවිදත්වයකින් යුතු චිත්‍රපටියක්. එහි ප්‍රධාන චරිතයට පණදෙන්නේ ඔස්කාර් සම්මානලාභී නළුවෙකු වන Nicolas Cage විසින්. මෙහි ඇති වෙනස තමයි තමන් වැම්පයරයෙකු බවට පත්වූවායයි සිතන මානසික රෝගී තත්ත්වයකට පත්ව අවසානයේ ඔහු විසින් කරන ක්‍රියාවන් හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවෙන්නටත් සිදුවීම. ඒ වගේම සාමාන්‍යයෙන් අනෙක් මේ වර්ගයේ චිත්‍රපටි නරඹන විට අපිට බිය වගේ හැගීමක් දැනුනත් මෙහිදී නම් ‍දැනෙන්නේ හාස්‍යමය තත්ත්වයක් බවත් ඔබත් මෙය නැරඹුවා නම් දැනගනීවි. මෙයත් හොද චිත්‍රපටියක්.

තව චිත්‍රපටියක් තමයි 2004 දී තිරගතවූ Van Helsing චිත්‍රපටිය. මෙහි ප්‍රධාන නළුවා තමයි Hugh Jackman. ‍

  හැබැයි හැම නළුවටම මේ විදියට වැම්පයර් චිත්‍රපටි නොගැලපෙන අවස්ථාත් තියෙනවා. ඔබට මතක නම් 1998 සිට තිරගතවීම ආරම්භවූ Blade චිත්‍රපටි පෙල, එහි රඟපෑ Wesley Snipes ට නම් මේ චිත්‍රපටි තේමාවට වඩා ක්‍රියාදාම චිත්‍රපටි උචිත බවයි මටනම් හැගෙන්නේ.


මේ වගේ චිත්‍රපටි ගණනාවක් තව ඇති ප්‍රධාන පෙලේ ක්‍රියාදාම චිත්‍රපටි නළුවන්, ඉන් බැහැරවූ තේමාවක් ඇති වැම්පයර් වර්ගයේ චිත්‍රපටිවල රඟපාන. සාමාන්‍යයෙන් එකම ආරක නිර්මාණවලට වඩා වෙනස් ආකාරයක නිර්මාණයකදී ඔවුන්ගේ රඟපෑමෙදි අපූර්වත්වයක් ඇති බවයි මගේ නමි හැගීම...

7 comments:

  1. Vampire Chronicles පොත් කීපයක් නම් කියවල තියෙනවා. වැම්පයර් ලව තනි කළු චරිතයක් නොකර අළු පාට චරිත හැටියට තිබුණු මම කියවපු පලවෙනි පොත මේ කතා සිරිස් එකේ මුල් පොත.

    කෝ මේ ලිස්ට් එකේ Dracula ෆිල්ම් එක අඩුයිනේ. ඒකෙත් සුපිරි නළුවෝ කීප දෙනෙක් හිටිය :D (මම මේ කියන්නේ Keanu reeves රඟපාපු එක )

    ReplyDelete
  2. එකක්වත් බලලා නෑ දිනේශ් අයියේ..

    ReplyDelete
  3. මං ලඟදි බැලුව Let the Right one In කියල 2008 අවුරුද්දෙ දි රිලීස් වුණ ස්වීඩ්න් වැම්පයර් ෆිල්ම් එකක්. පස්සෙ ඒක කොපි කරල Let me in කියල හොලිවුඩ් ෆිල්ම් එකකුත් කරල තියෙනවා. ස්වීඩ්න් ෆිල්ම් එක නම් සම්මාන තොගයක් අරගෙන තිබුණත් මට නම් ඒක ටිකක් boaring කියල තමයි තේරුණේ. කොහොමටත් මං වැම්පයර් කතන්දර නම් බලන්නේ නැති ගාණයි.

    ReplyDelete
  4. අනේ ඉතින් සුපිරි නළුවෝ නැති උනාට අන්ඩවර්ල්ඩ් තමයි මම බලපු ඒවායින් හොඳම එක.

    ReplyDelete
  5. මටනම් ආසම නැති චිත්‍රපටි තමා ක්‍රියාදාම චිත්‍රපටි.. මෙලෝ රහක් නැහැ.. තාත්විකත් නැහැ.. සත්සමුදුර දැන් වැඩියෙන් සිනමාව ගැන කතාකරනවදෝ කියලත් හිතෙනවා...

    ReplyDelete
  6. Let me in නම් මැක්සා ෆිල්ම් එක, වෑම්පයර් ෆිල්ම් බලන අය නම් අනිවා ඒක නම් බලන්න ඕනේ,,

    ReplyDelete
  7. day breakers kiyana film1ath patta......... :D

    ReplyDelete