Monday, October 17, 2011

හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව

වේගවත් ගමනක් ගිය අතරතුරේ කෙටි විරාමයක් ගන්නට සතියක් පුරාවටම කිසිදු ලිපියකින් සත් සමුදුර පුරවන්නට ‍නොහැකිවීම ගැන මිතුරන් අසා සිටින අතරේ අවසන් ලිපියේ තිබූ ඉල්ලීමකට අනුව සතියකට පමණ පෙරාතුව අප අතරින් සදහටම වියෝවූ ඇපල් ලොක්කා නැතහොත් ඇපල් පරිගණක ආයතනයේ ප්‍රධානී Steve Jobs මහතා ගැන ටිකක් වෙනස් මාදිලියේ ලිපියක් ලියන්නට සිතුවා. කොහොමවුනත් ජීවතුන් අතරින් දැන් සමුගෙන ඇති මෙම අග්‍රගන්‍ය නිර්මාණකරුවා පිළිබදව මැදුම් පිළිවෙතක සිට අකුරු බැදීමේදී සාම්ප්‍රධායික ගුණකතනයක දක්නට ලැබෙන සෑම අතින්ම හොද උතුම් පුරුශයෙකු ලෙසම දැක ගැනීමට නොහැකි අතර ඔහුද, මම හා ඔබලා මෙන්ම මනුශ්‍යයෙකු නිසා ඔහු තුල අන්තර්ගත විවිදාකාරයේ අඩුපාඩු හා ඔහුගේ සත්‍ය ජීවිතකතාවේ අන්තර්ගතය මෙම ලිපිය තුලින් ඉස්මතුවීම තුලින් ඔහුට කිසියම්වූ ආකාරයකින් අපහාසයක් කිරීමේ අදහසක්ද නොවූ බව අවධාරණය කරමි. එසේම Steve Jobs මහතා ගැන මෙන්ම ඔහු ප්‍රධාන ලෙස දායක වූ ඇපල් සමාගම හා එහි නිශ්පාදන පිළිබදවද මෙම ලිපියෙන් යම් තාක් දුරකට කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

Steve ගේ පියා Abdulfattah Jandali නම් වූ අතර ඔහු සිරියානු මුස්ලිම් සංක්‍රමණියෙක්.  ඔහුගේ මව Joanne Schieble, ඇමරිකානු ජාතික කතක් වූ අතර ඔවුන් දෙදෙනාගේ විවාහයට කාන්තාවගේ පාර්ශවයේ දෙමව්පියන්ගේ අවසරය නොලැබී ඇත්තේ තම දියණිය අරාබි ජාතිකයෙකු විවාහ කරගන්නවාට අකමැතිවූ හෙයිනි. මේ නිසා දැඩි පීඩනයට පත් මෙම යුවල San Francisco වෙත නික්ම යන අතර එහිදී 1955 පෙබරවාරි 24 වන දින අ‍පගේ කතා නායකයා උපත ලබයි.


කෙසේවෙතත් ඇතැම් මූලාශ්‍ර වල පවසන පරිදි මෙම දෙමව්පියන්ට තිබූ ආර්ථික ගැටළු හේතුවෙන් ඔවුනට තම දරුවා ඇති දැඩි කිරීමේ අපහසුව හේතුවෙන් ‍බිළින්දා, දරුවන් නොමැති ආර්මේනියානු යුවලක් වන Paul and Clara Jobs හට භාර කරන අතර ඔවුන් මෙම බිළිදාට තබන්නේ Steven Paul Jobs යන නාමයයි. ඒ ආකාරයෙනුයි ඔහුට Steve Jobs යන නම ලැබෙන්නේ. පසුකාලීනව ඔහු තම ජීව විද්‍යාත්මක මව්පියන් මුනගැසුනත් ඔහු තව සැබෑ මව හා පියා ලෙස සලකන්නේ තමන් ඇතිදැඩි කර හදාගත් Jobs යුවල බව ඔහු පවසා තිබෙනවා.

ඔහුට වසර විසි එකක් ඉක්ම ගිය තැන එනම් 1976 දී සිය උසස් විද්‍යාල සඟයා වන Steven Wozniak සමග එක්ව ලොව පරිගණක තාක්‍ෂනික ගමන් මගේ සුව‍ශේෂ මං සලකුනක් වන Apple I නම් පළමු Apple පරිගණකය නිපදවනු ලබන්නේ Wozniak ගේ පියාගේ ගරාජය තුලදීයි.

මෙම සිදුවීමත් සමග 1976 අප්‍රේල් 01 වැනිදා Apple සමාගමේ ආරම්භයද සිදුවන අතර එය එදා නම් කරනු ලබන්නේ Apple Computer යන නාමයෙනුයි. මෙම පරිගණකය මුලින්ම  "the Homebrew Computer Club” හිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර පළමුවරට එම පරිගණකය වෙළඳ පොලේදී මිලදී ගැනීමේ අවස්ථාවද 1976 ජූලි වසරේදී උදාවුනි. ලීයෙන් තැනූ ආවරණයක (Wooden Casing) ඇසිරූ මෙම පරිගණකය එකලස් කරන ලද ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මව් පුවරුව ලෙසද එහි CPU,RAM, සහ basic textual-video chips ආදියෙන්ද සමන්විත සරල නිර්මාණයක් වූවත් එය පුද්ගල පරිගණකය ලෝකයට උත්පාදනය වීමේ මුල්ම අවස්ථාවද විය. කෙසේවෙතත් මිලනම් සරල නොවීය. එදා එහි මිල US$666.66 ක් වූ අතර අද දවසේ මුදලේ වටිනාකම අනුව එහි මිල US$2,572 පමණ වෙතැයි පැවසේ. මෙහි මධ්‍යම සැකසුම් ඒකකය ලෙස MOS 6502 චිපයක් යොදා ගත් අතර වේගය මෙගා හර්ට්ස් 1 ක් විය. මූලික RAM ධාරිතාව 4 KB වූ අතර අවශ්‍ය නම් එය අමතර RAM කාඩ්පත් සවිකර 8 KB හෝ 48 KB දක්වා වුවද වැඩිකර ගැනීමේ අවස්ථාව ලබා දී තිබුනි. කෙසේවෙතත් වසරක් පමණ ඔවුන් මෙම Apple I පරිගණක නිශ්පාදනය කරනු ලැබූ අතර 1977 සැප්තැම්බර් 30 වනදා එම වර්ගයේ අවසන් පරිගණකය තනා තිබේ.

1977 දී ප්ලාස්ටික් ආවරණයක ඇසිරූ ලොව ප්‍රථම පුද්ගල පරිගණකය Apple II ලෙස ඇපල් සමාගම විසින් හදුන්වාදෙනු ලබන අතර මෙහි වැඩි ගරුත්වය  Steven Wozniak ට හිමිවේ. මධ්‍ය සැකසුම් ඒකකය හා RAM ධාරිතාවන් කලින් පරිගණකයට සමාන බවක් තිබුනත් එයට වඩා සුමට ලෙස නිමවා තිබූ මෙහි තවත් විශේෂත්නයක් වූයේ Audio Cassette පටයක වැඩසටහන් ගබඩා කර භාවිතයට ගැනීමේ පහසුකමද තිබීමයි.

එසේම පසුව එයට අමතරව බාහිරින් අඟල් 5¼ තැටි ධාවක යන්ත්‍ර දෙකක්ද සවි කරගැනීමට ප්‍රතිපාදන සපයා දීමද කැපී පෙනුනි‍. එදා මෙම යන්ත්‍ර මිල ගණන් දෙකකට අලෙවි කර ඇති අතර 4 kB of RAM මොඩලය US$1298 කටද 48 kB of RAM මොඩලය US$2638 කටද අලෙවි කර තිබේ. තවද මෙම Apple II පරිගණකයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි වර්ණවත් පින්තූර මොනිටරයෙන් ලබාදීමේ හැකියාවයි. මෙය සංකේතවත් කරනු පිණිසම ඇපල් සමාගමේ ලාංඡනය වන බාගෙට කෑ ඇපල් ගෙඩියේ දේදුනු පාට ඉරි සලකුනු කොට තිබින. 1998 දක්වාම එම සමාගමේ ලාංඡනය වූයේ මෙයයි.

මුලින්ම මෙම  Apple II වර්ගයේ පරිගණක එකලස් කිරීම උතුරු කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශයේ ඇති සිලිකන් නිම්නයේ සිදුවූ අතර පසුව එය ටෙක්සාස් වල සිදුකරන ලදි. ඇපල් සමාගම ලෝකයේ පරිගණක වෙළ‍ඳපොලේ හිනිපෙත්තටම ඔසවා තැබූමට සමත්වූ මෙම Apple II පරිගණක විවිද කාණ්ඩනාම ඔස්සේ මිලියන ගණනින් වසර 15 ක් තිස්සේ අලෙවිකල අතර 1993 දී මෙම Apple II පරිගණක නිශ්පාදනය අත්හිටුවන ලදි.

1980 දී ප්‍රථම වරට ඇපල් සමාගම සිය කොටස් NASDAQ (National Association of Securities Dealers Automated Quotations) හිදී අලෙවි කරනු ලබයි.

1983 දී ප්‍රධාන වශයෙන්  Steve Jobs විසින් මූලිකත්වය ගෙන නිපදවන ලද “Lisa" නම් Desktop පරිගණකය වෙළඳ පොලට පැමිනෙන අතර එය ව්‍යාපාරික කටයුතු පාදක කොටගෙන නිපදවන ලදි. 1983 දී වෙළඳ පො‍ලට පැමිණියද එහි වැඩකටයුතු Steve Jobs  විසින් 1978 දී ආරම්භ කර තිබෙන අතර 1982 දී ඔහු මෙම පරිගණක ව්‍යාපෘතියෙන් ඉවත්කරනු ලබන්නේ එම කණ්ඩායමේ අනිකුත් අය සමග සහයෝගයෙන් වැඩනොකොට කලහකාරී ලෙස දිගින් දිගටම හැසිරීම හේතුකොටගෙනයි.

එසේම ඒ අවස්ථාවේ ඇපල් සමාගම තවත් පරිගණකයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකද යෙදී සිටි අතර එය අඩුමිල පරිගණකයක් වන Macintosh පරිගණකයයි. කෙසේවෙතත් මෙම අභ්‍යන්තරික යුද්දයෙන් Lisa ජයග්‍රහණය කරන අතර 1983 දී එය තවත් කඩඉමක් ලෙස ලෝකයට පැමිනෙන්නේ ප්‍රථම චිත්‍රක මුහුණතක් (GUI - Graphical User Interface) ඇති පරිගණකය ලෙසයි. එහි මිල එවකට  US$ 9,995 ක් වූ අතර එය 1986 දී නිශ්පදනය අවසන් කරනු ලබන්නේ එතරම් සාර්ථක වෙලඳ වාර්තාවක් නොතබමිනුයි. එයට හේතුව ලෙස දක්වන්නේ එහි අලෙවි මිල අධික වීම හා භාවිතා කල හැකි මෘදුකාංගවල සීමිතභාවයයි.

කෙසේවෙතත් මෙම සංග්‍රාමයෙන් පරාජය ලැබූ Macintosh පරිගණක 1984 දී කලඑළ බසින්නේ Mouse හා GUI සුසංයෝගය සාර්ථකව යොදාගත් පරිගණකය ලෙසයි. අනුව දශකයේ සෑහෙන්න කලක් යන තුරු පුද්ගල පරිගණක ක්‍ෂෙත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක් හිමිකරගත් මෙම පරිගණක වර්ගයේ ජනප්‍රියත්වය හීනවීයන්නේ IBM අනූකූලත්වයෙන් යුතු පරිගණක හා ඒවා සමග ලේසියෙන් වැඩකිරීමේ පහසුවද රැගෙන ආ Windows 95 ආදී පාලක මෘදුකාංගයන්ද සමගිනුයි.

එසේම මූලිකව මෙම Macintosh පරිගණක වල අලෙවිය හොද මට්ටමක තිබුනත් සමස්ථයක් ලෙස ගත් කල එහි අලෙවියද සාර්ථකමයයි කිව නොහැක්කේ මෙම පරිගණකද ඊට පෙර ‍පැමිනි Lisa පරිගණකය මෙන්ම මිලෙන් අධික වීම හා මෙහිද  භාවිතා කල හැකි මෘදුකාංගවල සීමිතභාවය පැවතීමයි.

ඒ කෙසේවූවත් 1984 දී මෙම Macintosh පරිගණක අලෙවි ප්‍රවර්ධනය සදහා ඇපල් ආයතනය සෑහෙන්න බරපැනක් ‍යොදවන ලදි‍. US$ මිලියන 2.5 ක් ඔවුන් ඒ වෙනුවෙන් ඒ අවධියේ වැයකල අතර නිව්ස්වීක් 1984 නොවැම්බර් කලාපයේ වෙලඳ දැන්වීම් සදහා ඇති සියළුම පිටුද, දැවැන්ත රූපවාහිනී දැන්වීමද ඒ අතරවිය. තවද ඔවුන් "Test Drive a Macintosh" නම් ප්‍රවර්ධන වැඩසටහනක්ද දියත් කල අතර එහිදී කැමති පාරිභෝගිකයෙකුට තම ණය පත මගින් ගෙවීම් කර මෙම Macintosh  යන්ත්‍රයක් ගෙදර ගෙනවිත් පැය 24 ක් භාවිතා කර නැවත එය අලෙවිකරුවාට භාරදිය හැකිවිය. පාරිභෝගියකයන් පැත්තෙක් කෙසේවෙතත් අලෙවිකරුවන් නම් මෙම වැඩපිළිවලට එතරම් මනාපනොවූ බව සදහන් වේ. මන්ද එක් හේතුවක් වූයේ 200,000 ක් පමණ පාරිභෝගිකයන් මෙම වැඩසටහනට සම්බන්ධවූ අතර එපමන ඉල්ලුමකට සැපයීම දීම අපහසුවීම මෙන්ම පැය 24 කට පසු නැවත ලැබෙන පරිගණකයේ කලදසාව හොද නැතිවීම හේතුවෙන් ඒවා නැවත අලෙවි කර ගැනීමට නොහැකි තත්වයට පත්වීමයි.

කෙසේවෙතත් යකඩය හොදින් රත්වී ඇති විට තැලීම පහසු බව හොදින් වටහා ගත් එවකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක තනතුර දැරූ John Sculley පරිගණකය මුලින් නියම කල මිල වූ US$1,995 සිට US$2,495 දක්වා වැඩි කරන ලදි එම මුදල 2010 වස‍රට අනුව නම් $5,200 පමණ වෙතැයි පැවසේ. ඉතින් පේනවානේ ඇපල් පරිගණකවලට මූලාරම්භයේ සිටම තිබූ අධික මිල.

මෙම ඇපල් Macintosh  පරිගණක Desktop publishing අංශයේද ඉතාමත් කැපීපෙනෙන කාර්යයභාරයක් ඉටුකලේය. ඒවගේම 1995 දී පමණ Microsoft සමාගම මහා ඉහලින් තම සත්‍ය චිත්‍රරූපක අතුරුමුහුනත වන  Windows 95 ගැන වර්ණනාකලත් ඊට වසර 11 කට පෙර එදා තිබුන තාක්‍ෂනයට අදාලව සාර්ථක GUI පාලක මෘදුකාංගයක් භාවිතා කලේද මෙම Macintosh  පරිගණකයවලදියි.
Macintosh  පරිගණකයේ අතුරුමුහුණතක්
1985 Steve Jobs ට සිය මූලිකත්වයෙන් නිර්මාණයකරන ලද ඇපල් සමාග‍මෙන්ම එතරම් හොද ප්‍රතිචාර ලැබෙන වසරක් නොවේ. බලඅරගලය මෙහි මූලිකම හේතුවක්ලෙස දැක්වේ. ඒවන විට වසර දෙකකට පෙර ඇපල් සමාගම පත්කරගත් ප්‍රධාන විධායක වූ John Sculley හා මෙම ගැටුම ඇතිවන අතර ඇපල් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයද එවර සිටින්නේ John Sculley ගේ පාර්ශවයේය. වි‍ශේෂයෙන් නිසිලෙස පරීක්‍ෂාවට ලක්නොකරන ලද නව පරිගණක උපාංග Jobs විසින් අධික මිල ගණන් යටතේ වෙළඳපොලට යැවීමෙන් සමාගමට සිදුවිය හැකි හානිය වලකා ලීම හා සමාගම තුල Jobs ක්‍රියාකාරීත්වය සීමා කිරීම මෙහි අරමුණ විය. කෙසේවෙතත් එවිට මෙම නව පරිපාලන ක්‍රමවේදයන් ඔස්සේ සමාගම ඉදිරියට ගෙනයෑමට සහයවීම වෙනුවට Steve Jobs විසින් සමාගම තුල සිය සභාපතීත්වය ඉදිරියට යොදාගනිමින් ප්‍රධාන විධායකයා තනතුරින් පහකර ඉවත්කිරීමට උත්සහ දරන ලදි.

කෙසේවෙතත් මෙහිදී රැස්වුන ඇපල් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලය  Steve Jobs ට පවරා තිබූ කළමනාකාරීත්ව වගකීම්වලින් ඉවත්කිරීම සිදුකරන ලදි. මේ සමගම  Steve Jobs තමන් විසින්ම නිර්මාණය කිරීමට දායක වූ ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වන අතර එම වසරේදීම NeXT  නම් පරිගණක සමාගම ආරම්භකරන ලදි.


ඉතිරිය දෙවන කොටසින්.... -

ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2



18 comments:

  1. ද්වෙනි කොටසත් බලලම අදහස් කියන්නම්

    ReplyDelete
  2. මේක ජොබ්ස් ගේ කථාවට වඩා පරිගණකයේ ඉතිහාස කථාව වගේ... හරියට ඓතිහාසික නව කථාවක් කියවනවා වගේ එක හුස්මට කියෙව්වා... !

    ඉතුරු ටිකත් දාමුකෝ බලන්න එනම්...! අමිහිරි වර්තමානයටත්, නොදන්නා අනාගතයටත් වඩා... අතීතය සුන්දරයි ලුනේ...!!!

    ReplyDelete
  3. ලිපිය ඉවර වෙනකම්ම මම හිතාගෙන හිටියෙ මුලහරිය තාම කියවන්නෙ කියලා.

    අර යුනිවසිටි එකේ කතාවෙදි ජොබ්ස් ඔය දෙමව්පියන් ගැනයි, වින්ඩෝස් කාරයන්ගෙ අතුරුමුහුණත් හොරකම ගැනයි කියනවා නේද?

    මට තිබෙන ප්‍රශ්ණ.

    01. මුල්ම ලී පරිගණකයට මොනිටර් එකක් නැද්ද?
    02. මේ ඩිසයින් එකේ ඇපල් කම්පියුටර් එන්න කලින් IBM හරි වෙනත් ඩෙක්ස්ටොප් කම්පියුටර් තිබ්බෙ නැද්ද?

    ReplyDelete
  4. අපගේ ඉල්ලීමට ඇහුන්කන් දී ඇපල් මාමා ගැන ලියන්න ගත්තාට ස්තුතියි.

    ReplyDelete
  5. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! - ඉක්මනින්ම එයත් බලන්නට හැකිවේවි...

    ReplyDelete
  6. @චතුරංග පෙරේරා | chathuranga Perera - ඇපල් හා ස්ටිව් ජොබ්ස් කියන්නේ දෙකක් නොව එකක් යයි කියමනකුත් තියෙනවානේ. කොහොමවුනත් ඔහුගැන සාම්ප්‍රධායික ගුණකතනයකට වඩා වෙනස් දෙයක් තමයි ලියන්න බලාපොරොත්තුව...

    ReplyDelete
  7. @බුද්ධි - මේ ලිපිය ටිකක් වෙනස් ආකාරයක එකක් හැමතැනම තියෙනවානගේ ඇපල් ලොක්කාගේ හොදම මෙතනදී දකින්නට නොලැබේවි.

    අපි ඔහුගේ තව කැපීපෙනෙන අවස්ථා එකිනෙක අරගෙන බලමු.

    ඒවගේම ඔබගේ ගැටළු දෙකට පිළිතුරු නම් පළමු එකට කියන්න තියෙන්නේ මොනිටරයක් භාවිතා කර තිබෙනවා. එය Text base commands වලට අනුකූල Monochrome එකක් බව තමයි කියන්නේ.
    දෙවැන්න වන Desktop පරිගණක මුලින් හදලා තියෙන්නේ apple (1976/1977), IBM පලමු Desktop පරිගණකය දැකගන්න හමුවෙලා තියෙන්නේ 1981 දී‍...

    ReplyDelete
  8. අනිවා! හොඳම මිනිස්සු ලෝකෙ නෑනේ. මටත් ඕනෙ වෙලා තිබුනෙ ඇත්ත තොරතුරු ගොඩක් තමා.

    මගේ ගැටලු වලට පිළිතුරු දුන්නට ස්තුතියි.

    ඒ කියන්නෙ මේ ලොකේ ඩෙස්ක්ටොප් කම්පියුටර් මේ විදිහයි කියලා මුලින්ම අදහසක් දීලා තියෙන්නෙ මේ ගොල්ල නේද?

    ReplyDelete
  9. මට දැන ගන්න උවමනා ප්‍රශ්නයටනම් මේකෙන් පිළීතුරක් ලැබිලා නැහැ..මං හිතන්නේ දෙවෙනි කොටසින් කොහොමවත් ඒක ලැබෙන එකක් නැහැ...

    පරිගණකයක් නිපදවීම කියන තැනට ඔහු ආවේ කොහොමද..? ඔහුගේ අධ්‍යාපනය හා.. ඔහු මේකට අත ගහනකොට පරිගණක ක්ෂේත්‍රයේ තිබුන තත්වය කොහොමද කියන එක...

    ස්ටීව් ජොබ්ස් කියන මනුස්සයා ගැන කියවෙන හැම ලිපියෙම තියෙන්නේ මේ ගරාජ් එහෙක පලවෙනි එක හැදුවා කියන කතාව මිසක් එතනට ඔහු ආවේ කොහොමද කියන එක නෙවෙයි.. හරියට නිකං මැවුම් කාරයෙක්ගේ කතාව වගේ වෙනවා එතකොට..මටනං වටින්නේ ඒ තැනට ඔහු ආව මාර්ගයත් දැනගත්තනං තමයි.

    එතනින් එහාට කතාව නම් හුගාක් ව්‍යාපාරිකයින්ගේ කතාවලට වඩා වෙනස් වෙන්න විදියක් නැහැ...

    ReplyDelete
  10. ස්තූතියි දීපාල් අයියේ .. අපි කියවමින්

    ReplyDelete
  11. ස්තුතියි දිනේෂ්... මේක කියවගන යද්දී මට මුලින්ම හිතුනේ මේ යකා ( දිනේෂ් ) මේවා ( තොරතුරු ) කොහෙන් හොයාගන්නවද මන්දා කියන එක.. :-)

    ඕකට ඔය ඇපල් නම ආවේ කොහොමද.... එකත් බාගෙට කාපු එකක් ඇයි .. එක පිටිපස්සේත් මොකක් හරි ලස්සන කතාවක් ඇති මගේ හිතේ..

    ReplyDelete
  12. කෙටි කලකට හෝ පැවති නිහඬබව අවසන් කළාට ස්තූතියි! ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්න.

    ReplyDelete
  13. @මාරයාගේ හෝරාව - පළමු කොටම ස්තූතිකරනවා ඔබ ඍජුවම වගේම ලිපියට තව එකතුවිය යුතු කොටසක් ගැන සදහනක් කරාට. හැබැයි මම ඔබට කියන්න කැමතියි ඔබේ ඒ බලාපොරොත්තුව බිද දමා ගන්න අවශ්‍ය නැහැ. මේ ලිපි පෙල වෙනස් එකක්. එක සිදුවීමකට පස්සේ එකක් පිළිවෙලටම එන රටාවට වඩා විවිද කාලපරාස වල කරුණූ ලිපියට හානියක් නොවන විදියට එකතු කරන්න බැරි කමක් නැහැ. ඒ නිසි එම කරුණු ඊලඟ කොටසකදී බලාපොරොත්තුවෙන් සිටින්න...

    ReplyDelete
  14. ආන්න හරි..එහෙනං ඕං මාත් බලං ඉන්නවා...

    ReplyDelete
  15. @හිස් අහස සහ උදාර - ස්තූතියි! ඉදිරි ලිපියේදී හමුවෙමු...

    ReplyDelete
  16. @Senna - ස්තුතියි! විවිද විවිද මූලාශ්‍ර ‍වගේම කාලෙකට ඉස්සර කියවපු විස්තරත් මතකයට නගාගෙන තමයි ලිපිය ලිව්වේ. ඔව් අපි ඇපල් නම ආ හැටිත් සොයමු...

    ReplyDelete
  17. මේක දාපු දවසෙම කියෙව්වත් කොමෙන්ට් එකක් දාන්න ටිකක් පමා වුනා...
    මේකනම් හරිම අපූරු ලිපියක්..නොදැන හිටපු ගොඩක් දේවල් බොහොම ආසාවෙන් කියවන්න පුළුවන් විදියට පෙළ ගස්වලා..

    ReplyDelete
  18. @ලකී - ස්තුතියි! අනිත් ලිපිත් බලන්න. රාජකාරී වැඩ ටිකක් වැඩි නිසා කොටස් අතර කාලය ටිකක් වැඩිවේවි සමහරවිට...

    ReplyDelete