Sunday, October 30, 2011

ඇපල් සහ මයික්‍රොසෝෆ්ට් අතර සිදුවූ දේවල් සහ අවශේෂ කාරණා- 6 - Final Story of Steve Jobs and Apple

මේ දක්වා මේ මාතෘකාවට අදාලව ලියූ ලිපි මේවායි.
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2 

Steve Jobs ගැන ගැඹුරින්... 3
Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...

ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5

ගියවර ලිපියේ මාතෘකාවේ වැරදීමකින්  ඇපල් සමාගම හා IBM සමාගම අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5 මාතෘකාව වැරදීමකින් ඇපල් සමාගම IBM හා මයික්‍රො‍සොෆ්ට් සමාගම් අතර පැවති කරඟය සහ තවත් දේවල් - 5  ලෙස සටහන්ව තිබිනි. කෙසේවෙතත් එහිදී මයික්‍රොසෝෆ්ට් සමාගම හා අප මෙතෙක් කතාකල ඇපල් සමාගම අතර සිදුවූ ගණුදෙනු හා නඩුහබ පිළිබදව කතාකිරීමට නොහැකිවූවත් මේ ලිපියෙන් එම කරුණු කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

මයික්‍රොසෝෆ්ට් ආරම්භය ගතහොත් එය ඇපල් සමාගම ඇරඹීමට වසරකට පෙර සිදවූවක් එනම් 1975 දී. මෙයත් මිතුරන් දෙදෙනෙකුගේ මැදිහත්වීමකින් අරඹන ලද ආයතනයක් ඒ අප හොදින් දන්නා Bill Gates හා ඔහුගේ මිතුරු Paul Allen යන දෙදෙනාගේ උත්සාහයෙන්. ඔවුන් මුලින්ම කල යුතු කාර්යය වූයේ Altair 8800 පරිගණක සදහා BASIC programming language interpreter ක් තැනීමයි. 1975 දී මේ ආයතනය බිහිකිරීමේදී එයට නම තැබූ තැනැත්තා ලෙස හැදින්වෙන්නේ  Paul Allen වන අතර ඔහු මුලින්ම යෝ‍ජනා කල නම "Micro-Soft" ලෙස පැවසේ. මෙම ලාබලා සමාගමේ ආදායම මුල සිටන්ම හොදවූ අතර ආරම්භක වසර වූ 1975 දීම එය US$ මිලියන එකක්වූ බව සදහන් වේ. http://en.wikipedia.org/wiki/History_of_Microsoft
Paul Allen and Bill Gates (respectively) on October 19, 1981 
in a sea of PCs after signing a pivotal contract. 
IBM called Microsoft in July1980 
inquiring about programming languages for its upcoming PC line; 
after failed negotiations with another company, IBM gave 
Microsoft a contract to develop the OS for the new line of PCs

80 දශකය වන විට ඔවුන් පාලක මෘදුකාංග එහෙමත් නැත්නම් Operating System Software නිෂ්පාදනයට මුල් තැන දෙන අතර එහිදී ඇපල් සමග තරගයට එළඹෙන  IBM පරිගණක වලට ඒ මෘදුකාංග නිෂ්පාදනයට IBM හා Microsoft සමාගම් දෙක අතර එකඟතාවයන් ඇතිවේ.

DOS එහෙමත් නැත්නම් Disk Operating System යන පාලක මෘදුකාංගයේ අයිතිකරුවා Microsoft බව පරිගණක ගැන දන්නා කියන උදවිය පොදුවේ සිතනා හා දන්නා කරුණකි. එහෙත් සැබෑ කරුණ වන්නේ එය මුලින්ම කේතගත කොට නිර්මාණය කලේ ලෝකයේ සෑහෙන්න කාලයක් අංක එකේ පොහොසතා ලෙස වැජඹුන Bill Gates නොව වෙනත් අයෙකු විසිනි. ඒ එම කාලයේ Seattle Computer Products ආයතයේ සේවය කරමින් සිටි Tim Paterson විසින් වන අතර එය 86-DOS ලෙස නැතහොත් Quick and Dirty Operating System (QDOS) ලෙසද හැදින්වූ අතර Paul Allen ගේ මැදිහත් වීමෙන් එය Microsoft ට මිලට ගෙන එය IBM පරිගණක සමග ලබා දුන් බව පැ‍වසේ. කෙසේවෙතත් මෙම ගණුදෙනුව Microsoft සමාගමට නම් ගෙන දුන්නේ වාසනාවක් වූ අතර තව තවත් සමාගමේ ආදායම බෙහෙවින් ඉහල දැමීමට එය හේතුවූ බව නම් පැවසිය යුතුමය.

IBM සමාගම සමග පමණක් නොව Microsoft  ආයතනය ඇපල් ආයතනය සමගද එක්ව වැඩකල ආයතනයකි. ඒ ඔවුන්ගේ Macintosh Operating system තවත් වැඩිදියුණු කිරීමට වන අතර පළමුවෙන්ම Macintosh prototype ලැබුන බාහිර ආයතනය Microsoft ලෙසද සැල‍කේ. විශේෂයෙන්ම ඇපල් පරිගණක සමග අලෙවි කෙරුන Microsoft සමාගමේ Word and MultiPlan (MultiPlan යනු Excel මෘදුකාංගය තැනීමට පෙර එම කාර්යය කිරීමට නිපදවා තිබූ මෘදුකාංගය බව පැවසේ) නිසා Microsoft සමාගම යහමින් මුදල් උපයා ඇති අතර අදාල මෘදුකාංග නිසා ඇපල් පරිගණකවලට තිබූ ඉල්ලුම නිසා එයින් ඇපල් සමාගමටද අත්වූයේ වාසියකි.

Microsoft සමාගමට තිබුනේ වෙනමම දැක්මකි. එනම් ඒ අවධියේ නමගිය සමාගම් සමග එක්ව තම මෘදුකාංග හා තම සමාගම ඒවා හරහා ප්‍රසිද්ධ කරගැනීමත් ඉන්පසු තමන්ගේම කියා වෙනමම මෘදුකංග නිපදවා වෙනමම අලෙවි කිරීමේ ඉලක්කයකි. ඇත්තෙන්ම ඔවුන් සාර්ථක විය. ඇපල් සමාගමට තමන් ලංකරගෙන සිටින අයගේ තරම තේරෙන්නට පටන්ගත්තේ Microsoft සමාගම තම පළමු GUI ඇති පාලක මෘදුකාංගයක් ලෙස Windows 1.0,  1985 දී නිකුත් කිරීමත් සමගයි. කෙසේවෙතත් අලෙවිය එතරම් හොදනොවූ නිෂ්පාදනයක් ලෙස කියතත් 1987 තෙක් මෙය ලබාගැනීමට හැකියාව තිබුනි.

එහි තිබූ දුර්වලතාවයන්ද නිවැරදි කර ගනිමින් තවත් අංගද එක් කරමින් 1987 දී Windows 2.0 සංස්කරණයද Microsoft සමාගම විසින් එලිදක්වන අතර දැන්නම් ඇපල් සමාගමට තීරණයක් ගන්නට සිදුවී තිබුනි. මන්ද එය ඇපල්  GUI පාලක මෘදුකාංගයට සමානකම් ඇති ලෙස ඔවුන් සැලකීම සහ Microsoft සමාගම, ඇපල් සමාගම වෙනුවෙන් මෘදුකාංග නිපදවන අතරේම ඔවුන්ගේ Windows තැනීම සදහා එයින් සැලකිය යුතු දත්ත ලබා‍ගෙන ඇතිබවට සැක කිරීමයි. මේ තත්වය කොතරම් බරපතල ලෙස ඔවුන් සලකා ඇත්ද කියතොත් තමන්ගේ copyrights, 170 ක් Microsoft විසින් උල්ලංඝනය කර ඇති බව පවසමින් 1988 දී Microsoft එරෙහිව ඇපල් නඩුමගට බසින අතර එය වසර 4 ක් පුරා විභාග කෙරුනි.

කෙසේවෙතත් නඩුවෙන් ඇපල් පැරදුන අතර සමහර copyrights නවයක් හැරෙන්නට අනෙක්වාට අයිතියක් කීමට ඇපල්ට නොහැකි බව තීන්දු කෙරිනි. එසේම පසුව Microsoft සමාගම පැවසූවේ එම copyrights නවයේද ඇතැම් ඒවා copyrights ලෙස සැලකිය නොහැකිබවයි. එනම් උදාහරණයක් ලෙස graphical user interface ට අයිතියක් කීමට ඇපල්ට නොහැකි බවත් එය ඔවුන් Xerox සමාගම විසින් Xerox's Alto සහ Star පරිගණක වලට තැනූ graphical user interface න් ලබාගත් අදහස වැඩිදියුණු කිරීමෙන් තැනූවක් බවයි. මෙම ඉල්ලීම්ද Microsoft සමාගමට වාසිදායක තීන්දු ලැබීමෙන් කෙලවරවූ අතර යම් හෙයකින් මේ නඩුවලින් Microsoft පරාජයට පත්වූයේ නම් ඔවුන්ට පරිගණක ක්‍ෂෙත්‍රයේ මෙතරම් Windows Operating System එකේ බලපරාක්‍රමය විහිදුවාගෙන සිටින්නට අවස්ථාවක් නොලැබෙන බවද පැවසේ.
Bill Gates was photographed by the Albuquerque, New Mexico police in 1977 
after a traffic violation (details of which have been lost over time).

කෙසේවෙතත් 90 දශකයේ අගභාගය වන විට මෙම සමාගම් දෙක අතර පැවති නොහොද නෝක්කඩු සමනය වූ අතර වර්ථමානයේද Microsoft සමාගම, ඇපල් පරිගණක වෙනුවෙන් විශේෂයෙන් Office මෘදුකාංගය වැනි මෘදුකාංග නිපදවීම සිදුකරයි.

John Sculley ඔහුව, ඔබට ඇතැම්විට මතක ඇති ඔහු ඇපල් සමාගමේ සේවයට එන්නේ 1983 දී. ඔහුව ඇපල් සමාගමට සේවයට ගැනීමට මුල්වන්නේත් Steve Jobs විසින්ම තමයි. හැබැයි Steve කවදාවත් සිතන්නට නැතුව ඇති තමන්ම ඉදිරිපත්වී තමන් විසින්ම බිහිකරන ලද සමාගමෙන් යන තැනට වැඩ කිරීමට  Sculley කවදාවත් වැඩකරයි කියා.
Steve Jobs සහ John Sculley Macintosh හා Lisa පරිගණක සමග

John Sculley ඇපල් සමාගමට පැමිනෙන්නට පෙර ලෝ ප්‍රකට පැණිබීම සමාගමක් වන Pepsi-Cola ආයතනයේ තමයි සේවය කලේ ඔහු එහි 1967 තරම් ඈත කාලයක සිට සේවය කල අයෙක්. 1967 දී Pepsi ආයතනයේ සේවයට පැමිනෙන්නේ පුහුණුවන්නෙකු ලෙසයි. සයමාසික පුහුණුවෙන් පසු බීම බෝතල් කිරීමේ අංශයේ රැකියාව කරන ඔහු 1970 වන විට එනම් වසර තුනක් ඉක්මගිය තැන මේ සමාගමේ ලාබාලතම අලෙවි නියෝජ්‍ය සභාපතිවීමට තරම් උත්සහවන්තයෙකුවන අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 30 ක්. ඔහු‍ගේ මෙම නව තනතුරත් සමග විවිදාකාරයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු දියත් කරන අතර ඔවුන් තරගයට එළඹෙන්නේ එසේ මෙසේ ප්‍රතිවාදියෙකු සමග නොව තවත් ඒ ආකාරයේම Cola බීම නිපදවන සමාගමක් වන Coca-Cola සමාගම සමගයි. මෙය ඒ කාලයේ හදුන්වා ඇත්තේ the Cola Wars ලෙසයි.

තම ආයතනයේ උන්තිය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටුකරන John Sculley, එම සේවය පාඩුවක් නොවන බව ඔප්පුවන්නේ 1977 දී ඔහු එම සමාගමේ ලාබාලතම සභාපතිවරයා වීමටද භාග්‍ය ලබමිනුයි.

John Sculley ගේ මෙම අලෙවිකරණය හා පරිපාලනමය හැකියාවන් පිළිබදව කීර්තිමත් වටපිටාව හොද ඉදිරිදැක්මකින් යුතු Steve Jobs ට නිරායාසයෙන්ම ඇසගැසෙන අතර තව ආයතනයේ ඒවන විට සිටි සභාපතිවරයා වූ Mike Markkula විශ්‍රමයාමට උවමනා වී තිබීමත් ඉන්පසුව එම ස්ථානයට පත්වීමට සිටියේ Jobs නිසා ආයතන‍යේ වැඩකටයුතු නිසිපරිදි පවත්වා ගැනීමට හැකි දක්‍ෂ ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙකු සොයමින් සිටි අවස්ථාවේ තමයි John Sculley එයට සුදුස්සා බව Steve Jobs ට වැටහෙන්නේ. "ඔබට ජීවිතේ ඉතුරු කාල‍යෙත් සීනි දියකරපු වතුර විකුණ විකුණ ඉන්නද උවමනා. නරකද මාත් එක්ක එකතුවෙලා ලෝකය වෙනස් කරන්න හවුල් වුනොත්" මේ තමයි Steve Jobs විසින් John Sculley ට තමන් සමග එක්වන ලෙස යෝජනා කල විදිය.
(Steve Jobs successfully sealed the deal with his legendary pitch to Sculley, asking him whether he preferred to "sell sugar water for the rest of your life or come with me and change the world?")


කෙසේවෙතත් වසර දෙකක් යන්නටත් පෙර මේ දෙදෙනා අතර ආයතනික මට්ටමේ ගැටළු පැනනගින්නේ Steve Jobs විසින් ගන්නා ලද තීරණ ආයතනයට මූල්‍යමය වශයෙන් විශාල පාඩුගෙන දෙන බව John Sculley ගේ මතය වීමත් Steve Jobs ගේ පුද්ගල චරිතයේ තිබූ ඇතැම් අසුභ ලක්‍ෂනද සමාගමේ උන්නතියට හානිකර බව John Sculley ගේමෙන්ම ආයතනයේ අධ්‍යක්‍ෂක මණ්ඩලයයේ බහුතරයකගේද අදහසවීමයි. කෙසේවෙතත් John Sculley ට පෙර තමන් ඉස්සර වී 1985 මැයි 24 වන දා "boardroom coup" ලෙස අන්වර්ථ නාමයෙන්ද හදුන්වන අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීම කැදවා තම බලයට එහි සාමාජිකයන්ද නතුකොට ගෙන John Sculley ව ආයතනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට Steve Jobs ගේ අභිප්‍රාය විය. කෙසේවෙතත් ඔහුගේ සිතැගි උඩුයටිකුරු කරමින් අධ්‍යක්‍ෂක මණ්ඩලය ගත්තේ John Sculley ගේ අන්තය වූ අතර පරිපාලනමය බලතල Steve Jobs වෙතින් ඉවත් කිරීමටත් තීන්දුවිය. මේ සමග

Steve Jobs ට ඇපල් ආයතනයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය ඇතිවූ අතර ඉන් මාස කිහිපයකට පසුව ඇපල් ආයතනයෙන් Steve Jobs ගේ නික්මයාම සිදුවිය.

කෙසේවෙතත් මෙසේ තමන් විසින්ම බිහිකල ඇපල් ආයතනයෙන් නික්ම යාමට සිදුවීම තවත් දේවල් අළුතින් බිහිකරන්නට සහ නව මානයන් කෙරේ තම සිත යොමුකර ඒවායේ උන්නිතය වෙනුවෙන් ක්‍රියා කිරීමට මෙය ආශිර්වාදයක් වූ බවයි.

1994 දක්වා John Sculley ඇපල් ආයතනයේ සේවය කලේය. එම කාලය තෙක් ඇපල් ආයතනයේ උන්තිය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටුකල ඔහු 90 දශකය මුල් කාලයේදීම දේශපාලනය දිශාවට හිතයොමුකල අතර බිල් ක්ලින්ටන් ජනපතිවරයාටද, ජනපති සටනේදී සහය ලබාදෙනු ලැබූවෙක්. 1993 දී ඇපල් සමාගමෙන් ඉවත්වීමෙන් අනතුරුව තවත් සමාගම් කිහිපයකම ප්‍රධාන තනතුරු ගණනාවක්ම උසලනු ලැබූ බවත් සදහන් කල යුතුයි.

දීර්ඝ ලිපි‍ පෙලක සමාප්තියට ආසන්නවෙමින් පවතින මොහොතක Steve Jobs ගැන නැවතත් අවධානය යොමුකරන්නේ නම්. ඔහු බොහෝදෙනා හා බොහෝ මූලාශ්‍ර හදුන්වාදෙන්නේ අමාරුකාර චරිතයක් 
ලෙසයි. ලෝකයේ හොද අලෙවියක් තිබූ Stanford management science professor Robert Sutton ලියූ The No Asshole Rule කෘතියේද  Steve Jobs  වෙනුවෙන්ද සෑහෙන්න ඉඩක් වෙන්වී ඇත. එහි සදහන් වන ආකාරයට නම් Steve Jobs යනු මිනිසුන් හඩවන හා අන්‍යයන්ට භීතිය ගෙන දෙන පුද්ගලයෙකි. එසේම වැඩිදුරටත් එහි සදහන් වන ආකාරයට ඔහු අන්‍යයන්ට තමන් හමුවීමට ලබාදී තිබෙන අවස්ථා මඟහරින්නෙකි. දුරදිග කල්පනා නොකර වැරදි තීරණ ගන්නෙකි. ගරුත්වය ‍ලැබිය යුතු කෙනාට එය ලබා‍ නොදෙන්නෙකි. එසේම ඔහු සත්‍ය පෙනි පෙනී එයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන්නෙකි (Jobs often reacts ad hominem). අන්‍යයන්ට සවන් නොදෙන අතර තමන් ඉදිරියට පැන ඔවුන්ට බාදාකරන්නෙකි. වගකීම් නොදරන හා පොරොන්දු කඩකරන්නෙකි. මේ ආකාරයේ තවත් විවිද දොස් ඔහුකෙරෙන් දකින අය බොහෝවෙති. තවද ඇපල් ආයතයේ සේවකයන් අස් කිරීමට ඉතා සුළු හෝ වෘත්තීමය හේතුවක් හෝ නොවීම ඔහුට ගැටළුවක් නොවූ අතර ඇතැම් විට විදුලි සෝපානයේ ගමන් කරමින් සිටින විට පවා ඇතැම් සේවකයන් සේවයෙන් ඉවත්කර දැමීමට ඔහු අත්‍තනෝමතිකවූ බවටද චෝදනා කරයි. එසේම ඇපල් මෙන්ම NEXT ආයතනය තුලද ඔහු ඒකාධිපති පාලනයක් ගෙන ගිය අතර ඇපල් ආයතනයේ නිෂ්පාදනයන් පිළිබද තොරතුරු "දේව රහස්" මෙන් වූ බව පැවසේ. උදාහරණයක් ලෙස NEXT පරිගණක නිෂ්පාදනයේදී එහි දෘඩාංග තැනූ වෘත්තිකයන් තමන් තැනූ පරිගණක වලට යොදන මෘදුකාංග පිළිබදවවත් නොදැන සිටි බව කියන අතර iphone වැනි උපකරණ තැනීමට ප්‍රමුඛ ලෙස දායක වූ පුද්ගලයන් පවා එම උපකරණ හරිහැටිම දැකකියා ගත්තේ Jobs විසින් ඒවා නිල වශයෙන් මාධ්‍යයට ඉදිරිපත් කල පසුබවද කියවේ.

එසේම ඇපල් සමාගම වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන වල කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවන චීනයේ Foxconn Technology Group හෙවත් Foxconn සමාගම සිය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකන ආයතනයක් බව පැවසෙන අතර එය ළමා ශ්‍රමය පවා යොදවා ගන්නා සමාගමක් ලෙස අපකීර්තියක් ඇති සමාගමකි. එසේම එම සමාගම තුල සේවය කිරීමෙන් ඇතිවූ මානසික ආතතිය නිසා ජීවිතය නසා ගත් පුද්ගලයන් රාශියක් පිළිබදව වාර්තාවන අතර මෙම අවසනාවන්ත තත්වයන්ට අනියමින් හෝ Steve Jobs ද වගකිය යුතුබවට මතයක් පවතී.

(In 2006, the Mail on Sunday reported that sweatshop conditions existed in some factories in China, where the contract manufacturers,Foxconn and Inventec, operate the factories that produce the iPod.[196] The article stated that one complex of factories that assembles the iPod (among other items), for instance, had over 200,000 workers that lived and worked in the factory, with employees regularly working more than 60 hours per week. The article also reported that workers made around $100 per month and were required to live on the premises and pay for rent and food from the company, which generally amounted to a little over half of workers' earnings.

Immediately after the allegations, Apple launched an investigation and worked with their manufacturers to ensure that conditions were acceptable to Apple.[200] In 2007, Apple started yearly audits of all its suppliers regarding worker's rights, slowly raising standards and pruning suppliers that did not comply. Yearly progress reports have been published since 2008.[201] In 2010, workers in China planned to sue iPhone contractors over poisoning by a cleaner used to clean LCD screens. One worker claimed that he and his coworkers had not been informed of possible occupational illnesses.[202] After a spate of suicides in a Foxconn facility in China making iPads and iPhones, workers were forced to sign a legally binding document guaranteeing that they would not kill themselves.[203] In 2011 Apple admitted that its suppliers' child labor practices in China had worsened.[204])
උපුටා ගැනීම - http://en.wikipedia.org/wiki/Apple_Inc.

කෙසේවෙතත් ලෝකයේ කිසිවෙකු 100% ක් නිවැරදි පුද්ගලයෝ නොවෙති, අපි ‍ඔහු ගැන කතා කරන්නේ ඔහු හොද තාක්‍ෂනවේදියෙකු ‍නිසා නොවන්නේද? යන විවිද අදහස් පලවුවත් මගේ පෞද්ගලික අදහස නම් වන්නේ ඔහු සතුව තිබූනා යයි කියන මෙබදු දුර්ගුණ ඔහු‍ට මීට වඩා අයත්වන්නට තිබූ සමෘද්ධියට බාදාවක් වන්නට ඇති බවයි. මම කිසි‍විටකත් කියන්නේ නැහැ ඔහු අසාර්ථක පුද්ගලයෙකු යයි කියා. එහෙත් ඔහු හා සමකාලීනව පරිගණක ක්‍ෂෙත්‍රයට පැමිණි Bill Gates 2011 විට US$ බිලියන 56 ක වත්කමක් ඇති ලෝකයේ දෙවනියට පොහොසතා වෙද්දී Steve Jobs, 2011 දී  US$ බිලියන 7 ක වත්කමක් ඇතිව ලෝකයේ 136 වන පොහොසතා බවට පත්වි ඇත. එසේම Bill Gates සමග එක්ව මයික්‍රොසෝෆ්ට්  බිහිකල
Paul Allen පවා US$ බිලියන 13.2 ක හිමිකරුවෙක්ව ලෝකයේ 57 වැනි පොහොසතා බවට පත්ව ඇත.

කොහොම නමුත් ව්‍යාපාරික ක්‍ෂෙත්‍රයේ ඇති උපක්‍රම හා විධික්‍රම අනුව පුද්ගල චරිත ලක්‍ෂන තම වත්කම කෙරේ ඍජුවම බලනොපාන බවටද අපට තර්ක කල හැක.

එසේම Steve Jobs ගෙන්  අපේ ර‍ටේ ‍බොහෝදෙනෙකුටද ගත හැකි හොද ආදර්ශද ඇත. ඔහු කිසිවිටක තම නිපැයුම් සදහා දේශපාලන සංකල්ප හෝ ඔවුන්ගේ සේයාරූ හෝ කාටුන් යොදා නොගැනීමට වගබලා ගෙන තිබුනි. එසේම ලිංගිකත්වය උද්දීපනය කෙරෙන පින්තූර හෝ වැකි සහ සමරිසි යන්ට අදාල වෙන සංකේතාත්මක නිරූපනයන්ද ඇපල් නිෂ්පාදනවලට යොද නොගෙන සිටීමට ගත් තීරණ පැසසිය යුත්තකි.

Steve Jobs සිය වසර 56 ක කෙටි දිවිය හමාර කොට 2011 ඔක්තෝබර් 05 වන දා සදහටම නික්ම ගිය අතර ඔහුගේ අවසන් කටයුතු ඔක්තෝබර් 07 වැනිදා පවුලේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව කුඩාවට සිදුවිය. ඇපල් වැනි ශක්තිමත් ආයතනයක් මේ නිසා බිද නොවැටුනත් ඔහු සතුව තිබූ දැක්ම හා නිපුණත්වය  ඔවුන්ට අහිමිවීම නම් කිසිදා සපුරාලිය නොහැකි පාඩුවක් වේ. එසේම බිද වැටෙමින් පවතිනවා යැයි කියන ඇමරිකානු ආර්ථිකයට මෙවැනි දැවැන්ත ව්‍යවසායකයකුගේ නික්ම යෑම විශාල මරුපහරක් වන්නටද ඉඩ ඇත. අවසාන වශයෙන් අපගේ කාලයේ ලෝකය තව තවත් පහසුකරන්නට ඇප කැපවූ මෙම අග්‍රගණ්‍ය පුද්ගලයාට මා අදහන දහමට අනුව නිවන්සැප පතන්නෙමි.

දැන් මෙම ලිපි පෙල අවසානය කරන්නට සුදුසු මොහොතයි. මේ ලිපි පෙල ලියන්නට මූලිකවම ඉල්ලූ ඉන්දික හා බුද්ධි යන මිතුරන්ටත්, මෙහි පළමු ලිපිය පළවූ පසු නෝක්කාඩුවට මෙන් හැමෝම කියන්නේ  Steve Jobs එකවරම ඇපල් පරිගණක හැදුවා මිස ඔහුට එය සදහා තිබූ හැකියාව පිළිබදව පසුබිම නොවේ යයි පැවසූ මාරයාටත්, ඇපල් හා එයට අදාලව තවත් විස්තර ලිවීම සදහා ඔත්තු ලබාදුන් Senna හා බුද්ධි මිතරාට නැවත වරක් හා ඇපල්, මයික්‍රොසොෆ්ට් හා Xerox වැනි සමාගම් වල කෙරුවාවල් දෘශ්‍ය ලෙසම දැක ගන්නට හැකි Pirates of Silicon Valley චිත්‍රපටිය ගැන කියූ hare ටත් ස්තූතිකරන අතර මෙම ලිපි කියවූ සහ ඉහත ලිස්ට් එකේ නම නොකියවුන එහෙත් විවිද ඔත්තු ලබාදුන් මිතුරන්ටත් ස්තූති කරමි. එසේම මෙම ලිපි පෙල 100% ක් මෙම තේමාවට අදාල පුද්ගලයන් හෝ ආයතන ගැන කියවෙන ලිපි පෙලක් නොවන අතර මඟහැරුන කරුණ සෑහෙන්න තිබෙන්නටද පුළුවන් බව මතක් කරමි.

අවසාන වශයෙන් මෙම ලිපි පෙල ලිවීමට දායකකරගත් මූලාශ්‍ර විශාල ප්‍රමාණය අතරින් මූලාශ්‍ර සෑහෙන්න ප්‍රමාණයක්ද සටහන් කිරීමට සිතුවෙමි.


9 comments:

  1. සත් සමුදුරේ පල වුණු තවත් සාර්ථක ලිපි පෙළක් කියල කට පුරා කියන්න පුළුවන්. නොදන්න හුඟක් දේවල දැනගන්න සැලැස්සුවාට දිනේශ්ට බොහොම ස්තූතියි...

    ReplyDelete
  2. නොදැන සිටි කාරණා රාශියක් දැනගත්තා ජෝබ්ස් මහත්තය ගැන , බලාගෙන ගියාම අපේ බිල් ගේට් මහත්තය ඊට වඩා දක්ෂයෙක් . මම නම් ඉතින් ඇපල් පරිඝනක එහෙන් මෙහෙන් අල්ලලා තියනව විතරයි . ෆෝනුත් එහෙමයි . 98 ඉඳන් වින්ඩෝස් 8 දක්වාම ජීවත් වෙන්නෙ ගේට්ටු මහත්තයගෙ තාක්ෂනෙත් එක්ක . කොහොම උනත් ලෝකෙට වටිනා යමක් එක් කරපු ජෝබ්ස් මහත්තයට් නිවන් සුව පතනව (එතුමාගෙ දර්ශනයත් ඒකම වෙන්න ඇති )

    හැමදාමත් වගේ සුපිරි ලිපි මාලාවක්

    ReplyDelete
  3. ස්ටීව් ජොබ්ස් ගැන දැන ගන්න ගිහිං, එයා‍ගෙ යාලුවා ගැන,මයික්‍රසොෆ්ට් ගැන, බිල් ගේට්ස් ගැනත් දැන ගත්තා. තව කොච්චර විස්තර දැන ගත්තද? තැන් තැන් වලින් දැනගෙන හිටපු කාරණා මේ ලිපි මාලාව නිසා කතාන්දරයක් වගේ පිලිවෙලට අමුණගන්න පුලුවන් උනා.

    දිනේෂ්ගෙ වටිනා කාලය කැප කලාට ස්තුතියි මේ ගැන ලියන්න. එයින් පාඩුවක් වෙන්නැ. කීදෙනෙක්ට පහසුවක් ද මේ වගේ එක ලිපියකින් ‍පහසුවෙන් තොරතුරු ගොඩක් ඉගෙන ගන්න පුලුවන් එක.

    අනික මම එදා අකුරු ගැන කිව්වෙ, මේ ලිපි එක සැරයක් කියෝලා ඉවත දමන ලිපි නොවි කාලයක් තිස්සෙ වටිනාකම එකම මට්ටමේ තියෙන හින්දා. ඒ ටික හදලා දැම්ම යි කියලා පාඩු වෙන්නැත්තෙ තවත් බොහෝ කාලයක් මේ ලිපි සොය සොයා කියවන පිරිසක් ඉදීවි කියලා අපිට විශ්වාස කරන්න පුලුවන් නිසා.

    තවත් මේ වගේ ලිපි සත්සමුදුරෙන් එනකන් බලාගෙන ඉන්නවා. ස්තුතියි.

    ReplyDelete
  4. බොහෝදේ දැනගත්තා . ඔබට පිං !

    ReplyDelete
  5. thnx mcn info tikata

    ReplyDelete
  6. ඇති විශිෂ්ටයි දිනේෂ්...බොහොම ආසාවෙන් මුළු ලිපි මාලාවම කියෙව්වා...නොදත් කරුරු රාශියක් දැනගත්තා. ඔබ මේකට වෙච්ච මහන්සියේ තරම හිතා ගත්තෑකි අන්තිමට දාලා තියන සබැඳි සංක්‍යාව බැලුවාම..

    දිගටම මෙලෙස අපව දැනුමෙන් පොහොසත් කරගන යාමට හැකියාව ලැබේවායි පතමි. තවත් මෙවැනිම වූ රසවත් ලිපියක් නිකුත් වන තුරු බලා සිටිමි.

    ඔබට ජය !

    ReplyDelete
  7. නරකද "Bill Gates" ගැනත් මේවගේ ලිපි පෙළක් ලීවොත්? මේවගේම රසවත් වේවි.

    isuru

    ReplyDelete
  8. නියමයි සහ ස්තුතියි... දවස් ගාණක් ජාලේ පීරලා ගන්න බැරි තරම් දැනුමක් මේ ලිපි පහෙන් ගත්තා. ඇත්තටම ජොබ්ස් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යෙයක්. ඒ නිසා වැරදි ඇති. ඒත් මං හිතන්නේ පිළිකා තත්ත්වයත් එක්ක් ජොබ්ස් ජීවිතය ගැන ගැඹුරට හිතන්න ගත්තා. මේ තාක් කාලයකට ලෝකයට ඉදිරිපත් වුනු විප්ලවීයම නිර්මාණය වන ඇපල් අයි-පෑඩ් ටැබ්ලට් පරිගණකයත් ඔහු ඉදිරිපත් කලේ 2009 අගභාගයේ අක්මා බද්ධයෙන් පස්සේ. කොහොම වුනත් අනාගතවේදියෙක් හැටියට ජොබ්ස් ගේ දැක්ම නම් අති විශිෂ්ඨයි. මං දැක්කා ජාලේ තියෙනවා ජොබ්ස් මැරුනේ තව අවුරුදු 05 කට ඇපල් ආයතනයට ප්ලෑන් හදලා තියලා කියලා...

    ස්තුතියි දීපාල් සහෝ මේ දැනුමට !!! තවත් හරබර ලිපි පෙලක් ලියමු... ජයවේවා !!!

    ReplyDelete
  9. Does your website have a contact page? I'm having problems locating it but, I'd
    like to send you an e-mail. I've got some suggestions for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it expand over time.

    Also visit my site - cellulite treatment

    ReplyDelete