-->

Friday, December 2, 2016

ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද?

20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්‍ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්‍ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කු බල ඇනි වලට සිය ප්‍රහාර කුමන ස්ථානයකට එල්ල වුනිද, එය නිවැරදිද, නොඑසේ නම් දිශානතිය කොපමණ දුරකට වෙනස් කළ යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. එසේම පාබල හමුදාවන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ කොයි ස්ථානයක රැදී සිටිය යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. මෙය යුද ඉතිහාසය තුල මෙන්ම තාක්‍ෂනික වශයෙන්ද ප්‍රධාන පෙලේ දියුණු තත්ත්වයක් වූවා පමණක් නොව සමස්ථ යුද්ධය පුරා අවසානය තෙක් පරිපූර්ණ වශයෙන් කාර්යක්‍ෂමතම ක්‍රියාදාමයද වූවා.

භූමියේ යුද හමුදාව මෙන්ම නාවික හමුදාවද මෙම නව තාක්‍ෂනයට ඉක්මනින්ම තම මෙහෙයුම් සදහා යොදා ගත් අතර නාවික සටන් භූමියේ සටන් වලට වඩා තීවුර වීමටද මෙම නව සන්නිවේදනය ඉවහල් වූ බව පැවසෙනවා.

කෙසේවෙතත් ගුවන් විදුලි සන්නිවේදනය ආරක්‍ෂිත බවෙන් හීන ක්‍රමයක් බවද සදහන් කළ යුතුය. මන්ද එම පණිවිඩය මිතුරු-සතුරු දෙපාර්ශවයටම ශ්‍රවණය කළ හැකි වීමයි. මේ නිසා විවිද රහස් කේතයන් මගින් අවශ්‍ය පණිවිඩය තම පාර්ශවයේ අනෙක් අන්තයට දැනුම් දීම කරනු ලැබූ අතර දක්‍ෂ කේත විශ්ලේෂකයන්ට සතුරු පාර්ශවයේ කේතයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිරාවරණය කිරීම අපහසු දෙයක් වූයේද නැහැ. තවත් කාරණයක් වන්නේ නැගෙනහිර යුද පෙරමුණ බිදී යාමට එක් හේතුවක් ලෙසද සලකන්නේ රුසියානුවන් සිය පණිවිඩ හුවමාරුවට මොනම කේත ක්‍රමයක් යොදා නොගැනීමයි. මේ නිසා එම යුද පෙරමුණේ සිටි ජර්මානුවන්ට ඉතා පහසුවෙන්ම රුසියානුවන්ගේ ඊලඟ පියවර කුමක්දැයි දැන ගැනීමේ හැකියාව ලැබී තිබු බවද පැවසේ.

කෙසේවෙතත් භූමියේ මෙහෙයුම් කළ හමුදාවන්ට ගුයන් විදුලි මගින් පණිවිඩ හුවමාරුව අනාරක්‍ෂිත වූ නිසා එයට වඩා ආරක්‍ෂිත ක්‍රමයක් ලෙස දුරකථන ක්‍රමවේදයක් ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගත් අතර එය Field telephones ලෙස හැදින්වූවා.  සතුරාට තොරතුරු ලැබීමේ හැකියාවේ යම් අඩුවක් සිදුවුවත් මේ සදහා යොදා ගත් රැහැන් ආදිය කාලතුවක්කු ප්‍රහාරයන්ට ලක්ව කැඩී යාම වැනි කාරණා නිසා නිරතුරු අළුත්වැඩියා සිදුකරන්නට සිදුවීම තවත් කරදරකාරී ක්‍රියාදාමයක් බවට පත්ව තිබුනා.

යුද්ධය තව තවත් උණුසුම් වෙත්ම සන්නිවේදනය වඩාත් බරවී තිබුනේ තම පාර්ශවයේ අන්ත දෙකක් හරහා ලියන ලද පණිවිඩ රැගෙන යන පණිවිඩ රැගෙන යන්නන් මතයි. මොවුන් runners ලෙස හැදින්වූ අතර සත්‍ය වශයෙන්ම කියනවා නම් යුද්ධයේ සිටි නිර්භීතම පිරිස ලෙස හැදින්වූවත් වරදක් නැහැ. මන්ද සතුරු-මිතුරු දෙපාර්ශවයෙන්ම එල්ල වන කාලතුවක්තු, මැෂින් තුවක්කු ප්‍රහාර වලට මැදිවී මියයාමට හෝ තුවාල ලැබීමට මෙන්ම යම් හෙයකින් සතුරාට අහුවුනහොත් පණිවිඩය දැනගැනීම කෙසේවෙතත් විවිද වදබන්ධනවලට ලක්වීමට සිදුවීම යන අවධානමද රැගෙන රාජකාරිය සිදු කළ යුතුවූවා. අප හොදින්ම දන්නා එවැනි රාජකාරියක් කළ අයෙකු සිටියේය. ඔහු වෙනකෙකු නොව දෙවන ලෝක යුද්ධයේ නියමුවා වූ ඇඩෝල්ෆ් හිට්ලර්ය. සාමාන්‍ය සෙබලෙකු ලෙස යුද්ධයට එක්ව ඔහුගේ මෙම නිර්භීත හා තද ඕනෑකම runner කෙනෙකු ලෙස තිබු පමණක් නොව ඔහු එලෙස කිහිපවිටකම තුවාල ලැබීමටද මෙම රාජකාරිය හේතුවූවා. ඔහුගේ ධෛර්යය හා නිර්භීතකම නිසා කෝප්‍රල් නිලයට උසස් වීමටද හැකිවූවා. 

ගුවන් යානා වලට කැමරා සවිකිරීම පසු කලෙක සිදුවූවා මෙන්ම නියමුවාට අමතරව ගමන් ගත් ගුවන් භටයෙකු භූමියේ ඡායාරූප කැමරා මගින් ගැනීම මෙම යුද්ධයේදී ඇරඹී තිබුනා. 

තවද කුඩා රොකට් ආකාරයක උපාංගයක් ඔස්සේද පණිවිඩ ඒ ඒ අන්තයන්ට යැවීම සිදුකරන ලැබූ අතර එය එක් අතකින් අප රටේද පුරාණයේ භාවිතා වූ ඊතලයක දවටා විදීමෙන් පණිවිඩ යැවීම හා යම් සමාන කමක් තිබුනා.

සතුන් මගින්, විශේෂයෙන් පරවියන් ආධාරයෙන් පණිවිඩ හුවමාරුව බහුල ලෙස එදා සිදුවූ අතර එය 95% ක තරම් සාර්ථකත්වයකින්ද යුතු වූ බව පැවසෙනවා. මිලයන භාගයක එනම් ලක්‍ෂ පහක පරවියන් ප්‍රමාණයක් මෙලෙස පණිවඩි හුවමාරුවට සතුරු-මිතුරු දෙගොල්ලාම යොදා ගෙන තිබුනා. පරවියන්ට අමතරව බල්ලන්ද පණිවිඩ ඒමේ අත යැවීමට යොදා ගෙන තිබුනා.

මීට අමතරව තම පාර්ශවයට පෙනෙන ලෙස කොඩි වැනීම, අලෝක දැල්වීම වැනි එතරම් ආරක්‍ෂිත නොව ක්‍රමවේදයන්ද භාවිතා කර තිබූ බව පැවසෙනවා.

3 comments:

  1. වටිනා විස්තර ටිකක්...........

    ReplyDelete
  2. එදා සොල්දාදුවෙක් වර්තමානෙට ආවොත්, දැන් ඉන්න උන් මොන යුද්ධද කරන්නේ කියලා අහයි..

    ReplyDelete
  3. රහස් සංකේත බවට හරවන ලද පණිවිඩ හුවමාරු ක්‍රම, encrypted messaging මේ යුගයේදී වේගයෙන් දියුණු වන්නට පටන්ගත්තා.

    ReplyDelete