Thursday, June 12, 2014

ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුතු වල යෙදෙන්නට සිදුවීමත්, මේ ලිපි පෙල ලිවීමේදී මූලාශ්‍ර රැසක් හැදෑරීමට විශාල කාලයක් ගතවීමත් මේ දිනවල ලිපි පළවීමේදී එක් ලිපියක් ලියා තවත් ලිපියක් ලියන්නට කාලය ගතවීම ලෙස දක්වන්නට පුළුවන්. එසේනම් අපි සුපුරුදු ලිපි පෙලේ ලිපියට දැන් යොමුවෙමු.

පොලිස් නිලධාරියාට වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපු අසල පිහිටි තණබිස්සට විසිකරන ඔස්වල්ඩ් අළුතින් තම පිස්තෝලයට පතරොම් පුරවා ගන්නා අයුරු අසළ පිහිටි නිවසක සහෝදරියන් දෙදෙනෙකු දුටු  බවත්  පසුව එම හිස් පතරොම් කොපුද සොයා ගන්නා ලද බවත් බලධාරීන් විසින් පවසනු ලැබූහ. මෙයින් පසුව ඔස්වල්ඩ් යාබද නාගරික ප්‍රදේශයට කලබලයෙන් ගිය බව දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම වූහ.

Johnny Brewer ලී ඔස්වල්ඩ් හාවිගේ මෙම නොසන්සුන්කම හොදින් වටහා ගත්තෙකු විය. ඔහු සපත්තු වෙළඳසැලක කළමනාකරු වශයෙන් සේවය කළ අතර දැඩි කළබලයට ලක්ව, පොලිස් වාහන එම ස්ථානයෙන් ගමන් ගනිද්දී මුහුණ සැඟවීමට තැත්කරන ඔස්වල්ඩ්ව දුටු ඔහු, ඔස්වල්ඩ්ට නොදැනෙන්නට ඔහු පසුපසින් ලුහුබැදීමට වූ අතර ඔස්වල්ඩ් සපත්තු අලෙවිසැලට තරමක් දුරින් පිහිටි ටෙක්සාස් සිනමා ශාලාවට ඇතුළුවූයේ ටිකට් පත් ලබාදෙන්නාටද නොදැනෙන අයුරිනි. මේ බව Johnny Brewer විසින් දුටු අතර ඔහු ඒ බව ටිකට් පත් නිකුත්කරන්නාට දැනුම්දුන්පසු මෙම සැකකටයුතු පුද්ගලයා පිළිබදව පොලීසියට දැනුම් දෙනු ලැබීය.

ඒ වනවිට මෙම සිනමා ශාලාවේ චිත්‍රපටි කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් පැවති අතර පොලීසිය විසින් Johnny Brewer ගේ සහයද සහිතව එයින් එක් චිත්‍රපටියක් නරඹමින් සිටි ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අත්අඩංගුවට ගන්නට යෑමේදී ඔස්වල්ඩ් විසින් ඔහු අසලම සිටි පොලිස් නිලධාරියාගේ මුහුනට පහරක් එල්ල කර සිය කලිසම් සාක්කුවේ තිබූ පිස්තෝලය රැගෙන වෙඩි තබන්නට සැරසෙනු දුටු අනෙක් නිලධාරීන් ඔහුට වෙඩි පහර එල්ල කිරීමට නොහැකිවන සේ තදින් අතින් අල්ලා ගෙන සිනමා ශාලාවෙන් පිටතට රැගෙන ආ අතර එම අවස්ථාවේ පොලිසියට බැනවදිමින් තමන් වරදකරුවෙකු නොවන බවට පුන පුන පවසා සිටි බව පැවසුනි.

ජනපති ඝාතනය කළ ඝාතකයා මෙම සිනමා ශාලාවේ සිටින බවට දූශමාන ආරංචි කණවැකුනු ජනතාව රැස්කමින් සිනමාශාලාව අවට සිටින්නට වූ නිසා ඔවුන්ගෙන් හානියක් සිදුවීම වැලැක්වීමද පොලීසියට පැවරුනු භාරදූර වගකීමක් විය.

පොලිස් මෝටර් රථයක පිටුපස අසුනේ මැදින් ඔස්වල්ඩ්ද දෙපසින් පොලිස් නිලධාරීන් දෙදෙනාද අසුන්ගෙන ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් ඔස්වල්ඩ්ගේ නම කුමක්දැයි? ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ!“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔස්වල්ගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි හැඳුනුම්පත් දෙකක් වූ අතර එයින් එකක් අප දන්නා පරිදි ලී ඔස්වල්ඩ් හාවි නමින් වූ අතර අනෙක වූයේ Alek James Hidell නමිනි. අපූරුම කාරණය වූයේ මෙම දෙවන හැඳුනුම්පත වෙනත් අයෙකුට අයත්වූවක් නොව එයද අයත්වූයේ ලී ඔස්වල්ඩ් හාවි බවට වූ සාක්‍ෂිය වූයේ එහි වූ සේයාරුවද ලී ඔස්වල්ඩ් හාවිම වූ බැවිනි.

එතනින් එහාට කිසිදු දෙබසක් ඇති නොවුන අතර ඔස්වල්ඩ් ඩලස් පොලිස් ස්ථානයට රැගෙන ආ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම භාරවූයේ එවකට ඇමරිකාව පුරාවටම පොලිස් සේවයේ කීර්තිමත් නමක් හිමිකර ගෙන සිටි හා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාර්යයේදී සාර්ථකම  ප්‍රවීණ පොලිස් නිලධාරියෙකු වූ John Will Fritz වෙතයි. මුලදී ඔහුගේ කාරුණික හා සන්සුන් ප්‍රශ්න කිරීම හමුවේද සහයෝගයක් නොපෙන්වූවද. පසුව ක්‍රමයෙන් සන්සුන් බවක් පෙන්වීය. 

ලී ඔස්වල්ඩ් හාවිගෙන් ප්‍රශ්නකරණා කිසිම කරුණකට සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූ අතර බොහෝ විචාරකයන්ගේ මතයන්ට අනුව ලී ඔස්වල්ඩ් හාවිට CIA හෝ FBI හෝ වෙනයම් රහස් ආරක්‍ෂක ආයතනයක් මගින් ලබා දී තිබූ පුහුණුව අනුව මෙවන් ප්‍රශ්න කිරීමකදී ගැලවී යන අයුරුද මනාව පුරුදු කර තිබූ නිසා මෙවන් තත්ත්වයක් ඇතිවන්නට ඇති බව පවසා සිටිති්‍.

පොලිස් කපිතාන් Fritz සමග ඔස්වල්ඩ් පිළිබදව නිරීක්‍ෂන කටයුතු වල යෙදී සිටි FBI නිලධාරියා වූ විශේෂ නියෝජිත James.P. Hosty ද පසුව සම්බන්ධ වූහ.  මේ කිසිදු අවස්ථාවක ඔස්වල්ඩ්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පැවසුනහ.

එසේම නීතිඥ සහය ලබාදීමට තැත් කළද එයටද ඔස්වලඩ්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ, තමන් නීතිඥයෙකුගේ පිහිට ලබා ගන්නේ නම් ඒ ඇමරිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ නීති උපදේශක John Abt ගෙන් හෝ එසේ නොවේනම් ඇමරිකානු සිවිල් නිදහස් සංගමයෙන් පමණක් බවයි. ඔස්වල්ඩ්ගේ මෙම ඉල්ලීමට අනුව නීතිඥ John Abt සම්බන්ධ කර ගැනීමට කොතෙකුත් උත්සහ දැරූවද එය සඵල නොවූයේ මෙම සිදුවීම් සිදුවූයේ සති අන්තයක් බැවින් මෙම නිතිඥයාද සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටීමයි. වීඩියෝ මූලාශ්‍ර වලදීද ඔස්වල්ඩ් විසින් නීතිඥයකුගේ සහය ඉල්ලා සිටින ආකාරය දැක්වේ.

ඔස්ල්ඩ් හා ඔහුගේ මව වූ මාගරීටා ඔස්වල්ඩ් අතර සම්බන්ධයද කුඩා කල පටන් දුරස්ථර වූ එකකි. ඔස්වල්ඩ් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය විසින් ඒ වන විටත් ජනපති ඝාතනයේ ප්‍රධානම සැකකරු බවට ඔහුව පත් කර තිබූ අතර මේ පිළිබදව රූපවාහිනියේ ඒ වන විට නිරතුරුවම විකාශය වූ ජනපති ඝාතනයේ තොරතුරු අතරදී කියවුන අතර එමගින් ඔස්වල්ඩ්ගේ මව සිය පුත්‍රයා මුහුණපා සිටි තත්ත්වය දුටුවාය. ඇය වහාම කිට්ටුවෙන්ම පිහිටි තැපැල් කාර්යාලය වෙතට දුව ගොස් ඩලස් පොලිස් මූලස්ථානයට තමන් රැගෙන යන ලෙස පැවසු අතර කිසිදු පැකිලීමකින් තොරවම අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් පවසා සිටියේ “මෙය  ටැක්සි සේවාවක් ලබා දෙන ස්ථානයක් නොවන බවයි“. එවිට තමා ජනපති ඝාතනයට සැකයට පාත්‍රවූ මෙම රුපවාහිනියේ පෙන්වන තැනැත්තාගේ මව බව පැවසූ වහා තැපැල් කාර්යාලය විසින් ඇයව ඩලස් පොලිස් මූලස්ථානය වෙතට රැගෙන එන ලදි.

මාගරීටා ඔස්වල්ඩ් නිරතුරුවම පවසා සිටියේ තමන්ගේ පුතා ඇමරිකානු CIA ආයතනයට සම්බන්ධ අයෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවයි. ඇය පොලිස් ස්ථානයට පැමිණි විට ඔස්වල්ඩ් හා මරියාගේ අළුත උපන් දරුවා ප්‍රථම වරට දුටු අතර මේ පිළිබදව තමාට නොදැන්වූ නිසා කණගාටුවටද පත්වූවාය. මෙම කාන්තාවන් දෙපොල ඔස්වල්ඩ් හා කතා කිරීමට ගිය විටදී තම මව දුටු ඔස්වල්ඩ් කෝපයට පත්ව ඇයට මේ පිළිබදව පැවසුවේ කවුරුන්දැයි තදින් විමසා සිටියේය. මේ වන විට ඔස්වල්ඩ්ගේ වැඩිමහල් සොයොයුරාද පොලිස් ස්ථානයට පැමිණ තිබූ අතර සහෝදරයන් අතර එතරම් සමීපතම බවක් නොතිබු අතර ඔවුන් අතර ගැටුමක් නොතිබුනි. එනමුත් මව සහ බාල පුතු (ලී හාවි) අතර සම්බන්ධය කෙදිනකවත් බැදීමකින් යුතු යහපත් එකක්  නොවූහ‍.

එදින රාත්‍රි 7.45 පමණ වන තෙක් ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ සහ සාක්‍ෂිගොනුකරනු ලැබුවේද පොලිස් නිලධාරියා ඝාතනයා සම්බන්ධයෙනුයි. මෙයින් පසු නැවත ප්‍රශ්න කරනු ලබන අවස්ථාවේ කැප්ටන් ෆ්‍රිට්ස් විසින් ජනපතිවරයා ඝාතනය කර ඇති බවත් එයට එය කළේ ඔබනේදැයි කෙලින්ම විමසූ විට ලී ඔස්වල්ඩ් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. එසේම ඔස්වල්ඩ්ට විරුද්ධව තිබූ එකම සාක්‍ෂියද ජනපතිවරයාට වෙඩි තැබූ බවට සැක කළ අවිය පමණක්ම විය. 

එහෙත් ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ශන් රයිෆලය පමණක් නොව එහි තිබී තවත් ගිනිඅවියක් ටෙක්සාස් පොත් ගබඩාවේ 6 වෙනි මහලෙන් හමුවූ බව deputy sheriff, Seymour Weitzman විසින් සිය වාර්තාවේ සටහන් කළහ. ඒ ජර්මනියේ නිෂ්පාදිත 7.65 Mauser ගිනි අවියකි. මේ බව මෙම අවස්ථාවට සම්බන්ධ වූ තවත් deputy sheriff වරෙයෙකු වන Roger Craig විසින්ද තහවුරු කරනු ලැබූහ. එහෙත් මෙම අවිය හා එයට සම්බන්ධ වාර්තා සියල්ලද සැගවී ගියෝය. 
ජනපති ඝාතනයට යොදා ගත්තේ යයි නිතර පැවසෙන අවිය මෙයයි

පොලිස් නිලධාරී J.D.Tippit ඝාතනයට යොදා ගත්තේ යයි පැවසෙන අවිය

(ජනපති කෙනඩි ඝාතනය, එයට ඈඳුන කුමන්ත්‍රණ කසුකුසුව යනාදිය පිළිබදව තොරතුරු අතිශයින්ම විශාලය. මේ පිලිබදව සාකච්ඡා කිරීමටම පමණක් වෙනම් බ්ලොග් අඩවියක් වුවත් පවත්වාගෙන යාමට තරම් තොරතුරු තිබෙන නිසා මෙතැන් සිට මෙම ලිපි පෙළේ අවසානයක් දකින්නට කරුණු සංක‍්‍ෂිප්තව ගෙනහැර පාන්නට අදහස් කරමි. ) 

මෙම තුවක්කුව සොයා ගැනීම සේම මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ ආසන්නයේම සිටි අයගේ සහ වෙඩි තැබීමෙන් පසුව අවට සිටි පිරිස හැසිරුන ආකාරය අනුව එක් තුවක්කුකරුවෙකු නොව දෙවන හෝ තෙවන අයෙකුද සම්බන්ධ වූ බවට සැකයන් මෙන්ම සාක්‍ෂිද බොහෝ හමුවිය. වෙඩි තබන අවස්ථාවේ  ජනපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ  Jean Hill ගේ ප්‍රකාශය ඉතා වැදගත්ය. ඇය පාසල් ගුරුවරියකද වූ අතර ඇය පැවසුවේ තමන්ට වෙඩි තැබීම් 3 සිට 6 දක්වා අතර වූ සංඛ්‍යාවක් ඇසුන බවත්ය. ඇයව අත්අඩංගුවටද ගැනුනා පමණක් නොව එහෙත් ඇයගේ එම ප්‍රකාශ ඉවත් කර ගන්නා ලෙස දැඩි ලෙස බලකෙරුනි. වෙඩි තැබීම් 3 ක් මිස ඉන් එහාට වෙඩි තැබීමක් ගැන ප්‍රකාශ නොකරන ලෙස තරයේ අවවාද/තර්ජනය කෙරුනි. තවද ඇයට නිරතුරුවම මේ සම්බන්ධයෙන් දුරක‍ථනයෙන් පවා තර්ජන ගර්ජන ලැබුන අතර මරණිය භය නිසාම වොරන් කොමිසමටවත් ඇය දැන සිටි කරුණු පිළිබදව සාක්‍ෂිදීමට ඇය ඉදිරිපත් නොවුනාය.

ඇයට අමතරම මේ අවස්ථාවේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ Beverly Oliver නම් නාට්‍යාංගනාවද පැවසුයේ තමන්ටද වෙඩි ශබ්දයන් ඇසුනේ ටෙක්සාස් පොත් ගබඩාව දෙසින් නොව නිරතුරුවම සැකයට පාත්‍රවූ Grassy Knoll නම් ස්ථානයේ සිට බවයි. එපමණක් නොව ED Hoffman නම් ගොළු පුද්ගලයා මෙමGrassy Knoll ස්ථානයේම සිටි අයෙකු වූ අතර ඔහු සිය අංගචලන ආදිය මගින් සිය අදහස් පවසමින් පවසා සිටියේ එහි සිට වෙඩි තැබූ අයෙකු වෙඩි තැබීමෙන් පසුව කාර්මික සේවකයෙකු සේ හැදගෙන සිටි තවත් අයෙකුට එම ගිනි අවිය විසිකරමින් ලබාදී එතනින් වහා ඉවත්ව ගිය බවත් ගිනි අවිය ලබාගත් තැනැත්තා සිය කාර්මික මෙවලම් පෙට්ටිය තුල එය තැන්පත් කරගෙන කිසිවක් නොවුනා සේ අසලින්ම තිබූ දුම්රිය මඟ ඔස්සේ ගමන් කළ බවටයි. එහෙත් මෙම කිසිවක් වොරන් කොමිසම හමුවේ විමර්ශනය නොකෙරුනි.

ඔස්වල්ඩ් කුප්‍රකට ටෙක්සාස් පොත් ගබඩාවේ සිට වෙඩි තැබුවේ නම් ඔහු සිය වෙඩි තැබීම ලේසියෙන්ම කරන්නට තිබූ මෝටර් රථය හුස්ටක් වීදියෙන් පැමිණීමෙන් තිබියද සිදු නොකර ගස් ආදියෙන්ද බහුල සහ එල්ලය ලබා ගැනීමට අපහසු Elm වීදිය තෝරාගත්තේ ඇයි? කෙනඩිගේ රථ පෙරහැර ගොඩනැගිල හා වංගුවලින් බහුල මෙවන් නාගරික පෙදෙසක් හරහා ගමන් කරවීමට සංවිධාකයන් ක්‍රියාකළේ මක් නිසාද?
මෙහි Revised Parade Route ලෙස දක්වා ඇත්තේ Houston වීධියයි 

මෙම අවාසනාවන්ත ඝාතනයට මාසයකටත් අඩු කාලයකට පෙර පැහැදිලිවම ඝාතන සැලැස්මක් තිබූ නිසා අවලංගුකළ ජනපතිවරයාගේ මයාමි සංචාරය පිළිබදව පූර්ව ආදර්ශය පවා ලබා තිබියදී දැන දැනම ජනපතිවරයාගේ ජීවිතය අවධානමට ලක් කළේ ඇයි? 

ජනපතිවරයාගේ ආරක්‍ෂක කටයුතු පිළිබදව ප්‍රධානියා වූ ගුවන් හමුදා කර්නල්වරයෙකු වූ Colonel Fletcher Prouty ව මෙම සංචාරයට පෙර නවසීලන්තය වැනි ඈත රටකට පිටත්කර දැමීමට ආරක්‍ෂක බලධාරීන් හිටිහැටියේ කටයුතු කළ අතර මෙවන් ක්‍රියාමාර්ගද ජනපතිවරයාගේ ඝාතනය කුමන්ත්‍රණයකට බවට සැක කිරීමට හේතු බවට මත පළවේ. 

ජනපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් ජනපතිවරයා ඩලස් වෙත පැමිණීමට දිනකට පෙර එනම් 1962 නොවැ.21 වනදා සිය නායකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරිමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් එදින රැය පුරාවටම සමාජ ශාලාවල ගැවසෙමින් බීමතින් හා කාන්තාවන් ඇසුරුකරමින් සිටිබවටද තොරතුරු හෙළිවිය.

Dealy Plaza වට ආසන්නයේ පිහිිටි ගොඩනැගිල්ලක සිටි නිවාස අහිමි පුද්ගලයන් තිදෙනෙකුද පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් තිදෙනා පසුව මෙයට සම්බන්ධ නැති බවට පවසමින් නිදහස් කෙරුනි. විශේෂත්වය වන්නේ මෙයින් එක් පුද්ගලයකු CIA අංයතනයටද සම්බන්ධ අයෙකු බවට කරුණුකාරණා හෙලිවන්නට වුවා පමණක් නොව මෙම පුද්ගලයන්ගේ ඇදුම් පැලදුම් ගත්කළ නිවාස අහිමි අය සේ දිස්නොවීය.
අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයන්

කෙනඩි ඝාතනය විමර්ශනයට පත්කළ වොරන් කොමිසමේ ක්‍රියාකාරීත්වයද ගැටළු සහගත විය. එහි සියළු ක්‍රියාදාමයන් මාස 3 ක් තුල සිදුකළ යුතුබවට ජනපති ලින්ඩන් ජොන්සන් විසින් කොන්දේසියක්ද පනවා තිබූ අතර කොමිසමේ සාමාජිකයෙකු ලෙස කෙනඩි පාලනයේදී ඉවත් කළ CIA ප්‍රධානී ඇලන් ඩලස්ද ඇතුලත්වීම ගැටළු සහගත විය. තවද ඔස්වල්ඩ් ඝාතනයට සම්බන්ධ වූ ජැක් රූබිද කොමිසමේ සාමාජිකයන් තමන් වෙත පැමිණි කල තමන් සතුව මේ පිළිබදව සියලු තොරුතුරු ඇති බවත්, ඒවා මෙහි සිට හෙළි කිරීම තම ජීවිතයට අනතුරු දායක නිසා වොෂින්ටනය වෙත රැගෙන ගිය පසු තමන් එම තොරතුරු හෙළිකරන බව පැවසුවත් එයට කොමිසම එකඟ නොවූ සේම තොරතුරක් ඇතොත් එය මෙහිදීම හෙළි කරන ලෙසට බලකෙරුනි.

ජැක් රූබි ගත් කළ චිකාගෝ මාෆියාව හා සම්බන්ධතාද තිබූ ඩලස් හි රාත්‍රී සමාජ ශාලා දෙකක අයිතිකරුවෙකි. ඔහු යමෙකුගෙන් යමක් විමසන්නේ නම් පළමු කොටම වාචිකව විමසනවාට වඩා පළමුව පහර දී දෙවනුව විමසන අයෙකු ලෙසට තද පුද්ලයෙකු ලෙස නම්දරා සිටි තැනැත්තෙකි. ඔහු ඩලස් පොලිස් ස්ථානයේ නිලධාරීන් සමගද සමීප සබඳතාවයක් පැවැත්වූ අතර නිරතුරුවම එම නිලධාරීන්ද ඔහුගේ සමාජ ශාලාවලදී ජැක් රූබිගේ කාරුණික අනුග්‍රහය ලැබූවන් බවට සදහන්ය. මේ නිසාම ඩලස් පොලිස් ස්ථානය තුල සාමාන්‍ය ජනතාවට ගැවසිය නොහැකි ස්ථ්න වලට පවා  විශේෂ අවසරයකින් තොරව ගමන් කළ හැකි අයෙකු විය. කෙනඩි ඝාතනය සිදුවූ අවස්ථාවේදී පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල පිටතද ඔහු සිටිනු පසුව නිරීක්‍ෂනය කෙරුන සේයාරූ වල දිස්වූ අතර පොලිස් ස්ථානය තුලදීද ඔහු නිරතුරු රැදී සිටි බව වීඩියෝ සහ ඡායාරූප නිරීක්‍ෂනයේදී පෙනී යයි. 

48 Hours to Live වාර්තාමය චිත්‍රපටියේ ලී ඔස්වල්ඩ් හාවිගේ ජීවිතයේ අවසාන පැය 48 සහ ජැක් රූබි මෙම ලිහා ගත නොහැකි ගැටළුව තවත් සංකීර්ණ කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරය කෙටියෙන් දක්වමි.

කෙනඩි ඝාතනය පිළිබදව කෝපවන්නන්ගෙන් සේම මෙම ඝාතනය සැඟවීමට අවශ්‍ය යමෙකු වේ නම් එම අයගෙන් ඔස්වල්ඩ්ගේ ජීවිතයට විය හැකි හානිය නිසා එය වලකා ගැනීමට ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙතට මාරුකර යැවීමට ඩලස් පොලිස් බලධාරීන්ට අවශ්‍ය වූ අතර 23 වනදා සවස වන විටම එම කාර්යය ඉටුකිරීමට ඩලස් පොලිස් ප්‍රධානී Jesse Curry හට අවශ්‍යතාවය තිබුනත් තවදුරටත් යමක් ඔස්වල්ඩ් වෙතින් දැනගැනීමට හැකියාවක් ලැබේ යයි යන විශ්වාසයක් කපිතාන් ෆ්‍රිට්ස් තුල විය. මේ හේතුවෙන් ඊට පසුදින එනම් නොවැ. 24 වනදා  උදෑසන ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙත මාරු කර යැවීමේ කර්තව්‍යය කල් තැබින. තවද මේ සදහා ආරක්‍ෂිත රථයක්ද යොදාගැනීමට තීරණය විය.

24 වන දා උදෑසන ඔස්වල්ඩ්ගෙන් අවසන් වරට ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ අවස්ථාවට ඩලස් තැපැල් ප්‍රධානියාද පොලිස් මූලස්ථානයට පැමිණ ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කිරීමට සහභාගී විය. මීනිමැරුම් සැකකරුවෙකු වූ ඔස්වල්ඩ්ගෙන් තැපැල් ප්‍රධානියද පැමිණ ප්‍රශ්න කිරීමට හේතුවූයේ නම් දෙකක් භාවිතා කිරීම තැපැල් සේවාව ලබා ගැනීමේදීද නීති විරෝධි කාර්යයක් වීමයි. තවද ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයට සැකයට ලක්වූ 6.5 mm Carcano carbine රයිෆලය සහ ටිපිට් පොලිස් නිලධාරියා ඝාතනයට යොදා ගත්තේ යයි සැක කටයුතු රිවෝල්වරයද ගෙන්වා ගෙන තිබූ තැපැල් ලිපිනයේ හිමිකරුගේ නමද ලී ඔස්වල්ඩ් හාවි නොව Alek James Hidell  විය.

මේ අවස්ථාවට මදක් බාධා කරමින් ඩලස් පොලිස් ප්‍රධානීයා පැමිණ පැවසූවේ උදෑසන 10 ට හෝ ඊට පසුව ආසන්නතම කාලයකදී ඔස්වල්ඩ් මෙම ස්ථානයෙන් රැගෙන යාම සිදුකරන බවයි.

මෙම අවස්ථාව වන විට ජැක් රූබි සිය නිවසට වී සිය සුරතල් සුනඛයා වන ශීබාද සුරතල් කරමින් රූපවාහිනිය නරඹමින් සිටියහ. උදෑසන 10.19 ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුන අතර ඒ ඔහුගේ එක් සමාජ ශාලාවක නළඟනකගෙනි. ඇයට මුදල් අවශ්‍ය වී තිබින. එයට හේතුව ජනපතිවරයාගේ ඝාතනය පිළිබදව ඔහුට ඇතිවූ කම්පනය හේතුවෙන් සති අන්තය පුරාවටම සිය සමාජ ශාලා වසා තැබීමට තීරණය කිරීමයි. මේ නිසා ඔහුගේ සමාජ ශාලාවල සේවය කරන අයටද වැටුප් ගෙවීමක් සිදු නොවීය. ඔහුගෙන් ඩොලර් 25 ක මුදලක් ඇය ඉල්ලා සිටි අතර මුදල් Western Union සේවාව ඔස්සේ ලබාදෙන බව පවසා බැංකුව වෙත යෑමට ඔහු ස්නානය කිරීමට ගොස් කලබලයකින් තොරව හැදපැලද ගෙන සිය රිවෝල්වරය කලිසම් සාක්කුවකටද දමා ගැනීමට අමතක නොකළේය. ඒ මුදල් රැගෙන යන අවස්ථාවල ආරක්‍ෂාවට එම පියවරද අනුගමනය කරන නිසාය.

උදෑසන 10.58 ට පමණ සිය  සුරතල් බලුපැටවාද රැගෙන කාරයට ගොඩවූ ජැක් රූබි අදාල සේවාව ලබාදෙන බැංකුව කරා ගමන් ගැනීම ඇරඹුවේය.

මේ අවස්ථාව වන විටත් ඔස්වල්ඩ් නම් දෙකකින් පෙනී සිටීම, ගිනි අවි එම ලිපිනයට ගෙන්වා ගැනීම යනාදිය ගැන ප්‍රශ්න කළත් ඒ කිසිවකට ඔස්වල්ඩ්ගෙන් සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. උදෑසන 11.15 ට පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම පළක් නොවන බව හා තමන් සිතනවාට වඩා මෙම පුද්ගලයා අමාරුකාරයෙකු බව වටහා ගත් කපිතාන්වරයා අසල සිටි නිලධාරියෙකු අමතා පවසා සිටියේ තවත් විනාඩා පහකින් ඔස්වල්ඩ්වත් රැගෙන බිම් මහලට තමන් පැමිණීමට හැකිබව දන්වන ලෙසටයි.

මේ අවස්ථාවේ ජැක් රූබි මුදල් ගෙවීමට Western Union කාර්යාලයට පැමිණ තිබූ අතර තමන්ට ඉදිරියෙන් සිටින තැනැත්තා එම කාර්යය ඉටුකරගන්නා තෙක් ඉවසීමෙන් සිට අදාල මුදල් ගෙවා එළියට පැමිණ මෙම කාර්යාලයට නුදුරින් පිහිටි ඩලස් පොලිස් ස්ථාන‍ය දෙසට ගමන් ගනී. ඔහුට කිසිදු හදිස්සියක් නොමැති බව පෙනේ.

ඔස්වලඩ් ප්‍රාන්ත සිපිරි ගෙය වෙත රැගෙන යාම සදහා යොදා ගැනීමට මුලින් තීරණය කෙරුණේ මුදල් ගෙනයන ආරක්‍ෂිත රථයකි (Armed Car). එහෙත් එම රථය පොලිස් මූලස්ථානයේ බිම්මහල තුලට ගැනීමට එහි දොරටුවේ උස ගැටළුවක් වූ නිසා මෙම ප්‍රවාහන කටයුත්තට කපිතාන් ෆ්‍රිට්ස්ගේ පෞද්ගලික රථයම යොදා ගැනීමට තීරණය විය.

ඔස්වල්ඩ්ගේ එක් අතක මාංචුව ගලවා එය තවත් පොලිස් නිලධාරියෙකුට පලදවා කපිතාන් ෆ්‍රිට්ස් ඇතුළු පිරිස බිම් මහලට පැමිණෙමින් සිටින අතර බිමි මහල පාරදෙසින් මුරකරමින් සිටි පොලිස් නිලධාරියාගේ අවධානය වෙනත් අතකට යොමුවේ. එම අවස්ථාවේදීම ජැක් රූබිද පොලිස් ස්ථානයේ බිම් මහලට කිසිවෙකුත් නොදැනීම ඇතුළුවේ. (එහෙත් ඇතැම් මූලාශ්‍රවල පවසන පරිදි පොලිස් නිලධාරියා නොදැන නොව, ජැක් රූබි හා ඩලස් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අතර ඇති මිතුදම නිසා දැනුවත්වම මෙම ස්ථානයට ඒමට ඉඩ සැලසූ බවටද මතයක් තිබේ.)

මේ අවස්ථාවේ රථයට නංවා ගැනීමට ලී හාවි ඔස්වල්ඩ්ද බිම්මහලට රැගෙන විත් තිබූ අතර කපිතාන් ෆ්‍රිට්ස්ගේ රථය දෙසට යන්නට සැරසෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ ජැක් රූබි සිය රිවෝල්වරය ඔස්වල්ඩ්ගෙන් උදරයේ වම්පසට ආසන්නම කර වෙඩි තබනු ලබයි. ඔස්වල්ඩ් වේදනාවෙන් ඇද වැටෙන අතර පොලිස් නිලධාරීන් රොත්තක්ම පැන ජැක් රූබි අල්ලා බිමට අල්ලා තද කර ගෙන අල්ලා ගෙන සිටියි.

ලී හාවි ඔස්වල්ඩ්ට වෙඩි වදින අවස්ථාව

මේ අවස්ථාවේම ඔස්වල්ඩ්ගේ  අසලටම පැමිණෙන එක් පොලිස් පරීක්‍ෂකවරයෙක් “මොනවා හෝ දෙයක් කියන්නට තිබේනම් මේ වෙලාවේ එය කියන ලෙස ඉල්ලා සිටි“. මෙය හොදින් වැටහුනත් ඔස්වල්ඩ් කිසිවක් නොකියා සිටියි. විනාඩි හතරක් ඇතුළත ගිලන් රථයට ඇතුළුකරන ඔස්වල්ඩ් වහා පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත රැගෙන යනු ලැබේ. මීට දින දෙකකට පෙර කෙනඩි ජනපතිවරයා නිල වශයෙන් මිය ගිය බව පැවසුනේද මෙම රෝහලේදීමය.

පාර්ක්ලන්ඩ් රෝහලේදී මුලින් ශල්‍යාගාර අංක 1 වෙත ඔස්වල්ඩ්ව ඇතුළු කරන්නට සැරසුනද රෝහල් කාර්යය මණ්ඩලය එයට විරුද්ධ වන්නේ ජනපතිවරයා අවසන් හුස්ම හෙලූ එම ශල්‍යාගාරය වෙත ඔහුගේ ඝාතකයා ලෙස සැලකුන පුද්ගලයා ඇතුළු කිරීමට තමන් කිසිසේත්ම කැමති නැති බව පවසමිනි. මේ නිසා සිහිසුන්ව සිටින ලී හාවි ඔස්වල්ඩ්ව ඇතුළු කරනු ලබන්නේ ශල්‍යාගාර අංක 2 වෙතයි.

මේ වන විට ජැක් රූබි පූර්ණ ආරක්‍ෂා සහිතව පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ඩලස් පොලිස් නිලධාරීන් බොහෝමයක් ඔහුගේ හිතවතුන් නිසා ඔහුගෙන් පුන පුන විමසා සිටියේ  “ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ?“ එවිට ඔහු “මට මීට වඩා හොද දෙයක් කරන්න සැලසුම් කරගන්න කාලයක් තිබුනේ නැහැ. දැන් තේරේවි කාටත් යුදෙව්වෝ කියන්නේ හොද ධෛර්යයක් තියෙන මිනිස්සු බව“. ජැක් රූබිද යුදෙව්වෙකි. 

ජනපතිවරයා ඝාතනයට ලක්වූ නොවැ. 22 දා උදෑසන සිය සමාජ ශාලා පිළිබදව වෙළඳ දැන්වීමක් පල කර ගැනීමට The Dallas Morning News ආයතනයට ගොඩවැදුන ඔහු සිය කාර්යය ඉටුවන තුරු එදින පුවත්පත කියවන විට දුටුවේ කෙනඩි ජනපතිවරයාට විරුද්ධව පළ කර තිබූ දැන්වීමකි. විශේෂත්වය නම් එම දැන්වීම පළ කර තිබූ The American Fact-Finding Committee නම් ආයතනයේ සභාපතිවරයා ලෙස නම් කර තිබූ පුද්ගලයාද යුදෙව්වෙකු වීමයි.

ජැක් රූබිගේ අදහස අනුව මෙවන් දැන්වීමක් පළ කර දිනම ජනපතිවරයා ඝාතනයට ලක්වීම යුදෙව්වන් කෙර් සමාජයේ වෛරයක් ඇතිවීමටද හේතුවක් වීමට ඉඩතිබූ බවයි. එමෙන්ම ඩලස්හි ජනතාව අතරටද ජනපතිවරයා කෙරේ වෛරය උපදවන තවත් පත්‍රිකාවක් බෙදා හැර තිබින.

අපූරුම කාරණය නම් මෙම පත්‍රිකාව බෙදා හරින ලද සංවිධානයේ ප්‍රභලතමයෙකු වූ විශ්‍රාමික Maj. Gen. Edwin Walker යන උග්‍ර දක්‍ෂිනාංශික පුද්ගලයාගේ නම පසුකලෙක වොරන් කොමිසම හමුවේද කියවුන නමක් වීමයි. ඒ ලී හාවි ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ වසරේදීම එම ඝාතනයට සැකයට පාත්‍රවූ ගිණි අවියෙන්ම මෙම හමුදා නිලධාරියාටද වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකයක් තිබීම නිසයි. ඒ විශ්‍රාමික මේජර් ජනරාල්වරයා උග්‍ර කියුබන් විරෝධියෙකුවීම සහ තවත් දක්‍ෂිනාංශික හා කොමියුනිස්ට් විරෝධියෙකු වීම හේතුකොටගෙනයි.



ලී ඔස්වල්ඩ් හාවි රෝහලට ගෙන ගිය විගසම මිය නොගිය අතර ඔහුගේ දිවි රැක ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. මෙම කාර්යයද ඉටුකිරීමට කැපවූයේ වෙනත් පිරිසක් නොව ජනපතිවරයාගේද ජීවිතය රැකගැනීමට වෙහෙසුන වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සහායක කාර්යය මණ්ඩලයම වීමද දෛවෝපගතය. කෙසේවෙතත් 1962 නොවැ. 24 වනදා දහවල් 1.07 ට පමණ ලෝකයටම අභිරහසක් එකතු කරමින් සිය ජීවිතයේ අවසන් හුස්ම වාතලයට මුද හැර අවසන් ගමන් ගියේය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 24 මාස 1 සහ දින 6 ක් පමණකි.  ඔහුගේ උදරයේ අභ්‍යන්තර අවයව බොහෝමයක් උක්ත වෙඩි තැබීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ බව පැවසුනි.

ජැක් රූබි විසින් ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය සම්බන්ධයෙන් කියවෙන කතා ගණනාවකි. ඉන් එකක් නම් කෙනඩි ජනපති ආර්යාව ලී ඔස්වල්ඩ් හාවිව හදුනාගැනීමේ පෙරට්ටුවට ඒමට පෙර ඔහුව දැක ගැනීමට වැලැක්වීමට ඝාතනය කළ බවයි. තවත් වරෙක කියවෙන්නේ ජැක් රූබිද ජනපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරුවන් අතර අයෙකු වූ අතර මේ පිළිබදව ඔස්වල්ඩ්ද දැන සිටි නිසා එය හෙළි වීම වැලැක්වීමට මෙය සිදු කළ බවයි. තවත් විටෙක ජැක් රූබි යනු චිකාගෝ මාෆියා සංවිධානයන් සමග ඍජු සබඳතා තිබූ අයෙකු නිසා මෙම ජනපති ඝාතන කාර්යයේදී කිසියම් කාරණා සම්බන්ධයෙන් ඔස්වල්ඩ්ගේ සම්බන්ධයන්ද ඇති නිසා මතු දිනෙක ඔහු සත්‍ය එළිදරව්කරාවි යන අදහස මත ජැක් රූබි ලවා ඉක්මනින් අවසාන මොහොතේ කරනු ලැබූ නියෝගයකින් මෙම ඝාතනය සිදුකළ බවයි. 

එක් යථාර්තයක් තිබුනි. එනම් ජැක් රූබි එක් දිනක් හෝ සිරකුටියක වසන්නට වෙතැයි නොසිතන්නට ඇති බවයි. ඇයි? ඔහු සිතුවේ ජනපතිවරයා ඝාතනයට සැකයට ලක්වූ තැනැත්තා මරා දැමීම, තමන් වීරත්වයකින් සලකනු ඇති බවටයි එහි සත්‍යයත් තිබුනි. මෙම සිදුවීමෙන් පසු ඔහුට ප්‍රශංසා කරමින් සුභපැතුම් පත් විශාල සංඛ්‍යාවක් ඔහු වෙත ලැබුනි. එහෙත් ඔහුට අවසානයේ සිය ජීවිතයෙන් සමුගැනීමටද සිදුවූයේ සිර දඩුවම විදිමින් සිටියදීමයි. ඔහුට සමාජයෙන් වීරත්වයක් ලැබුනත් නීතියෙන් ලැබුනේ වීරත්වය නොව ඔස්වල්ඩ් ඝාතනයට වරදකරු කරමින් මරණිය දණ්ඩනයයි. එය ලැබීමට ප්‍රථම ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූවේ පෙනහැල්ලක ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙනි. ඒ 1967 ජනවාරි 03 වනදායි. ඔහු මිය යන විට ජනපති කෙනඩිගේ ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනය සිදුවී වසර 3 කුත් මාසයකට මදක් වැඩි කාලයක් පමණක් ගෙවී තිබූ අතර ජනපතිවරයා සහ ඔහුගේ ඝාතකයා ලෙස සැකකළ ලී ඔස්වල්ඩ් හාවිගේ දිවි අවසන් වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදීම ජැක් රූබිගේ අවසානයද සිදුවිය. 

කෙනඩි ඝාතනය රජයේ මතය පිළිබදව සැක කරන අයගේ අදහස වන්නේ ජැක් රූබි වැනි ශක්තිමත් නිරෝගී පුද්ගලයෙකු මෙලෙස හදිස්සියේ පිළිකාවක් වැලදී මිය යාමද මෙම අභිරහස හෙළිවීම ගැන අකමැති බලවත් පුද්ගලයන් විසින් හිතාමතා සිදුකරන ලද්දක් විය හැකි බවයි. එයට සාක්‍ෂි ගණනාවක්ද ඔවුන් සපයති. Judyth Vary Baker නම් තරුණ විද්‍යාඥවරිය සමග ලී ඔස්වල්ඩ් හාවි ආදර සම්බන්ධයක් 1963 අප්‍රේල් මස සිට ඔහු මිය යාමට අාසන්න කාලය දක්වා තිබූ අතර ඇය සම්බන්ධ ආයතනය විවිද රෝග කාරකයන් නිර්මාණය හා ඒවා පිළිබදව පර්යේෂන සිදු කළ ආයතනයකි. ඇයගේ ප්‍රධානියා ඍජුලෙසම ඇමරිකානු ආරක්‍ෂක අංශ සමග ජීව විද්‍යාත්මක අවි හා මෙවන් රෝග කාරක නිර්මාණය  සම්බන්ධයෙන් කටයුතු කළ අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනයටද රෝග කාරකයක් (පිළිකාවක් වැනි) යොදවා ගැනීම ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුවක් විය. ඇය, ලී ඔස්වල්ඩ් හාවි අතර සබඳතාවය නිසා ඇයට, කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිව් ඕර්ලියන්ස් දිස්ත්‍රික් නීති නිලධාරී ජිම් ගැරිසන්ගේ නීති කටයුතුවලදී කියවුන කියවුන ඩේවිඩ් ෆෙරි සමගද හදුනාගැනීමට හැකිවූ අතර ඔහුගේ නිවස පර්යේශනාගාරයක් කර ගනිමින් මේ පිළිබදව පර්යේෂනය කිරීමද සිදුවූ බව කෙනඩි ඝාතනය පිළිබදව වැඩි දුර තොරතුරු සොයා බැලීමේදී හෙළිවන කරුණකි.
http://jfkmurdersolved.com/judyth.htm

ඩේවිඩ් ෆෙරිද අභිරහස් ලෙස 1967 පෙබරවාරි 22 වනදා මිය යන අතර ඔහුගේ මරණය හෘදයබාදයක් ලෙස වෛද්‍ය වාර්තාවේ තිබුනද එය ස්වභාවික හෘදයාබාදයක් නොව හෘදයාබාදයක් ඇති විය හැකි යමක් ඔහුට බලහත්කාරයෙන් ලබා දෙන්නට ඇති බවට සැක කරනු ලැබේ. තවත් විශේෂත්වයත් වන්නේ ඔහු මිය යන විට ජිම් ගැරිසන් කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර එයට තමන් දන්නා දේ අකමැත්තෙන් වුවත් පැවසීමට ඩේවිඩ් ෆෙරි කැමති වී සිටිමයි.

ලී හාවි ඔස්වල්ඩ් මිය යාමට ප්‍රථම ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔහුගෙන් ජනපතිවරයාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ගැනීමට නොගත් වෙහෙසක් නොමැත. ශල්‍යාගාරයක සිටිය යුත්තේ වෛද්‍යවරුන්, හෙදියන් ආදී සෞඛ්‍යය අංශයට සම්බන්ධ අයවළුන් වුවත් ඔස්වල්ඩ් ශල්‍යාගාරයට ඇතුළු කළ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට දුසිමකට වැඩි ආරක්‍ෂක අංශ නිලධාරීන් රැදී සිට "Did you shoot it? Did you shoot it?" යනුවෙන් නිරතුරු ප්‍රශ්න කළ බව රෝහලේ වෛද්‍යවරුන් පසුව පවසා සිටියහ.

ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ දින උදෑසන අඩි දෙකහමාරක් පමණ දණ්ඩක් වැනි යමක් එදින උදෑසන ඔස්වල්ගේ අසල්වැසි සහ ඔහු සමග එකම සේවා ස්ථානයේ සේවය කළ Lesley Frazier ද සනාථ කළ අතර ඔස්වල්ගෙන් විමසූ විට එය තිර රෙදි දැමීමට යොදා ගන්නා දඬුවක් (Curtain rod) බව පවසා තිබේ. අඩි දෙකහමාරක පමණ දිගක් නම් එය කෙනඩි ඝාතනයේ සැක කටයුතු ගිනි අවිය වන ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් රයිෆලයට වඩා කුඩා බව තහවුරු වේ. එහෙත් පරිශීලනය කළ කිසිදු මූලාශ්‍රයක මෙම තිර රෙදි දඬුව ඝාතනයෙන් පසුව දුටු අයෙකු හෝ ඒ පිළිබදව පැවසීමක් සිදුනොවන නිසා ඔස්වල්ඩ් එදින රැගෙන ගියේ මෙම කියනා දඬුවද එසේත් නැතහොත් අදාල ගිනි අවිය හෝ වෙනත් ගිනි අවියක්ද යන්න 100% සනාථ කළ නොහැක්කා සේම,  Lesley Frazier  ද ඝාතනයෙන් පසුව අත්අඩංගුවටද ලක්වූයේ ඔහු පිළිබදවද සැක කරමිනි.

කෙසේවෙතත් අපූරුම කාරණයක් වන්නේ අදාල ගිනි අවිය ඔස්වල්ඩ් විසින් පත්තු කළ බවට ඇති සාධකද නොමැති තරම්වීමයි. එහි සටහන්ව තිබූ ඇඟිලි සලකුණු සහ අල්ලේ සටහන ව්‍යාකූල වූ අතර එය ඔස්වල්ගේ යයි සනාථ කිරීමට ඔස්වල්ඩ් මිය යන අවස්ථාවේ පවා නොහැකිව තිබූ කාරණයක් විය. තවද ගිනි අවියක් පත්තු කළේ නම් එයින් විසිරෙන වෙඩි බෙහෙත් ඉතා කුඩා ප්‍රමාණයෙන් අදාල වෙඩික්කරුවාගේ අතේ මැනික් කටුව පෙදෙසේ ගෑවී තිබිය යුතු මුත් ඔස්වල්ගෙන් එවන් සාක්‍ෂියක්ද ලැබී නොතිබුනි.

පශ්චාත් මරණ පරීක්‍ෂනයෙන් පසුව සිරුර ඩලස්හි තිබූ Funeral Home ආයතනයක් වෙත ගෙනගොස් පැයක් යන්නට ප්‍රථම ඇමරකානු රහස් ආරක්‍ෂක අංශයක හෝ අංශ කිහිපයකට අයත් නිලධාරීන් පැමිණ ඔස්වල්ඩ්ගේ මළසිරුරේ අත්ලේ සටහන් ලබාගත් බව එම ආයතනයේ හිමිකරු පසුව පවසි සිටි අතර පසුකලෙකද පැමිණි නිලධාරීන් පිරිසක්ද ඔහු හමුවී පවසා සිටියේ  එදා Fort Worth සුසාන භූමියේ භූමදානය කළේ පොලිස් ස්ථානයේදී වෙඩි වැදී මිය ගිය තැනැත්තාමදැයි තමන්ටද සැකයක් පවතින බවයි.

ලී ඔස්වල්ඩ් හාවිගේ බිරිඳ වූ මරීනා හටද සිය ස්වාමියාගේ සිරුර මෙම ස්ථානයේ නොතිබෙන්නේදයි සැකයක් මතුව තිබින. ඇයගේ ඉල්ලීම පරිදි ඔස්වල්ඩ් මියගොස් වසර 18 කට පසුව එනම් 1981 දී සිරුර නැවත ගොඩගත් අතර උක්ත සොහොන කිසියම් පිරිසකගේ සෑරීමකට ලක්ව තිබෙන බවට සාක්‍ෂිසේම මල සිරුරින් හිස වෙන්කර තිබෙන බවක් දුටු අතර ඉහත පැවසූ Funeral Home ආයතනයේ හිමිකරු පැවසූ පරිදි මුලින් මළසිරුර තමන් හට භාරදෙන අවස්ථාවේ හිසෙහි පශ්චාත් පරීක්‍ෂනයක් නොපැවැත්වූ බවක් තිබුනද මෙවර එහි එවන් ලක්‍ෂනද දුටු බව පැවසූහ.දැන් තිබෙන හිස සහ අනෙකුත් කොටස් ඔස්වල්ඩ්ගේමදැයි දැන ගැනීමට ඔහුගේ දන්ත වාර්තා හා සසදා බැළු අතර එවිට එය ඔස්වල්ඩ්ගේම බවට සනාථ විය. පසුව තවත් ආරක්‍ෂක විදිවිධාන සහිතව සිරුර වලලා දමන ලදි. අදටද මරීනා පවසන්නේ තම ස්වාමියා ජනපති කෙනඩි ඝාතනයේ වරදකරු නොවන බවයි.


කෙනඩි ඝාතනය, පොලිස් නිලධාරී Tippit ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනයද අභිරහස් ගොන්නකින් පිරී පවතින්නකි. කෙනඩි ඝාතනය පිළිබදව ඇගිල්ල දික්වුන කිහිප දෙනෙකුම සිටිති. ලී ඔස්වල්ඩ් හාවි හා ඔහුගේද සම්බන්ධතාව තිබූ කියුබන් කස්ත්‍රෝ විරෝධීන් සේම, ෆිදෙල් කස්ත්‍රෝගේ මෙහෙයවීම යටතේ කස්ත්‍රෝ හිතවාදීන් මෙය කළ බවට සමහරු සිතති. තවත් අය සෝවියට් දේශයේ මෙහෙයවීමෙන් මෙය කළ බව සිතති. තවත් අය මෙය මාෆියා සංවිධාන වල මෙහෙයවීමෙන් මෙය සිදුකළ බවට ප්‍රභල සැකයක් තිබේ. එයට හේතු ගණනාවකි. කෙනඩි පවුලට දීර්ඝ කලෙක පටන් මාෆියා සංවිධාන සමග සබඳතා තිබු බවට සාක්‍ෂි බොහෝ වේ. වෙනෙකක් තබා ජෝන් එෆ් කෙනඩි හට ජනපති පුටුවට යන්තම් ජයකින් හෝ පැමිණීමට මාෆියා සංවිධානද ඉතා පිටුවහල් වූ බවට සාක්‍ෂි ඇත. එහෙත් ජනපති පුටුවට පැමිණි පසු කෙනඩි පාලන තන්ත්‍රයේ නීතිපති තනතුරට පත් වූ ජනපති කෙනඩිගේ බාල සොහොයුරු රොබට් එෆ් කෙනඩි මාෆියා හා සංවිධානාත්මක අපරාධ කෙරෙහි දැක්වූ දැඩි පිළිවෙත නිසා 1962-1963 අතර කාලය වන විට ඇමරිකානු මාෆියා ව්‍යාපාරයන් නැත්තටම නැතිවෙන තත්ත්වයට පත්ව තිබුනේය. 

කෙනඩි පවුලට බොහෝවිට උදව් උපකාර කළ මෙවන් පාතාල සංවිධානවලට එරෙහි වීම බියකරු අත්දැකීමක් ගෙන දෙන්නටද යම්විටක හේතුවන්නටද ඇත. තවෙකක් තබා නිව්ඕර්ලියන් මාෆියා නායක Carlos Marcello යන අයව 1961 දී ග්වාතමාලාවට පිටුවහල් කළ අතර පසුව ඔහු නැවත ඇමරිකාවට පැමිණීමට අවස්ථාව ලබා ගත්තේය. එහෙත් ඔහු පැමිණුනේ දැඩි වෛරයක් කෙනඩි සොහොයුරන් කෙරේ හිතේ තබාගෙනය. මාෆියා සංවිධානවලට ප්‍රභලම සතුරා වූයේ රොබට් එෆ් කෙනඩි වූවත් ඔහුව ඝාතනය කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි ලෙස පළිගනු ඇති බව වටහා ගත් මොවුන් ජනපතිවරයා ඝාතනය කිරීම හරහා රොබට් එෆ් කෙනඩි අඩපණ කර දැමීමට සිතුවා වන්නට ඇති බව ඇතමෙකුගේ මතයයි. තවත් අපූරුම කාරණයක් වන්නේ ඇමරිකානු මාෆියා සංවිධාන හා CIA ආයතනය අතර නිහඬ සබදතාවයක් එකල තිබූ බව පැවසෙන අතර විශේෂයෙන් කියුබාවේ කස්ත්‍රෝ පාලනය ඉවත් කිරීමට CIA ආයතනයට තිබූ එකම “සම්පත“ මාෆියා සංවිධාන බවට මතයක් තිබේ. මන්ද කස්ත්‍රෝ පාළනයට පැමිණෙන විට කියුබාවේ කැසීනෝ, ගණිකා ව්‍යාපාර, මත් ද්‍රව්‍ය වෙළඳාම යනාදිය බොහෝමයක් පවත්වාගෙන ගියේ ඇමරිකානු මාෆිවා සංවිධාන විසිනි. ඉතින් කස්ත්‍රෝ පාළනයත් සමග එම මුදල් ඉපැයීම් අහිමිවීම ගැන එම සංවිධාන තුල තිබුනේ බලවත් නොසතුටකි. මේ නිසා මාෆියා සංවිධාන, එමෙන්ම CIA ආයතනය හා ඔවුන් අතර තිබූ නිහඬ සබඳතාවය කෙනඩි ඝාතනයේදී ප්‍රභල සැකකාරකයකි.


කෙනඩි ඝාතනය සමග ඈදෙන තවත් නමක් නම් උපජනාධිපතිධූරය හෙබවූ ලින්ඩන් ජොන්සන් නාමයයි. ලින්ඩන් ජොන්සන් යනු කෙනඩිට සාපේක්‍ෂව අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු කෙනඩිට වඩා වසර 10 කින් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙකු විය. එහෙත් කෙනඩි මෙන් ධනවත්, බලවත් හා ප්‍රභූ පවුල් පසුබිමක් නොවුනා සේම දේශපාලන දිවය සඵල කර ගැනීමට විවිද යටිසූත්තර වැඩද ඔහු දියත් කළ බව සදහන්ය. කෙනඩිට ජනාධිපතිධූරයට පත්වීමට ඇතැම්විට මොහුගෙන් ලද සහය නොවූවානම් ඉඩක්නොවන්නටද ඉඩ තිබෙන්නේ ජොන්සන් නියෝජනය කළ ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ජොන්සන් කළ මෙහෙය සහ ඔහුගේ මිතුරන් වූ ටෙක්සාස් හි තෙල් නිධි හිමිකරුවන් වෙතින් ලද සහයද සැලකිය යුතුවේ. 

එහෙත් ජනපති කෙනඩි සිය දෙවන ධූර කාලය සදහා තරඟ වැදීමේදී සිය උපජනපතිවරයා ලෙස ජොන්සන් නම් නොකිරීමට බොහෝ ඉඩක් තිබූ බව සදහන් වන අතර එයට හේතු ලෙස ජොන්සන්ගේ වත්කම් ඉපයීම පිළිබදව තොරතුරු සොයා බැලීමට මෙන්ම ජොන්සන්ගේ දේශපාලනයේ රහස් සහ ක්‍රියාකාරකම් විමර්ශනය කළ හා හෙළිකළ ඇතැම් පුද්ගලයන්ගේ අභිරහස් මිය යාම් සමග ජොන්සන් පිළිබදවද සැක මතුව තිබීමයි. යම් හෙයකින් මේ කරුණු කාරණා පිළිබදව සොයා බැලීම දිගටම සිදුවූයේ නම් ඔහුගේ දේශපාලන දිවිය අවසන් වනවා පමණක් නොව සිරභාරයටද පත්වීමට ඉඩකඩ තිබූ නිසා සිය ප්‍රදේශයේදීම (ටෙක්සාස්) කෙනඩි ඝාතනය ලේසියෙන්ම කරවූ බවට සැක මතුවේ. එසේම ඔස්වල්ඩ් රෝහලට රැගෙන ආ පසුව ගර්ජනාවක් වැනි කටහඬකින් “මම ජනාධිපති කථා කරන්නේ, කෝ රෝහලට ගෙනා මිනිහගෙන් පාපොච්ඡාරණයක් ගත්තාදැයි“ වෛද්‍යවරුන්ගෙන් විමසූ බව සදහන්වේ. කෙනඩි ඇවෑමෙන් පත්වූ ලින්ඩන් බී ජොන්සන්ට එවැනි හදිස්සියක් ඇතිවූයේ මන්ද? මේ පිළිබදව වඩාත් තොරතුරු The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාවේ නමවැන්න වන "The Guilty Men" හි අන්තර්ගතවේ.

ජනපතිවරයා මිය ගිය පසු ඒ බව පාර්ක්ලන්ඩ් රෝහලේදී මාධ්‍යයට දැන්වූ ජනපති මාධ්‍ය ප්‍රකාශකයා ජනපති මියගියේ ඔහුගේ දකුණු පස නළල හරහා ගිය වෙඩි උණ්ඩයකින් බව පැවසුවත් පසුව ඇමරිකානු බලධාරීන් එය හිසේ පසුපසින් එල්ල වූ වෙඩි උණ්ඩයකින් බව පැවසූහ. එයද ප්‍රහේලිකාවකි. තවද ඇමරිකාවේ පළපුරුදු  සහ කීර්තිමත් අධිකරණ වෛද්‍යවරුන් සිටියද අත්දැකීම් අඩු සහ නිපුනත්වයෙන්ද අඩු නාවික වෛද්‍යවරයෙකු හරහා පශ්චාත් මරණ පරීක්‍ෂනය සිදුකිරීම වැනි කාරණා ලිහාගත නොහැකි ගැටවැනිය.

අනිත් පැත්තෙන් වෙඩි තැබීම සිදුවූ පසු ඔස්වල්ඩ් ටෙක්සාස් පාසල් පොත් ගබඩාවෙන් කලබලයෙන් නික්මීම, එදින උදෑසන සිය මඟුල් මුදුව නිවසේ තබා පැමිණීම, ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා විට මෙක්සිකෝවට යෑම සදහා වූ Greyhound බස් සමාගමට අයත් ටිකට් පතක් සහ මුදල් සතුවීම යනාදී කාරණා නිසා ලී හාවි ඔස්වල්ඩ්ටද මෙම ඝාතනයේ කොතනැක හෝ තැනක සම්බන්ධයක් තිබෙන බවක් පෙනෙයි.

කෙනඩි ඝාතනය සමග මෙම පැවසූ අයගේ නම් සේම ජනපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ගේ නම මෙන්ම හිටපු ජනපතිවරයෙකු සේම කෙනඩි ඝාතන සමයේ CIA ප්‍රධානියෙකු වූ ජෝර්ජ් බුශ්ගේ නමද ඍජු හෝ වක්‍රාකාරයෙන් ගෑවී තිබුනි.

කෙනඩි ඝාතනය, ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය යනාදිය තවමත් ලිහා ගත නොහැකි ගැටළු සහගත කාරණාය.

මෙම ලිපිපෙලේ අවසානය සනිටුහන් කිරීම මේ අවස්ථාවේ සුදුසු යයි සිතමි. විශාල මූලාශ්‍ර සංඛ්‍යාවක් මේ ලිපි ලිවීම සදහා පරිශීලනය කළ අතර මේ ඒවයින් කිහිපයකි.

The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාව
"The Coup D'Etat" (25 October 1988)
"The Forces Of Darkness" (25 October 1988)
"The Cover-Up" (20 November 1991)
"The Patsy" (21 November 1991)
"The Witnesses" (21 November 1991)
"The Truth Shall Set You Free" (1995)
"The Smoking Guns" (2003)
"The Love Affair" (2003)
"The Guilty Men" (2003)

National Geographic Conspiracy  - Jack Ruby
48 Hours to Live
Executive Action Movie
JFK: 3 Shots That Changed America
Beyond JFK: The Question of Conspiracy (1993)
Dark Legacy George Bush and the murder of John Kennedy
JFK - Beyond the Magic Bullet
Parkland (2013) Movie
THE JFK CONSPIRACY: THE FINAL ANALYSIS
BBC Documentary - The Killing of President Kennedy
The Warren Commission
Frontline Documentary - Who was Lee Harvey Oswald
JFK - Oliver Stone's Movie
Thirteen Days Movie



26 comments:

  1. හරිම සන්තෝෂයි දිනේෂ්, කාලෙකට පස්සේ ඔබේ ලිපියක් කියවන්න ලැබීම ගැන. ලිපි 400 ක් ලිවීම ගැනත් සුබ පතනවා. ඔබගේ දීර්ඝ නිහැඬියාව ගැන පුදුම වෙලා හිටියේ. මම උත්සාහ කළා එක දවසක් ඔබ සමග ගූගල් ජීමේල් ඔස්සේ චැට් කරන්න නමුත් සාර්ථක වුනේ නැහැ.

    ස්නයිපර් වරුන් මගින් ඉලක්ක ගැනීමේදී යොදන එක්තරා උපක්‍රමයක් තියනවා. ස්නයිපර් වරයෙක් කියන්නේ විශේෂඥ පුහුණු වෙඩික්කරුවෙක්. එවැන්නකු අහිමිවීම විශාල පාඩුවක්. මේ නිසා ස්නයිපර්කරු ඉලක්කය ගෙන ඔහු පෙනෙන සේ වෙනත් තැන්වල සැඟවී සිටින වෙනත් සගයන්ට සංඥා කරනවා මම දැන් වෙඩි තියනවා කියලා. (ගුවන්විදුලි හෝ වෙනත් සංඥා ක්‍රමයක් වියහැකියි) එවිට අනෙක් අයත් follow up වෙඩි කීපයක් තියනවා. මේ නිසා කෙනෙකුට (යුද බිමෙදී නම් සතුරාට) තේරුම් ගන්න අපහසු වෙනවා වෙඩිල්ල කොහෙන්ද ආවේ කියන එක.

    ඔබ කිව්වා වගේම කෙනඩි ඝාතනය ගන බ්ලොග් අඩවියක් කරන්න තරම් කරුණු තිබෙන බව මටත් පෙනීගියේ කලකට ඉහතදී මේ ගැන ලිපියක් ලියන්න හිතාගෙන මූලාශ්‍ර සොයා බැලුවිටයි.

    මම හිතනවා ඩයනා කුමරියගේ මරණයත් මේ ආකාරයේම අබිරහසක් කියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහත්මයාණනි, ඔව් මාස දෙකකට වැඩි කාලයක් ලිපි ලියවුනේ නැහැ. මෙම ලිපියේ ඡේද කිහිපයක් කලින් ලිපිය ලියූ කාලයේදීම ලියවුනත් අවුරුදු සමය, විවිද වැඩකටයුතුවලින් ඇතිවූ කාර්යබහුලත්වය සහ තවත් අතකින් කම්මැලියෙකු බවටත් පත්වීම මෙම ලිපි පෙල මෙතෙක් කල් දිග්ගැහිගැහි තිබෙන්නටත් හේතුවක් වුනා.සමහර විට මා කාර්යාලයෙන් පිටත වැඩක් කරන අතරේ වෙන්නට ඇති ඔබ Google Chat හරහා සම්බන්ධ වෙන්නට උත්සහ කරන්න ඇත්තේ. මට email එකක් එවා තිබුනා නම් පසුව හෝ මම සම්බන්ධවෙනවා.

      ඔබ ආරක්‍ෂක අංශ වලට සම්බන්ධ අයෙක් නිසා මෙවන් අවස්ථාවල යොදා ගන්නා උපක්‍රම හා ක්‍රමවේද අපට වඩා හොදින් දන්නවා නිසැකයි. කෙනඩි ඝාතනය අතිශයින්ම සංකීර්ණයි. මෙම ලිපි පෙලට මුලපුරනකොටවත් මම මෙතරම් සංකීර්ණ හා මූලාශ්‍ර අතරේම වාසය කරන්න වෙතැයි සිතුවේ නැහැ. කොහොමවුනත් සාර්ථක යයි මම තෘප්තිමත් වෙන ලිපි පෙලක් හැකි තරම් කරුණු වලින් පුරවා අවසන් කරන්න ලැබීම ගැන සතුටක් ලබනවා. ඔව් ඔබ කියන ලෙසම ඇයගේ මරණයත් බොහෝවිට කුමන්ත්‍රණයක් වීමට ඉඩ තිබෙනවා. හැකියාවක් ලදහොත් ඒ ගැනත් ඉදිරියේද ලියන්නම්...

      Delete
  2. Really admire your effort,! Good job !

    ReplyDelete
  3. බොහෝම වටිනා ලිපියකින් 400 වැනි කඩ ඉම පසු කිරීම ගැන කියවන්නෙක් වශයෙන් ඔබට ස්තූති කරන්නත්.. 400 වැනි කඩයිමට සුභ පතන්නටත් කැමැත්තෙමි... එසේම තව තවත් මෙවන් ලිපි වලින් මෙම බ්ලොගය සැරසීමට හැකියාව ලැබේවායි පතමි...

    අවසානයේ සඳහන් වූ CIA ඒකට සම්බන්ධ ජෝර්ජ් බුෂ් යනු අප දන්නා ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) ද නැතහොත් ඔහුට සම්බන්ධ අයෙක්ද..?

    ReplyDelete
    Replies
    1. අවසානයේ සඳහන් වූ CIA ඒකට සම්බන්ධ ජෝර්ජ් බුෂ් යනු අප දන්නා ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) ද නැතහොත් ඔහුට සම්බන්ධ අයෙක්ද..?

      අන්තිමට කෙනඩි මැරුවේ කවුද කියන එකට වඩා මටත් දැන ගන්න ඕනේ උනේ මෙන්න මේක.. හෙහ්

      Delete
    2. ස්තූතියි මාරයෝ! තරමක නිහැඬියාවක් සිටියත් නැවතත් සත් සමුදුර විවිද ලිපි වලින් පුරවන්න සිතාගෙන තමයි සිටින්නේ. CIA එකට සම්බන්ධ වුනේ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) තමයි. Dark Legacy George Bush and the murder of John Kennedy කියන වාර්තාමය චිත්‍රපටියේ වැඩිදුර විස්තර තිබෙනවා...

      Delete
  4. ලිපි 400ට සුභ පැතුම් දිනේශ්..බ්ලොග් එකේ කරුණු ලේසියේ හොයන්න විජට්ටුවක් එල්ලන්න පුළුවන්ද?

    මේ ලිපියට ඔබ කල විමර්ශනය පැසසිය යුත්තක්...චිත්‍රපටියකටත් වඩා සංකීර්ණ තිර පිටපතක් තමා මේ කුමන්ත්‍රනයට තිබිලා තියෙන්නේ..ඇත්තටම හාවි ඔස්වල්ඩ් ඝාතනයා නොවුනා නම් ඔහුට වී ඇත්තේ අසාධාරණයක්..

    ස්තුතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ පවසන විජට්ටුව මොන ආකාරයේ එකක් දැයී කරුණාකර පැවසිය හැකි නම් එම කාර්යය වඩාත් පහසුවේ යයි සිතමි. ඔව් මෙම ලිපි ලිවීමට සෑහෙන්න කරුණු සෙව්වා. ලී හාවි ඔස්වල්ඩ් ඝාතකයා නොවීමට හෝ ඔහු පමණක් මෙම කාර්යයට සම්බන්ධ නොවීමටත් ඉඩ තිබෙනවා. එහෙත් අවාසනාවකට එය හෙළි වීමට තිබූ බොහෝ සාක්‍ෂි දැන් අහිමිව ගොස් අවසන්...

      Delete
  5. 400වෙනි ලිපියට සුබ පැතුම්.. මෙවැනි ලිපියක් ලිවීමට ඔබ ගත උත්සාහයද අගය කරමි. මම නම් මෙවැනි දේශපාලන කුමන්ත්‍රණ ගැන එච්චර උනන්දු නෑ.. නමුත් ඔබ ලිවූ මේ ලිපි නිසා සැහෙන විස්තරයක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් දේශපාලන කුමන්ත්‍රණ වගේ දේවල් නිසා ඇතැම් විට අහිමිව යන්නේ හොද මිනිසුන්. ඒ නිසා ඒවා ගැන තොරතුරු සෙවීමේදී කණගාටුවක් පවා දැනෙනවා..

      Delete
  6. මුලින්ම දිනේෂ් මට සමාවෙන්න ඕනෙ මෙච්චර දවසක් එක කමෙන්ට් එකක්වත් නොදැම්මට. ඒ මොකද කිව්වොත් ලිපියක් හරියට කියවන්නෙ නැතුව ප්‍රතිචාර දැක්වීමට මගේ තියෙන අකමැත්ත ඊට හේතුවයි. ඒත් ඉස්සරහට එහෙම දෙයක් නොවෙයි කියල මං බලාපොරොත්තු වෙනවා.
    ඇත්තට ම මටත් ලොකු සතුටක් දැනෙන අවස්ථාවක් මේක. ලිපි 400 ක් කියන්නෙ දිගු ගමනක්. ඒ වෙනුවෙන් දිනේෂ් කැප කරපු හැම මිනිත්තුවකට ම ඔයාගේ ලිපි කියවන අපි ඔයාට ණය ගැතියි. ඒ තරම් වටින දේවල් ‍රැසක් ඔයා සිංහල බසින් අන්තර්ජාලයට එකතු කරල තියෙනවා. හැබැයි පුංචි දුකකුත් තියෙනවා. ඒ තමයි ඉස්සර සත් සමුදුරේ අපි දැක්ක රිද්මය දැන් ඇත්තට ම බිඳ වැටිලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. එක ලිපියක් පලවෙලා තව ලිපියක් පලවෙන්න ගත වන කාලය හුඟක් වැඩි බවයි මගේ අදහස. කාලවේලාව පිළිබඳව ගැටලුවක් තියෙන බව දන්නව වුණත් හැකි පමණින් අලුත් ලිපිවලින් නිරන්තරයෙන් සත් සමුදුර හැඩ කරන්න පුළුවන් නම් ඒක වටින බවයි අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ.
    බොහොම ස්තූතියි දිනේෂ්..........
    තව දිගු කලක් මේ මඟ යාමේ හැකියාව ඔබට ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි උදාර, මෙවන් දීර්ඝ ගමණක් පැමිණීමට ඔබ ලබා දුන් සහය කෙසේනම් අමතක කරන්නද? එසේ උදව් කළ හා මෙහි දියුණුම ප්‍රාර්ථනා කළ ඔබවැන්නෙකුට ලිපි නැති පාළුවට ගිය බ්ලොග් අඩිවයක් දකින්නට ලැබීමත් කණගාටුවට පත්කරන්නට හේතුවන්නට ඇති බවට සැකයක් නැහැ. රිද්මය වෙනස් වන්නට හේතු බොහෝමයක් විචාරක මහතාගේ පිළිතුරට මම ඇතුළු කළා. ඒ කොහොමවුනත් ඉදිරියේදී නැවතත් ලිපි (දිගු හෝ කෙටි) රැසක් මෙහි ලියවේවි....

      Delete
    2. ඒ වගේම ඔබට නැවත ස්තූති තරන්න ඕන, ඒ ඔබ ලබා දුන් මූලාශ්‍ර කිසා මෙම ලිපි පෙල තවත් සරුසාරවත් කරගන්න හැකියාව ලැබුනා. අවංකවම කියන්න ඕන ඔබ ඒ මූලාශ්‍ර ලබා නොදුන්නා නම් මම මේ තරම් කරුණු කෙනඩි ජනපති සහ ඔහුට සිදුවූ ඉරණම පිළිබදව නොලියවෙන්නත් ඉඩ තිබුනා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පළමුව සුබ පැතුම් සහ ස්තුතියි දිනේෂ් , සාර්ථක සහ ප්‍රෙයා්ජනවත් ලිපි 400 ක් ලියන්නට , ඒ පිළිබඳව ගවේෂණය කරන්නට ඔබ කළ කැපවීම් වලට ,

      JFK assassination ගැන මමත් කුතුහලයෙන් කියවනවා , අළුත් ප්‍රවෘත්තියක් ලැබුණා ඒ පිළිබඳව , ඒ තමයි එදා මේ සිදුවීම පිළිබඳ වීඩියෝ සහ ඡායාරූප , අළුත් තාක්ෂණ ශිල්ප ක්‍රමයක් උදව්වෙන් HD වීඩියෝ බවට පත් කරමින් , මේ සිදුවීමේ සැඟවූනු කතාව තව දුරටත් අධ්‍යයනට කරන්නට යන බව . එමඟින් conspiracy theories ඉදිරිපත් කරන්නට පිළිතුරු දෙන්නටයි.

      තව දුරටත් , ...මෙහි මුලික සිදුවීම අඩංගු දර්ශණ වීඩියෝ ගත කළ Abraham Zapruder ගේ මිණිපිරිය වන Alexandra Zapruder( කතෘවරියක් , ජනමාධ්‍යවේදිනියක් https://www.facebook.com/pages/Alexandra-Zapruder/241030009427770 ) ඊයේ දවසේත් (12/06) මේ සිදුවීම ගැන , තමන්ගේ ෆේස්බුක් පිටුව මඟින් තවදුරටත් තොරතුරු විමසුවා , මේ සිදුවීම වෙලා අදට අඩසිය වසකට වඩා වැඩි කළත් ගත වෙලත් තවමත් මේ ගැන ඇතු කුතුහළය අඩුවෙලා නැහැ

      නැවතත් ස්තුතියි දිනේෂ් ඔබේ මේ සත්කාර්යයට !

      Delete
    2. ස්තූතියි මහේෂ්. ඇත්තටම කියනවා නම් මමත් පරිශීලණය කළ මූලාශ්‍ර සියල්ලේම කාරණා මෙම ලිපි වලට ඇතුලත් කිරීමට නොහැකිවූවා. යම් අතකින් එසේ කරන්නට ගියොත් ප්‍රායෝගිකව තව වසරක් වත් එක දිගටම මෙම ලිපි පෙලම ලියන්නට වීමත් සිදුවන්නට තිබුනා. කොහොම නමුත් මෙම කාරණයත් එකතු කරන්නම් කෙනඩි ජනපතිතුමා ඇත්තටම ඇමරිකානු ජනපතිවරුන් අතර දක්‍ෂතමයෙකු ලෙස සලක්නට බැහැ. Bay of Pig අර්බුදය, බර්ලින් අර්බුදය, කියුබානු මිසයිල අර්බුදය සේම ඇමරිකානු අභ්‍යන්තරික දේශපාලනික කටයුතු සම්බන්ධයෙනුත් ඔහු ගත් ක්‍රියාමාර්ග ගැනීමට ගත කළ කාලය දිගු වූවාසේම එයින් අහිතකර ප්‍රතිඵල රැසක් ප්‍රතිකර්මය යොදන විටත් සිදුව අවසන්ව තිබුනා. ඒ අතින් ඔහුගේ අනුප්‍රාප්තිකය වූ ලින්ඩන් බී ජොන්සන් කෙනඩිට වඩා ඉදිරියෙන් සිටි බව පැවසෙනවා. තවත් අයුරකින් කෙනඩි මහතා මෙලෙස මිය නොගියා නම් ඔහුට අද ඇති පුරාවෘතයක චරිතයකට ඇති ස්ථානය නොලැබෙන තැනැත්තෙකු වීමටත් ඉඩකඩ බොහෝ තිබූ බව පැවසෙනවා. ඔහුගේ පරිපාලන කටයුතු මොන අයුරින් දුර්වල වූවත් සිත් ඇදගන්නා සුළු, කාරුණික තැනැත්තෙක බව ඔහු පිළිබදව අධ්‍යයනයේදී තේරුම ගැනීමට හැකිවූවා. මගේ දැනීම අනුව නම් ඇමරිකානු ඉතිහාසයේ ඔහු තරම් ප්‍රියමනාප සිත් ඇදගන්නා සුළු ජනපතිවරයෙක් බොහෝවිට බිහි නොවීමට ඉඩ තිබේවි. මෑත ඉතිහාසයේ ඔහු සේම සිත් ඇදගන්නා සුළු හා සතුරන් අතර පවා ප්‍රිය උපදවන තැනැත්තෙකු වූයේ නම් ඒ බිල් ක්ලින්ටන් මහතා පමණක් විය යුතුයි...

      Delete
  8. සුබ පැතුම් මුලින්ම ඔබේ ලිපි 400යට.
    ඔබේ බොහොමයක් ලිපි මා කියවා තිබෙනවා.

    මේ ලිපියේ තියෙන අර ජැක් රූබි,ඔස්වල්ඩ්ට වෙඩි තියෙන එක ඒ අවස්ථාවේ ගත්තු එකක්ද.?නැතිනම් වාර්තා චිත්‍රපටියක දර්ශනයකින් ගත්තු එකක්ද?

    ඒ වගේම ඔස්වල්ඩ් ගේ දේහය නැවත ගොඩ ගැනීමෙන් අනතුරව දේහයට කරලා තියෙන හානි ගැන හෝ විධිමත් පරීක්ෂනයක් කෙරුණේ නැතිද..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එය සෑබෑවටම එම අවස්ථාවේ ගත් ඡායාරූපයයි. නැහැ. දන්නා තරමින් එවැනි පරීක්‍ෂනයක් සිදුකෙරුනේ නැහැ. දේහයට වලදැමීමෙන් පසු සිදුවූ දේවල් ගැන වගකීමක් දරන්නට රජයට නොවැදගත් වන්නට ඇතිවා සේම, දේහය ගොඩගන්නා විට වසර 18 ක්ම ගෙවී තිබූ නිසා එම කාලය අතරතුර ස්වභාවිතව සිදුවූ හානියක් ලෙසම මේ පරීක්‍ෂන යටගන්න අවශ්‍ය අය තටයුතු යොදන්නටත් ඇති..

      Delete
  9. මුලින්ම 400ට සුබපැතුම් දිනේෂ් ! මේ ලිපි හාරසියයම කොතරම් වැදගත්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ..ඔබ සිංහල බ්ලොග් අවකාශයට හා අන්තර්ජාලයේ සිංහල භාවිතාවට සිදුකර ඇති මෙහෙය අනුපමේයයි.. ඔබව ගුරුකොට ගනිමින් සිංහල බ්ලොග් ලෝකයට පා තබන්න ලැබීම ගැන ඇත්තෙන්ම මම ආඩම්බර වෙනවා...

    මේ ලිපියත අනෙක් හැම ලිපියකටම දෙවෙනි නෑ. සියලු විස්තර අඩංගු අංග සම්පූර්ණ වාර්තාකරණයක්.. මට හිතුනෙ ඔස්වල්ඩ් අහිංසකයෙක් කියලා..සමහරු මහා නීතිගරුක රාජ්‍යය ලෙස වන්දනාමන කරණ ඇමෙරිකාවේ යටිසූත්තර කෙලිත් මේ ආකාරයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා, ඔබගේ ලිපිත් ඇත්තෙන්ම චිත්‍රපටියක් බලනවා හා සමාන අත්දැකීම් ලබා ගන්න පුළුවන් ලිපියි. සෑහෙන්න කරුණු ප්‍රමාණයක් මෙම ලිපියට එකතු කර ලිපි පෙළ අවසන් කරන්නට සිතුවා. ඔබම දකින්න ඇති මම එක් තැනක කියා තිබුනා කරුණු කෙටියෙන් ලියා ලිපිය අවසන් කරන බව, ඒත් ඉන් පසුවත් ලියවී ඇති ප්‍රමාණයෙන් මෙම මාතෘකාවට අදාලව සියන්න තිබෙන දේ පේනවා ඇතැයි සිතමි. මගේ මතය නම් ලී ඔස්වල්ඩ් හාවි අතින් ඇතැම් විට ජනපති කෙනඩිගේ ඉරණම තීන්දු නොවූවත් ඔහු සම්පූර්ණයෙන්ම අහිංසකයෙකු නොවන බවයි....

      Delete
  10. 400 වෙනි ලිපියට සුබ පැතුම් දිනේෂ්!!! ඔබගේ ඉටුකරන මෙහෙය අති විශිෂ්ටයි කියල නැවත වරක් පවසන්නට අවසර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! රවී මේ බ්ලොග් අඩවිය ආරම්භ කර ගතවූ වසර හතරක පමණ කාලය තුල තවමත් සහය දෙන මිතුරෙක් හැටියට ඔබටත් මම කෘතවේදී වීමට කැමැත්තෙමි...

      Delete