Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Saturday, September 10, 2016

රසවිදීමට කලා නිර්මාණයක් සම්භාව්‍යය ශාස්ත්‍රීය නිර්මාණයක්ම විය යුතුද? සරල සුභාවිතයෙන් යුතු කලා නිර්මාණයක් උසස් නිර්මාණ නොවන්නේද?

මේ මාතෘකාව ඔස්සේ යමක් ලියන්නට සිදුවූයේ මීට දින කිහිපයකට පෙර මා ලියූ - අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු ලිපියට එක් පාඨක මිතුරෙකු නමක් සදහන් නොකර තබා තිබූ මෙම කමෙන්ටුව නිසාවෙනි.


ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා.
වෙන රටකට ගිහිල්ල හරි ඔර්කෙස්ට්‍රා එකක් ලයිව් අහන්න. සරල ගීත මොනවද කියල හිතෙයි.
පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් ඒකත් බලන්න.
Whiplash//

මා මෙම කමෙන්ටුවේ අවසානයෙන් අරඹන්නම්. ඔව් මම ඊයේ Whiplash   සම්පුර්ණයෙන් බොහොම සාවධානව  නැරඹුවා.  ඔස්කාර් සම්මාන තුනකින්ම හිමිකම් කියන්නට සමත් වූ  උසස් නිර්මාණයක්. විශේෂයෙන් සංගීත උපදේශක Fletcher ගේ චරිතය සහය චරිතය වූවත් ප්‍රධාන චරිතය අභිබවා එය හිතට දැනෙන ලෙස රඟපෑ J.K.Simmons රංඟනවේදීයාට සහය චරිතයට හිමි ඔස්කාර් සාම්මානය ලැබීම සාධාරණත්වය ඉටුවීමක්. 

මෙම චිත්‍රපටිය තුලින් ලබාදෙන අප්‍රතිහත  ධෛර්යය, කැපවීම පිළිබදව ආදර්ශය ඉහලයි. එහෙත් යම් ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ගේ ආත්මීය වටිනාකම් බැහැර කරමින්. මිනිසෙකු වෙනුවට යාන්ත්‍රික සත්වයෙකු බිහිකිරීම උචිතද යන කාරණය ගැන නම් ගැටළුවක් ඇතිවූවා.

එම කාරණයෙන් ඔබ්බට ගිය විට මෙම කමෙන්ටුවෙන් කියවුන සරල කලාත්මක නිර්මාණයක් තවදුරටත් වර්ධනය කරමින් හෝ ගුණාත්මක බව ලබාදීමට නව පරපුර උත්සහ දරද්දී එය යම් අවතක්සේරුවකට ලක්කිරීම සාධාරණදැයි සැකයක් මතුවේ. විශේෂයෙන් මා මෙම ලිපියෙන් පැවසූ වැඩසටහන් මා හොදයැයි සිතන නිසා අන්‍යයන්ද එසේ සිතිය යුතුයයි මතයක් මා තුල නොමැති බවද පවසන් අතරම අපගේ රටේ නිපැයෙන කුමක් හෝ කිසියම් ගුණාත්මක බවක් පෙන්වයි නම් එය අගය නොකරමින් පිටරටින් ලැබෙන සෑමදෙයක්ම අපට නොගැලපුනද? නොතේරුනද? යන්න පවා සැලකිල්ලට නොගනිමින් එක හෙලා හොද යයි කීම සුදුසුදෝ යන හැගීමද මතුවිය.

සාපේක්‍ෂව ගත්විට මගේ අදහස නම් අප රටේ ඉතිහාසය වසර දෙදහස් ගණනක් වුවද, විවිද කර්මාන්තයන්ගෙන්, විවිද ශිල්පීය නිපුනත්වයෙන්, එසේම කලා නිපුනත්වයෙන්ද එම වසර දෙදහස් ගණනක් උරුමය සහ ඉතිහාසය තිබුනද පසුගිය දශක පහක සහ අද තිබෙන තත්ත්වයට පත්වීමටට අපට පසුගිය සියවසේ තරමක් කාලයක් ගියපසු අරඹන්නට සිදුවූ බවක් හැගේ. 

එයට විවිද හේතු විශාල වශයෙන් ඇතිමුත් කෙටියෙන් පවසමිනම්,  පසුකාලීනව රාජ්‍යත්වයේ ඇතිවූ විවිද හැලහැප්පීම්, රාජධානී කෙටිකලක් තුල රටේ විවිද ප්‍රදේශ කර සංක්‍රමණය වීම, සහ යුරෝපීය ආක්‍රමණ නිසා විවිද ගතිලක්‍ෂන අපගේ ස්වදේශිකත්වයට සුභවාදී ලෙස ලැබුනාටත් වඩා ස්වදේශික ගති ආකල්ප, සංස්කෘතිය හා ආගම යනාදී සෑම කාරණයකට අහිතකර ලෙස මැඩපවත්වමින් ලැබීම ස්ථාවර තත්ත්වයක් මොනම ක්‍ෂෙත්‍රයක් කරා නොතිබීම ගතවූ වසර 500 ක පමණ කාලයක් එනම් 20 වන සියවසට පෙර වසර 500 ක පමණ කාලයක් තුල  අපේ රටට ආවේණික ලෙස පරිණාමය නොවීම යන්න දැක්විය හැකිය. එහෙත් මෙම ඉතිහාසය තුල අපේ රටේ විවිද කලා නිර්මාණ විවිද කාල වලදී උසස් ලෙස නිර්මාණය නොවූ බවක් මෙයින් අදහස් නොකරන අතර විවිද නිර්මාණ මතු පරම්පරාවටද ආඩම්බරයක් විය හැකි ලෙස නිර්මාණය වූවද එය තවදුරටත් ක්‍රමිකව නොනවත්වා වර්ධනය කරගැනීමට ඉන්පසු බිහිවූ පරම්පරාවට හෝ ශිල්පීන්ට හැකිවූයේද යන්න පිළිබදව ගැටළුවක් පවතී.

20 වන සියවසේ මුල දී නීතිඥ  ජෝන් ද සිල්වා මහතා නූර්ති හා නාඩගම් සම්ප්‍රධායන් ඇසුර කරගෙන කරන ලද  ඓතිහාසිකා තේමාවන්ගෙන් යුතු නිර්මාණ ප්‍රධාන වශයෙන් අද පවතින ස්වදේශික කලාවේ මූලාරම්භයට ප්‍රධාන වශයෙන් දායක වන්නට ඇතැයි මේ පිළිබදව මා දන්නා සුළු දැනුම් ප්‍රමාණයෙන් හැගීමක් තිබේ. ඒ මහතාට අමතරව තවත් කලා ශිල්පීන්  බොහෝමයක් ප්‍රකටව අප්‍රකටම මෙම සද්කාර්යයට කාලානුරූපව හෝ සමකාලීනව දායකවන්නට ඇති අතර එම හැරවුම් ලක්‍ෂය අද පවතින කලාවට මුල්ගලක් තැබුවා යයි නම් පැවසිය හැකිය.

සිංහල සිනමාව ගත්විටද, එයද මුලින් ඉන්දියානු ආභාශය සහ ඉන්දියාවේ තාක්‍ෂනික දායකත්වයක් නොමැතිව කරගෙන යාමේ හැකියාවක්ද නොතිබූ අතර පසුකලීනව ක්‍රමිකව අපේ රටේදීම අනන්‍යතාවයකින් යුතුව කරගෙන යාමේ තත්ත්වට ලගාකර ගත්තකි.

ඒ අනුව ගත්විට පිටරට ඔපෙරාවක්, නාට්‍යයක්, චිත්‍රපටියක් හෝ වෙනයම් කලා නිර්මාණයක් අපේ නිර්මාණ හා සන්සන්දනය කරමින් තවමත් දියුුණූවෙමින් පවතින අපේ රටේ දේ හෑල්ලුවට ලක්කිරීම සාධාරණදැයි සිතා බැලිය යුතුය.

සුභාවිතය, මෙරට ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට හැකිවීම සේම යම් ගුණාත්මක බවත් ඊයේට වඩා අදටත්, අදට වඩා හෙටටත් ලබාදෙන්නට කටයුතු කිරීම පැසසිය යුත්තකි. උදහරණයක්ස ලෙස,  සරල වේවා, සම්භාව්‍ය ශාස්ත්‍රීය වේවා, අප රටේ සංස්කෘතික ගුණාත්මක භාවය කෙලසන හෝ අසභ්‍ය, දෙපිට කැපෙන වදන් යොදා තැනෙන ගීත ඉහල ගුණයෙන් යුතුවූවත් පිළිගත හැකිද?

සත්‍ය වශවෙන්ම විවිද හඩපරාස, ශබ්ද සංකලන යනාදිය පරිපූර්ණ වූ ඔපෙරාවක් තේරුම් ගැනීමට හා රසවිදීමට හැකි ප්‍රේක්‍ෂකයන් අප රටේ දැනට සිටින්නේ සුළුතරයකි. එය බහුතරයක් කිරීමටම එකවර ඔපෙරා වට හුරු කිරීමට වඩා සරල සංගීතයේ ඉන් ඔබ්බට ඇති පියවර කරා ගොස් එතැනිින් තව තවත් ඉහලට යාම තුලින් සරල සංගීත මානයෙන් එහා ඇති මෙම ඔපෙරා සංගීතයටද නැඹුරුකමක් දක්වන පිරිසක් බිහිවනු ඇත.

අතිවිශීෂ්ඨ සංගීත්‍යඥයන් වන මොසාර්ට් බිහිවූ අද ඔස්ට්‍රිියාව ලෙස සැලකෙන දේශයද, බීතෝවන් බිහිවූ ජර්මනියේද එකවර ඔපෙරා හෝ සම්භාව්‍ය ශාස්ත්‍රීය බටහිර සංගීතය බිහිනොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එකිනෙකට ආසන්න යම් කාල සීමාවක සහ යාබද රටවල් දෙකක මෙම දෙදෙනාම ජීවත්ව සිටීම යනාදියට අමතර මෙම රටවල් රෝමානු ආභාෂය තදින් ලැබී තිබීම, විවිද සංස්කෘතික දේශපාලනික හා ආගමික හැලහැප්පීම් වලට එම අවධියට පෙර හා එම අවධියේ නිරතුරු ලක්වීම මධ්‍යතන යුගය නිමාවී පුනරුද යුගයට පා තබා තිබීම, පෞද්ගලික අභිලාශයන් හා ඉලක්ක යනාදිය ද වඩාත් හොදින් අනුගමනය කිරීම වැනි කාරණා අදටත් වසර 300 කට ආසන්න කාලයකදීම එම කලාපයේ උසස් සංගීතයක් බිහීවීමට හේතු වන්නට ඇති.

එසේම ලිපිය අවසන් කරන්නට යන මේ මොහොතේ මීට වසර හතරහමාරකට පමණ පෙර මා විිසින්ම සත්සමුදුරට ලියූ - ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII - ලිපිය පිළිබදව මතක් කරනු කැමැත්තෙමි. කෙතරම් උසස් වූවත් 19 වන සියවසේ ජර්මනියේ සිටි විශිෂ්ඨ ගණයේ ඔපෙරා සංගිතඥයෙකු වූ Richard Wagner ගේ (1813 - 1883) ඔපෙරාවන් තුල ඇති අන්තවාදීත්වය හිට්ලර් වැනි පුද්ගලයන්ට ලෝකය එකම අපායක් කිරීමට යම් ජීවයක් සැපයූ බව ලිපිය අවසන් කරමින් පවසමි.

Friday, September 9, 2016

Geoffrey Rush සිනමාවේදියා ගැන සුළුවෙන් යමක්....

Geoffrey Rush, මේ නම කියූ සැනින් ඇතැම් විට ඔබගේ මතකයට නාවත් Pirates of Caribbean සිනමා ත්‍රිත්වයේ හමු වූ නෞකා කපිතාන් Barbossa මතකයේ ඇතැයි සිතමි. 

තවත් අතකින් අප කුඩා කාලයේ සිත් ගත් විශිෂ්ඨ ගණයේ නවකතාවක් වන අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලයට පරිවර්ථනය කෙරුණ මනුතාපය හෙවත් ප්‍රංශ මහා ගත්කතුවරයෙකු වන Victor Hugo මහතා (https://en.wikipedia.org/wiki/Victor_Hugo)විසින් රචිත 19 සියවසේ බිහිවූ අතිවිශිෂ්ඨතම කෘතියක් ලෙස සැලකෙන Les Misérables (https://en.wikipedia.org/wiki/Les_Mis%C3%A9rables) අනුසාරයෙන් 1998 දී හොලිවුඩ් චිත්‍රපටියක් ලෙස නිපැයුන Les Misérables චිත්‍රපටියේ දුෂ්ඨයා හෙවත් පොලිස් පරීක්‍ෂක Javert චරිතයට පන දුන්නේද අප මේ කතා කරන Geoffrey Rush කලාකරුවා විසිනුයි.(http://www.imdb.com/name/nm0001691/)



එකිනෙකට හාත්පසින්ම වෙනස් රංගන ශිල්පයක් අනුගමනය කළ යුතු චිත්‍රපටි ගණනාවක රඟපා ඇති  ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබා තවත් විටක එම සම්මානය සදහා නිර්දේශයටද ලක්වූ මෙම සිනමාවේදියා තවත් අවස්ථාවක මා දුටුවේ ඉහල ගණයේ කලා නිර්මාණ වෙන්දේසිකරුවෙකු ලෙස චරිතයකට පන දුන් 2013 වසරේ තිරගතවූ The Best Offer චිත්‍රපටියේදීය.

එහෙත් ඔහුට ඔස්කාර් සම්මානය ලැබීමට හේතුපාදකවූ,  1996 දී තිරගතවූ Shine චිත්‍රපටිය නම් තවමත් මා නරඹා නොමැති අතර එය අනිවාර්යයෙන්ම ඉදිරියේදී නරඹන්නට අදහස් කරගෙන සිටින්නෙමි.

තවද මාගේ සිත්ගත් චිත්‍රපටියක් වූ සත්‍ය කතා පුවතක් ඇසුර කරගෙන නිර්මාණය වූ, ඔස්කාර් සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබූ, 2010 වසරේ තිරගතවූ The King's Speech චිත්‍රපටියේදීද, කථන චිකිත්සකයෙකු ලෙස කරන ලද රඟපෑමද විශිෂ්ට බවකින් යුතුවූ අතර එය වෙනුවෙන් ඔස්කාර් සම්මාන සදහා හොදම සහය නළුවා ලෙසද නිර්දේශයට පාත්‍රවිය.


Tuesday, December 30, 2014

වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - දෙවන කොටස

යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද?  එසේත් නැතිනම් 1493 වසරට පෙර යුරෝපයේ සිෆිලස් රෝගීන් නොසිටියේද?  යම් හෙයකින් ඇමරිකානු මහද්වීපයේ ස්වදේශිකයන් සිෆිලස් රෝගී වාහකයන් නම් කොලොම්බස්ගේ නාවික ගමණයට වසර දසදහස් ගණනකට පෙර තිබුනායැයි විශ්වාස කෙරෙන Beringia පාලම නැතහොත් අද දේශපාලනිකව පසමිතුරු වෙසින් සිටිනා රුසියාවේ Chukotka අර්ධද්වීපය හා ඇමරිකානු ප්‍රාන්තයක් වන ඇලස්කාවේ Seward අර්ධද්වීපය යා කරමින් පැවතුන අයිස්වලින් නිර්මාණයවී තිබූ පාලම ඔස්සේ ආසියාව හා ඇමරිකාව අතර අයිස්යුගයේ මිනිසුන් සංක්‍රමණය වීම ඔස්සේ යුරෝපය වෙතට රෝගය පැමිණීමට ඉඩක් තිබෙන බව කොලොම්බස්ගේ නාවිකයන් විසින් රෝගය යුරෝපයට රැගෙන ආ බවට ප්‍රතිවිරුද්ධ මත පළ කරන්නන් සංකල්පයක් ගෙනහැර දක්වයි.බොහෝවිට සිෆිලස් රෝගීන් යුරෝපයේ සිටියත් එය කොලොම්බස් යුගයේ තරම් අධික නොවීම. රෝගී ලක්‍ෂන පහලවීමත් සමග සමාජයට මුහුණ දී ගත නොහැකිව මුළුගැන්වී සැඟව සිටීම වැනි කාරණා සහ පුනරුද යුගයේදී මෙන් නොව මිනිසුන් ස්ථික ජීවන රටාවකට එනම් තමන්ගේ හුරු පුරුදු පරිසරයෙන් ඔබ්බට නොයා ජීවත කාලය පුරා එක් පෙදෙසකට පමණක් කොටුවීම වැනි කරුණු නිසා රෝගය ව්‍යාපතවීම වැලකී තිබෙන්නටද ඉඩ තිබේ.

කෙසේවෙතත් කොලොම්බස්ගේ නාවික ගමනට පසු මෙසේ සිෆිලස් යුරෝපයට රැගෙන ආ බවට වූ මතයට ප්‍රතිවිරුද්ධ මතය ගොඩනැගෙන්නේ ඉතාම මෑත කාලයකදීය. ඒ මතය බොහෝ අවස්ථාවල රූපවාහිනී වාර්තාමය චිත්‍රපටි හරහා වීමද විශේෂිතය.

PBS නාලිකාවේ Secret of Dead වාර්තා චිත්‍රපටි මාලාවේ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ  සහ BBC රුපවාහිනි නාලිකාවේ "Pompeii : Life and Death in Roman town" වාර්තා චිත්‍රපටියේ මෙම කරුණු අන්තර්ගතවිය.

මුලින් පැවසූ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මෙම සංකල්පයට ප්‍රධාන සාක්‍ෂියක් ලෙස එංගලන්තයේ Hull උසාවි සංකිර්ණය ඉදිකිරීමට යාමේදී කැනීම්වලදී හමුවූ ඉපැරණි තාපාසාරාමයක නටඹුන් හා ඒ ආශ්‍රිතව තිබූ ඇටසැකිලි වල හිස්කබල් වල ඇති සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත කඩතොළුද, ග්‍රීක අධිරාජ්‍ය සමයේ ක්‍රි.පූ. 580 - 250 අතර කාලසමයේදී ඔවුන්ගේ කොලොනියක් වූ ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රද්‍ෙශයේ තිබූ නටඹුන් අතර තිබූ හිස්කබල්වලට මෙම සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත ලක්‍ෂන හමුවූ බව පැවසූහ.  එසේම "Pompeii : Life and Death in Roman town“ චිත්‍රපටියේදී විධාරණය වූ විසුවියස් ගිණිකන්දට යටවූ සිරුරු අතරින් හමුවූ නිවුන් දරුවන් යයි සැලකුන ඇටසැකිලි වල හිස්කබල් දෙකක දත්වල තිබූ Hutchinson's Teeth ලක්‍ෂන නිසා වසර 2000 කට පෙරද  (විසුවියස් යමහල විධාරණය නිසා පොම්පේ නගරය ලාවා වලින් යටවූයේ ක්‍රිි.ව. 2070 දී යයි සැලකෙන නිසා) යුරෝපයේ වැදගත්ම ශිෂ්ඨාචාර සමයක එනම් රෝම ශිෂ්ඨාචාර සමයේද සිෆිලස් තිබූ බවට මතයක් ඉදිරිපත් විය.

Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මූලිකව හිස්කබල් හතරක් සම්බන්ධයෙන් මෙම මතය ඉදිරිපත් කරයි. කෙසේවෙතත් එම සාක්‍ෂි දුටු පමණින් මෙසේ කොලොම්බස්ගේ ගමණට පෙර සිෆිලස් මතයක් තිබූ බවට ඉදිරිපත් කරන බවටත් ඇති චෝදනා බොහෝමයකි.හිස් කබල් අංක. 1216 දරන හිස්කබල තරුණවියේ වැඩිහිටි පිරිමි හිස් කබලක් ලෙස සැලකෙන අතර එහි ඇති කඩතොළු සිෆිලස් රෝගය උත්සන්න වීමෙන් ඇතිවන ලක්‍ෂන වලට සමාන බව වැඩසටහන නිමවූවන් පවසති. කෙසේවෙතත් මෙම රෝගී ලක්‍ෂනම තවත් බැක්ටීරියා ආසාදනයෙන් වැලදෙන yaws සහ bejel යන රෝග වලදීද ඇති වන බව සැලකේ. තවද 805, 932, 1121 අංක දරන හිස් කබල් වලද සිෆිලස් රෝගයට සමාන ලක්‍ෂන තිබෙන බව පැවසුනද ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නොසපයති.

ඉහත පැවසූ 1216 දරන හිස් කබල කාබන් කාල නිර්ණයට අනුව ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව මුල් අවස්ථාවේදී පවසන ලැබූ අතර තවදුරටත් මතය සනාථ කරනු පිණිස අදාල භූමියෙන් හමුවූ මිනීපෙට්ටිවල ලී කැබලි පරීක්‍ෂෙවන් ලද තොරතුරු චිත්‍රපටියේ දක්වයි. ඒ අනුව මෙම ලී කැබලි ක්‍රි.ව. 1340 - 1369 අතර කාලයට අයත්ය. ඒ එලෙස නම් චිත්‍රපටියේ තොරතුරුවලට අනුව සිෆිලස් රෝගය යුරෝපයේ කොලොම්බස්ගේ ඇමරිකානු ගමණට වසර 150 කට පෙර සිටම පැවත තිබේ.

එහෙත් චිත්‍රපටියට අවශ්‍ය වී ඇත්තේ තම මතය එලෙසම ප්‍රේක්‍ෂකයන්ට ඒත්තු ගැන්වීමට දැයි සැක මතුවන අවස්ථා රැසක් ඇත.

1216 දරන හිස් කබල දෙවරක් කාබන් කාල නිර්ණපරීක්‍ෂනයට ලක් කළේයත ඒ 2000 වසරේදී සහ නැවත 2003 වසරේදීය. කෙසේවෙතත් මෙම තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබුවේ එයිනුත් කාලයක් ඉක්ම ගිය තැන වූ අතර ඒ 2011 වසරේදීය. මුල් අවස්ථාවේ පෙර පැවසූ මෙන් ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව පැවසුන අතර දෙවන අවස්ථාවේ ලද කාලය එයට හාත්පසින්ම වෙනස්විය. එනම්  ක්‍රි.ව. 1428 - 1611 අතර කාලසීමාවකට අයත් බව පැවසීය. මෙසේ කාලසීමා දෙකකට අයත්බව පැවසීම කාලනිර්ණ යාන්ත්‍රණයේ දෝශයකට ලෙසටද සැකකෙරුන අතර පසුව මෙම පලාතේ සාමජීය හා භූවිශමතා ලක්‍ෂන අනුව මෙම ව්‍යාකූල තත්ත්වයට යම් හේතු සාධක අනුමාන කළ හැකි තත්ත්වයක් උදාවිය.

අතීතයේ පටන් හල් යනු හල් ගංඟාව ආශ්‍රිතව තිබෙන නගරයක් වන අතර එහි බොහෝ නිවාස මතස්‍ය පරිභෝජනයෙන්ද ඉහලය. කරදිය හෝ මිරිදිය සංඝටක අධිභාවිතයට ගෙන තිබීම මෙසේ කාබන් කාල නිර්ණය වෙනස්කම් වලට බලපෑම් කිරීමට හේතුවිය හැකි බවද දැක්වේ. කෙසේවෙතත් මේ කාරණා සියල්ල විවාදසම්පන්නය.

(In The Syphilis Enigma, Roberts is quoted as saying that since Hull was a port city, many of its residents may have consumed a lot of fish, “and that high marine content in the diet can affect the accuracy of the radiocarbon results.” That is, a diet high in marine or lacustrine content can generate radiocarbon dates for the organism that can be hundreds or even thousands of years older than its actual age. This effect is caused by delayed exchange rates between atmospheric CO2 and ocean biocarbonate and the dilution effect caused by the mixing of surface waters with upwelling deep water that contains ‘old carbon’.  To correct for this effect, the relative proportion of marine content in the organism’s diet is assessed, typically using δ13C values, as marine foods are typically enriched in δ13C (relative to terrestrial protein sources)., Correcting for the effect is complicated, as δ13C values yield only rough approximations of marine dietary content;e.g., ,,however, a very conservative adjustment suggests that approximately 30% of Skeleton 1216’s diet came from marine sources. Corrections for the marine reservoir effect yield adjusted date ranges of AD 1408–1611, for the first date, and AD 1492–1657 for the second, more recent date. Both corrected dates include a span of over 100 years after the return of Columbus and the first recorded syphilis epidemic in Europe.)

අතීතයේ හල් තාපසාරාමය, මධ්‍යතන යුගයේ අනෙකුත් කිතුනු ආගමික ස්ථාන මෙන් ධනයෙන් ආඪය වූ ස්ථානයක් නොවූ අතර දිළිඳු ලෙස දිවි ගෙවූ පූජකයන් සිටි ස්ථානයක් විය. ඔවුන් සිය දිවිසරි කරගත්තේ හිඟමන් යැදීමෙන් ලෙස බව දැක්වෙන අතර ඔවුන් විවිද රෝග ආදියෙන් පීඩාවට පත්වූ අසරණයන්ට පිහිට වූ බවද පවසති. මේ නිසා ඇතැම් අවස්ථාවල භයානක ලෙඩරෝග වලට ඔවුන්ද ගොදුරුවී තිබේ. මේ අනුව මෙහි තිබූ ඇටසැකිලි එසේ මියගිය පූජකයන්ගේ හෝ ඔවුන් විසින් ඇපඋපස්ථාන කරන ලද රෝගීන්ගේ විය හැකි යයි සැක කෙරේ.

අතීත සිෆිලස් සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කරන තවත් සිදුවීමක් නම් ක්‍රි.පූ.580-250 අතර කාලයේ ග්‍රීක කොලනියක්ව පැවැති ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රදේශයෙන් හමුවූ ඉපැරණි හිස්කබල් කොටස්වලද දකින්නට ලැබුන කඩතොළුවීම් සිෆිලස් නිසා ඇතිවන කඩතොළු වලට හැම අතින්ම සමානකමක් ඉසලීය.එක් පිරිසක්, එනම් කොලොම්බස්ගේ ඇමරිකානු ගමනට පෙර යුරෝපයේ රෝගය තිබූ බව පිළිගන්නා පිරිසට තවත් සුභවාදී තොරතුරක් වූවත් අනෙක් පිරිස එනම් මෙම මතයට ප්‍රතිවිරුද්ධ පිරිස දරන මතය නම් මෙම හිස්කබල් සියවස් ගණනාවක් පුරා පැවති අනාරක්‍ෂිත හා විවිද උපද්‍රව වලට මුහුණදීමට ඇති ප්‍රභලතම අවස්ථාවන් මත වෙනත් බාහිර කරුණු හේතුවෙන් මෙම කඩතොළු හිස්කබලේ ඇතිවන්නට ඉඩ ඇති බවයි.


However, as they acknowledge, the poor preservation of the remains prevent definitive diagnosis (of caries sicca) in the cases of cranial thickening, and the other types of lesions are not specific to syphilis.

මෙවැනි පරස්පර විරෝධී කරුණුකාරණා නිසා නිල පිලිගැනීම ලෙස තවමත් පවතින්නේ කොලොම්බස්ගේ ඇමරිකානු සංචාරයෙන් පසුව යුරෝපයට හා අනෙකුත් මහද්වීප වෙතට සිෆිලස් සංක්‍රමණය වූ බවටයි.

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3413456/

එසේ සිදුවුනි නම් එනම් සිෆිලස් නොදැනුවත්ව යුරෝපයට රැගෙන ආවාට වඩා අගෞරවයක් ඇමරිකානු රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින්ම සිදුකරගෙන තිබුනි. එනම් 1932 සිට 1972 දක්වා වසර 40 ක කාලයක්

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක් වන ටස්කගී නගරයේ ඇමරිකානු-අප්‍රිකානු නීග්‍රෝ කළු ජාතිකයන් යොදවාගෙන සිදුකළ අපකීර්තිමත් සිෆිලස් පර්යේෂන හා ඇමරිකානු සෞඛ්‍ය සේවය ප්‍රමුඛවම මැදිහත් වී 1946 සිට 1948 දක්වා දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාවේ සිදුකළ සිෆිලස් පර්යේෂන ඉතාමත් ශෝචනීය හා පිළිකුල් සහගත වූහ. ඔවුන් ග්වාතමාලාවේදී මෙම පර්ශේෂන සදහා යොදවාගෙන තිබුනේ සොල්දාදුවන්, සිරකරුවන්, වෛෂ්‍යාවන් සහ අසරණ තත්ත්වයට පත්ව සිටි අනාථයන්ය‍. මෙම පිරිසට සිෆිලස් එන්නත් කිරීම මගින් ආසාධිතයන් බවට පත්කොට ඔවුන් හරහා සමාජයේ තවත් පිරිස් වෙත රෝගය ව්‍යාප්ත වීමට සලස්වා විවිද පර්ශේෂන සිදුකිරීම උක්ත ක්‍රියාදාමයේ අරමුණ විය. සිෆිලස් වලට අමතරව ගොනෝරියා රෝගයද එලෙස කෘත්‍රිමව ව්‍යාපත්වීමට සලසා පර්යේෂන සිදුකළ බව පැවසේ.

ටස්කගීහී තත්ත්වය මෙයට වඩා වෙනස් විය. එහිදී අඩු අධ්‍යාපනයක් ලද කළු ජාතිකයන් 600 ක පිරිසත් යොදවාගෙන ඔවුනට ඇමරිකානු රජයේ අනුග්‍රහයෙන් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන මුවාවෙන් සිෆිලස් රෝගයේ බලපෑම නිසා රෝගීන්ට අත්වන ඉරණම පියවරෙන් පියවර අධ්‍යයනය කරන ලදි. මෙහිදී මෙම පිරිසගෙන් 399 දෙනෙකුට පර්යේෂනයට සම්බන්ධවීමට පෙරාතුවම සිෆිලස් වැලදී තිබූ අතර අනෙක් 201 දෙනාට රෝගය වැලදී නොතිබුනි. පිරිමි නිග්‍රෝ අය පමණක් මෙම කාර්යයට යොදවා ගත් අතර ඔවුනට සිෆිලස් රෝගයට අදාලව නොව අනෙකුත් රෝගාබාද සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලැබූ අතර ආහාර සහ මිය ගිය පසු අවසන්කටයුතු සිදුකරදීමේ කාර්යයද නොමිලේ රජය විසින් කර දීමට වගබලාගන්නා ලදි. කිසිවිටක උක්ත පර්යේෂනයට යොදවා ගත් අසරණයන්ට තමන්ට සිෆිලස්  වැලද තිබූ බව හෙළි නොකළ අතර එවකට මෙම මිනිසුන් අතර සිෆිලස් හා ඊට ආසන්න ලක්‍ෂන ඇති රෝගාබාදයන් වන Anemia සහ Fatigue වැනි රෝගාබාදයන් පොදුවේ හැදින්වීමට භාවිතා “නරක ලේ“ නැතහොත් "Bad Blood" සදහා ප්‍රතිකාර ලබා දෙන බව අඟවන ලදි. තවත් අතකින් මෙම මිනිසුන්ට සැඟව සිටින සතුරෙකු බදු සිෆිලස් පිළිබව කිසිදු අවබෝදයක් නොවීය. රෝගය වැලද තිබුනද එය ක්‍රියාත්මක වන්නේ පියවරෙන් පියවර මන්දගාමීව නිසා තමන්ගේ කටයුතු සිදුකරගැනීමට එයින් මුල් අවස්ථාවේ බාධාවක් වනු නොවන නිසාත් ඇතැම් විට රෝගය තමන්ට වැලඳී තිබෙනවාදැයි දැනගැනීමේ අවශ්‍යතාවයක් වත් ඔවුන්ට නොවූ බව පැවසේ. 

මානව සදාචාරය, වෛද්‍ය සේවයේ නීතිරීති හා එහි ඇති සංවේදී ගුණාංග සහ සම්මතයන් යන සියල්ල දරුණු ලෙස හා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙම පර්යේෂන, සිෆිලස් රෝගය සුවපත්කිරීමට සොයාගත් සාර්ථකම ඔසුව වූ පෙනිසිලීන් 40 දශකයේදී භාවිතයට ගත් අවස්ථාවේ පවා අදාල රෝගීන්ට එය ලබා නොදෙමින් සිදුකළ අතර ඒ අවස්ථාවේවත් පෙනිසිලීන් එම රෝගීන්ට ලබාදුනිනම් රෝගීන් බොහෝ සංඛ්‍යාවක් රෝගයෙන් ගලවා ගැනීමේ අවස්ථාව පැහැදිලිවම තිබූ බව පැවසේ. රෝගයට ප්‍රතිකාර කොට රෝගීන් සුවපත්වීම සිය පර්යේෂනයට සිදුවන හානියක් ලෙස සැලකූ බලධාරීන් රෝගීන් රෝගයෙන් පීඩාවිදින අයුරු නිරීක්‍ෂනය කරා පමණක් නොව රෝගයෙන් මිය ගිය පසුව සිරුර අභ්‍යන්තරයට රෝගයේ බලපෑම කෙසේවුනිදැයි මරණ පරීක්‍ෂනයේදී නිරීක්‍ෂනය කොට සිය පර්යේෂනය සාරථක කර ගැනීම පමණක් ඒකායන අරමුණ වන්නට ඇත. මෙම ආසාධිත රෝගී මනුශ්‍යන්ගේ රුධිරය, සුෂුම්නා තරලය යනාදිය විද්‍යාගාර පරීක්‍ෂනවලට ලක්කළ අතර රෝගීන්ගේ සිරුරේ බාහිර ස්වරූපයේ ඇති වන වෙනස්කම් මෙන්ම X-Ray ඡායාරූප ගැනීමෙන් සිරුර අභ්‍යන්තරයද පරීක්‍ෂාවට ලක්කරන ලදි.

සත්‍ය ලෙසම ඔවුන් මෙම රෝගීන් පිළිබදව සිදුවේ මිනිසුන් ලෙස නොව පරීක්‍ෂනාගාර ගිනිපිග් මීයන් ලෙසය. තවත් අතකින් වර්ණභේදවාදයේ හෙවනැල්ල නිසාම මෙම මිනිසුන් පිළිබදව ඇස යොමුකළේ වාර්ගික දෘෂ්ඨිකෝණයකින්වීමත් පැවසිය යුතුය.

අදාල පරීක්‍ෂනයට සම්බන්ධ වූ රෝගීන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන්ටද ඔවුන්ගෙන් රෝගය වැලඳුන අතර මෙම අයට ලැබුන දරුවන්ටද සිෆිලස් වැලද තිබීම නිසා සිදූවූ මරණ හා සදාකාලික රෝගී තත්ත්වයන් නිසා ඇතිවූ ඛේදවාචකය කිසිසේත් ලඝුකොට දැක්විය නොහැකිය.

මිනිසුන්,යක්‍ෂයන් සහ දෙවියන් යන සියල්ලම සිටින්නේ අප ජීවත්වන ලෝකයේම බව ඉතිහාසය පුරාවටම සාක්‍ෂි ලබාදෙයි. මෙම සම්මතය එක් රටකට හෝ මහද්වීපයකට හෝ දේශසීමා අතර සිරකළ නොහැකි යථාර්තයකි. මිනිසුන්ගේ ජීවිත සමග මිනිස් ආත්මය ලැබූ යක්‍ෂයන් ක්‍රීඩා කරන විට නොබියව ඉදිරිපත් වන දේවියන්ට උරුම වූ ගුණාංග ඇති මිනිසුන් වසර තිස් ගණනක් හෝ මෙම ටස්කගී පරීක්‍ෂන සිදුකරගෙන යන අවස්ථාවේ පහල වීම භාග්‍යයකි. පීටර් බක්ස්ටන් නම් මහතාද එවැනි දෙවියෙකු ලෙස හැදින්වීම වරදක් නැත. ඔහු මෙම ව්‍යසනය අවසන්කීරීමට මුලින්ම දෙබරයට ගල්ගැසූ තැනැත්තා ලෙසත් හැදින්විය. හැකිය‍. 

1965 දී වයස 27 ක තරුණයකුව සිටියදී සමාජ සේවයකයෙකු ලෙසත් රෝගාබාද ව්‍යාප්තිය පිළිබදව පර්යේෂකයෙකු ලෙසත් ක්‍රියාකාරිකයෙකු ලෙස සැන් ෆ්‍රැන්සිස්කෝවේ සේවය කරමින් සිටියදී ඇමරිකානු මහජන සෞඛ්‍ය සේවය විසින් ඔහුව සේවයට බදවා ගන්නා ලදි. එහිදී ඔහුට පැවරුණ කාර්යය වූයේ ලිංගිකව වැලඳුන රෝග ඇති රෝගීන් සමග සම්මුඛ සාකච්ඡා කොට වැඩිදුර තොරතුරු එක්රැස් කර ගැනීමයි. එහිදී ඔහු සමග සේවය කරමින් සිටි අනෙකුත් කාර්යය මණ්ඩලය වෙතින් අප මෙම කතා කරනු ලබන ටස්කගී පරීක්‍ෂන පිළිබදවද දැනුවත්භාවයක් ලැබූ අතර එය ඔහුට අදහා ගත නොහැකි දෙයක් විය. මහජන සෞඛ්‍ය සේවය විසින් මෙවැන්නක් සිදුකරගෙන යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි සහ පිළිකුල් සහගත බව ඔහු තරයේ ඇදහූ අතර මෙම පරීක්‍ෂන සිදුකරගෙන යාමට තරයේ විරුද්ධත්වය පළ කරමින් 1966 නොවැම්බරයේදී නිල වශයෙන්ම මහජන සෞඛ්‍ය සේවයේ බෝවන රෝග අංශයට ලිඛිතව දැනුවත් කළත් එම අංශය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ තවමත් පරීක්‍ෂන අවසන්ව නොමැති නිසා මෙම කාර්යයන් නතර කළ නොහැකි බවටයි. එහෙත් මෙම ගුණගරුක මිනිසා නැවතත් ක්‍රියාත්මක වෙමින් 1968 නොවැම්බරයේදී නැවත වරක් අදාල බලධාරීන් වෙත මෙම අමානුශික ක්‍රියාව නවතා දමන ලෙස ඉල්ලා සිටින ලදි.

එහෙත් බීරි අලියාට වීනා වාදනයට වඩා වෙනස් නොවූ ප්‍රතිඵලයක් ඇති තැන පීටර් බක්ස්ටන් විසින් වසර තිස් ගණනක් පුරා කරගෙන යන මෙම නින්දාසහගත ක්‍රියාදාමය පිළිබදව තොරතුරු වොෂින්ටන්ස්ටාර් පුවත්පතේ මාධ්‍යවේදීනියක වන Jean Heller වෙතට ලබාදුන් අතර 1972 ජූලි 25 වනදා මෙම ආන්දෝලනාත්මක පුවත වොෂින්ටන්ස්ටාර් පුවත්පතේත්, ඉන් දිනක් ඉක්මගිය තැන එනම් ජූලි 26 වනදා මෙය මුල් පිටුවේම පළවන ප්‍රමුඛතම පුවත ලෙස ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදි. 

එම වසරේම එනම් නොවැම්බර් 16 දා එරට සෞඛ්‍ය අමාත්‍යාශය විසින් නිකුත් කළ නියෝගයක් මගින් අදාල පරීක්‍ෂන අත්හිටුවීමටත් මෙම පරීක්‍ෂනයට බදුන් වූ අසරණ රෝගීන්ට කඩිනමින් පෙනිසිලින් හා අනෙකුත් ඔසු ලබාදීමටත් උපදෙස් සපයන ලදි.

තවද මෙම පුවත ලැව්ගින්නක් සේ පැතිරයාමත් සමග ඇමරිකානු බලධාරීන්ටද ඇස්කන් වසාගෙන සිටීමේ අවස්ථාව තුරන් කරනු ලැබූ අතර එරට කොන්ග්‍රස් සභාවේ අනුකමිටුවක් විසින් බක්ස්ටන් ඇතුළු මෙම කාර්යයට සම්බන්ධවූ සියළුම දෙනාගෙන්ම සාක්‍ෂි විමසීම ආරම්භකරන ලදි. 

සාක්‍ෂි විමසීමෙන් අනතුරුව මානවයන් යොදාගනිමින් සිදුකරන ලබන පර්යේෂන නීතිවිරෝධී හා සදාචාර අචාර ධර්මවලටද පටහැනි බව කොන්ග්‍රස් අනුකමිටුවක් විසින් තීරණය කරනු ලැබූහ. තවද 1974 දී සම්මත කරගත් පනතක් මගින් මෙම පර්ශේෂන නිසා අගතියපත් රෝගීන්ගෙන් ඒ වන විට ජීවත්ව සිටින්නන්ට US$ 37,500 ක වන්දි මුදලක් සෑම රෝගියෙකුටම ලබා දීමට නියෝග කෙරුණ අතර අදාල පර්යේෂනය තුළ මියගිය රෝගීන්ගේ යැපෙන්නන්ට US$ 15,000 ක් බැගින් වූ වන්දි මුදලක් ලබාදීමට රජයට නියෝග කරන ලදි. එහෙත් මෙම පරීක්‍ෂන සිදු කළ කිසිවෙකු දණ්ඩනයට ලක්කළ බවක් නම අසන්නට නොලැබුනි.

කෙසේවෙතත් ඇමරිකානු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය පිළිබදව ඇමරිකානු කළු ජාතිකයන් තුල ඇතිවූ සැකමුසු හැඟීම එයින් දශක දෙකක් ඉක්මගිය තැන පවා තැන්පත්ව තිබූ බවට ඇති හොදම සාක්‍ෂිය 1996 දී වර්ජීනියා සරසවියේ මූලිකත්වයෙන් නිකුත් කළ වාර්තාවක් වූ The Tuskegee Syphilis Study and Its Legacy” මගින් සිදුකළ නිර්දේශයයි. එනම් මූලිකවම එවකට ජනපතිව සිටි බිල් ක්ලින්ටන් මහතා විසින් පැරණි රජයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයන් නිසා අගතියට පත් පාර්ශවයන් වෙතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිම සහ සිදූවූ හානිය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් තවදුරටත් කඩිනම්ව හා කාර්යක්‍ෂව භාවිතයට නැඟිය යුතු බවත්ය.

1997 මැයි 16 වනදා ඇමරිකානු ඉතිහාසයේ තවත් සංවේදී දිනයක් වූවාට සැකයක් නැත.එදින ධවල මන්දීරයට ඒ වන විට ටස්කගී පරීක්‍ෂනවලට මුහුන දුන්  කළු ජාතිකයන් අතරින් ජීවත්ව සිටි අටදෙනකු පමණක් වූ පිරිස අතරින් පස් දෙනෙකු ගෞරවනීය ලෙස ධවල මන්දීරයට කැඳවූ අතර ඔවුන් ඒ වන විට වයොවෘදව ජීවිතයේ සැදෑසමයේ අවසාන භාගය ගතකරමින් සිටියහ. මෙම පිරිස ජනපති ක්ලින්ටන් මහතා විසින් කැඳවූයේ ඇමරිකානු රජය විසින් 30 දශකයේ සිට 70 දශකයේ මුල දක්වා සිදුකරන ලද ටස්කගී අධ්‍යයනය නිසා අගතියට ලත් පාර්ශවය ලද හානියට සමාව ගැනීම සදහායි. මෙහිදී ඔහු "සිදුවූ හානිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි නමුත් මෙම අපරාධය පිළිබදව නිහඬව සිටීම අවසන් කළ යුතු බව පැවසුවේය. එසේම ඇමරිකානු රජය විසින් සිදුකළ මෙම ලජ්ජා සහගත ක්‍රියාව සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවද පවසා සිටියේය.“

"What was done cannot be undone. But we can end the silence. We can stop turning our heads away. We can look at you in the eye and finally say on behalf of the American people, what the United States government did was shameful, and I am sorry ... To our African American citizens, I am sorry that your federal government orchestrated a study so clearly racist."

http://en.wikipedia.org/wiki/Peter_Buxtun
http://www.issues4life.org/blast/2012177.html

ටස්කගී අධ්‍යයනයන් පිළිබදව තැනුන වාර්තාමය චිත්‍රපටියකි Miss Ever's Boys චිත්‍රපටිය එදා සමාජයේ මෙම රෝගය පිළිබදව තිබූ දැනුවත් භාවය, මෙම රෝගීන් උපක්‍රමශීලී ලෙස පරීක්‍ෂනවලට යොමු කළ ආකාරය, සංවේදී ලෙස එම රෝගීන් තවදුරටත් අපහසුතාවයට ලක්වන ආකාරය සහ තවත් කාරණා රැසක් දැන ගැනීමේ අවස්ථාව සලසනු ලබයි.
(The true story of the US Government's 1932 Tuskeegee Syphilis Experiments, in which a group of black test subjects were allowed to die, despite a cure having been developed.)


http://en.wikipedia.org/wiki/Tuskegee_syphilis_experiment#Study_termination
http://en.wikipedia.org/wiki/Guatemala_syphilis_experiment

ග්වාතමාලාවේ තත්ත්වය ගත්විට එහිදී සමාජයේ අඩුවටිනාකමක් ලබාදී තිබූ ගණිකාවන්, මානසික රෝහල්වල වල නේවාසිකව ප්‍රතිකාරගත් මානසික රෝගීන්, අනාථයන්, සිරකරුවන්සේම රාජ්‍ය මෙවලමකට වඩා දෙයක් නොවූ සොල්දාදුවන් ඉතාඅඩු වටිනාකමක් ලබාදෙමින් තම පරීක්‍ෂනවලට ලබාගැනීම ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණවිය. මෙයටම සමානකමක් ටස්කගී පරීක්‍ෂනවලදීද දක්නට ලැබුනත් එහිදී තිහේ දශකය වනවිට රෝගයට තිබූ වියදම් අධික හා වේදනාකාරී ප්‍රතිකර්ම රෝගීන්ට ලබාදෙමින් සිටියත් තිහේ දශකයේ මුල්භාගය වන විට ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අවපාතයත් සමග රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වැඩි මුදලක් වැයකිරීමට වඩා අඩු මුදලක් වැය කරමින් එම රෝගීන්ම පරීක්‍ෂන සදහා යොදා ගැනීම අරමුණ විය.

ග්වාතමාලාවේදී වසර දෙකක් වැනි කුඩා කලායකදී ඇමරිකානු සෞඛ්‍යය බලධාරීන් සිදු කළ පර්යේෂන එයින් වසර ගණනාවක් යනතුරුපරම්පරා කිහිපයකටම බලපාන හානිකර තත්ත්වයක තිබේ. අසාධනයට ලක්කළ මිනිසුන් වෙතින් තවත් මිනිසුන් ගණනාවකට රෝගය වැලදුන අතර කණගාටුදායකම තත්ත්වය වන්නේ ඔවුන්ගේ දරුවන්ටද රෝගය වැලදී උපත ලැබීම තුලින් අන්ධභාවය, මොලය හරිහැටි නොවැඩීම සහ තවත් ශාරිරික ආබාධ රැසක උරුමකරුවන්ව ජීවිත කාලය පුරාවටම දුක්විදීමයි. 

සිරකරුවන්, අනාථයන් හා ගණිකාවන් හැරුණ කොට සොල්දාදුවන් පවා ගත් කළ ඔවුන්ද අන්ත දුගී පවුල්වල සාමාජිකයන් වූ අතර රෝගයට ප්‍රතිකර්මයක් කර ගැනීමට ඔවුන්ට මුදල්හදල් නොවූවා සේම ඔවුන්ගෙන් නොදැනුවත්වම රෝගය වැලදුන පවුල්සාමාජිකයන්ටද ප්‍රතිකර්මකර ගැනීමේ හැකියාවක් නොවීය. අඩුතරමින් පසුකලෙක මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාකරකම්සිදුවන අවස්ථාවල පවා ඒවා සිදුවන බවක්තරම්වත් ඔවුන් නොදැන සිටිහය. තවත් විටක මේ සොල්දාදුවන් බැරැක්කයෙන් රැගෙන ගොස් අදාල රෝග කාරකයන් සිරුරට ඇතුළුකිරීම‍, රෝගය සිරුර තුල ක්‍රියාකාරීවන අයුරු නිරීක්‍ෂනය වැනි කටයුතු වලට රැගෙන ගියවිට ඔවුන්ට ගෙවූ මිල වූයේ සිගරට් පැකට්ගණන් ලබාදීම පමනි. ඇතැම් සොල්දාදුවන් දුම්පානය නොකරන්නන් වුවද ඔවුන්ගේ සාක්කු පුරවා තිබුනේද සිගරට් වලිනි. මාරන්තික රෝග කාරකයක් සිරුරට ඇතුළු කර ඔවුන්ගේ ජීවිත සමග සූදුකෙලිනවාට අමතරව ලෝකයටම ව්‍යවසනයක්ව පවතින දුම්පානයටද ඇබ්බැහිකරවීමට ප්‍රයත්නදැරීම හෝ එහි නිරතවන්නන්නට තවත් උඩගෙඩි දීම තුලින් ද්විතිකව පිළිකා සහ තවත් බෝනොවන රෝග ව්‍යාප්තියටද මෙම සිෆිලස් පර්යේෂකයන් අතගසා සිටීම කෙබදු ආකාරයේ දඩුවමකට යටත් කරන්නටදැයි සිතාගන්නටත් නොහැකිය. 

එසේම ග්වාතමාලාවේ තත්ත්වය තවත් අහිතකරබවකට හේතුවූයේ එරට ලිංගික කටයුතු සදහා කාන්තාවන් ඉතාම අඩුමුදලකට ලබාගැනීමේ හැකියාව තිබූ නිසා රෝගය ව්‍යාප්තවීමේ ශීඝ්‍රතාවයද ඉහලවීමයි.

අද ඒඩ්ස් වැනි දරුණු රෝග වලින් සිෆිලස් රෝගය යටපත් කර තිබුනත් සියවස් කිහිපයක් පුරා ලෝකය භීතියට පත්කළ ප්‍රධානම ව්‍යාධිය ලෙස සැලකීම නිවැරදිය. කෙසේවෙතත් මානව හැගීම් වල ඇති අසමතුලිත බව මෙන්ම නොදැනුවත්බව නිසා මෙම රෝගයෙන් පීඩාවිදි හෝ මරණයට පත් වූ ජනගහණය කෙදිනකවත් ගණන් බලා නොමැති විය යුතු අතර තවත් අතකින් එය අසීරු කාරණයකි. 

මූලාශ - The Deadly Deception Documentary Movie

මෙහි පළමු ලිපිය - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස

පසුවදන : 2014 වසරේදී ලියා පළ කරන්නට ලැබුන ලිපි සංඛ්‍යාව ඉතාමත් අල්පයක් බව මේ මොහොතේ කණගාටුවෙන් වුවත් පවසා සිටින්නට සිදුව තිබේ. පෞද්ගලිකව හා වෘත්තීය ජීවිතයේදුන යෙදුන වැඩ රාජකාරීවල බහුලවීම මෙන්ම ඇතැම් අවස්ථාවල ලියන්නට තරම් උද්යෝගයක් නොතිබීමත් මෙලෙස අල්ප ලිපි සංඛ්‍යාවකින් වසර නිම කරන්නට සිදුවීම සතුට ගෙනදුන්නක් නොවූවත් පළ කළ අල්ප ලිපි ගණන වුවද කරුණු අතින් පොහොසත් ලිපි වීම මම මෙන්ම ඔබද පිළිගනු ඇතැයි සිතමි. කෙසේවෙතත් ලබන වසරේදී මෙයට වඩා සංඛ්‍යාත්මක අතින්ද වැඩි අගයක ලිපි පළ කරන්නට උත්සහ දරණ බව මේ මොහොතේ පවසමි. බොහෝවිට කාලය ගත්විට මේ වසර ගෙවෙන්නට ඇත්තේ තවත් දිනයක් පමණක් නිසා මේ ලිපිය මෙම වසරේ අවසාන ලිපිය වීමට ඉඩ කඩ වැඩි බවද පවසමින් ලබන්නා වූ 2015 නව වසර අසත්‍යයෙන්තොර, යහපත් දේවල් අසන්නට දකින්නට ලැබෙන හා ප්‍රායෝගිකව අත්විදින්නට ලැබෙන සහ අතමිට සරු සුභ නව වසරක් වේවායි පතමි.

ස්තූතියි!

Saturday, June 21, 2014

රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි....

ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්න

අද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම කිහිපයක් පුරා අධිරාජ්‍යයක් ලෙස විහිදුන ආකාරය, කොතරම් අසීරුලෙස රෝම ශිෂ්ඨාචාරය පවත්වාගෙන ගියාද යනාදී කාරණා ඇතුළුව වැදගත් කාරණා රැසක් දැනගැනීමට හැකියාව ලබදී තිබෙනවා. 

නැවත වරක් මතක් කරනවා නම්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් යනාදී විද්වතුන්ගේ මතය අනුව අද තිබෙන බටහිර ශිෂ්ඨාචාරය ගොඩනගන්න පදනම වුනේ මේ රෝම ශිෂ්ඨාචාරයයි.

History Channel ආයතනය විසින් නිමවා ඇති මෙම චිත්‍රපටි මාලාවේ නම තමයි ROME Rise and fall of an empire.

ඔබට අන්තර්ජාලය පුරාම සොය සොය මේ චිත්‍රපටි මාලාව සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් Youtube හරහා පහසුවෙන්ම සියළුම කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.

Thursday, June 12, 2014

ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුතු වල යෙදෙන්නට සිදුවීමත්, මේ ලිපි පෙල ලිවීමේදී මූලාශ්‍ර රැසක් හැදෑරීමට විශාල කාලයක් ගතවීමත් මේ දිනවල ලිපි පළවීමේදී එක් ලිපියක් ලියා තවත් ලිපියක් ලියන්නට කාලය ගතවීම ලෙස දක්වන්නට පුළුවන්. එසේනම් අපි සුපුරුදු ලිපි පෙලේ ලිපියට දැන් යොමුවෙමු.

පොලිස් නිලධාරියාට වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපු අසල පිහිටි තණබිස්සට විසිකරන ඔස්වල්ඩ් අළුතින් තම පිස්තෝලයට පතරොම් පුරවා ගන්නා අයුරු අසළ පිහිටි නිවසක සහෝදරියන් දෙදෙනෙකු දුටු  බවත්  පසුව එම හිස් පතරොම් කොපුද සොයා ගන්නා ලද බවත් බලධාරීන් විසින් පවසනු ලැබූහ. මෙයින් පසුව ඔස්වල්ඩ් යාබද නාගරික ප්‍රදේශයට කලබලයෙන් ගිය බව දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම වූහ.

Johnny Brewer ලී ඔස්වල්ඩ් හාවිගේ මෙම නොසන්සුන්කම හොදින් වටහා ගත්තෙකු විය. ඔහු සපත්තු වෙළඳසැලක කළමනාකරු වශයෙන් සේවය කළ අතර දැඩි කළබලයට ලක්ව, පොලිස් වාහන එම ස්ථානයෙන් ගමන් ගනිද්දී මුහුණ සැඟවීමට තැත්කරන ඔස්වල්ඩ්ව දුටු ඔහු, ඔස්වල්ඩ්ට නොදැනෙන්නට ඔහු පසුපසින් ලුහුබැදීමට වූ අතර ඔස්වල්ඩ් සපත්තු අලෙවිසැලට තරමක් දුරින් පිහිටි ටෙක්සාස් සිනමා ශාලාවට ඇතුළුවූයේ ටිකට් පත් ලබාදෙන්නාටද නොදැනෙන අයුරිනි. මේ බව Johnny Brewer විසින් දුටු අතර ඔහු ඒ බව ටිකට් පත් නිකුත්කරන්නාට දැනුම්දුන්පසු මෙම සැකකටයුතු පුද්ගලයා පිළිබදව පොලීසියට දැනුම් දෙනු ලැබීය.

ඒ වනවිට මෙම සිනමා ශාලාවේ චිත්‍රපටි කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් පැවති අතර පොලීසිය විසින් Johnny Brewer ගේ සහයද සහිතව එයින් එක් චිත්‍රපටියක් නරඹමින් සිටි ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අත්අඩංගුවට ගන්නට යෑමේදී ඔස්වල්ඩ් විසින් ඔහු අසලම සිටි පොලිස් නිලධාරියාගේ මුහුනට පහරක් එල්ල කර සිය කලිසම් සාක්කුවේ තිබූ පිස්තෝලය රැගෙන වෙඩි තබන්නට සැරසෙනු දුටු අනෙක් නිලධාරීන් ඔහුට වෙඩි පහර එල්ල කිරීමට නොහැකිවන සේ තදින් අතින් අල්ලා ගෙන සිනමා ශාලාවෙන් පිටතට රැගෙන ආ අතර එම අවස්ථාවේ පොලිසියට බැනවදිමින් තමන් වරදකරුවෙකු නොවන බවට පුන පුන පවසා සිටි බව පැවසුනි.

ජනපති ඝාතනය කළ ඝාතකයා මෙම සිනමා ශාලාවේ සිටින බවට දූශමාන ආරංචි කණවැකුනු ජනතාව රැස්කමින් සිනමාශාලාව අවට සිටින්නට වූ නිසා ඔවුන්ගෙන් හානියක් සිදුවීම වැලැක්වීමද පොලීසියට පැවරුනු භාරදූර වගකීමක් විය.

පොලිස් මෝටර් රථයක පිටුපස අසුනේ මැදින් ඔස්වල්ඩ්ද දෙපසින් පොලිස් නිලධාරීන් දෙදෙනාද අසුන්ගෙන ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් ඔස්වල්ඩ්ගේ නම කුමක්දැයි? ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ!“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔස්වල්ගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි හැඳුනුම්පත් දෙකක් වූ අතර එයින් එකක් අප දන්නා පරිදි ලී ඔස්වල්ඩ් හාවි නමින් වූ අතර අනෙක වූයේ Alek James Hidell නමිනි. අපූරුම කාරණය වූයේ මෙම දෙවන හැඳුනුම්පත වෙනත් අයෙකුට අයත්වූවක් නොව එයද අයත්වූයේ ලී ඔස්වල්ඩ් හාවි බවට වූ සාක්‍ෂිය වූයේ එහි වූ සේයාරුවද ලී ඔස්වල්ඩ් හාවිම වූ බැවිනි.

එතනින් එහාට කිසිදු දෙබසක් ඇති නොවුන අතර ඔස්වල්ඩ් ඩලස් පොලිස් ස්ථානයට රැගෙන ආ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම භාරවූයේ එවකට ඇමරිකාව පුරාවටම පොලිස් සේවයේ කීර්තිමත් නමක් හිමිකර ගෙන සිටි හා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාර්යයේදී සාර්ථකම  ප්‍රවීණ පොලිස් නිලධාරියෙකු වූ John Will Fritz වෙතයි. මුලදී ඔහුගේ කාරුණික හා සන්සුන් ප්‍රශ්න කිරීම හමුවේද සහයෝගයක් නොපෙන්වූවද. පසුව ක්‍රමයෙන් සන්සුන් බවක් පෙන්වීය. 

ලී ඔස්වල්ඩ් හාවිගෙන් ප්‍රශ්නකරණා කිසිම කරුණකට සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූ අතර බොහෝ විචාරකයන්ගේ මතයන්ට අනුව ලී ඔස්වල්ඩ් හාවිට CIA හෝ FBI හෝ වෙනයම් රහස් ආරක්‍ෂක ආයතනයක් මගින් ලබා දී තිබූ පුහුණුව අනුව මෙවන් ප්‍රශ්න කිරීමකදී ගැලවී යන අයුරුද මනාව පුරුදු කර තිබූ නිසා මෙවන් තත්ත්වයක් ඇතිවන්නට ඇති බව පවසා සිටිති්‍.

පොලිස් කපිතාන් Fritz සමග ඔස්වල්ඩ් පිළිබදව නිරීක්‍ෂන කටයුතු වල යෙදී සිටි FBI නිලධාරියා වූ විශේෂ නියෝජිත James.P. Hosty ද පසුව සම්බන්ධ වූහ.  මේ කිසිදු අවස්ථාවක ඔස්වල්ඩ්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පැවසුනහ.

එසේම නීතිඥ සහය ලබාදීමට තැත් කළද එයටද ඔස්වලඩ්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ, තමන් නීතිඥයෙකුගේ පිහිට ලබා ගන්නේ නම් ඒ ඇමරිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ නීති උපදේශක John Abt ගෙන් හෝ එසේ නොවේනම් ඇමරිකානු සිවිල් නිදහස් සංගමයෙන් පමණක් බවයි. ඔස්වල්ඩ්ගේ මෙම ඉල්ලීමට අනුව නීතිඥ John Abt සම්බන්ධ කර ගැනීමට කොතෙකුත් උත්සහ දැරූවද එය සඵල නොවූයේ මෙම සිදුවීම් සිදුවූයේ සති අන්තයක් බැවින් මෙම නිතිඥයාද සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටීමයි. වීඩියෝ මූලාශ්‍ර වලදීද ඔස්වල්ඩ් විසින් නීතිඥයකුගේ සහය ඉල්ලා සිටින ආකාරය දැක්වේ.

ඔස්ල්ඩ් හා ඔහුගේ මව වූ මාගරීටා ඔස්වල්ඩ් අතර සම්බන්ධයද කුඩා කල පටන් දුරස්ථර වූ එකකි. ඔස්වල්ඩ් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය විසින් ඒ වන විටත් ජනපති ඝාතනයේ ප්‍රධානම සැකකරු බවට ඔහුව පත් කර තිබූ අතර මේ පිළිබදව රූපවාහිනියේ ඒ වන විට නිරතුරුවම විකාශය වූ ජනපති ඝාතනයේ තොරතුරු අතරදී කියවුන අතර එමගින් ඔස්වල්ඩ්ගේ මව සිය පුත්‍රයා මුහුණපා සිටි තත්ත්වය දුටුවාය. ඇය වහාම කිට්ටුවෙන්ම පිහිටි තැපැල් කාර්යාලය වෙතට දුව ගොස් ඩලස් පොලිස් මූලස්ථානයට තමන් රැගෙන යන ලෙස පැවසු අතර කිසිදු පැකිලීමකින් තොරවම අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් පවසා සිටියේ “මෙය  ටැක්සි සේවාවක් ලබා දෙන ස්ථානයක් නොවන බවයි“. එවිට තමා ජනපති ඝාතනයට සැකයට පාත්‍රවූ මෙම රුපවාහිනියේ පෙන්වන තැනැත්තාගේ මව බව පැවසූ වහා තැපැල් කාර්යාලය විසින් ඇයව ඩලස් පොලිස් මූලස්ථානය වෙතට රැගෙන එන ලදි.

මාගරීටා ඔස්වල්ඩ් නිරතුරුවම පවසා සිටියේ තමන්ගේ පුතා ඇමරිකානු CIA ආයතනයට සම්බන්ධ අයෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවයි. ඇය පොලිස් ස්ථානයට පැමිණි විට ඔස්වල්ඩ් හා මරියාගේ අළුත උපන් දරුවා ප්‍රථම වරට දුටු අතර මේ පිළිබදව තමාට නොදැන්වූ නිසා කණගාටුවටද පත්වූවාය. මෙම කාන්තාවන් දෙපොල ඔස්වල්ඩ් හා කතා කිරීමට ගිය විටදී තම මව දුටු ඔස්වල්ඩ් කෝපයට පත්ව ඇයට මේ පිළිබදව පැවසුවේ කවුරුන්දැයි තදින් විමසා සිටියේය. මේ වන විට ඔස්වල්ඩ්ගේ වැඩිමහල් සොයොයුරාද පොලිස් ස්ථානයට පැමිණ තිබූ අතර සහෝදරයන් අතර එතරම් සමීපතම බවක් නොතිබු අතර ඔවුන් අතර ගැටුමක් නොතිබුනි. එනමුත් මව සහ බාල පුතු (ලී හාවි) අතර සම්බන්ධය කෙදිනකවත් බැදීමකින් යුතු යහපත් එකක්  නොවූහ‍.

එදින රාත්‍රි 7.45 පමණ වන තෙක් ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ සහ සාක්‍ෂිගොනුකරනු ලැබුවේද පොලිස් නිලධාරියා ඝාතනයා සම්බන්ධයෙනුයි. මෙයින් පසු නැවත ප්‍රශ්න කරනු ලබන අවස්ථාවේ කැප්ටන් ෆ්‍රිට්ස් විසින් ජනපතිවරයා ඝාතනය කර ඇති බවත් එයට එය කළේ ඔබනේදැයි කෙලින්ම විමසූ විට ලී ඔස්වල්ඩ් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. එසේම ඔස්වල්ඩ්ට විරුද්ධව තිබූ එකම සාක්‍ෂියද ජනපතිවරයාට වෙඩි තැබූ බවට සැක කළ අවිය පමණක්ම විය. 

එහෙත් ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ශන් රයිෆලය පමණක් නොව එහි තිබී තවත් ගිනිඅවියක් ටෙක්සාස් පොත් ගබඩාවේ 6 වෙනි මහලෙන් හමුවූ බව deputy sheriff, Seymour Weitzman විසින් සිය වාර්තාවේ සටහන් කළහ. ඒ ජර්මනියේ නිෂ්පාදිත 7.65 Mauser ගිනි අවියකි. මේ බව මෙම අවස්ථාවට සම්බන්ධ වූ තවත් deputy sheriff වරෙයෙකු වන Roger Craig විසින්ද තහවුරු කරනු ලැබූහ. එහෙත් මෙම අවිය හා එයට සම්බන්ධ වාර්තා සියල්ලද සැගවී ගියෝය. 
ජනපති ඝාතනයට යොදා ගත්තේ යයි නිතර පැවසෙන අවිය මෙයයි

පොලිස් නිලධාරී J.D.Tippit ඝාතනයට යොදා ගත්තේ යයි පැවසෙන අවිය

(ජනපති කෙනඩි ඝාතනය, එයට ඈඳුන කුමන්ත්‍රණ කසුකුසුව යනාදිය පිළිබදව තොරතුරු අතිශයින්ම විශාලය. මේ පිලිබදව සාකච්ඡා කිරීමටම පමණක් වෙනම් බ්ලොග් අඩවියක් වුවත් පවත්වාගෙන යාමට තරම් තොරතුරු තිබෙන නිසා මෙතැන් සිට මෙම ලිපි පෙළේ අවසානයක් දකින්නට කරුණු සංක‍්‍ෂිප්තව ගෙනහැර පාන්නට අදහස් කරමි. ) 

මෙම තුවක්කුව සොයා ගැනීම සේම මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ ආසන්නයේම සිටි අයගේ සහ වෙඩි තැබීමෙන් පසුව අවට සිටි පිරිස හැසිරුන ආකාරය අනුව එක් තුවක්කුකරුවෙකු නොව දෙවන හෝ තෙවන අයෙකුද සම්බන්ධ වූ බවට සැකයන් මෙන්ම සාක්‍ෂිද බොහෝ හමුවිය. වෙඩි තබන අවස්ථාවේ  ජනපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ  Jean Hill ගේ ප්‍රකාශය ඉතා වැදගත්ය. ඇය පාසල් ගුරුවරියකද වූ අතර ඇය පැවසුවේ තමන්ට වෙඩි තැබීම් 3 සිට 6 දක්වා අතර වූ සංඛ්‍යාවක් ඇසුන බවත්ය. ඇයව අත්අඩංගුවටද ගැනුනා පමණක් නොව එහෙත් ඇයගේ එම ප්‍රකාශ ඉවත් කර ගන්නා ලෙස දැඩි ලෙස බලකෙරුනි. වෙඩි තැබීම් 3 ක් මිස ඉන් එහාට වෙඩි තැබීමක් ගැන ප්‍රකාශ නොකරන ලෙස තරයේ අවවාද/තර්ජනය කෙරුනි. තවද ඇයට නිරතුරුවම මේ සම්බන්ධයෙන් දුරක‍ථනයෙන් පවා තර්ජන ගර්ජන ලැබුන අතර මරණිය භය නිසාම වොරන් කොමිසමටවත් ඇය දැන සිටි කරුණු පිළිබදව සාක්‍ෂිදීමට ඇය ඉදිරිපත් නොවුනාය.

ඇයට අමතරම මේ අවස්ථාවේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ Beverly Oliver නම් නාට්‍යාංගනාවද පැවසුයේ තමන්ටද වෙඩි ශබ්දයන් ඇසුනේ ටෙක්සාස් පොත් ගබඩාව දෙසින් නොව නිරතුරුවම සැකයට පාත්‍රවූ Grassy Knoll නම් ස්ථානයේ සිට බවයි. එපමණක් නොව ED Hoffman නම් ගොළු පුද්ගලයා මෙමGrassy Knoll ස්ථානයේම සිටි අයෙකු වූ අතර ඔහු සිය අංගචලන ආදිය මගින් සිය අදහස් පවසමින් පවසා සිටියේ එහි සිට වෙඩි තැබූ අයෙකු වෙඩි තැබීමෙන් පසුව කාර්මික සේවකයෙකු සේ හැදගෙන සිටි තවත් අයෙකුට එම ගිනි අවිය විසිකරමින් ලබාදී එතනින් වහා ඉවත්ව ගිය බවත් ගිනි අවිය ලබාගත් තැනැත්තා සිය කාර්මික මෙවලම් පෙට්ටිය තුල එය තැන්පත් කරගෙන කිසිවක් නොවුනා සේ අසලින්ම තිබූ දුම්රිය මඟ ඔස්සේ ගමන් කළ බවටයි. එහෙත් මෙම කිසිවක් වොරන් කොමිසම හමුවේ විමර්ශනය නොකෙරුනි.

ඔස්වල්ඩ් කුප්‍රකට ටෙක්සාස් පොත් ගබඩාවේ සිට වෙඩි තැබුවේ නම් ඔහු සිය වෙඩි තැබීම ලේසියෙන්ම කරන්නට තිබූ මෝටර් රථය හුස්ටක් වීදියෙන් පැමිණීමෙන් තිබියද සිදු නොකර ගස් ආදියෙන්ද බහුල සහ එල්ලය ලබා ගැනීමට අපහසු Elm වීදිය තෝරාගත්තේ ඇයි? කෙනඩිගේ රථ පෙරහැර ගොඩනැගිල හා වංගුවලින් බහුල මෙවන් නාගරික පෙදෙසක් හරහා ගමන් කරවීමට සංවිධාකයන් ක්‍රියාකළේ මක් නිසාද?
මෙහි Revised Parade Route ලෙස දක්වා ඇත්තේ Houston වීධියයි 

මෙම අවාසනාවන්ත ඝාතනයට මාසයකටත් අඩු කාලයකට පෙර පැහැදිලිවම ඝාතන සැලැස්මක් තිබූ නිසා අවලංගුකළ ජනපතිවරයාගේ මයාමි සංචාරය පිළිබදව පූර්ව ආදර්ශය පවා ලබා තිබියදී දැන දැනම ජනපතිවරයාගේ ජීවිතය අවධානමට ලක් කළේ ඇයි? 

ජනපතිවරයාගේ ආරක්‍ෂක කටයුතු පිළිබදව ප්‍රධානියා වූ ගුවන් හමුදා කර්නල්වරයෙකු වූ Colonel Fletcher Prouty ව මෙම සංචාරයට පෙර නවසීලන්තය වැනි ඈත රටකට පිටත්කර දැමීමට ආරක්‍ෂක බලධාරීන් හිටිහැටියේ කටයුතු කළ අතර මෙවන් ක්‍රියාමාර්ගද ජනපතිවරයාගේ ඝාතනය කුමන්ත්‍රණයකට බවට සැක කිරීමට හේතු බවට මත පළවේ. 

ජනපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් ජනපතිවරයා ඩලස් වෙත පැමිණීමට දිනකට පෙර එනම් 1962 නොවැ.21 වනදා සිය නායකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරිමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් එදින රැය පුරාවටම සමාජ ශාලාවල ගැවසෙමින් බීමතින් හා කාන්තාවන් ඇසුරුකරමින් සිටිබවටද තොරතුරු හෙළිවිය.

Dealy Plaza වට ආසන්නයේ පිහිිටි ගොඩනැගිල්ලක සිටි නිවාස අහිමි පුද්ගලයන් තිදෙනෙකුද පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් තිදෙනා පසුව මෙයට සම්බන්ධ නැති බවට පවසමින් නිදහස් කෙරුනි. විශේෂත්වය වන්නේ මෙයින් එක් පුද්ගලයකු CIA අංයතනයටද සම්බන්ධ අයෙකු බවට කරුණුකාරණා හෙලිවන්නට වුවා පමණක් නොව මෙම පුද්ගලයන්ගේ ඇදුම් පැලදුම් ගත්කළ නිවාස අහිමි අය සේ දිස්නොවීය.
අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයන්

කෙනඩි ඝාතනය විමර්ශනයට පත්කළ වොරන් කොමිසමේ ක්‍රියාකාරීත්වයද ගැටළු සහගත විය. එහි සියළු ක්‍රියාදාමයන් මාස 3 ක් තුල සිදුකළ යුතුබවට ජනපති ලින්ඩන් ජොන්සන් විසින් කොන්දේසියක්ද පනවා තිබූ අතර කොමිසමේ සාමාජිකයෙකු ලෙස කෙනඩි පාලනයේදී ඉවත් කළ CIA ප්‍රධානී ඇලන් ඩලස්ද ඇතුලත්වීම ගැටළු සහගත විය. තවද ඔස්වල්ඩ් ඝාතනයට සම්බන්ධ වූ ජැක් රූබිද කොමිසමේ සාමාජිකයන් තමන් වෙත පැමිණි කල තමන් සතුව මේ පිළිබදව සියලු තොරුතුරු ඇති බවත්, ඒවා මෙහි සිට හෙළි කිරීම තම ජීවිතයට අනතුරු දායක නිසා වොෂින්ටනය වෙත රැගෙන ගිය පසු තමන් එම තොරතුරු හෙළිකරන බව පැවසුවත් එයට කොමිසම එකඟ නොවූ සේම තොරතුරක් ඇතොත් එය මෙහිදීම හෙළි කරන ලෙසට බලකෙරුනි.

ජැක් රූබි ගත් කළ චිකාගෝ මාෆියාව හා සම්බන්ධතාද තිබූ ඩලස් හි රාත්‍රී සමාජ ශාලා දෙකක අයිතිකරුවෙකි. ඔහු යමෙකුගෙන් යමක් විමසන්නේ නම් පළමු කොටම වාචිකව විමසනවාට වඩා පළමුව පහර දී දෙවනුව විමසන අයෙකු ලෙසට තද පුද්ලයෙකු ලෙස නම්දරා සිටි තැනැත්තෙකි. ඔහු ඩලස් පොලිස් ස්ථානයේ නිලධාරීන් සමගද සමීප සබඳතාවයක් පැවැත්වූ අතර නිරතුරුවම එම නිලධාරීන්ද ඔහුගේ සමාජ ශාලාවලදී ජැක් රූබිගේ කාරුණික අනුග්‍රහය ලැබූවන් බවට සදහන්ය. මේ නිසාම ඩලස් පොලිස් ස්ථානය තුල සාමාන්‍ය ජනතාවට ගැවසිය නොහැකි ස්ථ්න වලට පවා  විශේෂ අවසරයකින් තොරව ගමන් කළ හැකි අයෙකු විය. කෙනඩි ඝාතනය සිදුවූ අවස්ථාවේදී පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල පිටතද ඔහු සිටිනු පසුව නිරීක්‍ෂනය කෙරුන සේයාරූ වල දිස්වූ අතර පොලිස් ස්ථානය තුලදීද ඔහු නිරතුරු රැදී සිටි බව වීඩියෝ සහ ඡායාරූප නිරීක්‍ෂනයේදී පෙනී යයි. 

48 Hours to Live වාර්තාමය චිත්‍රපටියේ ලී ඔස්වල්ඩ් හාවිගේ ජීවිතයේ අවසාන පැය 48 සහ ජැක් රූබි මෙම ලිහා ගත නොහැකි ගැටළුව තවත් සංකීර්ණ කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරය කෙටියෙන් දක්වමි.

කෙනඩි ඝාතනය පිළිබදව කෝපවන්නන්ගෙන් සේම මෙම ඝාතනය සැඟවීමට අවශ්‍ය යමෙකු වේ නම් එම අයගෙන් ඔස්වල්ඩ්ගේ ජීවිතයට විය හැකි හානිය නිසා එය වලකා ගැනීමට ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙතට මාරුකර යැවීමට ඩලස් පොලිස් බලධාරීන්ට අවශ්‍ය වූ අතර 23 වනදා සවස වන විටම එම කාර්යය ඉටුකිරීමට ඩලස් පොලිස් ප්‍රධානී Jesse Curry හට අවශ්‍යතාවය තිබුනත් තවදුරටත් යමක් ඔස්වල්ඩ් වෙතින් දැනගැනීමට හැකියාවක් ලැබේ යයි යන විශ්වාසයක් කපිතාන් ෆ්‍රිට්ස් තුල විය. මේ හේතුවෙන් ඊට පසුදින එනම් නොවැ. 24 වනදා  උදෑසන ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙත මාරු කර යැවීමේ කර්තව්‍යය කල් තැබින. තවද මේ සදහා ආරක්‍ෂිත රථයක්ද යොදාගැනීමට තීරණය විය.

24 වන දා උදෑසන ඔස්වල්ඩ්ගෙන් අවසන් වරට ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ අවස්ථාවට ඩලස් තැපැල් ප්‍රධානියාද පොලිස් මූලස්ථානයට පැමිණ ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කිරීමට සහභාගී විය. මීනිමැරුම් සැකකරුවෙකු වූ ඔස්වල්ඩ්ගෙන් තැපැල් ප්‍රධානියද පැමිණ ප්‍රශ්න කිරීමට හේතුවූයේ නම් දෙකක් භාවිතා කිරීම තැපැල් සේවාව ලබා ගැනීමේදීද නීති විරෝධි කාර්යයක් වීමයි. තවද ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයට සැකයට ලක්වූ 6.5 mm Carcano carbine රයිෆලය සහ ටිපිට් පොලිස් නිලධාරියා ඝාතනයට යොදා ගත්තේ යයි සැක කටයුතු රිවෝල්වරයද ගෙන්වා ගෙන තිබූ තැපැල් ලිපිනයේ හිමිකරුගේ නමද ලී ඔස්වල්ඩ් හාවි නොව Alek James Hidell  විය.

මේ අවස්ථාවට මදක් බාධා කරමින් ඩලස් පොලිස් ප්‍රධානීයා පැමිණ පැවසූවේ උදෑසන 10 ට හෝ ඊට පසුව ආසන්නතම කාලයකදී ඔස්වල්ඩ් මෙම ස්ථානයෙන් රැගෙන යාම සිදුකරන බවයි.

මෙම අවස්ථාව වන විට ජැක් රූබි සිය නිවසට වී සිය සුරතල් සුනඛයා වන ශීබාද සුරතල් කරමින් රූපවාහිනිය නරඹමින් සිටියහ. උදෑසන 10.19 ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුන අතර ඒ ඔහුගේ එක් සමාජ ශාලාවක නළඟනකගෙනි. ඇයට මුදල් අවශ්‍ය වී තිබින. එයට හේතුව ජනපතිවරයාගේ ඝාතනය පිළිබදව ඔහුට ඇතිවූ කම්පනය හේතුවෙන් සති අන්තය පුරාවටම සිය සමාජ ශාලා වසා තැබීමට තීරණය කිරීමයි. මේ නිසා ඔහුගේ සමාජ ශාලාවල සේවය කරන අයටද වැටුප් ගෙවීමක් සිදු නොවීය. ඔහුගෙන් ඩොලර් 25 ක මුදලක් ඇය ඉල්ලා සිටි අතර මුදල් Western Union සේවාව ඔස්සේ ලබාදෙන බව පවසා බැංකුව වෙත යෑමට ඔහු ස්නානය කිරීමට ගොස් කලබලයකින් තොරව හැදපැලද ගෙන සිය රිවෝල්වරය කලිසම් සාක්කුවකටද දමා ගැනීමට අමතක නොකළේය. ඒ මුදල් රැගෙන යන අවස්ථාවල ආරක්‍ෂාවට එම පියවරද අනුගමනය කරන නිසාය.

උදෑසන 10.58 ට පමණ සිය  සුරතල් බලුපැටවාද රැගෙන කාරයට ගොඩවූ ජැක් රූබි අදාල සේවාව ලබාදෙන බැංකුව කරා ගමන් ගැනීම ඇරඹුවේය.

මේ අවස්ථාව වන විටත් ඔස්වල්ඩ් නම් දෙකකින් පෙනී සිටීම, ගිනි අවි එම ලිපිනයට ගෙන්වා ගැනීම යනාදිය ගැන ප්‍රශ්න කළත් ඒ කිසිවකට ඔස්වල්ඩ්ගෙන් සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. උදෑසන 11.15 ට පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම පළක් නොවන බව හා තමන් සිතනවාට වඩා මෙම පුද්ගලයා අමාරුකාරයෙකු බව වටහා ගත් කපිතාන්වරයා අසල සිටි නිලධාරියෙකු අමතා පවසා සිටියේ තවත් විනාඩා පහකින් ඔස්වල්ඩ්වත් රැගෙන බිම් මහලට තමන් පැමිණීමට හැකිබව දන්වන ලෙසටයි.

මේ අවස්ථාවේ ජැක් රූබි මුදල් ගෙවීමට Western Union කාර්යාලයට පැමිණ තිබූ අතර තමන්ට ඉදිරියෙන් සිටින තැනැත්තා එම කාර්යය ඉටුකරගන්නා තෙක් ඉවසීමෙන් සිට අදාල මුදල් ගෙවා එළියට පැමිණ මෙම කාර්යාලයට නුදුරින් පිහිටි ඩලස් පොලිස් ස්ථාන‍ය දෙසට ගමන් ගනී. ඔහුට කිසිදු හදිස්සියක් නොමැති බව පෙනේ.

ඔස්වලඩ් ප්‍රාන්ත සිපිරි ගෙය වෙත රැගෙන යාම සදහා යොදා ගැනීමට මුලින් තීරණය කෙරුණේ මුදල් ගෙනයන ආරක්‍ෂිත රථයකි (Armed Car). එහෙත් එම රථය පොලිස් මූලස්ථානයේ බිම්මහල තුලට ගැනීමට එහි දොරටුවේ උස ගැටළුවක් වූ නිසා මෙම ප්‍රවාහන කටයුත්තට කපිතාන් ෆ්‍රිට්ස්ගේ පෞද්ගලික රථයම යොදා ගැනීමට තීරණය විය.

ඔස්වල්ඩ්ගේ එක් අතක මාංචුව ගලවා එය තවත් පොලිස් නිලධාරියෙකුට පලදවා කපිතාන් ෆ්‍රිට්ස් ඇතුළු පිරිස බිම් මහලට පැමිණෙමින් සිටින අතර බිමි මහල පාරදෙසින් මුරකරමින් සිටි පොලිස් නිලධාරියාගේ අවධානය වෙනත් අතකට යොමුවේ. එම අවස්ථාවේදීම ජැක් රූබිද පොලිස් ස්ථානයේ බිම් මහලට කිසිවෙකුත් නොදැනීම ඇතුළුවේ. (එහෙත් ඇතැම් මූලාශ්‍රවල පවසන පරිදි පොලිස් නිලධාරියා නොදැන නොව, ජැක් රූබි හා ඩලස් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අතර ඇති මිතුදම නිසා දැනුවත්වම මෙම ස්ථානයට ඒමට ඉඩ සැලසූ බවටද මතයක් තිබේ.)

මේ අවස්ථාවේ රථයට නංවා ගැනීමට ලී හාවි ඔස්වල්ඩ්ද බිම්මහලට රැගෙන විත් තිබූ අතර කපිතාන් ෆ්‍රිට්ස්ගේ රථය දෙසට යන්නට සැරසෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ ජැක් රූබි සිය රිවෝල්වරය ඔස්වල්ඩ්ගෙන් උදරයේ වම්පසට ආසන්නම කර වෙඩි තබනු ලබයි. ඔස්වල්ඩ් වේදනාවෙන් ඇද වැටෙන අතර පොලිස් නිලධාරීන් රොත්තක්ම පැන ජැක් රූබි අල්ලා බිමට අල්ලා තද කර ගෙන අල්ලා ගෙන සිටියි.

ලී හාවි ඔස්වල්ඩ්ට වෙඩි වදින අවස්ථාව

මේ අවස්ථාවේම ඔස්වල්ඩ්ගේ  අසලටම පැමිණෙන එක් පොලිස් පරීක්‍ෂකවරයෙක් “මොනවා හෝ දෙයක් කියන්නට තිබේනම් මේ වෙලාවේ එය කියන ලෙස ඉල්ලා සිටි“. මෙය හොදින් වැටහුනත් ඔස්වල්ඩ් කිසිවක් නොකියා සිටියි. විනාඩි හතරක් ඇතුළත ගිලන් රථයට ඇතුළුකරන ඔස්වල්ඩ් වහා පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත රැගෙන යනු ලැබේ. මීට දින දෙකකට පෙර කෙනඩි ජනපතිවරයා නිල වශයෙන් මිය ගිය බව පැවසුනේද මෙම රෝහලේදීමය.

පාර්ක්ලන්ඩ් රෝහලේදී මුලින් ශල්‍යාගාර අංක 1 වෙත ඔස්වල්ඩ්ව ඇතුළු කරන්නට සැරසුනද රෝහල් කාර්යය මණ්ඩලය එයට විරුද්ධ වන්නේ ජනපතිවරයා අවසන් හුස්ම හෙලූ එම ශල්‍යාගාරය වෙත ඔහුගේ ඝාතකයා ලෙස සැලකුන පුද්ගලයා ඇතුළු කිරීමට තමන් කිසිසේත්ම කැමති නැති බව පවසමිනි. මේ නිසා සිහිසුන්ව සිටින ලී හාවි ඔස්වල්ඩ්ව ඇතුළු කරනු ලබන්නේ ශල්‍යාගාර අංක 2 වෙතයි.

මේ වන විට ජැක් රූබි පූර්ණ ආරක්‍ෂා සහිතව පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ඩලස් පොලිස් නිලධාරීන් බොහෝමයක් ඔහුගේ හිතවතුන් නිසා ඔහුගෙන් පුන පුන විමසා සිටියේ  “ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ?“ එවිට ඔහු “මට මීට වඩා හොද දෙයක් කරන්න සැලසුම් කරගන්න කාලයක් තිබුනේ නැහැ. දැන් තේරේවි කාටත් යුදෙව්වෝ කියන්නේ හොද ධෛර්යයක් තියෙන මිනිස්සු බව“. ජැක් රූබිද යුදෙව්වෙකි. 

ජනපතිවරයා ඝාතනයට ලක්වූ නොවැ. 22 දා උදෑසන සිය සමාජ ශාලා පිළිබදව වෙළඳ දැන්වීමක් පල කර ගැනීමට The Dallas Morning News ආයතනයට ගොඩවැදුන ඔහු සිය කාර්යය ඉටුවන තුරු එදින පුවත්පත කියවන විට දුටුවේ කෙනඩි ජනපතිවරයාට විරුද්ධව පළ කර තිබූ දැන්වීමකි. විශේෂත්වය නම් එම දැන්වීම පළ කර තිබූ The American Fact-Finding Committee නම් ආයතනයේ සභාපතිවරයා ලෙස නම් කර තිබූ පුද්ගලයාද යුදෙව්වෙකු වීමයි.

ජැක් රූබිගේ අදහස අනුව මෙවන් දැන්වීමක් පළ කර දිනම ජනපතිවරයා ඝාතනයට ලක්වීම යුදෙව්වන් කෙර් සමාජයේ වෛරයක් ඇතිවීමටද හේතුවක් වීමට ඉඩතිබූ බවයි. එමෙන්ම ඩලස්හි ජනතාව අතරටද ජනපතිවරයා කෙරේ වෛරය උපදවන තවත් පත්‍රිකාවක් බෙදා හැර තිබින.

අපූරුම කාරණය නම් මෙම පත්‍රිකාව බෙදා හරින ලද සංවිධානයේ ප්‍රභලතමයෙකු වූ විශ්‍රාමික Maj. Gen. Edwin Walker යන උග්‍ර දක්‍ෂිනාංශික පුද්ගලයාගේ නම පසුකලෙක වොරන් කොමිසම හමුවේද කියවුන නමක් වීමයි. ඒ ලී හාවි ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ වසරේදීම එම ඝාතනයට සැකයට පාත්‍රවූ ගිණි අවියෙන්ම මෙම හමුදා නිලධාරියාටද වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකයක් තිබීම නිසයි. ඒ විශ්‍රාමික මේජර් ජනරාල්වරයා උග්‍ර කියුබන් විරෝධියෙකුවීම සහ තවත් දක්‍ෂිනාංශික හා කොමියුනිස්ට් විරෝධියෙකු වීම හේතුකොටගෙනයි.



ලී ඔස්වල්ඩ් හාවි රෝහලට ගෙන ගිය විගසම මිය නොගිය අතර ඔහුගේ දිවි රැක ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. මෙම කාර්යයද ඉටුකිරීමට කැපවූයේ වෙනත් පිරිසක් නොව ජනපතිවරයාගේද ජීවිතය රැකගැනීමට වෙහෙසුන වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සහායක කාර්යය මණ්ඩලයම වීමද දෛවෝපගතය. කෙසේවෙතත් 1962 නොවැ. 24 වනදා දහවල් 1.07 ට පමණ ලෝකයටම අභිරහසක් එකතු කරමින් සිය ජීවිතයේ අවසන් හුස්ම වාතලයට මුද හැර අවසන් ගමන් ගියේය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 24 මාස 1 සහ දින 6 ක් පමණකි.  ඔහුගේ උදරයේ අභ්‍යන්තර අවයව බොහෝමයක් උක්ත වෙඩි තැබීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ බව පැවසුනි.

ජැක් රූබි විසින් ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය සම්බන්ධයෙන් කියවෙන කතා ගණනාවකි. ඉන් එකක් නම් කෙනඩි ජනපති ආර්යාව ලී ඔස්වල්ඩ් හාවිව හදුනාගැනීමේ පෙරට්ටුවට ඒමට පෙර ඔහුව දැක ගැනීමට වැලැක්වීමට ඝාතනය කළ බවයි. තවත් වරෙක කියවෙන්නේ ජැක් රූබිද ජනපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරුවන් අතර අයෙකු වූ අතර මේ පිළිබදව ඔස්වල්ඩ්ද දැන සිටි නිසා එය හෙළි වීම වැලැක්වීමට මෙය සිදු කළ බවයි. තවත් විටෙක ජැක් රූබි යනු චිකාගෝ මාෆියා සංවිධානයන් සමග ඍජු සබඳතා තිබූ අයෙකු නිසා මෙම ජනපති ඝාතන කාර්යයේදී කිසියම් කාරණා සම්බන්ධයෙන් ඔස්වල්ඩ්ගේ සම්බන්ධයන්ද ඇති නිසා මතු දිනෙක ඔහු සත්‍ය එළිදරව්කරාවි යන අදහස මත ජැක් රූබි ලවා ඉක්මනින් අවසාන මොහොතේ කරනු ලැබූ නියෝගයකින් මෙම ඝාතනය සිදුකළ බවයි. 

එක් යථාර්තයක් තිබුනි. එනම් ජැක් රූබි එක් දිනක් හෝ සිරකුටියක වසන්නට වෙතැයි නොසිතන්නට ඇති බවයි. ඇයි? ඔහු සිතුවේ ජනපතිවරයා ඝාතනයට සැකයට ලක්වූ තැනැත්තා මරා දැමීම, තමන් වීරත්වයකින් සලකනු ඇති බවටයි එහි සත්‍යයත් තිබුනි. මෙම සිදුවීමෙන් පසු ඔහුට ප්‍රශංසා කරමින් සුභපැතුම් පත් විශාල සංඛ්‍යාවක් ඔහු වෙත ලැබුනි. එහෙත් ඔහුට අවසානයේ සිය ජීවිතයෙන් සමුගැනීමටද සිදුවූයේ සිර දඩුවම විදිමින් සිටියදීමයි. ඔහුට සමාජයෙන් වීරත්වයක් ලැබුනත් නීතියෙන් ලැබුනේ වීරත්වය නොව ඔස්වල්ඩ් ඝාතනයට වරදකරු කරමින් මරණිය දණ්ඩනයයි. එය ලැබීමට ප්‍රථම ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූවේ පෙනහැල්ලක ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙනි. ඒ 1967 ජනවාරි 03 වනදායි. ඔහු මිය යන විට ජනපති කෙනඩිගේ ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනය සිදුවී වසර 3 කුත් මාසයකට මදක් වැඩි කාලයක් පමණක් ගෙවී තිබූ අතර ජනපතිවරයා සහ ඔහුගේ ඝාතකයා ලෙස සැකකළ ලී ඔස්වල්ඩ් හාවිගේ දිවි අවසන් වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදීම ජැක් රූබිගේ අවසානයද සිදුවිය. 

කෙනඩි ඝාතනය රජයේ මතය පිළිබදව සැක කරන අයගේ අදහස වන්නේ ජැක් රූබි වැනි ශක්තිමත් නිරෝගී පුද්ගලයෙකු මෙලෙස හදිස්සියේ පිළිකාවක් වැලදී මිය යාමද මෙම අභිරහස හෙළිවීම ගැන අකමැති බලවත් පුද්ගලයන් විසින් හිතාමතා සිදුකරන ලද්දක් විය හැකි බවයි. එයට සාක්‍ෂි ගණනාවක්ද ඔවුන් සපයති. Judyth Vary Baker නම් තරුණ විද්‍යාඥවරිය සමග ලී ඔස්වල්ඩ් හාවි ආදර සම්බන්ධයක් 1963 අප්‍රේල් මස සිට ඔහු මිය යාමට අාසන්න කාලය දක්වා තිබූ අතර ඇය සම්බන්ධ ආයතනය විවිද රෝග කාරකයන් නිර්මාණය හා ඒවා පිළිබදව පර්යේෂන සිදු කළ ආයතනයකි. ඇයගේ ප්‍රධානියා ඍජුලෙසම ඇමරිකානු ආරක්‍ෂක අංශ සමග ජීව විද්‍යාත්මක අවි හා මෙවන් රෝග කාරක නිර්මාණය  සම්බන්ධයෙන් කටයුතු කළ අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනයටද රෝග කාරකයක් (පිළිකාවක් වැනි) යොදවා ගැනීම ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුවක් විය. ඇය, ලී ඔස්වල්ඩ් හාවි අතර සබඳතාවය නිසා ඇයට, කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිව් ඕර්ලියන්ස් දිස්ත්‍රික් නීති නිලධාරී ජිම් ගැරිසන්ගේ නීති කටයුතුවලදී කියවුන කියවුන ඩේවිඩ් ෆෙරි සමගද හදුනාගැනීමට හැකිවූ අතර ඔහුගේ නිවස පර්යේශනාගාරයක් කර ගනිමින් මේ පිළිබදව පර්යේෂනය කිරීමද සිදුවූ බව කෙනඩි ඝාතනය පිළිබදව වැඩි දුර තොරතුරු සොයා බැලීමේදී හෙළිවන කරුණකි.
http://jfkmurdersolved.com/judyth.htm

ඩේවිඩ් ෆෙරිද අභිරහස් ලෙස 1967 පෙබරවාරි 22 වනදා මිය යන අතර ඔහුගේ මරණය හෘදයබාදයක් ලෙස වෛද්‍ය වාර්තාවේ තිබුනද එය ස්වභාවික හෘදයාබාදයක් නොව හෘදයාබාදයක් ඇති විය හැකි යමක් ඔහුට බලහත්කාරයෙන් ලබා දෙන්නට ඇති බවට සැක කරනු ලැබේ. තවත් විශේෂත්වයත් වන්නේ ඔහු මිය යන විට ජිම් ගැරිසන් කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර එයට තමන් දන්නා දේ අකමැත්තෙන් වුවත් පැවසීමට ඩේවිඩ් ෆෙරි කැමති වී සිටිමයි.

ලී හාවි ඔස්වල්ඩ් මිය යාමට ප්‍රථම ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔහුගෙන් ජනපතිවරයාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ගැනීමට නොගත් වෙහෙසක් නොමැත. ශල්‍යාගාරයක සිටිය යුත්තේ වෛද්‍යවරුන්, හෙදියන් ආදී සෞඛ්‍යය අංශයට සම්බන්ධ අයවළුන් වුවත් ඔස්වල්ඩ් ශල්‍යාගාරයට ඇතුළු කළ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට දුසිමකට වැඩි ආරක්‍ෂක අංශ නිලධාරීන් රැදී සිට "Did you shoot it? Did you shoot it?" යනුවෙන් නිරතුරු ප්‍රශ්න කළ බව රෝහලේ වෛද්‍යවරුන් පසුව පවසා සිටියහ.

ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ දින උදෑසන අඩි දෙකහමාරක් පමණ දණ්ඩක් වැනි යමක් එදින උදෑසන ඔස්වල්ගේ අසල්වැසි සහ ඔහු සමග එකම සේවා ස්ථානයේ සේවය කළ Lesley Frazier ද සනාථ කළ අතර ඔස්වල්ගෙන් විමසූ විට එය තිර රෙදි දැමීමට යොදා ගන්නා දඬුවක් (Curtain rod) බව පවසා තිබේ. අඩි දෙකහමාරක පමණ දිගක් නම් එය කෙනඩි ඝාතනයේ සැක කටයුතු ගිනි අවිය වන ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් රයිෆලයට වඩා කුඩා බව තහවුරු වේ. එහෙත් පරිශීලනය කළ කිසිදු මූලාශ්‍රයක මෙම තිර රෙදි දඬුව ඝාතනයෙන් පසුව දුටු අයෙකු හෝ ඒ පිළිබදව පැවසීමක් සිදුනොවන නිසා ඔස්වල්ඩ් එදින රැගෙන ගියේ මෙම කියනා දඬුවද එසේත් නැතහොත් අදාල ගිනි අවිය හෝ වෙනත් ගිනි අවියක්ද යන්න 100% සනාථ කළ නොහැක්කා සේම,  Lesley Frazier  ද ඝාතනයෙන් පසුව අත්අඩංගුවටද ලක්වූයේ ඔහු පිළිබදවද සැක කරමිනි.

කෙසේවෙතත් අපූරුම කාරණයක් වන්නේ අදාල ගිනි අවිය ඔස්වල්ඩ් විසින් පත්තු කළ බවට ඇති සාධකද නොමැති තරම්වීමයි. එහි සටහන්ව තිබූ ඇඟිලි සලකුණු සහ අල්ලේ සටහන ව්‍යාකූල වූ අතර එය ඔස්වල්ගේ යයි සනාථ කිරීමට ඔස්වල්ඩ් මිය යන අවස්ථාවේ පවා නොහැකිව තිබූ කාරණයක් විය. තවද ගිනි අවියක් පත්තු කළේ නම් එයින් විසිරෙන වෙඩි බෙහෙත් ඉතා කුඩා ප්‍රමාණයෙන් අදාල වෙඩික්කරුවාගේ අතේ මැනික් කටුව පෙදෙසේ ගෑවී තිබිය යුතු මුත් ඔස්වල්ගෙන් එවන් සාක්‍ෂියක්ද ලැබී නොතිබුනි.

පශ්චාත් මරණ පරීක්‍ෂනයෙන් පසුව සිරුර ඩලස්හි තිබූ Funeral Home ආයතනයක් වෙත ගෙනගොස් පැයක් යන්නට ප්‍රථම ඇමරකානු රහස් ආරක්‍ෂක අංශයක හෝ අංශ කිහිපයකට අයත් නිලධාරීන් පැමිණ ඔස්වල්ඩ්ගේ මළසිරුරේ අත්ලේ සටහන් ලබාගත් බව එම ආයතනයේ හිමිකරු පසුව පවසි සිටි අතර පසුකලෙකද පැමිණි නිලධාරීන් පිරිසක්ද ඔහු හමුවී පවසා සිටියේ  එදා Fort Worth සුසාන භූමියේ භූමදානය කළේ පොලිස් ස්ථානයේදී වෙඩි වැදී මිය ගිය තැනැත්තාමදැයි තමන්ටද සැකයක් පවතින බවයි.

ලී ඔස්වල්ඩ් හාවිගේ බිරිඳ වූ මරීනා හටද සිය ස්වාමියාගේ සිරුර මෙම ස්ථානයේ නොතිබෙන්නේදයි සැකයක් මතුව තිබින. ඇයගේ ඉල්ලීම පරිදි ඔස්වල්ඩ් මියගොස් වසර 18 කට පසුව එනම් 1981 දී සිරුර නැවත ගොඩගත් අතර උක්ත සොහොන කිසියම් පිරිසකගේ සෑරීමකට ලක්ව තිබෙන බවට සාක්‍ෂිසේම මල සිරුරින් හිස වෙන්කර තිබෙන බවක් දුටු අතර ඉහත පැවසූ Funeral Home ආයතනයේ හිමිකරු පැවසූ පරිදි මුලින් මළසිරුර තමන් හට භාරදෙන අවස්ථාවේ හිසෙහි පශ්චාත් පරීක්‍ෂනයක් නොපැවැත්වූ බවක් තිබුනද මෙවර එහි එවන් ලක්‍ෂනද දුටු බව පැවසූහ.දැන් තිබෙන හිස සහ අනෙකුත් කොටස් ඔස්වල්ඩ්ගේමදැයි දැන ගැනීමට ඔහුගේ දන්ත වාර්තා හා සසදා බැළු අතර එවිට එය ඔස්වල්ඩ්ගේම බවට සනාථ විය. පසුව තවත් ආරක්‍ෂක විදිවිධාන සහිතව සිරුර වලලා දමන ලදි. අදටද මරීනා පවසන්නේ තම ස්වාමියා ජනපති කෙනඩි ඝාතනයේ වරදකරු නොවන බවයි.


කෙනඩි ඝාතනය, පොලිස් නිලධාරී Tippit ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනයද අභිරහස් ගොන්නකින් පිරී පවතින්නකි. කෙනඩි ඝාතනය පිළිබදව ඇගිල්ල දික්වුන කිහිප දෙනෙකුම සිටිති. ලී ඔස්වල්ඩ් හාවි හා ඔහුගේද සම්බන්ධතාව තිබූ කියුබන් කස්ත්‍රෝ විරෝධීන් සේම, ෆිදෙල් කස්ත්‍රෝගේ මෙහෙයවීම යටතේ කස්ත්‍රෝ හිතවාදීන් මෙය කළ බවට සමහරු සිතති. තවත් අය සෝවියට් දේශයේ මෙහෙයවීමෙන් මෙය කළ බව සිතති. තවත් අය මෙය මාෆියා සංවිධාන වල මෙහෙයවීමෙන් මෙය සිදුකළ බවට ප්‍රභල සැකයක් තිබේ. එයට හේතු ගණනාවකි. කෙනඩි පවුලට දීර්ඝ කලෙක පටන් මාෆියා සංවිධාන සමග සබඳතා තිබු බවට සාක්‍ෂි බොහෝ වේ. වෙනෙකක් තබා ජෝන් එෆ් කෙනඩි හට ජනපති පුටුවට යන්තම් ජයකින් හෝ පැමිණීමට මාෆියා සංවිධානද ඉතා පිටුවහල් වූ බවට සාක්‍ෂි ඇත. එහෙත් ජනපති පුටුවට පැමිණි පසු කෙනඩි පාලන තන්ත්‍රයේ නීතිපති තනතුරට පත් වූ ජනපති කෙනඩිගේ බාල සොහොයුරු රොබට් එෆ් කෙනඩි මාෆියා හා සංවිධානාත්මක අපරාධ කෙරෙහි දැක්වූ දැඩි පිළිවෙත නිසා 1962-1963 අතර කාලය වන විට ඇමරිකානු මාෆියා ව්‍යාපාරයන් නැත්තටම නැතිවෙන තත්ත්වයට පත්ව තිබුනේය. 

කෙනඩි පවුලට බොහෝවිට උදව් උපකාර කළ මෙවන් පාතාල සංවිධානවලට එරෙහි වීම බියකරු අත්දැකීමක් ගෙන දෙන්නටද යම්විටක හේතුවන්නටද ඇත. තවෙකක් තබා නිව්ඕර්ලියන් මාෆියා නායක Carlos Marcello යන අයව 1961 දී ග්වාතමාලාවට පිටුවහල් කළ අතර පසුව ඔහු නැවත ඇමරිකාවට පැමිණීමට අවස්ථාව ලබා ගත්තේය. එහෙත් ඔහු පැමිණුනේ දැඩි වෛරයක් කෙනඩි සොහොයුරන් කෙරේ හිතේ තබාගෙනය. මාෆියා සංවිධානවලට ප්‍රභලම සතුරා වූයේ රොබට් එෆ් කෙනඩි වූවත් ඔහුව ඝාතනය කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි ලෙස පළිගනු ඇති බව වටහා ගත් මොවුන් ජනපතිවරයා ඝාතනය කිරීම හරහා රොබට් එෆ් කෙනඩි අඩපණ කර දැමීමට සිතුවා වන්නට ඇති බව ඇතමෙකුගේ මතයයි. තවත් අපූරුම කාරණයක් වන්නේ ඇමරිකානු මාෆියා සංවිධාන හා CIA ආයතනය අතර නිහඬ සබදතාවයක් එකල තිබූ බව පැවසෙන අතර විශේෂයෙන් කියුබාවේ කස්ත්‍රෝ පාලනය ඉවත් කිරීමට CIA ආයතනයට තිබූ එකම “සම්පත“ මාෆියා සංවිධාන බවට මතයක් තිබේ. මන්ද කස්ත්‍රෝ පාළනයට පැමිණෙන විට කියුබාවේ කැසීනෝ, ගණිකා ව්‍යාපාර, මත් ද්‍රව්‍ය වෙළඳාම යනාදිය බොහෝමයක් පවත්වාගෙන ගියේ ඇමරිකානු මාෆිවා සංවිධාන විසිනි. ඉතින් කස්ත්‍රෝ පාළනයත් සමග එම මුදල් ඉපැයීම් අහිමිවීම ගැන එම සංවිධාන තුල තිබුනේ බලවත් නොසතුටකි. මේ නිසා මාෆියා සංවිධාන, එමෙන්ම CIA ආයතනය හා ඔවුන් අතර තිබූ නිහඬ සබඳතාවය කෙනඩි ඝාතනයේදී ප්‍රභල සැකකාරකයකි.


කෙනඩි ඝාතනය සමග ඈදෙන තවත් නමක් නම් උපජනාධිපතිධූරය හෙබවූ ලින්ඩන් ජොන්සන් නාමයයි. ලින්ඩන් ජොන්සන් යනු කෙනඩිට සාපේක්‍ෂව අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු කෙනඩිට වඩා වසර 10 කින් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙකු විය. එහෙත් කෙනඩි මෙන් ධනවත්, බලවත් හා ප්‍රභූ පවුල් පසුබිමක් නොවුනා සේම දේශපාලන දිවය සඵල කර ගැනීමට විවිද යටිසූත්තර වැඩද ඔහු දියත් කළ බව සදහන්ය. කෙනඩිට ජනාධිපතිධූරයට පත්වීමට ඇතැම්විට මොහුගෙන් ලද සහය නොවූවානම් ඉඩක්නොවන්නටද ඉඩ තිබෙන්නේ ජොන්සන් නියෝජනය කළ ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ජොන්සන් කළ මෙහෙය සහ ඔහුගේ මිතුරන් වූ ටෙක්සාස් හි තෙල් නිධි හිමිකරුවන් වෙතින් ලද සහයද සැලකිය යුතුවේ. 

එහෙත් ජනපති කෙනඩි සිය දෙවන ධූර කාලය සදහා තරඟ වැදීමේදී සිය උපජනපතිවරයා ලෙස ජොන්සන් නම් නොකිරීමට බොහෝ ඉඩක් තිබූ බව සදහන් වන අතර එයට හේතු ලෙස ජොන්සන්ගේ වත්කම් ඉපයීම පිළිබදව තොරතුරු සොයා බැලීමට මෙන්ම ජොන්සන්ගේ දේශපාලනයේ රහස් සහ ක්‍රියාකාරකම් විමර්ශනය කළ හා හෙළිකළ ඇතැම් පුද්ගලයන්ගේ අභිරහස් මිය යාම් සමග ජොන්සන් පිළිබදවද සැක මතුව තිබීමයි. යම් හෙයකින් මේ කරුණු කාරණා පිළිබදව සොයා බැලීම දිගටම සිදුවූයේ නම් ඔහුගේ දේශපාලන දිවිය අවසන් වනවා පමණක් නොව සිරභාරයටද පත්වීමට ඉඩකඩ තිබූ නිසා සිය ප්‍රදේශයේදීම (ටෙක්සාස්) කෙනඩි ඝාතනය ලේසියෙන්ම කරවූ බවට සැක මතුවේ. එසේම ඔස්වල්ඩ් රෝහලට රැගෙන ආ පසුව ගර්ජනාවක් වැනි කටහඬකින් “මම ජනාධිපති කථා කරන්නේ, කෝ රෝහලට ගෙනා මිනිහගෙන් පාපොච්ඡාරණයක් ගත්තාදැයි“ වෛද්‍යවරුන්ගෙන් විමසූ බව සදහන්වේ. කෙනඩි ඇවෑමෙන් පත්වූ ලින්ඩන් බී ජොන්සන්ට එවැනි හදිස්සියක් ඇතිවූයේ මන්ද? මේ පිළිබදව වඩාත් තොරතුරු The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාවේ නමවැන්න වන "The Guilty Men" හි අන්තර්ගතවේ.

ජනපතිවරයා මිය ගිය පසු ඒ බව පාර්ක්ලන්ඩ් රෝහලේදී මාධ්‍යයට දැන්වූ ජනපති මාධ්‍ය ප්‍රකාශකයා ජනපති මියගියේ ඔහුගේ දකුණු පස නළල හරහා ගිය වෙඩි උණ්ඩයකින් බව පැවසුවත් පසුව ඇමරිකානු බලධාරීන් එය හිසේ පසුපසින් එල්ල වූ වෙඩි උණ්ඩයකින් බව පැවසූහ. එයද ප්‍රහේලිකාවකි. තවද ඇමරිකාවේ පළපුරුදු  සහ කීර්තිමත් අධිකරණ වෛද්‍යවරුන් සිටියද අත්දැකීම් අඩු සහ නිපුනත්වයෙන්ද අඩු නාවික වෛද්‍යවරයෙකු හරහා පශ්චාත් මරණ පරීක්‍ෂනය සිදුකිරීම වැනි කාරණා ලිහාගත නොහැකි ගැටවැනිය.

අනිත් පැත්තෙන් වෙඩි තැබීම සිදුවූ පසු ඔස්වල්ඩ් ටෙක්සාස් පාසල් පොත් ගබඩාවෙන් කලබලයෙන් නික්මීම, එදින උදෑසන සිය මඟුල් මුදුව නිවසේ තබා පැමිණීම, ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා විට මෙක්සිකෝවට යෑම සදහා වූ Greyhound බස් සමාගමට අයත් ටිකට් පතක් සහ මුදල් සතුවීම යනාදී කාරණා නිසා ලී හාවි ඔස්වල්ඩ්ටද මෙම ඝාතනයේ කොතනැක හෝ තැනක සම්බන්ධයක් තිබෙන බවක් පෙනෙයි.

කෙනඩි ඝාතනය සමග මෙම පැවසූ අයගේ නම් සේම ජනපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ගේ නම මෙන්ම හිටපු ජනපතිවරයෙකු සේම කෙනඩි ඝාතන සමයේ CIA ප්‍රධානියෙකු වූ ජෝර්ජ් බුශ්ගේ නමද ඍජු හෝ වක්‍රාකාරයෙන් ගෑවී තිබුනි.

කෙනඩි ඝාතනය, ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය යනාදිය තවමත් ලිහා ගත නොහැකි ගැටළු සහගත කාරණාය.

මෙම ලිපිපෙලේ අවසානය සනිටුහන් කිරීම මේ අවස්ථාවේ සුදුසු යයි සිතමි. විශාල මූලාශ්‍ර සංඛ්‍යාවක් මේ ලිපි ලිවීම සදහා පරිශීලනය කළ අතර මේ ඒවයින් කිහිපයකි.

The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාව
"The Coup D'Etat" (25 October 1988)
"The Forces Of Darkness" (25 October 1988)
"The Cover-Up" (20 November 1991)
"The Patsy" (21 November 1991)
"The Witnesses" (21 November 1991)
"The Truth Shall Set You Free" (1995)
"The Smoking Guns" (2003)
"The Love Affair" (2003)
"The Guilty Men" (2003)

National Geographic Conspiracy  - Jack Ruby
48 Hours to Live
Executive Action Movie
JFK: 3 Shots That Changed America
Beyond JFK: The Question of Conspiracy (1993)
Dark Legacy George Bush and the murder of John Kennedy
JFK - Beyond the Magic Bullet
Parkland (2013) Movie
THE JFK CONSPIRACY: THE FINAL ANALYSIS
BBC Documentary - The Killing of President Kennedy
The Warren Commission
Frontline Documentary - Who was Lee Harvey Oswald
JFK - Oliver Stone's Movie
Thirteen Days Movie



Saturday, November 30, 2013

තිරයෙන් පිටුපස සිදුවු දේවල් සියල්ල සවිස්තරව..............

1962 වසරේ ඔක්තෝබරයේ ඇතිවුන කියුබානු මිසයිල අරබුදය ගැන පැවසුන ලිපියේ දෙවැන්න මෙයයි. (මෙම ලිපිය තරමක් දීරඝ ලිපියකි).

1962 ඔක්. 26 වනදා සෝවියට් තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස තනතුරක් දැරූ එහෙත් නියාමාකාරයෙන් ගත් විට සෝවියට් තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ Aleksandr Fomin හෙවත් Alexander Feklisov ගෙන් දහවල් ආහාරය සදහා ඇරයුමක් ලැබුනේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ ඉහළ නිලධාරියෙකු නම් නොවේ. ඔහු ආරධනා කළේ එවකට ABC News ආයතනයේ සේවය කළ John.A.Scali නම් මාධ්‍යවේදියා හටයි. ඔහුට ඇමරිකානු පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් සමග සබඳතාද තිබුනි.

 එම සෝවියට් නිලධාරියා කළබලයට පත්වූ ආකාරයෙන්, ඉතාමත් ඉක්මනින් සහ මෙම හමුවීම සිදුකළ යුතුම ආකාරයෙන් ආරාධනය කළ බව පසු කලෙක එනම් 1964 දී මාධ්‍යවේදියා විසින් මෙම තිරයෙන් පිටුපස වූ දෙය හෙළිකළ අවස්ථාවේ පවසා සිටියේය.

ඔවුන් දෙදෙනා 26 වනදා දහවල් 1.00 ට පමණ හමුවී දිවාආහාරය ගැනීමට තෝරාගත්තේද ධවල මන්දීරයට නුදුරින් පිහිටි අවන්හලකි. මෙහිදී වේටර්වරයා ආහාර මේසයට රැගෙන ආ පසු සෝවියට් නිලධාරියා කතාව කෙලින්ම දරුණු තත්ත්වයට පත්ව තිබූ මාතෘකාවෙන්ම අරඹමින් පවසා සිටියේ 
"දැන් යුද්ධය ඇතිවීමට ඉතාමත් ලඟයි. ඒ නිසා මෙය වලකා ගැනීමට මොකක් හෝ දෙයක් කළ යුතුයි!".

එවිට මාධ්‍යවේදී John.A.Scali පිළිතුරු වශයෙන් :
"ඔව් ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න තිබුනේ ඔබලා කියුබාවට මිසයිල ගෙනල්ල සවිකරන්න ඉස්සෙල්ලනේ?"

මෙවිට Aleksandr Fomin :
"මේ ප්‍රශ්නේ විසද ගන්න ක්‍රමයක් තිබෙනවා. මෙහෙම වුනොත් අපි ඒ කියන්නේ ජනාධිපති කෲශේව් විසින් පොරොන්දුවුනොත් තවත් යුධ මිසයිල කියුබාවට රැගෙන එන්නෙත් නැහැ. ඒවගේම තිබෙන ඒවත් ඇමරිකාවේ අධීක්‍ෂනය යටතේම ඉවත් කරගන්නවා. හැබැයි එක දෙයක් ජනාධිපති කෙනඩිත් ප්‍රසිද්ධියේ පොරොන්දුවෙන්න ඕන කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ කියලා? ඔබට ඒ සම්බන්ධයෙන් ඔබගේ ලොකු මිතුරන් සමග කතා කරන්න පුළුවන්ද?"

John.A.Scali  :
"මම නම් ඒ දේවල ගැන දන්නේ නැහැ. හැබැයි මට ඒ වෙනුවෙන් උත්සහ කරන්න පුළුවන්."


මින් අනතුරුව දෙදෙනා අතර කතාබහක් නොමැතිව ආහාර ගැනීම සිදුව තිබෙන අතර, නිහඬව සිටියද සෝවියට් නිලධාරියා කොතරම් කලබලයට පත්ව තිබුනේද යත්, ඔහු තමන් සමග ආහාර ගත් සඟයාගේ ආහාරයෙන් කොටසක්ද අමතව රැගෙන තිබෙන අතර John.A.Scali විසින් Aleksandr ගේ ආහාරයෙන් කොටසක්ද අරගත් නමුත් ඒ පිළිබදවවත් අවධානයක් සෝවියට් බුද්ධි අංශ නිලධාරියාට තිබී නොමැත.

John.A.Scali විසින් අනතුරුව මේ හමුවීම හා අදාල සාකච්ඡාව පිළිබදව රජයට සම්බන්ධ ඉහළ පෙළේ තම මිතුරන් හරහා ජනපති කෙනඩිට මේ පිළිබදව දැන ගැන්නට ඉඩ සැලසූ අතර ජනපති කෙනඩි හා ඔහුගේ සොයුරු හා නීතිපති රොබට් කෙනඩි (බොබී) මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රහසිගතවම බ්‍රසීල රජය හරහා කිය්‍රබානු නායකයා හට අතිශය වැදගත් හා රහසිගත පණිවිඩයක් යවන්නට යෙදුනි. එම පණිවිඩයෙන් කියවුනේ "මිසයිල ඉවත් කරගන්නවා නම්, අපි කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ".

එදිනම එනම් ඔක්.26 වනදාම සවස 6.00 ට පමණ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් සෝවියට් දේශයෙන් ලැබුනේය. එය සෝවියට් ජනපති කෲෂේව් විසින්ම ලියා තිබූ බවක් දැක්වුන අතර දිගු ලිපියක් වූ එය පරිවර්ථනය කරගන්නටද ටික වේලාවක් ගතවිය.

රොබට් කෙනඩි විසින් මෙම ලිපිය සිය සොයුරු ජනපති කෙනඩි හට පැහැදිලි කරන්නට වූ අතර මහුගේ අදහස අනුව එම ලිපිය "දීර්ඝ සහ හැගීම්බරවූ ලිපියකි".  කෲෂේව් විසින් නැවතත් පවසා තිබුනේ ඊට පැය කිහිපයකට පෙර මාධ්‍යවේදී John.A.Scali හට, ඔත්තු සේවා නිලධාරී Aleksandr Fomin පවසා තිබූ දෙයමය. වෙනසකට තිබුනේ එය මෙවර පැහැදිලිව, නිරවුල්ව සහ නිල වශයෙන් දැනුම්දීමකි. ලිපියෙන් නිලනොවන වශයෙන් සිදුකෙරුනු ඉල්ලීම පිළිබදව සදහනක් නොවූ අතර එය Aleksandr Fomin විසින් පෞද්ගලිකව ඉදිරිපත්ව සාමදානයකට එකඟ වීමක් ලෙස පැවසීමට ව්‍යංගාර්තයෙන් උත්සහ දැරීමක් විය. කෙසේවෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට ජනපති කෙනඩි ඇතුළු වගකිවයුත්තන් එදින රැයම ගත කළේය.

තිරයෙන් පිටුපස සාමදානයකට අවශ්‍ය පසුබිම සකස් කරමින් පැවතුනත් එළිපිට පෙනෙන්නට තිබුනේ ජනපති කෙනඩි තවදුරටත් හමුදා මැදිහත්වීමක් හරහා කියුබාවේ මිසයිල ගැටළුව ඉවරයක් කරන්නට ඇති කැමැත්තයි. මෙම අර්බුදය විසදා දැමීමට දියත් කරන මෙහෙයුම "Operation Mongoose" ලෙස හැදින්වූ අතර එයට කියුබාවට හමුදා බලය යෙදවීමෙන් මිසයිල ඉවත් කිරිම මෙන්ම පෙරලා දමන කස්ත්‍රෝ පාළනය වෙනුවට ආණ්ඩුවක් පිහිටුවීම දක්වා විහිදී තිබුනි. ජනපති කෲෂේව්ගේ ලිපිය ජනපති කෙනඩිට එසේ ලැබෙද්දී, කියුබානු ජනපති කස්ත්‍රෝ කෲෂේව් හට ටෙලිග්‍රෑමයක් යවමින් කියා සිටියේ "මොනදේ වුනත් දැන් ඇමරිකාව තමන් හට කොයිමොහොතේ හෝ ප්‍රහාර එල්ලකරනු ඇති නිසා එයට ප්‍රථම තම රටේ දැන් ස්ථාපිත කර ඇති න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ මිසයිල වලින් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීම වඩාත් සුදුසු බවට නිර්දේශ කරන බවයි".

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් වසර 48 කට පසු එනම් 2010 වසරේදී කස්ත්‍රෝ හා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් එදා දැනුවත්ව සිටි ප්‍රමාණයට එසේ ඉල්ලීමක් සිදුකළත් පසුව කාරණා සිදුවූ හා නියමාකාරයෙන් තතු දැනගත් පසු එවන් නිර්දේශයක් කිරීම කිසිසේත්ම නුවනට හුරු නොවන දෙයක් බව දැන් වැටහෙන බවයි.

තවද 1962 දී මෙලෙස අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ කස්ත්‍රෝ විසින්,  කියුබාවේ ස්ථාන ගත කර ඇති සියළුම ආකාරයේ ගුවන් යානා නාශක අවි භාරව සිටි නිලධාරීන්ට නියෝග කර තිබුනේ ඇමරිකානු ගුවන් යානා කුමක් වුවත් කියුබාවට ඉහළින් පියාසර කරයි ඒවාට පහර දී බිම හෙලන ලෙසයි. මීට පෙර කියුබාවේ මර්මස්ථාන දෙකකට හෝ ඉන් ස්වල්පයක් වැඩි ගණනකට මෙවන් නියෝගයක් පනවා තිබුනත් මේ මොහොත වන විට සියළුම ගුවන් යානා නාශක අවි මේ නියෝගයට යටත්ව තිබුනෝය.

කුමකින් කුමක්වේදොයි බහුතරයක් නොදන්නා තීරණාත්මක දිනයක් ලෙස ඔක්.27 වනදා උදාවිය. එදින උදෑසන 6.00 ට පමණ CIA ආයතනය සිය ජනපතිවරයාට දන්වා සිටියේ කියුබාවේ San Cristobal ඇති මිසයිල අංගන හතරක සහ Sagua la Grande හි ඇති මිසයිල අංගන දෙකක මිසයිල දැන් සම්පූර්ණයෙන්ම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්කර ඇති බවයි. එසේම අනෙකුත් මිසයිල සක්‍රීය කිරීමේ ක්‍රියාවලියද නොකඩවා සිදුවන බව සහ කිය්‍රබාවේ හමුදාද ප්‍රහාරාත්මක ස්ථානගතවීම් සිදුවන බවයි.

ඔක්. 27 දා උදෑසන 9.00 ට මොස්කම් ගුවන්විදුලි සේවාව මගින් ජනපති කෲෂේව්ගේ ප්‍රකාශයක් විසුරුවා හැරීමට කටයුතු කළ අතර එය ඊට පෙරදින කෲෂේව් විසින් කෙනඩිට යවන ලැබූ ලිපියෙන් ගැටළුව විසදා ගැනීමට අදාලව එකඟවීමට කැමති කරුණු කාරණා වලට පටහැනි ප්‍රකාශයක් විය. එයින් කියවුනේ කියුබාවේ මිසයිල ඉවත් කිරීමට නම් ඇමරිකාව විසින් තුර්කියේ සහ ඉතාලියේ ස්ථානගකර ඇති ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බවයි.

එදින උදෑසන 10.00 ට නැවතත් රැස්වූ සෝවියට් දේශපාලන තන්ත්‍රයේ විධායක කමිටුව මෙලෙස වෙනස් කළ පණිවිඩය නිසා ඇතිවිය හැකි ඵලවිපාක පිළිබදව විවිදමත ඉදිරිපත් කරන්නට වූහ. අයෙක් මෙලෙස නව යෝජනාවට පක්‍ෂවූ අතර තවකෙක් එයට විරුද්ධව තත්ත්වය සාමකාමීව විසදාගත යුතු බවට යෝජනා කළහ.

මෙලෙස දිනක් ගතවීමටත් පෙරාතුව එකඟවන්නට හැකිව තිබූ යෝජනාවට පරස්පරව තවත් ඉල්ලීම් සහිතව නව යෝජනාවක් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කරවීම ඇමරිකාවටද සිය හමුදා ක්‍රියාමාර්ගය වලකා රාජ්‍යතාන්ත්‍රිකව විසදා ගැනීමට බාධාවක් වනු කෙනඩිට පසක්වන්නට විය. මෙලෙස තුර්කියේ මිසයිල ඉවත් කිරීම සම්බන්ධයෙන් සෝවියට් බලපෑම තුලින් ඔවුන් කියුබාවේ මිසයිල ස්ථානගත කිරීමටද සාධාරණීකරණයක් ලබා ගැනීමට තැත්කිරීම හා තුර්කියේ ඉවත්කරනවා නම් කියුබාවෙන්ද ඉවත්කිරීම එක්සත් ජාතීන් හමුවේද තම ප්‍රයත්නය සාධාරණීකරනය කර ගැනීමට ඔවුන් යොදනා අවසන් තුරුම්පුවක් ලෙසද ඇමරිකානු පාලන තන්ත්‍රය වටහා ගෙන සිටියහ.

ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපදේශකවරයා වූ McGeorge Bundy ගේ නිර්දේශය වූයේ කෲෂේව් විසින් නිල වශයෙන් එකඟව එවූ ලිපිය හැරෙන්නට, අද දින ඔවුන්ගේ ගුවන් විදුලි නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධියේ පළ කළ අදහසට එකඟ නොවිය යුතු බවයි. තවද ගැටළුව ඇත්තේ කියුබාවේ මිස තුර්කියේ නොවන නිසා මේ යෝජනාවට එකඟ වීමට හේතුවක් නොමැති බවයි. 

මෙලෙස ඇමරිකාවේ ඉහළම බලධාරීන් එක්රැස්ව මෙය සාකච්ඡා කරමින් පවතිද්දී උදෑසන 11.30 ට සෝවියට් නායකයා නව පණිවිඩයක් ඇමරකාවට ලැබුනි. එහි සාරාංශයක් ලෙස ගත් කළ පවසා තිබුනේ "ඔබට සැතපුම් 99 ක් දුරින් පිහිටි කියුබාව දැන් ගැටළුවක්ව ඇති බවත් එයට හේතුවූ මිසයිල ඉවත් කර ගැනීමට නම්,| අපට (සෝවියට් දේශයට) ආසන්නයෙන් තුර්කියෙ සහ ඉතාලියේ ස්ථාන ගත කර ඇති  ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බව සහ මේ කාරණය ඒ ආකාරයෙන් සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් බලය පවරන ලබන පුද්ගයන් විසින් අධීක්‍ෂනය කළ යුතු බවත්ය".

මෙලෙස තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට එම දෙරටේම බලධාරීන්ගේ කැමැත්තක් නොවූ බවද සදහන් වන අතර  එම දෙරටද අපහසුවට ලක් නොකරමින් ගැටළුව විසදා ගැනීම ඇමරිකානු බලාපොරොත්තුව විය. තවද මෙලෙස ඉල්ලීමකට එකඟ වීම තුලින් අනාගතයේදීද සෝවියට් දේශය, ඇමරිකාවට සංවේදී කිසියම් ස්ථානය  මිසයිල ස්ථානගත කිරීම හෝ වෙනයම් හමුදාමය බලපෑමක් තුලින් ඔවුන්ගේ බලය සහ අරමුණු තහවරු කර ගැනීමකට යොමුවිය හැකි බව කෙනඩිගේ උපදේශකයන්ගේ සහ ඉහළ හමුදා නිලධාරීන්ගේ මතය විය.

කියුබාවේ තවදුරටත් වර්ධනය වන කාරණා මොනවාදැයි දැන ගැනීමට ඇමරිකාවට අවශ්‍ය විය. ඒ සදහා මෙදින ෆොලොරිඩාවෙන් ගුවන් ගත කළ U-2 යානයක් කියුබාව බලා පියාසර කළේ යුද්ධයේ ආසන්නම අවස්ථාව එළඹීමටත් ඉඩ ඇති කාරණයක් තව ස්වල්ප මොහොතකින් සිදුවන බව නොදැන විය හැකිය. මෙම යානය පැදවූයේ ඇමරිකානු ගුවන් හමුදාවේ මේජර්වරයෙකු වන Rudolf Anderson විසින් වූ අතර එදින දහවල් 12.00 ට පමණ මෙම යානය කියුබානු ගුවන් යානා නාශක මිසයිල අංගනයක ඇති උපකරණ වල සටහන් වූ අතර කෂනිකව ගුවනට නැගුන S-75 Dvina SAM මිසයිල වලින් බේරීමට U-2 යානයට නොහැකිවුයේය. අධිබලැති මිසයිල වල ගැටුන යානය පුපුරා ගියේ එය පැදවූ ගුවන් නැවි Rudolf Anderson ගේ දිවිද තොරකරමිනි.

මේ සිදුවීම ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඇතිවෙමින් තිබූ එකඟතාවයට දැඩි ආතතියක් එක්කිරීමට හේතුවිය.පසුකාලීනව දැනගන්නට ලැබුන කාරණා අනුව මෙම ප්‍රහාරය එල්ල කීරීමට තීරණය කර නියෝගය නිකුත් කර තිබුනේ ඉහළ සෝවියට් බලධාරීන්ගේ නියෝගයකින් නොව එම ප්‍රදේශය භාරව සිටි ප්‍රාදේශීය හමුදා ප්‍රධානීයා විසින් බවයි. එදිනම පස්වරු 3.41 ට පමණ ඇමරිකානු පහළ උසකින් පියාසර කළද තවදුරටත් ප්‍රහාර එල්ල වීමක් සිදුනොවීය.

අදාල U-2 යානයට ප්‍රහාර එල්ලවීම හා එය සහ එහි නියමුවා විනාශවීම රහසක් වශයෙන් පවත්වාගෙන ගිය අතර අදාල නියමුවාගේ පවුලේ උදවිය වෙත  සිය ශෝකය කෙනඩි විසින් දන්වන ලදි.

එදින එනම් ඔක්.27 සවස 4.00 ට ජනපති කෙනඩි විසින් ඇමරිකානු ආරක්‍ෂක මණ්ඩලය ධවල මන්දීරයේදී රැස් කළ අතර ඉක්මනින්ම එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා වූ යූ තාන් වෙත පණිවිඩයක් යවන ලෙස නියෝග කරමින් කියා සිටියේ ඔහු හරහා ඇමරිකානු-සෝවියට් එකඟතාවයක් මේ අර්බුදය සම්බන්ධයෙන් ඇති වනු තුරු කියුබාවේ සිදුවන මිසයිල සම්බන්ධ කටයුතු "තාවකාලිකව අත්හිටුවනු" ලෙස සෝවියට් බලධාරීන්ට දන්වන ලෙසයි.

කෙනඩි විසින් ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එකඟව තිබුනේ, කිසියම් හෝ ප්‍රහාරයක් ඇමරිකානු දේපලකට එල්ල වුවහොත් පෙරලා පහර දීමට තමන් නියෝග නිකුත් කරන බවයි. එහෙත් මෙම යානයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඔහුගේ තීරණය වූයේ නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් මිස මේ අවස්ථාවේ ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග නිකුත් නොකරන බවයි. ඔහුගේ මතය අනුව පළමු ලෝක යුද්ධයට හේතුවූයේ සර්බියාවේ සිදුවූ එක් සිදුවීමට දුරදිග නොබලා ප්‍රතිචාර දැක්වීමට එදා හමුදා නිලධාරීන්ගේ බලපෑම මත ක්‍රියා කළ නිසා ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වූ දැවැන්ත විනාශයක් සිදුවූ බවත්, ඉන් අනතුරුව සිදුකළ යුතු බොහෝ වෙනස් කම් හා විසදුම් ක්‍රියාත්මක නොකළ නිසා දෙවන ලෝක යුද්ධයද ඇතිවී අති විශාල ව්‍යවසනයක් සිදුවූ බවත්ය. ඒනිසා මේ අවස්ථාවේ තවත් ලෝක යුද්ධයකට නොගොස් මෙම ගැටළුව විසදා ගැනීම තම අරමුණ බවත්ය. 

ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් පසුකාලීනව පවසා සිටියේ;
"අප විසින් යවනු ලැබූ U-2 යානායට පහර දෙනු ලැබුවේ සෝවියට් මිසයිල වලිනි. ඒ හැරුන කොට ඉහලින් පියාසර කරන එවැනි යානාවලට පහර දීමේ හැකියාවක් කියුබාව සතු නොවීය. අපි විශ්වාස කරනවා එයට හිතාමාතාම පහර දුන්නා. එයින් බොහෝවිට සෝවියට් දේශය බලාපොරොත්තු වෙන්නට ඇත්තේ මේ අර්බුදය තවත් උත්සන්න කරන්නට වෙන්නත් ඇති කියලා අපි හිතනවා. U-2 යානා කියුබාවට යවන්නට පෙරාතුවම අපි තීරණයකට එළඹ සිටියා යම් හෙයකින් ඒවාට පහරදුන්නොත් අපිත් පහරදෙනවාමයි කියා. ඒත් මේ සිදුවීම සිදුවුන සිකුරාදා දිනයේදී වාසනාවට අපිට අපේ තිරණය වෙනස් කර ගන්න පුළුවන් වුනා. අපි එම සිදුවීම හදිසි අනතුරකින් සිදුවූ ලෙස සලකන්න තීරණය කළා. ඒ නිසා අපි පෙරලා පහර දෙන්න ගියේ නැහැ. අපිත් පසුව දැන ගත්තා, කෲෂේවි විසින් පවා එයට ප්‍රතිචාර දක්වා තිබුනේ අපි කළ ලෙසමයි. ඔහුත් මේ සිදුවීම සිදුවූ වහාම කියුබාවේ සිටි සෝවියට් හමුදා භාරව සිටි ප්‍රධානියා වූ ජනරාල් Lssa Pliyev හට නියෝග කර සිටියේ මින් පසු කියුබාවට ඉහළින් ගමන් ගන්නා කිසිදු U-2 යානයකට ප්‍රහාර එල්ල නොකරන ලෙසයි".

ඇමරිකානු ආරක්‍ෂක කවුන්සිලයවත් නොදන්නා තවත් දෙයක් සිදුවුනි. එනම් රොබට් කෙනඩි සහ එවකට සෝවියට් තානාපතිවරයා අතර රහසිගත හමුවීමයි. මෙම හමුවීමෙන් දෙපාර්ශවයටම අවශ්‍යවූයේ තමන් මෙම ගැටළුව සාමකාමීව විසදා ගැනීමට යොදන ප්‍රයත්නයේ අවංකබව දෙපාර්ශවයටම අවංක බව හැඟවීමයි. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නව විසදුමක සැලැස්මක් ගොඩනගන්නට වූ අතර එයින් කියවුනේ ජනපතිවරයා දෙවනවරට කෲෂේව් එවූ ලිපිය නොතකා හැරිය යුතු බවත් එය එසේ කිරීමට කළ යුත්තේ එවන් ලිපියක් නොලැබුන සේ සිටිය යුතු බවත්ය. එසේම තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට පොරොන්දු නොවූ එය ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතව පැවරුන වගකීමක් ලෙස සැලකිය යුතු බවත්ය. මේ සම්බන්ධයෙන් වූ කාරණා ලේඛණගත කොට ලිපියක් ලිවීම නීතිපති රොබට් කෙනඩි සහ ධවල මන්දීරයේ විශේෂ උපදේශක Ted Sorensen හට භාර කෙරුන අතර ඔවුන් විසින් කෙටුම්පත් කරන ලද ලිපිය ජනපතිවරයා විසින් තවත් සුළු වෙනස්කම් කොට එය ටයිප් කර සෝවියට් නායකයා වෙත යැවීමට සූදානම් ලදි. මෙම EXCOMM රැස්වීමෙන් පසුව තවත් කුඩා හමුවක් ඕවල් කන්තෝරු කාමරයේ පැවැත්වූ අතර එය විවිද මත  පළවූ වාදවිවාද වලින් පිරුන එකක් විය.

ඇමරිකානු-සෝවියට් සාමකාමී වෑයමට මුලපීරූ මාධ්‍යවේදියා සහ රහස් ඔත්තුසේවා නිලධාරියා නැවතත් හමුවිය. එවිට මාධ්‍යවේදී Scali විමසා සිටියේ ;
"ඇයි ලියුම් දෙකක් ඔබගේ ජනපතිවරයා එව්වේ? ඒවගේම ඒවා එකකට එකක් වෙනස්."

එවිට රහස් ඔත්තු සේවා නිලධාරි Fomin;
"එහෙම දෙයක් වෙන්න හේතුව සන්නිවේදනයේ දුර්වලතා නිසා !"

Scali :
"ඒකනම් අදහන්නත් බැරි දෙයක්, මම නම් හිතුවේ බොහොම කැත විදියට අපිව රවට්ටනවයි කියාල". කියුබාව ආක්‍රමණය තව පැය කිහිපයකින් සිදුවේවි."

මෙවිට ක්‍ෂනයකින්ම Fomin;
"ඔබලා විසින් කෲෂේව්ට යවන ලිපියට පිළිතුරු ඔහු ඉතාම ඉක්මනින් එවාවි. ඒ නිසා රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වන්න කිසිම දැඩි ක්‍රියාමාර්ගයකට යන්න එපා කියලා. කිසිම ද්‍රෝහීකමක් මේ කටයුතු සම්බන්ධයෙන් අපගේ පැත්තෙන් සිදුවෙන්නේ නැහැ කියලත් සහතිකවම කියන්න පුළුවන්."

Scali : "මම නම් හිතන්නේ නැහැ, ඔබ ඔය කියන දේවල් මම කාටවත් කිව්වයි කියල ඒ අය මාව විශ්වාස කරයිද කියලා. හොදයි කොහොම නමුත් මම ඒ ගැන ඒ අයට දන්වන්නම්".

දෙදෙනා ඉන්පසු වෙන්වScali ඉතා ඉක්මනින් අදාල කරුණු EXCOMM වෙත ලිඛිතවම ලැබෙන්න සලස්වන  ලදි.

ඇමරිකාව විසින් ප්‍රතිචාර දක්වන ලද ආකාරයට එනම්, පළමු ලිපිය ගැන පමණක් සලකා සහ දෙවන ලිපිය නොසලකා හැර කටයුතු කිරීමෙන් කෲෂේව් ගැටයේ හිරවෙන බව හොදින් පෙනී ගිය කරුණක් විය. හමුදා සූදානම් කිරීම හා යුද සූදානම තවදුරටත් තීවුර කරන්නට වූ අතරම ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සියළුම අය තමතමන්ට නියමිත හමුදා කඳවුරු වෙතට වාර්තා කිරීමටද දැනුම් දෙන ලදි.

පසුකාලක රොබට් කෙනඩි විසින් මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසය;
"අපි මේ ගැටළුම සුභවාදීව නිමා වේ යයි කළ ප්‍රාර්ථනයේ දිගටම සිටියා. හැබැයි ඒ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීමට ඉතිරිව තිබූ එකම හැකියාව කෲෂේව් විසින් ඉදිරි පැය කිහිපය තුළ මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් පමණයි. එය එසේ ඉටුවේවායි ප්‍රාර්ථනය කිරීම හැරෙන්නට එය බලාපොරොත්තු වෙන්නට හැකියාව තිබුනේ නැහැ. බලාපොරොත්තුව ලෙස තිබුනේ හමුදා මැදිහත්වීම පමණයි. එය බොහෝවිට ලබන සතියේ අඟහරුවාදා වන්නට පුළුවන්කම තිබුනා. සමහරව විට එය හෙට (ඔක්.28) වන්නටත් ඉඩකඩ තිබුනා."

එදින (ඔක්.27) රාත්‍රී 8.05 ට කෲෂේව්ට යවන්නට සකස් කළ ලිපිය ඔහුට යවන්නට ඇමරිකාව විසින් කටයුතු යෙුදූ අතර එහි මූලිකම කරුණු වූයේ;
1) ඔබ විසින් එකඟවී ඇති පරිදි කියුබාවේ ස්ථාන ගත කර ඇති ඔබගේ අවි, එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂනය යටතේ ඉවත් කළ යුතු අතර ඉදිරියේදීද මෙවන් ගැටළු ඇති නොවීම පිණිස මේ ආකාරයේ විනාශකාරී අවි කියුබාවේ නොරැදවීමටද වගබලා ගත යුතුවේ.
2)අපගේ පාර්ශවයෙන් මේ මේ කාරණා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉෂ්ඨ කිරීම, හා ඒවාට බාධාවක් නොවන සේ කටයුතු කිරීම වගකීමක් ලෙස සලකන්නෙමු ;
    a) කියුබාවට යොදා ඇති නාවුක බාදකය ඉවත් කරන්නෙමු.
    b) කියුබාවට එරෙහිව හමුදා ආක්‍රමණයක් නොකිරීමටද සහතිකයක් ලබාදෙන්නෙමු.

මේ ලිපිය ඒ මොහොතේම පුවත් පත් වලද පළ කිරීම සදහා යවන ලදි. එයට හේතුව යම් හෙයකින් කෲෂේව් අතට මෙය පත්වීම ප්‍රමාද වුවහොත් හෝ හිතාමතා මෙම ලිපිය නොතකා හැරීමක් සිදුකළ හොත් එය වලකා ගැනීමටයි.

එදින රාත්‍රී 9.00 ට ඇමරිකානු ආරක්‍ෂක කමිටුව නැවත රැස්වූ අතර ඔවුන්ගේ කතිකාවත වූයේ එළඹෙන දිනයේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවයි. එහිදී මිසයිල අංගන හා කියුබාවේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබදව සැලසුම්කරන්නට වූයේය. විශේෂයෙනම එරට ඉන්ධන ගබඩා මූලිකම ඉලක්කයක් විය. එසේම රොබට් මැකනමාරාගේ අදහස වූයේ කියුබාව සේම යුරෝපය තුළ සෝවියට් දේශය සිදුකළ හැකි සහ සිදුවිය හැකි ප්‍රහාර පිළිබදව සැලකිය යුතු බවයි. එදින රාත්‍රී 12.12 ට පමණ ඇමරිකාව විසින් නේටෝ සංවිධානයට අයත් යුරෝපීය රටවලට ඉදිරි පැය කිහිපය තුළ යුරෝපය තුළ ඇතිවිය හැකි සංග්‍රාමික තත්ත්වයට සූදානම් වන ලෙස දන්වන ලදි.

තවද ඔක්.27 වනදා, කස්ත්‍රෝ විසින් කරණා ලද ඇමරිකාවට කියුබාවේ ඇති අවිවලින් පහර දිය යුතු බව නිර්දෙශ කරන ලිපිය සෝවියට් නායකයා වෙත ලැබුනි. ලෝකයේම වාසනාවට මෙය ක්‍රියාවට නැගුනේ නැත.

ඔක්.28 වන දා එළඹුනි.එදා සෙනසුරාදා දිනයකි. පසුකළෙක හෙළිවූ පරිදි ධවල මන්දීරය එදින හදුන්වා ඇත්තේ "කළු සෙනසුරාදාවක් (Black Saturday)" ලෙසයි. එලෙසටම එදින තීරණාත්මක හා කුමකින් කුමක්වේදොයි නොදන්නා අසුභවාදී මත වලට මිස සුභවාදී මතවලට වැඩි ඉඩක් නොලද දිනයක් විය.

මෙදින දරුණු ගණයේ නොවූවත් යම් යම් හමුදාමය ක්‍රියාකාරකම් සිදුවූ දිනයක්ද විය. ඒවා සැකවින් දක්වන්නේ නම් ; ඇමරිකානු නාවික හමුදාවේ යුද නෞකා 11 ක් සහ USS Randolph ගුවන් යානා ප්‍රහාරක නෞකාව එක්ව, කියුබාවට ගමන්ගන්නා නාවුක යාත්‍රා පරීක්‍ෂාවට යොදා ඇති බාදකය අසලදී සෝවියට් ඩීසල් බලයෙන් ගමන්ගන්නා B-59 සබ්මැරීනයකට Practice Depth Charges නමින් හදුන්වන බෝම්බ හෙලන්නට පටන්ගත්තා. මෙම බෝම්බ සබ්මැරීන අවට ප්‍රදේශයේදී පුපුරා ගිය පසු ඇතිවන කම්පනය නිසා ඒවා ජල මට්ටමෙන් ඉහලට එන අතර එවිට සබ්මැරීනය කාහට අයත් එකක්දැයි හදුනාගැනීම මෙහි අරමුණ වූවා.

 කෙසේවෙතත් මෙම සබ්මැරීනයේ න්‍යෂ්ඨික ශීර්ශ සවිකළ ටෝපිඩෝ සහිත බව දැන සිටියේ නැහැ. තවත් කරුණක් වූයේ මෙම සබ්මැරීනයේ ගමත් ගත කාර්යමණ්ඩලයත් දින ගණනාවකින් තම මව්රට සමග පණිවිඩ හුවමාරුවක් නොතිබූ නමුත් ඇමරිකානු ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ කියුබානු ගැටළුව සම්බන්ධයෙන් වූ කාරණා වලට නම් ඒවනවිට සවන්දී තිබුනා.  ඔවුන් මෙම ඇමරිකානු පහරදීම මඟහැර සැඟවී යන්නට උත්සහ දරමිනුයි සිටියේ.

ඔවුන් දැන් ඇමරිකාව-කියුබාවට එරෙහිව යුද වදිනවාදැයි පවා හරිහැටි නොදත් අතර එම සබ්මැරීනයේ කපිතාන් Valentine Grigorievitch Savitskyසිතා සිටියේ ඒවන විටත් යුද්ධය ඇරඹී ඇති බවයි. ඒ නිසා ඔහු සිතුවේ දැන් එහෙනම් මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස න්‍යෂ්ඨික ශීර්ෂද සවිකළ ටෝපිඩෝ වලින් පහර දීම කළ යුතු කාර්යය බවයි. මෙම සබ්මැරීනයේ කපිතානවරයාට අමතරව තවත් වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකු විය එනම් දේශපාලන නිලධාරියා ලෙස Ivan Semonovich යන අයද, දෙවන අනදෙන නිලධාරියා ලෙස Vasili Arkhipov ද සේවය කළේය. Arkhipov මෙහි දෙවැන්නා ලෙස සේවය කළද, ඔහු ඊට ප්‍රථම සබ්මැරීන කිහිපයකම අණදෙන නිලධාරියා ලෙසද සේවය කළ නිලයෙන් මෙම සබ්මැරීනයේ කපිතාන් තැනගේ සමාන අයෙකුම විය.

මෙම තිදෙනා අතර ටෝපිඩෝ ප්‍රහාරය එල්ල කරනවාද? නැත්ද? යන්න සම්බන්ධයෙන් වාදයක් ඇතිවිය. කපිතාන් හා දේශපාලන නිලධාරියා ප්‍රහාරයට පක්‍ෂවද, දෙවැනි අණදෙන නිලධාරියා ප්‍රහාරයට එරෙහිවද සිටියේය. ඔහුට ඒ සදහා කරුණු දැක්වීම පහසුවූයේ ඊට පෙර වසරේ  සිදවූ සෝවියට් K-19 සබ්මැරීන අනතුරයි. ඔහුගේ මතය වූයේ වහා සබ්මැරීනය මුහුදු පත්ලෙන ඉහළට ගොස් සෝවියට් දේශයෙන් ඉන් ඉදිරියට කළ යුතු කාර්යය පිළිබදව උපදෙස් ලැබෙන තුරු ඉවසා සිටිය යුතු බවයි. කොහොමටත් මේ අවස්ථාවේ සබ්මැරීනයේ දෝශ සහිත තත්ත්වයක්ද පැන නැගී තිබූ නිසා මුහුදු මට්ටමට පැමිණීමට ඔවුන් තීරණය කළහ. තවද වොෂින්ටනයෙන් අදාල ප්‍රහාර එල්ල කළ නාවික කණ්ඩායමට අණකර සිටියේ සබ්මැරීනය මුහුදේ මතුපිටට ගෙන ඒමට කටයුතු කිරීම හැරුන කොට එයට පිවිසීමට මොනමහේතුවටත් කටයුතු නොකරන ලෙසයි.

ඇත්තෙනම් පසු කලෙක මෙම ව්‍යසනය ඇති නොවීමට වගබලා ගත් දෙවන අණදෙන නිලධාරි Arkhipov හට ලෝකයම ප්‍රශංසා කළේ ඔහු ලෝකයම විනාශයෙන් ගලවා ගත් අයෙකු බව පවසමින්. යම් හෙයකින් ඔවුන් අතින් වැරදීමකින් හෝ න්‍යෂ්ඨික ටොපිඩෝ ප්‍රහාරය එල්ල වූයේ නම් එය අති විනාශකාරී යුද්ධයක් ඇතිවීමට හේතුවන්නට අසන්නම හේතුව විය හැකිව තිබුනි.

ඇමරිකානු ආරක්‍ෂක ලේකම මැක්නමාරා 2002 වසරේදී අදහස් දැක්වූ පරිදි "න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමට  ඉතාම ආසන්නයට අපි මේ කාරණයේදී පැමිණියා. එදා ඇත්තෙන්ම අපි දැනසිටියාත් වඩා ආසන්නයට පැමිණ තිබූ බව දැනගත්තේ පසුකලෙකයි".

(මෙහි දැක්වූ K-19 සබ්මැරීන අනතුරු සම්බන්ධයෙන් වූ චිත්‍රපටියක්ද 2002 වසරේදී තිරගතවූ අතර එය නමින් K-19 : The Widow Maker නම් විය. මෙහි ප්‍රධාන චරිත සම්මානීය හොලිවුඩ් නළුවන් වන Harisson Ford සහ Liam Neeson විසින් නිරූපණය කරන ලදි.)මෙදිනම ඊට සැතපුම් දහස් ගණනක ඈතින් එනම් සෝවියට් දේශයේ ඈත නැගෙනහිර මුහුදු තීරයට නුදුරින් ඇමරිකානු U-2 ඔත්තු බලන යානයක්  මිනිත්තු 90 ක පමණ කාලයක් පියාසර කරමින් සටියදී සෝවියට් දේශයට අයත් Wrangel නම් දූපතේ සිට ඉහළට නැගුන මිග් ප්‍රහාරක යානා ඉහත කී ඔත්තු බලන යානාව වෙත පියාසර කරන ලදි.  ප්‍රහාර එල්ල කිරීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමරිකාවද සිය ප්‍රහාරක F-102 වර්ගයේ ජෙට් යානා බීරින්ග් මුහුදට උඩින් පියාසර කරවන්නට විය. ඝට්ටනයක් දෙපාර්ශවය අතර සිදු නොවීය.

ඔක්. 27 වනදා ඇමරිකානු-සෝවියට් රාජ්‍ය නායකයන් අතර රහස් එකඟතාවයක් ඇතිව තිබුනි. ඒ කියුබානු මිසයිල ඉවත්කර ගැනීම වෙනුවෙන් දකුණු ඉතාලියේ හා තුර්කියේ ස්ථාන ගත කර ඇති ඇමරිකානු ජුපිටර් මිසයිල ඉවත් කර ගන්නා බව හා එය රහසක් වශයෙන් පවත්වාගත යුතු බවයි. මෙය ඉතාම රහසිගත එකඟතාවයක් වූ අතර කාලයක් යනතුරු බොහෝදෙනෙක් මෙය දැන සිටියේ නැත.

1962 ඔක්.28 සෙනසුරාදා දා ලෝකයටම කළු සෙනසුරාදාවක් නොවූ දිනයක් බවට පත්වෙමින් කියුබානු මිසයිල අර්බුදය නිමා වූයේ උදෑසන 9.00 ට කෲෂේව් විසින් අදාල මිසයිල ඉවත්කරගන්නා බවට වූ ප්‍රකාශය මොස්කව් ගුවන්විදුලි සේවාව මගින් විකාශය කිරීමත් සමගයි. එයට ප්‍රතිචාර දක්වමින් කෙනඩිද සිය ස්තූතියි පළ කළේ ලෝක සාමය වෙනුවෙන් කෲෂේව් විසින් ගන්නා ලද මෙම තීරණය ඉමහත් ලෙස අගය කරන බවයි.

එලෙස ලෝකයම කම්පනයට පත් කළ මෙම සිදුවීම විනාශයකින් තොරව අවසන් වු අතර තවත් දින කිහිපයක් ඇමරිකාව සිය කියුබාවට නෞකා ඇතුළුවීම වලකමින් පවත්වාගෙන ගිය නාවුක බාදකය පවත්වාගෙන යන ලදි. කියුබාවේ තිබූ මිසයිල 42 ක් සහ ඒවාට අදාල අනෙකුත් උපකරණ නැව් 8 කට පටවනු ඇමරිකාව විසින් ගුවන් ඡායාරූප ඇසුරෙන්ම නිරීක්‍ෂනය කරන ලදි. එම නැවූ නොවැ.5-9 අතර දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඒවා ඇමරිකානු නාවුක බාදකය හරහා ගිය බවද තහවුරු කර ගත් අතර කියුබාවට රැගෙන එන ලද සෝවියට් ප්‍රහාරක යානා වන IL-28 යානා රැගත් නෞකාද දෙසැ. මස 5-6 දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඇමරිකාවු පවත්වාගෙන ගෙන නෞකා බාදකයද නොවැ. 20 වන දින 6.45 ට ඉවත් කළ බව ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

සෝවියට් තානාපතිවරයා සහ නීතිපති රොබට් කෙනඩි තිරයෙන් පිටුපස එකඟ වූ පරිදි ජුපිටර් මිසයිල ඉවත් කිරීම මෙම අර්බුදය නිමාවී ටික කලකින් රහසින්ම සිදුවූ අතර 1963 අප්‍රේල් 24 දා වන විට අවසාන මිසයිලයද කොටස් වලට ගැලවීම සිදුකර අවසන් වූ අතර ඒවා පසුව තුර්කියෙන් ඉවත් කරන ලදි.

මිසයිල ඉවත් කරනා තීරණය ඇත්තෙන්ම කස්ත්‍රෝ පවා මොස්කව් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරනා තුරු නොදැන සිටි කාරණයක් විය. එයින් ඔහු කෝපයටද පත්වූ බව පැවසෙතත්, මෙම මිිසයිල අර්බුදය නිසා කියුබාව තුල ඔහුගේ ප්‍රතිරූපය තවදුරටත් ස්ථාවර වූ බව පැවසෙන්නේ අර්බුදය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව තම රට ආක්‍රමණය නොකරන බවට සහතිකයක්ද ලැබීම නිසයි. එසේම සෝවියට් නායකයා මෙම ගැටළුවේදී පරාජයට පත් සහ අපහාසයටද ලක්වූ බව සහ කෙනඩි එයින් ජයගත් බව ලෝකයට පෙනුනත් සත්‍ය වශයෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස තුර්කියේ සහ ඉතාලියේ ස්ථාන ගත කර තිබූ ඇමරිකානු මිසයිල ඉවත්කරවා ගැනීමේ අවස්ථාවද ඔවු්නට හිමිවිය. කෙසේවෙතත් මේ දෙදෙනාටම සිය රජයෙන් එල්ල වන පීඩනය හමුවේ ඉතාම පරිස්සමෙන් සියළු කාර්යය සිදු කළ යුතු වුවාවන්නට විය හැකිය. කෙසේවෙතත් සෝවියට් නායකයාගේ ප්‍රතිරූපය ඔවුන්ගේ දේශපාලන යන්ත්‍රණය තුළ පසුබෑමකටද ලක්වූයේ තම දේශපාලන න්‍යාඥ ලෝකය තුල හෑල්ලුවට පත්වූ බව සෝවියට් ඉහළ දේශපාලන සාමාජිකයන් තුල ආකල්පයක් උද්ගතවූ බැවිනි. සැබැවින්ම සෝවියට්දේශයට වාසිසහගත තත්ත්වයක්ද තුර්කියේ සහ ඉතාලියේ මිසයිල ඇමරිකාව විසින් ඉවත්කර ගැනීම තුලින් සිදුවූවත් එය කෲෂේව් හට සිය දේශපාලන සඟයන්ටද පැවසීමට නොහැකි තත්ත්වයක් වූයේ එය කෙනඩි සහ කෲෂේව් අතර වූ රහස් ගණුදෙණුවක් වු බැවිනි.

සෝවියට් නායකයාගේ ධූරකාලයද එයින් වසර දෙකක් ගිය තැන ගිලිහී යන අතර, ජනපති කෙනඩිගේ දිවියද මෙම සිදුවීම් සිදුවී යන්තම් වසරක් ගතවූ තැන නිමා වන්නේ අදටත් අභිරහසක්ව පවතින ඔහුගේ ඝාතනය සිදුවීමෙනි.

1974 දී තිරගතවූ රූපවාහිනි චිත්‍රපටියක් වන The Missiles of October සහ වසර 2000 දී තිරගතවූ Thirteen Days චිත්‍රපටි මෙම කියුබානු මිසයිල අර්බුදය තේමාකොට ගෙන තැනුන ඒවාවේ.


මෙම අර්බුදය පසුකාලීනව හෙළිවූ තොරතුරු ගැන ඉදිරි ලිපියෙන් බලාපොරොත්තුවන්න.

මෙන්න මුල් ලිපිය - ඇමරිකාව භීතියට පත් කළ දින 13