Showing posts with label යුද හරඹ. Show all posts
Showing posts with label යුද හරඹ. Show all posts

Tuesday, August 18, 2026

වයිකිංවරු: උතුරු මුහුදේ භයංකර නාවිකයෝ

 

ඉතිහාසයේ වඩාත්ම කුතුහලය දනවන, ​එහෙත් වැරදි ලෙස වටහාගෙන ඇති ජනවර්ගයක් ලෙස වයිකිංවරු හඳුන්වා දිය හැකිය. "වයිකිං" යනු අද නෝර් වේ, ස්වීඩනය සහ ඩෙන්මාකය ඇතුළත් වූ ස්කැන්ඩිනේවියානු කලාපයෙන් පැමිණි ජනතාව සඳහා යොදන නමකි. ක්‍රි.ව. 793 සිට 1066 දක්වා පැවති කාලපරිච්ඡේදය "වයිකිං යුගය" ලෙස ඉතිහාසඥයන් හඳුන්වති.

මුලින්ම මෙම වයිකිංවරු සම්බන්ධයෙන් තැනූ කුඩා වීඩියෝව නරඹා සිටිමු.



වයිකිං යුගය ආරම්භය

වයිකිං යුගය ආරම්භ වූයේ යැයි සම්මතව සලකන්නේ එංගලන්තයේ ලින්ඩිස්ෆාර්න් (Lindisfarne) පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙනි. මෙම සිද්ධිය යුරෝපයේ බටහිර ප්‍රදේශවලට තිගැස්මක් ගෙන දුන් අතර, ඉන් අනතුරුව වසර 250කට වැඩි කාලයක් තුළ වයිකිංවරු යුරෝපයේ නාවික බලවේගයක් ලෙස කැපී පෙනුනි.

ඔවුන් මුහුදු ගමන් කළේ ඇයි?

වයිකිංවරු මුහුදු ගමන් වෙත යොමු වීමට හේතු කිහිපයක් තිබුණි:

  • ඉඩම් හිඟකම – ස්කැන්ඩිනේවියාවේ වගා කළ හැකි ඉඩම් සීමිත වූ බැවින්, ජනගහනය වර්ධනය වීමත් සමඟ නව ප්‍රදේශ සොයා යාමට සිදු විය.
  • වෙළඳාම – වයිකිංවරු දක්ෂ වෙළෙන්දෝ ​ද වූහ. රුසියාව හරහා බයිසැන්තියානු අධිරාජ්‍යය හා අරාබි ලෝකය සමඟ පවා වෙළඳාම් සබඳතා ගොඩනගාගත්හ.
  • සම්පත් සොයාගැනීම – රන්, රිදී, වහල් සහ වටිනා වස්තූන් ලබාගැනීම සඳහා වෙරළබඩ පල්ලි හා නගර ප්‍රහාරයට ලක් කරන ලදී.
  • දේශපාලන අස්ථාවරත්වය – ස්කැන්ඩිනේවියාවේ බලය සඳහා තරඟය හේතුවෙන් පරාජිත නායකයන් හා ඔවුන්ගේ අනුගාමිකයෝ නව ප්‍රදේශවල ජීවත් වීමට සිතා සිටියහ.

දිගු නැව් (Longships) — ඔවුන්ගේ රහස

වයිකිංවරුන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ගේ දිගු නැව් ("longships") නිර්මාණයයි. මෙම නැව් සැහැල්ලු, වේගවත් සහ ගැඹුරින් අඩු ජලයේ පවා ගමන් කළ හැකි ලෙස නිර්මාණය කර තිබූ බැවින්, ගංගා තුළට ගමන් කර, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ගම් හා නගරවලට හදිසි ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකි විය. නැඟෙනහිර යාත්‍රා තාක්ෂණයට වඩා ඔවුන්ගේ නැව් තාක්ෂණය බෙහෙවින් දියුණු වී තිබුණි.

ප්‍රහාරකයන් පමණක් නොවේ — ගවේෂකයෝ හා පදිංචිකරුවෝ ද වූහ

වයිකිංවරු බොහෝ විට "රුවනකාරයන්" (raiders) ලෙස පමණක් සිතන නමුත්, ඔවුන් සාර්ථක ගවේෂකයෝද වූහ:

  • අයිස්ලන්තය සහ ග්‍රීන්ලන්තය ඔවුන් විසින් ජනාවාස කරන ලදී.
  • ලීෆ් එරික්සන් (Leif Erikson) නම් වයිකිං ගවේෂකයා, ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට වසර 500කට පමණ පෙර උතුරු ඇමරිකා මහාද්වීපයට (වර්තමාන කැනඩාවේ නිව්ෆවුන්ලන්තය) ළඟා වූ බව විශ්වාස කෙරේ.
  • ඔවුන් රුසියාවේ නගර කිහිපයක ආරම්භකයන් ලෙසද සැලකේ.
  • එංගලන්තයේ "ඩේන්ලෝ" (Danelaw) නම් ප්‍රදේශයක් වයිකිංවරුන්ගේ පාලනය යටතේ පැවතුනි.

සමාජය සහ දෙවි කථා

වයිකිංවරුන්ගේ සමාජය සංකීර්ණ රාමුවකින් සමන්විත විය. එහි රජවරු, ​නිදහස් ගොවීන්, ශිල්පීන් සහ වහලුන් (thralls) ​ඇතුළත් විය. ඔවුන් නෝර්ස් දේව කථාවට (Norse Mythology) අනුගත වූ අතර ඔඩින්, තෝර්, ​ලෝකි වැනි දෙවිවරු ඔවුන්ගේ ජීවිතයේ වැදගත් තැනක් ගත්හ. සටනේදී මියගිය වීරයන් "වල්හල්ලා" නම් ස්වර්ග ලෝකයට යනු ලබන බවට ඔවුන් විශ්වාස කළහ.

වයිකිං යුගයේ අවසානය

1066 වසරේදී එංගලන්තයේ ​"හේස්ටිංස් සටන" (Battle of Hastings) සමඟ වයිකිං යුගය අවසන් වූ බව බොහෝ ඉතිහාසඥයෝ පිළිගනිති. කෙසේ වුවත් මෙයට පෙර සිටම වයිකිංවරු ක්‍රිස්තියානි ධර්මයට හැරී, යුරෝපීය රාජ්‍යවල ​කොටසක් ලෙස ක්‍රමයෙන් මුසු වෙමින් සිටියහ.

නූතන අවබෝධය

ජනප්‍රවාද හා චිත්‍රපටවල නිරූපණය වන "රළු, කෘර ප්‍රහාරකයෙකු" යන පින්තූරයට වඩා, නවීන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් වයිකිංවරු ​දක්ෂ අත්කම්කරුවන්, වෙළෙන්දන් සහ ගවේෂකයන් ලෙසද පෙන්නුම් කරයි. ඔවුන්ගේ ​රන්කරුවන්ගේ, ​රිදීකරුවන්ගේ හා නැව් තැනීමේ දක්ෂතාවය අද පවා ඉතිහාසඥයන් විස්මයට පත් කරයි.




Friday, December 2, 2016

ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද?

20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්‍ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්‍ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කු බල ඇනි වලට සිය ප්‍රහාර කුමන ස්ථානයකට එල්ල වුනිද, එය නිවැරදිද, නොඑසේ නම් දිශානතිය කොපමණ දුරකට වෙනස් කළ යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. එසේම පාබල හමුදාවන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ කොයි ස්ථානයක රැදී සිටිය යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. මෙය යුද ඉතිහාසය තුල මෙන්ම තාක්‍ෂනික වශයෙන්ද ප්‍රධාන පෙලේ දියුණු තත්ත්වයක් වූවා පමණක් නොව සමස්ථ යුද්ධය පුරා අවසානය තෙක් පරිපූර්ණ වශයෙන් කාර්යක්‍ෂමතම ක්‍රියාදාමයද වූවා.

භූමියේ යුද හමුදාව මෙන්ම නාවික හමුදාවද මෙම නව තාක්‍ෂනයට ඉක්මනින්ම තම මෙහෙයුම් සදහා යොදා ගත් අතර නාවික සටන් භූමියේ සටන් වලට වඩා තීවුර වීමටද මෙම නව සන්නිවේදනය ඉවහල් වූ බව පැවසෙනවා.

කෙසේවෙතත් ගුවන් විදුලි සන්නිවේදනය ආරක්‍ෂිත බවෙන් හීන ක්‍රමයක් බවද සදහන් කළ යුතුය. මන්ද එම පණිවිඩය මිතුරු-සතුරු දෙපාර්ශවයටම ශ්‍රවණය කළ හැකි වීමයි. මේ නිසා විවිද රහස් කේතයන් මගින් අවශ්‍ය පණිවිඩය තම පාර්ශවයේ අනෙක් අන්තයට දැනුම් දීම කරනු ලැබූ අතර දක්‍ෂ කේත විශ්ලේෂකයන්ට සතුරු පාර්ශවයේ කේතයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිරාවරණය කිරීම අපහසු දෙයක් වූයේද නැහැ. තවත් කාරණයක් වන්නේ නැගෙනහිර යුද පෙරමුණ බිදී යාමට එක් හේතුවක් ලෙසද සලකන්නේ රුසියානුවන් සිය පණිවිඩ හුවමාරුවට මොනම කේත ක්‍රමයක් යොදා නොගැනීමයි. මේ නිසා එම යුද පෙරමුණේ සිටි ජර්මානුවන්ට ඉතා පහසුවෙන්ම රුසියානුවන්ගේ ඊලඟ පියවර කුමක්දැයි දැන ගැනීමේ හැකියාව ලැබී තිබු බවද පැවසේ.

කෙසේවෙතත් භූමියේ මෙහෙයුම් කළ හමුදාවන්ට ගුයන් විදුලි මගින් පණිවිඩ හුවමාරුව අනාරක්‍ෂිත වූ නිසා එයට වඩා ආරක්‍ෂිත ක්‍රමයක් ලෙස දුරකථන ක්‍රමවේදයක් ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගත් අතර එය Field telephones ලෙස හැදින්වූවා.  සතුරාට තොරතුරු ලැබීමේ හැකියාවේ යම් අඩුවක් සිදුවුවත් මේ සදහා යොදා ගත් රැහැන් ආදිය කාලතුවක්කු ප්‍රහාරයන්ට ලක්ව කැඩී යාම වැනි කාරණා නිසා නිරතුරු අළුත්වැඩියා සිදුකරන්නට සිදුවීම තවත් කරදරකාරී ක්‍රියාදාමයක් බවට පත්ව තිබුනා.

යුද්ධය තව තවත් උණුසුම් වෙත්ම සන්නිවේදනය වඩාත් බරවී තිබුනේ තම පාර්ශවයේ අන්ත දෙකක් හරහා ලියන ලද පණිවිඩ රැගෙන යන පණිවිඩ රැගෙන යන්නන් මතයි. මොවුන් runners ලෙස හැදින්වූ අතර සත්‍ය වශයෙන්ම කියනවා නම් යුද්ධයේ සිටි නිර්භීතම පිරිස ලෙස හැදින්වූවත් වරදක් නැහැ. මන්ද සතුරු-මිතුරු දෙපාර්ශවයෙන්ම එල්ල වන කාලතුවක්තු, මැෂින් තුවක්කු ප්‍රහාර වලට මැදිවී මියයාමට හෝ තුවාල ලැබීමට මෙන්ම යම් හෙයකින් සතුරාට අහුවුනහොත් පණිවිඩය දැනගැනීම කෙසේවෙතත් විවිද වදබන්ධනවලට ලක්වීමට සිදුවීම යන අවධානමද රැගෙන රාජකාරිය සිදු කළ යුතුවූවා. අප හොදින්ම දන්නා එවැනි රාජකාරියක් කළ අයෙකු සිටියේය. ඔහු වෙනකෙකු නොව දෙවන ලෝක යුද්ධයේ නියමුවා වූ ඇඩෝල්ෆ් හිට්ලර්ය. සාමාන්‍ය සෙබලෙකු ලෙස යුද්ධයට එක්ව ඔහුගේ මෙම නිර්භීත හා තද ඕනෑකම runner කෙනෙකු ලෙස තිබු පමණක් නොව ඔහු එලෙස කිහිපවිටකම තුවාල ලැබීමටද මෙම රාජකාරිය හේතුවූවා. ඔහුගේ ධෛර්යය හා නිර්භීතකම නිසා කෝප්‍රල් නිලයට උසස් වීමටද හැකිවූවා. 

ගුවන් යානා වලට කැමරා සවිකිරීම පසු කලෙක සිදුවූවා මෙන්ම නියමුවාට අමතරව ගමන් ගත් ගුවන් භටයෙකු භූමියේ ඡායාරූප කැමරා මගින් ගැනීම මෙම යුද්ධයේදී ඇරඹී තිබුනා. 

තවද කුඩා රොකට් ආකාරයක උපාංගයක් ඔස්සේද පණිවිඩ ඒ ඒ අන්තයන්ට යැවීම සිදුකරන ලැබූ අතර එය එක් අතකින් අප රටේද පුරාණයේ භාවිතා වූ ඊතලයක දවටා විදීමෙන් පණිවිඩ යැවීම හා යම් සමාන කමක් තිබුනා.

සතුන් මගින්, විශේෂයෙන් පරවියන් ආධාරයෙන් පණිවිඩ හුවමාරුව බහුල ලෙස එදා සිදුවූ අතර එය 95% ක තරම් සාර්ථකත්වයකින්ද යුතු වූ බව පැවසෙනවා. මිලයන භාගයක එනම් ලක්‍ෂ පහක පරවියන් ප්‍රමාණයක් මෙලෙස පණිවඩි හුවමාරුවට සතුරු-මිතුරු දෙගොල්ලාම යොදා ගෙන තිබුනා. පරවියන්ට අමතරව බල්ලන්ද පණිවිඩ ඒමේ අත යැවීමට යොදා ගෙන තිබුනා.

මීට අමතරව තම පාර්ශවයට පෙනෙන ලෙස කොඩි වැනීම, අලෝක දැල්වීම වැනි එතරම් ආරක්‍ෂිත නොව ක්‍රමවේදයන්ද භාවිතා කර තිබූ බව පැවසෙනවා.

Friday, November 25, 2016

අධිරාජ්‍යවාදය යුද්ධය වෙනුවෙන් යොදා ගත් අයුරු සහ තුර්කි අධිරාජ්‍ය බිද වැටී අරාබි රාජ්‍යයන් බිහිවීම...

මෙම ලිපි පෙලත් නිමක් නොපෙනුන පළමු ලෝක යුද්ධය වැනි යැයි වරක සිතේ. කෙසේවෙතත් සවිස්තරාත්මකව යම්තාක් දුරකට පරිපූර්ණ යයි හැඟෙන ලිපියක් ඉදිරිපත් කළ යුතු නිසා මෙම යුද්ධයේ පැතිකඩවල් බහුතරයක් ආවරණය වන පරිදි තවදුරටත් මෙම ලිපි පෙලේ තවත් ලිපියක් මෙසේ ඉදිරිපත් කරමි.

1914 වන විට අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාව හා ලයිබීරියාව යන රටවල් දෙක හැරුන කොට අනෙකුත් සියළුම රටවල් ඍජුව හෝ වක්‍රාකාරයෙන් යුරෝපීය රාජ්‍යයන්වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඥය, ඉතාලිය, පෘතුගාලය, බෙල්ජියම හා ජර්මනියට නතුව පැවතුනි.

යටත් විජිත තරඟ‍යේ අවසාන තරඟකරුවා වූ ජර්මනිය සතුව 1880 වන විට  අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම අයත්ව පැවතුනි. ඒ අතුරින් වර්ථමානයේ ටැන්සානියාව, බුරුන්ඩි හා රුවන්ඩා ලෙස හැදින්වුන රටවල් German East Africa ලෙසද, වරථමානයේ නැම්බියාව ලෙස හදුන්වන ප්‍රදේශය German West Africa යනුවෙන්ද එදා හැදින්වුන අතර වර්ථාමානයේ ටෝගෝ හා කැමරුන් ලෙස හදුන්වන රාජ්‍යයේ කොටසක්ද ජර්මනිය අයිති කරගෙන තිබුනි. එදා අප්‍රිකාවේ තිබූ අධික වන ගණත්වය, පිවිසුම් මාර්ග වල ඇති දුෂ්කරතා වැනි හේතු කොටගෙන බ්‍රිතාන්‍ය හමුදා, ජරමනිය සතුව තිබූ අප්‍රිකානු කලාප යටත් කරගැනීමේදී වඩාත් අවධානය යොමුකළේ වෙරළ බඩ ප්‍රදේශ පිළිබදවයි.

ආසියාව ගත් විට ඉන්දියාව ප්‍රමුඛ රටවල් ගණනාවක් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි යුරෝපීය අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යයට නතුව පැවතුනි. දැවැන්ත මිනිස් ජීවිත විනාශය නිසා තම රටවලින් පමණක් සොල්දාදුවන් බදවා ගැනීම ප්‍රමාණවත් නොවන බව වටහා ගත් මෙම රටවල පාලකයන් හා හමුදා නායකයන් සිය ඈත යටත් විජිත වලින්ද ඒ ඒ ගෝත්‍රවලට අයත් ජනයා බදවා ගැනීම ආරම්භ කළහ. බ්‍රිතාන්‍ය ගත්විට ඉන්දියාවේ සීක්,ගුර්කා, නේපාල සහ පන්ජාබ් වැනි ගෝත්‍ර වල සාමප්‍රධායික යුද වීරත්වයද ඉස්මතුවන පරිදි ඔවුන්ගේ සිතුම්පැතුම් මුවහත් කරමින් සිය යටත්විජිත හමුදාමය ශක්තිය වර්ධනය කර ගැනීම ආරම්භ කර සිටියෝය.

ප්‍රංශය සිය හමුදාවේ ශක්තිය වැඩිදියුණු කර ගැනීමට යොදා ගත්තේ උතුරු අප්‍රිකානු යුදකාමී ගෝත්‍ර වූ Berbers, අරාබින් වැනි ගෝත්‍ර ඇල්ජීරියාවෙන්ද Tirailleurs වැනි ගෝත්‍ර මොරොක්කෝව හා ටියුනීසියාව වැනි රටවලින්ද එක් කර ගත්හ. මීට අමතරව French West Africa කොටසින්ද, මැඩගස්කරය, ප්‍රංශ ඉන්දු-චීන කලාපයෙන්ද සොල්දාදුවන් බඳවා ගත්හ. කෙසේවෙතත් මෙලෙස හම කළු සොල්දාදුවන් සිය හමුදා ශක්තිය වැඩකර ගැනීමට යොදා ගත්තත්, General Charles Mangin වැනි ප්‍රංශ යුද නායකයන් මෙයට වැඩි මනාපයක් නොදක්වා කියා සිටියේ මතුයම් දිනයක අනාගතයේ මෙයද යුරෝපයට තවත් ගැටළු ඇති කිරීමට හේතුවිය හැකි බවයි. කෙසේනමුදු යුද්ධයේ ආරම්භක අවධියේම ප්‍රංශයේ ඒ වනවිටත් වාසය කළ ඉහත පැවසූ ගෝත්‍ර වලට අයත් ජනයා හමුදාවට බඳවා ගැනීම සිදු කර තිබූ බවද පැවසේ.

මෙලෙස අප්‍රිකානුවන් හා අසියානුවන් ලක්‍ෂ ගණනින් යුද්ධයට බදවා ගෙන සිටි අතර යුද පෙරමුණට අමතරව යුද්ධය සම්බන්ධ නිපැයුම් සිදු කරණ කර්මාන්ත ශාලා ගණනාවකද යටත්විජිත වාසීන්, විශේෂයෙන් ඉන්දු-චීන කලාපයට අයත්වූ වියට්නාම් වැසියන්, චීන ජාතිකයන් දසදහස් ගණනින් එසේ කම්කරුවන් ලෙස යොදවා ගෙන තිබුනහ.

ඉන්දියාව, මෙම යුද්ධය වෙනුවෙන් සොල්දාදුවන් සැපයූ ප්‍රධාන බලාගාරයක් වැනිය. එහෙත් යුරෝපයට සාපේක්‍ෂව ඉන්දියානු විවිද ගෝත්‍රික ජනයාගේ යුද නිපුනත්වය හා නව තාක්‍ෂනික යුද උපාංග හැසිරවීම පිළිබදව වූ නිපුනත්වයද මද තත්ත්වයක පැවතුනි. එය පිළිබදව එක් අතකින් කණගාටුවීමටද හේතුවක් නොමැත්තේ ඔවුන්ව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් එ් වන විටත් ඉන්දියාවේ ස්වදේශික හමුදාවක් ගොඩනගා තිබුනත්, තමන්ට යම් දිනයක ඔවුන් තර්ජනයක වේදෝ යන සැකය නිසා ඇතැම්විට බ්‍රිතාන්‍ය යුද ශිල්පය හෝ නවීන තාක්‍ෂනික මෙවලම් භාවිතය පිළිබදව හුරුවක් ඉන්දියානුවන්ට ලබා නොදෙන්නටද ඇති නිසාය. කෙසේවෙතත් යුද්ධය හා මුසුවත්ම යුදබිමේ සටන් වැදුන ඉන්දියානු සොල්දාදුවන්ද "රෝමයට ගියා නම් රෝමයේ මිනිසෙකු විය යුතුය" යන නඥාය හා අවස්ථාවට ගැලපීම අත්‍යාවශ්‍ය භාවය නිසාම යුරෝපීයන් හා සම සමව යුද්ධයට ගැලපී තිබුනි. නවීන තාක්‍ෂනය සමග මුලින් නොගැලපීමක් තිබුනද සාම්ප්‍රධායිකව ඔවුන් හැදෑරූ යුද ශිල්පයන් හා කැපවීම, ජීවිත පරිත්‍යාගයද අවතක්සේරුවට ලක් නොකළ යුතුය. විශේෂයෙන් නේපාලයේ ගුර්කා වැනි ගෝත්‍රවල යුද නිපුණත්වය හා වීරත්වය අදටත් නොනැසී පවතින්නකි.
https://en.wikipedia.org/wiki/Gurkha


සංඛ්‍යාත්මකව ගත්විට ඉන්දියානුවන් මිලියන 1.25 ක් යුද්ධයට සම්බන්ධව තිබූ අතර ඒ අතුරින් 70,000 ක පිරිසකට නැවත සිය රටට නිරුපද්‍රිතව පැමිණීමේ වරම අහිමිව තිබුනහ.

මෙලෙස තමන්ගේ වාසියට යටත්විජිත වල විවිද ජාතිකයන්, විවිද ආගමිකයන් බදවා ගත්තද පක්‍ෂපාතීත්වය පිළිබදව කුකුසක් පැවතුනි. විශේෂිතම කරුණක් වන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත්විජිත හමුදා බලයේ වැඩි පිරිසක් මුස්ලිම් මිනිසුන්ය. 1914 ඔක්තෝබරයේ තුර්කියද පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමග මෙම මුස්ලිම් ජාතිකයන්සේම මුස්ලිම් ජාතිකයන් වූ තුර්කින් හා යුද වැදීම පිළිබදව විවිද මතභේදයන් ගොඩනැගෙමින් පැවතුනි. එසේම තුර්කියද යුරෝපීයන්ට එරෙහි ජිහාඩ් යුද්ධයකට එක්වන ලෙස විවිද රටරටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියද එහි ප්‍රතිඵල අල්ප විය.

මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පසුව ලෝක සිතියමේ වෙනස්කම් සිදුවූ මැදපෙරදිග ගැනද යමක් කිව යුතුය. සියවස් ගණනකට පෙර අරාබි ගෝත්‍ර මෙම කලාපයේ බලය පතුරුවා ගෙන සිටියත් පසුව මෙම කලාපයේ බලය අධිරාජ්‍යයක් ලෙස ලබා ගෙන සිටියේ තුර්කි ඔටෝමන්වරුය. තුර්කිය යුරෝපීය රටක් වුවද ඉස්ලාමීය රටක් ලෙස පැවතීම. ජෙරුසලම වැනි කතෝලිකයන්ට ඉතා වැදගත් ස්ථාන අත්පත්කර සිටීම, යුරෝපයට ඉස්ලාමීය බලපෑම සියවස් ගණනක් පුරා දැඩි ලෙස එල්ල කිරීම මෙන්ම යුද්ධයේදී ජර්මන් පාර්ශවය ගැනීම වැනි කාරණා රැසක් නිසා තුර්කි අධිරාජ්‍යය දියකර, එය කැබල කර තමන්ට හිතවාදී ලෙස මැදපෙරදිග පාලනයක් ඇති කිරීම යුරෝපීය රටවල අභිලාශය විය. ඒ සදහා සාමප්‍රධායික ගොඩබිම්, මුහුදු ආක්‍රමණය මෙන්ම ගරිල්ලා යුද මෙහෙයුම් සහ විවිද කැරලි මගින් තුර්කි පාලනය අසමතුලිත කිරීමේ ව්‍යාපාරයක්ද මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපීය රාජ්‍යයන් මෙම අවස්ථාවේ දියත් කර තිබුනෝය.

“Lawrence of Arabia” මේ නාමය ඉතිහාසය පිළිබදව තතු දත්තන්ට අමුත්තක් නොවන අතර විවිද චිත්‍රපටි පවා මෙම චරිතය පදනම් කරගෙන ගොඩනැගුනි. මෙලෙස හැදින්වූවද මෙම නිලධාරියාගේ සත්‍ය නාමය Thomas Edward Lawrence වන අතර ඔහු යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට මැදපෙරදිග පුරාවිද්‍යාඥයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ප්‍රදේශය පිළිබදව තිබූ දැනුම නිසා යුද්ධය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස කයිරෝවේ සේවය කරන ලදි.  1916 දී ඔහුව අරාබියට පිටත් කර යවන ලද අතර තුර්කින්ට එරෙහිව කැරලි ගැසූ එමීර් ෆයිසාල් හට අවශ්‍ය සහය ලබාදීම සහ එමීර්වරයා හා බටහිර සමග සම්බන්ධීකරන කටයුතු මෙහෙයවනු ලැබුවේද Lawrence  විසිනි.




ප්‍රංශයේ යුද අගල් වල මඩගොහොරු සේම කාන්තාරයේ යුද ගැටුම්ද යුරෝපීය හමුදාවන්ට පීඩා රැසක් ගෙනදුන්නෝය. විශේෂයෙන් අධික උනුසුම සේම ජල හිඟතාවයත්, මැසිමදුරු ආදී සතුන්ගෙන් වන පීඩාද දරා ගැනීමට සිදුව තිබුනි. කෙසේවෙතත් මේ පීඩා හා කැපකිරීම් යනාදියද සමග යුද්ධයේ අවසානය වන විට තුර්කිය යටත්කර ගැනීමට බටහිර යුරෝපීය ජාතීන් සියවස් කිහිපයකට පසු සමත්ව සිටියෝය.


Wednesday, November 9, 2016

මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"...

මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ. 

දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙන පෝස්ටර් ව්‍යාපාරයක් දියත්වුනා. මෙන්න අමතක නම් එය.

මේ වගේම පෝස්ටර් ව්‍යාපාරයක් ඇමරිකාවෙත් ක්‍රියාත්මක වුනා. එම රුව ඊට අමතරව අද දක්වා විවිද අවස්ථාවල විවිදාකාරයෙන් දක්නට ලැබෙනවා. ඒ තමයි ඔබ හොදින් හඳුනන Uncle Sam නම් රූපය. මේ රූපය ඇත්තටම සැබෑ පුද්ගලයෙකුගේ රූපයක්. වෙනත් විදියට කියනවා නම් මෙය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා තමන්ගේම රූපය තමයි මේ දක්වා තිබෙන්නේ. චිත්‍ර ශිල්පියාගේ නම Montgomery Flagg. මෙම පෝස්ටර් ව්‍යාපාරයේ ඔවුන් යොදා ගත් යෙදුම තමයි "මට ඔබව ඇමරිකානු හමුදාව සදහා අවශ්‍යයයි".  

ඒ වගේම ඇමරිකානු කොල්ලන් එරට නාවික හමුදාවට බදවා ගැනීමට දියත් වුන ප්‍රචාරක ව්‍යාපාරයේදී මේ වගේ පෝස්ටරයකුත් දකින්නට තිබුනාළු.

වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා ගැනත් සදහන් කළා. තවදුරටත් පවසනවානම් මෙතුවට එම නිලයට පැමිණි පුද්ගලයන්ගෙන් උගත් හා බුද්ධිමත් කමෙන් වැඩිම පුද්ගලයා ලෙසටත් හදුන්වන්නට පුළුවන්. එයට හේතුව තමයි ඔහු තමයි මෙතෙක් ජනාධිපතිකමට පත්වූ එකම ආචාර්යය උපාධිය හිමි තැනැත්තාවීම. සැබැවින්ම ඥානාන්විත විදියට යුද්ධයට අනවශ්‍ය ආකාරයට මැදිහත්වීමකින් තොරව තවත් කරන්නට දෙයක් නොමැතිම කළ එයට මැදිහත්වූ ආකාරය පෙර ලිපියකදීත් සදහන් කළා. තවෙකක් තබා තවදුරටත් මෙවන් යුද්ධයක් ඇති නොවීමට ජාතීන්ගේ සංවිධානය නම සංවිධානයක් බිහි කිරීමට පුරෝගාමී වී එයට වැඩි ඇමරිකානු දායකත්වයක් ලබා දීමට රට අභ්‍යන්තරයේ පුද්ගලයන්, ආයතනික ව්‍යුවහය සම්බන්ධ කිරීමට දැඩි උත්සාහයක් ගත්තත් ඇමරිකාව තුලින් ඔහුුට එතරම් සහයක් නොලැබීම දෙවන ලෝක යුද්ධය හා එයට පෙර ඇතිවූ විවිද ව්‍යාකූල තත්ත්වයන් ඇතිවීම වලක්වාගැනීමට තිබූ ඉඩකඩ අහුරන්නට හේතුවුනා. කෙසේනමුත් යුරෝපයට හා සමස්ථ ලෝකයට යම් කිසි සාමයක් ගෙන එන්නට ඔහු කළ දායකත්වය අගයන්නට 1919 දී ඔහුට නොබෙල් ත්‍යාගය ලබා දීමෙන් අගය කළ බවත් පැවසිය යුතුයි.





වුඩ්රෝ විල්සන් ජනපතිවරයාගේ ජීවිත ගමන් මග මෙසේය.




මෙන්න මේ වගේ මෙවලම් තමයි ඇමරිකානු පාබල හමුදා සෙබලෙකු සතුව තිබී තිබෙන්නේ.

මේ යුද්ධයේ උච්චතම අවස්ථාවක කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවක් වගේම යුද්ධයේ දක්‍ෂකම් පෙන්වූවන්ට ලබා දුන් සම්මානයක්.

එවකට යුරෝපයේ රටවල් බොහොමයකට යටත් විජිත තිබුනා වගේම දහනම වන සියවසේ හා විසිවන සියවසේ මුල්ම අවධියේ යුරෝපාකරයේ රටවල් අසල්වැසි රටවල් සමග විවිද අවස්ථාවල යුද වැදී තිබුන නිසා එම හමුදාවල සෙබළුන් තමන් උපන් ප්‍රදේශයෙන් වගේම උපන් රටෙනුත් විවිද අවස්ථාවල බැහැරව ගොස් තිබුනා. එත් ඇමරිකානු සෙබළුන් බහුතරයකට එවැනි අත්දැකීමක් ලැබී තිබුනේ නැහැ. ඔවුන් බොහෝමයක් තමන් උපන් නගරයෙන්වත් පිටතට ගොස් නොතිබුන නිසා ඔවුන්ට සිය සමීපමතයන්ගෙන් දුරස්වීම සෑහෙන්න දැනෙන දෙයක් වුනා. 

තවත් අතකින් ඇමරිකානු සොල්දාදුවන් සේවයේ යෙදෙව්වේ ප්‍රංශයේ නිසා, තමන් කතා කළ ඉංග්‍රීසි බස නොව ප්‍රංශ බස කතාකරන මිත්‍රපාර්ශවික සෙබළුන් සමග ගැවසෙන්නට වීම නිසා අදහස් හුවමාරුවටත් බාධාවක්ව තිබුනා. මේ නිසා තමන්ගේ ගෙවල්වලට නිරතුරු ලියුම් ලිවුවා වගේම, තම හිතවතුන්ගෙන්, ගෙදරින් එන ලියුම්,  පින්තූර සහිත තැපැල්පත් මෙන්ම එවන කෑමබීම වලටත් ඔවුන් දැඩි ලෙස ඇළුම් කළා.

ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වීමට මුල්වූ ප්‍රධානතම හේතුව වූයේ ලුසිතානියා නෞකාව විනාශ කිරීමට ජර්මනිය ක්‍රියාකිරීමයි. මේ එදා අවසාන වතාවට නිව්යෝර්ක් වරායෙන් එම නෞකාව ගමන් ආරම්භ කරන මොහොතයි.

මේ එම නෞකාවේ තිබූ ජීවිතාරක්‍ෂක මෙවලමක්.

1914 වන විට ඇමරිකාවේ මුළු ජනගහනය මිලියන 100 ක් ලෙස යයි පවසන අතර තවත් විදියකට කියනවා නම් කෝටි 10 ක්. ඒත් මෙතරම් ජනගහනයකට සිටි නිත්‍ය යුද හමුදාව 100,000 කට යන්තම් වැඩියයි කියුවොත් සමහරවිට ඔබ විශ්වාස කරන එකක් නැතුව වෙන්න පුළුවන්. එවකට දුර්වල හමුදාවක් ලෙස සැලකුන බෙල්ජියම් හමුදාව පවා මෙම හමුදාව මෙන් තුන්ගුණයක් වුනා. එත් ඇමරිකාව සතුව කාලයට ඔබින නවීන අංගෝපාගයන්ගෙන්ද යුතු උපකරණද ඇති ශක්තිමත් නාවික හමුදාවක් තිබූ බව පැවසිය යුතුයි. එවන් ශක්තිමත් නාවික හමුදාවක් පවත්වාගැනීමටත් හේතු තිබුනා. තමන්ගේ මුහුදුබඩ දේශසීමාව රැකගැනිම, නාවික වෙළඳ මාර්ගය ආරක්‍ෂා කරගැනීම මෙන්ම ශක්තිමත් නාවිත හමුදාවක් ඇත යන අන්තර්ජාතිකව ඇති පිළිගැනීම තබා ගැනීමටත් මෙම ප්‍රභල නාවික හමුදාවක් පැවතීම උපකාරීවූවා.

යුද්ධයට සම්බන්ධ නොවී මැදහත් ස්ථාවරයක සිටින්නට ඇමරිකාවේ ජනගහනය විවිද ජාතීන්ගේ සමන්විත වීමද බලපෑවා. ඇමරිකාවේ පාලන තන්ත්‍රය බ්‍රිතාන්‍ය සම්භවයකට උරුමකම් කියූ ප්‍රභූවරුන්ට හිමිවූවත් ජනගහනයෙන් 10% ක් පමණ වූයේ ජර්මානු සම්භවයක් යුතු ජනතාවයි. තවෙකක් තබා ස්කැන්ඩිනේවියානු රටවලින් පැමිණි බොහෝ ජනයාද ජර්මානු සම්භවයක් යුතුවූ බව තහවුරුව තිබුනා. යුද්ධයට ඇමරිකාව සම්බන්ධ විය යුතු යයි ප්‍රභල හඩක් නැගුවේ අයර්ලන්ත සම්භවයක් තිබූ ජන කොටස බවද පැවසෙනවා.

පළමු ලෝක යුද්ධය අවධිය වන විට විට ඉතා ශක්තිමත් ආර්ථිකයක් ඇමරිකාවට හිමිව තිබූ අතර ලෝකයේ කාර්මික අංශයේ 1/3 ක් ඔවුන් සතුවූවා. එසේම ආහාර හා අනෙකුත් විවිද මූල ද්‍රව්‍ය වල විශාල නිෂ්පාදන හිමිකාරීත්වයක් ඔවුන් සතුවූවා. මේ විශාල සම්පත් ප්‍රමාණය යුද්ධය කරගෙන යාමට මිතුරු පාර්ශවයට මෙන්ම අක්‍ෂ බලවතුන්ට අවශ්‍යව තිබුනා. බ්‍රිතාන්‍ය විසින් ජර්මනියට නාවුක සැපයුම අවහිර කර තිබූ නිසා ජර්මනියෙ ඒජන්තවරු වෙනත් මැදිහත් රටවල් ඔස්සේ භාණ්ඩ ඇමරිකාවෙන් මිලදී ගෙන වක්‍රාකාරව ජර්මනියට ලැබීමට සලස්වාතිබූ බවද පැවසිය යුතුයි. එහෙත් එයින් එතරම් වැඩි වාසියක් ජර්මනියට අත්වූයේ නැහැ. ජර්මනියට ඇමරිකාවෙන් ඍජුව වෙළදාම කරගෙන යාමට නොහැකිවූවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද්ධයට මෙන්ම රටට අවශ්‍ය විවිද දේ ඇමරිකාවෙන් මිලදී ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. එයටත් වඩා වැදගත් කාරණයක් වූයේ මිතුරු-සතුරු දෙපාර්ශවයටම ඇමරිකානු බැංකු ණය ලබාදී තිබූ අතර එයින් වැඩි ණය ප්‍රමාණයක් ලබා දී තිබුනේ මිත්‍ර පාර්ශවයටයි. මේ නිසා මිතුරු පාර්ශවය ජය නොගතහොත් එයින් ඇමරිකානු ආර්ථිකයට වන බලපෑම ඉතා හානිකර වීමට ඉඩ තිබු බවද පැවසිය යුතුය.

යුද්ධයත් සමග 1915 වන විට ඇමරිකානු අපනයනය කිහිපගුණයකින් වැඩිවූ අතර මේ වැඩිවීමට හේතුව මිතුරු පාර්ශවයේ රටවලට අවශ්‍ය ද්‍රව්‍ය නැව් මගින් යුරෝපයට යැවීම නිසා බව ඇමරිකාවේ සිට ජර්මන් ඔත්තුකරුවන්ට රහසක් නොවීය. මේ නිසා මෙලෙස යුරෝපයට බලා යෑමට නියමිත තොග ගබඩා කර තිබූ ගබඩා, නැව් යනාදිය ගිනිබත් කළ අවස්ථා බොහෝය. මේ තත්ත්වය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින්ද කිහිපවිටකම ඇමරිකාවට දැනුම් දෙන ලදි.

සීමාවන්ගෙන් තොර නාවික පහරදීම් ජර්මනිය නිවේදනය කළ අවස්ථවේද එය ඇමරිකානු නෞකාවන්ට බලනොපාන නීතියක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ජර්මනිය හා සමථයකට පත්වීමට උත්සහ දැරූවද එය ජර්මනිය විසින් ඉවත ලන ලදි. වුඩ්රෝ විල්සන් ජනපතිවරයාට පළමු ලෝක යුද්ධයට මහ පරිමාණයෙන් සම්බන්ධ නොවී සිටීමට වැඩි උවමණාවක් තිබූ අතර ජර්මනියේ තර්ජනයට විසදුමක් ලෙස මුල් අවස්ථාවලදී ඇමරිකානු වෙළඳ නැව් වලට අවි සවි කොට අවශ්‍ය වෙතොත් පමණක් භාවිතා කිරීමට කටයුතු යෙදීම යෝග්‍ය යැයි ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයටද යෝජනා කළේය.

1917 ජනවාරි 16 වනදා ජර්මන් විදේශ ලේකම් Arthur Zimmermann විසින් මෙක්සිකෝවේ ජර්මන් තානාපතිවරයා වෙත යවන ලද විදුලි පණිවිඩයකින් කියවුනේ මෙක්සිකෝවට යුද ආධාර ලබා දීමට සූදානම් බවට යෝජනා කරන ලෙසත් එමගින් තමන්ට පක්‍ෂව හා ඇමරිකාවට එරෙහිව ක්‍රියාකරන ලෙස සහ එයට තුටු පඬුරු ලෙස ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්, එනම් ටෙක්සාස්, නිව් මැක්සිකෝ සහ ඇරිසෝනා යන ප්‍රාන්ත මෙක්සිකෝවට ලබා දෙන බවත්ය. මේ රහස් පණිවිඩය බ්‍රිතාන්‍ය නාවික ඔත්තු සේවා විසින් decrypted කරගන්නා ලද අතර පෙබරවාරිය වන විට ඔවුන් විසින් ඇමරිකානු බලධාරීන්ට මේ බව දැනුම් දෙන ලදි. එහෙත් මුලින් ඇමරිකානු ආරක්‍ෂක අංශ සහ ඉහල දේශපාලන අධිකාරිය මෙය බොරුවක් ලෙස විශ්වාස කරන ලදි. එහෙත් අවසානයේ මෙම පණිවිඩයේ හිමිකාරිත්වය එනම් පණිවිඩය එවූ Arthur Zimmermann විසින්ම මෙය පිළිගත් පසුව ඇමරිකාවට මෙම පණිවිඩයේ බැරෑරුම්කම වැටහෙන්නට විය. මෙය සත්‍යක් බව දැනගත් විට ඇමරිකානු ජනමාධ්‍ය හරහා රටපුරා ක්‍ෂනයකින් මහජනතාව දැනුවත් වූ අතර ඒ වනතෙක් ජර්මනියේ පාර්ශයවය වෙනුවෙන් හිතවාදීව සිටි ජර්මානු සහ ස්වීඩන් සංක්‍රමණිකයන්, බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කර ඇමරිකාවේ විසූ බ්‍රිතාන්‍ය විරෝධී අයර්ලන්ත වැසියන් පවා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයට විරෝධය පෑම ආරම්භ කළ අතර මිතුරු පාර්ශවය වෙනුවෙන් යුද්ධයට එළඹිය යුතු බවද ඇදහූහ.

එසේම ඇමරිකාව යුරෝපයේ සිදුකෙරුණ මෙම විනාශකාරී යුද්ධයට සම්බන්ධවීමට තවත් හේතුවක් විය එනම් 1917 මුල් කාලය  විට රුසියාවේ සාර් පාලනය බිදවැටීමත් සමග යුද්ධයට රුසියානු දායකත්වය තවතවත් දුර්වල වීම සහ දේශපාලනික මතිමතාන්තරවල සිදුවෙමින් පැවති වෙනස්කම් මිතුරු පාර්ශවයන්ට හිතකර නොවන ලෙස නිර්මාණය වීමද තවදුරටත් අහකබලාගෙන සිටීමේ ප්‍රතිපත්තියෙන් ඇමරිකාව ඉවත්වීමට තවත් කාරණයක් විය.

යුද්ධයට ඇමරිකාව සම්බන්ධව තිබීම තමන්ගේ යුද ක්‍රියාකාරීත්වයට හිතකර නොවන බව වටහා ගත් ජර්මනිය 1917 ඔක්තෝබරයේදී සටන් විරාමයකට එකඟත්වයක් පළ කළත් ඒ වන විට ඔවුන් ප්‍රමාද වැඩි වී තිබුනි.

1917 අප්‍රේල් 06 වන දා පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූවත් මෙවන් විශාල පරිමාණයේ යුද වාතාවරණයට මුහුණ දීමට තරම් සූදානමක් ඇමරිකාව සතුව නොවීය. විශාල ප්‍රමාණයේ හමුදාවක් මෙන්ම විශාල සම්පත් ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුලත ගොඩනංවා ගැනීම හා කළමනාකරණය කර ගැනීම අත්‍යාවශ්‍ය විය.

120,000 ක් පමණ වූ කුඩා හමුදාව විශාල කරගත යුතුව තිබූ අතර අනිවාර්යය යුද සේවාවක් සදහා ඇමරිකානු පුරවැසියන් කැඳවීම ඒ වන විට තිබූ ව්‍යවස්ථාව අනුව පුද්ගල නිදහසට එරෙහිව යාමක් විය. අනෙක් අතින් මහා පරිමාණ යුද්ධයකට බැහැරව යන හමුදාවට අවශ්‍ය අවි ආයුද, රථ වාහන, අනෙකුත් යුද මෙවලම් සහ විවිද කාර්යයන්ට අවශ්‍ය මෙවලම්ද කෙටිකලකින් හා විශාල පරිමණයෙන් නිෂ්පාදනය සදහා කර්මාන්ත ශාලා සදහා පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයද අධික විය.

මේ නිසා හමුදාවට අවශ්‍ය පිරිස ස්වේඡාවෙන් බඳවා ගැනීමට උත්සහ දැරුවත් 1917 අප්‍රේල් අග වන විට බැදුන සංඛ්‍යාව 97,000 ක් තරම්විය. මෙය ප්‍රමාණවත් නොවන බව හා තවදුරටත් ස්වේච්ඡාවෙන් බදවා ගැනීම සාර්ථක නොවන බව වටහා ගත් පාලනාධිකාරිය 1917 මැයි 18 වනදා සම්මත කර ගත් The Selective Service Act නම් නීති ප්‍රතිපාදනය ඔස්සේ මෙම බදවා ගැනීම් නීත්‍යානුකූලවම අනිවාර්යය සේවාවක් නියම කරගැනීම තුලින් අපේ්‍ක්‍ෂා කළේය.  මේ අනුව අවු.21 සිට 31 දක්වා වූ සියළු ඇමරිකානු පිරිමි ලියාපදිංචි වීම අනිවාර්යය වු අතර ඒ අතරින් සුදුස්සන් හමුදාවට හෝ කර්මාන්ත ක්‍ෂෙත්‍රය සදහා බදවා ගැනීම අරමුණ විය. පසුව මෙම වයස් සීමාව අවු. 18 සිට 45 දක්වා පරාසයකින් වැඩි කළහ. මෙම බදවා ගන්නා හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමට රටපුරා හමුදා කඳවුරුද ස්ථාපිත කරන ලදහ.

සුදු කළු භේදය නිසා හමුදාවට කළු ජාතිකයන් බදවා ගැනීමට සීමා පැවතින. කළු ජාතිකයන් වැඩිපුර යොදා ගත්තේ හමුදාවේ සේවා සැපයිම් වැනි අංශ වලට වූ අතර සන්නද්ධ අංශ සදහා බදවා ගැනීම සාපේක්‍ෂව ඉතා අඩු අගයක් ගත්තේය. සන්නද්ධ කළු ජාතික හමුදා සෙබළුන් ප්‍රචණ්ඩව සුදු ජාතිකයන්ට පහර දීමට හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට නැඹුරුවේය යන බියද විය. එහෙත් ඒ වන විටත් ප්‍රංශයේ, ප්‍රංශ හමුදාවත් සමග එක්ව ස්වේච්ඡාවෙන් සටන් වදින කළුජාතික සේනාංකයන් කිහිපයක්ද විය. එසේම මෙම ස්වේච්ඡා භටයන් අතර ගුවන් යානා පැදවීමේ හැකියාව සහ දක්‍ෂකම් පෙන්වූ කළුජාතිකයන්ද විය. එහෙත් යුද්ධයෙන් පසුව ඇමරිකාවේ නිත්‍ය ගුවන් හමුදා භටයෙකු වීමට ඔවුන්ගේ හමේ පැහැය තවදුරටත් බාධකයකව පැවතුනි.

තවද සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත් සේනාංක වලින් වෙන්කොට වෙනම සේනාංක ලෙස කළු ජාතිකයන් සිටි සේනාංක පවත්වාගෙන යාමද ප්‍රතිපත්තිය විය.

මුලින්ම කාන්තාවන් යුද හමුදාවට සම්බන්ධ වූයේ හෙදියන් ලෙස වුවත් පසුව සේවා සැපයීම අංශ සදහා දකාන්තාවන්ද හමුදාවට බදවා ගත්හ.


ඇමරිකානු පුරවැසියන් බහුතරයක් මේ වන විට යුද්ධයට පක්‍ෂපාතීව සහය දෙමින් සිටියත් අතලොස්සක් විරුද්ධව සිටිහය. යුද්ධයට ඇමරිකාව මැදිහත් වීම විවේචනය කරමින් සහ ආණ්ඩුව විසින් නියම කළ ලියාපදිංචි වීමෙන්ද බැහැරව සිටි පිරිසක්ද වූහ. මෙම පිරිස කෙරේ ආණ්ඩුවේද අනුකම්පාවක් නොවූ අතර ඔවුන් කෙරේ අනුගමනය කරන ප්‍රතිපත්තිය දැඩි කරමින් 1917 ජුනි මාසයේදී සම්මත කරගත් Espionage Act නම් වූ නීතියක් ඔස්සේ ආණ්ඩුවේ යුද මැදිහත්වීමට එරෙහිව ක්‍රියාකරන්නන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු යොදන්නට වූහ.

යුද්ධයක් සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යාමට ආර්ථිකයද ශක්තිමත්ව පැවතීම අනිවාර්යය කරුණකි. තවද යුද්ධයක් සමග ඇතැම් නිෂ්පාදන ව්‍යාපාරයන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වීමද ස්වභාවිකය. උදාහරණයක් ලෙස යුද බිමේද නිරතුරුව භාවිතා කරන වෙඩි උණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍ර ලෙස වැඩි දියුණු විය. එසේම රටපුරා විහිදුන දුම්රිය මාර්ග හා වරාය, නෞකාංගන රජයේ පාළනයට නතුකර ගත්හ. විදේශයන්ගෙන් සිදුකරන ආනයන කටයුතුද වැඩි වූ අතර ඉන්ධන සහ ආහාර නිෂ්පාදනය හා ගබඩා කිරීමද කිහිප ගුණයකින්ම වැඩිවිය. ගුවන් සටන්වල ආරම්භක අවධියක් වූ එම කාලයේ ගුවන් යානා නිෂ්පාදනය විශාල වශයෙන් දියුණුවට පත්නොවූවත් යම් වර්ධනයක් පෙන්නුම් කළේය. රජය සතුව තිබූ මුදල් යුද්ධය සදහා ප්‍රමාණවත් නොවූ නිසා නව බදු පැනවීමෙන් රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු යෙදුන අතර දේශප්‍රේමී ජනතාව විසින් ප්‍රධානය කරන මුදල් "liberty bonds" නම් වූ පදනමකට බැර කිරීමට අවස්ථාව සලසා දුන් අතර එමගින් බිලියන 21 තරම් මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට රජය සමත්විය.

තවත් කාරණා ඉදිරි ලිපියකදී සොයා බලමු...

Wednesday, November 2, 2016

ඉතාලි යුද පෙරමුණ (Italian Front)

පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය මිත්‍ර පාර්ශවයේ කොටස්කරුවෙකු ලෙස යුද්ධයට එක්වූ අතර යුද්ධයේ මුල් අවධියේ ඔවුන් පැත්තක් නොගෙන සිටියත් 1882 දී ජර්මනිය, ඔස්ට්‍රියාව යන අධිරාජ්‍යයන් සමග ගිවිසුමකට එළඹ සිටියහ. එහෙත් ඉතාලියේ බහුතරයක් මෙම තෛපාර්ශවියක ගිවිසුමට මනාපයක් නොවූ අතර ඒ යාබද ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය චිරාත්කාලයක් පුරා තම සාම්ප්‍රධායික සතුරෙකු ලෙස සැලකූ හෙයිනි. තවද ඉතාලි හමුදා දුර්වල හමුදා බලයක් සහිත හමුදාවක් වූ අතර 1911-1912 අතර තුර්කිය හා සටන් වැදුන අවස්ථාවේ එය වඩාත් හොදින් තහවුරු විය. තවද මෙම තුර්කිය හා යුද වැදීම ඉතාලි ආර්ථිකයද දුර්වල කිරීමට හේතුවී තිබුනි.

1915 මැයි 23 දා එනම් මාස කිහිපයක් යුද්ධය ඇදී ගිය තැන පැත්තක් නොගෙන සිටි ඉතාලිය යුද්ධයට එක්වූයේ තම අසල්වැසියා වූ ඔස්ට්‍රෝ-හන්ගේරියා අධිරාජ්‍යය ආක්‍රමණයෙනි. මෙහිදී ඔවුන්ගේ වඩාත්ම අවශ්‍යතාවය වූයේ ඇතිව තිබෙන යුද වාතාවරණය ප්‍රයෝජනයට ගෙන යාබද රාජ්‍යයෙන් තව බිම් ප්‍රමාණයක් තමන් යටතට ගැනීම එවකට ඉතාලි අගමැති Antonio Salandra බලාපොරොත්තුව විය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ ඉතාලියානුවන් බොහොමයක් එම අත්පත් කරගැනීමට බලාපොරොත්තුවූ බිම් ප්‍රදේශ වල ඔස්ට්‍රෝ-හංගේරියානු පාලනය යටතේ වීමයි. අනෙක් අතින් ඉතාලියද මිත්‍ර පාර්ශයවය කෙරෙහි නැඹුරුතාවයක් වූ අතර මිතුරු පාර්ශවයටද ඉතාලිය යුද්ධයට එකතු කර ගෙන තම පාර්ශවය ශක්තිමත් කර ගැනීමේ අභිලාශයක් විය. ඒ සදහා ඔවුන් සිත් ඇදගන්නා සුළු යෝජනාවක්ද ඉතාලියට කර තිබූ අතර ඒ යම් හෙයකින් යුද්ධයට එක්ව සතුරු පාර්ශවයේ අල්ලා ගන්නා බිම් ප්‍රදේශ ඉතාලිය සතුකර ගැනීමට අනුමැතිය දෙනබවටයි. මේ අනුව මිතුරු පාර්ශවය සමග යුද්ධයට එළඹීමේ ගිවිසුමකටද 1915 අප්‍රේල් 26 වනදා ලන්ඩනයේදී අත්සන් කෙරුන අතර එය Treaty of London ලෙස හැදින්විනි. ගිවිසුම් ප්‍රාකාරව මසක් ඇතුලත ඉතාලිය අක්‍ෂ බලවතුන්ට එරෙහිව යුද වැදිය යුතු විය. එය ඉතාලියට හිතන තරම් පහසු කටයුත්තක් නොවීය.


කෙසේවෙතත් ජර්මනියට, ඉතාලිය මෙම යුද්ධයට එක්විම වැලැක්වීමේ උවමණාව තදින් තිබූ අතර ඉල්ල බිම්කඩ ලබාදී ඉතාලියට ඉන්නා විදියටම ඉන්නට දෙන්නැයි ඔස්ට්‍රෝ-හංගේරියානු බලධාරීන් දන්වා සිටියත් තමන් සතු බිමෙන් සුළු කොටසක් දී එවන් සංහිදියාවකට මනාපයක්ද නොවීය. ජර්මනියේ බලකිරීම් නිසාම අකමැත්තෙන්වුවද 1915 මාර්තු වන විට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයේ පාලනයෙන් යුතු Trentino ප්‍රදේශය ඉතාලියට ලබාදෙන්නට කැමතිවූවත් ඉතාලිය යුද්ධයෙන් ඉවත්කර තැබීමට එය ප්‍රමාද වැඩිවිය.

ඉතාලිය යුද පෙරමුණු දෙකකින් ප්‍රතිවාදියාට එරෙහිව යුද වැදුන අතර ඒ උතුරු හා නැගෙනහිර පැති වලින් ප්‍රහාර එල්ල කරමින්ය. එහෙත් ඉතාලි හමුදා හොදින් යුද්ධයට සූදානමක් හෝ යුද මෙවලම් ආදියෙන්ද ඌනතාවයන්ගෙන් යුතු වූ අතර වසර කිහිපයක් යනතුරුම  කිලෝමීටර් 600 ක් පමණ වූ ඉතාලි-ඔස්ට්‍රියා දේශසීමා ආරක්‍ෂක වලල්ල බිද දමා ඔස්ට්‍රෝ-හන්ගේරියා අධිරාජ්‍යය තුලට ඇතුළු විමේ හැකියාවක් ඔවුන් සතු නොවීය. යුද්ධයේ අවසානතම අවස්ථාවේ, එනම් 1918 ඔක්තෝබරයේදී  Vittorio Veneto සිදූවූ යුද්ධයේදී පමණක් මෙම අරමුණ සඵල කරගැනීමට ඉතාලි හමුදා සමත්වූහ. තවත් අතකින් ඔස්ට්‍රෝ - හංගේරියන් හමුදාවටද තුන්පාර්ශවයක් සමග යුද වැදීමට සිදුව තිබුනි. ඒ යුද්ධයේ ගිනි පුපුරු දැල්වූ සර්බියාව, සර්බියාවේ සහයට ආ රුසියන් හමුදාව සහ දැන් ඔවුන් සමග යුද වදින ඉතාලිය සමගයි. එහෙත් ඔස්ට්‍රෝ - හංගේරියන් හමුදාව කලින්ම යුද්ධයට සම්බන්ධව ඇල්පයින් කඳුකරයේ වැදගත් කපොලු, බාධක, මර්මස්ථාන යනාදී තමන්ට වැදගත් ආරක්‍ෂිත අත්පත් කරගෙන සිටිනිසා ඉතාලියට සාපේක්‍ෂව වාසි සහගත තත්ත්වයක් ඔවුන් සතුවිය.

කෙසේවෙතත් ගිවිසුමේ ආකාරයට ජර්මනිය සමග එක්වරම යුද වැදීමට ඉතාලිය ඉක්මන් නොවූ අතර ජර්මන් හමුදාවන්ට එරෙහිව පහරදීම ආරම්භ කර තිබුනේ 1916 වසරේදීය. 

මෙම ඉතාලියානු යුද පෙරමුණ දෙපාර්ශවයටම අසීරු සහ අවධානම වැඩි යුද පෙරමුණක් වූ අතර අධික ශිතලෙන් යුතු ඉතාලි ඇල්පේනියානු කඳුකරයේ ඒ වෙනුවෙන්ම පුහුණුව ලැබූ හමුදා සෙබළුන් සටන් කළ අතර ඉතා ශීඝ්‍ර බෑවුම්, ඉහළ කඳුගැට අල්ලා ගත් පාර්ශවය විසින් ඇටවූ බර අවි වල ප්‍රහාර, යුද උගුල් මෙන්ම හිටිගමන් හිමකඳු කඩා වැටීම් වැනි ස්වභාවික උපද්‍රව සහ කාලතුවක්කු ප්‍රහාර නිසාද තියුනු ගල් සහිත කඳු මුදුන් කඩා වැටීම නිසා සිදුවන මියයාම් අධික වීම්ද නිසා කාටත් මෙම යුද පෙරමුණ ඉතා අවධානම් සහගත විය.

බර කාලතුවක්කු අවි වල හිඟතාවයක් ඉතාලි හමුදා සතුවූවා සේම ශීතල හිම ශිකරයන්හි සටන් වල කෙළපැමිණි ඇල්පයිනි සහ Bersaglieri සේනාංක යුද්ධයෙන් නිපුනයන් වුවද මෙම හමුදාවේ අනෙක් සෙබළුන් අඩු පුහුණුවක් ලැබූ සාමාන්‍ය ගම්බද ජනයා විය. ඔවුන් බොහෝමයක් දකුණු ඉතාලියෙන් පැමිණි අය වූ අතරම ඔවුන්ට උතුරු ඉතාලිය පිළිබදව තිබූ හැගීමද අල්පවිය. මේ නිසා ප්‍රධාන යුද භූමියක් වූ Isonzo වැනි යුද පිටි වලදී ඉතාලියට හිමිව තිබුනේ අවාසියමය.


මුලින්ම මෙම පෙරමුනේ සිදුවූ ප්‍රධාන පෙලේ ගැටුම් හතරදී පමණක් ඉතාලි සොල්දාදුවන් 27,000 ක් පමණ මිය ගියත් අල්ලා ගත් බිම් ප්‍රමාණය ඉතා අල්ප විය. තවත් අතකින් යුද පෙරමුණේ ජයට වඩා ලබන පරාජය නිසා දුර්මුඛ වූ ඉතාලි හමුදාපතිවරයා විසින් ජනරාල්වරුන් 217 තරම් විශාල ප්‍රමාණයක් යුද පෙරමුනෙන් නෙරපා දමමින් නව ජනරාල්වරයෙකු, පෙරසිටි කෙනාට වඩා කෙසේ හෝ ප්‍රගතියක් ලබාගනීදැයි තරයේ අපේක්‍ෂා කළේය. ජනරාල් Luigi Cadorna එවකට ඉතාලි හමුදාවේ හමුදාපතිවරයා වු අතර ඔහු තම සෙබළුන් කෙරෙහි ඉතා තද විනයකින් යුතුව පාළනය කළා වුවද යුද්ධයේ ජය ලැබීමේ ක්‍රමවත් සැලසුම් මූලෝපායන් ආදියෙන්ම නම් අඩු පුද්ගලයෙකු විය.

ඉතාලි හමුදාවන්ගේ නිපුණත්වය නිසා නොව, යුද්ධයේ අවසාන අවධිය වනවිට මිතුරු පාර්ශවයට වාසි සහගත තත්ත්වයක් උදාවීම නිසා ඉතාලි යුද පෙරමුණේ අනපේක්‍ෂිත ජයක් ඉතාලියට සතු වුවද ඔවුන් මෙම යුද්ධයට සම්බන්ධ වීමේදී බලාපොරොත්තු වූ තරම් බිම් ප්‍රමාණයක් සතුකරගැනීමේ හැකියාවක් නොලැබූහ. ඔවුන් ඔස්ට්‍රෝ - හංගේරියන් අධිරාජ්‍යයෙන්, තමන්ට ලබා ගන්නට වූ භූමි ප්‍රමණයන් ඇතැම් විට වෙනත් රාජ්‍යයන් බිහිවීමත් සමග ඒ ඒ රටවල් වලට අයත්විය. 1920 දී අත්සන් කෙරුණ Treaty of Trianon නම් ගිවිසුම මගින් ඔස්ට්‍රෝ - හංගේරියන් අධිරාජ්‍යයෙන් කැබලි වලට කැඩී කුඩා ඔස්ට්‍රියා රාජ්‍යය බිහිවූ අතර යුද්ධයට පෙර මෙම අධිරාජ්‍යය සතුව තිබූ භූමියෙන් 70% ක පමණ ප්‍රමාණයක් රුමේනියාව, චෙකොස්ලෝවැකියාව සහ යුගොස්ලෝවියා යන රාජ්‍යයන්ට බෙදී ගියහ.

මෙලෙස තමන් අපේ්‍ක්‍ෂා කළ තරම් ප්‍රතිඵලයක් නොලැබීම දෙවන ලෝක යුද්ධයේදී ඉතාලිය මිතුරු පාර්ශවය හැරදා අක්‍ෂ බලවතුන්ගේ පාර්ශවය ගැනීමට එක් හේතුවක් ලෙසද සැලකේ.

Monday, October 24, 2016

පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්...

අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය පිළිබදව කතාකරන්නේ අඩුවෙන්දැයි එක් වෙලාවකට සිතේ. 

පළමු ලෝක යුද්ධයදී රුසියාව හා පසුව 1916 අගෝස්තුවේදී රුමේනියාවද නැගෙනහිර යුද පෙරමුණෙන් රුසියාවට සහයට එක්වූ අතර පළමු ලෝක යුද්ධයේදී රුසියාවේ පමණක් මිලියනයක පමණ මිනිසුන් ප්‍රමාණයක් මරුමුවටත්, මිලියනයක පමණ ජනතාවක්, සිරභාරයටත් පත්වූහ. රුසියානුවන්ට මෙය වෙනමම යුද්ධයක් වූයේය. ඔවුන් මෙය පීතෘ භූමියේ දෙවන යුද්ධය ("Second Fatherland War")ලෙසටත්, තවත් වරෙක දෙවන දේශමාමක යුද්ධය ("Second Patriotic War")ලෙසටත් හැදින්වූහ. (මෙම සංඛ්‍යා දත්තයන් එක් ඒක් මූලාශ්‍රවල පරස්පරයන් තිබෙන අතර නැගෙනහිර යුද පෙරමුණේ නිශ්චිතවම කොපමණ සංඛ්‍යාවක් මියගියාදැයි නිවැරදි දත්ත නොමැති බවක්ද පැවසේ),



මිතුරු පාර්ශවයේ ප්‍රධාන යුද වදින්නන් වූ මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයට අමතරව ඔවුන්ගේ යටත්විජිතවලින්ද පැමිණි හමුදාවන් වූයේය. තවද යුද්ධයේ අවසාන භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයද ඔවුන්ගේ සහයට පැමිණි අතර රුසියාවත් දෙවනුව ඔවුන්ගේ සහයට පැමිණි රුමේනියාවත් පමණක් ඔස්ට්‍රෝ-හංගේරියන් අධිරාජ්‍යය, ජර්මන් අධිරාජ්‍යය, බල්ගේරියාව හා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය යන සියල්ල සමග උතුරින් බෝල්ටික් මුහුදත්, දකුනින් කළු මුහුදත්, නැගෙනහිර යුරෝපයේ වැඩි භූමි ප්‍රමාණයක් සහ මධ්‍යම යුරෝපයේදීද බොහෝදුරකට වන්නට යුද වැදුනහ. ඒ අතින් ගත්කල වැඩියෙන්ම කතා කරනා බටහිර යුද පෙරමුණට ඇතුලත් වූයේ ප්‍රංශයේ සහ බෙල්ජියම යන භූමියන්ගේ යුද වැදීම පමණකි. 

යුද්ධය ආරම්භ වූ මුල් මාස කිහිපයේදී එවකට රුසියන් අධිරාජ්‍ය හමුදාව ලෙස හැදින්වූ රුසියානුව හමුදාව ජර්මනියේ එක් ප්‍රාන්ත රාජ්‍යයක් වූ ප්‍රසියාවේ නැගෙනහි ප්‍රසියාව ආක්‍රමණයට කිහිපවිටකම උත්සහ දැරූ අතර ඔස්ට්‍රියාවේ නගරයක් වන ගැලිසියාව යටත් කර ගැනීමට සමත්විය. එහෙත් ජර්මන් හමුදාවේ නැගෙනහිර යුද පෙරමුණ භාරව සිටි සුප්‍රකට ජර්මන් ෆීල්ඩ්මාර්ෂල්වරයා වූ පෝල් වොන් හින්ඩන්බර්ග් සහ ඔහුගේ කණිටු නිලධාරී ජනරාල් එරික් ලුඩෙන්ඩෝර්ෆ් ගේ යුද සැලසුම් සහ උපක්‍රම නිසා අවසාන වශයෙන් සිදුකළ ටැනන්බර්ග් යුද්ධයේදී රුසියාවට අතිදැවැන්ත හානියක් සිදුවිය.



මෙහිදී 13,873 ක ජර්මානු සොල්දාදුවන් පිරිසක් මරුමුවට පත්ව හෝ තුවාල ලබද්දී, 78,000 ත පමණ රුසියානු සොල්දාදුවන් මරුමුවට පත්ව හෝ තුවාල ලැබූහ. එපමණක් නොව 92,000 ක පමණ රුසියානු සොල්දාදුවන් පිරිසක් යුද සිරකරුවන් ලෙස සිරභාරයට ගැනීමටද ජර්මන් හමුදා සමත්වූහ. තවද රුසියානු පළමු හමුදාවේ විශාල ප්‍රමාණයක් හානියට පත්වූ අතර දෙවන හමුදාව සහමුලින්ම වාගේ මෙම යුද්ධයේදී (ටෙනන්බර්ග් යුද්ධය - https://en.wikipedia.org/wiki/Battle_of_Tannenberg) විනාශ වූ බව පැවසේ. එම රුසියානු දෙවන හමුදාව භාරව සිටි ජනරාල් Aleksandr Vassilievich Samsonov  තම හමුදාව ලැබූ විනාශය හමුවේ සියදිවි නසාගත් බවද පැවසිය යුතුය.


තවද මෙම පරාජයන් හමුවේ රුසියානු හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ Grand Duke Nicholas සේවයෙන් ඉවත් කර තමන්ම රුසියානු හමුදාවන්ට අණදීමේ රාජකාරිය එදා රුසියානු රජු වූ දෙවන නිකලස් සාර් රජු විසින් භාරගත්හ. මෙම සේවයෙන් ඉවත් කළ Grand Duke Nicholas, රජුගේ මාමා කෙනෙකුද විය.

ජර්මන් සහයද සහිතව ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාව, රුසියානු හමුදා කාපෙන්තියන් කඳුවැටි ප්‍රදේශයෙන්ද පළවා හැරීමට ඉමහත් වෑයමක් දරමින් සිටියහ. ජර්මන් සහය හැරුන කොට ඔස්ට්‍රෝ-හන්ගේරියන් හමුදාවට රුසියානු හමුදා සමග තනිව ගැටීමට තරම් ශක්තියක් නොවීය. ශීතල දේශගුණය ඇති අවස්ථාවේ යුද ගැටුමකට අවශ්‍ය මෙවලම් වල හිඟය, නොපුහුණු හමුදා පිරිස් යනාදිය නිසා ඔස්ට්‍රෝ-හන්ගේරියන් භූමියේ සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව අත්පත් කරගෙන සිටියේය. 1915 මාර්තු 22 දා අවසාන ප්‍රභලම බලකොටුව වූ Przemsyl ද තමන් සතු කරගන්නට රුසියාව සමත්ව සිටියේය. ඔස්ට්‍රෝ-හන්ගේරියන් සොල්දාදුවන් 800,000 ක් පමණ මෙම යුද්ධ වලදී ඔවුනට අහිමිව සිටියෝය.


කෙසේවෙතත් රුසියාවේ මේ ප්‍රහාර මාලාව පාලනය කරගැනීමට ජර්මනිය, ඔස්ට්‍රෝ-හන්ගේරියාව ආරක්‍ෂා කිරීමට යුද බිමට පිවිසීමත් සමග හැකියාව ලැබී තිබුනි. 1915 මැයි 10 වන විට මෙම යුද බිමේ වාසිය ජර්මනිය වෙත නතුකරගනිමින් රුසියානුවන් පසුබස්සනටත්, රුසියානු හමුදා සොල්දාදුවන් 140,000 ක පමණ පිරිසක් යුද සිරකරුවන් ලෙස අල්ලා ගැනීමටත් සමත්ව තිබුනි. තවද ජුනි මාසයේ අගහරිය වන විට අත්පත්කරගෙන සිට ගලිසියාවෙන් පවා ඉවත්වීමට රුසියානුවන්ට සිදුව තිබුනි. 

ජර්මනිය හා ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුද වැදීම මෙන්ම රුසියන් හමුදා ඔටෝමන් තුර්කින්ට එරෙහිවද යුද වැදුනහ. තුර්කිය කාලයක පුරා "යුරෝපයේ රෝගියා" යන අන්වර්ථ නාමයෙන්ද හැදින්වූ අතර සියවස් ගණනක් පුරා ඔවුන් සාම්ප්‍රදායික සතුරන් වූ අතර මේ අවස්ථාවේ එම පැරණි එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මේ දෙපාර්ශවයම කටයුතු යොදමින් සිටියෝය. තුර්කින් පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වූයේ 1914 නොවැම්බරයේ සිට වූ අතර තුර්කි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය සිය ග්‍රහණයට නතුකර ගැනීම රුසියාවේ එක් අරමුණක් විය. එමගින් සිය නෞකාවන්ට කළු මුහුදේ සිට මධ්‍යධරනී මුහුද දක්වා නිරුපද්‍රිතව ගමණාගමනයේ යෙදීමේ අවස්ථාව ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුවිය. තවත් අතකින් බ්‍රිතාන්‍යයට හා ප්‍රංශයටද, තුර්කිය මට්ටු කර මැදපෙරදිග ආධිපත්‍ය වැඩිකරගැනීම එක් අරමුණක් විය.

කෙසේවෙතත් කාලයක් පුරා විවිද පරිවර්ථන, කාර්මික විප්ලවය, ආකල්පය වෙනස්කම් ආදී නොයෙකුත් විපර්යාසයන්ට බදුන්වූ යුරෝපයේ අනෙකුත් හමුදාවන් සමග පෑහීමට ඒ වකවානුව වනවිට තුර්කි හමුදාව අසමත්ව සිටියෝය. ලෝක යුද්ධයට පෙර 1912-1913 අතර සිදුවූ බෝල්කන් යුද්ධයේදී තුර්කි හමුදාවන්ගේ දුර්වලකම් ප්‍රදර්ශනයවන්නට විය. කාර්මික විප්ලවයේ “සුලඟට” වත් හසුනොවී තිබූ දැවැන්ත තුර්කි අධිරාජ්‍යය මහාමාර්ග, දුම්රිය මාර්ගවල හිඟකමින්ද පෙළෙන්නට වූහ. ඒ මොනවා නැතත් තුර්කි හමුදා දැඩි බවකින් හා නොපසුබට වීර්යයෙන් යුතු වූ බවද පැවසිය යුතුය. ඔවුන්ට ජර්මනියේ සහයද ලැබී තිබීම නිසා මෙම යුගයට නොගැලපෙන හමුදාව ශක්තිමත් වීමට හේතුවක් විය. 

ශීතල Caucasus ප්‍රදේශයේදී, 1914 දෙසැ. 21 වෙනිදා තුර්කි හමුදා විසින්, රුසියන් හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි. මෙම ප්‍රහාරය තුර්කි තුන්වන හමුදාව විසින් සිදු කරන ලද අතර පිරිස් බලයෙන් 66,000 ක් පමණ වුවද විවිද කාරණා ඔස්සේ දුර්වල බවෙන් යුතු හමුදා කණ්ඩායමක් වූහ. කඳුකර, හිම සහිත රළු වාතාවරණය මෙම හමුදාවන්ට අභියෝගයක් වූහ. ඔවුන්ගේ අවිආයුදද මෙම පරිසර තත්ත්වයට නොගැලපෙනවා පමණක් නොව ශීතලට ඔරොත්තු දිය හැකි උණුසුමු ඇඳුම් ආදියද හිඟවිය.

රුසියන් හමුදාව 77,000 ක පමණ වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා පිරිස් බලයෙන් හා ශීතල පරිසර තත්ත්ව වලට තුර්කින්ට වඩා හුරු සහ හැඩගැසිය හැකිවූවත් ඔවුන්ටද මෙය පහසු යුද්ධයක් නොවූහ. තම සහයට මිතුරු පාර්ශවයේ බලවතුන් වූ බ්‍රිතාන්‍යයෙන් හා ප්‍රංශයෙන් සහය ඉල්ලා සිටියත් ගලිපොලී යුද්ධය ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූ නිසා රුසියන් සහයට පැමිණීමේ හැකියාවක්ද නොවූයෝය. 

(රුසියාවත් කෙරෙන මේ යුද්ධයට අමතරව, සූවස් ඇල සිය ග්‍රහණයට නතුකරගන්නටද තුර්කිය විසින් 1915 පෙබරවාරි වනවිට යුදවැදීම ආරම්භකර සිටිහය).

කෙසේවෙතත් දෙපාර්ශවයටම දැඩි අභියෝගිකාරී වාතාවරණයක් ඔස්සේ යුද්ධය ඇදී යද්දී තුර්කි හමුදාවන්ට දැඩි හානි ගෙන දෙමින් ඉදිරියට යාමට රුසියන් හමුදා එම වසරේ දෙසැම්බර්වන විට සමත්ව සිටියහ. 1916 ජනවාරි වන විට රුසියන්-තුර්කි සටන් දැඩි බව වැඩිවී තිබුන අතර රුසියන් හමුදාවන්ට මෙම සටන් වලදී අණදීමේ වගකීම පැවරී තිබුනේ ජනරාල් නිකොලායි යුඩෙනිච් හටය. ඔහුගේ නායකත්වය යටතේ රුසියන් හමුදා තුර්කි භූමිය පවා අත්පත් කරගනීමින් සිටි අතර එම වසරේ අගෝස්තු දක්වා රුසියන් හමුදා සාර්ථකව තුර්කි මර්මස්ථාන අත්පත් කරගනිමින් ඉදිරියට ඇදුනහ. එහෙත් අගෝ-සැප්. වන විට රුසියන් හමුදාවන්ට තවදුරටත් ඉදිරියට ගමන්කිරීමේ බාධා ඇතිවෙමින් තිබූ අතර සතුරු ප්‍රතිරෝදයට වඩා තුර්කි භූමියේ ගැඹුරට විහිදී ගිය හමුදාවන්ට සැපයුම් ලබාදීමේ දුශ්කරතාව රුසියන් පාර්ශවයට තිබූ අභියෝගයක් විය.

දේශපාලනික වශයෙන් රුසියාවේ ගොඩනැගෙමින් පැවති විවිද පරිවර්ථනයන්, සැපයුම් මාර්ග වල දුර්වලතා, උපක්‍රමික දුර්වලතා මෙන්ම නායකත්වයේ තිබූ අඩුපාඩුකම් මෙන්ම යුද මෙවලම් වල හිඟකම, තිබෙනා මෙවලම් අක්‍රීය හෝ බලාපොරොත්තු සහගත ප්‍රතිඵල වලින් තොරවීම සහ  අාහාර හිඟකමින් සාගතයටද ලක්ව, ධෛර්යය හීන වූ රුසියානු හමුදාව ජයග්‍රහණයට වඩා පරාජය දිශාවට වේගයෙන් ඇදෙමින් සිටියහ. 1916 වන විට රුසියානු හමුදාවේ බොහෝමයක් සොල්දාදුවන් තවදුරටත් යුද්ධ කිරීමට අකමැත්තෙන් පසුවූහ. යුද්ධයේ ජයග්‍රහණයක් පේනතෙක් මානයකවත් නොතිබූ එම අවධියේ තම ජීවිතය නිශ්ඵල යුද්ධයකට දියකර හැරීමට තවදුරටත් ඔවුන්ගේ මනාපයක් නොවූහ. මේනිසා ඉහළ නිලධාරීන්ට තම සොල්දාදුවන් යුදබිමට ඇදගෙන යාමට වූයේ තර්ජනයෙන්, බලහත්කාරකමින්ය. තවද හමුදාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිව නිරතුරු කැරලිගැසීම්ද සුලභවිය.

1917 වන විට රුසියාවේ රාජ්‍ය පාළනය වෙනස් වීම උච්ඡතම අවස්ථාවට එළඹ තිබූ අතර මාර්තුවේ රුසියාවේ පළමු විප්ලවය තුලින් සාර් රජු රාජ්‍ය පාළනයෙන් ඉවත් කිරීම සිදුවිය. එහෙත් ලෝක යුද්ධයට රුසියාවේ හවුල්කාරකම ඒ මොහොතේ ඉවත්වීමක් සිදුනොවූ අතර ඔක්තෝබරයේ සිදුවූ දෙවන විප්ලවයේදී එනම් අප දන්නා බෝල්ෂෙවික් පක්‍ෂය පාලනය ලබාගත් විප්ලවයෙන් පසු රුසියානු හමුදා මහා යුද්ධයෙන් ඉවත්වීම සිදුවිය. තිරයෙන් පසුපස සිදුවූ දෙයක් ලෙස සැලකෙන්නේ මෙම විප්ලවයට පෙර සිටම ව්ලැඩ්මීර් ලෙනින් හා ජර්මන් බලධාරීන් අතර තිබූ විප්ලවයට පෙර සිටම තිබූ රහස් එකඟතාවයක් මත මෙය සිදුවූ බවයි. වෙනකක් තබා ස්විට්සර්ලන්තයෙන් ලෙනින් පිටුවහල් කළ පසු රුසියාවට යාමට අවස්ථාව සලසා දුන්නේ ජර්මනිය හරහා දුම්රිය මගින් බවත් පැවසේ. 1918 මාර්තු 3 වන දින මෙම එකඟතාවය නිලවශයෙන් ගිවිසුම් ප්‍රාකාරව දෙරට අත්සන් කිරීමෙන් සිදුවු අතර මෙම ගිවිසුම The Treaty of Brest-Litovsk ලෙස හැදින්වේ.
https://en.wikipedia.org/wiki/Treaty_of_Brest-Litovsk

තමන්ට තවදුරටත් හානිගෙන දෙන අනර්ථකාරී යුද්ධයකින් ඈත්වීම රුසියානු බලධාරීන්ට සේම සොල්දාදුවන්ටද ඉමහත් අස්වැසිල්ලක් වූවා සේම එය ජර්මන් පාර්ශවයටද "ඉබ්බා දියේ දැම්මා" සේ විය. මන්ද ඔවුන්ට තවදුරටත් බටහිර- නැගෙනහිර යුද පෙරමුණු දෙකක් ගැන අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවූ අතර සමස්ථ යුද ශක්තිය බටහිර යුද පෙරමුණට යොදවා එය ජයග්‍රහණය කර ගැනීම ජර්මනියේ අභිලාශය විය.