Sunday, September 2, 2012

පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods) -

මේ කතා කරන්නට යන්නේ සතුටුදායක මාතෘකාවක් නොවන අතර අමිහිර වුවත් එහි ඇති සමාජ විද්‍යාත්මක වටිනාකම නිසා යමක් ඔබට කීමට සිතුනි. මරණ දඩුවම හා සාක්‍ෂි විභාගයන් සදහා පුරාණයේ පටන් ඒ ඒ රටවල් විවිද ක්‍රම උපයෝගී කර ගත්හ. 

විශේෂයෙන් වර්ථමානයේ මරණ දඩුවම යනු ශිෂ්ඨාචාරගතවූ සමාජයක අශිෂ්ඨ දෙයක් ලෙස සලකන නමුත් ඇතැම් රටවල් මරණ දඩුවම ඒ කිසිවක් නොසිතා ක්‍රියාවේ යොදවන අතර සමහරක් රටවල් අවශ්‍ය කාරණා සහ වැරදි වලට පමණක් මරණ දඩුවම ක්‍රියාවේ යොදවයි. තවත් රටවල් කිහිපයක් මරණ දඩුවම අහෝසි කර සහ නීතිපොතේ මරණ දඩුවම බලාත්මක කර ඇති මුත් ක්‍රියා‍වේ යෙදවීමක් සිදුනොකරයි. ලංකාව මෙයට හොදම උදාහරණයකි.

මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවල මරණ දඩුවම දෙනු ලබන ක්‍රමවේදයන්ද විවිදය. ඇතැම් රටවල එය ඉතා වේදනාකාරීය. එසේත් නැතහොත් කුරිරු ආකාරයෙන් මරණ දඩුවම දෙනු ලබයි. තවත් රටෙක එය මධ්‍යස්ථය. තවත් රටක මරණ දඩුවම වේදනාකාරීබවෙන් අඩු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කරණු ලබයි. 

මරණ දඩුවම මනුෂ්‍ය ඉතිහාසය ආරම්භවූ කාලයේ පටන්ම තිබූ දෙයක් විය යුතුය. මන්ද වර්ථමානයේ පවා මිනිසුන් පොඩි දේටත් මිනීමරාගන්නා ආකාරයට ලෙයට ‍ලෙය, දතට දත න්‍යාය එකළ සිටන්ම පැවතුනේ නැතිනම් පුදුමයට කරුණකි. ඒ නිසා මිනිසුන් මරණ දඩුවම දෙන ක්‍රමද අත්හදා බැළුහ. ක්‍ෂනිකව මරණ දඩුවම දිය හැකි ක්‍රම කෙරේ 18 - 19 වන සියවස් අතර කාලයේ ඇතැම් රටවල් අත්හදා බලන ලදි. එහෙත් එම ක්‍රමද පසුකාලීනව වේදනාකාරී හා කුරිරු බවෙන් යුතු බව පසුකාලීනව සොයා ගන්නා ලදි. ප්‍රංශයේ ක්‍රියාත්මක වූ ගිලටීනයෙන් මරණ දඩුවම ලබාදීමද එවැන්නකි. Joseph-Ignace Guillotin විසින් 18 වන සියවසේදී සොයා ගන්නා ලද ගිලටීනය ප්‍රංශ විප්ලවයේදී මරණ දඩුවම ලබාදීම සදහා බෙහෙවින් භාවිතයට ගන්නා ලද උපකරණය විය. හිස ගසා දැමීමට සමාන බවක් ගත්තත් ආයුදයක් ගත් මිනිසෙකු විසින් එම කාර්යය කරනවා වෙනුවට වේගයෙන් පහළට පැමිණෙන තියුනු බවෙන් යුතු කැපුම් තලයකින් මෙම කාර්යය ක්‍ෂනයකින් හා චූදිතයාට අවම වේදනාවක් දැනෙන අයුරකින් සිදුකර ගැනීම ගිලටීනය නිපදවීමේ අරමුණ වන්නට ඇත. එහෙත් හිස කදෙන් වෙන්වූ පසුවද තප්පර 30 කට ආසන්න කාලයක් ඇස පිය සහ තොල් සොලවන බව 1905 දී ප්‍රංශ භෞත චිකිත්තසකයෙකු වූ Dr. Gabriel Beaurieux විසින් සිදුකල පර්යේෂනයකින් තහවුරුවිය. 20 වන සියවසේ මුල මෙවැනි අරුම පුදුම පර්යේෂන සුලභවිය. කෙසේවෙතත් ගිලටිනය ප්‍රංශයේ ප්‍රධානම මරණ දඩුවම ලබාදෙන ක්‍රමය ලෙස 1977 සැප්තැම්බරය දක්වා ක්‍රියාත්මක විය.

ගිලටිනයෙන් සිදුකරන ආකාරයෙන්ම බොහෝරටවල පුරාණයේ පටන් පැවති මරණ දණ්ඩන ක්‍රමයකි කඩුවක්, පොරවක් හෝ එවැනි කැපුම් තලයක් ඇති ආයුදයකින් බෙල්ලේ පිටුපසට පහර දීමෙන් සිදුකරන හිස ගසා දැමීමේ මරණ දණ්ඩනය. මෙම ක්‍රමය අපේ රටේද ක්‍රියාත්මක වූ බව මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොළ නිලඹේ තුමන් ඇතුළු පිරිසට ලබා දුන් මරණ දඩුවම ගැන පවසන කරණු වලින්ද සනාථ වේ. දැන් මෙම ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක නොවූවද සෞදි අරාබිය, යේමනය, හා එක්සත් අරාබි එමිරේට්ස් යන රටවල තවමත් ක්‍රියාත්මක වේ.

ඉස්ලාමීය අරාබි රටවල් කිහිපයකම කාන්තාවන් මරණයට පත්කිරීමට යොදා ගන්නා ක්‍රමයකි ගල් ගැසීම. Mauritania, සෞදි අරාබිය, යේමනය, එක්සත් අරාබි එමිරේට්ස්, ඉරානය, පකිස්ථානය , බංගලිදේශය සහ සුඩානය මෙන්ම ඉස්ලාමීය වටපිටාවක් සෝමාලියාව වැනි රටවලද මෙම කුරිරු ක්‍රමය ඉස්ලාමීය ශාරියා නීතිය යටතේ ක්‍රියාත්මක වේ. ඉස්ලාමීය ආගමික මුහුණුවරක් නැති දකුණු අප්‍රිකාව වැනි රටවල පවා මෙය ක්‍රියාත්මක වන්නේ එම රටවල බහුල ලෙස ඇති ගෝත්‍රික බෙදීම නිසා විය යුතුය. දැනට ක්‍රියාත්මක වන සියළුම මරණ දඩුවම් අතරින් වදවේදනා වැඩියෙන්ම විද මරණයට පත්වන ක්‍රමය මෙය විය යුතු යයි සැලකෙන අතර ප්‍රාහරයට ලක්වන්නා ආසන්න වශයෙන් පැය 4 ක පමණ කාලයක් දුක්විද මෙලොව හැරයයි.

විසිවන සියවසේ මුලදී බහුල ලෙස මරණ දඩුවම දෙන තවත් ක්‍රමයක් ඇති විය, එය නම් වෙඩි තබා මරණයට පත් කිරීමයි. විශේෂයෙන් 1914-1918 අතර ඇතිවූ පළමු ලෝක යුද සමයේ බහුල ලෙස මෙම ක්‍රමය භාවිතයට ගත් අතර තම කණ්ඩාය‍මේ අණ නොතකන්නන් හා විනය විරෝධී ලෙස හැසිරෙන්නන් පවා වෙඩි තබා මරණයට පත් කරන්නට එම යුද්දයට සම්බන්ධ හමුදාවන් පසුබට නොවූහ. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පමණක් 300 ගණනක් පළමු ලෝක යුද්දයේදී විවිද අකටයුතුකම් සම්බන්ධයෙන් තම සහෝදර සොල්දාදුවන්ගේ වෙඩි උණ්ඩවලටම ලක්වී පරලොව ගියහ. 

1917 දී සිදුවූ රුසියානු විප්ලවය තුලද, ඉන්පසුව ඇරඹි සමාජවාදී ආණ්ඩුව තුලද වෙඩි තබා ඝාතනය කිරීම් සුලභ විය. තවද චීන විප්ලවය සිදුවන සමයේදීද දෙපාර්ශවයම වෙඩි තැබීමෙන් සතුරන්ට මරණ දඩුවම ලබාදුන්හ. චීනයේ අදද මෙම ක්‍රමයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කරන අතර දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ යුද අපරාධ ගැන බහුලවම කතා වෙතත් ඇමරිකානු හමුදාවද තමන් අල්ලා ගන්නා ඔත්තුකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමට පසුබට නොවූයේය. කෙසේවෙතත් වෙඩි තැබීමට ලක්වන්නා තප්පර 60 ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටන් වැද මිය යාම සිදුවන බව පැවසේ.

විශ ගෑස් භාවිතයෙන් මරණ දඩුවම ලබාදීම ගැනද බහුල ලෙස කතා කෙරෙන්නේ ජර්මානුවන්ගේ වදකාගාර සම්බන්ධයෙනි. ‍එහෙත් ඊට වසර කිහිපයක පෙර එනම් 1924 දී ඇමරිකාව මුලින්ම ගෑස් යොදා මරණ දඩුවම දීම නෙවාඩා හිදී අත්හදා බැළු අතර 1930 සිට 1980 දක්වා ඇමරිකාවේ ප්‍රාන්ත 7 ක සයනයිඩ් වායුව යොදා ගෙන මරණයට පත් කළ සිරකරුවන් සංඛ්‍යාව 952 කි. මෙම ක්‍රමයෙන් යමෙකු මරණයට පත්කිරීමට මිනිත්තු 20 ක කාලයක් ගතවන බව පැවසෙන අතර දැන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවකම මෙම ක්‍රමය තහනම් කර ඇත්තේ මෙය වේදනාකාරී මරණිය දණ්ඩනයක් ලබා දෙන බවද සනාථ කරමිනි.

විශ ගෑස් වලින් මරණයට පත් කිරීමට වඩා විස එන්නත මානුශික යයි සැලකේ. මෙම ක්‍රමයේදීද මරණයට පත්වීමට මිනිත්තු 20 ක පමණ කාලයක් ගතවෙතත් මරණයට පත්වන්නාට එය නොදැනෙන තරම්ය. එයට හේතුව විශ එන්නත ලබා දීමට පෙර ඔහුට සිහිසුන් වන එන්නතක් ලබාදීම නිසා වන අතර මරණිය එන්නත ලබාදෙන්නේද යාන්ත්‍රිකවය. ජර්මානුවන් මෙම ක්‍රමය මුලින්ම දෙවන ලෝක යුද්දය ඇරඹීමට ආසන්න කාලයකදී ක්‍රියාවේ යොදවන්නට වූ අතර මෙම ක්‍රමයේදී සිදුවන්නේ හදවතට විශ එන්නත ලබාදී මරණයට පත් කිරීමයි.

විදුලි පුටුවද මරණ දඩුවම ලබාදෙන ජනප්‍රියම ක්‍රමයකි. ඇමරකාවේ සහ පිලිපීනයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර දැන් මෙම ක්‍රමය භාවිතයට නොගන්නා බවද පැවසේ. ‍විදුලි පුටුව නිපදවන ලද්දේද අප දන්නා කෙනෙකි. එනම් තෝමස් අල්වා එඩිසන් විසින් වන අතර මුලින්ම මෙම ක්‍ර‍මයෙන් ඇමරිකාවේදී මරණ දඩුවම ලබාදෙන්නේ 1890 වර්ශයේදීය. එතැන් සිට සියවසකට ආසන්න කාලයක් එනම් 1980 දක්වා වසර 90 ක කාලයක් ඇමරිකාවේ  ප්‍රාන්ත ගණනාවකම ප්‍රධානම මරණීය දණ්ඩනය ලබාදෙන්නාවූ ක්‍රමය මෙය වන අතර විදුලි පුටුව යනු එක්තරා විදියකින් තවත් ඇමරිකානු Symbol එකක්ද විය. කෙසේවෙතත් විදුලි පුටුව නිර්මාණය කළ අවධියේ මෙය මානුශිකම මරණීය දණ්ඩනය ලබාදෙන ක්‍රමය ලෙස සැලකුනත් එය පසුකළෙක එසේ නොවන බව ඔප්පුවිය. 

1980 සිට මරණීය දණ්ඩනය පැනවීමේ ප්‍රධානම ක්‍රමය ලෙස ව්දුලි පුටුවට තිබු ස්ථානය අහිමිව ගිය අතර එම ස්ථානය ගත්තේ වඩාත් මානුශික මරණීය දණ්ඩනය පැනවීමේ ක්‍රමය ලෙස වර්ථමානයේ සැලකෙන විශ එන්නතයි. කෙසේවෙතත් ඇලබාමා, ‍ෆලෝරිඩා, දකුණු කැරලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්ථ වල දෙවන  මරණීය දණ්ඩන ක්‍රමය ලෙස විදුලි පුටුවද පවත්වාගෙන යන අතර ඒ යම් හෙයකින් මරණ දඩුවම ලැබීමට "වරම්" ලබන්නා යම් හෙයකින් විශ එන්නතට වඩා විදුලි පුටුව හොද යයි තීරණ කළ හොත් එම තීරණයට "ගරු" කිරීම පිණිසයි. 2010 වසරේ මාර්තු 18 වනදා වර්ජිනීයා ප්‍රාන්තයේදී අවසන් වරට විදුලි පුටුව ක්‍රියාත්මක කර තිබෙන අතර එම "වාසනාව" ලැබු තිබුනේ Paul Warner Powell  නම් ස්ත්‍රී දූෂක මිනීමරුවාය. පිලිපීනයේ 1924 සිට විදුලි පුටුවෙන් වැඩ ගෙන තිබූ අතර 1979 දී ඔවුන්ද මෙම ක්‍රමය අත්හැර දමන ලදි. විදුලි පුටු‍ව භාවිතයෙන් යම් අයෙකුට මරණීය දණ්ඩනය ලබා දීමේදී මිනිත්තු 18 ක කාලයක් ඔහුට හෝ ඇයට මරණය සමග පොර බදන්නට සිදුවේ.http://en.wikipedia.org/wiki/Electrocution

එල්ලා මැරීමද ශ්‍රී ලංකාව, ඉන්දියාව  ඇතුළු රටවල් ගණනාවක මරණ දණ්ඩනය ලබා දෙන ක්‍රමය වන අතර මෙහිදී මිනිත්තු 15 ක පමණ කාලයක් එල්ලීමෙන් පසු මරණයට පත්වීමට ගතවන බව පැවසේ.
http://en.wikipedia.org/wiki/Hanging

මේ දැක්වූයේ වර්ථමානයේ ලෝකයේ රටවල් මරණ දඩුවම ලබාදීමට භාවිතා කරන ක්‍රමයි. මීට අමතරව ඉස්ලාමීය අරාබිකරයේ විවිද චෝදනා සදහා අත්පා කපා දැමීම ආදී ම්ලේච්ඡ ක්‍රමද තවමත් භාවිතා කරයි.

දැන් මාතෘකාවේ පරිදි සිංහල රජ දවස දෙතිස් වද මෙසේය
1   කසයෙන් තැලීම.
2   වේවැල් සහ හතර රියන් පොදු දෙකෙන් තැලීම.
3   අත කැපීම.
4   පය කැපීම.
5   අත් පා කැපීම.
6   කන කැපීම.
7   නාසය කැපීම.
8   කන් නාසා කැපීම.
9   වෑයෙන් සිරුර කපා හතරැස් කිරීම.
10 වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.
11 ඇස් උගුළුවා දැමීම.
12 පැසෙන තෙල් කටාරමක දැමීම.
13 කුසගින්නේ තබා කූඩු කර සිටින බල්ලන් අතරට දැමීම.
14 දිවැස් උළෙහි තැබීම.
15 කඩුවෙන් හිසකපා වෙන් කිරීම.
16 යටිපතුල් ඉරා ඊට ලුණු වැලි දමා බොරළු මත ඇවිද්වීම.
17 යකඩ අඩුවෙන් දිව එළියට ඇද කටට ලුණු වතුර වත් කිරීම හෝ දිව කැපීම.
18 පැසුන තෙල් සිරුර පුරා වත් කිරීම.
19 දැවමය කදන් උඩ සිරුර සතපා කැබලිවලට කැපීම.
20 සිරුර පොලු මුගුරු වලින් තලා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම.
21 සිරුර ඇලයකට හරවා එක කණකට යකඩ උලක් සවිකොට දෙඅල්ලාගෙන කරකවන්නාවූ "පලිස
     පරිවත්ටික වධය".
22 සිරුර අගසිට මුලටත් මුලසිට අගටත් පෙ‍ති පෙති කැපීම.
23 සිරුර පුරා ආයුද වලින් ඇන "කාරම් දිය" ඉස සම් මස් නහර දිය කිරීමෙන් ඇට සැකිල්ලක් කරන්නාවූ
    "ධාරා පනජීවිත වධය".
24 වෙවනුව ඇති බිලි කොකුවලින් සිරුරේ ඒ තැන්වල ඇන සම් මස් උලුප්පා දමන්නා වූ "බලිස මාංගික
     වධය"
25 බිම මුනින් නිදිකරවා වැලමිට සහ දෙදණට යකඩ වලලු දමා ඒවා බිමට සවිකොට හිරකර තබා ගිනි
     දන්වන්නාවු "දාඑයියක වධය".
26 ගෙල සිට ඉණටත්, ඉණසිට ‍බොලටත් සම ගලවා ඈත සිට බලන්නෙකුට රතු වස්තු ඇන්ද බවක් පෙන්නුම්
    කරන "විරක වායික වධය".
27 ගෙලේ සිට බොල දක්වා සම ගලවා යොතක එල්ලා එහා මෙහා පද්දන්න වූ "ඒරක වන්තික වධය".
28 අතක හෝ දෑතෙහිම තෙල් පාණ්කඩ ඔතා ගිනි දල්වනාවූ "හත්ථි පජ්ජජෝතික වධය"
29 ශරීර‍යේ සියළුම තැන් තෙල් පාන්කඩ ඔතා ගිනි දල්වනාවූ "ජෝති මාලක වධය".
30 යකඩ උලින් කට අරවා එහි පහන් දල්වන්නාවූ "රාහු මුඛ" වධය.
31 හිසෙහි කෙස් සමග හම ගලවා හිස් කබලෙහි බොලු අතුල්ලා හක් ගෙඩියක් මෙන් සුදු කරන්නාවූ "සංඛ
     මුක්ඩික වධය".
32 හිස් කබල ගලවා මොළයට ගිණියම් කරන ලද ලෝහ ගුලි තැබීමෙන් මොළය කැඳ හැලියක් කරන්නා වූ
    "බිලිංග චාලක වධය".

සත්‍ය වශයෙන්ම එදා අතීතයේ මෙවන් වධ දුන්නාදැයි, නොදුන්නාදැයි නොදන්නා අතර මෙම වධ 32 පිළිබදව  කරුණු මම උපුටා ගත්තේ මුතුහර 2007 සැප්තැම්බර් කලාපයෙනි. එසේම කසුන්ගේ මුහුද යට බ්ලොග් අඩවියේද මෙම දෙතිස් වද පිළිබද ලිපියක් මම දුටිමි. http://blogkasun.blogspot.com/2011/10/blog-post_6258.html

කෙසේවෙතත් යම් හෙයකින් මෙම වධ එදා යම් වරදකරුවෙකුට ලබා දුන්නේ නම් එය අද භාවිතා කරන වෙඩි තැබීම, එල්ලා මැරීම, විශ එන්නත, විදුලි පුටුවට වඩා බොහෝ වේදනාකාරී වන්නට ඇත.

මරණීය දඩුවම ලබාදීම හා නොදීම ගැන තීරණය කල යුත්තේ නීති විශාරදයින්, සමාජ විද්‍යාඥයින්, ආගමික හා දේශපාලනික නායකයින් හා විද්වතුන්ගේ අදහස් අනුව බව නම් සිතේ. කෙසේවෙතත් කුඩා දරුවන් අපචාරයට ලක්කරන, ඔවුන් කෲර ලෙස මරා දමන අපරාධකරුවන්ට මෙම දඩුවම් ලබානොදී සිටින්නේ කෙසේද? යන්න ගැටළුවකි.

පැරණි රජ දවස දඩුවම් හා නීතිය පසිදලීම පිළිබදව සත් සමුදුරේ මීට ප්‍රථම පළ කරන ලද ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? සහ අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම පෙන්නුම් කල පොතක් - ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව යන ලිපි වලද යම් තාක් දුරට අන්තර්ගතවිය. තවද පැරණි රාජ්‍ය පරිපාළනය පිළිබදව තොරතුරු ජනකතා හා ඉතිහාසය නම් බ්ලොග් අඩවියේද දැක ගන්නට ලැබුනි.

එ‍සේම 1995 දී නිපදවන ලද Execution නම් වාර්තාමය වීඩියෝවේද මේ මාතෘකාවට අදාලව වැදගත් කරුණු රැසක් අඩංගු බව අවසාන වශයෙන් සටහන් කරමි...