Tuesday, March 27, 2012

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV

දෙවන ලෝක යුද්දය ගැන කියවෙන සෑම අවස්ථාවකදීම පාහේ කියවෙන පොදු නාමයන් දෙකක් වේ නම් ඒ එකක් හිට්ලර් ගැන විය යුතු අතර අනෙක යුදෙව්වන් ගැන විය යුතුය. මේ නම් දෙකම ඒ තරමටම ගහට පොත්ත මෙන් මෙම යුද්දය හා සබැදී පවතී. කෙසේවෙතත් යුදෙව්වන් ගැන කරුණු කාරණා කිහිපයක් අපි ඊශ්‍රායලය ගැන ලියවුන ලිපියෙදිත් කතා කරන්නට යෙදුනත් මෙහිදී ඊටත් වඩා පුළුල් මානයකින් යුදෙව්වන් හා දෙවන ලෝක යුද්දයේදී පීඩාවට පත්වූ අනෙක් ජන කොටස් පිළිබදවත් කතා කලයුතුයයි අපේක්‍ෂා කරනු ලබනවා.

දෙවන ලෝක යුද්දයේදී අතිශයින්ම පීඩාවට පත්වූ මානවයන් සමූහයක් වූ යුදෙව්වන්ට දෙවන ලෝක යුද්දයෙන් ඉක්බිතිව ඔවුන්ගේ සිහිනයක්ව පැවති "පොරොන්දු දේශය" (Promise land) හෙවත් ඊශ්‍රායලය බිහිවන තුරාවටම ඉතිහාසය පුරාම ලැබී ඇත්තේද අතිශයින්ම කටුක අත්දැකීම්ය. වසර 2000 කටත් වඩා ඔබ්බට දිවයන යුදෙව්වන්ගේ ඉතිහාසයේ ඔවුන් යුරෝපයේ තැනින් තැන කුඩා ජනසමූහ වශයෙන් ජීවත්ව ඇති අතර 18 වන සියවසෙන් පසුව යුරෝපා සමාජයේ යුදෙව්වන්ගේ භූමිකාව පුළුල් වපසරියකට යොමුවී ඇත.

යුදෙව්වන්ගේ මූලාරම්භය සිදුවී ඇත්තේ අදටත් යුදෙව් - මුස්ලිම් ගැටුම් ගිණියම්ව පවතින මැදපෙරදිග කලාපයේදීයි. යුදෙව් විශ්වාසයන්ට අනුව වසර 3000 කට පෙරාතුව ඔවුන් මිසරයන්ගේ වහලුන් ලෙස සේවය කර ඇති අතර දෙවියන් විසින් ඔවුන් වහල්භාවයෙන් මුදවා ඇත. මේ බව සංකේතවත් කරමින් ඔවුන් යුදෙව් පාස්කු මංගල්‍යය හෙයත් Passover Ceremony නම් උත්සවයක්ද පවත්වනු ලබයි.

ඔවුන් තුල එදා ඉදලම තමන්ගේ කියා රටක් දෙවියන් විසින් ලබාදෙයි කියන විශ්වාසයත් තිබුනා. ඒ දේශය තමයි ඔවුන් ඊශ්‍රායලය කියල හැදින්වූයේ. ඔවුන් තමන්ගේ අගනුවර ලෙස සැලකුවේ ජෙරුසලමයි. එහි ඔවුන් ඇදහූ ජුදා ආගමේ (Judasim) දේවස්ථානත් ඉදිකර ඒවාට භක්තියෙන් යුක්තව වැදුම් පිදුම් කිරීමත්  සිදුවුවා. කෙසේවෙතත් මීට වසර 2500 කට පෙරාතුව බැබලෝනියන්වරු ජෙරුසලම් ආක්‍රමණය කල අවස්ථාවේ ඔවුන් විසින් යුදෙව් පූජනීය ස්ථාන විනාශ කිරීම පමණක්‍ නොවේ දැන උගත්භාවයෙන් හා විවිද ශිල්ප වල නිපුනත්වයෙන්ද යුතුව සිටි යුදෙව්වන් තම රටට රැගෙන යාමත් සිදුකරනු ලැබුවා. නැවතත් ඔවුන් තර්ජනයකට මුහුණ දුන්නේ බැබලෝනියාව පර්සියාවට අත්පත් වූ පසුවයි. එහෙත් පර්සියානු රජෙකු වූ Ahasureus  විසින් Esther නම් යුදෙව් කත විවාහහ කරගැනීමත් සමග ඇගේ ඉල්ලීම මත තම සහෝදර යුදෙව් ජනතාවට සැනසුම් සුසුම් හෙලන්නට හැකිවී තිබෙනවා.

ඉන්පසුව පිටුවහල්ව සිටි යුදෙව්වන් නැවතත් ජෙරුසලමට පැමිණ තමන්ගේ දේවස්ථාන ඉදිකරගෙන සැන‍සිල්ලේ සිටියත් එයට නැවතත් විරාමයක් තබමින් රෝමන්වරුන්ගේ ආක්‍රමණ සිදුවීම ඉන් වසර 500 කට පමණ පසුව එනම් දල වශයෙන් ක්‍රි.ව. 70 දී පමණ සිදුවී තිබෙන අතර යුදෙව්වන්ට විවිද අඩම්තේට්ටම් පමණක් නොවෙයි, ඔවුන්තැනූ දේවස්ථාන විනාශ කිරීමත් ඒවායේ තිබූ වටිනා කියන දේවල් කොල්ලකෑමත් සිදුකර තිබෙනවා.

රෝමන්වරුන්ගේ මර්ධනකාරී වැඩ පිළිවෙල හා පිටුවහල් කිරීම වැනි ක්‍රියාදාමයන් නිසා ඇතැම් යුදෙව්වන් නැවතත් බැබලෝනියාවේ විසූ තමන්ගේ සහෘදයන් වෙත නැවත සංක්‍රමණයක් සිදුවී ඇති අතර ඇතමෙක් උතුරු අප්‍රිකාව හා ස්පාඥය වෙතත්, තවත් අය රෝමයට පිටුවවහල් වූ පසු යුරෝපයේ තැන් තැන්වල අනාථයන් වශයෙන් ජීවිතය ගත කරන්නටත් සිදුවී තිබෙනවා. යුරෝපයේ වාසයට ගිය බොහෝ යුදෙව්වන් තමන්ගේ ජනාවාස පිහිටුවාගෙන තිබෙන්නේ ගංඟා ආශ්‍රිතවයි. ජර්මනියේ රයින් සහ ප්‍රංශයේ රොන් නදිය අසබඩව තම ජනාවාස පිහිටුවාගත් ඔවුන් තම යුදෙව් අනන්‍යතාවය රැකගන්නට සමත්වෙලා තිබෙනවා.

යුරෝපයේ බොහෝ රාජ්‍යයන්ගේ පාලකයන්ගෙන් යුදෙව්වන්ට පිළිසරන ඇතැම් අවස්ථාවල ලැබි තිබෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි 1264 දී පමණ පෝලන්තයේ පාලකයා වූ Boleslav කියන රජතුමා යුදෙව්වන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමත් තමන්ට අයත්ව තිබූ දැන් ලිතුවේනියාව, බෙලරුසියාව හා යුක්රේනය කියන ප්‍රදේශවල පාලනයටත් හවුල්වෙන්න යුදෙව්වන්ට ආරාධනා කර තිබෙනවා. මේ සුහද ආරාධනාව පිළිගෙන ඒ ප්‍රදේශවල වාසය කල යුදෙව්වන්ට පොලන්තයේ විස්ටුලා නදිය ඉතාමත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල සිට පෝලන්තය වෙත ගමනාගමන කටයුතු කරගැනීම සදහා.

ඒ විතරක් නොවෙයි ඔබත් පුදුමවේවි මුස්ලිම් ජාතිකයන් යුදෙව්වන්ගේ ආරක්‍ෂාව හා පැවැත්ම වෙනුවෙන් පෙනීසිටි බව පැවසුවහොත්. මන්ද, අද මේ දෙපාර්ශවය නයයි, මුගටියයි මෙන් දුටු තැන මරාගත්තත් තුර්කි අධිරාජ්‍ය හෙවත් ඔටෝමන් අධිරාජ්‍යයේ හා ක්‍රි.ව‍. 700 දී පමණ උතුරු අප්‍රිකාවේ සිටි මුස්ලිම්වරු ස්පාඥය ආක්‍රමණය කල පසුව ඔවුන්ගේ ස්වර්ණමය යුගය උදාවූ බව පැවසෙන අතර ජුදා ආගම සිත්සේ ඇදහීමටත් යුදෙව් සංස්කෘතියේ උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් එරට පාලනය කල මුස්ලිම් පාලකයන් ඉඩදී තිබෙනවා. ක්‍රි.ව.900 කියන්නේ ස්පාඥයේ යුදෙව්වන්ට හොදම කාලය උදාවූ කාලසමයයි කියන්න පුළුවන්.

එහෙත් ක්‍රි.ව.622 පමණ සිට ක්‍රමයෙන් බලයෙන් වැඩී ගෙන ආ මුස්ලිම් බලයට හා ඔවුන් විසින් අත්පත්කරගෙන සිටි ‍ජෙරුසලම කතෝලික පල්ලියේ ආශිර්වාදයෙන් මෙහෙයවූ කුරුස යුද වාදීන්ට ක්‍රි.ව.1099 දී අත්පත්වීමත් සමග ජෙරුසලමේ සිටි යුදෙව්වන්ට පමණක් නොවේ එහි සිටි මුස්ලිම් ජාතිකයන් දහස් ගණනාවකටද සිය ජීවිතයෙන් වන්දිගෙවන්නට හේතුවුවා.

මෙම ජෙරුසලම කියන නගරය ගැන යමක් කියනවා නම් එය ලෝකයේ පැරණිම නගරවලින් එකක් ලෙස සැලකෙන අතර එයත් යුදෙව්වන්සේම  ඉතිහාසය පුරාවටම විවිද හැලහැප්පීම්වලට ලක්වූ නගරයක්. එය යුදෙව්වන්ට වැදගත්වන්නේ ඔවුන්ගේ හීබෲ බයිබලය පරිදි පළමු ඊශ්‍රායල රාජධානිය ඩේවිඩ් රජතුමා විසින් ක්‍රි.පූ.1000 දී පමණ ස්ථාපිත කිරීමේදී එම රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසලම භාවිතා කිරීමත් කිතුනු බැතිමතුන්ගේ පැත්තෙන් තම ආගමික ශාස්තෘවරයා වූ ජේසුස් වහන්සේ කුරුස ගත කිරීමත් මෙම නගරයේ සිදුවී තිබීමයි. එසේම ඉස්ලාම් බැතිමතුන්ට වැදගත් වන නගරයක් ලෙස සලකන නිසා එදත් අදත් ආගම් කිහිපයකටම වැදගත් නගරයක් ලෙස ජෙරුසලම  සැලකෙන බව කිවයුතුයි.

ක්‍රි.ව. 1492 දී ස්පාඥයේ සුරක්‍ෂිතව සිටි යුදෙව්වන්ටත් කණකොකා හඩන්නට පටන්ගන්නවා. ඒ එරට තිබූ මුස්ලිම් පාලනය බිදදමා ඔස්ට්‍රියානු කතෝලිකයන් විසින් අත්පත් කරගන්නා අතර එහිසිටි මුස්ලිම් ජාතිකයන් හා යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භකරනු ලබයි. ‍එසේම පිටුවහල් කිරීමට අමතරව ඔවුන්ට කිතුදහම වැලදගන්නා සේ බලකරන අතර එය ප්‍රතික්‍ෂේප කරන්නන් මරාදැමීමද සිදුකරයි. මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාවේද යුදෙව්වන්ගේ පිහිටට එන්නේ මුස්ලිම් පාලකයන්මය. එනම් එවකට තුර්කි අධිරාජ්‍යයේ පාලකයා වූ Sultan Beyazit II විසින් යුදෙව්වන්ව උණුසුම් ලෙස පිළිගෙන තම අධිරාජ්‍යයේ යහතින් කල් ගත කිරීමට ඉඩදෙනවා පමණක් නොව තම වෛද්‍යවරුලෙස පත් කරගන්තේද යුදෙව් වෙදැදුරන්මය. තුර්කි අධිරාජ්‍යයට අමතරව ස්පාඥයෙන් පිටුවහල් කල යුදෙව්වන් නෙදර්ලන්තය වෙතද සංක්‍රමණය වූහ.

හිබෲ බසින් ස්පාඥය හැදින්වෙන්නේ Sefarad ලෙසින් වූ අතර ස්පාඥයේ හෝ ඊට යාබදව පිහිටි පෘතුගාලයේ විසූ යුදෙව්වන් Sephardic Jews ලෙස හැදින්වූහ. 250,000 කට අධික Sephardic යුදෙව්වන් සංඛ්‍යාවකට ස්පාඥයෙන් පිටව යාමට සිදුවූ  බව කියන අතර මුදල් හෝ ඔවුන් සතුව තිබූ වෙනයම් වටිනා දේවල් රැගෙන යාමද තහනම් විය. මෙලෙස ස්පාඥයෙන් පිටමංව යාමට පෙරාතුව යුදෙව්-මුස්ලිම් මිත්‍රත්වය කෙතරම් ශක්තිමත්දැයි කිවහොත් ඇතැම් මුස්ලිම් අංග යුදෙව්වන්ද අනුගමනය කරන්නට විය. Synagogues ලෙස හැදින්වූ යුදෙව් සිද්ධස්ථාන සමහරක් මුස්ලිම් පල්ලිවල ආකෘතියෙන්ම තැනීම එයට හොද නිදසුනකි.

11 වන සියවස පමණ වන විට යුදෙව්වන් හොදින් ස්ථාපිත වූ ස්ථානයක් ලෙස චෙක් ජනරජයට අයත් ප්‍රාග් අගනගරයද සැලකිය හැකියි. එහිදීද ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබූ අතර 16 වන සියවස පමණ වන විට මේ තත්ත්වය උඩුයටිකුරුව නරක කලදසාවක් උදාවී තිබූ බවද පැවසේ.
ඒ ඒ කාලවකවානුවලදී යුදෙව් සංක්‍රමණයන් ඇති වූ ආකාරය

Ashkenaz යනු පැරණි හීබෲ බසින් ජර්මනිය හදුන්වන ආකාරයයි. මධ්‍යතන යුගයේදීද එනම් 11 වන සියවසේදී පමණ ජර්මනියෙන් යුදෙව්වන් පිටුවහල් කිරීම සිදුව තිබෙන අතර ඔවුන් ඉන්පසුව ජීවත්ව ඇත්තේ උතුරු, මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ රටවලයි. මෙම යුදෙව්වන් “Ashkenazi” ලෙස හැදින්වෙන අතර ඔවුන් භාවිතා කර ඇති භාෂාව ජර්මන් බසට සමානකමක් තිබූ හා හීබෲ බසින්ම බිදී ආ වචන හා අර්ථයන්ගෙන් යුක්තවූ බසක් ලෙස සැලකෙන අතර Yiddish භාෂාව වේ. කෙසේවෙතත් 11 වන සියවසේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක වූ කතෝලිකයන්, ජුදා ආගම පිටුදැකීමේ ක්‍රියාමාර්ගයන් ඔස්සේ යුදෙව්වන් ජර්මනියෙන් පිටමං කිරීමේ ක්‍රියාවලියට පෙර 4 වන සියවසේදී පමණ යුදෙව්වන් ජර්මනියේ ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස නමක් දිනා ගත් අතර ඔවුන් යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් සමග සබදතා පවත්වාගැනීමද සිදුකරගෙන ගියා. එසේම ජුදා ආගමත් නිදහසේ ඇදහීමට බාධාවක් තිබුනේ නැති බවයි පැවසෙන්නේ.  ඒ එක්කම යුදෙව් නොවන ජනතාව සමගත් බොහොම සහජීවනයෙන් මෙම යුදෙව් ජනතාව වාසය කල බව පැවසෙනවා. 

කොහොමනමුත් ප්‍රචණ්ඩත්වය යුදෙව්වන් කෙරේ ඇතිවෙන විට ඔවුන්ට තමන් කරගෙන ආ ව්‍යාපාර වෘත්තීන් හැරදමා නගරයෙන් නගරයට සංක්‍රමණය වීමට සිදුවූ බව පැවසෙනවා. 15 වන සියවසෙන් පසුව යුදෙව්වන්ගේ වාසභූමි බවට පත්වී තිබෙන්නේ නැගෙනහිර යුරෝපයට අයත් රටවල්.

තවද 11 වන සියවස වන විට එංගලන්තයේද යුදෙව්වන් ජනාවාස ස්ථාපිත කරගෙන තිබෙනවා. එහෙත් 1292 දී එඩ්වර්ඩ් රජු යුදෙව්වන් එංගලන්තයෙන් පිටුවහල් කර ගිබෙන අතර 1881 වන විට නැවතත් නෙදර්ලන්තයේ සිටි Sephardi Jews වරුන් එංගලන්තයට නැවත පැමිණ තිබෙන අතර ජර්මනියෙන් පිටමංව සිටි Ashkenazi යුදෙව්වරුන්ද රුසියාවේ සිට එංගලන්තයට පැමිණ තිබෙනවා. වර්ථමානයේත් යුදෙව් සමාජය එංගලන්තයේ සෑහෙන්නට සැලකිය යුතු භූමිකාවකට සම්බන්ධ බවද පැවසෙනවා.

Shtetl කියන්නේ Yiddish බසින් රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ යුදෙව්වන් වාසය කල කුඩා නගර හෝ ගම්මාන හැදින්වීමට භාවිතා කල වචනයයි. මෙය ඇතැම්විට සාමාන‍්‍යයෙන් කිතුන බැතිමතුන් වාසය කල නගරවලත් යුදෙව්වන් ජනාවාස වී සිටි ප්‍රදේශය හැදින්වීමට භාවිතා කර තිබෙනවා. කොහොමවුනත් වර්තමානය වන විට නම් Shtetl නමින් අර්ථවත් කිරීමට ප්‍රදේශ ලෝකයේ ඉතිරිව නැහැ. එයට හේතුව තමයි නාසින් විසින් දෙවන ලෝක යුද්ද කාලයේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කල කෲර ජන සංහාරයේදී Shtetl කියන ප්‍ර‍දේශත් අතුගෑවී යෑම. මේ Shtetl වල ජීවිතය නම් සුන්දර එකක් නොවූ බව තමයි පැවසෙන්නේ. දරිද්‍රතාවය හා විවිද දුෂ්කරතා මධ්‍යයේ මෙම ප්‍රදේශ වල ඔවුන්ට වාසය කරන්නට සිදුවී තිබෙනවා. ඒත් දුක්කම්කටොළු මධ්‍යයේ වුවත් යුදෙව් ප්‍රජාව මෙම ජීවිතයට ඇළුම් කර තිබෙනවා. එයට හේතුව තමයි එකම යුදෙව් ජනතාවකට එක්ව වාසය කරන්නට හැකිවීම නිසා පවුල් ඒකකයක් තුල උණුසුම් සමීපතාවයක් හා අන්‍යෙන්‍යයන් අතර බැදීමක් හා බලවත් ආගමික ශ්‍රද්ධාවක් එකිනෙකා අතර පැවතීම. ඔවුන් කෙතරම් පීඩා අත්වින්දත් යුදෙව්වන්ගේ කැපීපෙනෙන ආගමික චාරිත්‍රයක්වන Sabbath චාරිත්‍රය ඔවුන් කැපවීමෙන් මෙම Shtetl වලදී සිදුකර තිබෙනවා. 

මෙම Shtetl වල නාභිය ලෙස synagogue හෙවත් සම්මුති ශාලාවන් සැලකිය හැකියි. Yiddish බසින් synagogue හදුන්වා තිබෙන්නේ shul යන නමින්. මෙම ස්ථානයේ තමයි යුදෙව්වන් එක්රැස් වී තිබෙන්නේ. ඊට අමතරව යාඥා කිරීමත්, අධ්‍යාපන කටයුතු සිදුකිරීම, විවාහ උත්සව ආදිය පැවැත්වීමත් මෙම ස්ථානවල සිදුවී තිබෙනවා. මුලිනුත් දැක්වූ පරිදි ඉස්ලාමීය ආභාශය හා කතෝලික අභාශයන්ගෙන් තැනුන අලංකාරවත් සම්මුති ශාලා තිබුනත් සාමාන්‍යයෙන් මෙම ස්ථාන සරල බවෙන් යුතු ස්ථාන ලෙස තමයි සැලකෙන්නේ. දෙවන ලෝක යුද්දයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ තිබූ මෙවැනි අලංකාරවත් සම්මුති ශාලා අත්හැරදැමුනත් වර්ථමානය වන විට ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ඇති බවත් පැවසෙනවා.

රුසියාවේ රැජින ලෙස 1762 සිට 1796 දක්වා රජකම් කල මහා කැතරින් රාජිනියගේ කාලයේදී රුසියාවේ නගරවල වාසය කල යුදෙව්වන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල වෙන්නට පටන් ගන්නවා. මේ විරෝදතාවයන් නිසාම ඇය 1791 දී the Pale of Settlement නීතියක් බලාත්මක කරන අතර එයින් රුසියාව පුරා ජීවත්වූ යුදෙව්වන්ට එක් ප්‍රදේශකට පමණක් වාසය සදහා කොටු කිරීම කරනු ලබනවා. මේ යටතේ රටේ සිටි යුදෙව්වන්ගෙන් 10% ක් වැනි අතලොස්සක් හැරුන කොට අනෙක් සියළු දෙනා මෙම තනි ප්‍රදේශයට කොටුකරනවා පමණක් නොවේ ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැලකීමටද අමතක කරන්නේ නැහැ. ඒ අනුව ඉහල අධ්‍යාපනයක් ලැබීම, ඉඩම් බද්දට ගැනීම ආදිය තහනම් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි වරින්වර ඔවුන්ට එෙඑරරහිව ප්‍රචණ්ඩත්වය පවා මුදාහරිනවා.  කොහොමවුනත් යුදෙව්වන් මෙම බාදක මධ්‍යයේ පවා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා අතර 1910 වන විට මෙම කොටුවූ ප්‍රදේශය තුල යුදෙව්වන් මිලියන 5 ක් පමණ වාසය කල බවද පැවසෙනවා.

(මේ එම කොටුකල ප්‍රදේශයන් තුල යුදෙව්වන් ගෙවූ කටුක දිවියේ නිදසුන්)



මෙතරම් තාඩන පීඩනයට ලක් කලත් පළමු ලෝක යුද්දයේදි රුසියානු හමුදාව වෙනුවෙන් සේවය කරන්න යුදෙව්වන් 650,000 ක් පමණ සහභාගීවී තිබෙනවා. කොහොමවුනත් රුසියානු හමුදාවේ ඉහල නිළධාරීන් නම් මෙම යුදෙව් සෙබළුන්ට කැමැත්තක් තිබිලා නැහැ. ඔවුන් යුදෙව්වන්ව සලකලා තිබෙන්නේ අර්ධ මනුශ්‍යයන් ලෙස හා අපිරිසිදු පිරිසක් ලෙසයි. ඒ එක්කම රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශවල වාසය කල යුදෙව්වන් කෙරෙත් කිසිම දායාවක් දක්වා නැහැ. එයට එක් හේතුවක්ව තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ වාසය කල යුදෙව්වන් භාවිතා කල Yiddish භාෂාව ජර්මානු උරුවක් ගැනීමත් මෙම යුදෙව්වන් රුසියානුවන්ට නොව ජර්මානුවන්ට පක්‍ෂපාත කමක් දැක්වීමයි. පළමු ලෝක යුද්දයේදී කොපමණ යුදෙව්වන් සංඛ්‍යාවක් මිය ගියාදැයි කිසිම අයෙක් නොදන්නා බව පැවසෙන අතර රුසියානුවන් විසින් යුදෙව්වන් 600,000 ක් පමණ සිරභාරයට ගත් බව පැවසෙන අතර එයින් 200,000 නැවත ආපසු පැමිණ නැහැ.1917 සිදුවූ රුසියානු විප්ලවයත් සමග යුදෙව්වන් පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වූ the Pale of Settlement යටතේ ස්ථාපනය කර තිබූ Pale ලෙස හැදින්වෙන කොටුකල ප්‍රදේශය අහෝසිවීමද සිදුව තිබෙනවා.

Kiser Wilhelm II
පළමු‍ ලෝක යුද්දයේදී රුසියානුවන් යුදෙව්වන්ට මෙසේ සැලකුවත්, ජර්මානුවන් නම් හොදින් යුදෙව්වන්ට එම යුද්දයේදී සලකා තිබෙනවා. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්දයට පෙර හා ඒ අතරතුර යුදෙව්වන් පළමු ලෝක යුද්දයට කිසිදු සහයක් ජර්මනිය වෙනුවෙන් ලබා නොදුන්බවට බොරු ප්‍රචාර කරත් එවකට ජර්මනියේ පාලකයා වූ Frederick William Victor Albert of Hohenzollern, a.k.a. Kaiser Wilhelm II නම් යුදෙව්වන් කෙරේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කල අයෙකු වූ අතර ඔහුගේ හමුදාවේ ලක්‍ෂයක පමණ යුදෙව් සෙබළුන් සිටි බව පැවසෙනවා.

එම යුද්දයේදී 12,000 ක් පමන යුදෙව් සෙබළුන් මිය ගොස් ඇති අතර 35,000 ක පමණ යුදෙව් සෙබළුන් විවිද අවස්ථාවල සම්මානය හා ඉහල නිලතල ලබා ගැනීමට පවා සමත්ව තිබෙනවා. තවද දෙවන ලෝක යුද්දයේදී යුදෙව්වන්ට ජර්මානු සෙබළුන් යනු මාරයා හා සමාන වූවත් පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපයේ රටවලට ජර්මානු සෙබළුන් පැමිනෙද්දී තමන් පීඩාවට පත්කරගෙන සිටි රුසියානුවන් පරදවා තමන් ගලවා ගැනීමේ සතුටට උණුසුම් ආකාරයෙන් පිළිගත් බවටත් සාක්‍ෂි ඕනෑතරම් තිබෙනවා.
ජර්මනිය වෙනුවෙන් සටන්වැදුන යුදෙව් සෙබළුන්
යුද්දය අතරතුරු තම උත්සවයක් සැමරූ අවස්තාවක්

යුද්දයේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් ජර්මනියේන් ලද සැලකුම්


මේ අවසන් සේයාරූ දෙකෙන් දැක්වෙන්නේ පළමු ලෝක යුද්දයේදී
පෝලන්තයට ජර්මානු හමුදා පැමිණි වට ඔවුන් උණුසුම් ලෙස පිළිගත් ආකාරයයි

නැවතත් මෙම යුගයෙන් ආපස්සට යනවානම්, මධ්‍යතන යුගය වන විට ඇතැම් යුරෝපයේ පාලකයන් යුදෙව්වන්ට තමන්ගේ රටේ පදිංචිව සිටින්නට අවසර දී තිබෙනවා. එම පාලකයන් වටහා ගෙන තිබෙනවා යුදෙව්වන්ට තිබූ ශිල්පී නිපුනත්වය ආදිය රටේ දියුණුවට යොදා ගන්නට හැකි බව. සාමන්‍ය වෘත්තීන්ට අමතරව සංගීතඥයන් ලෙස, රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස, භාෂා පරිවර්ත්‍රකයන් ලෙස විශේෂිත වූ කාර්යභාරයන් පවා යුදෙව් ජනතාව ඉටුකර තිබෙනවා. මෙම කාලය යුදෙව්වන් නම් කර තිබෙන්නේ Emancipation ලෙසටයි. ඒත් 18 වන සියවසෙන් පසුව නම් ‍බොහෝ යුරෝපීය රටවල් යුදෙව්වන්ට එරෙහිව විවිද නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ එක්කම මධ්‍යතන යු‍ගයේ පල්ලිය නම් යුදෙව්වන් කෙරේ දයාවක් පෙන්නුම්කර නැහැ. පල්ලි‍ය පනවපු නීති අනුව යුදෙව්වන්ට ඉඩම් වලට හිමිකම් කීම හා රැකියාවක නියැලීමත් තහනම් කල බව තමයි පැවසෙන්නේ. පල්ලියේ නීතිවලට අනුව කිතුනුවන්ට පොලියට මුදල් ණයට දීමත් තහනම් කර තිබුනත් ණයට මුදල් ගැනීම නම් තහනම් කර තිබුනේ නැහැ. මේ නිසා කිතුනුවන් මුදල් පොලියට ගත්තේ යුදෙව්වන්ගෙන්.

මධ්‍යතන යුගයේ කතෝලික පල්ලිය දැඩි විරෝදත්වයත් යුදෙව්වන් හා ඔවුන්ගේ ආගම වූ ජුදා ආගම කෙරේ දැක්වූ අතර කිතුදහම, ජුදා ආගමට වඩා ශ්‍රේෂ්ඨ බව ඔවුන්ගේ ඉගැන්වීම වුවා. ඔවුන් මිත්‍යාපවා තම බැතිමතුන්කෙරේ ඇති කිරීමට වගබලා ගත්තා 13 වන සියවසට අයත් ජර්මානු පල්ලියක ජනේලයේ නිර්මණය කල මෙම නිරූපනයෙනුත් පැහැදිලිවන්නේ එයයි. කිතු දහම වම් පසින් නියෝජනය කරන අතර දකුණු පසින් ජුදා ආගම නිරූපනය කරනු ලබන මෙහි කිතුදහම ඔටුන්නක් පැලද ඉහල මට්ටමක තබා ඇති නමුත් ජුදා ආගම යනු දෑස් බැදගත්, සත්‍ය දැකීමට බාධාකරන දහමක් ලෙස පෙන්වාදී තිබේ. එසේම යක්‍ෂයා සබදකම් පවත්වන ආගමක් ලෙස ජුදා ආගම හදුන්වා ඇත්තේ යක්‍ෂයාගේ සලකුණ ලෙස සලකන එළු අග දැතින් දරා සිටීම දැක්වීමෙනි.


ඒ එක්කම ද්වේශ සහගත මිත්‍යාමත දෝතින් දරාගන්නා මධ්‍යතන යුගයේ විසූවන් යුදෙව්වන් යනු අං තිබෙන, දෙකට බෙදුන වලිගයක්ද ඇති උරගයන් වැනි ජීවින් කොටසක් ලෙස විශ්වාස කර තිබෙනවා. තවද යුදෙව්වන් යනු ලේ පිපාසිතයන් ලෙස ඔවුන් උපුටා දක්වා ඇත්තේ ඔවුන් කිතුනු දරුවන් මරා එම රුධිරය යුදෙව්වන් තනන විශේෂිත වූ පාන් වර්ගයක් තැනීමට භාවිතා කරන බවයි.

Anti-Semitism නැතහොත් යුදෙව්වන්ට වෛරීසහගත ලෙස හෙලා දැකීම ඉතා ඈත කාලයේ සිට පැවත ආවත් එය ශක්තිමත් වී තිබෙන්නේ මධ්‍යතන යුගයේ පල්ලියෙන්. ඔවුන්ගේ විශ්වාසය අනුව ජේසුස් වහන්සේගේ අකල් මරණය සිදුවීමට වගකිවයුත්තේ යුදෙව්වන් බවයි. එහෙත් වර්ථමානය වන විට මෙම දෙකොට්ඨාශය ඉතාමත් මිත්‍රශීලීව දේශපාලනයේ පවා යෙදෙන අයුරු සුලභව දැකගත හැකියි.වර්ථමානයසේම  1789-1799 අතර කාලයේ සිදුවූ ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශයේ විසූ යුදෙව්වන්ට, ප්‍රංශයේ අනෙක් ජනතාව හා සමානව සලකන්නත් පාලකයන් ත්‍යාගශීලි වෙලා තිබෙනවා.

ප්‍රංශ විප්ලවය සිත්‍තරෙකු දුටු හැටි

ප්‍රංශයේ එසේ ජනහිතකාමී කරුණාවන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කලත් දෙවන ලෝක යුද්දය අහවර වන තුරු යුරෝපයේ බොහෝ රටවල් යුදෙව්වන් කෙරේ අනුගමනය කල ප්‍රතිපත්තිය සුභදායිවූයේ නැහැ. 17 වන සියවසෙන් පසුව රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ රටවල යුදෙව්වන්ට එරෙහිව භාවිතා කල කොල්ලකාරී, විනාශකාරී සංහාරය හැදින්වූයේ Pogroms නමින්. 1905 ට පමණ අදාල දත්ත අනුව 3000 ක පමණ යුදෙව්වන් පිරිසක් වරින්වර ක්‍රියාත්මක කෙරුන Pogroms 600 ක පමණ අවස්ථාවලදී මියගොස් තිබෙනවා. මේ සිතුවමින් දැක්වෙන්නේ එලෙස ඔවුන් වාසය කල shtetl ගිනි තබද්දී තම දරුවා රැගෙන පලා යන පියෙකුගේ නිරූපනයක්. සිතුවමක් වූවත් එයින් ඇති කරන ලද කම්පනය දෑසට කදුළු මුසු කරන්නට සමත් වූ බව කිවයුතුයි.

කෙසේවෙතත් යුදෙව්වන්ට එරෙහි පදනම් විරහිත ප්‍රචාර ආදිය දෙවන ලෝක යුද්දය නිමාවන තුරුම පැවති යා.

එසේම යුදෙව්වන්ට සහනදායි පිළිවෙතක් අනුගමනය කල රටවල් පවා යම් වැරැද්දකට යුදෙව්වකු සැකකරුවෙකු වූ විටක අනුකම්පාවිරහිතව හා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කල බවට නිදසුන් බොහෝ ඇත. මෙඑවැනි අවස්ථාවකට නිදසුන්ය. එනම් 1894 දී ප්‍රංශයේ යුද හමුදාවේ සේවය කල යුදෙව් නිළධාරියෙකු වන Alfred Dreyfus අත්අඩංගුවට ගත්තේ ඔහු ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට ඔත්තු සපයන අයෙකු ලෙස චෝදනා නගාය. මෙම පෝසටරයේ ඔහු ද්‍රෝහියෙකු ලෙස දැක්වූවත් ඔහුට විරුද්ධ සත්‍ය වශයෙන්ම සාක්‍ෂි නොමැති වූ බවද පැවසේ. එහෙත් නඩු විභාගයේදී වරදකරුවෙකු ලෙස ඔහු නම් කරනු ලැබීය. ඒ අවධියේ දේශපාලව ක්‍ෂෙත්‍රය පවා කැලඹීමට ලක්කල මෙම සිද්ධිය The Dreyfus Affair ලෙස හැදින්වේ. 

Dreyfus ඉහල හමුදා නිළධාරියෙකු නිසා ඔහු නියෝජනය කල ප්‍රංශ ඉහල පැලැන්තිය අතර ඇතිවූ දෙකඩ වීම පසුව මෙම සිද්දිය සාධාරණත්වයෙන් යුතුව විමසීමට එරට නීති ක්‍ෂෙත්‍රයට මඟපෑදු අතර ඔහුට නැවතත් නිදොස්ව ගෞරවාන්විතව හමුදාවට සම්බන්ධවමටත් පසුව 1907 දී විශ්‍රාම ගොස් නැවත පළමු ලෝක යුද්දයේදි ප්‍රංශය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම යුද වැදීමේ ගෞරවයද හිමිවිය. මේ තිබෙන්නේ ඔහු මුහුණු පෑ සිදුවීම් වලට පසුව ප්‍රංශ සමාජය දෙකට බෙදී ගැටෙන අයුරු 1898 දී පළවූ පුවත් පතක කාටුනයෙන් නිරූපිත ආකාරයයි. 
Alfred Dreyfus පසුකලෙක තමන්ට එල්ල වූ ‍චෝදනා වලින් නිදහස් වූවත් ඔහුට එරෙහිව නඩුව විභාග වෙද්දී එය වාර්තා කිරීමට පැමින සිටි Austro-Hungarian වාර්තාකරුවෙකු වූ Theodor Herzl ට අනාගතයේ යුදෙව් ප්‍රජාවට එල්ලට විය හැකි තර්ජනය ඉවෙන් මෙන් වටහා ගත්තේ යුදෙව් විරෝදය නීතිපද්දතීන් ඔස්සේද තහවුරු වීම මගින් ප්‍රංශයේ පමණක් නොව යුරෝපයේද යුදෙව්වන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට ඔහු තුල වූ විශ්වාසයයි. හේ නිසා තමන්ගේම කියා රටක් පිලිබදව වූ වැදගත්කම පිළිබදව අදහස් පල කල ඔහු Zionism සංකල්පය පිළිබදව පළමු සම්මේලනය 1896 දී සංවිධානය කරනු ලැබුවා.

තවදුරටත් යුදෙව් ජනතාව පිළිබදව කිවයුතු දේ බොහෝයි. එහෙත් ලිපිය සෑහෙන්න දිග වැඩිවෙන නිසා එම දේවල් ඉදිරි කොටසින් දැනගමු.

මෙම ලිපියේ දෙවන කොටස -
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V


මේ දක්වා මෙම ලිපි පෙලේ පළවූ ලිපි -
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III




42 comments:

  1. Pattai.Good article

    ReplyDelete
  2. Thanks a lot, Gooooood one

    ReplyDelete
  3. අගේ ඇති ලිපියක්

    ReplyDelete
  4. වචනයක් නෑර කියෙවුවේ මේ ගැන මම දැනන් නොහිටපු නිසා.. සමහර කරුණු මට අළුත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! යුදෙව්වන් ගැන නූතන පරපුර (ඔබ පමණක් නොවේ මම පවා) දැන සිටියේ හිට්ලර් විසින් ඔවුන්ගේ ජනයාගේ මිලියන 6 ක් මරා දැමීම හා ඊශ්‍රායලය බිහිවූ පසු ඔවුන් පලස්තීනයේ මුස්ලිම් මිනිසුන්ට ඇමරිකානු ආශිර්වාදයෙන් කරන අඩම්තේට්ටම් ගැන පමණි(මෙම ඊශ්‍රායල-පලස්තීන ගැටුමට ඊශ්‍රායලයට පමණක් දොස් පැවරිය නොහැකි අතර පලස්තීනය පවා ඇතැම් අවස්ථාවල සීමාව ඉක්මවා සිදුකරන සැහැසිකම් පිළිබදව වගකීම දැරිය යුතුය). එහෙත් ඉන් එහාට ගිය කතාවක් යුදෙව්වන් පිළිබදව ඇති බව ඊශ්‍රායලය ගැන ලියන අවස්ථාවේ මටද හැඟුන අතර දෙවන ලෝක යුද්දය ගැන කතාකරන අවස්ථාවේ එයට ඈදෙන ප්‍රධාන පාර්ශවයක් වන යුදෙව්වන් ගැනද කතා කල යුතුයයි සිතුවෙමි...

      Delete
  5. හොඳ ලිපියක්... ගොඩක් මහන්සිවෙලා ලියලා තියෙනවා..

    ජුදා ආගමටත්, මුස්ලිම් ආගමටත්, කතෝලික ආගමටත්, කතෝලික ආගමෙන් බිහිවූ අනෙක් කොටස් වලත් ආගමික මූලය එකයි නේද?

    ඔය ආගම් සියල්ලේම හරයන් බොහෝ දුරට සමානයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් මේ ලිපියට ටිකක් මහන්සි වුනා. ඇත්තෙන්ම මෙම ලිපිය මීට වඩා සෑහෙන්න දිගයි. ඒත් තව කරුණු එක්කරන්නත් තිබෙන නිසා අවසානයේ හිතුනා ඊලඟ ලිපියෙදිත් යුදෙව්වන්‍ ගැන කතා කරන්න. එ‍තකොට තව වැඩිපුර කරුණු එක් කරන්නත් අවස්ථාව ලැබේවි. ඒ එක්කම සමහර පින්තූර කොටස් වශයෙන් Screen Capture කරන්න වුන නිසා ඒවා එකලස් කරන්නත් අමතර වෙහෙසක් දරන්නට සිදුවුනා. කොහොමවුනත් හොද තෘප්තියක් මෙම ලිපිය සැකසීමෙදී ලැබුන බව පැවසිය යුතුයි. ඔබ අසා තිබෙන ජුදා, මුස්ලිම් හා කතෝලික ආගම් සියල්ලම ඒකදේවවාදය පදනම් වූ එකම කලාපයක බිහිවූ සහ අද එකිනෙකා ඇනකොටා ගත්තත් සමාන කම් රැසත් එලිපිට හෝ සැගවී තිබෙන ආගම් කියා කියන්න පුළුවන්. මීට වසර කිහිපයකට පෙර මුතුහර හෝ මනහර සඟරාවක කදිම ලිපියක් මේ සම්බන්ධයෙන් පලවී තිබුනා. ඉදිරියේදී හැකියාවක් වුවහොත් මේ ආගම් ගැන එකිනෙක සන්සන්දනාත්මක විග්‍රයහයක යෙදීමට බලාපොරොත්තුවෙනවා...

      Delete
    2. ඒකදේවවාදය තමයි.. නමුත් වඩා වැදගත් කරුණ ඔවුන් සියල්ලම විශ්වාස කරන්නෙ එකම දෙවි කෙනෙක්ව..

      මගේ බ්ලොගයේත් මෙවැනි ලිපි මම ලියනවා. (මේ තරම් හොඳ නෑ) වෙලාවක් තියෙනවානම් කියවලා බලන්න..

      Delete
  6. තැනින් තැනින් අසා තිබු දේවල් පිළිවෙලක් වෙලා අලුතින් ගොඩක් දේ දැන ගත්තා . මේ දවස්වල මගේ ඊශ්‍රායල් මිතුරියත් තුර්කි මිතුරියත් හමු වූ විට යුදෙව්වන් ගැනත් යුරෝපා ඉතිහාසය ගැනත් දිගින් දිගටම කතා කරනවා . තුර්කි ජාතික මිතුරිය ලෝක දේශපාලනය ගැන මහාචාර්යවරියක් . ඇයගේ දැනුම විශාලයි . ඊශ්‍රායල් මිතුරිය කිවූ දෙයක් මට නිතර මතක් වෙනවා

    ''වතුරත් හරියකට නැති ලෝකය මැද මේ පුංචි බිම් කැබැල්ල ගලා ගිය රුධිරය තරම් වටිනවාද කියල මට හැම වෙලේම හිතෙනවා . මිට වඩා කොච්චර හොඳද ලෝකේ ඈත කෙළවරක සමයෙන් ඉන්න හැකි බිම්කඩක් ලැබුන නම් ''

    මෙපමණ කලක් ගතවීත් ඔවුන් තුල ජර්මනිය ගැන ඇත්තේ කලකිරීමක් . තරහවක් වෙන්න ඇති . ඒත් සුන්දර මුහුණක් ඇති ප්‍රියමනාප ඇයගේ සිත තරහින් පිරි තියෙන්න විදිහක් නැහැ .

    හරිත් අසා තිබු පරිදි මුස්ලිම් , ක්‍රිස්තියානි , යුදෙව් ආගම් තුන තුලම සමානකම් තියෙනවා . තුනේම නිජබිම එක නිසාද නැත්නම් එකම මුලයකින් බිහි විද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ආගම් ගැන අසා ඇති කරුණට යමක් සුළුවෙන් හරිගේ කමෙන්ටුවට පිළිතුරු ලෙස සටහන් කලත් පසු දිනෙක ඒ ගැන සවිස්තරව යමක් ලියන්නට බලාපොරොත්තුවෙනවා‍. ජර්මානුවන් ගැන තරහක් ඔවුන්ගේ නැත්නම් පුදුමයි. මෙම ලිපියේ ඉදිරි කොටසේදී ජර්මානුවන් යුදෙව්වන්ට කර තිබෙන දේවල් හැටියට ‍ඔවුන් දැන් ශක්තිමත් වී තිබෙන ආකාරයට පෙරලා පහර නොදීමත් පුදුමයක්. ඒ එක්කම මට පෙනෙන හැටියට අතීතයේ ඔවුන් විදි දුක්කම්‍කටොළු, අඩම්තේට්ටම් හා ඊශ්‍රායලය බිහිවූ දා සිට අසල්වැසි අරාබින් සමග තියෙන නොහොද නෝක්කඩු නිසා නිරතුරු සැකයෙන් ලෝකය දෙස බලන බව තමයි සිතෙන්නේ....

      Delete
  7. යුදෙව්වන් කියන්නේ උන් හිටපු හැම රටකම සරය සූරා කාපු ජරා ජාතියක් , හරියට අපේ රටවල් වල හම්බයෝ වගේ . හිට්ලෙර් නිවැරදියි, ඔහු බලයට ඇවිත් වසර කිහිපයක් ඇතුලත නිවට නියාලු ජාතියක් උන ජර්මානුවන් ප්‍රබලජතියක් කරනවා මුළු මහත් යුරෝපයේම, යුදෙව්වෝ කියන්නේ කුඩල්ලෝ වගේ රටක දේශීය අර්ටිකයක් පමණක් නොව මිනිසුන්ගේ සාරය පවා උර බොන ජාතියක්.
    මොනවා උනත් මේ ලිපියට ස්තුතියි
    විකි

    ReplyDelete
    Replies
    1. ඒ අයට රටක් තිබුන නම් එහෙම වෙන්නේ නැහැ නේද . අනික හිට්ලර් ඉතින් යුදෙව්වෝ මරපු ඒක විතරක් යැයි අනික් රටවල් අල්ල ගන්නත් ගියානේ . එතකොට මෙන්ගල් වගේ ජර්මන් දොස්තරලා පුංචි ළමයින්ගෙන් පරීක්ෂණ කරපු ඒක වගේ දේවලුත් සාධාරණ වෙනවා හිට්ලර් හොඳයි කිව්වොත් . හිට්ලර් ගැන හොඳක් හිතන්න කොහොමවත් බැහැ . හැබැයි එකක් ඔය දෙවෙනි ලෝක යුද්ධේ ඇවිලිලා එංගලන්තේ හෙම නට්ටන් වුන හන්ද අපි වගේ යටත් විජිත වල නිදහස ලැබීමට නම් ටිකක් බලපෑවා .

      Delete
    2. විකී, ස්තුතියි මගේ උත්සාය අගය කිරීම ගැන නම්. හැබැයි ඔබ දක්වා ඇති වර්ගවාදී අදහස ගැන නම් කිවයුත්තේ මා කණගාටුවෙන බවයි. යුදෙව්වන් 18 වන සියවසෙන් පසු පළමු ලෝක යුද්දය අවස්ථාවවෙනතෙක් වැඩියෙන්ම පීඩා විද සිටියේ රුසියානුවන්ගෙන්. ඔවුන් භාවිතා කල Yidish භාෂාව ජර්මන් උරුවක් ගත් නිසා රුසියානුවන් තම රටේ හා ඒ අවට කලාපීය රටවල සිටි යුදෙව්වන් කෙරේද බැළුවේ වෛරීසහගත ආකල්පයෙන්. කෙසේවෙතත් රුසියානු විප්ලවය නිසා රුසියාවේ යුදෙව් විරෝදය තරමක් ලිහිල් වූවත් හිට්ලර් වැනි අති දරුණු යුදෙව් විරෝදයක් ඇති පාලකයන් පසුකලෙක බිහිවීමත් සමග යුදෙව් ජීවිත 60 ලක්‍ෂයකට පමණ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුනේ වදවේදනාද විදිමිනුයි. යුදෙව්වන් බහුතරයක් කුමන හෝ ශිල්පයකට දක්‍ෂවීම නිසා ඔවුන් දියුණු වී සිටීම ගැන වෛරය එදත් තිබෙන්නට ඇති. අපේ සමාජයේ වුවත් හොදට කාලඇදල දියුණු වෙන මිනිහා ගැන ඊර්ශයා සහගතව බැලීම සුලභ කරුණක්. අල්පේච්ඡතාව, සමානාත්මතාව, සතුරාටවත් වෛර‍ නොකරන්නට උගන්වන බුදුදහම අදහන අපේ මිනිස්සු මෙහෙම නම්, මානව හිමිකම් නැති, බලවතා ර‍ජකල, යටත්විජිතවාදය ලෝක සම්මතයක් වී පැවතුන කාලය බුදු දහමට වඩා වෙනස් අදහස් ඇති ආගම් අදහන ජනතාව තුල තමන්ගේ වර්ගයේ නොවන මිනිසුන් කෙරේ වෛරයෙන්, සැකයෙන් බැලීම පුදුමයක් නොවේ.

      හිට්ලර් භෞතිකමය වශයෙන් ජර්මනිය දියුණු කලා. ඒ ගැන සැකයක් නැහැ. ඒත් ඔහු ජර්මානු මනුශ්‍ය අභ්‍යන්තරය දරුණු ලෙස විනාශ කලා. ඔහුට හෝ ස්ටාලින්ට හෝ පොල්පොට්ට හෝ ඉඩි අමීන්ට හෝ මේ නාමාවලියේ නැති කවර හෝ ඒකාධිපතියෙකුට මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ.

      කරුණාකර ඔබ සතුව යුදෙව්වන් ඊශ්‍රායලය බිහිවීමට පෙරාතුව කල කපටිකම්ථ සූරාකෑම් ආදිය පිළිබදව යම් ලේඛණ වෙතොත් මාහටද ලබාදෙන මෙන් ඉල්ලන්නේ යුදෙව්වන්ට වුන අසාධාරණය මිස ඔවුන් කල කී නොහොබිනා දේවල් ගැන දැනගැනීමට ප්‍රභවයක් මා සතුව නැති නිසයි. ඊශ්‍රායලය බිහිවූ පසුව නම් ඔවුන් කරන කියන දේ ගැන දැනගැනීමට ප්‍රභව ඇතත් ඉන් පෙරාතුව දේවල් ගැන දැන ගැනීමට මමද කැමැත්තෙම්.

      තවද අන්තවාදී නොවී බොහෝ දේ ගැන සමබරව හිතන්නට පහසුවීම සදහා ඔබ මෙම පොත් දෙක කියවා නැත්නම් කියවන්න. එයින් සමහර විට ඔබ දරනා අදහස් වල යම් වෙනසක් වේයයි සිතනවා. එනම් ප්‍රියන්ජන් සුරේශ්ද සිල්වා මහතා ලියූ අවසන් විසදුම - දෙවන ලෝක යුද සමයේ නට්සි වදකදවුරුවල සිරගතවූවන්ගේ ඉරණම පිළිබද සත්‍ය වෘතාන්තය සහ රංජිත් කුරුප්පු මහතා විසින් පරිවර්ථනය කරන ලද දොස්තර මික්ලෝස් නයිස්ලිගේ Auschwitz "A Doctor's Eye witness Account" පො‍තේ සිංහල පරිවර්ථනය වන මරණයේ දොරටුව - හිට්ලර්ගේ මිනීමරු කම්හල තුලදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්‍ෂි නම් පොතයි. මේ ගැන වැඩි දුරටත් විස්තර http://sathsamudura.blogspot.com/2011/09/blog-post_21.html සබැදියේ තිබෙනවා...

      Delete
  8. ජුදා ආගමටත්, මුස්ලිම් ආගමටත්, කතෝලික ආගමටත්, කතෝලික ආගමෙන් බිහිවූ අනෙක් කොටස් වලත් ආගමික මූලය එකයි නේද? මටත් කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක් මේක.. ඇත්තටම යුදෙව් ජාතියට ඉතිහාසේ ඉදන්ම වෙලා තියෙන්නේ සාධාරනයක් නම් නෙමේ,,,යුදෙව් ජාතිකයෝ හැබැයි බුද්ධිමත්,කපටි ජාතියක් කියලා නම් මම අහලා තියනවා,,,ස්තූතී දිනේශ් අයියේ අද ලිපියට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ආගම් ගැන අසා තිබෙන පැනය කිහිප දෙනෙකුම අසා තිබෙන නිසා පසු දිනෙක ඒ ගැන ලිවීමට හැකිනම් කාලෝචිත යයි සිතනවා. යුදෙව්වන් කියන්නේ දක්‍ෂ ජාතියක්. පෙර සිදුවූ අසාධාරණයන්, අපේ මිනිස්සු මෙන් පෙර රජදරුවන් කල සුරුවිරුකම් ගැන පාරම්බානවට වඩා වර්ථාමනය හා අනාගතය සැපවත් කර ගැනීමට ඔවුන් දරනා උත්සාහය අගය කල යුතුයි...

      Delete
  9. යුදෙව්වෝ ගැන මගෙත් හිතේ පොඩි කුකුසක් තිබ්බ නිසාත් ඔවුන්ගේ දක්ෂතා ගැන කලින් අහල තියෙන නිසාත් නොයෙක් වර ජාලයේ තියෙන ලිපි කියවලා තිබුනත් මේ තරම් වැදගත් දත්ත එකතුවක් එක තැනකින් දැකපු පළමු වතාව..
    බොහොම හොඳ ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මමත් ඇත්තටම ප්‍රියන්ජන් සුරේශ්ද සිල්වා මහතා ලියූ අවසන් විසදුම - දෙවන ලෝක යුද සමයේ නට්සි වදකදවුරුවල සිරගතවූවන්ගේ ඉරණම පිළිබද සත්‍ය වෘතාන්තය පොත හැරෙන්නට යුදෙව්වන් ගැන සවිස්තරත්මකව ලියූ ලේඛණයක් දැක නැහැ. ...

      Delete
  10. ඔවුන් මේ විදිහට හැම තැනින්ම එළවන්නත් , අඩන්තේට්ටම් වලට ලක්කරන්නත් මොකක් හරි හේතුවක් ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඇතැම් හේතු මෙම ලිපියේත් සදහන් වන අතර අප නොදන්නා සැගවුනු හේතුත් ඇති. කොහොමවුනත් මධ්‍යතන යුගයේදී සල්ලි පොලියට දෙන මිනිසුන් ලෙස ඔවුන් සිටි නිසා එදා සල්ලි නැති මිනිසුන්ට, මිල මුදල් ඇති යුදෙව්වෝ ගැන ඉර්ශයාවක් තිබෙන්නට ඇති. ජර්මනිය පරාජය වූ පසුව ජර්මානුවන් අමාරුවෙන් දිවි ගෙව්වත්, යුදෙව්වන් එයට වඩා හොද ජීවිතයක් ගත කිරීම ගැනත් ඉර්ශයාවක්, වෛරයක් තිබෙන්නට ඇති. ලංකාවේ අද වෙන ඇතැම් මිනීමැරුම් ආදියටත් හේතුව ඉර්ශයාව බව අමුතුවෙන් කියන්න ඕනයැ...

      Delete
  11. ලිපියට බොහෝම ස්තූතියි...නොදන්න ගොඩක් කරුනු දැනගත්තා මේ ලිපියෙන්..මගේ අදහස නම් යුදෙව් ජාතිකයන්ට මේ විදිහට අඩන්තේට්ටම් වෙන්න ඇත්තේ ඔවුන්ගේ වත්කමුත්,මොලයත් නිසා වෙන්න ඇති...රටක සුලු පිරිසක් (විජාතික ) එහි ආර්තික,දේශපාලනික..වගේ අOශ වල අදිපති බව ලබනකොට..අනික් අයට ඔවුන් ගැන ඉරිසියාවක් ඇතිවීම ස්බාවිකයි..(80 දශකයේ ලOකාවේ කලු ජූලියේදී වගේ )..ඒ වගේම ලොකේ ඉහලම බුද්දිමතුන් උන අය විශේශයෙන් බෞතික විද්යාව වගේ විශයන් වල..ඒ අය යුදෙව්වෝ..මෙහෙම වෙන්න ඒ අයගේ චින්තනය හ සOස්කෘතිය හේතු උනා..ඒ නිසා යුදේව්වෝ කියන්නේ දක්ශ ජාතියක්...එතකොට ඔහොම දේවල් වෙනවා... ලිපිය නියමයි..දිනේශ් අයියා තමා සින්ඩියේ ඉන්න හොදම බ්ලොග් ලියන්නා බවයි මගේ අදහස...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! හැබැයි අන්තිමට කියල තියෙන කාරණය නම් මට ටිකක් දරන්න අමාරු දෙයක් කියලයි හිතෙන්නේ. මොකද හොදම ස්ථානය රැක ගෙන සිටීම ටිකක් පීඩනයක්නේ :D) කොහොමවුනත් මගෙත් අදහස ඔබ කියන එකමයි. තව සැඟවී තිබෙන හේතුත් තිබෙන්නට පුළුවන්. ඒත් පොදු හේතු ලෙස නම් මටත් පෙනෙන්නේ මේවායි...

      Delete
  12. I appreciate your taking the time to write to us.

    ReplyDelete
  13. හැමදාම කියනවා වගේ ඔයාගේ මහන්සියටත්, වැයකළ වටිනා කාලයටත් ස්තුතියි! ගොඩක් වටිනා දැනුමක් ලබාගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලඟ ලිපියේදි තව වැඩිදුරටත් විස්තර දැනගනිමු...

      Delete
  14. ඉස්සර යුදේව්වෝ නෙමේ දැන් බලවත් වෙලා. එකයි

    ReplyDelete
  15. විශිෂ්ඨ ලිපියක් දිනේශ්.. අපි වෙනුවෙන් වැයකළ කාලයට අනේකවාරයක් තුති. නොදැන හිටපු කරුණු ගොඩාක් දැන ගත්තා.

    ඇත්තටම "තෝරාගත් ජනතාවට" මෙහෙම වෙන්නෙ ඇයි කියන එකනම් මටත් ප්‍රශ්ණයක් !

    ඔය යුදෙව්වො සල්ලි පොලියට දෙන එක, එක රොබින් හූඩ් කතාවකත් ගියා මට මතකයි. ෂෙරීෆ් හිටන් මිනිහට ණය වෙලා තිබුනා. ඒක කතාවක් උනත් ඒකෙන් මේ පැවතුනු යථාර්ථය පෙන්නලා තිබුනා.

    ආගම් ගැන කතාකරද්දි නම් ඔය ආගම් තුනම එකම මූලයකින් පැවතෙනවා කියලා තමා පේන්ඩ තියෙන්නේ. පැරණි ගිවිසුමේ තියන බොහෝ කරුණු ආගම් තුනටම පොදුයි, ආගම් තුනම පිළිගන්නවා. යුදෙව්වොත් සුන්නත් කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරනවා කියලා මම අහලා තියනවා ඇත්තද දන්නෑ. දිනේශ් ඒ ගැන යමක් දන්නවනම් සඳහන් කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා රොබින්හුඩ් එකේ ඔය කතාව ඊයෙ ගියා..

      සුන්නත් කතාව තියෙනවා ජුදෙව්වන් අතරත්..

      Delete
    2. ස්තූතියි හරී.. මට ඒ ගැන තිබුනෙ සැකයක්.. ස්තූතියි සැකය දුරුකලාට..

      Delete
  16. මේක හතරවන කොටස කියල තියෙනවා ... එතකොට එක දෙක තුන කෝ ?

    ReplyDelete
    Replies
    1. මේ දක්වා මෙම ලිපි පෙලේ පළවූ ලිපි - කියලා මෙම ලිපියේ අවසානයේ දක්වා ඇත්තේ මුල් කොටස් තුනයි...

      Delete
    2. මම අහල තියෙනවා ඉරානයේ තවමත් යුදෙව් ජතිකින් මුස්ලිම් ජාතිකයින් සමග ජීවත් වෙනවා කියල, ඒවගේම යුදෙව් සහ zionism අතර ඇති වෙනස මොකක්ද

      Delete
  17. හොද ලිපියක් දිනේෂ් !

    ReplyDelete
  18. Schindler's List (1993) DVDR
    http://www.demonoid.me/files/download/2273209/
    යුදෙව්වෝ දුක් විදපු තරම් මේ film එකෙනුත් නොබලපු කෙනෙක් ට බලාගන්න පුළුවන්.
    DL link- http://www.demonoid.me/files/details/2273209/013708823193/

    ReplyDelete
    Replies
    1. I watched it. One of greatest movies like "August Rush"

      Delete
  19. දිනේෂ් මහත්තය , "පුදුම හික්මීමකින් ,සංයමයකින් සහ මනා අචාර්ශීලී බවකින් " සාරවත් ලිපියක් නිබදවම පාටකයට ලබාදෙන්න ගන්න උත්සාහය උත්කෘෂ්ටයි , හැමවිටම මම සත්සමුදුරට ඇවිත් යනකොට දැනෙන්නේ හරියට මම ණයකාරයෙක් වගේ හැගීමක්. අපට දෙන්න දෙයක් නැහැ . දැනුම සහ අවබෝදය අරගන යනවා.
    මම දාපු කමෙන්ට් එකට ,දිනේෂ් මහත්තය බොහොම කාරුණිකව සහ මිත්‍රශේලී දැනුම්දීම පිලිබදව මගේ ස්තුතිය පලකරනවා.
    යුදෙව් ප්‍රශ්නය හා බැඳුනු ,ලෝකයේ ගමන්මග වෙනස්කල සිදුවීම් හා කරුණු කාරණා ගණනාවක් තියනවා, ඒවා කෙටි සහ රසවත් ඒවා නොවයි .
    බටහිර ප්‍රබල ජාතීන් බිහි උනේ, කිසියම් රටක් හෝ ජාතියක් " උණ්ඩයෙන් සහ ආගමෙන් " යටත් කිරීමට, විරුද්ද වේ නම් සංහාරය කිරීමට , සහ මලෙච්චට්වය වඩා හොදින් වැපිරීම කළහැකි උන අයයි.
    හිරු නොබසින අදිරාජ්‍ය විසින් මහද්දේපික ප්‍රතිපත්තිය ගෙනයමින් රටවල් විශාල ගණනක් අල්ලගන සිටීමත් , ප්‍රංශයද එයට නොදවෙනි තැනක සිටීමෙන් තුලින් පහත් නොදියුණු ජාතින් ලෙස හංවඩු ගසා ඇති " ආසියානු , අප්‍රිකානු , ලතින් ඇමරිකානු " රටවල් නිර්දය සුරකෑමකට ලක්කර තිබුන . යටත් බැවින් රටවල් මුදවන්න කියල මුලින්ම කිව්වේ හිට්ලර්. නියම ලෙස හෝ අනියම් ලෙස ඔවුන් අල්ලගන සිටි රටවල් නිදහස් කිරෙමට හෝ එම රටවල වෙළදපොල විවර කිරීමට ඔවුන් කැමැති උනේ නැහැ . හිට්ලර්ට මේ තත්වය යටතේ වෙන විකල්පයක් තිබුනේ නැහැ . හේතුව හිට්ලර් චරිතයේ බොහෝ කොටස් නිර්මාණය කලේ ඉහත ජාතීන් හා එයට බැදුණු කරුණු උන නිසයි ,

    මෙයට එක්‌ හොදම නිදසුනක් නම් පළමු ලෝක යුද්දය පිළිබද හේතු ලෙස උඩින් පෙන්නපු කරුණු වලට වඩා සහ පරාජිතයන් කෙරෙහි ජයග්‍රාහකයන් පෙන්වා දුන් බොරු තර්ක ( මේවා සත්‍ය කරුණු ලෙස පසු කාලීනව ලෝපුරා ඉගැන්වීමට සලසා තිබෙනවා ) ., පළමු ලෝක සංග්‍රාමයට සම්බන්ද නොවිය යුතුයි කියල 1914 දී පමණ ලෙනින් පෙන්නලා දෙනවා කරුණු සහිතව. ඒ අනුව 1917 දී බලයට ආ ලෙනින් හෙළිකරනවා එංගලන්තය හා ප්‍රන්සය ඇතිකරගත් රහසිගත ගිවිසුම වන " සෛකොස් පිකොට් ගිවිසුම " පිළිබද තොරතුරු , එයට අනුව ඔටෝමන් තුර්කි අදීරජ්ජය හෙවත් ජර්මනිය යුදයෙන් පසු ව බෙදාගන්න විදිහ පිළිබද එකගතාවයක් ඇති කරගන තිබුන . එම කටයුතු වලට මුල් වෙලා තිබුනේ යුදෙව්වන් ,

    යුදෙව්වන්ට රට පිලිබදව හැගීමක් නැති නිසා ඕනිම ජරා වැඩක් කරන්න පසුබට උනේ නැහැ, වියාපාර කරමින් , මුදල් පොලියට දෙමින් ඔවුන් අර්ටික වශයෙන් ශක්තිමත් අය වී සිටිය . යුදෙව්වන්ට හැකියාව තිබුන ඒ නිසා බහුටර සවදෙශිකයන්ව පගගන ඉන්න, එනිසා ධනය , බලය , හිමි ඔහුන්ට නිසා හොද අද්යාපනයක් ලබන්න පුළුවන් උනා. එනිසා යුදෙව් බහුතරය උගතුන් ව සිටිය . ජර්මානුවන් යුදෙව්වන්ගෙන් කොතරම් පීඩනයකට ලක්ක්ව තිබුනද යන්න අවබෝද කරගන්න හිට්ලර් මුල්කාලේ කියපු දෙකින් පේනවා. ඔහු යුදෙව්වන් හැදින්නුවේ " ජර්මානු කෙල්ලන් දුෂණය කරන කකුල් බකල් අවජාතකයන් " ලෙසයි.

    හිට්ලර් තේරුම් ගත්ත යුදෙව්වන් සහ අදිරාජ්‍ය වාදීන් කියන්නේ දෙකක් නොවෙයි ,එකම කාසියේ දෙපැත්ත කියල .

    අදටත් එය වලංගුයි. යුදෙව්වන් අදටත් ලෝක දේශපාලනයට , ලෝක අර්ටිකයට , ප්‍රබල බලපෑම් කරන සහ හසුරුවන අති බහයනක ජාතියක්. බටහිර රටවල බලයටපත් බොහෝ නායකයන් යුදෙව් සම්බවයක් තිබුණු අය, නැතිනම් ජයග්ග්‍රහණය සදහා යුදෙව්වන්ගෙන් කොටි ගණන් මුදල් ගත අය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නැවත වරක් අගය කිරීම ගැනනම්. මම මේ දක්වා තිබෙන කාරණා වලට පිළිතුරු ලබා දෙන්නම්. හැබැයි මම කරුණු දක්වාගෙන යනකොට ඇතැම් අය අවේගයෙන් ඒවා පලකරන බවට මතයක් පල කර තිබුනත්, එය ආවේගයක් නොවෙයි මම හැදෑරූ කරුණු හා මේ දක්වා සතුව තිබෙන කරුණුවලට අදාලව මා‍ගේ මතයද අනුව පලකරන්නක්.එය පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාරණයක්. බල කිරීමක් නැහැ.

      පළමු ලෝක යුද්දය ඇත්තෙන්ම අවිලෙන්න ආසන්නම හේතුව වුනේ ජර්මනිය හෝ සෝවියට් දේශය (එවකට රුසියාව)අවශ්‍යතාවයට වඩා සර්බියාවේදී, ඔස්ට්‍රො-හන්ගරි අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු වන ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් සහ ඔහුගේ බිරිද, සර්බියන් ජාතිකවාදී සංවිධානයක සාමාජිකයකු වන Gavrilo Princip විසින්. එවිට ඔස්ට්‍රියාව, සර්බියාවට එරෙහිව යුද ප්‍රකාශ කරනකොට සර්බියාවට සහයට රුසියන් හමුදාව එනබව දැන සිටි ජර්මනිය, ඔස්ට්‍රියාව සමග යුද්දයට සම්බන්ධ වීම සිදුවෙනවා. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ සර්බියන්වරු හා රුසියන්වරු Slavic නැතහොත් ස්ලාව්වරු වීම, අනෙක ස්ලාව්වරුනගේ ප්‍රධානම රාජ්‍ය රුසියාව නිසා ඊට වඩා කුඩා ස්ර්බියාව රැක ගැනීම ඔවුන්ගේ යුතුකමක් ලෙස සලකන්න ඇති. මම හරියටම දන්නේ නැහැ ජර්මනියේ සිටි ටියුටන්ස්වරු, ඔස්ට්‍රියාවෙත් සිටි නිසා ඔවුන් අතර මෙවැනිම සහසම්බන්ධතාවයකුත් ජර්මනිය ඔස්ට්‍රියාව වෙනුවෙන් සටන් කරන්නට පැමිණියාද කියන එක කොහොමවුනත් 1890 න් පසුව ජර්මන් කතාකරන්නන් අතර ගොඩනැගී තිබූ 'Mitteleuropa' සංකල්පය ඔස්සේ මේ රටවල් දෙක අතර ඇති සම්බන්ධතාවය ඔස්සේ යුද්දයට සම්බන්ධවන්නට එක්හේතුවක් වන්නට ඇති මුත් අවසානයේ ප්‍රධාන වශයෙන් යුද්දය ඇදී ගියේ ටියුටන් සහ ස්ලාව්වරු අතර සහ රුසියාව හා සම්බන්ධවූ ප්‍රංශය හා එංගලන්තය යන ‍රටවල් ප්‍රධාන කොටයි.

      පළමුලෝක යුද්දය ගැන මීට වඩා ගැඹුරින් කතා කල යුතු නිසා වැඩියමක් කීමට අදහස් නොකරන අතර ජර්මනිය ඒවන විටත් අධිරාජ්‍ය තරඟයට එක්වී සිටියත් ඔවුන් ප්‍රමාද වී මේ තරඟයට එක්වූ නිසා එංගලන්තය හා ප්‍රංශය තරම් රටවල් තමන්ගේ කිරීටයට එක්කරගන්නට නොහැකිවූ නිසා තුර්කිය හා එක්වීමෙන් ඒ අරමුණට ලගාවී‍මේ අවශ්‍යතායක් ජර්මනියට තිබුනා. ඒ අනුව ඇෆ්ගනිස්ථානය හරහා තුර්කි සෙබළුන් ඉන්දියාවට පහරදී නැවත මුස්ලිම්කරණයකට ලක්කිරීමට ජර්මානු-තුර්කි සැලැස්මක් තිබුනත් තුර්කින් හමුවේ නොසෑහෙන්න තුර්කි අධිරාජ්‍යයට නතුව තිබූ රටවලදී තුර්කි හමුදාවට පහරදීමට ගොස් බැටකෑ එංගලන්තය කෙසේ හෝ ඒ අරමුණ ජය ගැනීමට නොදී සිටියා. ඒත් එදා යුදෙව්වන් හා ජර්මනිය එක්ව සිටියත් ජර්මනියේ අනුබලයද සහිතව තුර්කි අධිරාජ්‍යයේ වාසය කල කිතුනු බැතිමතුන් වූ ආර්මෙනියන් වරු 150,000 ක් විවිද ක්‍රම ඔස්සේ ඝාතනය කර දැමීමට තුර්කිය වගබලා ගත්තා.

      පළමු ලෝක යුද්දය අවසාන කාලය වන විට රුසියන් විප්ලවය සිදුවූවත් ඒ වනවිට ජර්මන් හමුදාව හමුවේ පරාජයන් රැසකට රුසියාව ලක්ව සිටීම වගේම එංගලන්තය හා නෑදෑ සබදකම් තිබෙන රුසියානු සාර් රජපවුල බලයෙන් නෙරපා දැමීම ඔස්සේ රුසියානු හමුදාව තව දුරටත් මෙම යුද්දයට යෙදවීමේ අවශ්‍යතාවය ලෙනින්ට නොතිබීම පුදුමයක් නොවෙයි. තව තිරයෙන් පිටුපස කරුණු මෙම සෑම සිදුවීමක් පසුපස ඇති ඒත් ඔබ කියනා පරිදිම බොහෝවිට කාලයක් යනවිට ස්ථාපිතවෙන්නේ තිරයෙන් ඉදිරියේ සිදුවූ කරුණු කිහිපයක් පමණයි. ඒකේ ගැටළුවක් නැහැ.

      ඒත් අන්තවාදී වාර්ගිකත්වය පිළිබදව නම් මට අනුමත කල නොහැකියි. ලෝකයේ කිසිදු ජාතියක් බෝසත් පිළිවෙත් පුරන්නන් නෙවෙන බව ඔබට කිවයුතු නැහැනේ. යුදෙව්වන් ඉතිහාසය පුරා විවිද කාරණාවලට අහිතකර බලපැම් ඇතිකරන්නට ඇති. ඒත් එය වාර්ගික විශුද්ධිකරණයක් ඔස්සේ කෲරත්වයකට බාජනය කිරීමට හේතුවක් ‍නොවෙන බව පැවසිය යුතුමයි. ඔබ කියන ආකාරයට යුදෙව්වන් සල්ලිකාරයන්වීම, ඒ හරහා අධ්‍යාපනය ලැබීමට පහසුවක් වීම වගේ කාරණා අපේ ‍රටේ ඇතිවූ 83 ජූලි කලබල ආදිය හා සසදන්නේ නම් එදා ලංකාවේත් කොළඹ ව්‍යාපාර රැසක හිමිකරුවන් ද්‍රවිඩ ජාතිකයන්, අවසානයේ අන්තවාදී හැගීම් ඔස්සේ සිදුවුනේ ඔවුන්ගේ ජීවිත රැසක් අහිමිවීම (අහිමිකිරීම කිව්වත් වැරැද්දක් නැහැ), එම දේපල කොල්ලකෑම, බෙදුම්වාදී ත්‍රස්ථවාදයට නිල පිළිගැනීමක් ලෝකය පුරා ඇතිවීම හා එයින් වසර 25 කට වඩා කාලයක් රටේ වටිනා ජීවිත රැසක් අහිමිවූ යුද්දයක් ඇදීයාම ඒ අනුව බැළුවිට රටක යම් කිසි ජාතියක යම් පිරිසක් ඇති කරන බලපෑම හමුවේ කෲර ලෙස මරා දැමීම රටේ අනාගතයට සුභවාදී වේ යයි ඔබ සිතන්නේද? කිසිවෙකුට, අන්‍යයන්ගේ ජීවිත උදුරා ගැනීමට අයිතියක් ඇතියයි ඔබ සිතන්නේද? යුදෙව්වන් ලෝකයේ විවිද අක්‍රමිකතා කරන්නේනම් එයට නිසි ආකාරයේ එරෙහිවීමක් සිදුකල යුතු බව තරයේ ප්‍රකාශ කරන අතර එය ගෝත්‍රිකවාදී ලේ හැලීමක් නොවන බවද අවසානයේ ප්‍රකාශ කිඍමට කැමැත්තෙමි...

      Delete
    2. (ආර්මෙනියන් වරු 150,000 ක් නොව එය 1,500,000 ලෙස නිවැරදි විය යුතුයි).

      Delete