Friday, January 6, 2012

මී හරකා, වීසිදැල තවත් සිංහල චිත්‍රපටි ගණනාවක් අසභ්‍ය නිර්මානද? සහ පෙර ලිපියට තවත් ඇමුණුමක්... The attachement to previous post +18 (දහ අටට වැඩි ඈයොන්ට විතරයි)

කලින් ලිපිය වන ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex)  දී ලැබුන අදහස් වලට පුළුල් ලෙස පිළිතුරු දීමේ අවශ්‍යතාව නිසා සහ කමෙන්ටුවලදී කරුණු දීර්ඝ වශයෙන් ලිවීමේදි ඇතිවන තාක්‍ෂනික ගැටළුද හේතුවෙන් මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමට සිතුවෙමි.

සමස්ථ ලෝක සිනමාවම ගත්තහම ලස්සන නළු නිළි දෙපලක් නැති චිත්‍රපටි අතලොස්සක් පමණක් හැදෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් ලෝකයේ ජනප්‍රිය සිනමාව ගත්තහම ඒවගේ නළුනිළියන් කඩවසම් රූමත් අය වෙනවානම් ඒ ගැන ප්‍රේක්‍ෂකයොත් කැමතියි. ඒ තත්ත්වය අභිබවා ගිය කඩවසම් රූමත් නොවන නළුනිළියන් අරන් නිර්මාණයක් කරනවා නම් අනිවාර්යයයෙන්ම ඒ රංගනවේදියා හෝ රංගනවේදිනිය,  රංගනයේ සෑහෙන්න දක්‍ෂ අයෙක් විය යුතුයි. අපේ සිනමාවෙත් එවැනි අතිදක්‍ෂයන් කිහිපදෙනෙකුම සිටියා. ඒ අතරින් ප්‍රමුඛතම තැනක් ගන්නේ නැසීගිය රංගනශිල්පී ජෝ අබේවික්‍රම මහතා කිව්වොත් වරදක් නැහැ. ඔහු විහිළු නළුවෙකුලෙස සිනමාවට පිවිස පසුව අතිදක්‍ෂ චරිතාංග නළුවෙකු බවට පත්වී සිංහල සිනමාවේ මතක සටහන් රැසක් අපට ඉතිරි කරන්නට සමත්වූවා.  අද ඇතැම් ශිල්පීන් එකම ව‍ට්ටෝරුවේ රාමුවකට කොටුවී සිට සම්මානීනය තත්ත්වයක් ලගාකරගත්තත් ජෝ අබේවික්‍රම මහතාට මෙම අන්තයන් දෙකේදීම එකසේ දක්‍ෂයෙකුවීම පිළිබදව ඔබට ‍හොදම උදාහරණයක් සපයන්නම්, මීට වසර 20 කට හෝ ඊට ආසන්න කාලයකදී  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර නම් සම්මානලාභී සිනමා නිර්මාණය සිනමාශාලාවල ප්‍රදර්ශනය වන අතරතු‍රේදීම රෝයි ද සිල්වා මහතාගේ චෙරියෝ කැප්ටන් නම් හාස්‍ය උපදවන චිත්‍රපටියද ප්‍රදර්ශනය වූ අතර ඒ චිත්‍රපටි දෙකේම ප්‍රධාන චරිතයද රඟපෑ‍වේ  ජෝ අබේවික්‍රම මහතායි. ඉතින් සම්භාව්‍ය හා වාණිජ යන සිනමා ද්විත්වයේම රඟපෑමට තරම් ඒ මහතා දක්‍ෂයෙක්.
ජෝ අබේවික්‍රම මහතා තරුණ අවධියේ රඟපෑ චිත්‍රපටියක දර්ශනයක්
ඒ මහතා තරම් නොවුනත් තව නළුනිළියන් කිහිප දෙනෙකුම අපට සිංහල සිනමාවේදී මෙම අභියෝගය සාර්ථකව ජයගත්බව පවසන්නට පුළුවන්. අමරිසිරි කලංසූරිය එයින් එක් සිනමාවේදියෙක්. ශරීර ප්‍රමාණයෙන් දේහදාරියෙකු නොවනවා සේම විජය කුමාරතුංග වැනි දුටුවන් ඇදබැද ගන්නා රූපකායකින්ද නොවූවත් චරිතාංග නළුවෙකු ලෙස ඔහු විසින් ලබාදුන් දායකත්වය පැසසිය යුතුයි. උදාහරණයක් ලෙස විශේෂයෙන් ඔහු රඟපෑ පූජා චිත්‍රපටියේදී ඔහුගේ රංගනකුසලතාවයන් ඉතාමත් තාත්වික ලෙස නිරූපනය කලා පමණක් නොව එම චිත්‍රපටිය මුල්වරට චිත්‍රපටි ශාලාවල 1986 දී ප්‍රදර්ශනය වී දැන් වසර 25 ක් පමණ ගතවී ඇතත් වර්ථමානයේ පවා එහි ඇති සංවේදී සිතට දැනෙන බව වචනයෙන් විස්තර කල නොහැකියි.

මහේන්‍ද්‍ර පෙරේරා තවත් රූපයෙන් ‍හෝ දේහදාරීබවෙන් අගතැන්පත් නැතත් රංගනයෙන් සිංහල සිනමාවට හොද දායකත්වයක් ලබාදුන් අයෙක්. 1986 දී ඔහුගේ රංගනය මුල්වරට මා දුටුවේ කොටි වලිගය චිත්‍රපටියෙන්. එහි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයෙකුගේ චරිතය දුටුවිට ඇත්තටම හිතුනේ ඔහු හැබෑවටම කුඩු කාරයෙක්දෝ යන  සැකයයි. එපමණකටම ඔහු එය සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. එ‍සේම 2008 දී තිරගතවූ මචං චිත්‍රපටියේද ඔහු හොදින් තම චරිතය නිරූපණය කර තිබූ බව පැවසිය යුතුයි.

ඊට අමතරව දැන් නම් එතරම් සිනමාවේ හෝ ටෙලිනාට්‍ය වල දක්නට නොලැබෙන ලින්ටන් සේමගේ නම් රංගනශිල්පියාද මේ කුලකයටම අයත් අයෙක්. මේ ලිපියේ මාතෘකාවේද දැක්වෙන මීහරකා චිත්‍රපටියේ අසහණයට පත් ගම්බද තරුණයාගේ චරිතයමෙන්ම පාදඩයා චිත්‍රපටියේ වෙල්විදානේගේ චරිතයටද උපරිමයෙන් දායකවී ඇති බව අවධාරණය කල යුතුයි.

කෙසේවෙතත් රූපයෙන්, තඩවසම් සිරුරෙන් වගේම රංගනයේ ඇති ස්වාභාවිකත්වයෙන්ද යුක්තවූ නළුවෙකු ලෙස අකාලයේ අප අතරින් වියෝවූ විජය කුමාරතුංග නම් මානව හිතවාදී මිනිසා ගැනද නොකියා බැහැ. අද පවා ඔහු රඟපෑ චිත්‍රපටි දකින් විට අවබෝධවන්නේ, දැන් සිටින ඔහුගේ රූපය ඇති ඩුප්ලිකේට් නළුවන් බොරු වැඩකාරයන් වීමට දගලද්දී මේ සුන්දර මිනිසා කොතරම් විශිෂ්ඨද කියායි.

ජාත්‍යන්තර සිනමාව ගත්තත් මෙවැනි අභියෝග සාර්ථකව  ජයගත් කලාශිල්පීන් රැසක් හමුවෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවම ගතහොත් දැන් බොලිවුඩ් රජු ලෙස විරුදාවලිය ලබා සිටින ශාරුක් ඛාන් නම් ප්‍රසන්න නළුවාද එවැනි අයෙක්. ඉන්දියානු සිනමාවේ ඔහුට වඩා රූපයෙන් හා කඩවසම් බවින් අගතැන්පත් නළුවන් දුසිම් ගණන් සිටියදී වසර ගණනාවක් පුරා තම අද්විතීය ස්ථානය රැකගැනීමට  එක් හේතුවක් වී ඇත්තේ විවිද විවිද තේමා ඇති හින්දි චිත්‍රපටිවලදී තම රංගනය එයට උචිත ආකාරයට භාවාත්මක ලෙස ඉදිරිපත් කිරීමට ඔහුට ඇති හැකියාවයි. ඔහු සිනමාවට ප්‍රවේශ වූ අවධියේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑ ජූහි චවිලා, කාජල්, මධුරි ඩික්සිත් ආදී නිළියන් දැන් රංගනයෙන් විශ්‍රාම ගොස් හෝ එයට ආසන්නව ඇති මුත් ඔහු තවමත් ඊට පරම්පරා එකකට දෙකකට පමණ පසු බිහිවූ නිළියන් සමග තවමත් රඟපායි. 

හැබැයි කාන්තා පර්ශවය පැත්තෙන් ගත්කල අපේ රටේ නම් රූපය නොමැතිව මේ ක්‍ෂෙත්‍රය ජයගැනීම තරමක් අසීරුබවක් තිබෙනවාදැයි සිතේ. කෙසේවෙතත් දුන්හිද අද්දර හා තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටියේ රඟපෑ අනෝමා ජිනාදරී වැනි එතරම්ම රූමත් නැති නිළියන් අතලොස්සක් හැරුන කොට අනෙක් නිළියන් අඩුම තරමෙන් තම රූපය චරිතයට අදාලවන අයුරින් වි‍රූපී කරනවාට අකැමති යයිද සිතේ. තවත් සමහර නිළියන් තමන් කොතරම් වයසින් වැඩිමුත් තාමත් කැමති ලාබාල කෙල්ලන්ගේ චරිතයන්ම රඟපාන්නටය. ‍එහෙත් චරිතය උචිත ආකාරයෙන් තම රූමත් බව සඟවා විරූපී පෙනුමක් ලබා චරිතයට ප්‍රවේශවන්නට කැමති නිළියන් හොලිවුඩ් සිනමාවේදී නම් හමුවේ. වසර 2004 දී තිරගතවූ Monster චිත්‍රපටියේදී තම රූමත්බව වෙනුවට එහි ප්‍රධාන චරිතය වන Aileen නම් ගොරහැඩි පෙනුම  ඇති ගණිකාවගේ චරිතය රඟපෑමට රූමත් දකුණු අප්‍රිකානු නිළිය වන Charlize Theron පසුබට නොවූ අතර ඒ වෙනුවෙන් ඇයට එම වසරේ හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය පවා හිමිවිය.

මේ දැක්වෙන්නේ Monster චිත්‍රපටියේදී Charlize Theron වෙස් ගන්වා තිබූ අයුරුයි.


මේ Charlize Theron ගේ ස්වභාවික රුවයි.

එසේම ඔස්කාර් සම්මාන සදහා කිහිපවරක්ම නිර්දේශ වූ නිළියන් වන, The Godfather චිත්‍රපටි මාලාවේ  සහ  Rockey චිත්‍රපටි මාලාවේ ප්‍රධාන කාන්තා චරිතයන් රඟපෑ  Talia Shire සහ 


1979 සිට මේ දක්වා නිපදවූ හොදම පිටසක්වල ජීවින් ගැන කතාව ඇතුලත් Aliens චිත්‍රපටි මාලාවේ ප්‍රධාන කාන්තා චරිතය වන Sigourney Weaver ද කාන්තා රූපයේ අගතැන්පත් කතුන් නොවූහ. එහෙත් රූපයට වඩා ඔවුන්ගේ රංගන කුසලතාව සෑම දිශාවකින්ම කැපී පෙනුන බවත් අවධාරණය කල යුතුය.

දැන් එළඹ තිබෙන්නා වාදවිවාද කරන අවස්ථාවයි. මේ කමෙන්ටුව මුලින්ම බැළුවොත් ;
//ඔබ කියන ලිංගික අසහනය ලංකාවේ පමණක් නොවෙයි තියෙන්නේ. හැම රටවල හැම ජාතින් අතර පමණක් නෙමෙයි හැම සත්ව වර්ගයා අතරත් තිබෙනවා. වැරැද්ද තියෙන්නේ ඒ අසහනයට ලංකාවේ අර වගේ චිත්‍රපට තුලින් තව තවත් ඉන්දන එකතු කිරීමයි. එතකොට අර ස්වභාවයනේ ම තියෙන අසහනය දෙගුණ තෙගුණ වෙලා මිනිස්සු බලු වෙනවා. මහමග, පඳුරු අස්සේ, බීච් එකේ, උද්‍යානවල, ගස් යට නොයෙක අනාචාර දර්ශන දකින්නට ලැබෙන්නේ ඔය දේ නිසයි. මේවා නිතර නිතර දකින සාමාන්‍ය scene විතරයි. ඒ හැර හොටෙල්වල, නවාතැන් පොළවල්වල තරුණ තරුණියන්ට වෙන දේවල් අනන්ත අප්‍රමානයි. දැන් එක් චිත්‍රපටයක (මට මතක විදියට සුළඟ නැත්නම් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ) එක් තැනක තිබු අසභ්‍ය දර්ශනයක් ගැන හිතලා බලන්න. ඒ දර්ශනයේ පෙන්නන්නේ වයස 7/8 ක් පමණ එක්තරා දරුවෙක් තමන්ගේ මව සමග පාලු ගෙයක අවිදෙමින් යන කොට බිම තිබෙන සුදු පාට කිසියම් ද්‍රවයක් (සැබවින් මෙය එම පාලු ගෙයි තුල කලින් දිනයේ අනාචාරයේ යෙදීමෙන් ඇති වූ ශුක්‍රානු කොටසකි ) දකින්නට ලැබෙයි. මේ දරුවා එය ඇඟිල්ලෙන් ගෙන කටේ දමන්නට උත්සාහ කරයි. ඉතින් මම කියන්නේ මේවා කවදාවක්වත් සිදු නොවෙන දේවල් නේ පෙන්නන්නේ. අමුලික් අසභ්‍ය දේවල් නේ මේවයේ පෙන්නන්නේ. කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් නෙමෙයි ද මේවයේ පෙන්නන්නේ? //

මේ අදහසේ ඇතැම් කරුණුවලට එකඟ නොවී සිටීමට සිදුවන අතර ඇතැම් කරුණු වලට නම් එකඟවේ. මෙහි පවසා ඇති ‍නිල්පාටින් සලකුණු කර ඇති කොටස සමග පමණක් එකග විය හැකිමුත් රතුපැහැයෙන් දක්වා ඇති කරුණු සමග එකග විය නොහැකිය. මේ ගැන සවිස්තරව පවසන්නේ නම් සිනමාව හා ටෙලිනාට්‍ය යන මාධ්‍ය දෙක ගත්විට ටෙලිනාට්‍ය වලින් සාකච්ඡා කල හැක්කේ සීමිත පරාසයක සිට වුවත් සිනමාව තුල යම් මාතෘකවක් පිළිබදව කතාකල හැකි පරසාය පුළුල්ය. එසේම සිනමා කෘතියක් ප්‍රචණ්ඩත්වයෙන් හෝ ලිංගිකත්වයෙන් සීමාව ඉක්මවා යන සේ නිර්මාණය කර ඇත්නම් එය වැඩිහිටියන්ට වඩාත් සුදුසුද? නැතහොත් වැඩිහිටියන්ට පමණක්ද? යන නිර්ණායකය ඉදිරිපත් කර ප්‍රදර්ශනයට ඉඩ සලස්සයි. එහිදී එය වැඩිහිටියන් ලෙස සලකන වයස 18 ට වැඩි ඈයොන්ට පමණක් නැරඹීමට ඉඩදීම සිනමා ශාලාවල වගකීමකි. සිනමාශාලා ඒ කාර්යය හරිහැටි කරනබවට සොයාබැලීම චිත්‍රපටි සංස්ථාවේ හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමකි. වැඩිහිටියකු බවට පත්වූ අයෙකුටවත් සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවකට අදාලව ලිංගික කරුණු ඇතුලත් චිත්‍රපටි බැලීම හෝ ඒවා තැනීම කල යුතු නැතැයි අර්ථදක්වන්නේ නම් ලිංගිකත්වය සැලකිය යුත්තේ දේවියන්ට අයත් දේවකාරියක් ලෙසද? ලිංගිකත්වය  කතා නොකල යුතු මාතෘකාවක් නම් සත්ත්ව වර්ගයාගේ මතුපැවැත්ම තහවුරුවන්නේ කෙසේදැයි මේ අදහස දැක්වූ මහත්මයා කරුණාකර පැහැදිලි කරන්න. 

පැරණි ලංකාවේ නම් ලිංගිකත්වය අද තරම් අනිසි සභ්‍යත්වයක් ලබා නොදුන් දෙයක් බව ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? ලිපියේදීද කතා කල අතර සීගිරිය වැනි උඩුකය නිරුවත් කතුන්ගේ රූප එදා මෙවැනි ඊනියා ශීලාචාරකමක් තිබුනේ නම් නිර්මාණය නොවන බවද කිව යුතුය. එසේම අප ආගම, සංස්කෘතිය ආනයනය කල ඉන්දියාවේද අද පව විවිද ආගමික හා සංස්කෘතික සීමා මායිම් ඇතිමුත් මෙතරම් ලිංගිකත්වයකෙරේ බියමුසුව බැළුබවක් නොපෙනේ. සීගිරි චිත්‍රවලට සමානකමක් උසුලන චිත්‍ර රැසත් අජන්තා ගුහාවල තිබේ. 

මේ අජන්තාවේ සිතුවම්


තවද Divine Lovers චිත්‍රපටියේදී මුල්වරට දැනගන්නට ලැබුන පරිදි නවවන සියවසට අයත් කජ්ජුහාරෝ නම් සිද්ධස්ථානයේ කැටයම් කර ඇති ලිංගික ඉරියව් දැක්වෙන අතිවිශාල කැටයම් සමූහයක් තිබේ‍‍.  

කජ්ජුහාරෝ දෙවොල සහ කැටයම් -


එරට සංස්කෘතික දෙපාර්තමේනතුව විසින් මෙම චිත්‍ර තාර අලේප කර වසා දැමීම හෝ සිද්ධස්ථානය බුල්ඩෝසර් මගින් කඩා බිද දමා එරට උත්කෘෂ්ඨ සංස්කෘතිය රැකීමට නොයන අතර ඒවා කලාත්මක නිර්මාණ බව මෙන්ම ලිංගිකත්වය යනු මනුශ්‍ය අවශ්‍යතාවයක්ය වන අදහස ඇතිව මෙවන් පෞරානික නිර්මාණ රැක ගැනීමට හා ඒවා වැඩිහිටියන්ට පමණයි හෝ බලු ආශාවන් උද්දීපනය කරන්නේය යන අදහස මත නොපිහිටා ක්‍රියාකරයි. 

ලිංගිකත්වය හෝ භීෂණය කතා තේමාවට උචිත අයුරින් ගැලපෙන සේ යොදා ගත යුතුය. එසේ නැතුව Crime and Horror කැටගරියට අයත් වු I spit on your Grave ලංකාවේදී කාමරැල්ලේ මුලාරම්භකයා වූ ඇගේ වෛරය මෙන් කතාව බාල තාක්‍ෂනික ප්‍රයෝග හා අඩුමුදලට නිපවා වැඩි ලාභ නොලබන පටු චේතනාවේ ඒවා නොවිය යුතුය. එසේම තාත්වික රංගනයෙන් හා තේමාවෙන් ඈත්වූ තනි තටුවෙන් පියාඹන්න හා අක්‍ෂරය වැනි චිත්‍රපටි ලංකා‍ව වැනි සැමියා-බිරිද හා මව්පිය-දූදරු බැදීම් දැඩි රටකට නොසුදුසු බව මගේ නම් පෞද්ගලිකවද අදහසයි. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටිය නිසා එහි නිළියගේ සහ ඇගේ සැමියා වූ අධ්‍යක්‍ෂකවරයා අතර විවාහයද දෙ‍දරා යාමටද යම් හේතුවක් වූ බව ඇය පසුකලෙක දැක්වූ අදහස්වලින්ද පෙනීයයි. සැමියා සහ බිරිද එකට කටයුතු කරන මෙවන් නිර්මාණ නිසා පෙරදිග රටක් වු ලංකාවේ පමණක් නොව ලිංගිකත්වය පිළිබදව ලිහිල් මත දරන බටහිර ‍රටවල වුවද යම් කම්පනයක් ඇති කරන බවක් සිතේ. මන්ද වසර එකොලහක් තරම් හොලිවුඩ් පුරවරයට දීර්ඝ විවාහ බන්ධනයක් ඛණ්ඩනය වෙමින් Tom Cruise සහ Nicole Kidman නම් නළු නිළිදෙපලගේ විවාහය 2001 දී දෙදරා ගිය අතර ඔවුන්දෙදෙනා එකට රඟපෑ අවසන් චිත්‍රපටිය මෙන්ම  බටහිර සිනමාවේ අතිදැවැන්ත චරිතයක් වන Stanley Kubrick නම් අධ්‍යක්‍ෂකවරයාගේ අවසන් චිත්‍රපටිය වන 1999 දී තිරගත වූ Eyes Wide Shut චිත්‍රපටියයි. මෙහි සංවේදී ලිංගිකත්වය දනවන කාරණා රැසක් තිබු අතර ඒවා මෙම දෙපලගේ පෞද්ගලික දිවියේ හැලහැප්පීම්වලට යම් හේතුවක් වූ බවට එම විවාහය අවසන් වූ වකවානුවේ කසුකුසුවක් තිබුනි.
Stanley Kubrick


එසේම අක්‍ෂරය වැනි සිනමා නිර්මාණයන්ද ලංකා‍වේ පවතින බැදීම් හමුවේ කිසිසේත්ම නොගැලපෙන අතර බටහිර රටක නම් කුඩා වියේ සිටම පවුලේ සාමාජිකයන් එකට නාන ඇදුම් ඇද ස්නානාය කරන නිසා මවක‍ගේ අඩ නිරුවත පිරිමි දරුවන්ට හුරුපුරුදු නමුත් ලාංකීය සමාජයේ ඔත්පලවූ වයස්ගත මෑණිකෙනෙකුට උවැටැන් කරන පුතෙකුට විනා අන් අවස්ථාවකදී කිසිදු විටෙක මවගේ සිරුර බැලීමේ හෝ අනපේක්‍ෂිතව එය දුටුවත් එයින් ඉවත්වනු විනා අක්‍ෂරයේ වැනි සංවේදී තත්ත්වයන් ඉස්මතුනොවන නිසා මෙරට සමාජය තුලට අක්‍ෂරය වැනි චිත්‍රපටි දැවැන්ත බලපෑමක් ඇතිකරනු වැලැක්විය නොහැකියි.(අක්‍ෂරයට පාදක වූ කිසියම් ඉංග්‍රිසි චිත්‍රපටියක් ඇති බවක් වරක් මේ පිළිබදව ලියවී තිබූ මූලාශ්‍රයක තිබූ අතර එය මේ අවස්ථාවේ සොයාගැනීමට නොහැකි හා මතකයට නොඑන නිසා ඒ ගැන සදහන් නොකර සිටියෙමි).

මීහරකා, වීසිදැල වැනි චිත්‍රපටිවලට  අසභ්‍ය යයි නිර්වචනය ලබාදෙන්නේ නම් සිංහල සිනමාවේ කලකට ඉහත ප්‍රදර්ශනය වූ කොටි වලිගය, සෙයිලම, කැඩපතක ඡායා, සුරබිදෙන සහ බහුබාර්යා වැනි චිත්‍රපටිවලටද ස්ව්‍යංක්‍රීයවම අසභ්‍ය ලේබලය වදින්නේ ඒවායේදි අඩුවැඩි වශයෙන් ලිංගිකත්වය පිළිබද ජවනිකා ඇතුලත්වූ බැවිනි. කෙසේවෙතත්මේ බොහෝ චිත්‍රපටි නැරඹීමට සාමප්‍රධායික හා විචාරාත්මක නොවන සිනමාලෝලීන් සිනාමාශාලාවලට එකල ඇදුනේ මේ කියනා කුණුහරුපවලින් එහාට ගිය බලු කාමාශාවන් වලට ඉන්ධන සපයා ගැනීමට නොව බහුතරයක්  පිරිමි ප්‍රේක්‍ෂකයන් ලොල් බවක් දැක්වූ සිංහල නිළියන්ගේ අඩනිරුවත බැලීමටයි. ඔවුන්ට ඉන් එහාට ගිය යමක් බලාපොරොත්තුවූයේ නම් මෙම අඩනිරුවත් දර්ශන නොව එකල අන්තර්ජාලය හෝ අසභ්‍ය චිත්‍රපටි ඇතුලත් සංයුක්ත තැටි නොමැතිවූවත් වීඩියෝ හල් වලින් වීඩියෝ පට රැගෙන නැරඹීමේ අවකාශ තිබුනි. 

ඒ වගේම මෙසේ අසභ්‍ය නිර්ණායකයට උක්ත සිංහල චිත්‍රපටි ඇතුලත් කරන්නේ නම් ඉතාලි ජාතික අධ්‍යක්‍ෂකවරයෙකු වන Tinto Brass ගේ  Calligula, The Voyever හෝ Adrian Lyne ගේ Lolita අසල්වැසි ඉන්දියාවෙන්ම තැනුන හින්ද චිත්‍රපටියක් වූ Deepa Mehta ගේ Fire වැනි අතිසංකීර්ණ ලිංගික කරුණු සාකච්ඡාකරන චිත්‍රපටි වලට දෙන නිර්ණායකය සිතා ගැනීමටත් නොහැකියි.


එසේම සෑම නිර්මාණයක්ම 100% ක් සෑහීමකට පත්විය හැකි අයුරින් කිසිකලෙක බිහිනොවූවත් මෑත කාලයේ බිහිවූ සරල වගේම හාස්‍ය උත්පාදනය වන ඇතම් සවතන්ත්‍ර හා හින්දි හෝ වෙනයම් බසකින් කලින් තනා තිබූ චිත්‍රපටි කොපි කිරීමෙන් තැනූ චිත්‍රපටි කිහිපයක්ද අගය කල යුතුවේ. මචං, සිකුරු හතේ, පෙම්කැකුල (මෙහි හින්දි චිත්‍රපටියක්ද ඇත) මෙවන් චිත්‍රපටිවලට උදාහරණය. කෙසේවෙතත් ඉදිරියේදීද තවත් කරුණු ලැබුනොත් තවත් පුළුල් ලෙස නව කරුණුද සහිතව කතාකිරීෆම් බලාපොරොත්තුවෙන් මෙම ලිපිය අවසන් කරමි...

14 comments:

  1. ලංකාවේ අලුත් චිත්‍රපටි ගොඩකට වෙලා තියන දේ තමා ඒවා නිපදවෙන්නේ රැල්ලට. කාලෙකට විහිලු චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට ලමා චිත්‍රපටි රැල්ලක් එනවා, තව කාලෙකට sex චිත්‍රපටි රැල්ලක් එනවා. හැම චිත්‍රපටියකම තියෙන්නේ අඩු වැඩි වශයෙන් එකම දේ. ඉතින් එකක් බලපු කෙනෙකුට තව එකක් බලලා අමුතුවෙන් ලබන්න පුලුවන් වින්දනයක් නෑ. මේ විවිදත්වයක් නැති කම නිසා මිනිස්සු චිත්‍රපට ශාලා වලට යන්න පෙලබෙන්නෙ නෑ. උදාහරනයක් දක්වනවා නම්, කොල්ලුපිටියේ Liberty චිත්‍රපටි ශාලවට නිතරම විවිද අංශයන්ගෙන් (Genre) යුතු ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වලා ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා එය හැමදාම House full. එක චිත්‍රපටයක් බලපු කෙනෙක් ඊලඟ එක බලන්න යනව හේතුව ඒක වෙනස් මතෘකාවක්. මේ විවිදත්වය සිංහල චිත්‍රපටිවල දක්නට ලැබුනොත් නැවතත් ප්‍රේක්ශකයො චිත්‍රපටිශාලා කරා එන්න පටන් ගනී කියලයි මගෙ අදහස. අනික් කරුන තමා හොඳ චිත්‍රපටි විචාරයක් නැතිකම. දැනට පේන්න තියෙන්නෙ කවුරු හරි චිත්‍රපටයක් නිර්මානය කරල තමන්ගෙ හිතවතෙකුට කියල ඒක තමා මෙතෙක් බිහි උන විශිශ්ටම චිත්‍රපටය ආදී වශයෙන් විචාරයක් ලියවගෙන ඒක බලන්න යන්න කියල කියනව. නමුත් එහෙම කිව්වට මිනිස්සු බලන්න යන්නෙත් නෑ විතරක් නෙවෙයි, එහි ඇති අඩුපාඩු නිවැරදිව පෙන්නල දීල නැති නිසා එම අධ්යක්ශවරය අතින් නිමවෙන ඊලඟ චිත්‍රපටියෙත් පෙර තිබ්බ අඩුපාඩු (සහ තවත් ඒවා) අඩංගු වෙනවා. මේ හේතුව නිසා මිනිස්සුන්ට අලුත් චිත්‍රපටියක් චිත්‍රපට ශාලාවට ගොස් නවබන්න ආසාවක් ඇති වන්නෙ නෑ.

    ReplyDelete
  2. ඔබ සඳහන් කළ කරුණු බොහොමයකට එකඟයි....

    @Nirmala :ඔය රැල්ලට යන එක සිංහල ගතියක්ද මන්දා...කවුරුහරි දෙයක් කරලා සාර්ථක වෙනවා දැක්කම අනිත් උනුත් කරන්න හදන්නෙ ඒකමනෙ...
    හිතමුකො ඔන්න හංදියක එකෙක් වඩ විකුණනවා කියලා...හොඳට බිස්නස් එක නැගලා යනවා කියලා දකින තව එකෙක් ගෙනත් අටෝනවා වඩ කඩයක් පොඩ්ඩක් එහාට වෙන්න..ඊටපස්සෙ ඌටත් නෑ මූටත් නෑ....

    ReplyDelete
  3. ඔබේ පලවෙනි ලයිස්තුවට , ඒ කියන්නේ රූපය නැතත් රංගන දක්ෂතාවය තියන අය අතරට . හේමසිරි ලියනගේ හා සෞම්‍ය ලියනගේත් ඩබ්.ජයසිරිත් යෝජනා කරන්න කැමතියි . ෂාරුක් ඛාන් කියන්නෙ මගේ ප්‍රියතම නලුවා වුනත් , මම හිතන්නේ අමීර් ඛාන් ඊටත් වඩා දක්ෂයෙක් කියල . මහේන්ද්‍ර පෙරේරාගේ එක් සාකච්ඡාවකදිත් ඔහු අමීර් ඛාන්ගේ තියන රංගන දක්ෂතාවය ගැන සඳහන් කලා මතකයි .

    ශෘංගාරාත්මක රසය අපේ සිනමාවේ ඇත්තෙම නැති තරම් . සුලඟ එනු පිණිස වගේ චිත්‍රපටි වල ශෘංගාරය රසයක් විදිහට ඉස්මතු කෙරෙන්නෙ නැනේ . ශෘංගාරය රසයක් කරගන්න පුලුවන් බහු භාර්යා වගේ චිත්‍රපටි වලත් ඒ ගතිය හොඳටම මදි .Original Sin , Jude , Reader වගේ චිත්‍රපට මේ ශෘංගාරාත්මක රසය උපරිමයෙන් දෙන චිත්‍රපටි (මම බලපු ,නම් මතක ඒවා ) කියල කියන්න පුලුවන් . නිරුවත භාවිතා කිරීමේ තහංචි රාශියක් මැද වුනත් සමහර බොලිවුඩ් නිර්මාන තියනව ඒ රසය මතු කරන .නිරුවත පෙන්වන ප්‍රමානයට වඩා වැදගත් ඒක සිනමා රූපිව ඉදිරිපත් කරන එක තමයි අදාල රසය මවන්න . ලංකාවේ නිර්මාණ වල මේක හොඳටම අප්සෙට් . එකමත් එක රටක චිත්‍රපටිය යම්තාක් දුරකට හොඳයි

    ReplyDelete
  4. මී හරකා චිත්‍රපටයේ ලින්ටන් සේමගේ රඟපාන්නෙ ලංකාවේ සැබෑවටම ජීවත් වුණ පුද්ගලයෙකුගේ චරිතයක්. ඒත් ගැටලුව වෙන්නෙ මේව දකින සමහරු හිතනව මේ වගේ දේවල් ලංකාවේ ගම්වල වෙන්නෙ නැහැ කියල. ඒ වගේම චිත්‍රපටයක ලිංගික කරුණු කාරණාවන් ඉස්මතු වෙනකොට ඊට බරපතල විරෝධයක් මතුවීම පි‍ටුපස තියෙන්නෙ රට තුළ තියෙන සංස්කෘතියේ බලපෑමයි. අක්ෂරය මේ යටතේ දක්වන්න පුළුවන් එක නිදසුනක්. ඒත් නිර්මාණකරණයේ දි යම් නිර්මාණකරුවෙක් මේ කියන සංස්කෘතිය හේතුවක් කරගෙන තමන්ට යම් සීමා මායිම් දාගත්තොත් එතන දි බිහිවෙන්නෙ විකෘති නිර්මාණයක්.

    තනි ත‍ටුවෙන් පියාඹන්න සහ අක්ෂරය යන චිත්‍රපට පිළිවෙළින් Boys Don't Cry(1999) සහ Birth(2004) යන චිත්‍රපට අනුසාරයෙන් නිර්මාණය වෙලා තියෙනව කියල මං අහල තියෙනවා.

    ReplyDelete
  5. ලිපිය කියෙව්වා දිනේශ්...

    ලංකාවේ චිත්‍රපටි වල ලිංගිකත්වය පෙන්නනෙත්, කතා කරන්නෙත් හංගලා.. ඒකට එක් එක් වාරණ හා සමාජීමය පසුබිමත් බලපානවා ඇති..සමහර වෙලාවට 18+ චිත්‍රපටියක් බලන්ඩ ගියා කිව්වම ඇහැ කරකෝලා ඌ දිහා බලන තත්ත්වයක් තමා තියෙන්නේ...

    ඒත් දිනේශ් කීවා වගේ ඉන්දියාවේ අපිට සමාන සංස්කෘතියක් තිබුනද ඔවුන් එලිපිටම චිත්‍රපටි වලින් ලිංගිකත්වය ගැන කතා කරනවා.. කාම සූත්‍ර, ෆයර් හොඳ උදාහරණ.. ලිංගිකත්වය විතරක් නෙමේ ඔවුන් ප්‍රසිද්දියේම දූශණ වංචා ගැනත් කතා කරනවා.. පොලිසියට, දේශපාළුවන්ට එහෙම බඩ පැලෙන්ඩ ගහනවා... ඒත් අපේ චිත්‍රපටි වල එවැනි තත්ත්වයක් දකින්ඩ නැහ... තිබ්බත් හරිම අඩුයි.. ඇයි ඒ කියලා මට හිතා ගන්ඩ බැහැ..

    අපි අපේ නියම ස්වභාවය චිත්‍රපටි වළින් පෙන්නනවා අඩුයි වගේ නේද... ?

    ReplyDelete
  6. එදා රජ දවස නිට්ටාවෝ නම් වූ ජනකොට්ටාසයක් විසු බව අසා ඇත . වැඩි දුර තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි .ඔවුන් ගැන සඳහන් වන ලින්ක් එකක් සොයා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  7. මෙතනට මෙය අදාල නොවුනත් මිතුරාගේ ඉල්ලීම සලකා ලින්ක් එක පලකරමි- නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි.
    http://raawana.blogspot.com/2011/07/nittaewo-gena-dannawada.html

    ReplyDelete
  8. වෙනද වගේම හොද ලිපියක් ! මම නම් ඔබේ අදහස් වලට එකගයි දිනේශ්.

    ReplyDelete
  9. වෙනද වගේම කියවල ඔලුවට යමක් ගන්න තියන ලිපියක්. අර මාලාවෙනි ලැයිස්තුවට කුමාර තිරමාදුර වත් එකතු කරන්න මම කැමතියි. එයාට ලොකු පරාසයක් තියනවා. හාශ්‍ය චරිත, දුෂ්ට චරිත, සම්භාව්‍ය චරිත වගේම නොන්ජල් චරිතත් හරිම තාත්විකව රඟපානවා. බුවා අමීර් ඛාන් ගැන කියුවම මට මතක් වුනේ, අමිට් ඛාන් රඟපාපු හෝ අධ්‍යක්ෂණය කරපු, ලගාන්, ෆානා, ත්‍රී ඉඩියට්ස්, මන්ද මානසික ළමයාගේ චරිතය තියන චිත්‍රපටිය (මට නම මතක නැහැ) වගේ ගොඩක් ඒවා, පෙම්වතාගේ චරිතයෙන් එහාට ගියපු ආදර්ශයක් ගන්න පුළුවන් ඒවා. ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපටි හා ටෙලි නාට්‍ය බලන වෙලාවට මට හිතෙනවා දැන් පැත්තකින් කැමරාවක් අටවාගෙන ඉන්නවා නේද, මේ නළු නිලියෝ රඟපානවා නේද කියල. සමහර ඉන්දියානු නිර්මාණ බලන වෙලාවටත් මේ හැඟීම එනවා. ඒත් බටහිර නිර්මාණයක් බලන වෙලාවට රඟපානවා කියන හැඟීම එන්නේ නැ.

    ReplyDelete
  10. @Pisakkaatuwa :ඔයාට අමතක වුනු නම තමයි taare zameen par

    ඔය ලැයිස්තුවටම දාන්න පුලුවන් කෙනෙක් තමයි රොෂාන් රණවන...

    නෑ..නෑ.. වැරදුනා.. මිනිහා ඒකෙ අනිත් පැත්තනෙ...

    ReplyDelete
  11. //කලාවට සක්‍රීය වෙනසක් කිරීමේ ශක්තිය නෑ. කලාවට කරන්න පුළුවන් ක්‍රියා කිරීමට අවශ්‍ය උද්යෝගය මතු කිරීම පමණයි. කලාව හරියට තවුසෙක් වගේ. ලෝකයා දුශ්චරිතවත් පොත් කියල හඳුන්වන්නෙ ලෝකයාගේ සළුපිළි ගලවල උන්ව හෙළිදරව් කරන පොත්වලටයි.//

    උපුටනය- තරුණ රුව හා සිත්තම නමින් රන්ජිත් ධර්මකීර්ති විසින් පරිවර්තනය කරන ලද ඔස්කා වයිල්ඩ්ගේ The Picture of Dorian Gray ග්‍රන්ථය ආශ්‍රයෙනි.

    මං කැමතියි ඉහත පාඨයේ අවසන් වාක්‍යය මේ විදිහට වෙනස් කරන්න.

    //ලෝකයා අසභ්‍ය චිත්‍රපට කියල හඳුන්වන්නෙ ලෝකයාගේ සළු පිළි ගලවල උන්ව හෙළිදරව් කරන චිත්‍රපටවලටයි.//

    ReplyDelete
  12. ඒලියන් කතා ගැන කිව්වොත් නම් ඒලියන් 2 වන කතාව නම් නියම කතාවක්. Sigourney Weaver ලස්සන නැති උනත් දක්ශ නිලියක්. ඒලියන් 3 වෙනි එක ඒ තරම් සාර්තක ලෙස නිමවා නෑ. ( බලාපොරොත්තු කඩ කරපු එකක් ) ඒලියන් අලුත්ම කොටස මේ අවුරුද්දේ තිරගත වෙනවා . ( මට මත විදියට පොමෙතේරස් නම )

    ReplyDelete
  13. 18 අඩු අයට කියෙව්වට අවුලක් නැද්ද????????

    ReplyDelete
  14. ගොඩක් ස්තූතියි දිනේෂ් ...

    ReplyDelete