Showing posts with label ඇස ගැටුන තැන්. Show all posts
Showing posts with label ඇස ගැටුන තැන්. Show all posts

Thursday, December 2, 2021

ඇස නොගැටුන කර්මාන්ත පුරවරය

මේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට පස්සේ මෙම ලියන ලිපියෙන් කියන්නට ලියා තබන්නට සිතුවේ. 

මෙම රට ඔබ අප කවුරුත් දන්න අපේ අසල්වැසි රාජ්‍යයක් පිළිබදයයි. ඒ පකිස්ථානයයි. ඇත්තටම කාර්මික ක්‍ෂෙත්‍රය පිළිබදව කාගෙත් සිහියට නැගෙන්නේ යුරෝපය, ඇමරිකාව එහෙමත් නැත්නම් ආසියාවේ දැවැන්තයන් වන ජපානය හෝ චීනය පිළිබදවයි. ඒත් බොහෝ දෙනෙක් නොදන්න. මා පවා අන්තර්ජාලයෙන් දැකගත්තාට පසු දැනගත් විවිදාකාරයේ කර්මාන්ත, විවිද මට්ටමෙන් කරගෙන යන රටක් තමයි පකිස්ථානය.

අප බොහෝවිට පකිස්ථානය පිළිබදව දන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයන්, එහෙමත් නැත්නම් ඉන්දියවේ ප්‍රතිවාදී, යුද තත්ත්වයන් ඇති කරගන්නා රටක්, නිරතුර බෝම්බ පිපිරෙන සහ කර්කශ රටක් විදියටයි. ඒත් මෙම රටේ නොකෙරෙන කර්මාන්තය කුමක්දැයි යන ගැටළුව තමයි පකිස්ථානය පිළිබදව ටිකක් සොයා බැළුවත් දැක ගන්නට, දැන ගන්නට ලැබෙන්නේ.

ඇත්තටම කර්මාන්ත කියුවාම හිතට නැගෙනවා ඇති විශාල කර්මාන්ත ශාලා, විවිද විශාල යන්ත්‍ර සූත්‍ර, විශාල සේවක සංඛ්‍යාවක් තිබෙන කර්මාන්ත වෙන්නට ඇති මේ කියනවා ඇත්තේ කියලා. ඒවගේ විශාල කර්මාන්ත හා කර්මාන්ත ශාලා පකිස්ථානයේ සුලබයි තමයි. ඒත් අපූරුම කාරණය නම් සිතා ගන්නට බැරි තරම් නිෂ්පාදන, ඉතා සුළු සේවක පිරිසක් සමග සුළු ඉඩපාඩුවක් ඇති තැනක යන්ත්‍ර කිහිපයක් හෝ සාමාන්‍ය මෙවලම් පවා උපයෝගී කරගෙන ඔවුන් මෙම නිෂ්පාදන සිදුකරනවා දැක ගන්නට පුළුවන්. ඔය කියුව යන්ත්‍ර පවා සමහර වෙලාවට මහා විශාල ඒවා නොවෙයි.

මට මේ ලිපියෙන් මෙහෙම දෙයක් තමයි සත්‍ය වශයෙන්ම කියන්නට ඕනෑවුනේ. දැන් අපේ රටේ ආයෝජකයෝ හිඟකම වගේම, ප්‍රාග්ධනය සහ තව නොයෙකුත් බාධා තිබෙනවානේ විවිද කර්මාන්ත ආරම්භ කරන්න. දැන් පකිස්ථානය වගේ මෙහෙම නිපැයුම් බිහිකරන  රටකින් ඉල්ලීමක් කරල අපේ මිනිස්සුන්ටත් දෙවල් නිපදවන්න ඉගනගන්න බැරි කමක් නැතිවෙයි නේද? මම දැක්ක විදියට නම් ඔවුන්ට අවශ්‍ය සියළුම දේ නිෂ්පාදනය කරගන්නවා විතරක් නෙවෙයි. තිබෙන දේවල් අබලන් වුනාම ඒවා නැවත යථා තත්ත්වයට පත්කරගන්නට ඔවුන් සිටින නිපුනත්වය ඇති මිනිසුන් බොහෝමයි. තමන්ගේ දේ තමන් නිපදවා ගන්නවා වගේම විදේශයන්ට අපනයනයෙන් විදේශ විනිමය සොයාගැනීමට සහ ඉතිරි කරගැනීමට ඔවුන්ට ඇති හැකියාව සුවිශේෂයි.

මෙම කෙටි ලිපියේ අවසානයට පැමිණෙමින් මේ දේත් පවසන්නම්. පකිස්ථානුවන්ගේ වැඩ කිරීමේද පරිස්සම නම් අඩු බවක් පෙනෙනවා. ආරක්‍ෂිත මෙවලම් (අත්වැසුම්, මුව ආවරණ, ඇස් ආරක්‍ෂක කණ්නාඩි යනාදී දෑ) පලදන්නේ එහෙමත් කෙනෙක්. විවිද රසායණික දේවල් වලට නිරාවරණය වීමත් බොහෝවිට සිදුවන බව දැක්කා. පිරිසිදුකමත් ටිකක් අඩුයි වගේ තමයි. ඒ හැම එකටම වඩා කියන්න ඕන ළමා ශ්‍රමිකයන් රැසක් මෙම කර්මාන්ත වැඩ බිම් වල වැඩෙහි නිරත වෙමින් සිටිනවා. සමහර විට ඒවායේ සිටින වැඩිහිටියන් පවා අතීතයේ මෙලෙස ළමා ශ්‍රමිකයන් ලෙස වැඩට ආ අය වෙන්නටත් පුළුවන්. නමුත් හොද දේ පමණක් රැගෙන අපේ රටෙත් මේ ආකාරයේ වැඩබිමක් නිර්මාණය කරගන්න එක එතරම් අමාරුවෙන එකක් නැහැ. මම ඔබගේ දැන ගැනීම පිණිස එලෙස සිදුකෙරෙන කර්මාන්ත කිහිපයක වීඩියෝ දිගුවන් කිහිපයක් දමන්නම්. ඒවා මගින් ඔබටත් තව විවිද ක්‍ෂෙත්‍රයන්ට අදාල නිෂ්පාදන පිළිබදව දැනගැනීමට හැකියාව ලැබේවි...

https://www.youtube.com/watch?v=tYtPm02kueY
https://www.youtube.com/watch?v=cgyruHskTvc
https://www.youtube.com/watch?v=Hm-BHybpaO4
https://www.youtube.com/watch?v=g-hYf6NUDZM
https://www.youtube.com/watch?v=v8E_JCNZeYk
https://www.youtube.com/watch?v=9Hl0E12eKu0










Monday, September 17, 2018

වික්ටොරියා වේල්ල ගැන අපි නොදත් කරණා රැසක් (The Untold Story of Victoria Dam)

වික්ටොරියා වේල්ල, මේ තමයි ලංකාවේ උසම වේල්ල. ඒවගේම මෙගාවොට් 210 ක විදුලි බලයක් උත්පාදනය කරදෙනු ලබන ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය. Arc Dam නැතිනම් ආරුක්කුවක හැඩය ගත් වේල්ලක් වන මෙය මහා බ්‍රිතාන්‍ය රජයෙන් ලද තෑග්ගක් බවත් සදහන් කළ යුතුයි. 

මේ කාරණා වලින් ආරම්භ කළ ලිපියේ පහත දැක්වෙන වීඩියෝවෙන් වඩාත් පුළුල් සහ නොදත් තොරතුරු රැසක් අපිට දැන ගන්නට හැකියි.





Tuesday, September 4, 2018

මඩුවන්වෙල වලව්ව, කොලොන්න

සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට යමක් පැවසීමටයි. 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව විසින් අද අපි දක්නට ලැබෙන මෙම ගෘහය නිර්මාණය කර ඇති අතර ඔහු එම පරපුරේ අවසන් පුරුක ලෙසද සැලකේ. අක්කර 20 ක පමණ බිමක පිහිටා ඇති මෙම වලව්ව දැන් පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.


මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය පිළිබද විකිපිඩියා හි දක්වා ඇති ආකාරයට එය ක්‍රි:ව 1700 පමණ ඈත අතීතයට දිවයයි.මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන්ගමුව නමින් හැඳින්වුන මාදන ප්‍රදේශයේය.ඉන් පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳින්වුන මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය.ඔහුට පසු මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වුයේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලිය.විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුමාය.මඩුවන්වෙල පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේය.(කොලොන්න රත්නායක මුදියන්සේලාගේලොකුඅප්පුහාමි) කොලොන්න පනාමුර ප්‍රදේශ සඳහා නින්ද ගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමි මඩුවන්වෙල වලව්වට උරුමකම් කීවේය.ඉන්පසුව මඩුවන්වෙල විජයසුන්දර මුදලි නමැත්තා වලව්වට උරුමකම් කීවෙය.ඒ රාජාධිරාජසිංහ රජ සමයේය. වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේය. ඉන් පසුව මඩුවන්වෙල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වන මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ප්‍රදේශය පාලනය කළේය. 





















ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව පෙර පැවසූ පරිදි මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මෙතුමාහට"මඩුවන්වෙල කළු කුමාරයා"යන අනවර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණි.කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණිය ආබාධිත වුවාය.අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන්දරුවන්නොලැබිණි. 

කෙසේ වෙතත් කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණියට මෙම දේපල තනිවම පරිපාලනය කර ගැනීමේ අපහසුතාවයන් පැවති බව කියන අතර මේ නිසා මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය.ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය.1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.

මෙම වලව්ව ඓතිහාසිකව මෙන්ම එහි නිර්මාණකරැවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාවයද කැපී පෙනෙන ලක්‍ෂනයකි. වලව්වේ සෑම බිම් අඟලක්ම ඒ සඳහා උපයෝගි කරගනී. ඒ අතර වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි. ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රෑප සහිත සඳකඩපහණ දක්නට හැක. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරෑපයේ ඡායාරෑපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරෑපයක් පෙන්වන මෙම ඡායාරෑපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. 

පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිත කර ඇත. අතර මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක් ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි.

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව අමුත්තන් පිළිගැනීමේ ශාලාව ලෙස භවිත කර තිබේ. නිල් වීදුරැ කවුළු, බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රෑප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.

වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත. කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරය ද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි. 

වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරැබිලිද මෙහි දක්නට ලැබේ. ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය.

නඩු ඇසීමේ කාමරය (අන්තර්ජාලයෙන්)

(මේ කරුණු උපුටා ගත්තේ 2016 ජුනි 24 වැනි සිකුරාදා විජය පුවත් පතෙනි)

අවාසනාවකට වලව්ව ඇතුලත ඡායාරූප ගැනීමට අදාල බලධාරීන් විසින් දැන් අවසර නොදෙන අතර වලව්ව පිටත සේයාරූ පමණක් ගැනීමේ හැකියාව ලැබුනි. කෙසේවෙතත් ඇතුලත වටිනා ඡායාරූප ගණනාවක් මෙම බ්ලොග් අඩවියේදී දැකගත හැකිය. https://jkbnuwan.wordpress.com/2013/06/18/maduwanwela-manor-house/


නොමිලේ ඇතුළු වීමට හැකියාව දැනට ඇතත් කුඩා හෝ මුදලක් අය කර එය මෙම ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමට යොදා ගන්නේ නම් වඩාත් යෝග්‍ය යයි සිතේ. මෙහි බොහෝ කාමර දැන් වව්වලන්ගේ වාසස්ථාන බවට පත්වී ඇති බවක්ද දිස්වුන අතර කණගාටුදායකම කාරණයක් ලෙස දුටුවේ පුරාවිද්‍යාත්මකව වැදගත් වූ මෙම ස්ථානයේ එක් කාමයක වහලේ විදුලි පංකාවක්ද සවිකර තිබූ බවයි. එය මෙහි ඉතිහාසමය වටිනාකමට යම් හානියක් ගෙන එන බව මගේ හැගීමයි.

තවත් තොරතුරු දැන ගැනීමට - මඩුවන්වෙල වලව්ව - විකිපිඩියා 
                                                දිවයින (2010/11/07) - සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....

Wednesday, April 26, 2017

වික්ටෝරියානු යුගයේ අරුම පුදුම කලාවක් වූ පශ්චාත් මරණ ඡායාරූපකරණය හෙවත් Post-mortem photography

වික්ටෝරියානු යුගය කියන්නේ මිනිසුන් අරුම පුදුම එහෙමත් නැත්නම් තවත් විටක ජුගුප්සාජනක කලාවන් හෝ පුරුදු හෝ සම්මතයෙන් බැහැරව ගිය ක්‍රියාකලාපයන්, සම්ප්‍රධායන් අනුගමනය කරන ලද කාලපරිච්ඡේදයක් ලෙස විවිද අවස්ථාවල අපිට දැනගන්නට ලැබී තිබෙනවා. එසේම දැනට වසර සියයකට වඩා ඈත කාලයකදී වුනත් ලෝකයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැතිරුණ කලාපවල බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එදා බලයෙන් හෝ පුරුදු කරන ලද එම පුරුදු වලින් සමහරක් අදටත් භාවිතාවේ යෙදෙනවා දැක ගන්නට පුළුවන්. මේ ආකාරයේ අද නම් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත නැති කලාවක් තමයි පශ්චාත් මරණ ඡායාරූපකරණය දක්වන්නට පුළුවන් වෙන්නේ. ඒත් මිනීමැරුම් හෝ හදිසි සැක සහිත මියයාම් වලදී අපරාධ පිළිබදව සොයාබලන පොලීසිය වගේ ආයතන පශ්චාත් මරණ ඡායාරූපකරණය ඒ ඒ තාක්‍ෂනික ක්‍රමවේදයන් ඔස්සේ භාවිතා කරනවා. ඒත් මේ ලිපියෙන් කියන්නට යන්නේ එවැනි නීතිමය අවස්ථාවන්ට යොදා ගැනෙන පශ්චාත් මරණ ඡායාරූපකරණයක් නොවෙයි. මෙහිදී අපට ජීවිතය තුල සමීපව සිට මෙලොවින් නික්මුණ සමීපතමයන් ජීවමාන ඉරියව් වල සිටින ආකාරයෙන්ම මරණයට පත්ව සිටියත් කිසිදු පිළිකුලකින් තොරව එකිනෙකා ස්පර්ශව සිට ගැනුන සේයාරූ පිළිබදව තමයි මේ කියන්නට යන්නේ. 

ඇත්තෙන්ම කුඩා දරුවන්ගේ පවා මළසිරුරු වල සේයාරූ මෙහිදී පළ කෙරෙන නිසා යම් කම්පනයන් දැනීමට ඉඩ තිබෙන බවද අවධාරණය කරන්නෙමි.















 වෙනෙකක් තබා තම සුරතල් බල්ලා මිය ගිය පසුවද මේ ආකාරයේ ඡායාරූපයක් ගෙන තිබේ.








කෙසේවෙතත් ඇතැම් නිරීක්‍ෂකයින් පවසන්නේ මෙම ඇතැම් සේයාරූ සත්‍ය වශයෙන්ම මෙම පවසන්නාවු කලාවට අයත් නොවන නෙඑසේ නම් පශ්චාත් මරණ ඡායාරූප යයි වරදවා වටහා ගත් ඡායාරූපද එදා කැමරාකරණයේ වූ දෝශ හෝ ඡායාරූප ගැනීමේදී සිදුවූ ශිල්පීය අතපසුවීම් හෝ අදමෙන් ක්‍ෂනිකව සේයාරුවක් ගැනීමට ඇති නොහැකියාව නිසා ජීවමාන මිනිසුන්ද ඇතැම් විට ඉරියව් වල ඇති නොගැලපීම් මත කාලයත් සමග පශ්චාත් මරණ ඡායාරූපයක් ලෙස කාණ්ඩ ගත කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සේයාරූ වල ඇති සාවද්‍ය හෝ නිරවද්‍ය බව දැන ගැනීමට ඇති නොහැකියාවද සටහන් කරමින් එදා එනම්, 19 වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් කාල වකවානුවේදී මෙවන් වූ කලාවක් ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ හා අැමරිකාවේ පැවතුන බව ඔබගේ දැනුමට එකතු කරන්නට කැමැත්තෙමි.

Thursday, September 8, 2016

අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු.

මේ අද කියන්න යන්නේ අප රටේම  රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි. හැබැයි මෙම නිර්මාණ බිහිවූයේ ගතවූ වසර දෙක තුනක් ඇතුලත නිසා ඔබලා බොහෝදෙනෙක් මෙම වැඩසටහන් නරඹ රසවිද තිබෙනවාත් ඇති. කොහොමනමුත් නැවත එය රසවිදීමට හෝ එය අත්විද නැති කෙනෙකුට එය රසවිදීමේ හැකියාවද තිබෙන බව දැනුවත් කිරීමට මෙම ලිපිය පිටුවහලක් වේයයි සිතනවා.

පිටරට දේ පමණක් නොවෙයි අප රටේම බිහිවන ඉහල නිර්මාණයන් පිළිබදව අපි කතා කළ යුතුයි. මෙයත් එවැන්නක්. මෙය ලිපිය තුලින් එම නාලිකාවට තව තවත් ඉහල තත්ත්වයේ නිර්මාණ බිහිකිරීමට අනුභලයක් වගේම ස්තූතියක්ද පුදකරන්නට කැමැත්තෙමි. ඒ තමයි දෙරණ නාලිකාව මීට ටික කාලයකට පෙර අපට ලබාදුන් Dell Studio සංගීත වැඩසටහන. මෙහිදී අප දන්නා ගායක ගායිකාවන්ගේ නිර්මාණ වෙනස් එහෙත් තවතවත් රසාස්වාදය වැඩි කරමින් අප වෙත ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන් එම නාලිකාව වගේම එම වැඩසටහනේ සංගීතය මෙහෙයවූ මහේෂ් දෙණිපිටිය මහතාගේ එම කාර්යය ඔබ විසින්ද නරඹා අගය කළ යුතුයයි සිතනවා. 

මෙම වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ඔබට නැවතත් නැරඹිය හැකියි. මෙන්න එයට අදාල සබැදිය.
http://www.derana.lk/Dell-Studio-TV-Derana&vid=15475&page=1





Wednesday, February 6, 2013

350 වන බ්ලොග් ලිපිය සමගින් ලෝකයේ ඔබ මෙතෙක් නොදුටු ස්ථානයක තොරතුරු - The Wieliczka Salt Mine (Polish: Kopalnia soli Wieliczka)

මාතෘකා‍වේ හැටියටම මේ සත් සමුදුරේ 350 වන බ්ලොග් ලිපියයි. වසර දෙකකදී බ්ලොග් ලිපි මේ සංඛ්‍යාවට වඩා තබන්නට හැකිවුනා නම් හොදයි කියලා හිතුනත් කාලය, වෙනත් වැඩකටයුතු හා සමහර වෙලාවට ලියන්න තියා ‍මොනවත්ම කරන්න තිබෙන කම්මැලිකමත් එක්ක මේ ඉලක්කමෙන් සතුටුවෙනවා. හැබැයි මේ ලියපු හැම ලිපියකම, සමහර විට ලියනවට වඩා පින්තූර වැඩියෙන් දැම්මත් ඔබට මොකක් හෝ දෙයක් හිතන්නට යමක් ඉතුරු කරන්නට ඇතැයි මම සිතනවා. එහෙනම් ඒ ගැන ඒ කෙටි සදහනත් එක්ක සමහර විට ඔබ මෙතෙක් නොදැන සිටි ස්ථානයක්, මෙය ලෝක උරුමයක්, ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් අතර ප්‍රධානම හා කැපී පෙනෙනම සංස්කෘතිකමය හා ස්වභාවික ලෝක උරුම 12 අතරේ තිබෙන ලෝක උරුමයක් වන ලුණු නිධියක තොරතුරු තමයි ඔබට රැගෙන එන්නේ.

වසරකට මිලියනයකට අධික දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වන මෙම ලුණු නිධිය මෙතරම් වැදගත්වනනේ එය අතීතයේ පටන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් අසීමිතව ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම එය සියවස් ගණනාවක් පුරා පරම්පරා කිහිපයක්ම එකිනෙකට සමාන හෝ වෙනස් සංස්කෘතික, සාමාජයීය සහ සාම්ප්‍රධායික සහ නූතන සබදතාවය එකිනෙකට යාකරන සිහිවටනයක් වන නිසයි.

පෝලන්තයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති Wieliczka නම් නගරයේ Kraków නාගරික ප්‍රදේශයේ භූගතව පිහිටා ඇති මෙම ලුණු නිධිය නම් කරනු ලබන්නේද Wieliczka ලුණු නිධිය ලෙසයි (“Wieliczka” Salt Mine - Polish: Kopalnia soli Wieliczka).

මේ එම නිධිය පිහිටා ඇති නගරබද ප්‍රදේශයේම ඇති පිවිසුම් ස්ථානයේ සේයාරූය.




මෙය ඇත්තෙන්ම පෝලන්‍තයේ අභිමානය ලෙස සැලකුවත් වරදක් නැහැ. යුනෙස්කෝව මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1978 වසරේ සිටයි.

මෙම ලුණු නිධිය අදඊයෙක පටන් ගත් එකක් නොවෙයි. එහෙත් එය වර්තමානය දක්වාම එදා සිට කිසිදු බාධාවකින් තොරව පෝලන්තයට පමණක් නොව අසල්වැසි රාජ්‍යයන්ට පවා ලුණු සපයන්නේ 13 වන සියවසේ සිටයි.කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද සමයේ ජර්මනියට පොලන්තය අත්පත්වීමෙන් පසුව ඔවුන් පවා මෙම නිධිය තම ලුණු අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අනෙකුත් යුද කටයුතු වෙනුවෙන් නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට යොදා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 2007 දක්වා ලෝකයේ පැරණිම මේස ලුණු නිශ්පාදකයා ලෙස මෙම නිධිය නම දිනාගෙන සිටි අතර රාජකීයන් සදහා Żupy krakowskie නම් කොටසින් ලුණු කනිනු ලැබූ අතර වෙළදාම සදහා අනෙකුත් කොටස් වලින් ලුණු කනිනු ලැබ තිබෙනවා. කෙසේවෙතත් 1996 සිට මෙම ව්‍යාපාරික කටයුත්ත වෙනුවෙන් ලුණු නිශ්පාදනය නවතා තිබෙන්නේ අතීතයේ ආහාර කල්තබා ගැනීමට ‍විදුලි බලය හා ශීතකරණ නොතිබූ නිසා ආහාර රසවත් කර ගැනීමට එදා මෙන් දැන් ඉල්ලුම අඩුනිසා ලුණු වලට ඇති මිල අඩුකම හා සමහර කොටස් වතුරෙන් යටවීම නිසයි.

මෙම භූගත පතලේ තවත් විශේෂත්වයක් වන්නේ අප සාමාන්‍යයෙන් දකිනා පතලක ඇති ගොරහැඩි බවට වඩා කලාත්මක බවක් මෙම පතල තුල තිබීමයි. ඔබට දැන් ගැටළුවක් පැන නගින්නට පුළුවන් අ‍නේකවිද දුක්කම් කටොළු ඇති අවධානම රජයන පතලක මොන කලාත්මක බවක්ද කියා. එහෙත් ඒ ගැටළුවට පිළිතුරක් ලබා දෙමින් මට කියන්නට තිබෙන්නේ, අතීතයේ පටන් මෙම පතලේ රාජකාරී කළ කලාකාමී පතල් කම්කරුවන් අතින් සහ එරට සිට කලාකරුවන් අතින්  මෙම පතලේ ඇති ලුණු ගල්ම උපයෝගී කරගනීමින් නෙළු කැටයම්, ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් පතලේ ඇති කාන්සිය මඟහරවමින්, පතලේ මතුපිටට වඩා සුන්දරයත්වයක් පතල තුලට එක්කරමින් පවතින බවයි.
 
 මෙම නිධිය තුල ‍කතෝලික දේවස්ථාන තුනක්ම අතීතයේ පටන් තිබේ.
 
 එසේම වර්ථමානයේ තවත් විවිද අංග මෙයට ඇතුලත්ව තිබේ. ඒ අතර ක්‍රීඩාගාර, මෙහි ඇති ස්වභාවික ලවණතාවය නිසා විවිද ලෙඩරෝගවලට සීමිත පිරිසකට ඒ ඇසුරෙන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සහ විවිද විනෝද කටයුතු සදහා වෙන්කෙරුන ස්ථානයන්ද මෙහි පිහිටා තිබේ.
 
 


මෙම ස්ථාන ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර පොළවට ලී අතුරා ඉහළින් අලංකාර ආලෝක පද්දති දුටු විට මෙය භූගත රජමාලිගයක් දැයි සිතෙනා තරමට වශීකෘතය.
 
 
 
 තවද මෙය තුල පොකුණු හා ඇල මාර්ගද පිහිටා ඇත.
 

මෙම පතලේ ගැඹුර අඩි 1,073 ක් හෙවත් මීටර් 327 කි. එහි ගමන් කිරීමට තිබෙනා දුර පමණක් කිලෝමීටර 300 ක් නැතහොත් සැතපුම් 190 කි. තට්ටු ලෙස ගත‍ හොත් තට්ටු නවයක් මෙම නිධිය තුල තිබේ. 

ලුණු පිළිබදව පැවසීමේදී ඔබ සුදු පැහ ක්‍රිස්ටල් මෙන් පෙනුමක් බලාපොරොත්තුවූවත් නිධිය තුල ලුණු පිහිටා අළු පැහැ ගොරෝසු  ග්‍රැනයිට් ආකාරයෙනි.

මෙම පතලේ සංචාරකයන්ට විවෘතව තිබෙන්නේ පතලේ මුළු දුර ප්‍රමාණයෙන් 2% ක පමණ ප්‍රමාණයක් හෙවත් කිලෝමීටර් 3.5 ක් හෙවත් සැතපුම් 2.2 කි. ‍පතල තුල බර දරාගැනීමට ඒ ඒ ස්ථාන වල අතීතයේ පටන් භාවිතා කරන්නේ ලී කොට වන අතර පියගැටද දැවයෙන් නිමවා ඇත්තේ මෙහි ඇති ලවණ ගතිය නිසා ලෝහ භාවිතයේදී දිරාපත්වීම කඩිනම් හෙයිනි. එසේම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලවණ නිසා අඩපන නිසා ලී දිරා යෑ‍මේ වේගයද අඩුය.
‍මේ මෙම නිධියට අදාල ලාංඡන හා සංකේතයි.



පහත දැක්වෙන මුලංශ්‍ර වලින් මෙම ලෝක උරුමයේ තොරතුරු රැසක් දැනගැනීමට හැකිබව සදහන් කරමින් 350 වන ලිපියද අවසන් කරමි.
 
 

මෙම අඩවියෙන් මෙම ස්ථාන පිළිබදව සංචාරක තොරතුරු සහ තවත් වැදගත් තොරතුරු ගණනාවක් දැන ගැනීමට හැකිය.
http://www.wieliczka-saltmine.com/visiting

තවද ඔබ කැමති නම් මෙම සබැඳිය හරහා Windows 7 සදහා වූ wieliczka theme එකද ලබා ගත හැකිය.
http://windows.microsoft.com/is-IS/windows/wieliczka-download-theme

මූලාශ්‍ර -