Thursday, April 5, 2012

කටහැකරයන්ට ලෝකය පුරාම දේශපාලනයේ තැනක් තිබීම, මුදල් පුළුස්සා උණුසුම ලබාගැනීම, නායකයාට දිවිහිමියෙන් කැපවුන හා සමලිංගිකත්වය නිසා අපකීර්තියට පත් දුඹුරු කමීසකාරයන් සහ දේශපාලනයේ සදාතනික සත්‍යයන් - Before WWII - Part VI

ලෝකය පුරාම දේශපාලනයේදී කටේ සද්දෙන් දෙඩවිය හැකි නම් ඔවුන්ට හොද තැනක් නැතැතින්ම ලැබේ. එසේම දේශපාලනයේ ප්‍රකට කියමනක් වන සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන කාරණයද ලෝකය පුරාම සත්‍ය වූ කරුණකි. අද අඹ යහළුවන් සේ සිටින අය ඇතැම් විට හෙට ජන්මාන්තර වෛරක්කාරයන් හෝ එදා සතුරන් අද මිතුරන් වීමටද ඉඩ ඇත. තවද කළගුණ සැලකීම සමහර විට සිදුවන්නාසේම බලය තබා ගැනීමට කළගුණ නොසලකා සිටින්නටද සිදුවනු ඇත. සාමාන්‍යයෙන් දෙවන ලෝක යුද්දය ගැන පැවසීමේදී සංග්‍රාමික කරුණු වලට මුල්තැනක් ලැබුනත් එහිදීද සැගව පවතින දේශපාලනයේ යථාර්තය පිළිබදවද මෙම ලිපියේදී ඔබට දැනගත හැකිවේ.

මේ දක්වා මෙම ලිපි පෙලේ පළකර ඇති ලිපි -
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V

මේ ලිපිත් මෙම ලිපිවලට තරමක් සමාන කමක් දක්වයි -
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්


පළමු ලෝක යුද්දය ජර්මනිය පරාජය වීමෙන් පසු බිහිවූ අණ්ඩු යට‍තේ ජර්මනියේ කලින් තිබූ පෞඩත්වය ගිලිහී යාම පළමු ලෝක යුද්‍දයේදී කැපවීමෙන්ම සටන් කල සාමාන්‍ය සොල්දාදුවෙකු වූ හිට්ලර් හට දරාගත නොහැකි දෙයක් විය. ජර්මනිය පුරා යුද්දයෙන් අනතුරුව මිනිසුන් තුල කළකිරීම සේම ආබාධිත තත්ත්වය පත්වූ සොල්දාදුවන් සිඟමන් යදිනු සුලභ දසුනක් විය. එයට හේතුව ඔවුන්ට කිසිදු විශ්‍රාම වැටුපක් හෝ වන්දියක් හිමි නොවීමයි.

තවද බොහෝ දෙනෙකුට නිවාස පවා අහිමිවී තිබූ අතර යන්තම් අටවා ගත් පැල්පත් වල දුකසේ වාසය කිරීමටද සිදුවී තිබුනි.

එසේම අධික යුද වන්දියක් ගෙවීමට සිදුවීම හා යුද්දයෙන් සිදවූ විනාශය නසි ආර්ථික අහේනියද රටපුරා ඔඩුදුවා තිබුනි. උද්දමනය බලාසිටියදීම දැවැන්ත ලෙස වර්ධනය වූ අතර ශීත කාලයේදී මුදල් ගෙවා නිවාස උණුසුම් කරගන්නවාට වඩා මුදල් පුළුස්සා උණුසුම ලබා ගැනීම වාසිදායක විය.

මේ තත්ත්යන් යටතේ නව මුදල් ඒකකය් පවා 1924 දී ජර්මනියට හදුන්වාදීමටද සිදුවිය. රැකියා විරහිතභාවය, ආහාර හිඟකම, නිවාස අහිමිවීම ආදිය ගැටළුක් වී තිබූ නිසා රටපුරා තැනින් තැන මහජනයා එක්රැස්වී හඩනැගුවේ දේශාපාලන වෙනසකට අමතරව මුදල්, ආහාර, රැකියා, නිවාස යනාදිය පිළිබදවයි.

යුද්දයේදී දැක්වූ සුරුවිරුකම් හේතුවෙන් Iron Cross සම්මානයෙන්ද පුදලබා සිටි හිට්ලර් යුද්‍දයෙන් අනතුරුවද ටිකක කලක් හමුදාවේ රැදී සිටියත් 1919 අගභාගය වනවිට ඔහු ‍දේශපාලනයට පිවිසේ. ඒ ජර්මන් කම්කරු පක්‍ෂය හෙවත් German Workers' Party (Deutsche Arbeiterpartei - DAP) හරහායි.
යුද සමයේදී හිට්ලර්

මේ සිදුවීම් සිදුව ඇත්තේත් අපූරු ආකාරයකටයි. පළමු ලෝක යුද්දය අවසන් වනවිට යුද්දයේදී විශ වායු ප්‍රහාරයකට ලක්ව තාවකාලික අන්ධභාවයකට රෝහල් ගතව සිටි හිට්ලර්, පසුව සුවය ලබා කෝප්‍රල්වරයෙතු ලෙස සේවය කරමින් සිටියදී 1919 ජනවාරි 05 දා Anton Drexler ගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ German Workers' Party  හි සිදුවන ක්‍රියාකාරකම් පිළිබදව ඔත්තු බැලීමට යොදවා තිබුනි. එම වසරේ සැප්තැම්බර් 12 වනදා බියර් ශාලාවක ඔවුන්ගේ රැස්වීමක් පැවති අවස්ථාවක තමන්ට පැවරූ රාජකාරිය කරමින් සිටි හිට්ලර් එහි සිටි අයෙකු සමග අතපය විසිකරගන්නා ආකාරයේ වාදයකට එලඹ ඇත. හිට්ලර්ගේ කටේ සැර දැක විශ්මයට පත්වූ පක්‍ෂයේ නායක Anton Drexler තම දේශපාලන පක්‍ෂයට බැදෙන ලෙස ආරාධනා කර ඇත. මේ ගැන ටිකක් කල්පනා කර ආරාධනාව පිළිගෙන ඇති හිට්ලර් හමුදාවෙන් ඉවත්ව සැප්තැම්බර් අගදී පක්‍ෂයට එකතුවිය.

කෙසේවෙතත් මේ අවස්ථාවේ පක්‍ෂය විසින් කිසිවෙකුට සාමාජික අංකයක් හෝ කාඩ්පතක් නිකුත්කර නොමැති අතර ඊට පසු වසරේ එනම් 1920 ජනවාරියේදී සාමාජික අංකයන් නිකුත් කර ඇත්තේ එහි සාමාජිකයන්ගේ නම්වල අකාරාදිය පිළිවෙලටයි. ඒ අනුව හිට්ලර්ට 55 වෙනි සාමාජිකයා වීමට අවස්ථාව ලැබුනත් එම අංකය සටහන් වන්නේ 555 ලෙසයි. එයට හේතුව පක්‍ෂයේ සාමාජිකයන් සංඛ්‍යාව බාහිර සමාජයට විශාල ලෙස පෙනීම සදහා අංක කිරීම ඇරඹෙන්නේ 501 සිට වීමයි.

Anton Drexler විසින් හිට්ලර්ව දේශපාලනයට රැගෙන ඒමෙන් කරනාලද  "ලෝක වැරැද්ද" නිසා පසුකලෙක කෝටි සංඛ්‍යාත ජනතාවකට ජීවිතයෙන් සමුගැනීමට හේතුවන්නා වූ හිට්ලර්ගේ දේශපාලන ආගමනයේ බල තන්හාවේ අනාගත පෙර නිමිති ඉතා ඉක්මනින් පෙන්නුම් කරමින් තමන්ට අයිති අංකය 7 ලෙස දක්වා සිටී. ඔහු එයින් ඔහු එම පක්‍ෂය ආරම්භ කිරීමට පාදකවූ අයෙක්ලෙස එයින් හැඟවෙන නිසා එය තමන්ට වාසියක් වන බව සලකයි. එම ඉල්ලිම ප්‍රතික්‍ෂේප වේ. එහෙත් ඔහුගේ නායකත්වයෙන් 1923 දී සිදුකර කුප්‍රකට බියර් ශාලා කුමන්ත්‍රණයෙන් පසු සිරබත් කමින් සිටියදී ලියන ලද මගේ සටහන හෙවත් Mein Kampf   පොතේදී තමන්ට ලැබුන සාමාජික අංකය 7 බව ඔහු සදහන් කර ඇත.

කෙසේවෙතත් අංකයක් ලැබීමටත් පෙර පක්‍ෂයට එක්වී මසක් ඉක්මවූ තැන එනම් 1919 ඔක්තෝම්බරයේ 16 වන දින ඔහු පැවැත්වූ පළමු කතාවෙන්ම ඔහු ඵිලිබදව ජර්මානුවන් තුල දැඩි අවධානයක් දිනා ගන්නා අතර වේගයෙන් පක්‍ෂයේ මුල්පුටු කරා ඒමටද ඔහුට ක්‍රමයෙන් හැකිවේ.එය කෙතරම් වේගවත් වූවාද කිය‍තොත් 1920 පෙරබවාරි 24 වනදා ළදරු German Workers' Party යන නම අහෝසි වෙමින් එය National Socialist German Workers' Party (Nationalsozialistische Deutsche Arbeiterpartei/NSDAP/Nazi Party) බවට පත්වන අතර එහිද නායකයා Drexler වූවත් කිසිදු බාධාවකින් තොරව ඉහලට නැගී ආ හිට්ලර්ට එම බලය 1921 දී පවරමින් Drexler ‍බලයක් ‍නොමැති ගරු සභාපතිධූරයට කොටුවන අතර 1923 දී ඔහු පක්‍ෂය හැරයයි.

එසේම 1923 දී සිදුවූ අසාර්ථක බියර් ශාලා කුමන්ත්‍රණයෙන් පසුව තාවකාලිකව තහනම් කෙරෙන නාසි පක්‍ෂය නැවත ක්‍රියාත්මකවන්නේ හිට්ලර් සිරභාරයෙන් නිදහස් වූ පසුය 1925 දීය.

නාසි හෙවත් ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්‍ෂය නමින් වාමාංශික සමාජවාදී සවරූපයක් ගත්තද සැබැවින්ම එය දැඩි මතදාරී දක්‍ෂිනාංශික පක්‍ෂයක් විය. එහි ආරම්භක සාමාජිකයන් අතර පසුකලෙක නාසි න්‍යයාචාර්යවරයා වූ Alfred Rosenberg කැපී පෙනුන අතර වර්ගවාදී ආර්ය සංකල්පය නාසි පක්‍ෂය තුල මුදුන්මුල කිරීමට ප්‍රධාන වූ අයෙකු ලෙස ඔහු හැදින්විය හැකිය. එසේම ‍ඔහු සහ Anton Drexler සමග පසුව හිට්ලර්ට පමණක් දෙවැනි නැතහොත් Deputy Führer තනතුර දැරූ Rudolf_Hess ඇතුළු පිරිසක් පිහිටුවා ගෙන තිබූ Thule Society නම් සමාජය නක්‍ෂස්ත්‍ර විද්‍යාව හා අනෙකුත් ගුප්ත විද්‍යාවන් හැදෑරූ කණ්ඩායමකින් සමන්විත වූ අතර ඔවුන්ගේ විශ්වාසයට අනුව ජර්මනියේ අනාගතය හා තමන්ට විරුද්ධ අන්‍ය යුරෝපීය ජාතීන්ගේ විනාශය එම විද්‍යාව අනුව සිදුවීමට මාර්ගය සැලසීම විය.
Rudolf Hess

මෙම සමාජයට එකල ජර්මනියේ ධනවත් හා බලවත් අය එක්වී සිටි අතර එයට මූල්‍ය සැපයුම සිදුකරනු ලැබු‍වේද නාසි පක්‍ෂය විසින්මය. මෙම සමාජයද මූලිකවම ආර්ය ජාතිය පිළිබද සංකල්පය දැරූවන් වූ අතර එහි සලකුණ වූයේ කිනිස්සක් සහ එයට පිටුපසින් ඇති වක්‍රවූ ස්වස්තිකයකි.

Rudolf_Hess ද නාසි පක්‍ෂයේ ආරම්භක සාමජිකයකු වූ අතර පළමු ලෝක යුද්දයේ ගුවන් නියමුවෙකු වූ Hermann Göring, පළමු ලෝක යුද්දයේදී කැඩෙට් නිළධාරියෙකු වූ Heinrich Himmler ආරම්භකම සාමාජිකයන් වූ අතර නාසි ව්‍යාපාරයේ පතාක යෝදයෙකු වූ Joseph Goebbels ද 1923 දී පක්‍ෂයට එක්වූ කැපී පෙනෙනම චරිතයකි.

රාජාණ්ඩු ක්‍රමය අහෝසි කරමින් 1919 දී වයිමාර් නගරයේදී අත්සන් තැබුන නව ව්‍යවස්ථාවකින් ඇරඹුන ප්‍රජාතන්ත්‍රවාදී වයිමාර් ජනරජය පිළිබදව හිට්ලර්ගේ කැමැත්තක් නොවීය. ඔහුගේ විශ්වාසය අනුව එය පාලනය කෙරුනේ සමාජවාදීන්ගේ හා යුදෙව්වන්ගේ ඕනෑඑපාකම් අනුව වූ අතර "November criminals"නමින් හැදින්වූ 1918 නොවැම්බරයේදී පළමු ලෝකය යුද්දය නිමාවට හේතුවූ සටන්විරාමය ඇතිකිරීමට මූලිකවූ කණ්ඩායමද මේ ආණ්ඩුවේ කොටස්කාරයන් බව හිට්ලර්ගේ මතයවිය. ඔහු‍ගේ අදහස අනුව ජර්මනිය 1918 වන විට යුද්දයෙන් පරාජය වී නොසිටියත් රටතුලම සිටි පිටුපසින් සිට පිහියෙන් අනින්නන් (Stab-in-the-back legend) නිසා ජර්මන් හමුදාවේ හා ජර්මනියේ අභිමානය කෙලසූවන් ලෙස මොවුන් හැදින්වීය.

ප්‍රතිවාදී දේශපාලන දර්ශනයන් හා ප්‍රතිවාදීන් මර්ධනයට හා තම රැස්වීම් ආදියට බාධා කරන්නන් මර්ධනයට, ප්‍රචණ්ඩත්වය යොදගෙන එය ඉටුකල හැකි සේනාංකයක් අවශ්‍යවිය. ඒ අනුව 1921 දී Sturm Abteilung (SA) හෙවත් Stormtroopers නම් නාසි පැරා මිලිටරි සේනාංකයක් බිහිකල අතර එහි බහුතරයක් පැරණි හමුදා භටයන් රැසකගෙන් සමන්විත විය. ඔවුන් දුඹුරු කමීසකරුවන් ලෙසද හැදින්වූහ. එයට හේතුව ඔවුන් ගේ නිළ ඇදුම වූයේ දුඹුරු පැහැ කාකි කමීසයක්, වම් බාහු‍වේ ස්වස්තිකය ලකුණු කරන ලද අත්පටියක්, දුඹුරු පැහැ කාකි කලිසමක්, දුඹුරු පැහැ බද පටියක්, දුඹුරු පැහැ කාකි බූට් යුගලක් හා දුඹුරු පැහැ කැප් තොප්පියකිනි. ඒ නිසා සැබවින්ම මොවුන් දුඹුරු පැහැයෙන් දිස්වන්නට ඇති.

අසාර්ථක 1923 බියර් ශාලා කුමන්ත්‍රණයෙන් පසුව නාසි පක්‍ෂය සේම මෙම SA කණ්ඩායමද තහනමට ලක්වෙන අතර එයට උපක්‍රමයක් ලෙස මෙහි නම Frontbann ලෙස වෙනස් කෙරේ‍. ඉන්පසුව එහි නායකයා ලෙස මුල්කාලීන නාසි නායකයෙකු හා පැරණි හමුදා නිළධාරියෙකුවන Ernst Röhm පත්කෙරේ.

කෙසේවෙතත් ඔහුගේ ඇතැම් ප්‍රතිපත්ති කෙරේ නොසතුටු වූ හිට්ලර් ඔහුව Stormtroopers කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කරන අතර ඉන්පසුව නායකයන් කිහිපදෙනෙකුම මෙම දුඹුරු කමීසකරුවන් හැසිරවීමේ වගකීම දරයි. එසේම 1926 දී මෙහි නායකයා වන Pfeffer Von Salomon හ‍ට දුඹුරු කමීසකරුවන්ගේ බලය තවදුරටත් වැඩිකරගැනීමට පාර්ලිමේන්තු‍වේ මන්ත්‍රීධූර ලබාගැනීමෙන් අවශ්‍යවූවත් හිට්ලර් එයට මනාපයක් නොදක්වනවාසේම වැඩි වැඩකරන්නට ගිය Salomon හට හිට්ලර්ගේ නියමයෙන් 1930 දී තනතුරු හැරදා යන්නටද සිදුවේ.

1931 දී නැවතත් Ernst Röhm හට දුඹුරු කමීසකරුවන්ගේ නායකයා වීමට හිට්ලර්ගෙන් ඇරයුම් ලැබෙන අතර එය පිළිගෙන නැවතත් දුඹුරු ඇදුම්පැලදුම් ඇදගන්නා Röhm යුහුසුළුව SA භට සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු යොදයි.තවද ඔහු මෙහි ඉහල නිළයන් ලබාදෙනු ලබන්නේ තමන්ගේ හිතමිතුරන්ටය. SA භට සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි වූ අතර හිට්ලර්ගේ ආරත්‍ෂාව මේ වන විට පැවරී තිබුනේ 1925 දී ස්ථාපිතව 1929 දී Heinrich Himmler ගේ නායකත්වයට පත්වූ Schutzstaffel හෙවත් සුප්‍රසිද්ධම SS පැරා මිලිටරි කණ්ඩායම වෙතයි. එයට‍ පෙර මෙම කාර්යය කරනු ලැබුවේද දුඹුරු කමීසකරුවන්ම වූ අතර තවදුරටත් ඔවුන් වීධි සටන්කරුවන් ලෙස යුදෙව්වන් හා "රතු සහෝදරයන්" හා ගට්ඨන ඇති කරගනු ලැබීය. තවද නාසි ව්‍යාපාරය හා එරෙහි වන හෝ එයට තර්ජනයක් වන සියල්ලන්ම හා ගැටුම් ඇති කරගත්හ. ඒ අතර කතුවරුන්, මහාචාර්යවරුන්, දේශපාලකයන්, සහයෝගය නොදක්වන රජයේ නිළධාරින්, තවෙකක්තබා ව්‍යාපාරිකයන්ට පවා පහර දෙන්නට ඔවුන් පැකිළුනේ නැත.

SA කණ්ඩායම වැඩවර්ජනවලට සහය දුන්හ. ප්‍රතිවාදී කම්කරු ව්‍යාපාරවලට එරෙහිව පිකට්, වැඩවර්ජන හා පහර දෙන්නටද පසුබට නොවූහ. නාසි දේශපාලනයට තර්ජනයක් වන වාමාංශික දේශපාලන ව්‍යාපාරයන්  පාගා දමා නාසි පක්‍ෂයේ ගමන්මගට බාධක ඉවත්කර දුන්නේ මෙම දුඹුරු කමීසකරුවන්ගේ බලඇනියයි.

කෙසේවෙතත් විදි සටන්වලදී ඔවුන් දැක්වූ ප්‍රචණ්ඩත්වය හා බීමත්කම ඔවුන් කෙරේ ඇති අහිතකර බැලපෑමක් විය. තවද හිට්ලර් හා නාසින් පිළිකෙව් කල සමලිංගික සේවනය ඉහලපෙලේ  සිට බොහෝ SA භටයන් ප්‍රිය කල දෙයක් විය. කොටින්මකියනවා නම් මෙම කණ්ඩායමේ නායක Röhm හා ඔහුගේ දෙවැනියා වූ Edmund Heines පවා සමරිසියන් විය. මේ මොනවා කරත් හිට්ලර්ට සුපිරි නායකතුමා වෙනුවට කෙලින්ම "Adolf" ලෙස ආමන්ත්‍රණය කල හැකි නාසි පක්‍ෂයේ සිටි එකම තැනැත්තා Röhm විය.
(Röhm was the only top Nazi that Hitler addressed as such. In turn, Röhm was the only Nazi who dared address Hitler as "Adolf," rather than "mein Führer.")

හිට්ලර් 1933 දී චාන්ස්ලර් පදවියට පත්වන විට Storm troopers නැතහොත් SA කණ්ඩායම, හිට්ලර් හට සහය දුන් අතිරේඛ පොලිස් බලඇණියක් මෙන්විය. රාජ්‍ය ආයතන ගණනාවකට මෙම භටයන් ගොස් ඒවායේ බලය නාසි ආණ්ඩුවට දීමට බලකරන ලද්දේ මෙම කණ්ඩායමයි.

Röhm සහ SA කණ්ඩායම කණ්ඩායම විශ්වාස කලේ ඔවුන් ජාතික සමාජවාදීන්ගේ විප්ලවයේ ("National Socialist revolution") පෙරගමන්කරුවන් බවයි. හිට්ලර් බලයට පත්වූ පසු ජර්මනියේ රැඩිකල්වාදී වෙනසක් ඔවුන් බලාපොරොත්තුවූ අතර එහි වැඩි බලයක් හා ගෞරවයක් තමන්ට ලැබෙනු ඇතැයිද ඔවුන් සිතා සිටියේය.කෙසේවෙතත් හිට්ලර් මෙම Storm troopers කණ්ඩායම යොදාගත්තේ තමන්ට බලයට පැමිණීමට සහය වීමට භාවිතා කරන දේශපාලන මෙවලමක් ලෙසයි. ඒ නිසා තවදුරටත් මෙම මෙවලම ඔහුට අවශ්‍ය නොවීය.

නාසි පක්‍ෂය පිටතින් වාමාංශික මුහුණුවරක් (එය භාවිතා කල ජාතික සමාජවාදී කම්කරු වැනි යෙදුම් නිසා) පෙනුනත් හිට්ලර් ඇතුළු ප්‍රධානීන් බොහෝදෙනෙක් දක්‍ෂිනාංශිකයන් විය. එසේම සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වඩා හිට්ලර්ගේ ගමන්මග ෆැසිස්ට්වාදී ඒකාධිපති ක්‍රමයක් බව දේශපාලනයෙන් මුහුකුරා ගිය අයට නම් සැකයක් නොවීය. එසේවූවත්  පසුකලෙක හිට්ලර්ගේ සෙවනැල්ල මෙන් වූ Joseph Goebbels ඇතුළුව, Gottfried Feder, Walther Darré සහ Röhm වැනි අය නියෝජනය කලේ එම පක්‍ෂයේ සමාජවාදී පිළයි. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පක්‍ෂයේ සමාජවාදී සහ කම්කරු යන වදන් ප්‍රායෝගිකවද ක්‍රියාත්මකවනු ඇතැයි බලාපොරොත්තුවිය. යුදෙව්වන් හා සමීපබවක් තිබූ ධනවාදය ඔවුන් ප්‍රතික්‍ෂේප කලේය. ජාතිකවාදය ප්‍රධාන කර්මාන්ත ශාලා හා කම්කරුවන් අතරද ස්ථාපිත කිරීම අරමුණ විය. තවද ජර්මණියේ සාමප්‍රධායික මුහුණුවරට නැවත රැගෙන යාම ඔවුන්ගේ බලාපොරොත්තුවවිය. ඒ නිසා කලින් කී  රැඩිකල් බව යනු අළුතින්ම යමක් නොව පැරණි දේවල්ම නැවත වේගයෙන් ස්ථාපිතකිරීම විය.මෙය ඔවුන් හැදින්වූයේ දෙවන විප්ලවය ලෙසයි ("second revolution")

ව්‍යාපාරික ප්‍රජාවට මෙම සංකල්පයන් තර්ජනයක් විය.  හිට්ලර් වහ වහා ව්‍යාපාරිකයන්ට මෙම දෙවන විප්ලවයක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන ලදි. බොහෝ SA භටයන් වැඩකරන පංතියෙන් බිහිවූවන් වූ අතර ධනවාදී බවට වඩා ඔවුන් බලාපොරොත්තුවූයේ ඔවුන්ට යමක් ලැබෙන සමාජවාදී වැඩපිළිවලකි.ඒ නිසා මෙම භටයන් උදාහරණයකට හැදින්වූයේ හරක්මස් කැබැල්ලක් ලෙසයි. එනම් පිටතින් දුඹුරු පැහැ ගත්තත් ඇතුලතින් රතු පැහැ අය ලෙසයි (In fact, it was often said at the time that members of the SA were like a beefsteak — "brown on the outside and red on the inside".)

එහෙත් තමන් විසින් දාඩියමහන්සියෙන් බිහිකරන ලද ආණ්ඩුවෙන් සමාජවාදී වැඩපිළිවලක් හෝ තමන්ට හිමිවිය යුතුයයි අපේක්‍ෂා කල ගරුත්වය නොලැබෙන කල ඔවුන් කලකිරෙන්නට විය. හිට්ලර්ගේ සමීපතමයෙකු වුවද Röhm පවා ප්‍රසිද්ධියේම හිට්ලර්ට අවමන් කල අතර ඔහු කියා සිටියේ හිට්ලර් ජාතික සමාජවාදී අරමුණු පදනම් කරගත් විප්ලවය සිදුකිරීමට හිට්ලර් අසමත්වූ බවයි.

වැඩිදුරටත් පවසන්නේ නම් Röhm සහ  ඔහුගේ SA සඟයන් විශ්වාස කලේ ඒවන විට මිලියන තුන ඉක්මවා තිබූ Storm troopers කණ්ඩායම අනාගතයේ ජර්මනි හමුදාවට (Reichswehr) අනුයුක්ත කරගනු ඇති බවයි. Röhm ද හමුදාවෙන් ඉවත්වන විට ලුතිනන් කර්නල්ධූරය දරන ලද්දෙක් විය.  1934 දී ඔහු එරට ආරක්‍ෂක ඇමතිවරයාවූ Werner von Blomberg හට බල කර සිටියේ වර්සේල් ගිවිසුමෙන් ජර්මන් හමුදාව 100,000 කට අඩු භට පිරිසකට අඩුවිය යුතු බවට නීති පනවා තිබුනත් එය අභිබවා SA භටයන් හමුදාවට අනුයුක්ත කර ගත යුතු බවයි.

එහෙත් මෙතරම් භට කණ්ඩායමක් හමුදාවට අනුයුක්ත කර ගැනීම අසීරු හා තැතිගන්වන සුළු කටයුත්තක් විය. නිත්‍ය හමුදාවේ නිළධාරින් දුඹුරු කමීසකරුවන් දුටුවේ කලහකාරී, අසංවර, විනයක් නැති වීදි සටන්කරුවන් ලෙසයි. එසේම පහල සිට ඉහල නිලයන් දක්වාම සමලිංගිකයන් හා දූෂිත සදාචාරයකින් යුතු පිරිසක් ලෙසද ඔවුන් දකින ලදි.  තවද ඔවුන් සතුව අතිවිශාල අවි කන්දරාවක් සතුවීම අනතුරුදායක බව හමුදා අංශ වල මතය විය. 

හමුදාවේ ඉහල නිළධාරීන් සියල්ලක්ම Röhm ගේ මෙම යෝජනාව ප්‍රති‍ක්‍ෂේප කරන ලදි.  SA කණ්ඩායමට හමුදාවේ පාලනය ගියහොත් හමුදාවේ තිබෙන විනය හා කීර්තිය අහිමිවනු ඇති බව ඔවුන්ගේ මතය විය. හිට්ලර් පුද්ගලිකවම Röhm ට සහ සාමප්‍රධායිකත්වයට හමුදාවේ එරෙහිවීමට අවශ්‍ය අනුබලය සපයන ලද අතර ඒ වන විට අවුරුදු 86 ක්ව වයෝවෘද්ධ තත්ත්වයේ සිටි Paul von Hindenburg ගෙන් පසුව ජනාධිපති වීමට හමුදාවේ සහයද ඔහු බලාපොරොත්තුවිය.

හිට්ලර්ට තමන්ට වසර ගණනාවක් පුරා සහය දුන් දුඹුරු කමීසකරුවන්ට එරෙහිව අරගලයක් දියත් කිරීමට අවශ්‍ය විය. ඔහු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පවා මෙම කණ්ඩායම 2/3 කින් අඩුකරන බව පැවසූ අතර 1934 පෙබරවාරියේදී ඔහු නිවේදනය කර සිටියේ තවදුරටත් SA කණ්ඩායම යොදවන්නේ අවම තත්ත්වයේ හමුදා කටයුතු වෙනුවෙන් බවයි.

Röhm මේ අතර හිට්ලර් පිළිබදව අප්‍රසාදයෙන් කටයුතු කරන්නට වූ අතර SA කණ්ඩායමේ සන්නද්ධ අංශයන් ශක්තිමත් කීරීමේ කාර්යයේද නිරතව සි‍ටියේය.මේ නිසා බාහිරට පෙනෙන්ට වූයේ දුඹුරු කමීසකරුවන් නුදුරු අනාගතයේදී විප්ලවයක් සදහා සැලසුම් තනන බවයි. මාර්තුවේදී Röhm තරමක් සාමකාමී වෙමින් අඩුම තරමින් දහස් ගණනක්වූ SA නායකයන් පිරිසවත් හමුදාවට බදවා ගන්නා ලෙසයි. එහෙත් එවෙලේම මෙම ඉල්ලීම ප්‍රතක්‍ෂේප කරන ලදි.

1934 අප්‍රේල් 11 වන දින Deutschland ට රැස්වූ ආරක්‍ෂක ප්‍රධානීන් හමුවූ හිට්ලර් පවසා සිටියේ ඒ වන විට රෝගාතුරව වෙසෙන Hindenburg වසර ගතවීමට පෙර මිය යනු ඇති බවත් ජනාධිපති පදවියට පත්වීමට හමුදාවේ සහය තමන් වෙත ලබා දෙන ලෙසත්ය. එසේම SA භට කණ්ඩායම් අඩුකරන බව හා ජර්මනියේ එකම නිල හමුදාව ජර්මන් යුද හමුදාව බවත්ය. තවද යුද හමුදාව හා නාවික හමුදාව තවත් වර්ධනය කරන බවටද ඔහු පොරොන්දුවිය.

මේවන විටත් එ‍රට මධ්‍යස්ථ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම හමුදාවද ජනපති Hindenburg ට පැමිණිලි කර සිටියේ තමන්ට කරදරයක්ව පවතින SA මර්ධනයට යමක් කල යුතු බවයි. 1934 ජූනි මුල Hindenburg වෙනුවෙන් එරට ආරක්‍ෂක ඇමතිවරයා හිට්ලර්ට අවසන්වරට නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ මෙම දේශපාලන අස්ථාවරත්වය සමනය කල නොහැකි නම් Hindenburg විසින් යුද නීතිය පැනවීමට අදහස් කරන බවත් ඉන්පසුව එරට පාලනය හමුදාවට ලබාදෙන බවත්ය.

තම අනාගත අභිමතාර්තයන් ඉටුකරගැනීමට මෙවැනි ක්‍රියාමාර්ගයන් බාදාවක් වෙන බව දැන සිටි හිට්ලර් SA භට සංඛ්‍යාව අඩුකරන බවට හමුදාව සමග එකඟතාවයකට පැමිණියේය. තවද ස්වස්තිකය නිල හමුදාවේ සලකුනක් ලෙසද ඇතුලත් කරන ලද අතර නව නිළධාරින්ද පත්කර හමුදාව ප්‍රතිව්‍යුවහගත කරන ලදි.

1925 දී පමණ SA කණ්ඩායමෙන් ඉවත්ව තමන්ගේ වැඩක් කර ගෙන සිටි Röhm ව නැවතත් තමන්ගේ උවමනාවෙන්ම එහි නායකත්වයට පත්කරත් ඉන්පසු ඔහුගේ වැඩ පිළිවල තම දේශපාලන ගමනට හානිකර බව වටහා ගෙන සිටි හිට්ලර් අකමැත්තනේවූවත් Röhm සම්බන්ධයෙන් යමක් කල යුතු බවට තීරණය කලේය. කොහොමත් සමලිංගිකත්වය පිළිකුල් කල හිට්ලර්ට දුඹුරු කමීස ලොක්කාගේ "පිරිමි රුචිකත්වය" කොහොමත් ඇල්ලුවේ නැත. මේ අවධිය වන විට හිට්ලර්ගේ සමීපතමයන් හා ක්‍රමාණුකූලව වැඩකටයුතු කරමින් සිටියේ ප්‍රසියාවේ ආණ්ඩුකාරයා ලෙස පත්කර සිටි හර්මන් ගෝරින්ග්, ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස්, SS ප්‍රධානී හයින්රිච් හිම්ලර් යන අයයි. ඔවුන් සියල්ලක්ම පාහේ Röhm ට එරෙහිව සිටි අයයි. ඒ වන විට ඔවුන් දැරු බලතලයන් මේ එකිනෙකා අතරම එහා මෙහා කරගත් අතර ඒ වන විට ගෙස්ටාපෝ පොලීසි‍‍යේ ලොක්කා වූ ගෝරින්ග් එය හිම්ලර්ට පවරන ලදි.

මෙම පිරිස එක්ව Röhm විසින් හිට්ලර්ව බලයෙන් නෙරපීම සදහා හිට්ලර් විරෝධි පෙරමුනක් තනන බවට බොරු ගොතා එය සනාථ කිරීමට ලිපිලේඛනද කප්පරක් සකසන ලදි.තවද මාර්ක් මිලියන 12 ක් ප්‍රංශයට ගෙවා හිට්ලර් බලයෙන් නෙරපීමට ඔවුන්ගේ සහයද Röhm විසින් ලබා‍ගෙන ඇති බවට ගොතන ලදි. එසේම Röhm විසින් ජූනි 24 වනදා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා යන බවටද මෙම බොරු සාක්‍ෂි වලින් පැවසිනි.

SA කණ්ඩායමට ඇතුලත්ව සිටි හා ඉන්පිටත සිටි ඝාතනය කල යුතු අය‍‍ගේ ලැයිස්තුවක් සකසන ලද අතර SS භටයන්ට ඒ සදහා ක්‍රියාත්මකවීමට සූදානම් ශරීරයෙන් සිටින ලෙස හිම්ලර් විසින් නියෝග කරන ලදි.

මේ අතර තමන්ට අත්වන ඉරණම පිළිබදව නොදත් Röhm සහ ඔහුගේ සඟයන් කිහිපදෙනෙකු Bad Wiessee නිවාඩු නිකේතයට වි සැහැල්ලුවෙන් සිටියදී, හිට්ලර් විසින් ජූනි 28 වනදා ඔහුට දුරකථනයෙන් කතා කොට සියළුම SA ඉහළ නිළධාරීන්ට එම ස්ථානයට, ජූනි 30 වන දා තිබෙන සාකච්ඡාවක් සදහා පැමිනෙන ලෙස දන්වන ලෙස පවසන ලදි. මේ ගැන සැකයක් නොසිතූ Röhm මෙයට එකඟවිය.

1934 ජූනි 30 වනදා හිට්ලර්ව බලයට රැගෙන ඒමට ඇපකැප වූ දුඹුරු කමීසකරුවන් රැසකගේ ජීවිත කෙලවර වන Night of the Long Knives ලෙස හැදින්වෙන අමානුශික ක්‍රියාදාමය ඇරඹෙන දිනය බව ඔවුන් නොදැන සිටින්නට ඇති. හිට්ලර්,  එදින මියුනිච්හි පිහිටි Bad Wiessee නිවාඩු නිකේතයට ඉගිල්ලුන අතර ඔහු පෞද්ගලිකවම  Röhm සහ අනෙකුත් SA නායකකාරකාදීන් රැස අත්අඩංගුවට ගනුලබයි.

මෙම ක්‍රියාදාමය එනම් රටපුරා පිහිටි SA ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ජූනි 30 වනදා සිටි ජූලි 02 දක්වා සිදුවන අතර ඔවුන් සියල්ල මියුනිච්හි පිහිටි Stadelheim Prison හි රදවා තබනු ලැබේ. මෙම සියල්ලෝම පාහේ නාසි ක්‍රියාකාරිකයින් වීමද දෛවෝපතය.

හිට්ලර් කොතරම් දරදඩු පුද්ගලයෙකු වුවද තම අතීත සගයෙකුවන Röhm ඝාත‍නයේ මූලිකත්වය ගැනීමට පැකිලේ. ඔහු විසින් Röhm හට සියදිවි නසාගන්නා ලෙස පවසයි. ජූලි 2 දා Röhm හමුවීමට SS බ්‍රිගේඩියර් කෙනෙකු හා පසුකලෙක Dachau concentration camp හි ප්‍රධානියාලෙසද පත්වන Theodor Eicke සහා තවත් SS නිළධාරියෙකු වන Michael Lippert පැමිණේ. ඔවුන් උණ්ඩ පිරවූ පිස්තෝලයක්  Röhm ඉදිරිපිට තබා විනාඩි 10 ක් ඇතුලත එයින් ප්‍රයෝ‍ජනයට ගන්නා ලෙස දන්වා එම ස්ථානයෙන් පිටවේ . මේ යෝජනවා Röhm විසින් ඉවතලන අතර ඔහු පවසා සිටිනනේ "මාව මරාදමන්න ඕන නම්, හිට්ලර් විසින්ම එය කරලා දැන එකයි" යනුවෙනුයි. විනාඩි 10 ක් ගෙවුන නමුදු SS නිළධාරින් දෙදෙනා බලාපොරොත්තුවූ වෙඩි ශබ්දයක් නොඇසුනේය. Röhm සිටි සිරකුටිය වෙත SS නිළධාරින් දෙදෙනා පැමිණි අතර Röhm පපුව පුම්බාගෙන සිටගෙන සිටිනු දක්වා ලදි. මේ අවස්ථාවේ Lippert විසින් Röhm ට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර ඔහුගේ දේහය මියුනිච් හිදීම භූමදානය කරනා ලදි.

මෙම SA මර්ධනය ඊලග දිනයේදී නිතිගත සාධාරනීකරණය කරනා ලද්දේ රාජ්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ලද නිතිමය ක්‍රියාමාර්ගයක් (the Law Regarding Measures of State Self-Defence) ලෙසයි. මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ SA කැරලිකරුවන්ට එරෙහිව යමක් නොකියෙව්වත් ඔවුන් බලය අයුතුලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් දීර්ඝකාලයක් තිස්සේවිය.කෙසේවෙතත් පසුකලෙක මෙම මර්ධනය සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් ගොඩනගන ලද අතර එය ඉතිහාසඥයන් හදුන්වා දෙන්නේ "Röhm-putsch" (Röhm කුමන්ත්‍රණය) ලෙස වුවද දෙවන ලෝක යුද්දයෙන් පසුව එය නවීකරණය වී "alleged Röhm-putsch" හෝ "Night of the Long Knives නම් විය.

1934 දී මෙසේ කුරිරු ලෙස තම නාසි දුඹුරු කමීසකරුවන් දහස් ගණනක් මරා දැමුවත් හිට්ලර් බලයට පත්වීමට වසර 10 කට පෙර එනම් 1923 දී අසාර්ථක බියර් ශාලා කුමන්ත්‍රණය අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් දුඹුරු කමීසකරුවන් 16 දෙනෙකු මිය යාම හිට්ලර්ට හා නාසි පක්‍ෂයට අතිශයින්ම හැගීම්බර හා කම්පනයක් ඇති වූ දෙයක් විය‍. ඇතැම්විට එය දේශපාලනය සදහා ප්‍රයෝජනයට ගත් දෙයක් වන්නටද ඉඩ ඇත. මේ කාලය වන විට නාසි පක්‍ෂයේ සලකුණ ලෙස ස්වස්තිකය හා එය සටහන් කරන ලද ධජ භාවිතා කල අතර මෙම වෙඩිතැබීම අවස්ථාවේ භාවිතා කල ධජයක් මත වැටුන රුධිරය නිසා එය නාසි පක්‍ෂයට පූජනීය වස්තුවක් විය. මේ නිසා ඉන්පසු නව නාසි ධජයකට නිල පිළිගැනිම ලැබුනේ හිට්ලර් මෙම විශේෂිත ධජයද රැගෙන නව ධජය ස්පර්ශකල පසුවයි. නාසින් රුධිරය යනු බලයේ රහස් ලකුණ ලෙස සැලකූ අතර ඔවුන් මෙම ධජ බල ගැන්වීමේ උත්සවය The right of the blood flag ලෙස හැදින්වූහ. ඒ විතරක් ‍නොව ඔවුන්ගේ රුධිරය තුන්වන අධිරාජ්‍යයේ ශුද්ධ වූ ජලය ලෙසද හැදින්වීමට හිට්ලර් අමතක නොකලේය. එම මිය ගිය 16 දෙනා වෙනුවෙන් ස්මාරකයක් පවා ඉදිකල අතර එම ඒ ඒ වසර වලදී සිදුවීම සිදුවූ දිනය යෙදෙන දින රාත්‍රියේ උත්සවයන් පවා පැවැත්වූහ  එම මිය ගිය අයගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය Temple of Honour ලෙස හැදින්වූහ. එසේම මෙම අය සැමරෙන දිනයේ නාසි නායකයන් ඉතා ගෞරවබුහුමාන මෙම ස්ථානය පැමිණ දැක්වූහ.



Temple of Honour

මෙම ගරුබුහුමන් සැබෑලෙසම හදවතින් දැක්වූවාද? නැතහොත් එය තමන්ට වාසිවන ආකාරයේ දේශපාලන සන්දර්ශනයක්ද? මෙයට පිළිතුරක් දීමට අපහසුමුත් ඇතැම් SA සාමාජිකයන් මරා දමන අවස්ථාවේ පවා "හිට්ලර් දිනේවා" යනුවෙන් මොරගෑම විශ්මය ජනකය.

නාසි සංකල්පයන් පිළිබදව ඉදිරි ලිපියේදී කතාකරන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි.
alleged: කළැයි කියන, චෝදනා ලද, ප්‍රෝක්ත

25 comments:

  1. බොහොම මහන්සි වී ලියන ලියමනක ්බව පේනවා..ස්තූති වේවා ඔබේ කැප කිරීමට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට අගය කිරීම ගැන මගේ මේ වෙනුවෙන් ඇති දායකත්වය. බෞද්ධයෙකුවූවත් වාණිජකරණය වී ඇති පන්සල්ගානේ හතර පෝයට යනවාට වඩා දැනුම බෙදා දීමෙන් යමෙකු තුටු වන්නේ නම් එයත් මහගු පුන්‍ය කර්මයක් ලෙස මා සලකනවා...

      Delete
  2. මේ ලිපි මාලාවේ අලුත්ම ලිපිය එනකම් බලාගෙන උන්නේ, හැමදාමත් කියනවා වගේ සුපිරි ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් සෑහෙන්න කාලය මිඩංගු කළා මේ ලිපිය ලියන්නට. ඇතැම්විට හිතුනා මේ කරුණු නිරසවේද කියා පාඨකයන්නට.ඒත්‍ බොහෝ දෙනා නොදන්නා දේවල් නිසා වෙහෙස හා දෙගිඩියාව තිබුනත් පැය ගණනාවක් මේ වෙනුවෙන් ගතකළා...

      Delete
  3. ඇත්තටම ඔබේ මේ කැපවීම මමත් අගය කරනවා.. වෙන කෙනෙක්නම් මෙච්චර විස්තර එක්ක ලියන්නේ නෑ.. ඒ වගේම අපිට ඔබ ලියන දේ කියවන්න ලැබීමම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කරනා දෙය හරියට කිරීම වැදගත් යයි මා සිතනවා. මුල් කාලයේ යම් දෙයක් හා සම්බන්ධ සබැදියන් වැඩි දුරටත් කරුණු දැන ගැනීමට ඇතුලත් කලත් සත් සමුදුරට යමෙකු එන්නේ අළුත් දෙයක් ලබා ගන්නට. ඉතින් තව තැන් වලට එම පාඨක මිතුරා යොමුකර වෙහෙස කරනවාට වඩා, වෙහෙසකරවූවත් ඒදෙය තේරෙන ආකාරයකට මෙතනදීම ලබාදීම වඩාත් සුදුසු යයි සිතනවා...

      Delete
  4. හිට්ලර්ගේ පටන් ගැම්ම තමන්ගෙම මිනිස්සු මැරීමෙන්ම්දේශපාලනය හැමදාම ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්,,බලය ලබා ගන්න ඊයේ වගේම අදත් අදහාගන්න බැරි දේවල් කරන්නේ දේශපාලන නායකයෝ

    ReplyDelete
    Replies
    1. මිතුර, දේශපාලනය කියන්නේ පුදුමාකාර දෙයක්. බලය කියන්නේ එහි ශුද්ධ වූ ඵලය ලෙස සැලකුවත් වරදක් නැහැ. මේ කාරණා ගැන කතාකරන්නට පුදුමාකාර ලොල් බවක් ඇතත් නැති කරදර වලට මුහුණ දෙන්නට සත්‍ය වශයෙන්ම බියගුළු නිසා ඒ දේවල් ගැඹුරු හා හිතට දැනෙන සේ කියන්නට නොහැකිවීම ගැනනම් ඉතා කණගාටුවෙනවා...

      Delete
  5. machoo ela machoo.

    mara info tikka labuna thanks

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඊලඟ ලිපි වලත් ‍මේ වගේ නොදත් කරුණු රැසක් තියේවි...

      Delete
  6. දේශපාලන මදයෙන් මත් වූ සැවොම කරන්නා වූ දෙයක්..

    ReplyDelete
    Replies
    1. ආදි කාලයේ සිටම බලය යනු මිනිසා වල්මත් කරන්නාවූ දෙයක්...

      Delete
  7. Thank You Dinesh.

    ReplyDelete
  8. හරිම වැදගත් කරුණු , රසවත්ව අකුරු කර ඇති නිසාම සම්පුරුණ ලිපියම එක හුස්මට කියවන්න පුළුවන් , හැමදාමත් වගේ බොහොම පිං මේ වෙන වෙහෙසට ...ඒ වගේම මම ඔබේ “බෞද්ධයෙකුවූවත් වාණිජකරණය වී ඇති පන්සල්ගානේ හතර පෝයට යනවාට වඩා දැනුම බෙදා දීමෙන් යමෙකු තුටු වන්නේ නම් එයත් මහගු පුන්‍ය කර්මයක් ලෙස මා සලකනවා“ ප්‍රකාශයත් ඉහළින්ම ගරු කරනවා ...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි මහේෂ්. ඔව් බුදු හාමුදුරුවෝ බුද්ධ ධර්මයෙන් මූලධර්මවාදය හෝ එය විකුණාගෙන කන්න ඉගැන්නුවේ නැහැ. ඒත් එය රැකියාව කරගෙන සිටින අය දැන් කරන්නේ එයයි...

      Delete
  9. මමනම් මේ හැම අකුරක් පාසාම අලුත් දැනුමක් ලැබුවා.. කිසිදා අසා නොතිබුන සිද්ධි දාමයක්.

    බොහොම ස්තූතියි කියලා තමා කියන්ඩ තියෙන්නෙ.

    තවතවත් අප වෙනුවෙන් මේවන් ලිපි පලකිරීමට හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි සෑම ලිපියක්ම කියවා දක්වන අවංක සහයෝගයට. ඉදිරියේදිත් විවිද නොදන්නා කරුණු මෙම ලිපි පෙලෙන් සහ වෙනත් ලිපි වලින් දැනගැනීමට හැකිවේ යයි සිතනවා...

      Delete
  10. කවදත් වගේ මේ ලිපියත් මසුරන් . නොදත් සහ කියවන්නට කම්මැලි වූ සමහර දේත් ඔබේ ලිපිවලින් කියෙව්වා . ස්තුතියි දිනේෂ්

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි චමිලා කෙතරම් වැඩකටයුතු තිබුනත් හැකී සෑම අවස්ථාවකම පැමිණ දෙන දිරිමත් කිරීමටත්. මෙම ලිපි පෙල ලඟකදී නම් අවසන් වෙන එකක් නැහැ. ඒ සෑමදෙයකම ‍විශාල කරුණු ප්‍රමාණයක් තිබේවි නොදත් සහ දැන සිටි කරුණු සවිස්තරව. හැබැයි මෙම ලිපි ටිකක් නිසරු බවක් දැනේවි ඉතිහාස ගත කරුණු පමණක්ම නිසා. ඒත් ඔබට නම් එසේ නොදැනෙන බව විශ්වාසයි...

      Delete
  11. වෙනද වගේම මෙදා සැරෙත් උපරිමයි දිනේෂ්......

    ReplyDelete
    Replies
    1. ස්තූතුයි! ඔබ අනිවාර්යයෙන්ම ලිපිය කියවන්නට පැමිණෙන බව මෙන්ම කරන ලද කැපවීම හදපත්ලෙන්ම අගය කරන බවත් දැන සිටියා...

      Delete
  12. සුනෙත්April 23, 2012 at 6:11 PM

    දිනේෂ්
    මම ඔබගේ ලිපි ඉතා අසාවෙන් කියවනවා. ඉතා වටිනා දැනීම සම්බාරයක් එහි ගැබ්වෙලා තියෙනවා ඔබට ඉස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉදිරියේදිත් පැමිනෙන මෙන් ඉල්ලා සිටිනවා...

      Delete
  13. わたしはも
    さくらのはなみ
    たのしんだ

    ReplyDelete