Monday, October 24, 2011

Steve ගැන තවදුරටත් - 4 සහ මේ සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහනයි...


මුලින්ම ඔබට කියන්න කැමතියි මේ තමයි සත් සමුදුරේ 200 වන බ්ලොග් සටහන. ඇතැම්විටක ශීඝ්‍රගාමීව වගේම ඇතැම් අවස්ථාවල මන්දගාමී ගමනක යෙදෙමිනුත් තමයි මේ ඉලක්කයට පැමිණියේ. ඒ ඉලක්කය සපිරීමේදී අති දීර්ඝ ලිපි මෙන්ම මැද ප්‍රමණයේ ලිපි හා කෙටි මෙන්ම පින්තූරවලින් යම් පණිවිඩයක් ගෙන ආ ලිපිද ඔබට දැකගන්නට ලැබුනා.

කෙසේවෙතත්‍ මේ අවුරුද්දේ ජනවාරි 13 වනදා නිසියාකාරයෙන් ලිපියක් පලකර බ්ලොග් අඩවිය ක්‍රියාකාරී තත්වයට ගන්නා මොහොතේදී  ‍මෙපමන ලිපි සංඛ්‍යාවක් හෝ මෙපමණ දුරක් පැමිණීමට කිසිදු අදහසක් තිබුනේ නැහැ. ඒ දුරප්‍රමාණය පැමිණීමට ශක්තිය හා අවශ්‍ය සහය දුන්නේ ඔබලා සැම බව මේ මොහොතේත් මතක් කරනු රිසියි. ඉතින් ඒ ගැනත් සතුටු සිතින් යුක්තව ‍එසේනම් සුපුරුදු පරිදි ලියාගෙන ආ ලිපි පෙලේ සිව්වන ලිපියට අපි දැන් ප්‍රවිශ්ඨවෙමු.

මේ ලිපි පෙලේ කලින් ලිපි ත්‍රිත්වය -
හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව
ඇපල් ලොක්කා තමන් හැදූ ඇපල් වත්තෙන් ගියපසු හා නැවත ආ පසු- 2

Steve Jobs ගැන ගැඹුරින්... 3 


Chrisann Brennan, ඒ Steve Jobs ගේ තරුණ කාලයේ සෑහෙන්න දුරකට ගෙන ගිය ආදර සම්බන්ධතාවයයි. ඔවුන් දෙදෙනා අතර මෙම සබඳතාවය ඇතිවූයේ Homestead උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ යයි කියන අතර පෙර ලිපියේදීද කියූ ලෙස ඇය අප කතානායකයාගේ අර්ධ හිපි ජීවිතයේදීද සහය වු චරිතයක් වූයේය (Steve Jobs ඉන්දියාවේ සිටි සමයේදී ඔහු LSD වැනි මත්ද්‍රව්‍යවල ත්‍රිල් එකද අත්හදා බලා ඇති බව කියයි). කෙසේවෙතත් මේ අවිවාහක තරුණ දෙපලට තරු විසිවූයේ 1977 පමණ වන විට Chrisann, Steve නිසා ගර්භනී තත්වයට පත්වීමත් සමගයි. කෙසේවෙතත් Steve දැඩි ලෙස මෙම දරුවාගේ පීතෘත්වය පිළිනොගත් අතර තමන් නිසරු පුද්ගලයෙක් බවත් තමන්ගෙන් දරුවෙකු පිළිසදගැනීමක් සිදුනොවිය හැකි බවටත් පදනම් විරහිතව දැඩි ලෙස තර්ක කල බව කියයි. බොහෝවිට සිදුවන්නට ඇත්තේ ඒ වන විට ඔහු ලබා ඇති සාර්ථකත්වය හා වේගයෙන් දියුණුවට පත්වෙමින් සිටියදී තමන්ගේ පාසල් කාලයේ පෙම්වතිය තවදුරටත් තමන්ට නොපෑහෙන බවට සි‍තෙන්නට වීම විය හැක.
 The new issue of Rolling Stone features 
the late Apple visionary Steve Jobs. 
His first serious girlfriend, Chrisann Brennan, 
writes about his young-adult years.
 
මෙලෙස තනිවූ Chrisann ට, දියණියක් 1978 මැයි මාසයේදී ලැබෙන අතර ඇයට තබන නම  Lisa  Brennan වේ. පසුකලෙක නිපදවූ ඇපල් පරිගණකයකට Lisa යන නාමය තබන්නට Steve Jobs සිතන්නට ඇත්තේ, තමන් දරුවා ප්‍රතික්‍ෂේපකරත් ඔහුගේ යටිසිත තමන් කල දෙය ගැන තිබූ පසුතැවිල්ල හා දරුවාට තිබූ ආදරය වන්නට ඇත. 
 Lisa  පරිගණකය
දරුවා ලැබුන පසු Chrisann Brennan විසින් තමන්‍ සතුව තිබූ වත්කමින් හා සුභ සාධක වැඩසටහන් වලින් ලැබූ මුදලින් දරුවා උස්මහත් කරන අතර වසර 7 ක් ඉක්ම ගිය තැන එනම් 1986 දී Lisa හා Steve නැවත හමුවන අතර මෙම පියා තම දුව මුල් වරට නිවාඩුවක් ගත කිරීමට රැගෙන යයි.

Jobs තම දියණිය Lisa සමග
පසුව 90 දශකයේ මුල් භාගයේදී තම පියා සමග ජීවත් වීමට Lisa  ඔහුගේ නිවසට යන අතර දැන් ඇය 33 හැවිරිදි කාන්තාවකි. ඇය, ඇයගේ නැන්දා නැතහොත් තම පියාගේ සහෝදරිය (Mona Simpson) මෙන් වෘත්තියෙන් ලේඛිකාවක් වන අතර යුරොපයේ වාසය කරන බව පැවසේ. ඇය Oprah Magazine, Vogue, Harvard Crimson, The Massachusetts Review ආදී සඟරාවල ලේඛණ කටයුතුවල යෙදේ.
(Mona Simpson (කලින් Mona Jandali), Steve Jobs ට ප්‍රථම වරට මුණගැසුනේ ඔහුට වයස අවුරුදු 27 දී බව කියන අතර ඇය ප්‍රසිද්ධ ලේඛිකාවකි).
Lisa වර්ථමානයේදී


Chrisann Brennan හා Steve Jobs අතර විවාහයක් කිසිදා සිදුනොවූ අතර 1991 දී ඔහු විවාහවන්නේ
Laurene Powell සමගයි. 1989 දී මෙම දෙපල Stanford's graduate business school හිදී මුල්වරට හමුවී කතාබහ කොට දැනඇදුනුම්කම් ඇති කරගන්නා අතර Laurene පෙනසිල්වේනියා‍වේ විශ්වවිද්‍යාල කිහිපයකම උපාධි කිහිපයක්ම ලබාගත් තැනැත්තියකි. මෙ‍ම දෙපලට දරුවන් තිදෙනෙකු ලැබුන අතර Eve, Erin and Reed නම් විය.
Steve Jobs සිය බිරිඳ Laurene Powell සමග
Steve Jobs ගේ පෞද්ගලික අලකංලචි එසේ සිදුවෙද්දී නැවතත් ඔහුගේ වෘත්තීමය දිවියට එබිකම් කරන්නේ නම් 1974 දී නැවත ඉන්දියාවේ සිට සිය රට පැමිණි Steve Jobs, ලෝකයේ මේ දක්වා වේගයෙන්ම දියුණුවූ සමාගම ලෙස සැලකෙන ඇපල් සමාගම ඇරඹීමට මුල්වූ අනෙත් සගයා වන Steve Wozniak ට තමන්ද සාමාජිකත්වය දරන 'Homebrew Computer Club' සාමාජිකත්වය ලබා ගැනීමට ඇරයුම් කරයි. (ඇතැම් මූලාශ්‍රවලට අනුව ඇපල් සමාගමේ පලමුවැන්නා Steve Wozniak ලෙස හදුන්වන අතර එය බොහෝවිට සත්‍යයක්ද විය හැක්කේ Jobs ට වඩා ඉලෙක්ට්‍රොනික දැනුම අතින් Woz ඉදිරියෙන් සිටි බව කියයි. Apple I සහ Apple II පරිගණක නිර්මාණයේදීද එහි පරිපථ නිර්මාණයේදීද මුල්තැන ගත්තේ Woz බව නොරහසකි). 

මෙම Homebrew පරිගණක සමාජය පැවත්වුනේ Stanford Linear Accelerator Center හි වන අතර එකල ඉලෙක්ට්‍රොනික ක්‍ෂෙත්‍රයේ නිරතව සිටි වෘත්තිකයන් හා එයට සම්බන්ද අයවළුන් එකට රැස්වී තම දැනුම බෙදාගත් හෝ එකිනෙකා අතර එම කටයුතු සදහා උදව් උපකාර බෙදාහදාගත් හා තමන් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික නිශ්පාදන අලෙවිකල ස්ථානයක් ලෙසද මෙය හැදින්වේ. Steve Wozniak පසුකලෙක ලියූ සටහනකට අනුව සිලිකන් නිම්නයේ මෙම පරිගණක සමාජ නොතිබෙන්නට ඇපල් පරිගණක බිහිනොවන්නටද ඇතිබව සදහන් කරයි (Without computer clubs there would probably be no Apple computers. Our club in the Silicon Valley, the Homebrew Computer Club, was among the first of its kind.)

Wozniak ගත්විට ඔහු විනෝදකාමී පුද්ගලයෙකු ලෙස පැවසෙන අතර ඔහුට තිබුනේ විනෝදයට
ඉලෙක්ට්‍රොනික නිශ්පාදන බිහිකිරීමේ පිස්සුවයි. එහෙත් Jobs ට තිබුනේ මේවායේ වාණිජමය
වටිනාකමකි. එසේම ඇපල් I පරිගනකය මුලින්ම නිශ්පාදනයේදී එය විනෝදය තකා කරන්නක් පිණිස මිස වාණිජමය අරමුණු කරා නොයන බවට එකඟතාවයක් මුලින් ඔවුන් දෙදෙනා අතර තිබූ බවද පැවසේ (Jobs persuades Wozniak to build a personal computer with him. Woz agrees, although in his eyes on a "hobby, for-fun basis" and not for making money, as he later emphasizes).

මේ Wozniak විසින් ඇපල් පරිගණකය උපත ලැබූ අයුරු හා Steve Jobs ගැන වරක් පැවසූ කරුණු වල සංක්‍ෂිපත්යකි.

"Steve Jobs මා උසස් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ පටන් මිතුරෙක්. අප දෙදෙනාගෙම මිතුරෙක් අපව එකිනෙකා හදුන්වාදුන්නේ අප දෙදෙනා අතරේ පොදු සමානකමක් තිබූ නිසයි. ඒ ඉලෙක්ට්‍රොනික්වලට තිබූ පිස්සුව හා විහිළුවලට අප දෙදෙනාතුලම ඇති ප්‍රියතාවයයි. ඔහු තුල සමාගමක් ආරම්භකරන්න විශාල උනන්දුවක් තිබුනා. ඔහු Atari සමාගමේ වැඩකල අතර එහි ප්‍රධාන පෙලේ පුද්ගලයන්ද ඔහුගේ මිතුරන්වූවා. ඒ අතරින් Nolan Bushnell ප්‍රමුඛම කෙනෙක්. Nolan Bushnell තමයි එම සමාගම ආරම්භකලෙත්. ඒවගේම Nolan Bushnell කියන්නේ Steve Jobs ගේ වීරයා නැතහොත් සිතේ ඇදුන ප්‍රතිමූර්තිය කිව්වත් නිවැරදියි. Steve ට අවශ්‍යවුනා සාර්ථක නිශ්පාදන බිහිකරන්න සහ ඒවා අලෙවි කිරීම ආරම්භකිරීමට මෙන්ම ඒවායෙන් හොද මුදලක් උපයා ගන්න. ඒවගේම ඔහුට හොද නිපැයුම් පිළිබදව අදහසුත් තිබුනා. විශේෂයෙන් නිවසේ භාවිතා කල හැකි අනාගත පුද්ගල පරිගණක පිළිබදව ඔහුගේ සිතේ ඇදී තිබුනා.
Woz විසින් නිපදවූ Blue Box දුරකථන පද්දති 
මුලාකිරීමේ Gadget එක සමග

‍Apple I පරිගණකය නිර්මාණය කිරීම සදහා අප දෙදෙනා අතර හවුලක් අතිකරගත්තා. අපි පළවෙනි අවුරුද්දේ ගොඩක් Apple විකුණුවේ නැහැ. රාත්‍රියේදී අපේ ගරාජයේ අපි ඒවා හැදුවා. අපි මුලින්ම හිතුවේ ඒවායේ පරිපත පුවරු Homebrew Club දී විකුණන්නයි. එයට අපිම සොයාගත්ත චිපයක් දාලා හැදුවා. හොදට වැඩකරා. ඊළගට අපිට $50,000 ක ඇනවුමක් ලැබුනා අපි ඉන්න ප්‍රදේශයේම කඩවලින්. අපිට ඉතින් ඉහේ මලක් පිපුනාවගේ තමයි.

ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි මේ ඇනවුමට හරියන්න පරිගණක සිය ගානක් හදන්න මුදල් හොයාගන‍්නේ කියන එකයි. අඩුම තරමෙන් එකකට ඩොලර් සිය ගාණක් වියදම්කරන්න වේවි. Steve අපි දන්නකියන ඉලෙක්ට්‍රොනික් අමතරකොටස් විකුණන වෙලෙන්දෝ හමුවුනා. ඔවුන් අපිට ගොඩක් ඉලෙක්ට්‍රොනික් කෑලි දෙන්න පොරොන්දුවුනා දවස් තිහක ණය කොන්දේසියක් යටතේ. කොහොමවුනත් අවුල මේකයි ණය ගෙවාගන්න බැරිවුනොත් ඔවුන්ට දෙන්නේ මොකක්ද? අපිට කියල මොනවත්ම තිබුනේ නැහැ. අපේම කියල ගෙයක්. අපේම කියල වාහනයක්වත්. ඒත් ඉතින් Steve කියන්නේ වැඩක් ලේසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. අපි මේ කෑලි ටික ගෙනැල්ලා ඒවා පුවරුවල සවිකර පාස්සල ඒවා ආයෙත් ගරාජයට ගෙනැත් පරීක්‍ෂාකරල බැලුවා. මේක චක්‍රයක් විදියට එක දිගට දවස් දහයක් කරා. සාර්ථකයි. ඔක්කොම වැඩකරා. ඒවගේම විකුණුවා. මේ වැඩේ හරිම සතුටුදෙයක් මොකද අපිට තිබුනේ එකම කළමණාකරන මට්ටමක් විතරයි.
Apple I පරිගණකය නිර්මාණයේදී Wozniak ගේ සටහන්

දැන් ඉතින් අපිට අපේ නම තහවුරු කරගන්න ඕන. පරිගණක සඟරා පටන්ගත්තා. ඒකාලයේ තිබුනු microcomputers වල විස්තර එකතු කරන්න. ඔවුන් ඒවායේ කොච්චර මතකය තිබෙනවද? processor මොකක්ද? කොහොමද ඒක හදල තියෙන්නේ? මිල? Apple I ට හොද පෙනුමක් තිබනා ඒවගේම Apple කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ මුල්ම අකුරින් එන නමක් නිසා පරිගණක නාමයන් ඇති lists වල මුලින්ම ඉන්නත් වාසනාව ලැබුනා.

Apple I එලියට දැම්මට පසසේ අපි උත්සහකලේ තව අළුත් විශේෂාංග එකතු කරන්නයි. අපි හිතුවා වර්ණවත් උස් විභේදනයෙන් යුතු පින්තූර ගැන (color and maybe some high-resolution graphics).මම ඒකට ක්‍රමයක් හොයාගත්තා වඩාත් හොද හා විවිද උපාංග අතර සංකලනයක් අති කිරීමෙන් හා තවත් චිපයන් එකතු කිරීමෙන් ඒක කල හැකි බව. අපි ඒක පරිගණක සමාජයේදිත් පෙන්නුවා වෙන කාටත් බැරිවුනත් අපිට ඉතා සුළු චිපයන් ප්‍රමාණයකින් විශාල දෙයක් කල හැකි පරිපථ නිපදවිය හැකි බව. හැබැයි ඒ කිසිදෙයක් කලේ වෙනත් කිසිදු හේතුවක් නොමැතිවයි.

Apple II පරිගණකය Apple I තවත් වැඩිදියුණු කරල හදපු එකක්. එකේ පළමු එකෙන් භාගයක් තමයි චිප් තිබුනේ. ඒවගේම ඒක හොද නිපැයුමක් කියල කියන්න පුළුවන්. ඒක වේගවත්, ඒවගේම වර්ණවත් පින්තූර, උස් විහේදනය, විවිදාකායේ අකුරු සහ තවත් විශේෂාංගරැසක් එහි තිබුනා.

හැබැයි මේ නිපැයුම් කරද්දී Steve සහ මා අතර වාදයක් තිබුනා ඒ කොච්චර expansion slots ගණනක් පරිගණකයේ අන්තර්ගතවියයුතුද යන්න ගැන.මට අටක් තිබිය යුතුවූ අතර ඔහුට අනුව එහි තිබිය යුතුවූයේ දෙකක්. මම අටක් කිව්වේ මොකද දන්නවද? මම minicomputers සම්බන්දයෙන් වැඩකරල තිබුන නිසා එහිදී ලබපු අත්දැකීම අනුව අමතර කාර්යයන් කරගන්න තව පුවරු සවිකරගන්න අවශ්‍ය වෙන බව දැනසිටියා. හැබැයි Steve ට හිතුනේ මිනිස්සු වැඩිම වුනොත් භාවිතා කරන්නේ ප්‍රින්ටරයයි, මොඩමයයි විතරක් කියල. කොහොමවුනත් මගේ අදහසට ඉඩ ලැබුන නිසා අටක් expansion slots දාන්න හැකි වුනා වගේම Apple II පරිගණක වල සාර්ථකත්වයටත් එය හේතුවක් වුනා.

කොහොමවුනත් ප්‍රමාණවත් අයුරින් Apple II පරිගණක නිශ්පාදනයට මට ඒ වන විට කරමින් සිටි මගේ හොද ආරක්‍ෂිත රස්සාව වුන Hewlett-Packard සමාගමේ රැකියාවට ආයුබොවන් කියන්න සිද්දවෙලා තිබුනේ. මම ඒගැන හිතුවා ඒවගේම මම ඒකට නම් කැමතිවුනේ නැහැ.මට උවමනාවුනේ Homebrew Computer Club එකට ගිහිල්ලා මගේ අදහස් එතනදී බෙදාහදාගන්න සහ අළුත් අළුත් පරිගණක හැදීම ගැන කියන්න විතරයි. මට ඒක නිදහසේ කරන්න විතරයි අවශ්‍යවුනේ. මේ ගැන Steve නම් කනස්සල්ලට පත්වුනා. ඔහු මගේ හිතමිතුරන්ටයි, නෑදෑයන්ටයි දුරකථනයෙන් කතා කරල කිව්වා ඇයි Woz වැරැද්දක් දැන දැනදැනම කරගන්න ය‍න්නේ කියල. අන්තිමේ මේ අතරින් එක්කෙනෙක් මට කතාකරල කිව්වා ඔබලාට සමාගමක් පටන්ගන්න පුළුවන්නේ. ඉතින් ඒකෙම ඉංජිනේරුවෙක් වෙලා හොද පෝසතෙක් වෙන්නත් පුළුවන්නේ කියලා. ඉතින් ඒක මට හොද ධෛර්යයක්වුනා HP සමාගමෙන් ඉවත්වෙන අවධානම් තීරණය ගන්න.

අපි අපේ මුල්ම දැන්වීම් ඒජන්සියට ගිහිල්ල අපේ අරමුණු හා අපේ නිශ්පාදන පිළිබදව හා ඒවා අලෙවිකරන්නට බලාපොරොත්තුවෙන විදිය ඔවුන්ව දැනුවත් කරා. ඒ ඒජන්සිය කිව්වේ මොකක්ද දන්නවද? ඇපල් කියන්නේ විහිළු නමක්නේ! ඒක මේ හොදයි අර ඔයගොල්ලෝ විනෝදයට වගේ මේවා හදපුකාලෙට. මේ නම නම් වෙනස් කරන්න වේවි. ඒ කියන්නේ තාක්‍ෂනයට අදාලවෙන නමක්, එහෙමත් නැත්නම් අංකවලට නෑකම් කියන නමක්, නැත්නම් ගණනය කිරීම්වලට හරි දත්ත සමුදායකට හරියන නමක්. අපි ‍අපේ මතයේම හිටියා. ඇපල් තමයි අපි ඉදිරියටත් භාවිතා කරන නම. ඒකෙන් යහපත්බව, නිවහනේදී අධ්‍යාත්මිකබවක්, පුද්ගලිකබවක් සහ මිත්‍රශීලී බවක් නිරූපනය වෙන බවයි අපේ අදහස වුනේ. මුලින්ම අපි භාවිතා කරේ නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙන සලකුන, මේ ඒජන්සිය අපිට දේදුන්නක වර්ණ ඇති ඇපල් ගෙඩිය ඇති ලාංඡනය නිර්මාණය කර දුන්නා. ඒක Steve ගේ අදහසක්".

Woz එසේ කියද්දී මෙම මිතුරන්‍ දෙදෙනා සිය පළමු පරිගණකය නිපදවීම සදහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගත්තේ Steve Jobs සතුව තිබූ Volkswagen van ඩොලර් එක්දාස් ගාණකටත්, Woz තමන් සතුව තිබූ HP 65 Programable Calculator ඩොලර් පන්සිය ගණනකට විකිනීමෙන් ලද මුදලින් බව පැවසේ. මේ අතර තව ගැටළුවක් තිබුනි. ඒ ඒවනවිටත් Wozniak, Hewlett-Packard සමාගමේ සේවකයෙක් නිසා ඔහුවිසින් නිපදවන ඉලෙක්ට්‍රොනික උපාංගවල අයිතියද නීතිමය ව‍ශයෙන් එම සමාගමට අයිතිවීමයි. මේ නිසා Wozniak තමන් නිපදවූ අඩුමිල පුද්ගල පරිගණකය මුල්වරට Hewlett-Packard සමාගමට ඉදිරිපත් කලත් එයට ඔවුන්ගේ අවධානයක් යොමුනොවීය. එය ඔවුන් කරගත් ‍ඓතිහාසික වැරැද්දක්වන්නටද ඇත.
HP 65 Programable Calculator

1976 දී Wozniak තමන් සේවය කරමින් සිටි Hewlett-Packard ආයතනයෙන් ඉවත් වන අතර ඊට වසර කට පෙර එනම් 1975 දී ඔහු තෘතීක අධ්‍යාපනය ලබමින් සිටි  Berkeley හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන්ද ඉවත්වීම සිදුවී තිබුනි.

1981 පෙබරවාරියේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණපෑමට Wozniak ට සිදුවිය. ඒ ඔහුගේ Beechcraft Bonanza single engine aircraft යානය California ගුවන් තොටුපලකදී අනතුරකට ලක්වීමයි. නියමිත ධාවනයට කලින් ඉහල එසවීමට යාමේදී මේ අනතුර සිදුවූ අතර මෙයින් Woz බරපතල ලෙස තුවාල ලැබූ අතර ඔහුගේ මුහුනේ සිදුවූ තුවාල වලට අමතරව මතකය අහිමිවීමේ තත්වයකටද මුහුණ පෑවේය. මේ තත්වය සති පහක් තිස්සේ තිබූ බව කියන අතර තමන්ට සිදුවූ අනතුර පිළිබදවත් ඔහුට මතකයක් නොවීය.  ඔහුට සියල්ල අපැහැදිලි පටලයකින් වැසී තිබුනාක් මෙන් හැගුන අතර සියළුම දින සති අන්තයේ දිනබවට ඔහු සිතා සේවා ස්ථානයට වාර්තාකිරීමෙන්ද තොරව සිට ඇත. කෙසේවෙතත් ඔහු ඉක්මනින් නැවත ඇපල් සමාගමේ රැකියාවට නොපැමිණි අතර Candice Clark සමග විවාහ වීමද මේ අවධියේ සිදුවිය. විවාහයෙන් පසු නැවත Berkeley වෙත පැමිණියේ ඔහු වෙනත් නමකිනි. ඒ "Rocky Raccoon Clark" යන නමෙන් වූ අතර මෙහි Rocky යන්න ඔහුගේ සුරතල් බල්ලාගේ නමවූ අතර Clark යන නම තව බිරිඳගේ මුල් නම විය.ඔහු නැවතත් මෙම නමින් තමන් අත්හැරදමා තිබූ උපාධිය ලබා ගැනීමට සරසවියට යන අතර 1986 දී ඔහු එය ලබා ගන්නා ලදි.

1983 දී Woz නැවත ඇපල් සමාගමේ සේවයට පැමිනියත් තව දුරටත් එහි ඉංජිනේරුවෙකු හෝ ක්‍රියාකාරීම සාමාජිකයෙකු වීමට අපේක්‍ෂා නොකරයි. 1987 පෙබරවාරි 6 වෙනිදා ඇපල් සමාගමේ පූර්ණකාලීන සේවයෙන් ඉවත්වන අතර එහෙත් තවදුරටත් කුඩා දීමනාවක් ලබාගන්නා සේවකයෙකු බවට පත්වේ. එසේම ඔහු එහි කොටස් හිමි අයෙකුද වේ. ("I never left. I keep a tiny residual salary to this day because that's where my loyalty should be forever. I want to be an "employee" on the company database. I won't engineer, I'd rather be basically retired due to my family." )

Woz ඉන්පසු නිහඬ චරිතයක් බවට පත්වන අතර ඔහුදැන් California පාසලක කුඩා දරුවන්ට පරිගණක ගැන උගන්වයි. එසේම ඔහු ‍ඉලෙක්ට්‍රොනික හො පරිගනක තාක්‍ෂනික ‍ක්‍ෂෙත්‍රයන් පිළිබදව උනන්දුව ඇති තරුණ පරපුරටද උදව් උපකාර කරන බව සදහන්ය.
Wozniak වර්ථමානයේදී
කෙසේවෙතත් ඇපල් හදන්නටත් පෙර Steve Jobs විසින් Wozniak ව වරක් රැවටූ බවද කියයි. ඒ එසේමෙසේ රැවටීමක් නොවේ. ඒ අවධියේ Jobs, Atari සමාගමේ සේවය කරමින් සිටි අතර Jobs ට එම සමාගම වෙනුවෙන් Breakout නම් විඩියෝ ක්‍රීඩාවක් සදහා පරිපථ නිර්මාණය පැවරී තිබුනි. කෙසේවෙතත් මෙහි අභියෝගය වූයේ අඩුම චිප්ස් සංඛ්‍යාවකින් නිර්මාණය කල යුතුවීම වූ අතර Jobs ට  ඒ සදහා අදහසක් නොවූයෙන් තමන්ට වඩා ඉලෙක්ට්‍රොනික් හරඹයේ දක්‍ෂයෙකුවූ Wozniak  ඇරයුම් කලේ මේ කාර්යය ඉටුකරොත් තම වැටුපෙන් අර්ධයක් ඔහුට දෙන බවටයි. Wozniak  අභියෝගය භාරගත් අතර ඒ සදහා ඔහුට කිසිදු තාක්‍ෂනික දළ සටහනක් නොමැතිවූවත් ක්‍රීඩාව සිදුවන ආකාරය තේරුම් ගැනීමෙන් පමණක් ඔහුට මෙම පරිපථය Jobs ගේ මුල් සැලැස්මෙන් අර්ධ චිප්ස් ගණනකින් නිර්මාණය කල හැකිවිය. පොරොන්දුවේ පරිදි Wozniak  ට වැටුපෙන් අර්ධයක් ලැබුනි. ඒ Jobs ඒ වනවිට ලැබූ $750 න් අර්ධයක් වූ $375 කි. හැබැයි අපූරු කරුන වන්නේ මේ ගැන සතුටට පත් Atari සමාගම තවත $5,000 ක් බෝනස් එකක් ලෙස Jobs ට ලබාදීමයි. එහෙත් මෙම මුදල Jobs රහසක් ලෙස තබා ගත්තේය. කෙසේවෙතත් Steve Wozniak ගේ නිර්මාණය එලිදැක්වීමට  Atari සමාගමට නොහැකිවන්නේ එය ඔවුන්ට නිර්මාණය කිරීමේදී කුඩාවීම හා සංකීර්ණ වීම යන ගැටළු හේතුවෙනි. 

Woz ඇපල් සමාගමෙන් ඉවත්වුවද ඔහු හා Jobs අතර පැවති සබදතාවය දිගටම Jobs ගේ මරණය තෙක්ම පැවතිබව පැවසේ. එහෙත් Woz ක් වරක් පවසා ඇත්තේ තමන් හා Jobs අතර සමීප සබදතාවයක් කවදාවත් නොතිබූබවයි.

මේ ලිපි පෙල ඉවර නැහැ. ඊලඟ එකේදී අනින් තොරතුරු....

40 comments:

  1. ලිපි පෙල කියෙවුවත් කොමෙන්ට් එකක් දාන්න බැරිඋනා.
    වැදගත් ලිපි පෙළක්.
    200 ට සුබ පැතුම්. දිගටම ලියන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
  2. @Praසන්ன - ස්තුතියි! ඊලඟ ලිපිත් බලන්න...

    ReplyDelete
  3. 200 ට සුභ පැතුම් මුලින්ම...

    ඇත්ත වැඩකාරයා පැත්තක වගේ නේද..?

    Steve Wozniak ගැන මෙහෙම ලිව්ව එකනං හුඟාක් වටිනවා මට ජොබ්ස් ගැන ලියපු දේවල්වලට වඩා...
    ඔහු සල්ලි මත්තේ යනවාටත් වඩා පර්යේෂණ පැත්තටත් දැනුම බෙදා ගැනීමටයි ආස කල සුන්දර මනුස්සයෙක් වගේ...

    ReplyDelete
  4. @මාරයාගේ හෝරාව - ස්තුතියි! මටත් හැගෙන විදියට නියම තාක්‍ෂනික ශිල්පියා Woz. හැබැයි ව්‍යාපාරික ඥානය ‍වගේම අළුතින් දෙයක් කරන්න ඕන කියන උනන්දුව තියෙන්න ඇත්තේ Jobs ට. කොහොමවුනත් Woz සල්ලි පසුපස එතරම් ගිය නැති කෙනෙක් වගේ තමයි පේන්නේ.නැත්නම් තමන්ම ආරම්භකරපු කොම්පැනියෙන් මේලෝකේ මිනිහෙක් අයින්වෙයිද?

    ReplyDelete
  5. දැනුම වඩනු වස් මුල් තැනක් දෙමින්
    කරන මෙහෙය හැමවිට මම වනමි නොමින්
    අද ද හෙට ද වැජඹේවා පතන සිතින්
    සත් සමුදුරට සුභ පතනෙමි මගේ හදින්

    ReplyDelete
  6. ඒක ඇත්ත දිනේෂ්..ඔබට මතකද මං මුලින්ම ඔබෙන් කරපු ඉල්ලීම... කොහොමද ජොබ්ස් මේක ඉගෙන ගත්තේ කියලා..? ඒ වෙන එකක් නිසා නෙවෙයි පහුගිය දවස්වල හුග දෙනෙක් ස්ටීව් ජොබ්ස් වන්දනා කරන්න ගත්තේ ඔහු ගැන දැනගෙන නෙවෙයි කියන එක මට හුගක් හිතිලා තිබුන කාරණයක්...

    ඊ ළගට තැනින් තැන ඔහුව විස්තර කරපු අය කියන්නෙම පලවෙනි එක ගරාජ් එකේ හැදුවා කියන ටික විතරයි.. ඒ අස්සෙම කියවෙනවා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටුන විත්තියත්...

    ඊටත් පසුව ටිකක් හොයලා බලනකොට ඔහුට ඉලෙක්ට්‍රොනික් පිළීබඳව විශිෂ්ඨයෙක් වෙන්න තරං දැනුමක් තිබුන විත්තියක් ලොකුවටම කිය උනෙත් නැහැ. ඔය ටික පේනකොට තමා මං ඔබෙන් ඇහැවුවේ විස්තර.. ඔබ කලින් ලිපියේ ඒ ගැන සෑහෙන විස්තරයක් කලා..එතනදී උනත් විශිෂ්ඨ හැකියාවක් මට පෙනුනේ නැහැ නිර්මාණකරණය අතින්... ඇත්තටම රහස තියෙන්නේ මේ මිතුරාගේ විය යුතුයි කියන එක මට ටිකක් හිතිලා තිබුනේ... සීයට සීයක්ම නැති වෙන්න පුළුවන් උනත් මං හිතන්නේ මං ගිය පාර වැරදි නැහැ කියන එකයි.

    ස්ටීව් ජොබ්ස් හොඳ වෙළෙන්දෙක්..ඒකේ දෙකක් නැහැ..සමහර විට පසුකාලීනව ඔහු මුදල් ඉපයීමත් හරහා නැවත ඉගෙන ගන්නටත් ඇති.. එහෙමත් නැතිනම් තවත් අර වැනි දක්ෂයි‍න්ගේ හැකියාවන් කොල්ල කන්න ඇති... මං දැක්කා කලින් ලිපියේ කට්ටියක් රණ්ඩු සරුවල් කර ගන්නත් ඇවිත් තිබුනා සැබෑ බෞද්ධයකු සාර්ථක ව්‍යාපාරිකයෙක් විය හැකිද කියන කාරණාව ගැන... ඔය වෙලේ මටත් අදහස් දක්වන්න යන්න හිතුනත් මං මුකුත් නොකියා හිටියේ මේ දවස්වල එක දිගට කතා කර කර ඉන්න තරං වෙලාවක් නැති නිසයි. මොකද මමත් පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක් තමා බෞද්ධ දර්ශනය ලෙවකාපු අයට මිස ඒ තුලට කිඳා බැහැපු අයට සාර්ථක යැයි වර්ථමාන ලෝකය තුල සම්මත වී ඇති අන්දමේ ව්‍යාපාරිකයින් නොවිය හැකි බව...

    ස්ටීව් ජොබ්ස් කියන මිනිසා තුලත් මං දන්නා ආකාරයේ සැබෑ බෞද්ධ ප්‍රතිරූපයක් කිසි විටකවත් දැක්කේ නැහැ... ඒත් අපේ අය ටිකක් කැමතියිනේ ඌත් අපේ එකෙක් කියලා කියන්න... ඒ ආසාවට මුකුත් නොකියා හිටියේ අන්තිමේදී කොහේවත් යන මුදලාලි කෙනෙක් හින්දා අපි අපි මොකට වාද කර ගන්නවද කියලා හිතලයි.. ඔය ජොබ්ස් ගැන කතා කරන්න ගිහින් මගේ හොඳම යාළුවෙකුත් මාත් එක්ක ආරෝවට ආවා නෙව... ආයේ ඉතිං මොකටද කාලෙත් නාස්ති කරගෙන මිනිස්සුත් තරහා කර ගන්නේ මට සත පහකටවත් වැඩකට නැති මනුස්සයෙක් වෙනුවෙන් මං පිස්සු නටන්නේ...

    කොහොම උනත් 200 වැනි ලිපියෙන් ඔබ මං ඉල්ලපු දේ අඩු නැතිවම ලබා දීම ගැන අවසාන වශයෙන් බොහෝමත්ම ස්තූති වන්ත වෙනවා... ඊ ළග ලිපියෙන් හමුවෙමු...

    ReplyDelete
  7. ලිපි පෙළම මුලඉඳන්ම කියවනවා දිනේෂ් සහෝ... 200 වැනි ලිපියට මගෙනුත් සුභ පැතුම් ඔන්න... දිගින් දිගටම ලියන්න තමා ඕනේ... 200 > 2000 !!! ජයවේවා !!!

    ReplyDelete
  8. 200ට සුභ පැතුම්.. දිගටම ලියන්න ශක්තිය ලැබේවා!
    Steve ගේ Business mind එක නම් උපරිමයි...

    ReplyDelete
  9. මගෙනුත් ඔබට සුභ පැතුම්

    ReplyDelete
  10. නියමයි... සත් සමුදුරට මම සුභ පතනවා. තවත් දිගු කාලයක් අපිව දැනුමින් පොසොසත් කරන්න කියලා....
    මමත් හිතන විදියට වැඩකාරයා ජොබ්ස් නෙවි, Woz .
    උදාහරනයක් විදියට අරන් බලන්න අන්තර්ජාලය නිර්මාණය කරපු ටිම් බර්නස් ලි උනත්, ඒයා අපිට යම් කිසි මුදලකට මේක පාවිච්චි කරන්න ඉඩ සැලැස්සුවානම් අද ඔහු තමයි මුළු කොකෙම අංක එකේ පොසතා. නමුත්.....
    ලෝකයේ විශිස්ඪයන් මුදල් පසුපස කවදාවත් යන්නේ නැ...

    ReplyDelete
  11. 200 ට සුබපැතුම් පතනා අතරේ 200,000 කඩඉමද පසු කිරීමේ හැකියාව ලැබේවායි පතමි !!

    අපව දැනුමෙන් පොහොසත් කරනා ඔබට ජයෙන් ජය !!

    ReplyDelete
  12. මේ ළිපි පෙළ ම ඉතා ආසාවෙන් කියවනවා.. බොහොම ස්තූතියි... කොමෙන්ට් කළේ 200 ට සුභ පතන්න....

    ReplyDelete
  13. 200 වෙනි ලිපිය දක්වා සතුටු විය හැකි මගක ආ සත්සමුදුරට හදවතින්ම සුභ පතනවා....

    මම ඉස්සර නම් ස්ටිව් ජොබ්ස් දැනගන හිටියේ ඇපල් සමාගමේ මහ මොළකාරයා විදියට විතරයි. අන්තර්ජාලය හරහා බොහෝ දේ කියෙව්වත් ඒව බොහොමයක් ස්ටිව් ජොබ්ස් ගෙ ප්‍රතිරූපය ඉහල නංවන සාම්ප්‍රදායික ලිපි..
    ඔබ නොලිව්වනම් මේ තොරතුරු මම නම් කොහෙන්වත් කියවන එකක් නැහැ..ස්තූතියි.

    ReplyDelete
  14. Steve Jobs wanted to ruin Android according to biography
    http://www.product-reviews.net/2011/10/21/steve-jobs-wanted-to-ruin-android-according-to-biography/

    ReplyDelete
  15. 200 වැනි ලිපියට සුබ පැතුම් .නිතරම අදහස් දෙන්න බැරි වුණත් සත් සමුදුර බලන්න මම නම් නිතරම එනවා

    දිගටම ලියමු දිනේශ් !!

    ReplyDelete
  16. 200ta suba pathami..ස්ටීව් ජොබ්ස් ගැන දන්නෙ නැති ජාති ගොඩක් දැනගත්තා

    ReplyDelete
  17. මේ යාලුවා වගේ තමා ඇපල් වල නියම අයිතිකාරයා,,සැබෑ මිනිසෙක්,,මම හිතන්නේ සල්ලි පස්සේ නොදුවපු නිසා ඒ ගැන එච්චර සැලකීමක් කරන්න නැතුව ඇති....
    සුභ පැතුම් 200 ලිපියට

    ReplyDelete
  18. 200 ට සුභපැතුම්...!!!! මේ මගේ ආසම බ්ලොග් එකක්...

    ReplyDelete
  19. ලිපි 200 ගැන සුබ පැතුම්..බ්ලොග් එක පටන් ගත්ත දා ඉදන්ම කියෙව්වත් කොමෙන්ට් නම් දැම්මේ අඩුවෙන්...එත් හැම ලිපියක්ම එක වගේ රස වින්දා..ඒකට ගොඩක් ස්තූතියි.තව මේ වගේ සාමාන්ය දැනුමෙන් එහා ගිය ලිපි තව දාන්න...අපි අයියා ලියනකම් හැමදාම එවා කියවනවා.

    ReplyDelete
  20. 200 ‍ට සුබ පැතුම්!

    මුල ඉදලා එන කෙනෙක් හැටියට මමත් හිතුවේ නැ මෙච්චර දුරක් එවී කියලා. මොකද තමන්ට තියෙන වැඩත් එක්ක මේ වගේ විශාල කරුණු තොගයක් අපිට දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද?

    එක මාතෘකාවක් ඔස්සෙ යන ලිපි පෙලක් ගත්තොත් ඒක හරියට පර්යේෂණයක් වගේ හැම පැත්තම ආවරණය වෙන්න ලියවිලා තියෙනවා.

    මේහි තියෙන ගොඩක් කරුණු එක්කො පැය ගාණක් අන්තර්ජාලයේ කරක්ගහලා හොයා ගන්න ඕනෙ දේවල්, නැත්තම් සල්ලි දීලා පොත් අරං හෝ පුස්තකාල ගානේ ගිහිං හොයා ගන්න ඕන දේවල්. සත් සමුදුර හින්දා ඒ කරදර නෑ. සුවපහසු පුටුවකට වෙලා අපි මේ තොරතුරු කියවන්නෙ හරිම සැහැල්ලුවෙන්. ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි.

    මම ලිපිය කියවගෙන යද්දි ලියන්න හිටිය අනිත් කාරණා මගේ මිතුරන් වන මාරයත්, බීට්ල්ලුත් කියලා තියෙනවා....

    ReplyDelete
  21. බොහොම දේවල් දැන ගත්තා . මෙයා දුවට සලකපු විදිහ නම් මට ඇල්ලුවේ නැහැ . කොච්චර ලොක්කෙක් වුනත් මොකෝ මනුස්සකමයි වටින්නේ .

    සත් සමුදුරේ 200 වෙනි සැතපුමට සුබපැතුම් ...පොඩ්ඩක් පමා වුනා එන්න .

    ReplyDelete
  22. මුලින්ම 200 ට සුභ පැතුම් , STEVE JOBSවගේම Wozniak ගැනත් ලීවාට ස්තුතියි

    ReplyDelete
  23. @උදාර - ස්තූතියි මිතුර, හැබැයි කවිපද බදින්න නම් මම සමතෙක් නොවන නිසා මේ ලෙස පිළිතුරු දීමට ඔබ අමනාප නොවෙයි කියා සිතනවා...

    ReplyDelete
  24. @මාරයාගේ හෝරාව - අප‍‍ගේ පාඨක මිතුරන් ඉල්ලන දෙයක් මා හට දෙන්නට හැකියාවක් තිබේ නම් මා එම ඉල්ලීම ඉටු කරන්නට හැකි සෑම උත්සාහයම දරනවා. මුල් ලිපියේදී මමත් ගියේ සාම්ප්‍රධායික ගමන් කියා මටත් ඔබ‍ ඒ ගැන විමසුවාම සිතුනා. හැම ලිපියකම දක්නට ලැබෙනවා වගේ ඔවුන් එකපාරටම පුද්ගල පරිගණකය හැදූබවක් තමයි පෙනුනේ. ඒකට ඔවුන් සතුව තිබූ ශක්‍යතාවයන් ගැන කතා කිරීමක් සිදුවුනේ නැහැ. ඉතින් පළමු ලිපියටත් හානියක් නොවන ලෙස වෙනස් ආකාරයේ ලිපි පෙලක් තමයි දැන් සනිටුහන් කරගෙන යන්නේ. ඒක මටත් අළුත් අත්දැකීමක් වුනා...

    ReplyDelete
  25. @චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි මිතුර...

    ReplyDelete
  26. @තාරක Dilsh@n - ස්තූතියි මිතුර...

    ReplyDelete
  27. @Lanka & ItalyDilan & sameera - සියළු දෙනාටම ස්තුතියි! මෙහි සැබෑ නිර්මාණකරුවා නම් Wozniak විය යුතුයි. හැබැයි Jobs ගේ නිර්මාණාත්මක දැක්ම සහ ඔහු එහි දුටු වාණිජමය වටිනාකම් නොවුනානම් බොහෝවිට පුද්ගල පරිගණක ලෝකයට හදුන්වාදෙන්නට තව සෑහෙන්න කාලයක් යයි. ඒවගේම Wozniak ගැන වුනත් ලෝකය දැනගන්න එකක් නැහැ. මම නම් හිතන්නේ ඔවුන් දෙදෙනාටම සමසේ මෙහි ගරුත්වය ලැබිය යුතුයි කියලා...

    ReplyDelete
  28. @Senna,Beetle, ලකී, මාතලන්, හිස් අහස, sudaraka - ස්තූතියි! ඔබලා සියළු දෙනාටම...

    ReplyDelete
  29. @බුද්ධි - මම ඔබට ස්තූතිවන්තවෙනවා මා කරනා කාර්යය ඔබට සැබැවින්ම වැටහීම ගැන. ඇත්තටම මේ කරුණු සියල්ලම එකම මූලාශ්‍රයක සොයාගැනිමට නම්නොහැකි වේවි. ඒ වගේම මූලාශ්‍ර වෙන්වෙනව ගත්තත් ඒවා සොයාගැනීමත් අපහසුවේවි. මුදල්ගෙවා මේවා ගන්නට ගියොත් එයටත් යම් පිරිවැයක් දරන්නට වේවි. ඒ වගේම මුලසිටම ඔබ මට ලබාදෙන ධෛර්ය සහ සහයත් ඉතා විශිෂ්ඨ බව මේ මොහොතේත් සදහන් කරන්නට කැමතියි...

    ReplyDelete
  30. @Bindi - ස්තූතියි! මමත් ඔබගේ මතයම දරනවා. තමන්ගේ දරුවට සලකන්න බැරි පුද්ගලයෙක් ගැන නම් බොහොම කලකිරීමක් ඇතිවෙනවා. ඒ එක්කම ඔහු පසුකාලෙක දරුවා පිළිගත්තත් එම දරුවාගේ කුඩා අවධියේ ඇය හදන්නට ඇයගේ මව කොතරම් ‍කැපවීමක් කරන්නට ඇත්ද පියෙක් නැතුව...

    ReplyDelete
  31. එන්නට ප්‍රමාදවුනත් 200 වන ලිපියට මගේ සුබ පැතුමත් එක් කරන්නේ , තවත් ලිපි පෙළකට කළ හැකි හෘදයාංගම දිරි ගැන්විමක් ලෙසින් . හැමදාමත් වගේ මිල කළ නොහැකි දැනුමක් ඔබේ ලිපියෙන් මම ලබා ගත්තා , බොහොම පිං අපිට මේ දැනුම ලබා දෙනවාට.

    ReplyDelete
  32. @මහේෂ් නිශාන්ත - ස්තූතියි! ඔබ ලබාදෙන සහයද අගය කරමි...

    ReplyDelete
  33. පුද්ගල ගුණාංගයන්ගෙන් වගේම හැකියාවන්ගෙනුත් උසස් මිනිසා වෙන්නෙ Woz කියලයි මට හිතෙන්නෙ. නිර්මාණාත්මක හැකියාව කූඨ වෙළෙඳ අභිප්‍රායයන් වෙනුවෙන් භාවිතා නොකිරීම උසස් මිනිස් ගුණාංගයක්. ධනවත්වීමම අරමුණු නොවීම ඉතා හොඳයි.

    200 වැනි ලිපියත් කියවන්න ලැබුණ. ඔබේ ගමනට සුබ පැතුම් !

    ReplyDelete
  34. @``` Outsider```- ස්තූතිය! ඒ‍වගේම සත් සමුදුර පසුකරන හැම සංධිස්ථානයකදීම ඔබ නොවරදවාම පැමිණි අයෙක්ලෙස මේ මොහොතෙත් අගය කරන්නටද කැමැත්තෙමි. ව්‍යාපාරික හා ඉදිරිදැක්ම අතින් Jobs ඉදිරියෙන් සිටියත් පුද්ගල ගුණාංග අතින් නම් ඉදිරියෙන් සිටින්නේ Woz වියයුතුයි කියලයි මගේ හැගීමත්...

    ReplyDelete
  35. ලිපි 200 ක් දැම්මට මගෙනුත් ඔබට සුබ පැතුම්!!!!! දිගටම ලියන්න!!!! ජයවේවා!!!!!

    ReplyDelete
  36. 200 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම්...! අවුරුද්දක් ඇතුලත ලිපි 200ක් ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක්ද, කොහොම උනත් මෙතනින් නවතින්නෙ නැතුව දිගටම අපිත් එක්ක ඉඳියි කියල හිතනවා :)

    ReplyDelete
  37. @Anony සහ Isuru - ස්තූතියි! ඔව් 200 ක ඉලක්කයක් කවදාවත් හිතුවේ නැහැ. ඒ වගේම දැන්ම නවතින්න අදහසකුත් නැහැ...

    ReplyDelete
  38. මමත් හිතන්නෙ woz තමා වැඩකාරයා කියලා. කොහොමත් woz ට තියන්නෙ galaxy nexus එකක්. Jobbs තරම් show දාන්නෙත් නෑ. හොද හාදයා.

    ReplyDelete