Sunday, November 27, 2016

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්...

ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී මෙලොව හැර යන තුරු කරන්නට සිදු නොවීම පිළිබදව කණගාටුවක් ඇතත් කියුබානු මිසයිල අර්බුදය ගැන ලියූ ලිපි පෙලේදී යම්තාක් දුරට සුළුවෙන් ඔහුගේ දේශපාලනික නොනැමෙන සුළු භාවය පිළිබදව කතා කරන්නට ලැබූ බවද මතක් කරන්නට කැමැත්තෙමි. 

1926 අගෝ. 13 වනදා ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ ෆිඩෙල් කස්ට්‍රෝට විප්ලවයකින් දක්‍ෂිනාංෂික පාලන තන්ත්‍රය හෙබවූ, ඒකාධිපති පාලක ෆුල්ගැන්සියෝ බැටිස්ටාගේ පාලනය බිද දමනවාට වඩා සැප විදිමින් ඉහළ මධ්‍යම පාන්තිකයෙකු ලෙස දිවි ගෙවන්නට තිබුනි. එසේ වුනි නම් අද පමණක් නොව දශක ගණනක් පුරා ලෝකය කතා කල ඒ සුවිශේෂ පුද්ගලයා පිළිබදව කතා කරන්නට තබා අඩුම තරමින් කියුබාවේ වුවත් වැඩිමනත් පිරිසක් නොදන්නා පුද්ගලයෙකු වීමට තිබුනත් ඔහුගේ එම කැපකිරීම ඔහුටද යම් වරප්‍රසාද, ජනප්‍රියත්වය පිළිගැනීම ගෙන දුන්නා සේම ඇමරිකාවේ සූදු තිප්පොලක්, ගණිකා ව්‍යාපාරයේ සුවිශේෂ තැනක්, මත්ද්‍රව්‍ය ව්‍යාපායේ තෝතැන්නක් හා ඇමරිකානු CIA සහ මාෆියා ව්‍යාපාර වල මධ්‍යස්ථානයක් ලෙස පැවති කියුබාව එයින් මුදවා ගැනීමේ සුවිශේෂ ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනීය මෙන්ම මානව ඉතිහාසයේ අද්විතීය සැතපුම් කනුවකි.

ලෝකයේ සුපිරිතම බලවතාගේ එලිපත්තේ සිට එනම් මියාමි සිට සැතපුම් 90 ක් තරම් අඩු දුරකින් සිට දශක ගණනාවක බලය බිද දැමීමේ කුමන්ත්‍රණ, ෆිඩෙල් කස්ට්‍රෝ ඝාතන තැත්කිරීම් මෙන්ම ඊයේ පෙරේදා වන තුරු පවත්වා ගෙන ගිය දහසක් ආර්ථික, දේශපාලනික, සාමාජීය සම්බාධක වලටද මුහුණ දෙමින් වියපත්ව, රෝගාතුරුව සිය සොහොයුරු මෙන්ම විප්ලවයේ ප්‍රධානතම හවුල්කරුවෙකු වූ රාවුල් කස්ත්‍රෝට බලය සංක්‍රමණය වන තුරු නොවැටී, නොසැලී සිටි අයුරුද ලෝක දේශපාලනය පිළිබදව තතු දත්තන්ට අමුතුවෙන් කිව යුතු නොවේ. 

පසුව යම් යම් මතගැටුම් පැන නැගුනද, ලෝකයේ විප්ලවවාදීන්ගේ සදා අනුස්මරණීය සංකේතය වන මානව හිතවාදියෙකු ලෙස මෙන්ම විප්ලවයේ අසහාය සෙන්පතියෙකු වූ චේ ගුවේරාගේ සහයද කියුබානු විප්ලවය සාර්ථක කර ගැනීමට, මුවහත් කර ගැනීමට මෙන්ම වර්ණවත් කර ගැනීමට ලැබීම ෆිඩෙල් කස්ත්‍රෝ හට සිය මාතෘ භූමියේ විප්ලවය සාක්‍ෂාත්කර ගැනීමට ලැබූ භාග්‍යයකි. 

වාමාංශිකයෙකු වුවත් විප්ලවයේදී හා රාජ්‍ය බලය හෙබවීමේදී සමාජවාදී කොමියුනිස්ට් මතයක නොසිටි ෆිඩෙල් කස්ත්‍රෝ ප්‍රමුඛ නව පාලනය එම තැනට ඇද දැම්මේද ඇමරිකානු පාලනය විසින්ම බවද මතක් කරනු කැමැත්තෙමි. 

1959 ජන. 01 දා ඒකාධිපති පාලනය ඉබිද දැමීමෙන් අනතරුව මාස 4 ක් ඉක්ම ගි තැන එනම් එම වසරේ අප්‍රේල මාසයේ ඇමරිකානු සංචාරයක නිරත වූ කස්ත්‍රෝ ඇමරිකාව සමග පෙර පැවති පාතාල ලෝක සම්බන්ධතා හෝ දුරාචාරමය සබැඳියාවකට නොව වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හා කියුබාව යනු ඇමරිකාවේ අතකොළුවක් නොවන රටක් නොවන බවද තේරුම් ගෙන ඇයිහොදයි පැවැත්විය යුතු බව ඉඟකෙරෙන කතාබස් ඇති සංචාරයක් වුවත් ඇමරිකාවේ ජනාධිපති අයිසන්හවර් හට එවැනි සම්බන්ධතාවයක් සිය මිතුරු ෆුල්ගැන්සියෝ බැටිස්ටාගේ පාලනයද නොමැති කියුබාව හා අවශ්‍ය නොවීය. ඔහු කස්ත්‍රෝව හමුවීම පවා හිතාමතා මඟහැර සිටි අතර එවකට උප ජනාධිපති රිචඩ් නික්සන් පමණක් කස්ත්‍රෝ සමග සාකච්ඡා පැවැත්වීය. තවද අයිසන්හවර්,  CIA සංවිධානය වැඩිදුරටත් උපදෙස් දුන්නේ කියුබාවේ සිට ඇමරිකාවට පැමිණි කියුබානු සරණාගතයන් යොදා ගෙන කස්ත්‍රෝ පාලනය බිද දැමීමට හැකි සියළු දේ කරන ලෙසයි. 

කෙසේවෙතත් අයිසන්හවර් පාලනය අවසන්ව තිබූ නිසා එම කාර්යය කෙනඩි පාලනය යටතේ කරන්නට CIA සංවිධානය කටයුතු යෙදුවත් කෙනඩි එම කටයුත්තට නිසි සහය නොදුන් නිසා අසාර්ථකත්වයට මෙන්ම CIA සංවිධානය හා කෙනඩි ජනපතිවරයා අතර නොහදනෝක්කඩු මෝරා යෑමටද එය හේතුවක් විය.

ලෝකයේ විසිවන සියවසේ සිදුවූ ප්‍රධානම විප්ලව අතර තෙවන ස්ථානයේ ලෙස සැලකෙන එනම් රුසියන්, චීන විප්ලව වලට පමණක් යටපත්වන විප්ලවයක් වන කියුබානු විප්ලවයෙන් කියුබාවට සෙතක් වූවාසේම එම දැඩි පාලනය නිසා පීඩා පත්වූවන් දහස් ගණනක් මෑතක් වනතුරුම බෝට්ටු මගින් ඇමරිකාවට පැමිණීමද සැඟවිය යුතු නොවන බවද පවසමි. කෙසේවෙතත් ඇමරිකාවේ මිත්‍රත්වය නොලැබූ තැන සෝවියට් දේශයේ උණුසුම් මිත්‍රත්වය හා පිළිගැනීමත් නිසා සෝවියට් දේශය බිද වැටෙන තුරු කියුබාවට සැම අතකින් ආධාර උපකාර හා පසුව කොමියුනිස්ට් පාලන ක්‍රමයකට කියුබාව තල්ලු වීමටද රුකුලක් විය.

1959 සිට 1976 දක්වා එරට අගමැතිධුරයද, එතැන් සිට එනම් 1976 සිට 2008 දක්වා වියපත්ව, රෝගාතුරුව සිය සහෝදරයාට බලය පවරන තෙක් ජනපතිධුරයද හෙබවූ ෆිඩෙල් කස්ත්‍රෝ ඝාතනය ඇමරිකානු රජයේ අනුදැනුම හා අනුග්‍රාහකත්වයද ඇතිව 630 වතාවත් උත්සහා දැරූ බවද පැවසේ. එසේම 1961 සිට 2011 දක්වා එරට කොමියුනිස්ට් පක්‍ෂ ප්‍රථම ලේකම්වරයා ලෙසද මෙතුමා කටයුතු කළේ්‍ය.

වසර 50 කට වඩා පැවති ඇමරිකානු - කියුබා කෝන්තරය ඔබමා - රාවුල් පාලන සමයේදී නැවත හොද අතකට පෙරලීම ලෝක සාමයේ තවත් එක් සංධිස්ථානයක් පසු කිරීමට හෝ හේතුවූ බවද අවසාන වශයෙන් මතක් කරමින් මෙම අසහාය නායකයාගේ ජීවිතයේ සුවිශේෂ මතක සටහන් කිහිපයක් ඔබ වෙත ගෙන එමි.
https://steemit.com/politics/@konstantin/today-legendary-komandante-fidel-castro-turned-90-years-old-a-few-more-memories

විප්ලවයේ සඟයන් සමග

 විප්ලවීය මිතුරු චේ සමග


සිය තරුණ විය කළු ජාතීකයන්ගේ විමුක්තිය උදෙසා කැප කළ
නෙල්සන් මැන්ඩලා නම් වූ සුවිශේෂ මිනිසා සමග


කුඩා වියේදී

සොයුරු රාවුල් සමග


1960 එක්සත්ජාතීන්ගේ සැසිය අතරතුර


හවානා සුරුට්ටුවක් උරමින්


අපේ කාලයේ තවත් එක් පෙරලිකාර විප්ලවවාදියෙකු වූ නැසීගිය
වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් සමග

දෙවන ජුවාම් පාවළු පාප් වහන්සේ සමග


සෝවියට් දේශයේ හිටපු නායක ලියනෝඩ් බෲෂ්නේව් සමග

සෝවියට් දේශයේ හිටපු නායක නිකිතා කෲෂේව් සමග විනෝද වෙමින්

උත්තුංග දේහදාරී කඩවසම් ෆිඩෙල් කස්ත්‍රෝ කාන්තාවන් අතරත්
ඉතා ජනප්‍රිය චරිතයක් වූ බවට සාක්‍ෂි

අැමරිකාවේ හිටපු ජනපති ජිමී කාටර් සමග

10 comments:

  1. ලෝකයේ දිශාණතිය වෙනස් කළ තවත් මිනිසකුගේ නික්ම යාම !

    ස්තූතියි ඔහු ගැන සටහනක් තිබ්බාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අපේ කාලයේ විප්ලවවාදීන් බොහෝමයක් දැන් අවසන් ගමන් ගොස් අවසන්...

      Delete
  2. රූප ටිකනං පට්ට................ ඔබට සුභ ගමන් ෆිදෙල්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ෆිදෙල් කස්ත්‍රෝගේ න්‍යඥයන් අදට ගැලපෙන ලෙස ඔහුගේ සොහොයුරු රාවුල් ගොඩනගමින් සිටිනවා...

      Delete
  3. අපි දන්නා කාලයේ ජිවත් වූ වීර නායකයෙක්. විස්තරයට ස්තුතියි. දැන් තමයි ටිකක් හරි ඔහු ගේ දර්ශනය ගැන විස්තර දැන ගන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැමිණියාටත්, හැකියාවක් ලදොත් මීට වඩා ගැඹුරින් කස්ත්‍රෝ ගැන සොයා බලමු...

      Delete
  4. Pidel ape kalaye weerayek bawata kisidu wiwadayak naha.Ethakota FORBES sangarawa kiyanne boruda?Rataka samanya purawesiyo bohoma dukkitha jeewitha gatha karaddi nayakayo dhanawadi Engalanthe maha rajinatath wada pohosath wena rahasa mokadda?Nayakayo etharam awanka nam ehema wenda puluwanda?

    ReplyDelete
  5. ෆෝබ්ස් සඟරාවේ කියන දෙය මමත් මීට වසර කිහිපයකට පෙර පුවත්පතක කියවා තිබෙනවා. මෙතුවා විතරක් නෙමෙයි තවත් අපි නොහිතන නායකයන් කිහිපදෙනෙකුගේම වත්කම් එහි තිබුනා. මෙන්න මේ දෙය අවසන් වශවෙන් කියනවා. එ් තමයි විප්ලවවාදී්න් කියලා ගත්විට සියල්ලන් තුලම යම් යම් දුර්ගුන තිබෙනවා. ලෙනින්, මාවෝ, ෆිදෙල් මේ කවුරුත් මේ පොදු සිද්ධාන්තයෙන් ගිලිහිලා නැහැ. සමස්ථයක් වශයෙන් ගත්විට පැවති ක්‍රමය වෙනස් කර එයට වඩා හොදයි කියා බහුතරයක් පිළිගැනෙන ක්‍රමයක් ඇති කිරීම තමයි කවුරුත් කර තිබෙන්නේ. හැබැයි එහිදි කාල් මාකස් ගේ සමාජවාදය ඒ හැටියෙන්ම ගෙඩිය පිටින් අනුගත කිරීමක් කවුරුත් කරලත් නැහැ. ප්‍රායෝගිකව කරන්නට බැරුවත් ඇති. මා මේ ආකාරයේ ව්‍යාපාරයකට කිසිදුවිටක සම්බන්ධව නොමැති නිසා ඒ ගැන හරිහැටිම කීමට නම් දන්නේ නැහැ...

    ReplyDelete
  6. samaja wadaya nisa keubanu aarthikayata una yahapatha nam saka sahithai!namuth pudgalika wasi nothaka ohu kala kepakirema vishishtai!

    ReplyDelete