-->

Tuesday, December 31, 2013

2013 වසර අවසාන මොහොතේ මෙසේ ලියමි...

ඉතින් මිතුරු මිතුරියනි තවත් වසරක් ගෙවී යන මේ මොහොතේ ඔබට සුපුරුදු බ්ලොග් ලිපියකින් හමුවනවාට වඩා මෙසේ හමුවන්නට යුහුසුළු වුනේ කාලෙකින් අප අතර මෙවැනි සංවාදයක් ඇති කරගැනීමට නොහැකිවීමෙ අඩුවද සපුරාලීමේ අදහසිනුයි. ඇත්තෙන්ම මේ ලිපියට වඩා මේ කාලවකවානුවේ ලියාගෙන යමින් සිටින එම ලිපි මාලාවේ මීලග ලිපිය සමග සම්බන්ධවන්නට සිතා සිටියත් එය තවම ලියා අවසන් කර නොමැති නිසා මෙම ලිපිය හරහා හෝ ඔබට ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු යයි සිතමි.

ඉතින් මේ වසරේ සත් සමුදුරේ ලියවුන ලිපි ගණන සම්බන්ධයෙන් නම් සතුටුවිය නොහැකි මුත් කරුණු වලින් වඩාත් පොහොසත් දීර්ඝ ලිපි කිහිපයක් නැතහොත් ලිපි මාලාවක්ම ලියා තබන්නට හැකිවීම සම්බන්ධයෙන් නම් සතුටක්, සෑහීමකට පත්වීමක් ලබා සිටින බව කිව යුතුයි. 

2011 වසරේ මුල පටන් මේ දක්වා බ්ලොග් අවකාශයේ ඔබගේද නොමසුරු සහයෙන් රැදී සිටින්නට හැකිවීම පිළිබදව මේ මොහොතේද සතුටු සිතින් ඔබ හා එම සතුට බෙදා හදාගන්නා අතරම ඊලඟ වසරේදීද හරවත් ලිපි රැසකින් ඔබ හමුවට පැමිණීමටද බලපොරොත්තු වෙමි.

ඉදිරි දිනයක මීට වඩා තොරතුරු කතා කරමින් වඩාත් ගැඹුරින් සංවාදයේ යෙදීමේ අදහසද ඇතිව මේ මොහොතේ තාවකාලිකව ඔබෙන් සමුගන්නේ හෙටින් එළඹෙන 2014 නව වසරේදී ඔබ සඵල කරගැනීමට සිතා සිටින සියළු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මගේ අවංක සිතින්ම ප්‍රාර්ථනා කරමිනි.

ස්තූතියි!

Thursday, December 12, 2013

කියුබානු මිසයිල අර්බුදයේ පසුකාලීනව හෙළි වූ තොරතුරු

මෙම අර්බුදය සිදුවූ කාලසීමාවෙන් පසුව සිදූවූ දේවල් සහ හෙළිවූ තොරතුරු බොහෝමයක් අර්බුද්ය පැවති සමයේ උච්චතම අවස්ථාවේදී තරම් ලෝකයට තොරතුරු අනාවරණය වූයේ අඩුවෙනි. විශේෂයෙන් සෝවියට් දේශයේ නායකයාට සිය ධූරය එයින් වසර දෙකක් ඉක්මගිය තැන එනම් 1964 දී හැර යන්නට සිදුවූ එක්හේතුවක්වූයේද මෙම කියුබානු මිසයිල අර්බුදයේදී සිය මිසයිල ඉවත්කර ගැනීමට සිදුවූ නිසා ඔහුට එරට දේශපාලනික මණ්ඩලයේ සිය සඟයන් වෙතින්ම එල්ල වූ නොසතුටු ආකල්පයයි. ඉතාලියේ හා තුර්කියේ ඇමරිකාව විසින් 1963 මුල් භාගයේ ඉවත් කර ගත්තත් මෙය කෙනඩි හා කෲෂේව් අතර වූ රහස් ගණුදෙනුවක් නිසා එයින් ප්‍රයෝජනයක් ගැනීමටද කෲෂේව් හට හැකියාවක් නොවීය.

තවත් අතකින් කියුබාවටද, යුදමය අතින් ඇමරිකාව වෙතින් එල්ලවිය හැකි දැඩි තර්ජනයක් ඉවත් වුවද මෙම අර්බුදයේ අවසාන අවස්ථාවේ කියුබාවටත් නොදන්වා එක්වරම ඇමරිකාව හා එකඟතාවයකින් මිසයිල ඉවත්කර ගැනීමට කටයුතු යෙදීම සම්බන්ධයේන්ද කියුබාවට සෝවියට් සංගමය හා හිතපලුදුවීමක් ඇතිව තිබුනි. එසේම ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සහතිකයක් ලබා දුන්නත් රහස් මෙහෙයුම් මගින් තමන්ට හා තම රජයට එල්ල විය හැකි තර්ජන පිළිබදව සහතිකයක් එයින් නොලැබෙන හා එය එසේ නොවැතෙයි විශ්වාසයක්ද නොවු හෙයින් වඩාත් මෙයින් වාසි සැලසුනේ සෝවියට් සංගමයට බව කස්ත්‍රෝගේ හැඟීමවන්නටත් විය හැක. ඒ සෝවියට් සංගමයට තර්ජනයක්ව පැවති මිසයිල පසුකාලීනව ඉවත් කරගත් බව ඔහුද දැන සිටින්නට ඉඩ ඇති හෙයිනි. තවද තම රටේම එක් අන්තයක් පවත්වාගෙන යන ග්වන්තනාමෝ නාවික කදවුර ඉවත්කර ගැනීම පිළිබදව කතිතාවතක් මෙම අර්බුදය විසදා ගැනීමට එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත්වූවා නම් එය කියුබාවට වාසි සහගත හා සෑහීමකට පත්විය හැකි දෙයක්වූවත් එයද සිදුනොවූ නිසා කියුබාන-සෝවියට් සබඳතාවන්ගේ දුරස්වීමක් මෙය අවසානයේ සිදූව බව පැවසේ.

ඇමරිකානු ගුවන්හමුදා ප්‍රධානී ජනරාල් Curtis Emerson LeMay මෙම අර්බුදයේ මුල සිටම කියුබාව ආක්‍රමණය කළ යුතුය යන මතයේ දැඩිව එල්බ සිටි හමුදා නිලධාරියෙකි. කියුබාවෙන් මිසයිල ඉවත් කර ගත් පසුව පවා එම මතයේ සිටි අයෙක් වු ඔහුගේ මතය වූයේ "කියුබානු මිසයිල අර්බුදය යනු ඇමරිකානු ඉතිහාසයේ අප ලද විශාලම පරාජය එය බවයි". අවුරුදු 25 කට පසුව පවා ඔහුගේ අදහස වූයේ එම අවස්ථාවේ කියුබාවට ප්‍රහාර එල්ළ කරනු ලැබූවේ නම් මිසයිල පමණක් නොව ඇමරිකාවේ එලිපත්තේම තමන්ට හිසරදයක්ව පවතින් කොමියුනිස්ට්වාදය පවා මුලිනුපුටා දැමීමට එයින් හැකියාව ලැබී තිබුන බවයි.

අර්බුදය අවසානයේ තවත් ප්‍රතිඵලයක් නම් සීතල යුද්ධයේ පසමිතුරන් වූ ඇමරිකාව හා සෝවියට් සංගමයේ නායක දෙපල අතර ඍජු දුරකථන මාර්ගයක් ස්ථාපිත කිරීමයි. මෙමගින් ඉදිරියේදී ගැටළු පැනනැගුන විට කල්නොයවා සහ සන්නිවේදනෙයේ දුර්වලතා නිසා ඇතිවිය හැකි අහිතකර ඵලවිපාක මඟහරවා විසදුම් සදහා එළඹීම අරමුණ විය.

මෙම අර්බුදයේදී දුරදිග බලා කෙනඩි විසින් ගන්නා ලද තීන්දු තීරණ වඩාත් නිවැරදි බව පසුකාලීනව හෙලිවූ තොරතුුරු බොහෝමයකින් සනාථ වේ. මන්ද යම්හෙයකින් ඇමරිකානු ජනරාල්වරුන්ගේ අවශ්‍යතාවයට මෙම යුද්ධය ඇතිවූවා නම් සෝවියට් දේශයට පමණක් නොව ඇමරිකාවටද මුහුණදෙන්නට වන විනාශය අතිමහත්විය. ඇමරිකාවේ මිලියන 100 ක් පමණ ජනතාවක් මෙන්ම සෝවියට් දේශයේදී මිලියන 100 කට අධික ජනතාවක් මිය යන්නට හේතුවන බව නිසැකය. එසේම මැක්නමාරා වැනි කෙනඩි පාළන තන්ත්‍රයේ ඉහළම හා කීර්තිමත් නිලධාරීන් පවා මෙම අර්බුදයේදී ඔවුන්සිතා සිටි මට්ටම සත්‍ය තත්ත්වයට වඩා පහළ බව ඔවුන් පසුකාලීනව පළ කළ අදහස් වලින් මෙන්ම පසුව හෙළිවූ දත්ත වලින්ද පැහැදිලි වේ. සමහරවිට ඔවුන් එසේ ඇති තතු නොදැන සිටින්නට ඇමරිකානු රහස් ඔත්තු සේවාවන්ගේ දුර්වලතාද හේතුවන්නට ඇත. විශේෂයෙන් අසාර්ථක Bay of Pig මෙහෙයුමෙන් පසුව කෙනඩි විසින් CIA සංවිධානය පිළිබදව තැකීමක් නොකිරීම, එතෙක් සිටි Allan Dallas වැනි ප්‍රවීනයන් ඉවත්කිරීම යනාදී හේතු හා එයින් සංවිධානය තුලින් කලකිරීම වැනි ආකල්ප උද්ගතවීමද නිසි තොරතුරු ලබාගැනීම අකර්මන්‍යවීමටත්, ලබාදෙන තොරතුරු වලට පවා එතරම් සැලකීමක් අදාල බලධාරීන් විසින් යොමු නොකිරීම නිසා තමන් මුහුණපා සිටි අවධානම පිළිබදව නිසි මතයකට එළඔීමට හේතුවන්නට ඇත. පසුකළෙක සෝවියට් සංගමය විසින් කියුබාවේ ස්ථාපිත කරන ලද මිසයිල හා හමුදා ඒකක පිළිබදව දළ විස්තරය මෙබදුය.

Medium SS- 4 medium- range ballistic missiles (MRBMs) 36 සිට 42 ක් ස්ථාපනය කර තිබූ අතර මේවාට සැතපුම් 1266 ක් දුර ගමන් කිරීම හැකියාව යුතුවූ අතර New Orleans, Miami, සහ Washington, DC යන ප්‍රාන්ත වලට ප්‍රහාර එල්ල කිරීමට හැකිවිය. මෙම එක් මිසයිලයක න්‍යෂ්ඨික ශීර්ශයකට මෙගාටොන් 1 ක ප්‍රභලත්වය තිබූ අතර එය හිරෝෂීමාවට හෙලූ පරමාණු බෝම්බය මෙන් 60 ගුණයක බලයකින් යුතුවිය. (හිරෝෂීමාවට හෙලූ බෝම්බයේ ශක්තිය කිලෝටොන් 16 ක් පමණ විය).

Short- range, Luna tactical nuclear missiles 12 ක් ද කියුබාවේ ස්ථාපිත කර තිබූ අතර මේවාට සැතපුම් 20 ක දුරක පිහිටි ඉලක්ක වලට ප්‍රහාර එල්ල කළ හැකිවිය. මේවා භාවිතා කිරීමට යෝජන වී තිබුනේ යම් හෙයකින් ඇමරිකානු හමුදා ප්‍රහාරයක් එල්ල වුවහොත් එම හමුදා එල්ලකොටගෙනය. මේවා කිලෝ ටොන් 2 ක විනාශකාරී බලයකින් යුතුවිය. තවත් විශේෂත්වයක් වන්නේ මෙම මිසයිල කියුබාවේ සිටි සෝවියට් හමුදා ජනරාල්වරුන්ට තම අභිමතය පරිදි භාවිතා කිරීමේ අවසරය දී තිබූ අතර සෝවියට් දේශයේ සිය ඉහළ නිලධාරීන්ගෙන් භාවිතයට පෙර අවසර ගැනීමේ අවශ්‍යතාවයක්ද නොවීය. එහෙත් ඔක්.27 වනදායින් පසුව මේවා භාවිතා කිරීමටද සිය මව්රටෙන් අවසර ලබා ගත යුතු බවට නීති සෝවියට් දේශයෙන්ම පැනවිනි.

තවද 80 ක් වූ Sopka- variant cruise missiles කියුබාවේ වෙරළ තීරයට නුදුරින් වූ ස්ථාන හතරක සවිකර තිබූනේ මුහුදින් පැමිණෙන සතුරු හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම අරමුණු කරගෙනය. මේවා කිලෝටොන් 12 ක බලකින්ද සැතපුම් 46 ක් දුර පිහිටි ඉලක්ක වලට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවෙන්ද අඩුවක් නොවීය.

එසේම සවිනොකරන ලද IL- 28 බෝම්බ හෙලන යානා 42 ක් කොටස් ලෙස කියුබාවට රැගෙනවිත් තිබූ අතර මේවාට වරකට කිලොටොන් 12 ක බලය ඇති න්‍යෂ්ඨික අවි ප්‍රමාණයක් රැගෙන Jacksonville, Tampa, සහ Miami යන ප්‍රදේශ වලට පහරදීමට හැකියාව තිබුනි.  කෙසේවෙතත් අර්බුදය පවතින කාලසීමාව තුල යානා 7 ක් පමණක් එකලැස් කිරීම සිදුකර තිබුනි.

එපමණක් නොව Intermediate- range ballistic missiles (IRBMs) 24 ක්ද අර්බුදය අවස්ථාවේ කියුබාවේ ස්ථානගත කිරීමට ගෙන එමින් තිබූ  බව පැවසේ. මේවාට සැතපුම් 2532 ක දුරක් ගමන් කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබූ අතර Chicago, Boston යන ප්‍රදේශ මෙන්ම Newfoundland වැනි දුර බැහැර ප්‍රදේශද අනතුරට පත්කිරීමේ ශක්‍යතාවයෙන් යුතුවිය. එහෙත් ඇමරිකාව විසින් පැනවූ නාවික බාධකය නිසා ඒවාට කියුබාවට රැගෙන ඒමට නොහැකිවිය.

මෙම ලිපි පෙළේ ආරම්භක අවස්ථාවකදීත් පැවසූ ලෙස සෝවියට් හමුදා භටයන් 42000 කට මදක් වැඩි ප්‍රමාණයක්ද ඒ වන විට කියුබාවේ රදවා සිටියෝය. එහෙත් ඇමරිකානු බලධාරීන් මෙපමණ භටයන් සංඛ්‍යාවක් කියුබාවේ සිටිනු ඇතැයි බලාපොරොත්තු නොවූ බව හා දැන නොසිටි බව පසුකළෙක ඇමරිකානු රාජ්‍යලේකම්වරයා වූ රොබට් මැක්නමාරා විසින් පවා පවසා සිටි අතර ඔවුන් සිතා සිටියේ 10000 ක පමණ සෝවියට් හමුදා භටයන් කියුබාවේ ඒ වනවිට කඳවුරු බැද ඇති බවයි.

මෙයින්ම එදා ඇමරිකාව-කියුබාව-සෝවියට් දේශය මෙන්ම සමස්ථ ලෝකයම මුහුනපා සිටි තත්ත්වය කෙබදුදැයි වටහා ගනු හැකිවේ. පසුකාලීනව හෙලිවූ තොරතුරු අනුව ඇමරිකාවේ ජනයා ඉදිරිදින කිහිපයේදී ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා කියුබාව දෙසින් එල්ල වන න්‍යෂ්ඨික මිසයිල වලට බියෙන් සිටියා සේම, සෝවියට් දේශයේ ජනයාද යුරෝපයේ ඇමරිකාව ප්‍රමඛ නේටෝ සංවිධානයෙන් එල්ල විය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයකට බියෙන් සිටි බව හෙළිවිය. කියුබාවේ තත්ත්වය මෙයටත් වඩා බියජනක වන්නට ඇත්තේ "තෝරු මෝරු ඇනකොටා ගන්නා හාල්මැස්සන්" වූ තමන්ගේ වැයික්කියේ නිසා එවන් ගැටුමක අවසන් ප්‍රතිඵලය තමන්ට ඉතාමත්ම අහිතකරවන බව හොදින් දැනසිටින්නට ඇති හෙයිනි.

කියුබානු මිසයිල අර්බුදය සම්බන්ධයෙන් ලියු ලිපි පෙළ මෙයින් අවසන් වූවත් කෙනඩි ජනපතිවරයා, ඔහුගේ පාළන කාලය, අනෙකුත් වැදගත් සිදුවීම් මෙන්ම කෙනඩි ජනපතිවරයාගේ ඝාතනය හා එහි ඇති ව්‍යාකූලතා පිළිබදව ඉදිරි ලිපි වලදී කතා කරමු.

පසුගිය ලිපි - http://sathsamudura.blogspot.com/2013/11/13-ii.html
                        http://sathsamudura.blogspot.com/2013/11/blog-post.html