-->

Saturday, November 30, 2013

තිරයෙන් පිටුපස සිදුවු දේවල් සියල්ල සවිස්තරව..............

1962 වසරේ ඔක්තෝබරයේ ඇතිවුන කියුබානු මිසයිල අරබුදය ගැන පැවසුන ලිපියේ දෙවැන්න මෙයයි. (මෙම ලිපිය තරමක් දීරඝ ලිපියකි).

1962 ඔක්. 26 වනදා සෝවියට් තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස තනතුරක් දැරූ එහෙත් නියාමාකාරයෙන් ගත් විට සෝවියට් තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ Aleksandr Fomin හෙවත් Alexander Feklisov ගෙන් දහවල් ආහාරය සදහා ඇරයුමක් ලැබුනේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ ඉහළ නිලධාරියෙකු නම් නොවේ. ඔහු ආරධනා කළේ එවකට ABC News ආයතනයේ සේවය කළ John.A.Scali නම් මාධ්‍යවේදියා හටයි. ඔහුට ඇමරිකානු පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් සමග සබඳතාද තිබුනි.

 එම සෝවියට් නිලධාරියා කළබලයට පත්වූ ආකාරයෙන්, ඉතාමත් ඉක්මනින් සහ මෙම හමුවීම සිදුකළ යුතුම ආකාරයෙන් ආරාධනය කළ බව පසු කලෙක එනම් 1964 දී මාධ්‍යවේදියා විසින් මෙම තිරයෙන් පිටුපස වූ දෙය හෙළිකළ අවස්ථාවේ පවසා සිටියේය.

ඔවුන් දෙදෙනා 26 වනදා දහවල් 1.00 ට පමණ හමුවී දිවාආහාරය ගැනීමට තෝරාගත්තේද ධවල මන්දීරයට නුදුරින් පිහිටි අවන්හලකි. මෙහිදී වේටර්වරයා ආහාර මේසයට රැගෙන ආ පසු සෝවියට් නිලධාරියා කතාව කෙලින්ම දරුණු තත්ත්වයට පත්ව තිබූ මාතෘකාවෙන්ම අරඹමින් පවසා සිටියේ 
"දැන් යුද්ධය ඇතිවීමට ඉතාමත් ලඟයි. ඒ නිසා මෙය වලකා ගැනීමට මොකක් හෝ දෙයක් කළ යුතුයි!".

එවිට මාධ්‍යවේදී John.A.Scali පිළිතුරු වශයෙන් :
"ඔව් ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න තිබුනේ ඔබලා කියුබාවට මිසයිල ගෙනල්ල සවිකරන්න ඉස්සෙල්ලනේ?"

මෙවිට Aleksandr Fomin :
"මේ ප්‍රශ්නේ විසද ගන්න ක්‍රමයක් තිබෙනවා. මෙහෙම වුනොත් අපි ඒ කියන්නේ ජනාධිපති කෲශේව් විසින් පොරොන්දුවුනොත් තවත් යුධ මිසයිල කියුබාවට රැගෙන එන්නෙත් නැහැ. ඒවගේම තිබෙන ඒවත් ඇමරිකාවේ අධීක්‍ෂනය යටතේම ඉවත් කරගන්නවා. හැබැයි එක දෙයක් ජනාධිපති කෙනඩිත් ප්‍රසිද්ධියේ පොරොන්දුවෙන්න ඕන කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ කියලා? ඔබට ඒ සම්බන්ධයෙන් ඔබගේ ලොකු මිතුරන් සමග කතා කරන්න පුළුවන්ද?"

John.A.Scali  :
"මම නම් ඒ දේවල ගැන දන්නේ නැහැ. හැබැයි මට ඒ වෙනුවෙන් උත්සහ කරන්න පුළුවන්."


මින් අනතුරුව දෙදෙනා අතර කතාබහක් නොමැතිව ආහාර ගැනීම සිදුව තිබෙන අතර, නිහඬව සිටියද සෝවියට් නිලධාරියා කොතරම් කලබලයට පත්ව තිබුනේද යත්, ඔහු තමන් සමග ආහාර ගත් සඟයාගේ ආහාරයෙන් කොටසක්ද අමතව රැගෙන තිබෙන අතර John.A.Scali විසින් Aleksandr ගේ ආහාරයෙන් කොටසක්ද අරගත් නමුත් ඒ පිළිබදවවත් අවධානයක් සෝවියට් බුද්ධි අංශ නිලධාරියාට තිබී නොමැත.

John.A.Scali විසින් අනතුරුව මේ හමුවීම හා අදාල සාකච්ඡාව පිළිබදව රජයට සම්බන්ධ ඉහළ පෙළේ තම මිතුරන් හරහා ජනපති කෙනඩිට මේ පිළිබදව දැන ගැන්නට ඉඩ සැලසූ අතර ජනපති කෙනඩි හා ඔහුගේ සොයුරු හා නීතිපති රොබට් කෙනඩි (බොබී) මේ පිළිබදව වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රහසිගතවම බ්‍රසීල රජය හරහා කිය්‍රබානු නායකයා හට අතිශය වැදගත් හා රහසිගත පණිවිඩයක් යවන්නට යෙදුනි. එම පණිවිඩයෙන් කියවුනේ "මිසයිල ඉවත් කරගන්නවා නම්, අපි කියුබාව ආක්‍රමණය කරන්නේ නැහැ".

එදිනම එනම් ඔක්.26 වනදාම සවස 6.00 ට පමණ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපියක් සෝවියට් දේශයෙන් ලැබුනේය. එය සෝවියට් ජනපති කෲෂේව් විසින්ම ලියා තිබූ බවක් දැක්වුන අතර දිගු ලිපියක් වූ එය පරිවර්ථනය කරගන්නටද ටික වේලාවක් ගතවිය.

රොබට් කෙනඩි විසින් මෙම ලිපිය සිය සොයුරු ජනපති කෙනඩි හට පැහැදිලි කරන්නට වූ අතර මහුගේ අදහස අනුව එම ලිපිය "දීර්ඝ සහ හැගීම්බරවූ ලිපියකි".  කෲෂේව් විසින් නැවතත් පවසා තිබුනේ ඊට පැය කිහිපයකට පෙර මාධ්‍යවේදී John.A.Scali හට, ඔත්තු සේවා නිලධාරී Aleksandr Fomin පවසා තිබූ දෙයමය. වෙනසකට තිබුනේ එය මෙවර පැහැදිලිව, නිරවුල්ව සහ නිල වශයෙන් දැනුම්දීමකි. ලිපියෙන් නිලනොවන වශයෙන් සිදුකෙරුනු ඉල්ලීම පිළිබදව සදහනක් නොවූ අතර එය Aleksandr Fomin විසින් පෞද්ගලිකව ඉදිරිපත්ව සාමදානයකට එකඟ වීමක් ලෙස පැවසීමට ව්‍යංගාර්තයෙන් උත්සහ දැරීමක් විය. කෙසේවෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට ජනපති කෙනඩි ඇතුළු වගකිවයුත්තන් එදින රැයම ගත කළේය.

තිරයෙන් පිටුපස සාමදානයකට අවශ්‍ය පසුබිම සකස් කරමින් පැවතුනත් එළිපිට පෙනෙන්නට තිබුනේ ජනපති කෙනඩි තවදුරටත් හමුදා මැදිහත්වීමක් හරහා කියුබාවේ මිසයිල ගැටළුව ඉවරයක් කරන්නට ඇති කැමැත්තයි. මෙම අර්බුදය විසදා දැමීමට දියත් කරන මෙහෙයුම "Operation Mongoose" ලෙස හැදින්වූ අතර එයට කියුබාවට හමුදා බලය යෙදවීමෙන් මිසයිල ඉවත් කිරිම මෙන්ම පෙරලා දමන කස්ත්‍රෝ පාළනය වෙනුවට ආණ්ඩුවක් පිහිටුවීම දක්වා විහිදී තිබුනි. ජනපති කෲෂේව්ගේ ලිපිය ජනපති කෙනඩිට එසේ ලැබෙද්දී, කියුබානු ජනපති කස්ත්‍රෝ කෲෂේව් හට ටෙලිග්‍රෑමයක් යවමින් කියා සිටියේ "මොනදේ වුනත් දැන් ඇමරිකාව තමන් හට කොයිමොහොතේ හෝ ප්‍රහාර එල්ලකරනු ඇති නිසා එයට ප්‍රථම තම රටේ දැන් ස්ථාපිත කර ඇති න්‍යෂ්ඨික බලයෙන් සන්නද්ධ මිසයිල වලින් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීම වඩාත් සුදුසු බවට නිර්දේශ කරන බවයි".

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් වසර 48 කට පසු එනම් 2010 වසරේදී කස්ත්‍රෝ හා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් එදා දැනුවත්ව සිටි ප්‍රමාණයට එසේ ඉල්ලීමක් සිදුකළත් පසුව කාරණා සිදුවූ හා නියමාකාරයෙන් තතු දැනගත් පසු එවන් නිර්දේශයක් කිරීම කිසිසේත්ම නුවනට හුරු නොවන දෙයක් බව දැන් වැටහෙන බවයි.

තවද 1962 දී මෙලෙස අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ කස්ත්‍රෝ විසින්,  කියුබාවේ ස්ථාන ගත කර ඇති සියළුම ආකාරයේ ගුවන් යානා නාශක අවි භාරව සිටි නිලධාරීන්ට නියෝග කර තිබුනේ ඇමරිකානු ගුවන් යානා කුමක් වුවත් කියුබාවට ඉහළින් පියාසර කරයි ඒවාට පහර දී බිම හෙලන ලෙසයි. මීට පෙර කියුබාවේ මර්මස්ථාන දෙකකට හෝ ඉන් ස්වල්පයක් වැඩි ගණනකට මෙවන් නියෝගයක් පනවා තිබුනත් මේ මොහොත වන විට සියළුම ගුවන් යානා නාශක අවි මේ නියෝගයට යටත්ව තිබුනෝය.

කුමකින් කුමක්වේදොයි බහුතරයක් නොදන්නා තීරණාත්මක දිනයක් ලෙස ඔක්.27 වනදා උදාවිය. එදින උදෑසන 6.00 ට පමණ CIA ආයතනය සිය ජනපතිවරයාට දන්වා සිටියේ කියුබාවේ San Cristobal ඇති මිසයිල අංගන හතරක සහ Sagua la Grande හි ඇති මිසයිල අංගන දෙකක මිසයිල දැන් සම්පූර්ණයෙන්ම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්කර ඇති බවයි. එසේම අනෙකුත් මිසයිල සක්‍රීය කිරීමේ ක්‍රියාවලියද නොකඩවා සිදුවන බව සහ කිය්‍රබාවේ හමුදාද ප්‍රහාරාත්මක ස්ථානගතවීම් සිදුවන බවයි.

ඔක්. 27 දා උදෑසන 9.00 ට මොස්කම් ගුවන්විදුලි සේවාව මගින් ජනපති කෲෂේව්ගේ ප්‍රකාශයක් විසුරුවා හැරීමට කටයුතු කළ අතර එය ඊට පෙරදින කෲෂේව් විසින් කෙනඩිට යවන ලැබූ ලිපියෙන් ගැටළුව විසදා ගැනීමට අදාලව එකඟවීමට කැමති කරුණු කාරණා වලට පටහැනි ප්‍රකාශයක් විය. එයින් කියවුනේ කියුබාවේ මිසයිල ඉවත් කිරීමට නම් ඇමරිකාව විසින් තුර්කියේ සහ ඉතාලියේ ස්ථානගකර ඇති ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බවයි.

එදින උදෑසන 10.00 ට නැවතත් රැස්වූ සෝවියට් දේශපාලන තන්ත්‍රයේ විධායක කමිටුව මෙලෙස වෙනස් කළ පණිවිඩය නිසා ඇතිවිය හැකි ඵලවිපාක පිළිබදව විවිදමත ඉදිරිපත් කරන්නට වූහ. අයෙක් මෙලෙස නව යෝජනාවට පක්‍ෂවූ අතර තවකෙක් එයට විරුද්ධව තත්ත්වය සාමකාමීව විසදාගත යුතු බවට යෝජනා කළහ.

මෙලෙස දිනක් ගතවීමටත් පෙරාතුව එකඟවන්නට හැකිව තිබූ යෝජනාවට පරස්පරව තවත් ඉල්ලීම් සහිතව නව යෝජනාවක් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කරවීම ඇමරිකාවටද සිය හමුදා ක්‍රියාමාර්ගය වලකා රාජ්‍යතාන්ත්‍රිකව විසදා ගැනීමට බාධාවක් වනු කෙනඩිට පසක්වන්නට විය. මෙලෙස තුර්කියේ මිසයිල ඉවත් කිරීම සම්බන්ධයෙන් සෝවියට් බලපෑම තුලින් ඔවුන් කියුබාවේ මිසයිල ස්ථානගත කිරීමටද සාධාරණීකරණයක් ලබා ගැනීමට තැත්කිරීම හා තුර්කියේ ඉවත්කරනවා නම් කියුබාවෙන්ද ඉවත්කිරීම එක්සත් ජාතීන් හමුවේද තම ප්‍රයත්නය සාධාරණීකරනය කර ගැනීමට ඔවුන් යොදනා අවසන් තුරුම්පුවක් ලෙසද ඇමරිකානු පාලන තන්ත්‍රය වටහා ගෙන සිටියහ.

ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපදේශකවරයා වූ McGeorge Bundy ගේ නිර්දේශය වූයේ කෲෂේව් විසින් නිල වශයෙන් එකඟව එවූ ලිපිය හැරෙන්නට, අද දින ඔවුන්ගේ ගුවන් විදුලි නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධියේ පළ කළ අදහසට එකඟ නොවිය යුතු බවයි. තවද ගැටළුව ඇත්තේ කියුබාවේ මිස තුර්කියේ නොවන නිසා මේ යෝජනාවට එකඟ වීමට හේතුවක් නොමැති බවයි. 

මෙලෙස ඇමරිකාවේ ඉහළම බලධාරීන් එක්රැස්ව මෙය සාකච්ඡා කරමින් පවතිද්දී උදෑසන 11.30 ට සෝවියට් නායකයා නව පණිවිඩයක් ඇමරකාවට ලැබුනි. එහි සාරාංශයක් ලෙස ගත් කළ පවසා තිබුනේ "ඔබට සැතපුම් 99 ක් දුරින් පිහිටි කියුබාව දැන් ගැටළුවක්ව ඇති බවත් එයට හේතුවූ මිසයිල ඉවත් කර ගැනීමට නම්,| අපට (සෝවියට් දේශයට) ආසන්නයෙන් තුර්කියෙ සහ ඉතාලියේ ස්ථාන ගත කර ඇති  ජුපිටර් මිසයිල ඉවත් කර ගත යුතු බව සහ මේ කාරණය ඒ ආකාරයෙන් සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් බලය පවරන ලබන පුද්ගයන් විසින් අධීක්‍ෂනය කළ යුතු බවත්ය".

මෙලෙස තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට එම දෙරටේම බලධාරීන්ගේ කැමැත්තක් නොවූ බවද සදහන් වන අතර  එම දෙරටද අපහසුවට ලක් නොකරමින් ගැටළුව විසදා ගැනීම ඇමරිකානු බලාපොරොත්තුව විය. තවද මෙලෙස ඉල්ලීමකට එකඟ වීම තුලින් අනාගතයේදීද සෝවියට් දේශය, ඇමරිකාවට සංවේදී කිසියම් ස්ථානය  මිසයිල ස්ථානගත කිරීම හෝ වෙනයම් හමුදාමය බලපෑමක් තුලින් ඔවුන්ගේ බලය සහ අරමුණු තහවරු කර ගැනීමකට යොමුවිය හැකි බව කෙනඩිගේ උපදේශකයන්ගේ සහ ඉහළ හමුදා නිලධාරීන්ගේ මතය විය.

කියුබාවේ තවදුරටත් වර්ධනය වන කාරණා මොනවාදැයි දැන ගැනීමට ඇමරිකාවට අවශ්‍ය විය. ඒ සදහා මෙදින ෆොලොරිඩාවෙන් ගුවන් ගත කළ U-2 යානයක් කියුබාව බලා පියාසර කළේ යුද්ධයේ ආසන්නම අවස්ථාව එළඹීමටත් ඉඩ ඇති කාරණයක් තව ස්වල්ප මොහොතකින් සිදුවන බව නොදැන විය හැකිය. මෙම යානය පැදවූයේ ඇමරිකානු ගුවන් හමුදාවේ මේජර්වරයෙකු වන Rudolf Anderson විසින් වූ අතර එදින දහවල් 12.00 ට පමණ මෙම යානය කියුබානු ගුවන් යානා නාශක මිසයිල අංගනයක ඇති උපකරණ වල සටහන් වූ අතර කෂනිකව ගුවනට නැගුන S-75 Dvina SAM මිසයිල වලින් බේරීමට U-2 යානයට නොහැකිවුයේය. අධිබලැති මිසයිල වල ගැටුන යානය පුපුරා ගියේ එය පැදවූ ගුවන් නැවි Rudolf Anderson ගේ දිවිද තොරකරමිනි.

මේ සිදුවීම ඇමරිකාව හා සෝවියට් දේශය අතර ඇතිවෙමින් තිබූ එකඟතාවයට දැඩි ආතතියක් එක්කිරීමට හේතුවිය.පසුකාලීනව දැනගන්නට ලැබුන කාරණා අනුව මෙම ප්‍රහාරය එල්ල කීරීමට තීරණය කර නියෝගය නිකුත් කර තිබුනේ ඉහළ සෝවියට් බලධාරීන්ගේ නියෝගයකින් නොව එම ප්‍රදේශය භාරව සිටි ප්‍රාදේශීය හමුදා ප්‍රධානීයා විසින් බවයි. එදිනම පස්වරු 3.41 ට පමණ ඇමරිකානු පහළ උසකින් පියාසර කළද තවදුරටත් ප්‍රහාර එල්ල වීමක් සිදුනොවීය.

අදාල U-2 යානයට ප්‍රහාර එල්ලවීම හා එය සහ එහි නියමුවා විනාශවීම රහසක් වශයෙන් පවත්වාගෙන ගිය අතර අදාල නියමුවාගේ පවුලේ උදවිය වෙත  සිය ශෝකය කෙනඩි විසින් දන්වන ලදි.

එදින එනම් ඔක්.27 සවස 4.00 ට ජනපති කෙනඩි විසින් ඇමරිකානු ආරක්‍ෂක මණ්ඩලය ධවල මන්දීරයේදී රැස් කළ අතර ඉක්මනින්ම එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා වූ යූ තාන් වෙත පණිවිඩයක් යවන ලෙස නියෝග කරමින් කියා සිටියේ ඔහු හරහා ඇමරිකානු-සෝවියට් එකඟතාවයක් මේ අර්බුදය සම්බන්ධයෙන් ඇති වනු තුරු කියුබාවේ සිදුවන මිසයිල සම්බන්ධ කටයුතු "තාවකාලිකව අත්හිටුවනු" ලෙස සෝවියට් බලධාරීන්ට දන්වන ලෙසයි.

කෙනඩි විසින් ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට එකඟව තිබුනේ, කිසියම් හෝ ප්‍රහාරයක් ඇමරිකානු දේපලකට එල්ල වුවහොත් පෙරලා පහර දීමට තමන් නියෝග නිකුත් කරන බවයි. එහෙත් මෙම යානයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඔහුගේ තීරණය වූයේ නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් මිස මේ අවස්ථාවේ ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග නිකුත් නොකරන බවයි. ඔහුගේ මතය අනුව පළමු ලෝක යුද්ධයට හේතුවූයේ සර්බියාවේ සිදුවූ එක් සිදුවීමට දුරදිග නොබලා ප්‍රතිචාර දැක්වීමට එදා හමුදා නිලධාරීන්ගේ බලපෑම මත ක්‍රියා කළ නිසා ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වූ දැවැන්ත විනාශයක් සිදුවූ බවත්, ඉන් අනතුරුව සිදුකළ යුතු බොහෝ වෙනස් කම් හා විසදුම් ක්‍රියාත්මක නොකළ නිසා දෙවන ලෝක යුද්ධයද ඇතිවී අති විශාල ව්‍යවසනයක් සිදුවූ බවත්ය. ඒනිසා මේ අවස්ථාවේ තවත් ලෝක යුද්ධයකට නොගොස් මෙම ගැටළුව විසදා ගැනීම තම අරමුණ බවත්ය. 

ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරා විසින් පසුකාලීනව පවසා සිටියේ;
"අප විසින් යවනු ලැබූ U-2 යානායට පහර දෙනු ලැබුවේ සෝවියට් මිසයිල වලිනි. ඒ හැරුන කොට ඉහලින් පියාසර කරන එවැනි යානාවලට පහර දීමේ හැකියාවක් කියුබාව සතු නොවීය. අපි විශ්වාස කරනවා එයට හිතාමාතාම පහර දුන්නා. එයින් බොහෝවිට සෝවියට් දේශය බලාපොරොත්තු වෙන්නට ඇත්තේ මේ අර්බුදය තවත් උත්සන්න කරන්නට වෙන්නත් ඇති කියලා අපි හිතනවා. U-2 යානා කියුබාවට යවන්නට පෙරාතුවම අපි තීරණයකට එළඹ සිටියා යම් හෙයකින් ඒවාට පහරදුන්නොත් අපිත් පහරදෙනවාමයි කියා. ඒත් මේ සිදුවීම සිදුවුන සිකුරාදා දිනයේදී වාසනාවට අපිට අපේ තිරණය වෙනස් කර ගන්න පුළුවන් වුනා. අපි එම සිදුවීම හදිසි අනතුරකින් සිදුවූ ලෙස සලකන්න තීරණය කළා. ඒ නිසා අපි පෙරලා පහර දෙන්න ගියේ නැහැ. අපිත් පසුව දැන ගත්තා, කෲෂේවි විසින් පවා එයට ප්‍රතිචාර දක්වා තිබුනේ අපි කළ ලෙසමයි. ඔහුත් මේ සිදුවීම සිදුවූ වහාම කියුබාවේ සිටි සෝවියට් හමුදා භාරව සිටි ප්‍රධානියා වූ ජනරාල් Lssa Pliyev හට නියෝග කර සිටියේ මින් පසු කියුබාවට ඉහළින් ගමන් ගන්නා කිසිදු U-2 යානයකට ප්‍රහාර එල්ල නොකරන ලෙසයි".

ඇමරිකානු ආරක්‍ෂක කවුන්සිලයවත් නොදන්නා තවත් දෙයක් සිදුවුනි. එනම් රොබට් කෙනඩි සහ එවකට සෝවියට් තානාපතිවරයා අතර රහසිගත හමුවීමයි. මෙම හමුවීමෙන් දෙපාර්ශවයටම අවශ්‍යවූයේ තමන් මෙම ගැටළුව සාමකාමීව විසදා ගැනීමට යොදන ප්‍රයත්නයේ අවංකබව දෙපාර්ශවයටම අවංක බව හැඟවීමයි. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නව විසදුමක සැලැස්මක් ගොඩනගන්නට වූ අතර එයින් කියවුනේ ජනපතිවරයා දෙවනවරට කෲෂේව් එවූ ලිපිය නොතකා හැරිය යුතු බවත් එය එසේ කිරීමට කළ යුත්තේ එවන් ලිපියක් නොලැබුන සේ සිටිය යුතු බවත්ය. එසේම තුර්කියේ සහ ඉතාලියේ ඇති මිසයිල ඉවත් කිරීමට පොරොන්දු නොවූ එය ඉදිරි මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතව පැවරුන වගකීමක් ලෙස සැලකිය යුතු බවත්ය. මේ සම්බන්ධයෙන් වූ කාරණා ලේඛණගත කොට ලිපියක් ලිවීම නීතිපති රොබට් කෙනඩි සහ ධවල මන්දීරයේ විශේෂ උපදේශක Ted Sorensen හට භාර කෙරුන අතර ඔවුන් විසින් කෙටුම්පත් කරන ලද ලිපිය ජනපතිවරයා විසින් තවත් සුළු වෙනස්කම් කොට එය ටයිප් කර සෝවියට් නායකයා වෙත යැවීමට සූදානම් ලදි. මෙම EXCOMM රැස්වීමෙන් පසුව තවත් කුඩා හමුවක් ඕවල් කන්තෝරු කාමරයේ පැවැත්වූ අතර එය විවිද මත  පළවූ වාදවිවාද වලින් පිරුන එකක් විය.

ඇමරිකානු-සෝවියට් සාමකාමී වෑයමට මුලපීරූ මාධ්‍යවේදියා සහ රහස් ඔත්තුසේවා නිලධාරියා නැවතත් හමුවිය. එවිට මාධ්‍යවේදී Scali විමසා සිටියේ ;
"ඇයි ලියුම් දෙකක් ඔබගේ ජනපතිවරයා එව්වේ? ඒවගේම ඒවා එකකට එකක් වෙනස්."

එවිට රහස් ඔත්තු සේවා නිලධාරි Fomin;
"එහෙම දෙයක් වෙන්න හේතුව සන්නිවේදනයේ දුර්වලතා නිසා !"

Scali :
"ඒකනම් අදහන්නත් බැරි දෙයක්, මම නම් හිතුවේ බොහොම කැත විදියට අපිව රවට්ටනවයි කියාල". කියුබාව ආක්‍රමණය තව පැය කිහිපයකින් සිදුවේවි."

මෙවිට ක්‍ෂනයකින්ම Fomin;
"ඔබලා විසින් කෲෂේව්ට යවන ලිපියට පිළිතුරු ඔහු ඉතාම ඉක්මනින් එවාවි. ඒ නිසා රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වන්න කිසිම දැඩි ක්‍රියාමාර්ගයකට යන්න එපා කියලා. කිසිම ද්‍රෝහීකමක් මේ කටයුතු සම්බන්ධයෙන් අපගේ පැත්තෙන් සිදුවෙන්නේ නැහැ කියලත් සහතිකවම කියන්න පුළුවන්."

Scali : "මම නම් හිතන්නේ නැහැ, ඔබ ඔය කියන දේවල් මම කාටවත් කිව්වයි කියල ඒ අය මාව විශ්වාස කරයිද කියලා. හොදයි කොහොම නමුත් මම ඒ ගැන ඒ අයට දන්වන්නම්".

දෙදෙනා ඉන්පසු වෙන්වScali ඉතා ඉක්මනින් අදාල කරුණු EXCOMM වෙත ලිඛිතවම ලැබෙන්න සලස්වන  ලදි.

ඇමරිකාව විසින් ප්‍රතිචාර දක්වන ලද ආකාරයට එනම්, පළමු ලිපිය ගැන පමණක් සලකා සහ දෙවන ලිපිය නොසලකා හැර කටයුතු කිරීමෙන් කෲෂේව් ගැටයේ හිරවෙන බව හොදින් පෙනී ගිය කරුණක් විය. හමුදා සූදානම් කිරීම හා යුද සූදානම තවදුරටත් තීවුර කරන්නට වූ අතරම ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සියළුම අය තමතමන්ට නියමිත හමුදා කඳවුරු වෙතට වාර්තා කිරීමටද දැනුම් දෙන ලදි.

පසුකාලක රොබට් කෙනඩි විසින් මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසය;
"අපි මේ ගැටළුම සුභවාදීව නිමා වේ යයි කළ ප්‍රාර්ථනයේ දිගටම සිටියා. හැබැයි ඒ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීමට ඉතිරිව තිබූ එකම හැකියාව කෲෂේව් විසින් ඉදිරි පැය කිහිපය තුළ මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් පමණයි. එය එසේ ඉටුවේවායි ප්‍රාර්ථනය කිරීම හැරෙන්නට එය බලාපොරොත්තු වෙන්නට හැකියාව තිබුනේ නැහැ. බලාපොරොත්තුව ලෙස තිබුනේ හමුදා මැදිහත්වීම පමණයි. එය බොහෝවිට ලබන සතියේ අඟහරුවාදා වන්නට පුළුවන්කම තිබුනා. සමහරව විට එය හෙට (ඔක්.28) වන්නටත් ඉඩකඩ තිබුනා."

එදින (ඔක්.27) රාත්‍රී 8.05 ට කෲෂේව්ට යවන්නට සකස් කළ ලිපිය ඔහුට යවන්නට ඇමරිකාව විසින් කටයුතු යෙුදූ අතර එහි මූලිකම කරුණු වූයේ;
1) ඔබ විසින් එකඟවී ඇති පරිදි කියුබාවේ ස්ථාන ගත කර ඇති ඔබගේ අවි, එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂනය යටතේ ඉවත් කළ යුතු අතර ඉදිරියේදීද මෙවන් ගැටළු ඇති නොවීම පිණිස මේ ආකාරයේ විනාශකාරී අවි කියුබාවේ නොරැදවීමටද වගබලා ගත යුතුවේ.
2)අපගේ පාර්ශවයෙන් මේ මේ කාරණා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉෂ්ඨ කිරීම, හා ඒවාට බාධාවක් නොවන සේ කටයුතු කිරීම වගකීමක් ලෙස සලකන්නෙමු ;
    a) කියුබාවට යොදා ඇති නාවුක බාදකය ඉවත් කරන්නෙමු.
    b) කියුබාවට එරෙහිව හමුදා ආක්‍රමණයක් නොකිරීමටද සහතිකයක් ලබාදෙන්නෙමු.

මේ ලිපිය ඒ මොහොතේම පුවත් පත් වලද පළ කිරීම සදහා යවන ලදි. එයට හේතුව යම් හෙයකින් කෲෂේව් අතට මෙය පත්වීම ප්‍රමාද වුවහොත් හෝ හිතාමතා මෙම ලිපිය නොතකා හැරීමක් සිදුකළ හොත් එය වලකා ගැනීමටයි.

එදින රාත්‍රී 9.00 ට ඇමරිකානු ආරක්‍ෂක කමිටුව නැවත රැස්වූ අතර ඔවුන්ගේ කතිකාවත වූයේ එළඹෙන දිනයේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවයි. එහිදී මිසයිල අංගන හා කියුබාවේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබදව සැලසුම්කරන්නට වූයේය. විශේෂයෙනම එරට ඉන්ධන ගබඩා මූලිකම ඉලක්කයක් විය. එසේම රොබට් මැකනමාරාගේ අදහස වූයේ කියුබාව සේම යුරෝපය තුළ සෝවියට් දේශය සිදුකළ හැකි සහ සිදුවිය හැකි ප්‍රහාර පිළිබදව සැලකිය යුතු බවයි. එදින රාත්‍රී 12.12 ට පමණ ඇමරිකාව විසින් නේටෝ සංවිධානයට අයත් යුරෝපීය රටවලට ඉදිරි පැය කිහිපය තුළ යුරෝපය තුළ ඇතිවිය හැකි සංග්‍රාමික තත්ත්වයට සූදානම් වන ලෙස දන්වන ලදි.

තවද ඔක්.27 වනදා, කස්ත්‍රෝ විසින් කරණා ලද ඇමරිකාවට කියුබාවේ ඇති අවිවලින් පහර දිය යුතු බව නිර්දෙශ කරන ලිපිය සෝවියට් නායකයා වෙත ලැබුනි. ලෝකයේම වාසනාවට මෙය ක්‍රියාවට නැගුනේ නැත.

ඔක්.28 වන දා එළඹුනි.එදා සෙනසුරාදා දිනයකි. පසුකළෙක හෙළිවූ පරිදි ධවල මන්දීරය එදින හදුන්වා ඇත්තේ "කළු සෙනසුරාදාවක් (Black Saturday)" ලෙසයි. එලෙසටම එදින තීරණාත්මක හා කුමකින් කුමක්වේදොයි නොදන්නා අසුභවාදී මත වලට මිස සුභවාදී මතවලට වැඩි ඉඩක් නොලද දිනයක් විය.

මෙදින දරුණු ගණයේ නොවූවත් යම් යම් හමුදාමය ක්‍රියාකාරකම් සිදුවූ දිනයක්ද විය. ඒවා සැකවින් දක්වන්නේ නම් ; ඇමරිකානු නාවික හමුදාවේ යුද නෞකා 11 ක් සහ USS Randolph ගුවන් යානා ප්‍රහාරක නෞකාව එක්ව, කියුබාවට ගමන්ගන්නා නාවුක යාත්‍රා පරීක්‍ෂාවට යොදා ඇති බාදකය අසලදී සෝවියට් ඩීසල් බලයෙන් ගමන්ගන්නා B-59 සබ්මැරීනයකට Practice Depth Charges නමින් හදුන්වන බෝම්බ හෙලන්නට පටන්ගත්තා. මෙම බෝම්බ සබ්මැරීන අවට ප්‍රදේශයේදී පුපුරා ගිය පසු ඇතිවන කම්පනය නිසා ඒවා ජල මට්ටමෙන් ඉහලට එන අතර එවිට සබ්මැරීනය කාහට අයත් එකක්දැයි හදුනාගැනීම මෙහි අරමුණ වූවා.

 කෙසේවෙතත් මෙම සබ්මැරීනයේ න්‍යෂ්ඨික ශීර්ශ සවිකළ ටෝපිඩෝ සහිත බව දැන සිටියේ නැහැ. තවත් කරුණක් වූයේ මෙම සබ්මැරීනයේ ගමත් ගත කාර්යමණ්ඩලයත් දින ගණනාවකින් තම මව්රට සමග පණිවිඩ හුවමාරුවක් නොතිබූ නමුත් ඇමරිකානු ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ කියුබානු ගැටළුව සම්බන්ධයෙන් වූ කාරණා වලට නම් ඒවනවිට සවන්දී තිබුනා.  ඔවුන් මෙම ඇමරිකානු පහරදීම මඟහැර සැඟවී යන්නට උත්සහ දරමිනුයි සිටියේ.

ඔවුන් දැන් ඇමරිකාව-කියුබාවට එරෙහිව යුද වදිනවාදැයි පවා හරිහැටි නොදත් අතර එම සබ්මැරීනයේ කපිතාන් Valentine Grigorievitch Savitskyසිතා සිටියේ ඒවන විටත් යුද්ධය ඇරඹී ඇති බවයි. ඒ නිසා ඔහු සිතුවේ දැන් එහෙනම් මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස න්‍යෂ්ඨික ශීර්ෂද සවිකළ ටෝපිඩෝ වලින් පහර දීම කළ යුතු කාර්යය බවයි. මෙම සබ්මැරීනයේ කපිතානවරයාට අමතරව තවත් වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකු විය එනම් දේශපාලන නිලධාරියා ලෙස Ivan Semonovich යන අයද, දෙවන අනදෙන නිලධාරියා ලෙස Vasili Arkhipov ද සේවය කළේය. Arkhipov මෙහි දෙවැන්නා ලෙස සේවය කළද, ඔහු ඊට ප්‍රථම සබ්මැරීන කිහිපයකම අණදෙන නිලධාරියා ලෙසද සේවය කළ නිලයෙන් මෙම සබ්මැරීනයේ කපිතාන් තැනගේ සමාන අයෙකුම විය.

මෙම තිදෙනා අතර ටෝපිඩෝ ප්‍රහාරය එල්ල කරනවාද? නැත්ද? යන්න සම්බන්ධයෙන් වාදයක් ඇතිවිය. කපිතාන් හා දේශපාලන නිලධාරියා ප්‍රහාරයට පක්‍ෂවද, දෙවැනි අණදෙන නිලධාරියා ප්‍රහාරයට එරෙහිවද සිටියේය. ඔහුට ඒ සදහා කරුණු දැක්වීම පහසුවූයේ ඊට පෙර වසරේ  සිදවූ සෝවියට් K-19 සබ්මැරීන අනතුරයි. ඔහුගේ මතය වූයේ වහා සබ්මැරීනය මුහුදු පත්ලෙන ඉහළට ගොස් සෝවියට් දේශයෙන් ඉන් ඉදිරියට කළ යුතු කාර්යය පිළිබදව උපදෙස් ලැබෙන තුරු ඉවසා සිටිය යුතු බවයි. කොහොමටත් මේ අවස්ථාවේ සබ්මැරීනයේ දෝශ සහිත තත්ත්වයක්ද පැන නැගී තිබූ නිසා මුහුදු මට්ටමට පැමිණීමට ඔවුන් තීරණය කළහ. තවද වොෂින්ටනයෙන් අදාල ප්‍රහාර එල්ල කළ නාවික කණ්ඩායමට අණකර සිටියේ සබ්මැරීනය මුහුදේ මතුපිටට ගෙන ඒමට කටයුතු කිරීම හැරුන කොට එයට පිවිසීමට මොනමහේතුවටත් කටයුතු නොකරන ලෙසයි.

ඇත්තෙනම් පසු කලෙක මෙම ව්‍යසනය ඇති නොවීමට වගබලා ගත් දෙවන අණදෙන නිලධාරි Arkhipov හට ලෝකයම ප්‍රශංසා කළේ ඔහු ලෝකයම විනාශයෙන් ගලවා ගත් අයෙකු බව පවසමින්. යම් හෙයකින් ඔවුන් අතින් වැරදීමකින් හෝ න්‍යෂ්ඨික ටොපිඩෝ ප්‍රහාරය එල්ල වූයේ නම් එය අති විනාශකාරී යුද්ධයක් ඇතිවීමට හේතුවන්නට අසන්නම හේතුව විය හැකිව තිබුනි.

ඇමරිකානු ආරක්‍ෂක ලේකම මැක්නමාරා 2002 වසරේදී අදහස් දැක්වූ පරිදි "න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමට  ඉතාම ආසන්නයට අපි මේ කාරණයේදී පැමිණියා. එදා ඇත්තෙන්ම අපි දැනසිටියාත් වඩා ආසන්නයට පැමිණ තිබූ බව දැනගත්තේ පසුකලෙකයි".

(මෙහි දැක්වූ K-19 සබ්මැරීන අනතුරු සම්බන්ධයෙන් වූ චිත්‍රපටියක්ද 2002 වසරේදී තිරගතවූ අතර එය නමින් K-19 : The Widow Maker නම් විය. මෙහි ප්‍රධාන චරිත සම්මානීය හොලිවුඩ් නළුවන් වන Harisson Ford සහ Liam Neeson විසින් නිරූපණය කරන ලදි.)මෙදිනම ඊට සැතපුම් දහස් ගණනක ඈතින් එනම් සෝවියට් දේශයේ ඈත නැගෙනහිර මුහුදු තීරයට නුදුරින් ඇමරිකානු U-2 ඔත්තු බලන යානයක්  මිනිත්තු 90 ක පමණ කාලයක් පියාසර කරමින් සටියදී සෝවියට් දේශයට අයත් Wrangel නම් දූපතේ සිට ඉහළට නැගුන මිග් ප්‍රහාරක යානා ඉහත කී ඔත්තු බලන යානාව වෙත පියාසර කරන ලදි.  ප්‍රහාර එල්ල කිරීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් මෙයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමරිකාවද සිය ප්‍රහාරක F-102 වර්ගයේ ජෙට් යානා බීරින්ග් මුහුදට උඩින් පියාසර කරවන්නට විය. ඝට්ටනයක් දෙපාර්ශවය අතර සිදු නොවීය.

ඔක්. 27 වනදා ඇමරිකානු-සෝවියට් රාජ්‍ය නායකයන් අතර රහස් එකඟතාවයක් ඇතිව තිබුනි. ඒ කියුබානු මිසයිල ඉවත්කර ගැනීම වෙනුවෙන් දකුණු ඉතාලියේ හා තුර්කියේ ස්ථාන ගත කර ඇති ඇමරිකානු ජුපිටර් මිසයිල ඉවත් කර ගන්නා බව හා එය රහසක් වශයෙන් පවත්වාගත යුතු බවයි. මෙය ඉතාම රහසිගත එකඟතාවයක් වූ අතර කාලයක් යනතුරු බොහෝදෙනෙක් මෙය දැන සිටියේ නැත.

1962 ඔක්.28 සෙනසුරාදා දා ලෝකයටම කළු සෙනසුරාදාවක් නොවූ දිනයක් බවට පත්වෙමින් කියුබානු මිසයිල අර්බුදය නිමා වූයේ උදෑසන 9.00 ට කෲෂේව් විසින් අදාල මිසයිල ඉවත්කරගන්නා බවට වූ ප්‍රකාශය මොස්කව් ගුවන්විදුලි සේවාව මගින් විකාශය කිරීමත් සමගයි. එයට ප්‍රතිචාර දක්වමින් කෙනඩිද සිය ස්තූතියි පළ කළේ ලෝක සාමය වෙනුවෙන් කෲෂේව් විසින් ගන්නා ලද මෙම තීරණය ඉමහත් ලෙස අගය කරන බවයි.

එලෙස ලෝකයම කම්පනයට පත් කළ මෙම සිදුවීම විනාශයකින් තොරව අවසන් වු අතර තවත් දින කිහිපයක් ඇමරිකාව සිය කියුබාවට නෞකා ඇතුළුවීම වලකමින් පවත්වාගෙන ගිය නාවුක බාදකය පවත්වාගෙන යන ලදි. කියුබාවේ තිබූ මිසයිල 42 ක් සහ ඒවාට අදාල අනෙකුත් උපකරණ නැව් 8 කට පටවනු ඇමරිකාව විසින් ගුවන් ඡායාරූප ඇසුරෙන්ම නිරීක්‍ෂනය කරන ලදි. එම නැවූ නොවැ.5-9 අතර දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඒවා ඇමරිකානු නාවුක බාදකය හරහා ගිය බවද තහවුරු කර ගත් අතර කියුබාවට රැගෙන එන ලද සෝවියට් ප්‍රහාරක යානා වන IL-28 යානා රැගත් නෞකාද දෙසැ. මස 5-6 දිනවල කියුබාවෙන් පිටත්වූ අතර ඇමරිකාවු පවත්වාගෙන ගෙන නෞකා බාදකයද නොවැ. 20 වන දින 6.45 ට ඉවත් කළ බව ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

සෝවියට් තානාපතිවරයා සහ නීතිපති රොබට් කෙනඩි තිරයෙන් පිටුපස එකඟ වූ පරිදි ජුපිටර් මිසයිල ඉවත් කිරීම මෙම අර්බුදය නිමාවී ටික කලකින් රහසින්ම සිදුවූ අතර 1963 අප්‍රේල් 24 දා වන විට අවසාන මිසයිලයද කොටස් වලට ගැලවීම සිදුකර අවසන් වූ අතර ඒවා පසුව තුර්කියෙන් ඉවත් කරන ලදි.

මිසයිල ඉවත් කරනා තීරණය ඇත්තෙන්ම කස්ත්‍රෝ පවා මොස්කව් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරනා තුරු නොදැන සිටි කාරණයක් විය. එයින් ඔහු කෝපයටද පත්වූ බව පැවසෙතත්, මෙම මිිසයිල අර්බුදය නිසා කියුබාව තුල ඔහුගේ ප්‍රතිරූපය තවදුරටත් ස්ථාවර වූ බව පැවසෙන්නේ අර්බුදය ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව තම රට ආක්‍රමණය නොකරන බවට සහතිකයක්ද ලැබීම නිසයි. එසේම සෝවියට් නායකයා මෙම ගැටළුවේදී පරාජයට පත් සහ අපහාසයටද ලක්වූ බව සහ කෙනඩි එයින් ජයගත් බව ලෝකයට පෙනුනත් සත්‍ය වශයෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස තුර්කියේ සහ ඉතාලියේ ස්ථාන ගත කර තිබූ ඇමරිකානු මිසයිල ඉවත්කරවා ගැනීමේ අවස්ථාවද ඔවු්නට හිමිවිය. කෙසේවෙතත් මේ දෙදෙනාටම සිය රජයෙන් එල්ල වන පීඩනය හමුවේ ඉතාම පරිස්සමෙන් සියළු කාර්යය සිදු කළ යුතු වුවාවන්නට විය හැකිය. කෙසේවෙතත් සෝවියට් නායකයාගේ ප්‍රතිරූපය ඔවුන්ගේ දේශපාලන යන්ත්‍රණය තුළ පසුබෑමකටද ලක්වූයේ තම දේශපාලන න්‍යාඥ ලෝකය තුල හෑල්ලුවට පත්වූ බව සෝවියට් ඉහළ දේශපාලන සාමාජිකයන් තුල ආකල්පයක් උද්ගතවූ බැවිනි. සැබැවින්ම සෝවියට්දේශයට වාසිසහගත තත්ත්වයක්ද තුර්කියේ සහ ඉතාලියේ මිසයිල ඇමරිකාව විසින් ඉවත්කර ගැනීම තුලින් සිදුවූවත් එය කෲෂේව් හට සිය දේශපාලන සඟයන්ටද පැවසීමට නොහැකි තත්ත්වයක් වූයේ එය කෙනඩි සහ කෲෂේව් අතර වූ රහස් ගණුදෙණුවක් වු බැවිනි.

සෝවියට් නායකයාගේ ධූරකාලයද එයින් වසර දෙකක් ගිය තැන ගිලිහී යන අතර, ජනපති කෙනඩිගේ දිවියද මෙම සිදුවීම් සිදුවී යන්තම් වසරක් ගතවූ තැන නිමා වන්නේ අදටත් අභිරහසක්ව පවතින ඔහුගේ ඝාතනය සිදුවීමෙනි.

1974 දී තිරගතවූ රූපවාහිනි චිත්‍රපටියක් වන The Missiles of October සහ වසර 2000 දී තිරගතවූ Thirteen Days චිත්‍රපටි මෙම කියුබානු මිසයිල අර්බුදය තේමාකොට ගෙන තැනුන ඒවාවේ.


මෙම අර්බුදය පසුකාලීනව හෙළිවූ තොරතුරු ගැන ඉදිරි ලිපියෙන් බලාපොරොත්තුවන්න.

මෙන්න මුල් ලිපිය - ඇමරිකාව භීතියට පත් කළ දින 13

Friday, November 22, 2013

අදවැනි නොවැම්බර් 22 දිනක් යෙදුන සිකුරාදාවක, අදට හරියටම වසර 50 කට පෙර එම ආකර්ශනීය මිනිසා ඔවුන් විසින් මරා දැමූහ

එදා දිනයත් නොවැම්බර් 22 වෙනිදාය. එසේම එදිනද අදවැනි සිකුරාදාවකි. හරියටම දිනය 1963 නොවැ. 22 වෙනි සිකුරාදා නැතහොත් අදට වසර 50 කට පෙරය. එදින ඇමරිකාවේ ටෙක්සාස් ඩලාස් හිදී වේලාව දහවල් 12.30 වේලාව සටහන් වූයේ ඇමරිකානු ඉතිහාසය වෙනස් කළ මොහොතයි. වෙඩි ප්‍රහාර තුනකින් ඇමරිකාව පමණක් නොව ලෝකයේ ඇතමෙකුගේ ආදරයටත්, තවත් අයෙකුගේ වෛරයටත් පාත්‍රවූ එම කඩවසම් මෙන්ම දකිනා ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නා සුළු එම මිනිසා සදහටම ලොවෙන් සමුගත්තේය. ඔහු ඇමරිකාවේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතාය.

ඇමරිකානු ඉතිහාසයේ පහළ වූ බොහෝ ජනාධිපතිවරුන්ට සාපේක්‍ෂව මෘදු ගතිගුණ ඇති, ලෝක සාමය වෙනුවෙන් ඉතා අසීරු තීරණ ගත් එම යුග පුරුශයාට එම අසීරු තීරණම ඇතැම්විට සිය ඉරණම තීරණය කරන්නටත් හේතුවන්නට ඇති. ඔහුට ආදරය කළ පිරිස් බෝහෝ වූහ. ඒවගේම ඔහුට වෛර කළ පිරිස්ද ඔහුගේ රටේ මෙන්ම ඉන් පිටතත් විසූහ. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ලී හාවි ඔස්වල්ඩ් නම් අයෙකුට ඔහුගේ මරණයේ වගකීම නිළ වශයෙන් පැවරුවද එයට සම්බන්ධවූවන් බොහෝ ඇති බව ප්‍රසිද්ධ රහසකි. එයට ඔහුගේම රජයේ වගකිව යුතු අය විශාල පිරිසක් සම්බන්ධ බව බොහෝ කරුණු කාරණා වලින් පැහැදිලි වුවත් එය හෙළිකරගැනීමට එදා මෙන්ම ඊට පසුකාලීනවද පනවා ඇති බාධක බොහෝය.

සීතල යුද්ධයේ දැඩි උණුසුම පැන නැගුන ඔහුගේ කාලසීමාවේදී ඔහු විසින් ගත ඇතැම් තීරණ වල ලිහිල් භාවයට එරට හමුදාවේ මෙන්ම දේශපාලනයේද බොහෝ දෙනෙකු අකමැතිවුනත් එම තීරණ නිසා ලෝක විනශයකින් ලෝකය බේරුන බව මධ්‍යස්ථ මතදාරීන් අදටත් සිහිකරන්නේ කෙනඩි මහතා පිළිබදව ගෞරවයෙනි. ඇතැමි විට සෝවියට්දේශය වැනි අංකඑකේ එළිපිට පෙනෙනා ලෙස සිටි සතුරා පවා තිරයෙන් පිටුපස සිට තමන්වත් විනාශකරන්නට හේතුවිය හැකි තීරණවලින් ඔහු වැලකීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙන්ටත් ඇති. එහෙත් සැබෑ සතුරා තම සුපිරි බලවත් ප්‍රතිවාදීයාට වඩා තමන්ගේ රටේම සිටි සතුරන් විය හැකි බව ඔහුට මෙන්ම ඔහුගේ හිතෛශීන්ටත් නොදැනෙන්නට ඇති. 

ජනපති කෙනඩි ගැන ලිපි කිහිපයක්ම ලියාගෙන ගොස් ඇති සහ තවත් ලියන්නට ඇති මේ අවස්ථාවේ ඒ ලිපි පෙලෙන් බැහැරව මෙම ලිපිය ලියන්නට යෙදුනේ ඔහු මිය ගොස් හරියටම වසර 50 ක් පිරෙන මෙම දිනයේ ඔහු පිළිබදව සිහිපත් කිරීමට අහඹුලෙස මඟපාදමිනි. ඒ මෙම සිදුවීම පිළිබදව පූර්ව නිරීක්‍ෂනයකින් තොරව කලකට ඉහත ගන්නා ලද සේයාරූ පිළිබදව කෙටි සටහන් තබා යන අවස්ථාවක, ජනපති කෙනඩි පිළිබදව කෙටි සටහනක් තබනවාට වඩා සවිස්තරාත්මකව කාරණා මතුකිරීම තුලින් මීට වසර 50 කට මදක් වැඩි හෝ මදක් අඩු කාලවකවානුවේ ලෝකයේ සුපිරි බලවතුන් හා ඔවුන්ට මැදිවුනු අනිකුත් රාජ්‍යයන් මුහුණ පෑ "දේශපාලනික කුණාටු" වල ස්වභාවයද හොදින් ගෙන දැක්වීමට හැකි වන බව දැනුන හෙයිනි.

ඉතින් තවත් කාරණා මෙම සොදුරු මිනිසා පිළිබදව ඉතිරිව තිබියදී එවා පිළිබදව වඩාත් ගැඹුරින් කතා කිරීමට ඉඩතබා මේ ලිපිය අවසන් කරන්නේ අදටත් ඇමරිකානු සලකුණක් සේ සලකන 35වන ජනපතිවරයාගේ පාලන කාලය යනතම් වසර 3 කටද, වසර 46 කට මදක් වැඩි ආයුකාලයක් මෙලොව වාසය කළද ඔහු පිළිබදව වූ අනස්මරණය තවත් වසර ගණනාවක් තුල පවා සිදුකෙරෙන්නේ ඔහු මිනිසුන්ට සමීප වූ නායකයෙකු හෙයිනි.

Tuesday, November 19, 2013

ඇමරිකාව භීතියට පත් කළ දින 13... II

මෙම ලිපිය ලියන්නට මෙතරම් කලක් ගතවූයේ තවත් ස්වල්ප වේලාවකින් ඔබට කියවන්නට ලැබෙන කරුණු වඩාත් හොදින් තහවුරු කරගැනීමට සහ නොදත් දේ බොහෝමයක් කරුණු කාරණා මෙම ලිපියට එක් කිරීමට මූලාශ්‍ර කිහිපයක්ම පසුගිය දිනවල පරිශීලනය කරන්නට කාලය වැය කිරීමට සිදුවූ නිසා බව ලිපිය ආරම්භක අවස්ථාවේම පවසන්නට කැමැත්තෙමි.

පසුගිය ලිපියෙන් ඇමරිකාවේ 35 වන ජනපතිවරයා වූ ජෝන් එෆ් කෙනඩි මහතා පිළිබදව කරුණු රැසක්ම ඔබ වෙත ගෙන ඒමට හැකිවූ අතර එම ලිපියේ දෙවැන්න ලෙස ඔහු සිය පාළන කාලය තුළ මුහුණු දුන් අසීරුම අවස්ථාවක් වූ කියුබානු මිසයිල අර්බුදය පිළිබදව සවිස්තරාත්මක ලිපියක් ගෙන එන්නෙමි. 

එසේම මෙම අර්බුදය සේම ඊට හරියටම වසරකට පෙරාතුව එනම් 1961 දී බටහිර බර්ලිනයේ Checkpoint Charlie නම් ස්ථානයේදී ඇතිවූ අර්බුදය සේම 1961 වසර පුරාවට සිදුවූ බටහිර සහ නැගෙනහිර බර්ලින් අර්බුදය පිළිබදව සවිස්තරාත්මකව ලිපි දෙකක්ම ඔබ වෙත ගෙන ආ නිසා ඒ පිළිබදව මේ ලිපියේදී කතා කරන්නට බලාපොරොත්තු නොවන අතර කියුබානු මිසයිල අර්බුදය පිළිබදව පමණක් මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවෙමි.

ජෝන් එෆ් කෙනඩිගේ වයසින් අඩුකම මෙන්ම දේශපාලන ජීවිතයද අරඹා දශක එකහමාරක පමණ කාලයක් පමණක් වීම නිසා ඔහු දුර්ලවල පාලකයකු බවට සෝවියට් පාලක නිකිතා කෲෂේව් ගේ මතය විය. මෙය තවදුරටත් ඔහු තහවුරු කරගන ලැබුවේ 1961 දී ඇතිවුන බර්ලින් අර්බුදයේදීද කෙනඩි විසින් ඵල කළ මෘදු ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමිනි. උක්ත අර්බුදයට පසුව සෝවියට් පරිපාළනයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවකදී ඔහු පවසා සිටියේ "කෙනඩි ශක්තිහත් දේශපාලන පසුබිමක් නොමැත්තෙකු ලෙස මම දැන සිටියා. ඒ වගේම බොහෝම බැරෑරුම් අභියෝගාත්මක අවස්ථාවකදී ඔහුට එයට මුුහුණදීමටත් නොහැකිවේවි. ඔහු යම් ගැටළුවකදී මුලින් අභියෝගයක් එල්ල කළත් අවසානයේ එයට පරාජය වන බව නියතයි".

(In addition, Khrushchev's impression of Kennedy's weakness was confirmed by the President's soft response during the Berlin Crisis of 1961, particularly the building of the Berlin Wall. Speaking to Soviet officials in the aftermath of the crisis, Khrushchev asserted, "I know for certain that Kennedy doesn't have a strong background, nor, generally speaking, does he have the courage to stand up to a serious challenge." He also told his son Sergei that on Cuba, Kennedy "would make a fuss, make more of a fuss, and then agree.")

කියුබාවට සෝවියට් මිසයිල කොටස් ලෙස ගෙන ආ දිනය ආරම්භ වූ දිනය නිශ්චිත වශයෙන්ම පැවසිය නොහැකි මුත් 1961 අගභාගයේ සිටම කියුබාව වෙත සෝවියට් නෞකා කියුබානු අගනුවර වන හවානා වෙත පැමිණෙන බව ඇමරිකානු ජාතික රහස් ඒජන්සිය (NSA) විසින් තහවුරු කරගෙන සිටියේය. 1962 අගෝස්තු මාසයේ පමණක් මාසයක් ඇතුලත නෞකා ගමන් වාර 57 ක් සිදුව තිබෙන බව අනාවරණය කරගෙන තිබුනි.

සත්‍ය වශයෙන්ම සමස්ථ සිදුවීම් මාලාව පුරාවට කියුබාව වෙත සෝවියට් නෞකා ගමන් වාර 150 ක් පැමිණ තිබුනේ සෝවියට්දේශයේ පිහිටි වරාය 5 කින් වරින්වර පටවන ලද මිසයිල කොටස්, ට්‍රක් සහ ට්‍රැක්ටර් ඇතුළු විවිද වාහන සහ සෝවියට් මිලිටරි අංශ වල  43,000 ක්ද සමගය.  ඒ අතර අදාල මිසයිල කියුබාවේදී නැවත එකලස් කිරීමට හා ඒවා ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කාර්යය කිරීම සදහා තාක්‍ෂන ශිල්පීන්ද විය. මෙම නෞකා පැමිණී අවස්ථාවල නෞකාවේ ඉහළින් පෙනෙන ලෙස ට්‍රැක්ටර් ආදී කෘෂිකාර්මික උපකරණද, නෞකාවල පහළ තට්ටුවල අදාල යුද උපකරණද රහසිතගව රැගෙන එන ලදි.

මෙතරම් දේවල් ඇමරිකාවේ සිට යන්තම් සැතපුම් 90 ක් දුරින් වූ කුඩා දූපතක සිදුවන ඇමරිකානු 100% ක් නොදැන සිටියා නොවේ. කියුබාවේ හවානාවේ සිටි CIA ඒජන්තවරුන් විසින් තමන් හවානා හිදී සෝවියට් මිසයිල නගරය හරහා ගෙන යනු දුටුබව වොෂින්ටනය වෙත දන්වා යැවූවත් ඒවා නිකම්ම කටකතා හා දූෂමාන ආරංචි ලෙස සලකා වොෂින්ටන් පරිපාළනය විසින් නොසලකා හරින ලදි.

මෙලෙස කටයුතු සිදුවෙද්දී 1962 ඔක්. 14 වනදා ගුවන් ගත කළ ඇමරිකානු ඔත්තු බලන යානා වන  U-2 යානාවකින් කියුබාවට ඉහළ අහසේදී ගන්නා ලද සේයාරූ විශ්ලේෂනය කළ විට ඇමරිකානු බලතන්ත්‍රයේ සියළු දෙනා කම්පනයට පත් කරණ දේවල් දැක ගන්නට ලැබුනි.ඒ Medium Range Missile අංගනයක් මෙන්ම විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රවාහණය කරනා වාහන 8 ක් සහ කෙලින් සිටුවන ලද මිසයිල නිකුත්කරණයන් 4 කි.
U-2 ඔත්තු බැලීමේ යානාවල කැමරාවේ සටහන්ව ඇති
කියුබාවේ ස්ථාන ගත කරමින් පැවති මිසයිල
එසේම මෙහි පැවති මිසයිල එම වසරේ මැයි දිනයදා මොස්කව් හිදී ප්‍රදර්ශනය කළ R-12 මිසයිල බවටද අනුමාන කරන ලදි.
මැයි දිනයේදී R-12 බැලස්ටික් මිසයිල ප්‍රදර්ශනය කළ අයුරු
CIA ආයතනයේ  National Photographic Interpretation Center මගින් නිර්ණය කර ගත් මෙම තොරතුරු ජනාධිපතිවරයාට නිල වශයෙන් දැන්වීම ඔක්. 16 වනදා සිදුවූ අතර එයට පෙර දින රාත්‍රියේ (15 වනදා) , එවකට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් ඔක්නොමාරා විසින් කෙටියෙන් මේ තැතිගන්නා සුළු තොරතුරු පිළිබදව ජනපතිවරයා දැනුවත් කර තිබුනි.

ජනපතිවරයා එදින සවස ජාතික ආරක්‍ෂක කවුන්සිලය කැඳව ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම ඇරඹූහ. (මෙම කවුන්සිලය  Executive Committee of the National Security Council (EXCOMM) ලෙසද හැදින්වෙන අතර මෙයට ප්‍රධාන වශයෙන් නව දෙනෙකු හා ඒ ඒ අංශකෙරේ උපදෙස් සපයන උපදේශකයන් 5 දෙනෙකුගෙන්ද සමන්විත වූවකි.)

 මෙම සාකච්ඡාවට සහභාගී වූ ඇමරිකාවේ ඉහළම නිලධාරී පිරිසට අදාල අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව කිසිදු සැලැස්මක් නොවීය. එයට හේතුව එවැනි සැලැස්මක් ඇතිවීමට නම් මේ ගැටළුව පිළිබදව කල්තියාම දැනුවත්භාවය ලබා තිබීම සිදුවිය යුතුවූවත් එරට බුද්ධි අංශ විසින් සෑමවිටකම තහවුරු කරමින් සිටියේ සෝවියට්දේශය කිසිදු ආකාරයකින් කියුබාවේ මිසයිල ස්ථානගත නොකරනු ඇතිබවයි. ඒත් ඒ පූර්ව නිගමනය පුස්සක් කරමින් සෝවියට් දේශය කියුබාවේ මිසයිල ස්ථනගත කිරීම ආරම්භකර ඒවන විටත් සෑහෙන්න කාලයක් ගතව තිබුනි.

EXCOMM කමිටුව කඩිනමින් මේ කාරණය නිරාකරණය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග 6 ක් පිළිබදව සැලකිල්ල යොමු කළහ. ඒවා නම්;
1. කිසිවක් නොකර සිටීම : අඇමරිකාවට සෝවියට් මිසයිල තර්ජන අළුත් දෙයක් නොවන නිසා සහ කියුබාවේ ස්ථාපිත මෙම නව මිසයිල නිසා සිදුවන්නේ සුපිරි බලවතුන් දෙදෙනා අතර බලතුලනයේ සුළු වෙනස් කමක් සිදුවීම පමණි.

2.රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගැනීම : රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සෝවියට් පාලකයන් වෙත පීඩනය යොදවා අදාල මිසයිල කියුබාවෙන් ඉවත්කරවා ගැනීම.

3. අනතුරු ඇඟවීම : කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ හට පණිවිඩයක් යවා එමගින් ඔහු සහ ඔහුගේ කියුබානු ජනතාව මෙම මිසයිල අර්බුදය නිසා දැඩි අනතුරක පාමුළ සිටින බව දැන්වීම.

 4. අවහිර කිරීම : ඇමරිකානු නාවික හමුදාව යොදවා නැව් මගින් සෝවියට්දේශයේ සිටි කියුබාව වෙත රැගන එන මිසයිල කියුබාවට ලගා වීම නතර කිරීම.

5. ගුවන් ප්‍රහාර : ඇමරිකානු ගුවන් හමුදාව විසින්, දැනට මෙම මිසයිල කියුබාවේ ස්ථාපනය කර ඇති සහ ස්ථාපනය කරමින් පවතින ස්ථාන වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම්‍.

6. ආක්‍රමණය : සියළු ශක්තිය යොදව කියුබාව ආක්‍රමණය කර කස්ත්‍රෝ පාළනය පෙරලා දැමීම්‍.

මෙහිදී හමුදාවේ ඉහළම අණදෙන නිළධාරීන්ගේ එකම විසදුම වූයේ කියුබාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සමග ආක්‍රමණය කිරීම පමණකි. ඔවුන්ගේ විශ්වාසය අනුව කියුබාවට එරෙහිව දියත් කරන ප්‍රහාරයකදී එය නැවැත්වීමට සෝවියට් දේශය ප්‍රතිචාරයක් නොදක්වනු ඇති බවයි. එහෙත් කෙනඩි ජනපතිවරයා එම අදහස එසේ සැහැල්ලුවෙන් පිළිගැනීමට එකඟ නොවීය.

ඔහුගේ අදහස අනුව ඇමරිකාව යමක් කරනාතෙක් කරබාගෙන නොසිටිනු ඇති බවත් යුද්ධය ඇවිලී රුසියානුවන්ද රැසක් මියගොස්, කියුබාවේ ඇති මිසයිලද විනාශ වී හෝ එය ඔවුන් විසින්ම ඉවත් කර ගත්තත්, ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ බර්ලිනයේදී බවයි. ඒ අනුව කියුබාවට ගුවනින් පහර දීම සමග එය රුසියාවට අනෙක් අතින් බර්ලිනය ආක්‍රමණය කිරීමට සාධාරණ හේතු ඇතිකර දෙනු ඇතිබවයි. ඒ නිසා හැකි උපරිම අයුරින් කියුබානු මිසයිල ගැටළුව සාමකාමීව විසඳා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවත් එසේ නොමැති වීමෙන් සිදුවන්නේ බර්ලිනය අහිමිකර ගැනීමත් යන කාරණය බුද්ධිමත්ව වටහා ගැනීමට කෙනඩි සමත්වීය.

ඉක්බිතිව ඔවුන් සාකච්ඡාවට ලක්කළේ උපායමාර්ගික වශයෙන් දේශපාලනිකව හා හමුදාමය වශයෙන් බලතුනයක් ඇතිවීම පිළිබදවයි. හමුදා නායකයන්ගේ අදහස වූයේ ඉතා බැරෑරුම් ලෙස හමුදාමය බලතුනයක් මෙම මිසයිල කියුබාවේ ස්ථාන ගත කිරීමෙන් සිදුවූ බවයි. එහෙත් ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අදහස එයට වඩා වෙනස් එකක් විය. ඔහුගේ මතයව අනුව හමුදාමය වශයෙන් මෙයින් සිදුවූ බලතුනය අවම බව හා ඒ වනවිටත් ඇමරිකාව සතුව න්‍යෂ්ඨික හා වෙනත් විනාශකාරී අවි ශීර්ෂයන් 5,000 ක් පමණ ඇතිමුත් සෝවියට් සංගමය සතුව ඇත්තේ 300 ක් පමණ තරම් ප්‍රමාණයක් බවයි. එය ඔහු එදත් විශ්වාස කළ අතර එයින් වසර 28 කට පසුව එනම් 1990 දී වරක් ඔහුගෙන් විමසූ විට එදත් ඔහුගේ විශ්වාසය එයම විය. එහෙත් මුළු කමිටුවම මෙයින් දේශපාලනික වශයෙන් බලතුනයක් ඇතිකිරීමට හේතුවූ බවට එකඟවිය.

කෙසේවෙතත් ඇමරිකාවේ සිට  සැතපුම් 90 ක් දුරින් ස්ථානගත කර තිබූ මෙම මිසයිල වලට විනාඩි ගණනක් ඇතුලත ඇමරිකාවට කඩා වැදී මිලියන ගණනක ජනතාවක් ඇසිල්ලකින් විනාශ කිරීමේ හැකියාව තිබූ අතර මෙම ප්‍රහාරයක් එල්ල වුවහොත් නිරුපද්‍රිතව පවතින්නේ සියැටල් පමණක් බවද තහවුරු කෙරින.

ඔක්.18 වනදා ජනපති කෙනඩි, එවකට සෝවියට් විදේශ කටයුතු අමාත්‍ය Andrei Gromyko ධවල මන්දීරයේදී හමුවූ අතර මෙම අවි ස්ථානගත කිරීම පිළිබදව පවසා සිටියේ ලිස්සා යන සුළු පිළිතුරක් වූ අතර ආරක්‍ෂාව සදහා පමණක් වූ යන අරමුණ මත අවි ලබා දීම ගැන පමණක් පවසා සිටියේය.
ජනපති-විදේශ ඇමති හමුව
ඇමරිකානු ජනපතිවරයාද තමන් මේ වනවිටත් දැනසිටි කාරණා පිළිබදව සෝවියට් අමාත්‍යවරයාට හෙළි කිරීමක් සිදු නොකළේය. තවද ඇමරිකානු ජනතාවටද මෙම මිසයිල අර්බුදය පිළිබදව ඒවන විටත් හෙළි කිරීමක් සිදු නොකළ අතර ඒ එසේ වුවහොත් ඔවුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවීමට ඉඩ ඇති හෙයිනි.

ඔක්.19 දා  U-2 ඔත්තු බලන යානා වලින් තවදුරටත් ගන්නා ලද සේයාරූ විසින් තවත් මිසයිල අංගන 4 ක් පිළිබදව අනාවරණය කර ගත් අතර ඇමරිකානු හමුදා අංශ අවශ්‍ය ඕනෑම දැනුම්දීමකදී කියුබාව ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කිරීම ඇරඹූ අතර පළමුවන සන්නද්ද සේනාංකය ජෝර්ජියාව වෙත යැවීමටත්් තවත් හමදා සේනාංක පහකට හමුදා මෙහෙමුකට සූදානම් කිරීමටත් කටයතු යොදන ලදි. ගුවන් හමුදාවේදි ප්‍රහාරක යානා ගුවන් ප්‍රාහර එල්ල කිරීම සදහා අවශ්‍ය සූදානම් කිරීමද මෙලෙස ආරම්භ කෙරුනි.

ඔක්.20 දා පුරාවටත් කෙනඩි සහ ආරක්‍ෂක මණ්ඩලය සහ අනෙකුත් උපදේශකයන් මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කළත් මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකි නිශ්චිතම විසදුමක් පිළිබදව තීරණයකට එළඹීමට නොහැකිව සිටියෝය.

ඔක්.21 දා නැවතත් EXCOMM සහ උපදේශකයන් ජනපති සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට යොදා ගත් අතර  මෙම අර්බුදයට ගතහැකි මූලිකම විසදුම් දෙකක් ගැන මූලිකත්වය දෙනු ලැබීය.එනම්  ගුවන් මගින් අදාල මිසයිල ස්ථානගත කොට ඇති ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම හෝ නාවික හමුදාව යොදවා සෝවියට් දේශයේ සිට මිසයිල රැගෙන එන නෞකා අවහිර කිරීමයි.සම්පූර්ණ හමුදා බලය යොදවා කරන ආක්‍රමණයක් පළමු විකල්පය සදහා යොද නොගැනීම සුදුසු බවද සාකච්ඡා වුනි.

ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරීන්ගේ සභාපතිවරයා වන ජනරාල් මැක්ස්වල් ටේලර් විසින් මෙහිදී පවසා සිටියේ ගුවන් ප්‍රහාර වලින් කියුබාවේ ස්ථාපිත මිසයිල සියල්ලම විනාශ කිරීමට හැකිවෙතැයි තමන්ට 100% ක සහතිකයක් දීමට නොහැකි බවද පැවසීය.

ආරක්‍ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අදහසද වූයේ නාවික බාධකයක් යෙදවීම වඩාත් ශක්තිමත් එහෙත් සීමාවකින් යුතු විසදුමක් බවයි. එහෙත් බාධකයක් ("blockade") යන යෙදුම ගැටළුකාරී වීය. අන්තර්ජාතික නීතියට අනුව මෙවැනි බාධකයක් යෙදවීම යනු එක්තරා අතකින් යුද ප්‍රකාශ කිරීම හා සමාන විය. එහෙත් කෙනඩි පරිපාළනයේ විශ්වාසය වූයේ මෙවන් බාධකයක් යෙදවීම තුලින් සෝවියට් පරිපාළනය විසින් ඊට එදිරිව ප්‍රහාරත්මක ස්ථාවරයට නොපැමිණෙනු ඇති බවයි.

මේ අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශාරදයින් ගෙන හැර දැක්වූයේ මෙබදු අවස්ථාවක යුද තත්ත්වයක් ඇති වීම වැලකීමට අවශ්‍ය නීති විධිවිධානයන් ඇතිවූයේ කලකට ඉහත බිහිකළ රියෝ ගිවිසුම මගින් බවයි.  (මෙම ගිවිසුමට දකුණු ඇමරිකාවේ බහුතර රටවල් ප්‍රමාණයක් මෙන්ම ඇමරිකාවද ඇතුලත් වන අතර සාමාජික රටකට ඉන් පිටත රටකින් කිසියම් යුදමය බලපෑමක් ඇතිවුවහොත් සංවිධානයට අයත් රටවල් සියල්ල එක්ව එම බලපෑම පරාජය කිරීම මෙහි මූලික අරමුණක් විය. කෙටියෙන් රියෝ ගිවිසුම ලෙස එහි මූලික අරමුණු හැදින්වෙන මෙම සංවිධානය නියම වශයෙන් හදුන්වන්නේ Inter-American Treaty of Reciprocal Assistance ලෙසයි.1947 දී මෙම සංවිධානය පිහිටුවන ලදි.)

එසේම Organization of American States (OAS) නම් 1948 දී පිහිටුවා ගත් සංවිධානයේද සාමාජික රටවල 2/3 ක අනුමැතියෙන් ඇමරිකාවට හිතවාදී ලෙස නීති ආරක්‍ෂනයක් ලබා ගත හැකි බව මෙම නීතිය පිළිබදව විද්වතුන්ගේ මතය විය.


මේ අවස්ථාවේ හොදම මතය ඉදිරිපත් කළේ එවකට ඇමරිකානු නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් George Whelan Anderson විසින් වූ අතර ඔහුගේ මතය වූයේ "quarantine" යන තේමාව මේ සදහා යෙදීම සුදුසු බවත්,අන්තර්ජාතික මුහුදු සීමාවේදී සංග්‍රාමික යුද උපකරණ රැගෙන එන නෞකා අවහිර කිරීමට මේ යටතේ නීතිමය ආවරණයක් ලැබෙන බවත් ඔහුගේ මතය විය.  මෙම අදහසට ජනපති කෙනඩිගේද එකඟත්වය පළවූ අතර රියෝ ගිවිසුමටද යටත්ව ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේද අනුමැතිය යටතේ මෙම අවහිරතාවයන් ඇතිකිරීමේ ක්‍රියාමාර්ගය ගැනීමට කතිකා කර ගත්හ.

ඒ අනුව අදාල සංවිධාන වල රටවල සහභාගීත්වයෙන් යුතුව අදාල අවහිරතාවය ඇතිකිරීමට  ඔක්. 22 දා සිටම කටයුතු යෙදූහ.  එදින රාත්‍රියේ ජනපති කෙනඩි විසින් මෙම මිසයිල අර්බුදය පිළිබදව ප්‍රථම වරට ඇමරිකානු ජනතාවට දන්වා සිටීමද එරට සියළු රූපවාහිනී නාලිකා ඔස්සේ සිදුකෙරින.

මෙම දිනයේම තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. එනම් කාලයක් තිස්සේ සෝවියට් හමුදාවේ කර්නල් නිලයක් දරමින්ම ඇමරිකාව වෙත සෝවියට් රහස් සැපයූ කර්නල් ඔලෙග් පෙන්කොස්කි යන අයව සෝවියට් අත්අඩංගුවට පත්වීමයි. මොහු කාලයක් තිස්සේ සෝවියට් රහස් පමණක් නොව මෙම මිසයිල ස්ථාන ගත කර ඇති ස්ථාන නිශ්චිතවම ඔහු දන්වා එවා තිබුනි. තවද ඉහල හමුදා නිලයක් දැරූ ඔහුට නිරතුරුවම සෝවියට් දේශපාලන හා හමුදාමය වශයෙන් ඉහළ නිල දරන්නන් අසලටම යාමට හා ඔවුන්ගේ සිතුම්පැතුම් හදුනාගන්නටද පුළුවන්කම තිබූ නිසා ඔහු වැන්නෙකු සැපයූ රහස් සෑමවිටකම ඇමරකානු බුද්ධි අංශ වලට ඉතා වැදගත්විය. ඔහු මේ වෙනුවෙන් බලාපොරොත්තුව සිටියේ ඇමරිකානු හමුදාවේ ඉහල නිලයක් පසු කලෙක ලබා ගැනීමයි.  එහෙත් ඔහුගේ එම සිහිනය බොද කරවමින් මෙදින ඔහු සිරභාරයට පත්වූයේ නියත මරණ දඩුවමක වරප්‍රසාදයක් ලැබීමේ අවස්ථාවද සහිතවයි. ඔහුට මරණ දඩුවමෙන් මෙහා දෙයක් සෝවියට් පරිපාලනයෙන් නොලැබෙන බව ප්‍රථ්‍යක්‍ෂ කරමින් 1963 මැයි මාසයේදී ඔහුව ඝාතනයට ලක්කරනු ලැබීය.

ඔක්. 23 වනදා තුර්කියේ ඇමරිකානු තානාපතිවරයාට සහ නේටෝවේ ඇමරිකානු තානාපතිවරයාට කේබල් පණිවිඩියක් යවනු ලබන අතර එමගින් පවසනු ලබන්නේ  කියුබාවේ මිසයිල ඉවත්කිරීම වෙනුවෙන් තුර්කියේ සහ ඉතාලියේ ස්ථානගත කර ඇති ඇමරිකානු ජුපිටර් මිසයිල ඉවත්කර ගැනීමේ අදහසක් පවතින බවයි. කෙසේවෙතත් තුර්කි බලධාරීන් නම් මේ සම්බන්ධයෙන් මනාපයක් පළ කර නොමැති අතර කියුබාවද මේ අතරේ තම රටේ  ඇති අවි වෙනත් පාර්ශවයකට පරීක්‍ෂාකිරීමේ අවස්ථාවක් දීමට එකඟ නොවූ අතර ඒවා තමන්ගේ ආරක්‍ෂාව සදහා ඇති ඒවා බවට අවධාරණය කර සිටියේය.

එසේම කෙනඩි ජනපතිවරයා රූපවාහිනියෙන් තම රටවැසියන් අමතා උද්ගතව ඇති තත්ත්වය පිළිබදව පැහැදිලි කළ පසු අන්තර්ජාතිකවද දෙපාර්ශවයට සහය දක්වන්නන් සිටයෝය. චීනයේ පුවත්පත් තම රටේ හැටපන් කෝටියක් වූ මිනිසුන් කියුබාවට සහය දක්වන බව පවසද්දී, බටහිර ජර්මනියේ පුවත්පත් ඇමරිකාවට පක්‍ෂව සිටියෝය. එපමණක් නොව ප්‍රංශයද සිය සියළුම පුවත්පත් වල මේ සම්බන්ධයෙන් ලිපි පළ කර සිටියේ වැඩි බරක් ඇමරිකාවට පක්‍ෂවය.

මේ අතරවාරයේ මෙම අර්බුදයද විසදුමක් නොමැතිව නොවෙනස්ව පවතිද්දී ඔක්.24 වනදා එවකට සෝවියට්දේශයේ ප්‍රධාන ප්‍රවෘත්ති ඒජන්සිය වූ ටාස් ඒජන්සිය මගින් කෲෂේව් කෙනඩි වෙත ටෙලිග්‍රෑමයක් එවනු ලබයි. එමගින් ඔහු කෙනඩිට චෝදනා කරන්නේ ඇමරිකාව නාවික බාධකයන් පැනවීම වැනි නීතිවිරෝධී ක්‍රියාමගින් යුද්ධයකට පාරකබනු ඇති බවටයි. තවද ඇමරිකාව විසින් ඉල්ලනු ලබන හිතුවක්කාර කොන්දේසි හමුවේ සෝවියට් දේශයට සිය පියවර ආපස්සට ගත නොහැකි බවත් උක්ත නාවුක බාධකයන් පිළිබදව තමන් තැකීමක් නොකරන බවත්ය.

තත්ත්වය තවත් උග්‍රවනු මිස විසදුමකට සෝවියට් පාර්ශවයද නොයන බව පෙනෙන නිසාදෝ ඇමරිකාව හදිස්සියේම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමක් කැදවීමට ඉල්ලීමක් ඔක්.25 වන දින කරන ලදි. මෙහිදී එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිතයා වන Adlai Stevenson විසින් සෝවියට් තානාපතිවරයා වන Valerian Zorin වෙත කෙලින්ම කියුබාවේ මිසයිල තිබේද? නැත්ද? යන වගට ඍජුවම පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලුවත් එය ඔහුවිසින් පිළිතුරුදීම ප්‍රතික්‍ෂේප කරන ලදි. මේ අවස්ථාවේ ඇමරිකාව විසින් ගුවනින් අදාල මිසයිල අංගනයන් සහ ඒවායේ ස්ථාපනය කර තිබූ මිසයිල පිළිබදව ඡායාරූප ආරක්‍ෂක මණ්ඩලයේදී ප්‍රදර්ශනය කළ විට සෝවියට් නියෝජිතයා නිරුත්තරවිය.
ආරක්‍ෂක මණ්ඩලයේදී සෝවයට් - කියුබන් රහස් ගණුදෙනු හෙළිවීම

ඔහුට තවදුරටත් තමන්ගේ විසින් කියුබාවේ ස්ථාපනය කළ සහ දැන් ලෝකයටම න්‍යෂ්ඨික භීතිකාවක් ගෙනදුන් ගැටළුවේ මූලිකයන් තමන් බව සඟවාගෙන සිටීමේ හැකියාවක්ද නොවීය.
http://en.wikipedia.org/wiki/Adlai_Stevenson_II

Adlai Stevenson ගැන යමක් පවසන්නේ නම් ඔහු ඇමරිකානු දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයෙකි. ජනපති කෙනඩිට වඩා වයසින් මෙන්ම අත්දැකීම් හා දේශපාලනයෙන්ද මුහුකුරා ගිය ඔහු 1952 සහ 1956 යන දෙවතාවේදීම ඩිමොක්‍රැටික් පක්‍ෂ අපේක්‍ෂකයාද විය. එහෙත් ඔහු ඒ දෙවරම ජනප්‍රියත්වයෙන් ඉහළින් සිටි ඩිවයිඩ් ඩී අයිසන්හවර් හට පරාජය වූ අතර තෙවන වරටත් 1960 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට පක්‍ෂයෙන් නාමයෝජනා ඉල්ලුවත් එවර මැන්චුසෙට් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයකු වූ ජෝන් එෆ් කෙනඩි හට පරාජයවිය. කෙසේනමුත් කෙනඩි විසින්  Adlai Stevenson ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයා ලෙස පත්කිරීම ඉතා කාලෝචිත තීරණයක් විය. ඔහු සතුව තිබූ රාජ්‍යතාන්ත්‍රික ඥාානය, චතුර කතිකත්වය, තැනට සුදුසු ඥානය වැනිදා මෙවන් අවස්ථාවක ඇමරිකාවට අත්‍යාවශ්‍යම සාධකයක්විය. සැබැවින්ම ලෝකයේ බොහෝ රටවල් ආදර්ශයට ගතයුත්තේ මෙවැනි පුද්ගලයන් අවශ්‍ය තැනට පත්කිරීමට වග බලා ගැනීමයි.

ඔක්.25 වනදා කෙනඩි විසින් කෲෙෂ්ව් විසින් එවූ ටෙලිග්‍රෑමයට ප්‍රතිචාරය ලෙස දක්වා සිටියේ කියුබාවේ සෝවියට් දේශයේ නිෂ්පාදිත සංග්‍රාමික මිසයිල නැති බවට දිගින් දිගටම සහතිකයක් ලබා දුන්නත් යම් හෙයකින් එය අසත්‍යයක් වුවහොත් එයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි.

ඊලඟ දිනයේ එනම් ඔක්.26 වනදා උදෑසන 10 පමණ වන විටම ඇමරිකාව විසින් යුද සූදානම තවදුරටත් ඉහළ දමමින් සීතල යුද සමයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරක බලඇනියක් ලෙස ස්ථාපනය කර තිබූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් Strategic Air Command (SAC forces) සේනාංකයට ඇමරිකානු යුද සූදානමේ මට්ටම් 2 යටතේ යුද සූදානමට පත් කරන ලදි (Defense readiness condition 2 - DEFCON2).

(ඇමරිකාව විසින් 1947 සිට සීතල යුද්ධය අවසන්වූ කාලවකවානුව වන 1992 දක්වා කාලය තුළ සිය ගුවන් හමුදාවේ සේනාංකයක් ලෙස පවත්වාගෙන ගිය  Strategic Air Command (SAC forces) බලඇණිය විශේෂිත වූ එකකි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය අතරට ගොඩබිම් ඉලක්කවලට ගුවනින් බෝම්බ දැමීම පරිපාළනය, අන්තර්මහද්වීපික මිසයිල පරිපාළනය, ගුවනේදීම තම සහෝදර ගුවන් යානාවලට ඉන්ධන ලබා දීම, උපක්‍රමිකව ගුවන් මෙහෙයුම පිරික්සුම යනාදිය අයත්වේ.)
http://en.wikipedia.org/wiki/Strategic_Air_Command

(DEFCON2 යන මට්ටමට යුද සූදානම නංවනු ලුැබුවේ ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම කියුබානු මිසයිල අර්බුදයේ 12 වන දිනය වන මෙම ඔක්.26 වනදාය. වරකට කිලෝ ග්‍රෑම් 32,000 ක පමණ බෝම්බ රැගෙන යා හැකි  B-52 යානා වලට අකණ්ඩ විමසිල්ලක (continuous airborne alert) තැබූ අතර මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙලන යානා වන B-47 යානා ඇමරිකාවේ වූ හමුදාමය සහ සිවිල් ගුවන් තොටුපල වලට යවා සීරුවෙන් තබන ලද අතර මෙම යානා සියල්ල මුළුමනින්ම සන්නද්ධ කොට මිනිත්තු 15 ක කෙටි දැනුම්දීමකින්ම ප්‍රහාර සදහා පිටත්වීමට සූදානමේ තබනු ලැබූහ.

Strategic Air Command සේනාංකයට අයත් වූ සමස්ථ යානා 1,436 ව් 1/8 ක් එනම් යානා 180 ක් පමණ මේ අනුව යුද සූදානමේ පවත්වාගෙන යනු ලබනවාට අමතරව අනතර් මහද්වීපික බැලස්ටික් මිසයිල 145 ක්ද සූදානමේ තබන ලදි. මෙම යුද මට්ටම කෙතරම් බැරෑරුම්ද යත් 161 ක් වූ න්‍යෂ්ඨික බලය ඇති අවි ප්‍රමාණයක්ද පැය නවයක් ඇතුලත අදාල ස්ථාන වෙත ගෙන යාමට කටයුතු යෙදූ අතර ඒවාද මිනිත්තු 15 ක පෙර දැනුම්දීමකදී ප්‍රහාර සදහා නිකුත්කිරීමට බල ගන්වන ලදි.

එපමණකින් නොනැවතුන ඇමරිකානු හමුදා යාන්ත්‍රණය තවත් න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ B-52 ගුවන් යානා 23 ක් සෝවියට් දේශයට පහර දිය හැකි සීමාවේ සීරුවෙන් තබන ලද්දේ මෙම යුදමය තත්ත්වය උග්‍රඅතට පත්වුවහොත් න්‍යෂ්ඨික අවි වලින් සෝවියට් දේශයටද පහරදීමේ අරමුණනි. පසුකලෙක හෙලිවූයේ මෙම යුද්ධය ඇතිවුයේ නම් SAC සේනාංකයට අයත් ගුවන් යානා වලින් 80% ක් මෙම සංග්‍රාමයට සම්බන්ධවීමට සූදානමේ තබා තිබු බවයි.)
http://en.wikipedia.org/wiki/Boeing_B-52_Stratofortress
http://en.wikipedia.org/wiki/Boeing_B-47_Stratojet

(DEFCON මට්ටම් ගත් විට එය මට්ටම් 5 කින් යුතුවූවකි. ඇමරිකානු යුද යාන්ත්‍රණය අවශ්‍ය අවස්ථාවක කාර්යක්‍ෂ ලෙස හා ක්‍රමාණුකූලව හැසිරවීම පහසුකරනු පිණිස ක්‍රියාත්මක කරන මෙහි කොන්දේසි, කේතයන්, එයට අදාල සවිස්තරාමක මෙහෙයුම් මාර්ගෝපදේශනය, අදාල මට්ටම් පැහැදිලිව දැක්වීමට වර්ණයන් යනාදියෙන් සමන්විතය. මෙය පිළිබදව තොරතුරු හෙළිකරන ලද්දේ 2006 තරම් මෑත කාලයකදී වීමද විශේෂත්වයකි.

 DEFCON මට්ටම් 5 අවම අගය වන අතර 1 යනු ඉහළම මට්ටමයි. ඒ 1 වන අවස්ථාව උදානොවීම ලෝකයේම වාසනාවක් වු අතර එම මට්ටම පිහිටුවන ලබන්නේ න්‍යෂ්ඨික යුද තත්ත්වයක් ඇති වුවහොත්ය.මෙහදී ඇමරිකානු ඉතිහාසය තුල ඉහළම DEFCON අගය එනම් 2 ට පත්වූයේ උක්ත මිසයිල අර්බුදයේදී වන අතර මෙම මට්ටමේදීද මූලිකම අරමුණ ඊලඟ පියවර වන න්‍යෂ්ඨික යුද්ධයට සූදානම් වීමයි.

මීට අමතරව ඇමරිකානු ඉතිහාසය තුළ DEFCON 3 අවස්ථාවට පත්වූ අවස්ථා දෙකක් වාර්තාවේ.  එනම් 1973 දී ඇතිවූ Yom Kippur War නැතහොත් 1973 Arab–Israeli War අවස්ථාවේදීද ඊශ්‍රායලයට අවශ්‍යවුවහොත් යුදමය සහය ලබාදීමට ඇමරිකාවුද සූදානම් සිටි අතර ඒ අවස්ථාවේදී මෙම මට්ටම් 3 අගය සක්‍රීය කර තිබුනි. තවද මෙම මට්ටම සක්‍රීය කළ අවසාන අවස්ථාව වූයේ 2001 සැප්තැම්බර් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවයි. මෙහිදී මටටම් 3 අගයට අමතරව අවශ්‍ය ඕනෑම මොහොතක මට්ටම් 2 ට එය නැංවීමට අවශ්‍ය පෙරසූදානමද තබන ලදි. එහෙත් එම අවස්ථව උදා නොවුනි.එසේම මෙම ලිපියේ මීට ස්වල්ප මොහොතකට පෙර පැවසූ DEFCON 2 අවස්ථාව SCS සේනාංකයට බලපාද්දී අනෙකුත් සියළුම ඇමරිකානු සන්නද්ධ අංශ DEFCON 3 අවස්ථාවේ තබන ලැබූහ.)
http://en.wikipedia.org/wiki/DEFCON
http://en.wikipedia.org/wiki/Yom_Kippur_War

කෙසේවෙතත් මෙවන් යුද තත්ත්වයක් ප්‍රකාශයනයට පත් කළ ඔක්.26 වනදා රැස්වු EXCOMM රැස්වීමේදීද කෙනඩි අවධාරණය කර සිටියේ සංග්‍රාමික මෙහෙයුමකින් පමණක් මිසයිල කියුබාවේන් ඉවත් කළ හැකිමුත් දේශපාලනික වශයෙන්ද පීඩනයක් ඇතිකිරීම මෙම ගැටළුව තවදුරටත් කාර්යක්‍ෂමව විසදා ගැනීමට ඉවහල්වනු ඇති බවයි. තවද දැවැන්ත යුද සූදානමක් පවතිද්දී පහළ මට්ටමින් අදාල මිසයිල පිහිටුවා ඇති කියුබානු දූපතට ඉහළින් අඩු උස් මට්ටමකින් යුද ජෙට් යානා පැය දෙකකට වරක් පියාසර කරවා තවදුරටත් යුද පීඩනය කියුබාව වෙත ඇති කිරීමටද නියෝග දෙන ලැබූවේය. එපමණක් නොව යුද මෙහෙයුමක් ඇති වුවහොත් ඉන්පසුව බිදවැටෙන කස්ත්‍රෝ පාළනයේ හිදැස පිරවීමට නව සිවිල් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිධානයන් ඇතිකිරීමට අවශ්‍ය පියවරයන්ද ගන්නා ලෙස නියෝග කළේය.
ඔක්.26 දා එසේ කටයුතු රාජ්‍ය තාන්ත්‍රිකව හා යුදමය වශයෙන් ක්‍රියාත්මක වෙද්දී තරයෙන් පිටුපස සිට මෙම අර්බුදය විසදා ගැනීමේ තවත් ක්‍රියාමාර්ගයක් නිලනොවන වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතියේය. 

එම රහස මෙහෙයුම කුමක්දැයි ඊලඟ ලිපියේදී බලමු....

මූලාශ්‍ර -
Cold War - Cuba (TV Documentary Series)
Secret of War - (TV Documentary Series)
http://en.wikipedia.org/wiki/Cuban_missile_crisis#Secret_negotiations
http://www.cubanmissilecrisis.org/background/frequently-asked-questions/#1

Tuesday, November 5, 2013

අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... - 1

ඔහු ඇමරිකාවේ 35 වන ජනපතිවරයායි. තවද 20 වන සියවසේදී උපත ලැබූවකු ප්‍රථමවරට ජනපතිපුටුවට පත්වූයේද ජෝන් එෆ් කෙනඩි හෙවත් JFK ලෙස ලොවම දන්නා මෙම සිය දියණිය සමග ලැබුන විවේකයේ තේපානය කරමින් සිටිනා මිනිසා පත්වූ පසුවයි. එසේම වයස අවුරුදු 43 දී ජනපතිවරයා ලෙස පත්වූ ඔහු තියෝඩෝර් රුස්වෙල්ට්ට පසුව එම තනතුරට පත්වූ ලාබලාතමයා වූයේය. ඒ තියොඩෝර් රුස්වෙල්ට් ජනපතිපුටුවට පත්ව තිබුනේ වයස අවුරුදු 42 දී නිසාය.

එපමණක්ද නොවේ ඒ වන විටත් සෙනෙට් සභිකයෙකු වූ කෙනඩි, ඩිමොක්ක්‍රැටික් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පරාජය කරනු ලැබුවේද එසේමෙසේ අයකු නොව ඒ වන විටත් වසර අටක් පුරාවටම උප ජනාධිපතිවරයාලෙස සේවය කළ රිචඩ් නික්සන් නම් වූ දේශපාලනයේ උපක්‍රමශීලීත්වය මැනවින් ප්‍රගුණ කර සිටි දේශපාලනඥයායි. තවද රිචඩ් නික්සන් උපජනපති ලෙස සිටි කාලයේ ඔහුගේ ප්‍රධානියා නැතහොත් ජනපතිවරයා ලෙස සේවය කළේ ඇමරිකාවේ බිහිවූ අතිදක්‍ෂ හමුදා නිලධාරියෙකු මෙන්ම සාර්ථකම ජනපතිවරයෙකු ලෙස සලකන ඩිවයිට් ඩී අයිසන්හවර් බවත් අමතක නොකළ යුතුයි.

ඇමරිකාවේ පමනක් නොව ලෝකයේම බහුතරයක් අතර කඩවසම්ම හා ආකර්ශනීය පුද්ගලයෙක් ලෙස නමක් දිනා සිටි JFK ගේ ධූරකාලය නම් ඔහුට පමණක් නොව ලෝකයටම එතරම් සුන්දර නොවූයේ 1961 සිට 1963 නොවැම්බර් 23 දා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් මිය යන තෙක් ඇමරිකාවේ-සෝවියට් බල අරගලය හමුවේ කියුබාවේ, නැගෙනහිර ජර්මනියේ හා වියට්නාමයේ මෙන්ම ඇමරිකාව තුලත් පැනනැගුන කළුජාතීන්ගේ අයිතීන් උදෙසා වූ සංවිධානවල ක්‍රියාකාරීත්වය නිවීහැනහිල්ලේ ජනපති ධූරයේ වැඩකිරීමට ඔහුට සැබෑවටම බාධාවක් වන්නට ඇති නිසාය.

1917 මැයි 29 වනදා ඇමරිකාවේම උපත ලැබූ ජෝන් එෆ් කෙනඩි ගේ මුතුන්මිත්තන්ගේ මුල්බිම ලෙස සැලකෙන්නේ අයර්ලන්තයයි. මුලින් ඇමරිකානු හමුදාවට බැදීමට ගියත් කොන්දේ ඇති ආබාදයක් නිසා එයින් අසමත්ව 1941 දී ඔහු ඇමරිකානු නාවික හමුදාවට බැදී දෙවන ලෝක යුද සමයේ 1945 දක්වා එහි සේවය කරනු ලැබ තිබෙනවා. ඉන්පසුව දේශපාලනයට පිවිසි ඔහු මැන්චුසෙට් ප්‍රාන්තය වෙනුවෙන් The United States House of Representatives හි 1947 සිට 1953 දක්වා නියෝජිතයෙකු ලෙසත්, 1953 සිට 1960 දක්වා එම ප්‍රාන්තය වෙනුවෙන් සෙනෙට් සභිකයෙකු ලෙසත් පත්ව තිබෙනවා.

පෞද්ගලික දිවිය ගතහොත් 1953 Jacqueline Bouvier නම් සුරූපී තරුණිය සමග විවාහ දිවියට එළඹෙන අතර ඔවුන් දරුවන්සිව් දෙනෙකුගේම මව්පියන් වීමට වරම් ලැබුනත් එයින් දරුවන් දෙදෙනෙකුම කුඩා වියේදීම මිය යාමත් සිදුව තිබෙනවා.
කෙනඩි-ජැකී මඟුල් දිනයදා...

කෙනඩියේ දිවිය පුරාවටම විවිද රෝගාබාද වලින් ඔහුගේ එදිනෙදා කටයුතු අවුල්කර දැමුවත් ඒවා බොහෝමයක් බාහිර ලෝකයෙන් සඟවා තබා ගැනීමටත් ඔහු සහ ඔහුගේ පවුලේ අය වගබලා ගෙන තිබෙනවා.

තවත් කෙනඩි නාමය ඇමරිකානු දේශපාලනයේදී හා රාජ්‍ය සේවයේදී අසන්නට ලැබෙනවා. ඒ තමයි ජෝන් එෆ් කෙනඩි ගේ සොහොයුරෙකු වන රොබට් එෆ් කෙනඩි (RFK) පිළිබදවයි. ඔහු තම වැඩිමහළු සහෝදරයා ජනාධිපති ලෙස සේවය කරද්දී ඔහුගේ දකුණු අත ලෙස පවා විටෙක ක්‍රියාකරමින් 1961 සිට1964 දක්වාඑරට නීතිපතිවරයා ලෙස කටයුතු කළ අතර  සහෝදරයාගේ වියෝවෙන් පසුව 1965 සිට 1968 දක්වා නිව්යෝර්ක් ප්‍රාන්තය වෙනුවෙන් සෙනෙට් සභිකයෙකු ලෙසද පත්ව දේශපාලනයේ නිරත වී 1968 දී ජනාධිපතිවරණ අපේක්‍ෂකයාලෙස රැස්වීමක් ඇමතීමට කැලිෆෝර්නියා වෙත ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියයන්නේ ඉතා අවාසනාවන්ත අන්දමිනුයි.

JFK විවිද රෝගාබාද වලින් පෙලුනත් ඔහුගේ “ආදර ජීවිතය“ නම් සුරූපිනියන් රැසක් සමගම ඈදී තිබෙන බව පැවසෙනවා. එයින් ලෝක ප්‍රසිද්ධම සම්බන්ධතාවයක් නම් ඇමරිකානු සුරූපී නිළියක වූ මැරිලින් මොන්රෝ සමග තිබූ සබදතාවයයි. අනෙක් අතකින් කියවෙන්නේ JFK පමණක් නොව ඔහුගේ සහෝදරයා වන RFK පවා මෙම තැනැත්තිය සමග සබඳතාවයක් පැවැත්වූ බවයි. කෙසේවෙතත් තමන්ට නොපෑහෙන අය සමග සබඳතාවයන් පැවැත්වීමෙන් වන්දිගෙවන්නටත් සිදුවූයේ මැරිලින් මොන්රෝ හටයි.

සිනමා ජීවිතයේ සාර්ථකත්වයක් තිබුනත් පෞද්ගලික ජීවිතයේ කුණටු මැද ජීවත්වූ මැරිලින් මොන්රෝ සිය දිවිය වසර 36 තට සීමා කර ගනිමින් 1962 අගෝස්තු 05 වනදා මිය යන්නේ නිදි පෙති පානය කර සියදිවි නසා ගැනීමෙන් බව වෛද්‍ය වාර්ථාවල පැවසුනත්, එයට කෙනඩි සහෝදරයන්ගේ නමද දූශමානව ඈදි ඇති බව ලෝකයට නොරහසක් නොවේ. බොහෝවිට සිදුවන්නට ඇත්තේ කෙනඩි සොහොයුරන් “රුධිරය“ සිය අත්වල ගා නොගත්තත් විශේෂයෙන් ඇමරිකානු ජනපතිවරයා තමන්ගේ තත්ත්වයට නොගැලපෙන කාන්තාවන් හා අයුතු සම්බන්ධතා පවත්වාගැනීම තනතුරේ ගරුත්වයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට හා ඔහුගේ ආරක්‍ෂාවට ඇති හානිකර බව වටහා ගනිමින් එරට රහස් ඒජන්සියක් විසින්ම මෙම අවාසනාවන්ත සිදුවීමට දායකත්වය සපයන්නට ඇති බවයි.

එපණක් නොව තවත් කාන්තාවන් කිහිප දෙනෙකු සමගම ජනපති කෙනඩි සම්බන්ධතාවයන් පවත්වා තිබෙන අතර මේවා සමහර විට හිසරදයක්ව පවතින්නට ඇත්තේ ඔහුගේ බිරිඳටත් වඩා FBI, CIA, NSA වැනි එරට රහස් පොලීසිවලට විය හැකියි.
JFK's Women focuses on his relationships with four 'dangerous' women during his Presidency – Marilyn Monroe, Ellen Rometsch, Mariella Novotny and Judith Campbell. All four were seen as security risks by the FBI, three because of alleged Communist connections, and one because of her close links to senior Mafia bosses. http://www.cbc.ca/documentaries/passionateeyeshowcase/2010/jfkwomen/

එසේම Ellen Rometsch වැනි ජර්මානු සම්භව්‍යක් ඇති සහ නැගෙනහිර ජර්මන් ඔත්තුකාරියක ලෙස පවා සැලකෙන තැනැත්තියක හා සබඳතාවයන් පැවැත්වීම විටෙක ඔහුගේ තනතුර පවා නැතිවී යාමට ආසන්නට වීමට හේතුවිය. ඒ ඔහුගේ ප්‍රතිවාදීන් සියළු කාරණා සොයා ගෙන එය කොන්ග්‍රස් මණ්ඩලයේදී ප්‍රශ්න කර මෙවැනි ජාතික ආරක්‍ෂාවට පවා හානි විය හැකි සබඳතාවයන් පවත්වන්නෙකු ජනපති තනතුරේ සිටීම නුසුදුසු යයි තීරණය කොට ධූරයෙන් පහකර දැමීමටයි.

මේ බැරෑරුම්ම අවස්ථාවේ කෙනඩියේ පිහිටට ආවේ ඔහුගේම සොහොයුරායි. ඔහු ඒ සදහා සහයට එවකට FBI ආයතනයේ ප්‍රධානියා සහ එම ආයතනයේ පළමු අධ්‍යක්‍ෂකවරයා ලෙසද සැලකෙන ජේ එඩ්ගාර් හූවර් යොදවා ගත් අතර ඔහු සිය අපූරු වෘතීය දැනුම හා උපක්‍රමයන් ඒ සදහා භාවිතා කළේය. 

FBI  ප්‍රධානියා ගැන යමක් පවසනවා නම් ඔහු 1895 තරම් ඈත කාලයක උපත ලැබූ වෘතීය මෙන්ම පෞද්ගලික ජීවිතයේද හොදින් තෙම්පරාදු වූ අයෙකු විය. නීතිය පිළිබදව ශාස්ත්‍රපති උපාධිය හමාර කිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණි අතර 1919 දී ආරම්භ කළ විමර්ශන බියුරෝවේ බුද්ධි අංශ ප්‍රධානියා වූයේද ඔහු වූ අතර 1920 දශකයේ ඇමරිකානු පාතාල ලෝකය මැඩලීමේ ව්‍යාපාරයේද පෙරපෙළ පුරෝගාමී චරිතයක් විය.

1924 දී එහි 6 වන අධ්‍යක්‍ෂකවරයාද වන ඔහු 1935 දී ෆෙඩරල් විමර්ශන බියුරෝව පිහිට වූ පසු එහි ආරම්භක අධ්‍යක්‍ෂකවරයාද බවට පත්ව 1972 දී මිය යන තාක්කල් වසර 37 ක් එම තනතුරේ අකණ්ඩව සිටීමට තරම් ප්‍රභල වූ චරිතයක් විය. ඔහුට වඩා නිල බලයෙන් ඉහළ සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් පවා ඔහු පිළිබදව සැකයෙන් සහ බියකින් සිටියේ ඔහු රටේ ප්‍රධාන පුරවැසියන් සියල්ලකගේම පාහේ රහස් අඩංගු ගොනුවක් වෙන වෙන කෙනාටම අදාලව පවත්වාගෙන ගිය නිසා බවද ප්‍රසිද්ධ රහසකි.


කෙනඩිගේ මෙම ගැටළුව පුපුරා යාමට ආසන්න වූ අවස්ථාවේ ඔහුව "දඬුකදේ" ගැසීමට  බලාසිටිි රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙටවරුන් හමුවූ හූවර් මෙම ගැටළුව පිළිබදව ඉදිරි කටයුතු  තවදුරටත් සිදුනොකරන ලෙසත්, එයට කන් නොදුනහොත් රිපබ්ලිකන්වරු සියල්ලන්ගේම අයථා කටයුතු පිළිබදව තමන් සතුව ඇති ගොනු එළියට දමන බවත් පැවසීය. එසැනින් "කාගේ කාගෙත් කිල්ලොට හුණු පොඩ්ඩ පොඩ්ඩ හෝ ඇති නිසා" කෙනඩි දඩයම් කරන්නට ගොස් තමන් අමාරුවේ වැටෙන එක වලකා ගැනීම වඩාත් කාලෝචිත කාරණය වූ හෙයින් කෙනඩිට එරෙහිව තිබූ චෝදනාව එයින්ම යටපත්විය. මේ කටයුතු සිදුවන අතරවාරයේ සිද්ධියට සම්බන්ධ අනෙක් ප්‍රධාන චරිතය වන Ellen Rometsch ව පිටුවහල් කිරීමට රොබට් කෙනඩි විසින් කටයුතු යොදන ලදි.
Ellen Rometsch

http://www.crimemagazine.com/president-and-prostitute-jack-kennedy-and-ellen-rometsch
http://en.wikipedia.org/wiki/Ellen_Rometsch

Hoover also knew of another of Kennedy's affairs. This time it was with Ellen Rometsch, a twenty-seven-year-old German-born call girl. Bobby Baker, the Senate secretary to the Democrats, was responsible for their introduction. Although it was a short-term fling, Rometsch became a frequent visitor to the White House for naked pool parties during the spring and summer of 1963. On July 3, Hoover informed Bobby that Rometsch might be a spy. On August 21, Bobby had her deported back to West Germany.
http://www.netplaces.com/john-f-kennedy/the-personal-side-of-john-f-kennedy/an-unfaithful-husband.htmමේ

කෙනඩිගේ පෞද්ගලික ජීවිතයේ එලෙස ගැටළු පැනනගිද්දී ඔහුගේ ජනපතිධූරයේ වැඩ ආරම්භ කළ අවධියේ සිටම විවිධාකාර බාධකවලට මුහුණ දීමට සිදුවුනා. ඔහු බලයට පත්වූ 1961 වසරේ අප්‍රේල් මාසයේ 17-19 දක්වා සිදුවූ සිදුවීමකින් ඔහුට මෙන්ම ඇමරිකාවටද සිදුවූයේ ලැජ්ජාවක්.  ඒ එම දිනවල පූර්ණ වශයෙන් CIA මැදිහත් වීමකින් සිදුවූ The Bays of Pigs මෙහෙයුම නිසයි. අැත්තෙන්ම මේ මෙහෙයුම කෙනඩිගේ සැලසුමකට හෝ කෙනඩිගේ අවශ්‍යතාවයකට දියත් කළ මෙහෙයුමක් නොවෙයි. මෙම මෙහෙයුම සැලසුම් වන්නේ 1960 මාර්තු තරම් ඈත කාලයකයි. ඒ කෙනඩිට පෙර ජනාධිපති තනතුරේ සිටි අයිසන්හවර් ජනපතිගේ උවමනාවෙන්. 

සත්‍යවශයෙන්ම ඔහුට ඇමරිකාවට ආසන්නයේ තිබූ කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝ පාලනය ගැන මනාපයක් නොවූ අතර කෙසේ හෝ එම පාලනය බිද වට්ටවා දැමීමේ උවමනාවක් ඔහුට තිබුනා. මේ වෙනුවෙන් ඔහු මෙහෙයමුක් දියත් කිරීමේ වගකීම ලබාදුන්නේ පස්වන CIA ප්‍රධානියා වන Allen Welsh Dulles හටයි. ඔහුගේ සහ ඔහුගේ දෙවැනියෙකු වූ Richard Mervin Bissell විසින් සැලසුම් කළ මෙහෙයුම වූයේ කියුබාවේ කස්ත්‍රෝ පාළනය හා උරණව ඇමරිකාවුට පළාවිත් සිටි කියුබන් ජාතිකයන් හට අවි පුහුණුව ලබා දී ඔවුන් සන්නද්ධව හොර රහසේ කියුබාවට ගොඩබස්සවා එහිදී ක්‍ෂනික ප්‍රහාරයක් කියුබානු හමුදා වෙත එල්ළ කොට ඔවුන් අඩපණ කිරීමයි. 

එසේම කියුබාවේ ඒ වනවිටත් කස්ත්‍රෝ පාළනය ගැන කළකිරීමෙන් සිටි කියුබානුවන්ද මේ පිරිස හා එක්වි කස්ත්‍රෝ පාළනය බිද දමනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූවා. එසේම ඇමරිකාවේ මියාමි හි සිටි මෙම කියුබන් සරණාගතයන් අතරින් කියුබානු ගුවන් හමුදාවේ සේවය කළ ගුවන් නියමුවන් යොදවා ෙගන කියුබානු ගුවන් හමුදා යානා ලෙස සැරසූ ගුවන් යානා වලින් කියුබානු හමුදාවලට පහර දීමෙන් ගොඩ බසින් සේනාවන්ට සහය වීමද ඒ සැලසුම් අතර වූවා. මෙම මෙහෙයුම සදහා ඩොලර් මිලයන ගණනින් වැය කරමින් මුලින් කියබානු ජාතිකයන් 300 ක් පුහුණු කරන්නට අදහස් කළද පසුව එය 1400 ක් දක්වා වැඩි දියුණු වී තිබුනා.මෙම පිරිස පුහුණු කරනු ලැබුවේ දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාව තුළදීය.

කෙසේවෙතත් කෙනඩි බලයට පත්වූ පසුව මෙම මෙහෙයුම දියත් කිරීම පිළිබදව CIA ප්‍රධානියා ඔහුව දැනුවත් කළ විට ඊට විරුද්ධවූවත් දැන් එයට ප්‍රමාද වැඩි බව රහස් ඔත්තු අංශ ප්‍රධානිය නව තරුණ ජනපතිවරයාට සැල කර සිටියේ එයින් අායුධ පුහුණුව ලැබූ කියුබානුවන් ඇමරිකාවේ සිටීම ඇමරිකාව තුළ දේශපාලනික ගැටළු ඇතිකිරීමට හේතු වේ යන්න හා කෙනඩිට පෙර සිටි අයිසන්හවර් ජනපතිවරයා ගත් විට ඔහු දෙවන ලෝක යුද සමයේ බටහිර යුද පෙරමුණේ සටන් වැදී සිටි සියළුම හමුදාවන්ගේ සුපිරි අණදෙන්නා වූ අතර ඔහු ඇමරිකාවේ බිහිවූ තරු පහේ ජනරාල්වරු අතලොස්සේද ප්‍රමුඛතම අයෙකි. එහෙත් කෙනඩි ගත් විට ඔහු දෙවන ලෝක යුද සමයේ වසර පහක් පමණක් සේවය කළ ලුතිනන්වරයෙක් පමණකි. ඒ අතින් ගත්විට අයිසන්හවර් ගේ තීරණයන් හා සැලසුම් නිවැරදි හා කෙනඩිද අනුගමණය කළ යුතුබව CIA ප්‍රධානියා දන්වා සිටි බව Secret of War වැඩසටහන් මාලාවේදීද සටහන් වේ.

සුැලසුම්කළ යුද මෙහෙයුම දියත් වූ අතර අප්‍රේල් 15 උදෑසන 6 ට පමණ වනදා ගුවනින් කියුබානු ගුවන් ධාවන පථයන් වෙත කියුබානු ගුවන් හමුදා යානාමෙන් සැරසූ ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර එදින දහවල් 10 ට පමණ රැස්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමේදී ඇමරිකාව තමන්ට ගුවනින් ප්‍රහාර එල්ල කළ බව කියුබානු විදේශ අමාත්‍යවරයා සැළ කර සිටි අතර ඇමරිකානු නියෝජිතයා ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප කරන ලදි. සත්‍යවශයෙන්ම සිදුව තිබුනේ ඔහු ඒ බව දැන ප්‍රතික්‍ෂේප කළා නොව මෙවන් මෙහෙයමුක් දියත් වන බව CIA සංවිධානය ඔහුව දැනුවත් කිරීමක් සිදුනොකර තිබූ බැවිනි. එම නියෝජිතයා මේ පිළිබදව තමන් දැනුවත් නොකළ බවට එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Rusk හටද චෝදනා කර සිටි අතර කෙනඩි ජනපතිව මේ පිළිබදව දැනුවත් කළ පසු ඉදිරි ගුවන් මෙහෙයුම් අවලංගුකිරීමටද කටයුතු යොදන ලදි.

එහෙත් යොදා ගත් පරිදි අප්‍රේල් 17 වනදා අදාල ගොඩබිම් මෙහෙයුම සදහා මුහුදේ සිට බෝට්ටු මගින් පුහුණු කරන ලද කියුබානු ජාතිකයන් ගොඩබැස්සවීමට කටයුතු කළද, මෙම මෙහෙයුම පිළිබදව කල්තියාම දැන සිටි කියුබානු හමුදාව ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර තුවාල ලැබූවන් සහ මිය නොගිය අනිත් පිරිස සිරභාරයටද ගෙන ලැබූහ.

තවද ඊට දින දෙකකට කලින්ම කියුබාවේ සිටි කස්ත්‍රෝ විරෝධීන් සෑහෙන්න පිරිසක්ද සිරගත කරනු ලැබ තිබූ අතර CIA සංවිධානය බලාපොරොත්තුවූ අාකාරයේ කස්ත්‍රෝ විරෝධී නැගිටීමක් කියුබාවේ සිදුවූයේද නැත.
http://www.jfklibrary.org/JFK/JFK-in-History/The-Bay-of-Pigs.aspx

මෙම අසාර්ථක හා සැලසුම් වල දෝශ ඇති මෙහෙයුම අසාර්ථක වීමත් සමගම කෙනඩි හා ඇමරිකාව දෝශ දර්ශනයටත්, සමච්චලයටත් ලක් කිරීමද කියුබානු නායකයා ඇතුළු පාළනාධිකාරියෙන් සිදුවූ අතර මේ සිදුවීමත් සමග කෙනඩි හා CIA සංවිධානය අතර සබඳතාවය නැවත යථා තත්ත්වයට පත් නොවන සේ පළුදු විය. තවද එම වසරේ අගවන විට CIA සංවිධානයේ ප්‍රධානියා හා ඔහුගේ දෙවැන්නා ඉවත් කර දැමීමද කෙනඩි පාලනාධිකාරිය අතින් සිදුවිය.

තවත් දේවල් දෙවන කොටසින්....