-->

Saturday, July 28, 2012

5s හෝ Feng-Shui වලින් තොරව අපේම කියා ඵලදායිතා සැලැස්මක් සාදා ගත නොහැකිද?

මේ ලිපිය ලියන්නට සිතුනේ පසුගිය දිනක නරඹන්නට ලැබුන National Geographic Mega factories වැඩසටහන් මාලාව යටතේ නිර්මාණය කරන ලද TATA Nano මෝටර් රථය නිෂ්පාදනය හා එම TATA ආයතනය පිළිබදව වැඩසටහන දුටු පසුයි.

කුමක්ද මේ වැඩසට‍හනේදී දුටු විශේෂිත කරුණ?

නිශ්චිතවම කියනවා නම් එම වැඩසටහනේදී දැක්වුන නවක කාර්මිකයන් එම ආයතනය විසින් පුහුණු කිරීමේදී මෝටර් කාර්මික අධ්‍යාපනයට අමතරව භාවනා හා තවත් අධ්‍යාත්මික හරයන් වර්ධනය වන පුහුණුවක්ද ලබාදීමයි. තරගාකාරී වාණිජ සමාගමක් සහ ඉන්දියාවේ තෙවන විශාලතම සමාගම ලෙස පවා සැලකෙන මෙම සමාගම මෙවැනි පුහුණුවක්ද ලබාදීමට හේතුවක් ලෙස සලකනුයේ  ඔහු හොද මිනිසෙකු නොවේ නම් ඔහුට හොද රථයක් තැනීමද කළ නොහැකි බවයි බවයි (He can't build a better car, without also becoming better  Human being).

ඉන්දියානුවන්ගේ මෙම සංකල්පය සත්‍යයකි.යමෙකු හොද වෘත්තිකයෙකු හෝ අති දක්‍ෂයෙකු විය හැකි වුවත් ඔහු සතුව කරුණාව, අවංකකම, අනන්‍යන්ට ගරු කිරීම ආදී ‍යහපත් ගුණාංග නොවේ නම් එම පුද්ගලයාගේ පැවැත්ම දීර්ඝකාලීන නොවේ. ‍බො‍හෝවිට අපට හමුවන දක්‍ෂයන් හෝ නිපුණතාවය ඇති අය සතුව මනා ශිල්පීය දැනුම ඇතත් අනෙකුත් ගුණාංග වල හීනතාවයන් හේතුකොට ගෙන ඇතැම් විට එම ක්‍ෂෙත්‍රයේ හැකියාව ඇති වෙනත් කාර්මිකයකු සිටියහොත් ඔහුගේ සේවය ලබාගන්නවා මිස පෙරකී පුද්ගලයන් හැකි නම් දුරස්කිරීම බොහෝවිට දැකිය හැකි කරුණකි. ආයතනික මට්ටමෙන්ද මෙ‍වැනි දේවල් බොහෝවිට සිදුවන අතර සමහර විට තමන් දක්‍ෂයන් යයි ඔළුව උදුමවා ගෙන යහපත් ගති පැවතුම් ඈත්කොට සිටින පුද්ගලයන් වෙතින් අන්‍යයන්ට සිදුවන බාධාද බොහෝය.

මෙවන් මනුශ්‍ය දුර්වලතාවයන් අඩුකර ගැනීමට ඉන්දියානුවන් භාවිතා කරන වෘත්තිය පුහුණුවේදී භාවනාව සහ අනෙකුත් හරපද්දතීන් වර්ධනය කර ගැනීම උදෙසා වූ පුහුණු සැසියන්ද මහගු පිටුවහලකි. එහෙත් ඉන්දියාවෙන් ලැබෙන බොහෝ දේ වැලදගන්නා මෙරට සමාජය මෙවන් වූ වැදගත් කමක් ඇති දේවල් අප රටේ ඇති පුහුණු පාඨමාලා සදහා යොදා ගන්නවාදැයි මා නම් නොදනී. ඇතැම් විට ආයතන කිහිපයක් හෝ මෙවන් ක්‍රමවේදයන් භාවිතා කරනු ඇතැයි අනුමාන කරන අතර ඒ තුලින් නිපුණතාවය ඇති වෘත්තිකයන් බිහිකිරීම මෙන්ම "මිනිස් ගතිගුන" ඇති මිනිසුන් බිහිකිරීම තුලින් ආර්ථික ඵලදායිතාව මෙන්ම අනාගතයේ යන්ත්‍ර වැනි මිනිසුන්ට වඩා මිනිස්කම හදුනන මිනිසුන් බිහිකිරීමද තම යුතුකමක් සේම සත්කාර්යයක් ඉටුකළ ලෙස ස්තූතිවන්ත විය හැකිය.

5s කෝකටත් තෛලයද?

80 දශකයේදී ජපානයෙන් බිහිවූ එස් 5 නැතහොත් 5s සංකල්පය ලංකාවේදීද පසුගිය කාලවකවානුව පුරා කතා බහට ලක්වුනි. මෙම සංකල්පය ජපානයේ ක්‍රියාත්මක වූ පසු වඩාත් ජනප්‍රිය වූවත් පසුගිය සියවස් කිහිපයක සිටම ලෝකයේ බො‍හෝ රටවල මීට වඩා වෙනස් නම් වලින් යම් යම් වෙනස් කම් ඇතිව භාවිතයට ගත් බවද පැවසේ.

කෙසේවෙතත් දෙවන ලෝක යුද්දයට පෙර හා යුද්දයේදී කුරිරුම අත්දැකීමකට පවා මුහුණ දුන් පසුත් දැවැන්ත ශක්තියකින් නැගී සිටි "ජපනා හපනා" ලෙස මිනිසුන් අතර  පිළිගැනීමට ලක්වීමත් ජපානයේ මෙම සංකල්පය වඩාත් සුමට හා ජනප්‍රිය ලෙස යොදා ගැනුන නිසාත්  ජපානය ආදර්ශයට ගැනීමට ගිය බොහෝ රටවල්ද මෙම එස් 5 ක්‍රමයට නැඹුරු වීමට එක් හේතුවක් වන්නට ඇත්තේ "ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙයි" යන න්‍යාඥයද අනුගමනය කර විය යුතුයි.

වි‍ශේෂයෙන් ආසියාවේ පළමු කාර්මිකරණයට ලක්වූ රට ලෙස මෙන්ම අභිමානවත් සංස්කෘතික සමාජ වටපිටාවක් ඇති ජපානයේ විචිත්‍රවත් බව ඔවුන් අදහන ෂින්ටෝ දහමෙන් පවා ලැබුනි. එසේම ඉන්දියාවටත් වඩා බමුණුකරනයට ලක්වී ඇද්දැයි සිතෙන ගතානුගතික සිතුම් පැතුම් ඇති ලංකාවට වඩා ජපානයේ ඇති නිදහස මානසික වටපිටාව කාර්යශූරමෙන්ම කලාත්මක ගතිපැවතුම් ඇති ජපන් වැසියාට අමුතු බලහත්කාරකමකින් 5s කාවද්දන්ට හේතු නොවෙන්නටත් ඇති බව සත්‍යයකි.

එහෙත් විවිද හේතුමත කළමනාකරණය දුර්වල වන ලාංකික ආයතන වලට සිය බිදවැටීම වලකා ගැනීමට 5s ක්‍රමය මත එල්ලුන පමනින් අපේක්‍ෂිත අරමුණ ඉටුකරගන්නට හැකිවුනිදැයි සැක සහිතය. පෞද්ගලික ආයතන තුලදී නම් සිය ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කාර්යක්‍ෂමතාව හා පිළිවෙලකට වැඩ කිරීම මෙන්ම කළමණාකාරීත්වයට සිය සේවයකයන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලකට නැඹුරු කළ හැකිවූවත් අමුතුවෙන් පැහැදිලි කිරීමක් අනවශ්‍ය රාජ්‍ය ආයතනවලටත් මෙම ක්‍රමය ඇබ්බැහිකරන්නට යාමෙන් සිදුවූ දෙයක් වුනිදැයි ගැටළුවකි. විශේෂයෙන් ආදර්ශ ලෙස ඇතැම් ආයතන මෙම ක්‍රමය අනුගමනය කරන බව අපට පවා ඇතැම් වැඩමුළුවලදී Slideshow ආධාරයෙන් පෙන්වා මෙම එස් 5 ක්‍රමයේ විශිෂ්ඨත්වය ඒ වෙනුවෙන් ගෙන්වන සම්පත් දායකයන් පෙන්වූවත් ඒවා ක්‍රියාත්මක වූ බවක් නම් දැක නැත. එසේම ප්‍රාදේශීය සභා වැනි රාජ්‍ය ආයතන වල ‍මෙම ක්‍රමය අනුගමනය කරන බව පවසා එම ගොඩනැගිල ආදියේ යායුතු පැත්ත ආදිය සලකුණු කර ඇති මුත්, මෙම ක්‍රමය ගැන දන්නා හා එහි වැදගත් කම ඇති අය මිස හැකි ඉක්මනින් රස්තියාදු නොවී නැවත සිය ගමට යන්නට පැමිණෙන ගැමියාට මෙම එස් 5 ක්‍රමයේ ඇති වැදගත් කමක් හෝ එය දැනගැනීමට අවශ්‍යතාවයක් තිබේදැයි ප්‍රශ්නාර්ථයකි.

කෙසේවෙතත් මෙයින් මෙම ක්‍රමය ලංකාවට ඔබින්නේ නැති දෙයක් ලෙස හෝ ඵලක් නොමැති දෙයක් ලෙස අදහස් නොකරමි. මෙවන් ක්‍රමයක් ක්‍ෂනිකව අනුගමනය කරවිය නොහැකි දෙයක් ලෙස පෙනෙන අතර පාසල් කළ සිට කුඩා දරුවාගේ පටන් මෙවැනි ක්‍රම උගන්වීම වඩාත් කාලෝචිතය.

අපිළිවෙල වලකා ගැනීම ‍Feng shui වලින් කර ගැනීමට හැකිවේද?

අපි කොච්චර අනුන්ට බන කිව්වත් මා ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙකුට අපිළිවෙල කියන දුර්වලතාවයෙන් මිදිය නොහැකිය. මේ කතාව ලියන්නටත් පෙර මා පවා මේ ගොඩට ඇතුළු කළේ පසුව එය කරන්නට ගොස් අමතකවුවහොත් අනිවාර්යයෙන්ම කවුරුන් හෝ කමෙන්ටුවලදී මා සුපිරයටම පිළිවෙල අනුගමනය කරන්නෙක්ද ඇසුවොත් කට උත්තර නැතිවෙන නිසාය. වෙනකාගැනත් කියනවාට වඩා මම ගැනම කියනවා නම් මම කොච්චර හොදට පාවිච්චි කරන පරිගණක මේසය හෝ ලියන මේසය පිළිවෙලට තබා ගත්තත් වැඩිම උනොත් දින දෙකකට වඩා ඒ පිළිවෙල මේසය මත දැකගත නොහැකිවේ.

එවැනි දේ පෞද්ගලිකව අපහසුතාවයට ලක්කරන කාරණා වුවත් තවත් අය අන්‍යයන් පවා අපහසුතාවයට ලක්කරන අපිළිවෙල හා අශීලාචාර හැසිරීම් පෙන්වයි. එයට හොදම ආසන්නම උදාරහණයක් කියනවා නම් ඊයේ නුවරට ආසන්න හන්දියක මාර්ග තදබදයක් හොදින් පවතිද්දීත් රියදුරාගේ පැත්තේ අසුන්ගෙන සිටි අයෙක් පාර දෙසට එල්ල කළ බුලත් කෙල පහර ඒ අසලින් යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටි මාගේ සම්පූර්ණ වම්පස ප්‍රදේශයම මුහුනේ සිටි කකුල් දක්වාම නාවන්නට සමත්වුනි.

දැන් දියුණු රටක් යයි වේදිකාගානේ බොහෝ දෙනා පවසන මෙවැනි දේ මෙහි තවමත් දැකිය හැකි සාමාන්‍ය දේවල්ය. බටහිර සුද්දන්ගේ අශීලාචාර වල්කම්, ඔවුන් වැරදි කරනවා නම් අපිත් කරාට මොකදැයි පවසමින් බෞද්ධ සංස්කෘතියේ වටිනාකම කියාදෙන, මේ අපේ රටේ උසස් දේවල් යයි විවිද දේ පවසතත් වලකා ගතහැකි එනම් තමන් මේ කරනා දෙයින් අනෙකා අපහසුවට ලක්වෙනවාදැයි බොහොම කුඩා සිතුවිල්ලකින් වලකා ගත හැකි දේවල් තමන්ටම නවත්වා ගත හැකිමුත් ඒ දේ ‍නොකරමින් චීනයෙන් රැගෙන ආ Feng shui කලාවෙන් තම දියුණුව පැතීම විහිළුවකි.

චීනෙන් බිහිවූ තවත් සම්ප්‍රධායක් වන Feng shui වසර දහස් ගණනක සිට ක්‍රමිකව වර්ධනය වූ හා භාවිතා වූ ක්‍රමවේදයකි. එනිසා එය චිනයේ මිනිසුන්ට හොදින් හුරුපුරුදු සහ අනුගමනය කළ දෙයකි. එය හරියට අපේරටේ වසර දෙදහස් ගණනක සිට පැවැත එන බුදුදහමේ ධර්ම කරුණු ඕනෑම බෞද්ධයෙකු ආයාසයකින් තොරව අනුගමනය කිරීම හා සමානය. එබැවින් චීනයේ මිනිසුන්ට සාමාන්‍ය වූ හා පිළිවෙල හා කාර්යක්‍ෂමතාව හොදින් හුරුවී සිටින ඔවුනට මෙවන් කලාත්මක ශාස්ත්‍රයන් තවදුරටත් සිය කාර්යයන් පහසුකරගන්නා දේවල් මිස අපේ රටේ මෙන් මුදල් ගෙවා හෝ ආයාසයෙන් හුරුකරගත යුතු දේවල් නොවන්නට ඇත.


පසුවදන : මෙම ලිපිය ලියන්නට යෙදුනේ කිසියම් ක්‍රමයක් බැහැර කරන්නට හෝ ඒවා එම රටවලට ගොස් හෝ මෙහි සිට හදාරා මෙරට මිනිසුන්ට පුරුදු පුහුණු කරන අය අපහසුතාවයට ලක්කිරීමට නොවේ. බො‍හෝදෙනාට තමන් විසින්ම හදාගත හැකි දේවල් බොහෝ තිබුනත් ඒවා හදා ගැනීමට උත්සාහයක් නොදරමින් පිටින් ගෙනෙනා ආගන්තුක ශිල්පයක් ඔස්සේ ඒවා හදාගන්නට යාමෙන් ඇතිවන ඵලයක් නොමැතිබව අත්දැකීමෙන්ම දන්නා හෙයිනි.

Sunday, July 15, 2012

ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets

මේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන වසරක් බව දැන් ඔබ හොදින් දන්නවා.

මේ ඔලිම්පික් තරඟාවලි සමග යාවුන අපූරු තොරතුරු තිබෙනවා. සමහරක් ඒවා නම් අපි දන්නවා වුනත් තවත් සමහර දේවල් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් එහෙමත් නැත්නම් ඒවා ගැන දන්න පිරිස අල්පයි.

එකක් තමයි දැන් පැවැත්වෙන නූතන ඔලිම්පික් සහ පුරාණයේ පැවතුන බව පැවසෙන ඔලිම්පික් තරඟ අතරේත් වෙනස් කම් තිබෙනවා වගේම නූතන ඔලිම්පික් තරඟ සහ පැරණි ඔලිම්පික් තරඟාවලි එකිනෙකට ඈදෙන සේ නොකඩවා පැවැත්වුන ඒවා නොවෙයි. සරළවම කියනවා නම් ක්‍රි.පූ. සියවස් වල පැවති ඔලිම්පික් තරඟාවලි විවිද හේතු නිසා අභාවයට ගිහිල්ල පසුව 1896 දී තමයි නූතන ඔලිම්පික් පුරාවෘතය ආරම්භවන්නේ.

තවදෙයක් තමයි බොහෝදෙනා සිතන්නේ ග්‍රීසියේ මිනිසුන් ඔලිම්පික් පමණක් ප්‍රධාන ක්‍රීඩාව ලෙස පවත්වාගෙන ගිය බවට. ඒත් සත්‍ය නම් ඔලිම්පික් කියන්නේ ඔවුන්ට ප්‍රධාන ක්‍රීඩා හතරක් අතරින් එකක් පමණයි. හැබැයි ඔලිම්පික් ක්‍රීඩා එදා පවත්වා ඇත්තේ ඔවුන් අදහන ලද දෙවියන්ගේ ලොක්කා වුන සියුස් දෙවියන්ට ගෞරවයක් වශයෙන් නිසා ඔලිම්පික් වලට එදාත් හොද තැනක් තිබිල තියෙනවා. අද වගේම සිව්වසරකට වරක් පවත්වා ඇති මෙම ක්‍රීඩා උළෙල පවත්වා තිබෙන්නේ ග්‍රීසියේ Elis ප්‍රදේශයට ආසන්නයේ පිහිටා තිබෙන ඔලිම්පියා හිදි. මේ පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් අතරින් මුල්ම උළෙල පවත්වා ඇත්තේ ක්‍රි.පූ. අටවන සියවසේදී හරියටම කියනවා නම් ක්‍රි.පූ. 776 දී.(http://en.wikipedia.org/wiki/Elishttp://en.wikipedia.org/wiki/Olympic_Games)
එදා ඔලිම්පික් තරඟ පැවැති ඔලිම්පිය ප්‍රදේශය සිත්‍තරෙකු දුටු හැටි

ඒ වගේම පෙර පැවසූ පරිදිම අනෙකුත් ප්‍රධාන ක්‍රීඩා උත්සව පිළිබදවත් යමක් කියනවා නම්, ඔවුන් ඇපලෝ දෙවියන්ට ගරු කිරීමක් වශයෙන් පවත්වා තිබෙනවා Pythian කියන ක්‍රීඩා උත්සවයක් ඩෙල්ෆි කියන ප්‍රදේශයට ආසන්නයේ. ඒවගේම වසර දෙකකට වරක් Nemean කියන ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නෙත් සියුස් දෙවියා වෙනුවෙන්. මෙම ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නේ Nemea කියන ප්‍රදේශයේ. ඒ වගේම සිව්වන ප්‍රධාන ක්‍රීඩා උත්සවය පවත්වා තිබෙන්නේ Poseidon කියන දෙවියා වෙනුවෙන් වන අතර එය හදුන්වා ඇත්තේ Isthmian ලෙසින් සහ පැවති ප්‍රදේශය ලෙස Corinth කියන ප්‍රදේශය දැක්විය හැකියි.
(http://en.wikipedia.org/wiki/Pythian_Games, http://en.wikipedia.org/wiki/Nemean_Games, http://en.wikipedia.org/wiki/Isthmian_Games)
මුල් කාලයේ ඔලිම්පික් තරඟ සාමකාමී මුහුණ වරකින් පැවැත්වුනත් පසුකාලීනව ලේ පෙරා ගෙන ගහගන්න මරාගන්න තරඟාවලියක් බවට පත්වූ නිසා ඇතැම් පාලකයන් ඔලිම්පික් තරඟවලියන් ඒ වකවානුවේදී තහනම් කළ බවටත් තොරතුරු දැක්වෙන අතර විශේෂයෙන් රෝම අධිරාජ්‍යයට නතුවීමෙන් පසුව අශිෂ්ඨ උත්සවයක් ලෙස සලකා තහනම් කරනු ලැබූ අතර පැරණි ඔලිම්පික් ක්‍රීඩාවට අභාග්‍ය සම්පන්නම කාලය උදාවන්නේ රෝම අධිරාජ්‍යයෙකු වන Theodosius I බලයට පත්වූ පසුවයි. ඔහු ක්‍රි.ව.393 දී ඔලිම්පික් තවදුරටත් පැවැත්වීම මුළුමනින්ම තහනම් කරනු ලබන අතර නැවත 1896 දී නිලවශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පවත්වනු තුරු වසර 1503 ක පමණ කාලයක් ‍නොපැවැත්වී තිබෙනවා.

පුරාණ ඔලිම්පික් ක්‍රීඩාවලදී සම්බන්ධ වෙලා තියෙන්නේ පිරිමි පාර්ශවය පමණයි. ඒ වගේම ඔවුන් නිර්වස්ත්‍රයෙන් ක්‍රීඩා කළ බවත් කියනවා. තේරෙන්නම කියනවා නම් හෙළුවෙන් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ. දුවන්න, පනින්න, පොර බදන්න ඒ ඔක්කොම ඉතින් ඇගේ නූල් පටක්වත් නැතුව කරල තියෙන්නේ. ඒ කාලේ පිරිම අය ඇදුම් නැතුව තව විවිද උත්සව ප්‍රියසම්භාෂන පැවැත්වූ බව සදහන් වෙන අතර එම උත්සව හදුන්වා තිබෙන්නේ "sympsia" යන නමින්.. අද මේ ඇදුම් නැතුව උත්සව, තරඟ පැවැත්වීම නිකං අශීලාචාර වල් දෙයක් වගේ පෙනුනට ඒ කාලේ මේක සාමාන්‍ය ඇති. ඔබ දන්නවද gymnasium කියන වචන නිර්මාණ වී තිබෙන්නේ ග්‍රීක වදනක් වන "gymos" යන්නෙන්. මෙම gymos කියන වචනයේ අරුත තමයි naked එසේත් නැත්නම් තේරෙන්ම කියනවා නම් නිරුවත, නග්නභාවය කියන එකයි. ඒ කියන්නේ නිරුවත කියන එක ග්‍රීක සම්ප්‍රධායේදී තවත් එක් සාමාන්‍ය අංගයක් වෙන්න ඇති. ඒත් සමහර තරඟකරුවන් නම් තම "පිරිමිකම" කුඩා සම් කැබැල්ලකින් වසා ගෙන සෙල්ලම් කළ බවත් ඇතැම් පැරණි ‍තොරතුරු වලදී සටහන් වෙනවා. කො‍හොමවුනත් මේ නිරුවත් ඔලිම්පික් සෙල්ලම් ගැන පැවසීමේදී විවිද කතා කියවෙනවා මේ ආකාරායෙන් ඇදුම් අදින්නේ නැතුව ක්‍රීඩා කිරීම පිළිබදව. එයින් එක් කරුණක් නම් එදා මෙම් උත්සව පැවැත්වුනේ සියුස් දෙවියන් වෙනුවෙන් නිසා පාරිශුද්ධත්වය, ශක්තිය ආදිය නිරූපනය වෙන්න මේ ආකාරයට "මුල් ඇදුමෙන්ම" කෙළිසෙල්ලම් කළ බවත් කියනවා.

ඇතැම් මූලාශ්‍ර මේ තරඟ කාන්තාවන්ට නැරඹීම තහනම් වු බවත් කියනවා. විශේෂයෙන්ම විවාහක කතුන්ට ඔලිම්පික් තරඟ සපුරා තහනම් වූ බවත් කියන අතර වැරදිලාවත් ඔලිම්පික් තරඝ පිටියට පැමිණිලා තිබුනොත් මරණය තෙක් කස පහර ලබා දුන් බවත් ඇතැම් තොරතුරු වල දැක්වෙනවා. ඒ එක්කම තවත් මූලාශ්‍රවල වැඩිහිටි විවාහක කතුන්ට මෙම තරඟ නැරඹීමට වරම් නොලැබුනත් තරුණ ගැටිස්සියන්ට ඒ අවස්ථාව තිබු බවත් කියනවා.

ඒ මොනවාවුනත් කාන්තා පාර්ශවයට ක්‍රීඩා තරඟ මුළුමනින්ම අපත්‍ය දෙයක් ලෙස සකකා නැති බවත් පැවසිය යුතුයි. ඔවුන්ටම කියා වෙනමම ක්‍රීඩා තරඟාවලියක් පවත්වා තිබෙන අතර ඒ කාන්තා දෙවඟනක් වූ Hera වෙනුවෙන්. ඔවුන්ගේ තරඟ පිරිමි අයගේ තරඟ තරම්ම බොහොම තදින් පවත්වා නැහැ. ධාවන තරඟ ගතහොත් ඔවුන්ට ලැබුන ධාවන පථය පිරිමි අයගේ ධාවන පථයෙන් 1/6 ක පමණ දුර ප්‍රමාණයක් බව තමයි පැවසෙන්නනේ. ඒ එක්කම ඔවුන්ට ජයග්‍රහණයේදී ලැබුන ත්‍යාගය ඔලිව් අත්තකට පමණක් සීමා වෙලා නැහැ. ඔවුන්ට ඊට අමතරව හරක් මස් කුට්ටිද ලැබී ති‍බෙනවා.


සමස්ථයක් වශයෙන් ගත්කළ ග්‍රීක කෙල්ලන් මේ වගේ කෙළි සෙල්ලම් වලට නැඹුරුවීමට ධෛර්යමත් කිරීමක් කර නැහැ. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතය ගෘහස්ථ රාජකාරීවලට බද්ධ කර තිබූ හා බද්ධව තිබූ නිසා ප්‍රසිද්ධ හා දේශපාලනික දේවල් වලට හවුල්වීමේ ප්‍රවණතාවයක් තිබුනේ නැහැ. විශේෂයෙන්ම එදා සමාජයේ කාන්තාවට ලැබී තිබුනේ දෙවන පංතියේ සැලකිලි නිසා මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම බොහොම අඩු තත්ත්වයක් වූ අතර විවාහක සහ වැන්දඹු කතුන් සම්බන්ධවුනේම නැතිතරම්.

ඒත් ග්‍රීසියේම ප්‍රාන්තයක් වුන Sparta හි Spartans ගැටිස්සියොන්ට නම් මෙයට වඩා වෙනස් තත්ත්වයක් තමයි තිබුනේ. ස්පාර්ටන්වරුන් රණකාමීත්වය ඉහලින්ම තැකූ ජාතියක් විදියට කාන්තාවන් පවා පිරිමි සමග හරිහරියට පිරිමිවගේ යුද ශිල්පය, ක්‍රීඩා ආදියේ නිරත වීම අගය තර තිබෙනවා. ඒ වගේම ස්පාර්ටන් කෙල්ලන් මේ ක්‍රීඩා වලට සහභාගී වී ඇත්තේත් කිසිම වස්ත්‍රයක් නැතුව හෝ දුහුල් රෙදි පිළිවලින් සැරසිලා. ඒ වගේම කොල්ලන්ටත් මේ තරඟ නරඹන්නටත් ඉඩදීලා තියෙනවා. මොකද ඔවුන්ට විවාහවීමට සුදුසු කෙනෙක් සොයා ගන්නත් මේක අවස්ථාවක් කරගන්න ඉඩ දීමක් ලෙස. මේ විදියට ගත්තම අදත් ඔලිම්පික් හා වෙනත් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාවලදී බොහොම අඩු රෙදි ප්‍රමාණයක් භාවිත වුන ඇදුම්නේද අදින්නේ කියලා හිතෙනවා.

නූතන ඔලිම්පික් ඉතිහාසය දෙසට යනවා නම් සාමාන්‍යයෙන් අප දකින්නේ ග්‍රීස්ම ඔලිම්පික් තරඟාවලිය. ඊට අමතරව 1924 දී ප්‍රංශයේ Chamonix නගරයේදී පැවැත්වීම ආරම්භ කරන ලද ශීත ඔලිම්පික් උළෙලත් වසර හතරකට වරක් පැවැත්වුනත් සමහර වෙලාවට පමණක් එකම වසරකදී මෙම ඔලිම්පික් තරඟාවලි පැවත ඇතත් සමහර විට ඒවා පැවැත්වෙන්නේ වෙනස් වෙනස් වසර වලදී උදාහරණයක් ලෙස පවසනවා නම් 2004 දී ග්‍රීස්ම ඔලිම්පික් උළෙල ඇත්න්ස් හි පැවැත්වුනත් ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුනේ 2006 වසරේදී.

මෙම පළමු නූතන ඔලිම්පික් උළෙල 1896 දී ග්‍රීසියේ ඇතන්ස් හි පැනතිනයිකෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ප්‍රථම 1700 ගණන් වල ප්‍රංශයේදී කුඩා පරිමාණයේ ක්‍රීඩා උත්සව පවත්වා තිබෙනවා. මේවාට පැරණි ඔලිම්පික් ක්‍රීඩාවේ ඇතැම් තරඟ ඉසව්ද ඇතුලත්ව තිබූ බව පැවසෙනවා. මීට අමතරව 1800 ගණන් වන විට මහා බ්‍රිතාන්‍යයේද විවිද ක්‍රීඩා උත්සව ඔලිම්පික් ක්‍රීඩාවලියට ආසන්න වන සේ පවත්වා තිබෙනවා. හැබැයි බොහෝවිට මේවා අන්තර්ජාතික මට්ටමට වඩා ඒ ඒ රටවල ක්‍රීඩකයෝ හා යටත්විජිතවල ක්‍රීඩකයෝ පමණක් සම්බන්ධවෙන්නට ඇති.

මෙසේ ක්‍රමිකව විකාශයනය වෙමින් පැවති ඔලිම්පික් ක්‍රීඩාවලට යම් නෑකම් කියූ ක්‍රීඩා උළෙල ලෝ සුපතල අන්තර්ජාතික මට්ටමේ තරඟ බිමක් බවට පත්වන්නට හේතුවන්නේ 1894 ජූනි 23 වන දින දී පිහිටුවන ලද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවයි (The International Olympic Committee (IOC)). මෙම කීර්තිමත් ආයතනය පිහිටුවන ලබන්නේ ප්‍රංශ ජාතික Pierre de Frédy, Baron de Coubertin විසින්. මෙම මහත්මයා ප්‍රංශයේ සිටි අධ්‍යාපනඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙක්. හැබැයි මෙම ආයතනයේ මුල්ම සභාපතිවරයා නම් ඔහු නෙමෙයි. මුල්ම සභාපති ලෙස 1894 දී පත්වූයේ ග්‍රීක ව්‍යාපාරිකයෙකු සහ ලේඛකයෙකු වූ Demetrios Vikelas, or Bikelas. ඒත් ඔහු මෙම තනතුරේ සි‍ටියේ වසර දෙකක කාලයක් පමණයි. ඉන් අනතුරුව මෙහි සභාපතිධූරයට පත්වන්නේ මුලින් කී මෙම අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිර්මාතෘ වූ Pierre de Frédy. ඔහු 1896 සිට 1925 දක්වා වූ වසර 29 ක කාලයක් සභාපතිධූරය දරමින් ඔලිම්පික් ක්‍රීඩාවේ උන්නතියට ඉමහත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.
http://en.wikipedia.org/wiki/International_Olympic_Committee
http://en.wikipedia.org/wiki/Demetrios_Vikelas
http://en.wikipedia.org/wiki/Pierre_de_Coubertin

මෙම පළමු ඔලිම්පික් උළෙල ගැන තවදුරටත් පවසන්නේ නම් මෙයඑ රටවල් 14 ක තරඟකරුවන් 241 ඉසව් 43 ක් වෙනුවෙන් සහභාගී වී තිබෙනවා. ග්‍රීක රජය තමයි මේ ඔලිම්පික් තරඟය වෙනුවෙන් මුදල් හදල් වියදම් කර තිබෙන්නේ. එතෙක් මෙවැනි අන්තර්ජාතික මට්ටමෙන් විවිදාකාර ජාතීන් සහභාගී වූ උත්සවයක් නොපැවැත්වුන නිසා මෙම පළමු උළෙල දුටු ග්‍රීක රාජ්‍යයේ නිළධාරීන් මෙන්ම සාමාන්‍ය ජනයාද ඉතා උද්යෝගිමත් හැගීමකින් මෙම ක්‍රීඩා උළෙල පිළිබදව අවධානය යොමු කළ නිසාම ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා සෑම අවස්ථාවකම ඔලිම්පික් ක්‍රීඩා පුරාණයේ මෙන් ග්‍රීසියේම පැවැත්වීමට ඒත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුම එම යෝජනාව අනුමත කර නැහැ.ඔවුන්ට අවශ්‍ය වුනේ මේ තරඟාවලි අන්තර්ජාතික මට්ටමෙන් විවිද රටවල පැවැත්වීමට මේ නිසා දෙවන ‍ඔලිම්පික් තරඟය පැවැත්වෙන්නේ ප්‍රං‍ශයේ, පැරිස් නුවර බවට ඔවුන් තීරණය කරනවා.

1896 දී පළමු ඔලිම්පික් උළෙල පැවැත්වූවත් නූතන ඔලිම්පික් පුරාවෘතයේ පළමු අද්විතීය ස්ථානය ලෙස බොහෝ දෙනා සලකන්නේ මෙම ‍ප්‍රංශයේ පැවැත්වූ දෙවන ඔලිම්පික් උළෙලයි. ඒ නිසාම එය Games of the II Olympiad හැදින්වෙනවා පමණක් නොවේ නූතන ඔලිම්පික් ඉතිහාසයේ මතක සටහන් රැසක් එක්කළ ක්‍රීඩා උළෙලක් ලෙසත් හදුන්වාදෙන්නට පුළුවන්.


මෙම ඔලිම්පික උළෙල වෙනුවෙන් සමාරම්භක උත්සවයක් මෙන්ම අවසන් කිරීමේ උත්සවයක්ද පවත්වා නැහැ. මේක කොතරම් දීර්ඝ තරඟාවලියක් වුනාද කියතොත් 1900 මැයි 14 වෙනිදා සිට එම වසරේ ඔක්තෝබර් 28 වනදා දක්වා එනම් මාස පහකුත් දින 14 ක් මෙම තරඟාවලිය පවත්වා තිබෙනවා. තරඟකරුවන් දහසක් පමණ ක්‍රීඩා ඉසව් 19 ක් වෙනුවෙන් මෙහිදී තරඟවැද තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම ක්‍රීඩිකාව තරඟවදින්නෙත් මෙම 1900 තරඟයේදී. ඇය ස්විස් ජාතික කාන්තාවක් වන Hélène de Pourtalès. ඇය සම්බන්ධවූයේ කණ්ඩායම් තරඟයක් වන බෝට්ටු පැදීමේ තරඟ වලටයි. ඇය, ඇයගේ සැමියා සහ සැමියාගේ සොහොයුරෙකු මෙම කණ්ඩායමට ඇතුලත්ව තිබෙන අතර ඔවුන් තරඟ දෙකකදි රන් සහ රිදී පදක්කම් හිමිකරගන්නට සමත්ව තිබෙනවා.

තවත් දෙයක් තමයි මේ ක්‍රීඩා උළලේ ජයග්‍රාහකයන් බොහෝමයකට පදක්කම් නොලැබුන අතර ඒ වෙනුවෙන් කුසලාන මෙන්ම Albert Robert Ayat (France) කියන ක්‍රීඩකයාට ෆ්‍රෑන්ක් 3000 ක මුදලකුත් ලැබී ති‍බෙනවා.

තවත් දෙයක් තමයි 1900 ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී තමයි ටිකක් අසාමාන්‍ය ක්‍රීඩා ඉසව් මෙන්ම මේ දක්වා ඔලිම්පික් ඉතිහාසයේ එක්වරක් පමණක් පැවැත්වූ ක්‍රීඩා ඉසව් පවත්වා ඇත්තේ. මෝටර් සයිකල් සහ මොටර් වාහන ධාවන තරඟ, රත්වූ වාතය පිරවූ බැලුන්වල නැගී ඉහල අහසට නැගීමේ තරඟ, බිම සවිකරන ලද කුඩා රාමුවක් අතරින් ලී හෝ ප්ලාස්ටික් බෝල වලට පහර දී යාමට සලස්වන Croquet නම් ක්‍රීඩාව(http://en.wikipedia.org/wiki/Croquet), Basque pelota නම් ක්‍රීඩාව (http://en.wikipedia.org/wiki/Basque_pelota) හා අමුතුම ආකාරයේ ක්‍රීඩාවක් ලෙස සැලකිය හැකි 200m swimming obstacle race and underwater swimming ක්‍රීඩාව දැක්විය හැකියි. (http://en.wikipedia.org/wiki/Swimming_at_the_1900_Summer_Olympics_%E2%80%93_Men%27s_200_metre_obstacle_event)


මෙම අවසානයේ දැක්වුන ක්‍රීඩාව පිළිබදව කියනවා නම් එහිදී බාදකයන් ත්‍රිත්වයක් පසුකරමින් මීටර් 200 ක් පිහිනා යෑම තමයි සිදුකිරීමට තිබුනේ. එහිදී පළමු බාධකය ලෙස පිහිණා ගොස් කණුවක් මතට නැග නැවත බැස පිහිනා, පෙලට තබා ඇති බෝට්ටු වලට නැග නැවත බැස පිහිනා තවත් පෙලට තබා තිබූ බෝට්ටු පෙලක් යටින් පිහිනා ජය කණුව වෙත යාම තමයි සිදු කල යුතුව තිබුනේ.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය ගැන කිවයුතු තව බොහෝ දේ තිබුනත් ඒවා පසු ලිපියකට කල් තබමින් තවත් එක් ක්‍රීඩාවක් ගැන සදහන් කරන්නම් 1900 ඔලිම්පික් උළෙලදී පැවැත්වූ හා ඉන්පසුව නොපැවැත්වූ. අමුතුවෙන් කිවයුතු ක්‍රීඩාවක් නොවෙයි මෙය. ‍අ‍පේ රටේ ජාතික ක්‍රීඩාව නොවූවත් ජාතික ක්‍රිඩාවටත් වඩා ඉහළින් පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව තමයි ‍එලෙස පවත්වා තිබෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරඟයක් ලෙස මුලින්ම පවත්වන්නට සිතා සිටියේ පළමු ඔලිම්පික් උළෙල වන ඇතන්ස් හිදී වූවත් ප්‍රමාණවත් තරඟකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවීම මත එහිදී අවලංගු කෙරුනත් දෙවන ඔලිම්පික් උළෙලදී තරඟවැදීමට රටවල් හතරක් ඉදිරිපත් වීම නිසා මෙවර ක්‍රිකට් තරඟ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදනවා. මෙම පැවසූ රටවල් හතර තමයි මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය. කො‍‍හොමවුනත් බෙල්ජියම සහ නෙදර්ලන්තය කියන රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් ඒ වකවානුවේ නොදක්වපු නිසා ඔවුන් තරඟාවලියෙන් ඉවත්වන අතර 1900 අගෝස්තු 19-20 දිනවල දෙදින තරඟයක් ලෙස පැවැත්වෙනවා. මෙහිදී ක්‍රීඩකයන් තෝරාගැනීම පිළිබදව යමක් පවසනවා නම් රටවල් දෙක වෙනුවෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩකයන් මේ සදහා සහභාගී නොවූ අතර එංගලන්තය වෙනුවෙන් Devon and Somerset Wanderers කියන ක්‍රීඩා සමාජය හා French Athletic Club Union කියන කණ්ඩායම ක්‍රීඩා කරනවා. හැබැයි හරියටම කියනවා නම් ප්‍රංශය වෙනුවෙනුත් ක්‍රීඩා කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඒ කියන්නේ ප්‍රංශයේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් තමයි තරඟ වැදුනේ. තවත් දෙයක් තමයි මේ තරඟය පළමු පෙළ ක්‍රීඩා තරඟයක් ලෙස ගණන් ගැනෙන්නෙත් නැහැ. ඒ එක්කම කණ්ඩායම් දෙකේම එකඟතාවය මත ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුත් ක්‍රීඩාකර තිබෙනවා. මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව බ්‍රිතාන්‍ය කණ්ඩායම විසින් සිදුකර පළමු ඉනිමට ලකුණු 117 ක් සහ ඉන් අනතුරුව පන්දුවට පහර දෙන ප්‍රංශ කණ්ඩායම ලකුණු 78 කුත් ලබා ගන්නට සමත්ව තිබෙනවා. දෙවන ඉනිමේදී බ්‍රිතාන්‍ය කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 145 ක් රැස් කර ප්‍රතිවාදී ප්‍රංශ කණ්ඩායමට ලකුණු 185 ක් ලබා දුන් අතර ඔවුන්ට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 26 ක් පමණයි. ඒ අනුව එතෙක් මෙතෙක් පැවති ඔලිම්පික් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 158 ක ජයක මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම සතුවෙන අතර දෙවන ඉනිමේදී ප්‍රංශ කණ්ඩායම ක්‍රීඩා කර ඇත්තේත් මිනිත්තු 5 ක කාලයක් පමණයි.

මෙසේ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම ජයගත්තත් පළමු තැනට ලැබිය යුතු ‍රන් පදක්කම වෙනුවට රිදී සහ ප්‍රංශ කණ්ඩායමට රිදී වෙනුවට ලෝකඩ පදක්කම සහ දෙපිලටම ප්‍රංශයේ සංකේතය වන් අයිෆල් කුළුනේ කුඩා ආකෘතියක් ලබා දී තිබෙනවා. මෙසේ රන් වෙනුවට රිදී සහ රිදී වෙනුවට ලෝකඩ පදක්කම් ලබා දීම ව්‍යාකූලයි. කෙසේවෙතත් 1912 දී ඔලිම්පික් කමිටුව විසින් මේ වැරැද්ද නිවැරදි කරමින් මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමටය රන් සහ ප්‍රංශ කණ්ඩායමට රිදී පදක්කම ලබාදීමත් සිදුකරනවා.

බ්‍රිතාන්‍යයට පළමු තැන ලබා දුන්නත් මහා බ්‍රිතාන්‍ය ජාතික මට්ටමේ කිසිදු පුවත්පතක මේ ගැන ප්‍රවෘත්ත පළ නොවන අතර ඩෙවෝන් ප්‍රදේශයේ පමණක් පලවන ප්‍රාදේශීය මට්ටමේ පුවත් පත් වල පමණක් ප්‍රවෘත්ති පළ වී තිබෙනවා. ඒ එක්කම මේ ඔලිම්පික් තරඟයට අමතරව ප්‍රංශ කණ්ඩායම සමග එක් දින තරඟ දෙකක් පවත්වා තිබෙන අතර ඒවායේද ජය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදරටම ලැබෙන අතර ප්‍රංශ ජාතිකයින් අතර ක්‍රිකට් ගැන හැගීමක් නම් ඇති කිරීමට මෙම තරඟ එකක් වත් සමත් වී නැහැ.

1904 දී පැවැත්වූ තෙවන ඔලිම්පික් තරඟාවලිය වන ඇමරිකා‍වේ ශාන්ත ලුවිස් හිදී පැවැත්වෙන තරඟයේදීද ක්‍රිකට් තරඟ ඉසව්වද පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් ඇමරිකාවේ ඒවන විට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම කරණ කොටගෙන කෙටි දැනුම් දීමකින් මෙම තරඟ අවලංගු කරන අතර එයින් පසු ඔලිම්පික් තරඟාවලිය සදහා ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීම සිදුවී නැහැ. http://en.wikipedia.org/wiki/Cricket_at_the_1900_Summer_Olympics

ක්‍රිකට් වලට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක්ම එක්වරක් පමණක් පැවැත්වූ අවස්ථා දෙවන ‍ඔලිම්පික් උළෙලදී වාර්තාවනවා. ඉන් එකක් තමයි ජීවී පරෙවියන්ට වෙඩි තැබීම. නූතන ඔලිම්පික් ඉතිහාසයේ සත්ත්ව ඝාතන සහිත ක්‍රීඩාවක් ලෙස වාර්තාවන මෙම හිංසාකාරී ප්‍රයත්නය 1900 ඔලිම්පික් තරඟයෙන් පසුව පවත්වා නැහැ. ‍සමස්ථ තරඟ ඉසව්ව තුළ අහිංසක පරෙවියන් 300 දෙනෙකුගේ පමණ දිවි තොර කර තිබෙන අතර රන් පදක්කම්ලාභියා විසින් පමණක් පරෙවියන් 21 දෙනෙකුගේ පරෙවි ආත්මයන් අහවර කොට තිබෙනවා.

මෙම ක්‍රීඩාවලට අමතරව තවත් ක්‍රීඩා කිහිපය විටක් පවත්වා ඉන්පසු නැවත පවත්වා නොමැති අතර මේ සබැඳියන් තුලින් ඒ ගැන වැඩි විස්තර ඔබට දැනගැනීමට හැකිවේවි.
http://listverse.com/2008/09/24/10-odd-discontinued-olympic-sports/
http://www.infobarrel.com/12_Olympic_Sports_That_Have_Ceased_To_Exist

දැන් මෙම ලිපිය අවසන් කරනවා. නොබෝ දිනකින් ආරම්භවන ඔලිම්පික් තරඟයේදිත් අනාගතයේදී කතාකරන්නට පාදක වන දේවල් රැසක් බිහිවේවි. ඉඩක් ලැබුන විටක නැවත ලිපි වලින් ඔලිම්පික් ඉතිහාසයේ සැඟවුන දේවල් ‍සොයා බලමු.

Tuesday, July 10, 2012

අවශ්‍ය වූ විට පෙට්ටියක් තුලට අකුරු කොටු කිරීම

මේ ලිපියෙන් කියන්නට යන්නේ අපගේ බ්ලොග් ලිපි නිර්මාණයේදී ප්‍රයෝජනවත් වෙන කරුණක් පිළිබදවයි. ඔබට මතකද කලින් ලිපියේ සුළු වෙනසක් තිබුන බව. ඒ ගැන එතරම් මතකයක් හෝ දැනීමක් නැතිනම් මෙන්න ඒ ලිපිය නැවත පහසුවෙන්ම බැලීමට එහි සබැඳිය http://sathsamudura.blogspot.com/2012/07/blog-post_09.html.

ඔබ දැක්කද වෙනදා දකින පසුබිමට වඩා වෙනස් පැහැයකින් අකුරු කොටු කර තිබෙන බව. මේ කොටුවකට අකුරු කොටු කිරීම CSS පිළිබදව දන්නා අයට නම් මහ දෙයක් නොවෙයි. ඒත් ඒ ගැන වැටහීමක් නැතිනම් මෙහි දැක්වෙන සරළ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබගේ ලිපියේ යම් කැපී පෙනෙන තැනක අකුරු මේ වගේ කොටුවක දැක්වීම ටිකක් වෙනස් අත්දැකීමක් වේවි.

මේක ක්‍රම දෙකකට කරගන්නා ආකාරය කියන්නම්. මුල්ම ක්‍රමය තමයි Template Designer වල Add CSS වලදී CSS කේතය paste කර එම කේතයේ ක්‍රියාකාරීත්වය බ්ලොග් ලිපියේ අවශ්‍ය ස්ථානයේදී HTML editor mode එකේදී තවත් සුළු HTML කේතයක් තුලට අකුරු රැගෙන ඒමෙන් සිදුකිරීම. මේ සදහා CSS code Add CSS තුලට කේතය යෙදවීම සදහා ‍එම ස්ථානයට යන ආකාරය
බ්ලොගයේ අකුරු ලොකු පොඩි කරගන්න ලේසියි කියල හිතෙන උපක්‍රමයක්...
සහ 
පින්තූර වලට Bump Effect එකක් දෙන්න කැමතිද?

යන ලිපිවල තිබෙන නිසා එම මූලික පියවර මෙහිදීත් කියන්නට යන්නේ නැහැ. එම ස්ථානයට ඇලවිය යුතු කේතය සදහන් කරන්නම්. මෙම කේතය CSS class එකක් විදියට තියෙන නිසා ඕනෑම විටක නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැබැයි එක අවාසියක් තිබෙනවා ඒ තමයි  ඒ සෑම අවස්ථාවකම ලැබෙන කොටුවේ තිබෙන්නේ එකම වර්ණය, රාමුවේ ඝනකම වගේ Properties ඒ ආකාරයෙන්මයි. ඔබට වෙනස් ආකාරයේ Box කිහිපයක් ලබා ගන්න නම් Box 1, Box 2 ලෙස සුළු සුළු වෙනස්කම් Properties වල සිදුකරන ලද කේත කොටස් කිහිපයක් අලවා ගන්නට සිදුවේවි මේ ක්‍රමයෙන් මෙම Box එක නිර්මාණය කරන විටදී නම්. මෙන්න කේතය ;

.box{
padding:5px 5px 5px 5px;/*Border සිට අකුරු වලට ඇති දුර*/
background-color:#FFFFCC;/*පසුබිම් වර්ණය*/
border: 2px double #336600;/*Border ඝනකම එහි ස්වභාවය හා වර්ණය*/
width:520px; /*මෙම Box එකේ පළල*/
}

මින් පසුව තිබෙන්නේ යම් ලිපියකදී ඔබට මෙම පෙට්ටිය තුලට අකුරු කොටු කරන්න ඕන ස්ථානයේදී මෙන්න මේ පියවර අනුගමනය කිරීමයි.

  • අදාල ලිපියේදී Compose mode සිට HTML mode වෙත ගොස් අදාල ඡේදය ඇති ස්ථානයේ මුලට යන්න.

  • එතනදී මෙම කේතය පිටපත් කරන්න‍.
    <div class="box"> මෙහිදී අවශ්‍ය ඡේදය සම්පූර්ණයෙන්ම paste කරන්න.</div>

  • මෙහි රතු පැහැයෙන් දිස්වන වචන වෙනුවට ඔබට අවශ්‍ය ජේදය අලවන්න. 

  • දැන් Preview කළ විට ඔබගේ එම අවශ්‍ය ඡේදය හෝ කොටස ‍කොටුව තුල දිස්වනු ඇත.

මේ ක්‍රමය නැතුව ඔබට අවශ්‍ය මොහොතේදී ඒ ඒ අවස්ථාවට සුදුසු ආකාරයේ වෙනස් කම් ඇති box එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා.

මෙන්න ඒ ක්‍රමයත්, මෙහිදී මුල් පියවරයන් වූ Add CSS සදහා කේතයක් එකතු කිරීම සිදුකරන්නේ නැහැ. මුලින්ම අදාල ලිපියේදී Compose mode සිට HTML mode වෙත ගොස් අදාල ඡේදය ඇති ස්ථානයේ මුලට යන්න.

දැන් මෙම කේතය එම ස්ථානයේ Paste කරන්න.
<div id="box" style="background-color: #cc66cc; border-color: #009900; color: #330066; padding: 5px 5px 5px 5px; width: 550px;">The text</div>


ඔබට අවශ්‍ය ආකාරයට රතු පැහැහෙන් දක්වා තිබෙන අගයන් වෙනස් කිරීම කළ හැකියි. ඒ වගේම The text ලෙස දම් පැහැයෙන් යුතු වචන වෙනුවට ඔබට කොටුව තුලට රැගෙන ඒමට අවශ්‍ය වචන යොදන්න.

Monday, July 9, 2012

සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව

මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නේ මේ දක්වා දකින ලද සිංහල පරිගණක පාඩම් සහිත වෙබ් අඩවි පිළිබදව සුළු දැනුවත් කිරීමක් වගේම  මෙවැනි වෙබ් අඩවි ගැන දන්නා අයගෙන් ඒ පිළිබදව ‍තොරතුරු දැන ගැනීමටයි.

පසුගිය දිනක Techකතා ඔස්සේ email හරහා ලැබෙන පණිවිඩ වලින් තමයි මෙම වෙබ් අඩවි පිළිබදව දැනගත්තේ. ඇත්තෙන්ම සිංහල බසින් ලියන ලද සහ සිංහල බසින් නිරූපනය කරන වීඩියෝද සහිත මෙම පරිගණක පාඩම් ආධුනිකයන්ට ඉතාම ප්‍ර‍යෝජනවත් වේවි. එම වෙබ් අඩවි වලට පිවිසිය හැකි සබැඳියන් සටහන් කරනවා නම් මෙන්න මේවායි.

http://kuppiya.com/
http://www.gurulk.com/
http://web.sinlix.com/

ඒ වගේම මෙම අඩවි වලින් ඉටුකරන කාර්යයත් ඉහළින් අගය කරනවා වගේම නො‍මිලේ ලබා දෙන සේවාවක් නිසා ඔවුන් කරන කාර්යය තවතවත් සාර්ථකවේවායිද ප්‍රාර්ථනය කරනවා.

ඉතින් ඇත්තටම මෙම ස්ථානයේ නම් සටහන් කළේ  වෙබ් අඩවි තුනක් පිළිබදව විතරයි.  මීට අමතරව ඔබත් දන්නා වෙබ් අඩවි ඇති සිංහල බසින්  වගේම ඉංග්‍රීසි බසින් වුවත් හොද පරිගණක අධ්‍යාපනයක් ලබා දෙන. කැමති නම් ඒවාත් සටහන් කරන්න.

Thursday, July 5, 2012

දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය

සත් සමුදුරේදී බොහෝ විට ඔබ දැක ගත්තේ විදේශීය රටවල ඇසට ප්‍රිය දසුන්. එහෙත් අද ලිපියෙන් ඔබට දැක ගැනීමට සලස්වන්නේ අපේ රටේ ඉදිකරන ලද අතිශයින්ම අලංකාර බෞද්ධ පූජනීය ස්ථානයක සේයාරූයි. මෙම පින්තූර අයත්වන්නේ පොල්ගහවෙල, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගියදා විවෘත කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගයටයි.

අලංකාර බුද්ධ ප්‍රතිමා, අලංකාර හැඩයක් ඇති ‍ගොඩනැගිල්ලක් වගේම ඇසට ප්‍රිය උපදවන මල්කම් කැටයම් මෙන්ම විවිද දේවරූප සහ සත්ත්ව රූප වලින් යුත් කැටයම් වලිනුත් මෙම ගොඩනැගිල්ල ආකර්ශනීය බවක් ගෙන තිබෙනවා.




අපේ රටේ පෙර රජදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් හා දායකත්වයෙන් ඉදිකරන ලද රජමහා විහාර ඇතත් වර්ථමානයේ විහාර පන්සල් ඉදිවන්නේ ඉතාම අඩුවෙන්. එවන් වකවානුවක කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මගපෙන්වීමෙන් මෙවැනි අතිඅලංකාර වගේම ශ්‍රද්ධාව හිතට ඇති කරන විහාර මන්දීරයක් තැනීම ප්‍රශංසනීයයි. මෙම පෙන්වන අලංකාර පින්තූර වලට අමතරව මහමෙව්නාව වෙබ් අඩවියේත් තව පින්තූර රැසක් තිබෙනවා. ලිපියේ අවසානයේ එම පින්තූර මෙන්ම මෙම විහාර මාලිගාව පිළිබද තොරතුරු වලට පිවිසිය හැකි මගත් සටහන් කරන්නම්...



















http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/
http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/ssrm_opnc/?nggpage=6
http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/gallery-c-p-06/