-->

Friday, December 30, 2011

මධ්‍යතන යුගයේ පූජක බලපෑම - 4

තෙවන ලිපිය ටිකක් වෙනස් ආකාරයක් ගත්තත් එම ලිපියෙනුත් මෙම ලිපි මාලාවට අනගි මෙහෙයක් ඉටුකරන බව මගේ හැගීමයි. එසේනම් අද ලිපියෙන් මධ්‍යතන යුගයේ ප්‍රභලම කණ්ඩායමක් හා විටෙක රාජ්‍ය පාලනය පවා යම් බලපෑමක් කරන ලද පූජක පැලැන්තියේ වගතුග විමසා බලමු.

මේ වන විට මේ ලිපි මාලාවට අදාලව පලකර ඇති අනෙක් ලිපි -
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3

මෙහිදී පූජක පැලැන්තිය ලෙස ප්‍රධාන වශයෙන් හැදින්වෙන්නේ එදා ගමේගොඩේ පල්ලිවල සිටි පූජකයන් ගැන නොව ප්‍රධාන පෙලේ භූමිකාවකට පණදුන් බිෂොප්වරුන් පිළිබදවයි. ඔවුන් බැරන්වරුන් හා සමමට්මටක සිටි බව කියන අතරම ඔවුන්ගේ පාලනයට නතුවූ බලාධිකාරය Dioceses ලෙස හැදින්වූහ. මෙයින් ආවරණය කෙරුනේ ඒ ඒ ප්‍රදේශවල පල්ලි හෝ ආරාමයයි පැවසුවත් වරදක් නැහැ. එසේම ඔවුන්ට පහලින් සිටි සියළුම පූජකයන් සහ සියළුම පල්ලි ආරාම ආදියේ ප්‍රධාන පාලකයන් වූයේද ඔවුන්මය (Dioceses  - The district or churches under the jurisdiction of a bishop). තවද රටේ පහලම ස්ථරය වන ප්‍රවේණි දාසයන් වගා කල බෝගයන්ගෙන් වාර්ශිකව බද්දක් ලෙස දහයෙන් එකක් ලබාගත් අතර මේ නිසා බිෂොප්වරු හොද ධනවතුන්වූ බවද පැවසේ. මෙම දහයෙන් එකේ බද්ද Tithes ලෙස හදුන්වන ලදි (Tithes - A tenth part of one's annual income contributed voluntarily or due as a tax, especially for the support of the clergy or church).

මෙම බිෂොප්වරුන් අතරින්ද ප්‍රධානියා ආර්ච්බිෂොප් වූ අතර එතුමා රාජසභාවේද අසුන් ගත් අතිප්‍රභලයකු වූ අතර රාජ්‍ය පාලනයේදීද බලපෑමක් සිදුකල හැකි හා සිදුකල අයෙක් බව මේ යුගය ගැන කියවෙන බොහෝ විස්තරවලද පැවසේ. බිෂොප්වරුන් ලෙස පත්වූයේ එකල එම රටවල සිටි ප්‍රභූපැලැන්තියේ පවුල්වලින් පැවත ආ අය බවද කිවයුතුය.

විවිද මට්ටම වල පූජකයන්

14වන සියවසේ බිෂොප්වරයෙකුගේ Mitter ලෙස හැදින්වූ හිස්වැස්ම

ක්‍රිස්තියානි පල්ලිය එදා මධ්‍යතන යුගයේ විසූවන්ගේ ප්‍රධාන කේන්‍ද්‍රස්ථානයක් වූ අතර යුරෝපයේ එය කොටස් දෙකකට බෙදී තිබුන බවද පැවසේ. එනම් රෝමය කේන්‍ද්‍රගත කරගත් කතෝලික පල්ලි සහ එදා කොන්ස්තන්තිනෝපලය හෙවත් අද ඉස්තාන්බුල් මධ්‍ය ලක්‍ෂය කොටගත් ඔර්තර්ඩොක්ස් පල්ලියයි. මේ අතරින් වඩාත් බලවත් වූයේ කතෝලික පල්ලිය බව කිවයුතු අතර එහි ප්‍රධානියා පාප්වහන්සේවිය. සේම එයටම අවේණිකවූ නීති, ඉඩකඩම් සහ බදු ක්‍රමයක්ද නඩත්තුකරගෙන ගිය බව පැවසේ. මෙම කතෝලික පල්ලි එදා වාසය කල දුප්පත් පෝසත් භේදයක් නොමැතිව සියළු දෙනාගේම ජීවිත වලට අධ්‍යාත්මිකව ප්‍රභල ලෙස බලපෑ අතර කුඩා දරුවන් භෞතීස්ම කිරීම, විවාහ චාරිත්‍ර පල්ලියේ ඉටුකිරීම මෙන්ම ඉරිදා පැවැත්වෙන දේවමෙහෙයට සියළු දෙනාගේ සහභාගීත්වය සිදුවිය යුතුවිය. එපමණක් නොව කෙනෙකු මිය ගිය පසු පල්ලියේ පූජකතැන විසින් ඔහුගේ අවසන් කැමති පත්‍රය ප්‍රකාශකරනු ලැබූ අතර දේහය මිහිදන් කරනු ලැබූවේද පල්ලියේ භූමිය තුලයි.

එදා පෘතු‍වියේ විසූවන් බොහෝ සත්වයන්ගේ (මනුෂ්‍යන්ගේද ඇතුළුව) බොහෝ කෙටිවූවත් එම සියළු ධර්මතාවන්ට යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව අර්ථකතනයන් ලබාදී මරණින් මතු දිව්‍යාත්මභාවයන් ලැබීම පිළිබදව දිරිමත් කල අතර මිනිසුන්ගේ හදවතේ සහ සිතුවිලිවලට එයින් ඇතිකලේ දැවැන්ත බලපෑමකි. පූ‍ජකයන් මෙම කාර්යය ඉතා සාර්ථකව ඉටුකල අතර මිනිසුන්ගේ ජීවිතය කෙලවර වු පසු ඔහුගේ ජීවිතයේ හොද සහ නරක යන දෙඅංශයම දෙවියන් විසින් තුලනාත්මකව විමසා බලා ඔහුව ‍දිව්‍ය ලෝකයට රැගෙන යාමට සුරදූතයන්ට භාරකරනවාද, නැතහොත් ඔහුගේ නරක පැත්ත වැඩිනම් ඔහුව අපායට රැගෙන යාමට යමපල්ලන්ට භාරකරවාද නැත්ද යන්න තීරණය කරනු ලබන බව පූජකයන් දේශනාකලේය. එපමණක් නොව පල්ලිවල එම සිදුවීම දැක්වෙන සිතුවම් සිත්තම් කිරීමට හෝ කැටයම් මූර්ති ආදියෙන් නිරූපණය කරවීමටද වගබලාගත්තේ එදා විසූ බොහෝ ජනතාවට සාක්‍ෂරතා හැකියාවක් නොතිබූ නිසා ඔවුන්ට මෙම ධර්ම කරුණු හොදින් තේරුම් ගැනීමටයි.



පල්ලියේ ඉගැන්වීම් වලට අභියෝගකරන ලද නිර්භිත අයද එදා සිටියහ. ගිහි පාර්ශවයෙන් මෙන්ම පල්ලියේ පූජකවරය ලබා පූජකයන් ලෙස කටයුතු කල අයද, පල්ලියේ ඉගැන්වීම් වලින් මිනිසුන් ආධ්‍යාත්මකිව මෝහනයකට ලක්කරත් අතිශයින් ධනස්කන්දය එක්රැස්කරගෙන පූජකයන් සැපවිදීම ගැන කලකිරීමට පත්ව සත්‍යතතු ලෝකය හමුවේ පැවසීමට සිටියවුන් සිටියහ. පල්ලිය විසින් මෙවැනි අය හැදින්වූයේ Heretics නැතහොත් මිත්‍යාදෘෂ්ඨිකයන් ලෙසයි. (Heretics - A person who holds controversial opinions, especially one who publicly dissents from the officially accepted dogma of the Roman Catholic Church). එහෙත් ඔවුන්ට මෙවැනි අභියෝග කිරීම නිසා විදින්නට සිදුවූ ගැහැට නම් අපමන විය. පල්ලියට මෙවැනි පුද්ගලයන් හෝ කණ්ඩායම් කිසිදු අනුකම්පාවකින් තොරව ඉවත්කරදැමීම අතිශයින් වැදගත් වූයේ මෙවැනි මත සමාජය තුල ස්ථාපිතවීම ඔවුන්ගේ බලපරාක්‍රමයට කරන බලපෑම සුළුපටු නොවන බව හොදින් වටහා ගැනීම නිසයි. ඔවුන් සදහා විශේෂිතම නීතිමාලාවක් ක්‍රියාත්මක කල අතර ඔවුන‍්ව සහමුලින්ම ඉවත් කිරීම සදහා ප්‍රසිද්ධියේ පුලුස්සා මරන ලද්දේ ඔවුන් මිත්‍යාදෘෂ්ඨිකයන්/මිසදිටුවන්, මන්ත්‍රකරුවන්, මායාකරුවන් ආදී විවිද අර්ථකථනද ලබාදෙමිනුයි.

උදාහරණයක් ලෙස 11 වන ශතවර්ශයේ දකුණු ප්‍රංශයේ සහ උතුරු ඉතාලියේ විසූ Cathar නම් ආගමික කණ්ඩායම කතෝලික පල්ලියේ ප්‍රධානතම ඉගැන්වීමක් වන දෙවියන් වහන්සේ සියළු සේ මැව්වාය යන සංකල්පය ප්‍රතික්‍ෂේපකල අතර ඔවුන්ගේ අදහසවූයේ සියළු දේ මවන ලද්දේ සාතන් විසින් බවයි. තවද‍ භෞතීස්ම යනාදී කතෝලික මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ ප්‍රධානම අංගයන්ට දෙවියන් නොව සාතන් මැදිහත්වන බව ඔවුන් විශ්වාසකලහ
(Beliefs Common to All Cathars- All Cathars believe that the devil made the world and everything in it, and that all the sacraments of the Church, both that of baptism by water, which is material, and the others, do not help us to salvation, and are not true sacraments of Christ and his Church but devilish frauds of a church of the wicked. http://courseweb.stthomas.edu/medieval/francis/catharism.htm)


කෙසේවෙතත් කතෝලික පල්ලිය හා Cathar පාර්ශවය අතර ගැ‍ටුම උග්‍රවූ අතර කතෝලික පල්ලියේ ප්‍රධානියා වන පාප්තුමා 1208 මාර්තු 10 වනදා සියළු මිසදිටුවන් මුලිනුපුටා දැමීමට ශුද්ධවූ යුද්ධයක් ප්‍රකාශයට පත්කලේය. මෙයින් පසුව මෙම Cathar විශ්වාසය තිබූ ජනයාට වදබන්ධන වලට ලක්වීමට හා පුළුස්සා ඝාතනයට ලක්වීමට සිදුවූ අතර 200,000 සිට  මිලියනයක අතර පිරිසක් ගතවු වසර 26 දි පමණක් කතෝලික පල්ලියේ පාර්ශවය විසින් මරණයට පත්කරනලද ලද බවද අතීතාවලෝකණයේදී දැනගන්නට ලැබේ.


කෙසේවෙතත් මෙම ජන සංහාරයේදී ඉතිරිවූ Cathar වණගතව සිට රහසිගතව හෝ ඔවුන්ගේ බලය නොනැසී තිබූ ප්‍රදේශවල බලකොටු සහ ආරාම ආදියට රැස්ව තර්ජනයන්ට මුහුණ දුන්නත් ඔවුන් රැස්ව සිටි ස්ථාන විනාශයට ලක්වීම හා සැගවී සිටියවුන් අසුවුවිට දරුණු වදයන්ට ලක්කර මරාදැමීමද සිදුකරත් අද දක්වා මෙම විශ්වාසය ඇති අය ලෝකයේ විවිද ප්‍රදේශවල වාසය කරයි.
(http://www.philipcoppens.com/catharism.html)

සමස්ථයක් වශයෙන් ගත්කල පූජකයන් බහුතරය සාක්‍ෂරතාවය ඇති අයවූහ. ඇතැම්විට එම හැකියාව නැති අයද නොසිටියා නොවේ. කෙසේවෙතත් ඇතැම් මූලාශ්‍රවල සදහන් පරිදි ඉහලපෙලේ පූජකයන් වන බිෂොප්වරු වැනි පූජ්‍ය පක්‍ෂය හැරුනකොට ගම්බදව තිබූ කුඩා පල්ලිවල පූජක ජීවිතය නම් රළු වූ බව පැවසේ.  යම් අධ්‍යාපනයක් ලැබූ අයවූ මේ පූජකයන් ලතින් භාෂාව පිළිබදව දැනුම තිබූ අතර බයිබලයේ එන කතාප්‍රවෘත්තීන් ආදිය තුලින් දෙවියන් කෙරේ වූ භක්තිය ගැමියන් තුල ඇති කිරීමට මෙම පූජකයන් සමත්ව ඇත.

එ‍සේ ධර්ම කටයුතු වල යෙදුන ‍මේ අය මුලින් කී ප්‍රධාන පෙලේ පූජකයන්‍ මෙන් ධනවතුන් නොවූහ. ගම්බදව විසූ ගොවියන් මෙන් දිළින්දන් වූ මෙම පූජකයන්ට තිබූ සහනය වූයේ තමන්ටම කියා භූමියක් තිබීම හා රදල පැලැන්තියේ පීඩාවට ප්‍රවේණි දාසයන් මෙන් ලක් නොවීමයි. තවද තම භූමිය තුලම තමන්ගේ ආහාර බෝගවගා කිරීමද ඔවුන් සිදුකලහ. මෙම පූජකයන්ට අයත්ව තිබූ භුමිය Glebe (දේවස්ථානයට වෙන් කරන ලද බිම -A plot of land belonging or yielding profit to an English parish church or an ecclesiastical office) ලෙස හදුන්වා ඇත.  එසේම ඔවුන්ට වෙනත් කටයුතු වලට අවශ්‍ය මුදල් උපයාගැනීම සිදුකර ඇත්තේ දරුවන් භෞතීස්ම කිරීම, විවාහ කටයුතු සහ අවමංගල්‍ය උත්සව ආදියෙනි.

එහෙත් ඇතැම් මූලාංශ්‍ර වලදී නම් මෙයට පරස්පර කාරණයක්ද පැවසෙන අතර ප්‍රධාන පෙලේ පල්ලිවලට වාර්ශිකව අයවිය යුතු බදු මුදල වන අස්වැන්නෙන් 1/10 ක කොටස එකතු කිරීමේ කාර්යය සිදුකරනු ලැබුවේ නාගරිකව හෝ ගම්බදව තිබූ කුඩා පල්ලිවලින් බවටද සදහන් කර ඇත.
මෙය ගම්බද පල්ලි වල නොව විශාල ප්‍රමාණයේ පල්ලිවල හමුවන ගබඩාවකි. මෙය යොදාගත්තේ පල්ලියට ලැබෙන අස්වැන්නෙන් 1/10 කොටස ගබඩා කිරීමටයි


එසේනම් මෙම ලිපිය දැන් අවසන් කරන අතර මෙහි අඩංගු කරුණු වලින් කිසිදුවිටක කිතුදහමට අගෞරවයක් හෝ පහත් කිරීමක් සිදුකිරීමට අදහස් නොකළ බවද දන්වන අතර එම කාලවකවානුවේ ඒ ඒ සමාජ මට්ටම් පිළිබදව කතාකිරීමේදී කතානොකරම බැරි හා ඇත්ත තතු නොසගවා සිටිය නොහැකි නිසා මෙවැනි සංවේදී ආගමික කරුණුද සාකච්ඡා කිරීමටද සිදුවිය. ඒවගේම මා කිතුනු භක්තිකයෙක් නොවන නිසා මෙහි කරුණු වල යම් සාවද්‍ය බවක් ඇත්නම් තර්කානුකූලව ඒවා නිවැරදි කිරීමේ අවස්ථාවද ඔබලාට හිමිය.

නැවත පස්වන ලිපියෙන් හමුවෙමු...

Tuesday, December 27, 2011

ජැමෙයිකානු පාතාලය පසුබිම් කොට තැනූ Shottas

අපි ජැමෙයිකාව කියන රට ගැන දන්නේ බොබ් මාලේගේ රෙගේ සංගීතය, ඒවගේම ලෝ ප්‍රකට කෙටිදුර ධාවන ශූරයන්, තවත් අතකින් බටහිර ඉන්දියානු කොදෙව් දූපත් සමූහයේ රටක් විදියට එම රටින් බිහිවුන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබදව සහ දර්ශනීය ස්ථාන වලින් යුත් සංචාරක පුරවරයක් පිළිබදවයි. ඒත් ඒ දන්නා දේට ආවරණය වෙලා බොහොම බියකරු පාතාල ලෝකයක් එම රටෙත් මුල්බැස ගෙන තියෙනවා කියලා දැනගන්න හොදම අවස්ථාවක් තමයි මේ චිත්‍රපටිය. එනම් 2002 වසරේදී තිරගතවූ Shottas කියන චිත්‍රපටියයි.

මේ චිත්‍රපටියේ සිටින නළුනිළියන් නම් අපි දන්නා කියන අය නොවෙයි. ඒවගේම ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මාණය කොට තිබුනත් වරින් වර ඔවුන්ගේ රටට ආවේණික භාෂාවෙනුත් එකිනෙකා කතාකරන බව දැකගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානු හෝ ලතින් ඇමරිකානු Gangsters ගැන තිබෙන චිත්‍රපටිවලට සමාන බවක් තිබුනත් මේකේ ටිකක් වෙනස් බවකුත් දකින්නට ලැබෙන බව කියන්න පුළුවන්.

හැබැයි ඒ චිත්‍රපටිවල වගේම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් හා භාවිතය, කාන්තාවන්, ඒවගේම එකිනෙකා මරාගැනීම වගේ පොදු සාධකත් මෙහි අන්තර්ගතයි. මෙහි ආරම්භය වගේම කතාව අතරින් පතර සිදුවීම් ඒ වසරේදීම තිරගතවී තිබෙන බ්‍රසීල පාතාල ලෝකය ගැන කියවුන City of God  චිත්‍රපටියට සමාන බවකුත් නැත්තෙම නැහැ. හැබැයි මේ චිත්‍රපටි දෙකේදීම දැකපු කාරණය තමයි මේ චිත්‍රපටි දෙකටම යොදාගෙන තිබෙන්නේ අපිට දැකල පුරුදු නළුනිළියන් නොවීම.

ඔබටත් හැකියාවක් ලැබුනොත් Shottas සහ City of God කියන  චිත්‍රපටි දෙකම නරඹන්න.වසර කිහිපයක් පැරණි වුනත් අද බහුලවම දකින්න ලැබෙන පරිගණක ප්‍රයෝග පිරුණ චිත්‍රපටිවලට වඩා වෙනස් අත්දැකීමක් ගෙන දේවි. හැබැයි මෙහි තිබෙන්නේ රසවත් මාතෘකාවක් නොවෙයි. ලෝකයටම පිළිලයක් වී ඇති මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිතව බිහිවී ඇති පාතාල ලෝකය හා නිරපරාදේ මනුෂ්‍ය ජීවිත විනාශවීම ගැන තමයි මේවායේ දැකගන්නට ලැබෙන්නේ.

මීට පෙරත් ඇමරිකානු හා ලතින් ඇමරිකානු පාතාල ලෝකය ගැන අලලා තැනුන වාර්තා චිත්‍රපටියක් ගැනත් සත් සමුදුරේ පලවුනා මේ ඒ ලිපියට සබැදියයි  -

"Never be a Gangster, but you can learn their movements" - Gangland


Friday, December 23, 2011

රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3

මේ ලිපිය ලියන්නට හිතුනේ කලින් ලිපියේදී මිතුරෙකු අසා තිබූ පැනයකට යම් පිළිතුරක්ද ලබාදීම සදහායි. කෙසේවෙතත් පසුගිය ලිපියේ මාතෘකාවට අදාලව නම් මේ ලිපිය තරමක් බැහැරට ගියත් ඒ ලිපියේ යම් යම් කරුණු වලට සබැදියාවක් ඇති ‍නිසා මේ ලිපියත් ලිපි පෙලේම තවත් ලිපියක් ලෙසම නම් කරන්න බලාපොරොත්තුවුනා.

මේ ලිපි පෙලේ කලින් ලිපි -
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era
රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2 

(මේ ලිපි පෙල ලියන්න හේතුවුනේ මේ ලිපිය නිසයි - ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? +18 - This Post is MORE SUITABLE for ADULTS)

ඇත්තෙන්ම සමෘධිමත් රෝම යුගයෙන් පසු එහෙමත් නැත්නම් දීර්ඝ කාලයක් විවිද ක්‍ෂෙත්‍රයන් ඔස්සේ දියුණුවෙන් දියුණුවට පත්වූ  රෝම අධිරාජ්‍ය හෝ රෝම සමූහාණ්ඩුවලට පසුව එළඹුන මධ්‍යතන යුගය ඉතාමත් පසුගාමී හා පුනරුද යුගය පැමිනෙන තෙක්ම දේශපාලනික, ආර්ථික, සංස්කෘතික මෙන්ම හරපද්දතීන්ගේ දැවැන්ත බිදවැටීමක් තිබුන යුගයක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවනවා. එහෙත් සත්‍ය වශයෙන්ම මෙතරම් පසුගාමී තත්ත්වයකට එම යුගය පත්වුනේ ඇයිද කියන මතය විවිද ඉතිහාසඥයන්ගේ අදහස් මෙන්ම තර්කානුකූල මතයන් ඔස්සේද විමසූ විට පිළිතුරු රැසක් ලබාගත හැකියි.

දහ අටවන ශතවර්ශයේ විසූ ඉතිහාසඥයෙකු හා දේශපාලනඥයෙකුවන Edward Gibbon විසින් 1776 දී පමණ ලියන ලද The History of the Decline and Fall of the Roman Empire නම් කෘතියට අනුව ඔහු සදහන් කරන්නේ රෝම යුගයේ බිදවැටීමට මිනිසුන්ගේ ගුණදම් මෙන්ම සභ්‍යත්වය, ශීලාචාරකම බිදවැටීමත් හේතුවූ බව. මෙය බොහෝවිට රෝම අධිරාජ්‍යයට දැවැන්ත තර්ජනයක්වුන ම්ලේච්ඡ ආක්‍රමණ එහෙමත් නැත්නම් Barbarians වරුන් අතින් සිදුවූ ආක්‍රමණ හේතුවන්නට ඇති.  Barbariansවරුන් විවිද ප්‍රදේශවලින් පැමිණි විවිදාකාරයේ මිනිසුන්. ඉතින් ඔවුන් අතර සංස්කෘතිකමය හෝ හරපද්දතින් වලින් බැදීමක් නොතිබුනා වගේම ආක්‍රමණිකයාට හැකි උපරිම හානියත්, ඒවායේ ස්ථාපිතව තිබූ සංස්කෘතිකමය ලක්‍ෂන විනාශකිරීමත් ඔවුන් සිතාමතාම හෝ කිසිදු අදහසකින් තොරව නිකරුනේ වුවත් සිදුකරන්නට ඇති. සතුරා කෙරේ කිසිදු අනුකම්පාවක් නොදැක්වූ බව කියන මේ ආක්‍රමණිකයන්, නීතිමය බැදීමකින්ද තොරවූ නිසා විවිද අශිලාචාරකම්වලින් සතෘප්තවූ මොවුන් ඒ ප්‍රදේශවල ස්ථානගතවීමත් සමග  ටික කලෙකට පසුව මොවුන් සංග්‍රාමිකව දක්‍ෂයන් වූවත් සිවිල් පරිපාලන ව්‍යුවහයන් නිසිපරිදි පවත්වාගෙන යානොහැකිවීමත් අනිවාර්යයෙන්ම සිදුවෙන්නට ඇති. 
පිරිමින් යුද්දයේදී බාබේරියන්වරුන්ට ගොදුරු වූ පසු රෝම ස්ත්‍රීන් හා ළමුන් බාබේරියන්වරුන්ට ගොදුරුවීම

ආක්‍රමණිකයන්ට කලා නිර්මාණ වැදගත් දේ නොවූහ
 ඒ එක්කම යුදවාතාවරණය නිසා රෝම යුගයේ සිටි වැදගත් වෘත්තිකයන් මෙන්ම, කලා ශිල්පීන් ආදිය සතුරාගෙන් මියයාම හෝ අදාල ප්‍රදේශ හැරදා යෑම නිසා ඒ ඒ ක්‍ෂෙත්‍රයන්ගේ බිදවැටීමත් මෙවන් අදුරුයුගයක් බිහිකරන්නට නිතැතින්ම එක් හේතුවක් වන්නට ඇති. තවද අධ්‍යාපනික මධ්‍යස්ථාන හා ශාස්ත්‍රීය අධ්‍යාපනය පිළිබදව කීර්තිමත්බාවයක් ඉසිලූ පුද්ගලයන්ගේ මරාදැමීම හෝ එවන් අය බිහිනොවීමත්  නිසා දැනුමෙන් පෝශනය වූ මිනිසුන් වෙනුවට හිස් මිනිසුන් බිහිවී සිතන්නට, තර්කකරන්නට ශක්‍යතාවය ඇති පුද්ගලයන් බිහිනොවීමත් උඩ කලින් ලිපියේද පැවසුවාසේ ප්‍රභූවරුන්වූවත් දැනුමෙන් නුවනින් හෙබි අය වෙනුවට මරණීය ක්‍රීඩා ප්‍රිය රනශූරයන් එදා සුපිරි වීරයන් වීම සිදුවන්නට ඇති.
රෝම හමුදාව සතුව තිබූ මෙවන් බර ආයුධ අභිබවා යෑමේ ශක්තිය බාබේරියන්වරු සතුවූහ

ඒ එක්කම මේ ඉතිහාසඥයා මේ අදහස එනම් මිනිසුන්ගේ ගුණදම් බිදවැටීමට ප්‍රතිවිරුද්ධ අදහසකුත් දක්වනවා. එනම් පසුකාලීනව ක්‍රිස්තියානිකරණයවූ රෝම අධිරාජ්‍යයේ මිනිසුන් ඒ නිසා රණකාමීත්වයෙන් තොර මිනිසුන් බවට පත්වු බවටද අදහසක් දක්වනවා. ක්‍රිස්තියානි ආගමත් සමග මිනිසුන් මෙලොව එකිනෙකා පරයා සිටිනවාට වඩා මරණින් මතු දෙව්ලොව යාමේ බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් වැඩකටයුතුවල නිරතවීමත් රණකාමිත්වය දුර්වලවූ බවට ඔහු හේතු දක්වනවා.


Vegetius කියන ඉතිහාසඥයා පවසන අන්දමට දුර්වල හමුදා බිහිවීම නිසාරෝම යුගය බිදිවැටීමට හේතුවක් බවයි.තවද Arther Ferrill සහ A.H.M. Jones වැනි ඉතිහාසයඥයන්ද මේ අදහසට යම් නෑකමක් කියන අදහසක් දක්වනු ලැබේ. එනම් රෝම අධිරාජ්‍ය පුළුල් වෙත්ම එය ආරක්‍ෂාකිරීමට මෙන්ම අල්ලා ගන්නා ලද ප්‍රදේශ වලින් ජර්මැනික් කුලී හේවායන් රෝම legions තුලට අන්තර්ග්‍රහණය කිරීම හේතුවෙන් පසුකාලීනව මේ හමුදා කණ්ඩ විශාල වශයෙන් සමන්විත වූයේ ජරමැනික් කුලී හේවයන්ගෙනි. මේ ඉතිහාසඥයන් මෙය "Germanization" ලෙස අර්ථ දක්වන අතර කලක් ගතවෙත්ම හමුදාව තුල සභ්‍යත්වය මෙම විවිද අදහස් ඇති පුද්ගලයන් නිසා ‍බිදීයන්නට ඇති බවත් මේ නිසා ඉබේම හමුදා "barbarization" වීම අධිරාජ්‍ය‍යේ සමස්ථ හමුදා පද්දතිය දේශ හිතෛශී ආකල්පයන්ගෙන් දුරස්වූ පද්දතියක් බවට පත්වීම මෙන්ම අධිරාජ්‍යයාට හෝ තම උසස් හමුදා නිලයන්ට හිතවත්භාවය ගිලිහී යාම නිසා පිටත Barbarians ආක්‍රමණ මෙන්ම හමුදාව තුලින්ම සිදුවූ Barbarians නොසන්සුන්තාවයන්, කැරලිගැසීම් අධිරාජ්‍යයේ පැවැත්මට බරපතල තර්ජනයක් වන්නට ඇති බවටයි. එමෙන්ම එංගලන්තයේ යුද ඉතිහාසඥයෙකුවන Adrian Goldsworthy ගේ පොතක් වන The Complete Roman Army (2003) අනුව රෝම හමුදාවන්ට පසුකාලීනව බාහිර සතුරන් මර්ධනයට වඩා රට අභ්‍යන්තරයේ හටගත් සිවිල් යුද්ද මැඩපැවැත්වීමට මුල්තැන දෙන්නට සිදුවීමද මෙම අධිරාජ්‍යයේ අස්ථාවරත්වයට තවත් හේතුවක් වී ඇත.

එසේම හා හමුදා නඩත්තුව වැනි කටයුතු සදහා අධික බදු අය කිරීම නිසා මිනිසුන් කෘෂිකර්මාන්තයෙන් දුර්ස්වීම වැනි හේතු තවත් ආකාරයකින් ආර්ථිකයට පහරක්වීම රෝමයේ සමෘද්ධිමත්භාවය ගිලිහී යන්නට එක් හේතුවක් බවයි.

Arnold J. Toynbee සහ James Burke යන ඉතිහාසයඥයන් තවත් ආකාරයක අදහසක් මෙම රෝම යුගය බිදවැටීමට දක්වයි. එනම් ආරම්භයේ පටන් රෝම අධිරාජ්‍යයේ තිබූ පාලන විධික්‍රම යාවත්කාලීන නොවී එකතැන පල්වූ බවයි. එහි අයවැය සම්පාදනයක් වැනි ආර්ථික කළමණාකරණ සංකල්පයක් නොතිබූ බවට ඔවුන් මත පල කරයි. තවද ක්‍ෂය වන සම්පත් හා නාස්තියට පත්වන සම්පත් හදුනාගැනීමට හෝ ඒවා රැක ගැනීම පිළිබදව අතීත රෝමානුවන්ට ආකල්ප නොතිබූ බවද ඔවුන්ගේ අදහසයි. එහි තිබුනේ හැකි පමණින් කොල්ලකෑමේ නැතහොත් ලූටන සංකල්පයක් බව ඔවුන් පවසන අතර යටත්විජිතයක් අල්ලාගත් පසු එහි සම්පත් අවිචාරවත් අන්දමට කොල්ලකෑම හෝ ඒවායෙන් හිතූමනාපයෙන් බදු එකතුකිරීම ආර්ථික වශයෙන් රෝම අධිරාජ්‍ය පසුකාලීනව පසුගාමීවීමට බලපෑ අන්දම ඔවුන් පැහැදිලි කරයි.මේ තත්ත්වය රෝම යුගයේ පමණක් නොව ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේ පවා දීර්ඝ කාලයක් පැවති බවට සාක්‍ෂි එමටය.

ඇමරිකානු මහාචාර්යවරයෙකු වන Joseph Tainter ගේ පොතක් වන The Collapse of Complex Societies අනුව රෝම අධිරාජ්‍යයේ පුළුල් වීම මෙන්ම දිනෙන් දින වැඩිවන ජනගහණයට ප්‍රමාණවත් පරිදි කෘෂිකාර්මිකව ආහාර නිපදවීම විවිද කාරණා නිසා සිදුනොවීමද රෝම අධිරාජ්‍ය බිදවැටීමද තවත් හේතුවකි. මෙයින් මිනිසුන් කුසගින්නේ සිටීමට සිදුවීම, දිළින්දන් හා වහලුන් මේ නිසා විවිද රෝගාබාද වලට ලක්ව මියයාමෙන් ශ්‍රම බලකායේ හීනවීම හා බෙලහීන තත්ත්වයකට පත්වීම මෙන්ම විවිද නොසන්සුන් තත්ත්වයන් ජනතාව අතර ඇතිවීම සිදුවන්නට ඇත. මෙවැනි තත්ත්වයන් ඉන්පසුව පැමිණි මධ්‍යතන යුගයේදීද දැකගත හැකිවිය.

Plagues and Peoples නම් පොත සම්පාදනය කල   ඉතිහාසයඥ William.H.McNeil‍ ගේ මතයට අනුව වසූරිය, සරම්ප ‍මෙන්ම තවත් විවිද ලෙඩරෝග වසංගත තත්ත්වයෙන් විවිද කාලවකවානුවල ව්‍යාපත්වීමද රෝම අධිරාජ්‍යයට උදාකලේ අයහපතක් බවයි. ක්‍රි.ව. 165 තරම් ඈතකාලයේ පටන් මෙලෙස රෝග වසංගත තත්ත්වයෙන් ව්‍යාපත්වීම සිදූවූ බව ඔහු සදහන් කරන අතර එය අධිරාජ්‍යයේ සියළු අංශ ඒ අවදිවලදී අඩපණකර දමන්නට ඇති බව ඔහුගේ මතයයි. එසේම පසුව රෝම අධිරාජ්‍යයේ කොටස් නතුකරගත් ම්ලේච්ඡයන් වෙතින්ද ඔවුන් අතර තිබූ විවිද ලෙඩරෝග ව්‍යාපත්ත වන්නට ඇති අතර මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා ශාකවලට වැලදෙන ලෙඩරෝගද ඔවුන් සමග පැමිනෙන්නට ඇත.

Jerome Nriagu නම් භූරසායණික විද්‍යාඥයා පවසන අන්දමට රෝමානුවන්ට එදා අද්භූත ලෙඩවලටද ගොදුරුවන්නට සිදුවිය. එයට හේතුව ලෙස ඔහුදක්වන්නේ ඊයම් විශ‍වීමෙන් ඔවුන් නොදැනුවත්වම සුවකල නොහැකි පිළිකා ආදියට ගොදුරුවී ඒවා වැලදුන හේතුවවත් නොදැන විවිද රෝමානුවන් මිය පරලොව යන්නට ඇති බවයි. ඔහු විසින් 1983 දී රචිත "Lead poisoning contributed to the decline of the Roman empire" පොතට අනුව කරුණු රැසක් මේ පිළිබදව ඔහු විසින් හෙලිකර ඇත. ඔහු විසින් ගැඹුරින් පුරාණ රෝමවරුන් ගැන පර්යේෂන කල අතර එහිදී ඔහු රෝමවරුන්ගේ රසකාරක ද්‍රව්‍ය ගැනද අවධානය යොමුකලේය. එහිදී සොයාගත් කරුණුවලට අනුව රෝමවරුන් defrutum නම් සීනි සිරප් වර්ගයක් මී පැණි වලින් තනා ගෙන ඇති ඒ සදහා මී පැණි උණු කර ඇත්තේ ඊයම් මිශ්‍රිත බදුන්වලය. මේ සීනි සිරප් වර්ගය එදා ඔවුන්ගේ විවිද ආහාර රසවත් කර ගැනීමට බහුලව භාවිතා කර ඇති අතර එයින් රෝමවරුන් බහුලව ඊයම් හේතුකාරක වූ‍ රෝගාබාදයන්ටද නිරායාසයෙන්ම ලක්වන්නටද ඇත. මේ විතරක් නොව එදා විද්‍යාවට හසුනොවූවද ඒඩ්ස්, සමාජ රෝග, වෙනත් ආකාරයේ සුවකල නොහැකි රෝග මනුෂ්‍ය සමාජයට දැවැන්ත බලපෑමක් ඇති කරන්නට ඇති.

රෝම අධිරාජ්‍ය ගැන හැදෑරූ ප්‍රවීණයන්ගේ තවත් මතයක් වන්නේ පාරිසරික සාධකද රෝම අධිරාජ්‍යයේ පිරිහීමට යම් ආකාරයකින් හේතුවක් වී ඇති බවයි. ඇතැම්විට ස්වභාවදර්මයේ බලපෑමෙනුත්, තවත් අවස්ථාවක නිසි කළමණාකරණයක් නොතිබූ රෝමානුවන්ගේ බලපෑමෙනුත් මෙවැනි දේ සිදුවූ බව පැවසේ. පාශු ඛාදනය මෙන්ම නිසි ජලකළමණාකරණයක් පවත් නොගෙනයාමද නිසා ඇතැම් සශ්‍රිකබිම් යලි කිසිදා වගාකල නොහැකි නිසරු බිම් හෝ කාන්තාරබවට පත්වූ බව ඔවුන් පවසයි. උතුරු අප්‍රිකාවේදී මෙවැනි බිම් හමුවන බවද ඔවුන් පවසන අතර තවත් අයුරකින් අවචාරවත් අන්දමින් සතුන් දඩයම් කිරීම හෝ අල්ලා ගෙන විවිද විනෝද කටයුතුවලට යොදවා ගැනීම හේතුවෙන් සමහර සතුන් මිහිතලයෙන් වදවීයාමටද රෝමන්වරු දායකවී ඇතිබවටද චෝදනා නැගේ. මෙහි දැක්වු ස්වාභාවික හා මනුශ්‍ය බලපෑමෙන් ඇතිවූ පාරිසරික විපර්යාස හා වෙනත් හේතු නිසා පිරිසිදු ස්වාභාවික ජල ප්‍රභවයන් සදාකාලිකව හිදීයාම හෝ දූෂිත තත්ත්වයට ලක්වීම නිසා ඉතිහාසයේ ඇතැම් අවස්ථාවලදී මිනිසුන් ජල හිඟයන්ටද ලක්වූ බව මෙම ප්‍රවීණයන් දක්වා ඇත. මෙවැනි හේතුද රෝම යුගයේ අවසානය ඉක්මන් කිරීමට හේතුවූබවද ඔවුන් පෙන්වා දෙයි.
එදා ජය ගෝෂාවලින් කන්බිහිරි කරන්නට ඇති කොලෝසියම් රඟමඩල අද නටඹුන්ව

ඒවගේම දැවැන්ත බාබේරියන් හමුදා ආක්‍රමණ නිසා ඒකාබද්දව තිබූ රෝම අධිරාජ්‍යයේ ප්‍රදේශ ඇතැම් කලාපවලදී විතැන්වී අකණ්ඩභාවය ගිලිහී යාම නිසා සැපයුම් මාරග අහිමිවීම, පරිපාලනමය සන්නිවේදනයන් බිදවැටීම නිසා පසුකාලීනව පහසුවෙන් සතුරාට අත්පත්කරගැනීමට හැකිවීම හා සමහරවිටෙක එවන් ප්‍රදේශ මූලෝපායිකව අධිරාජ්‍යයට වැදගත්වීම හේතුකොට ගෙන තවතවත් ප්‍රදේශ ඉබේම සතුරා අතට පත්වී රෝම අධිරාජ්‍යය දෙදරීමට හේතූවුබවද ඉතිහාසඥයන් කරුණු දක්වයි.

මෙසේ ක්‍රමයෙන් අධිරාජ්‍ය බිදියන විට සාර්ථකත්වය කෙසේවෙතත් ඒ වන විට දීර්ඝ කාලයක් යම් පිළිවෙලකට පවත්වාගෙන ආ යාන්ත්‍රණය ලිහිල්වීමත් සමග පරිපාලණමය, දේශපාලනිකමය, ආර්ථිකමය, සංස්කෘතිකමය මෙන්ම සභ්‍යත්වයේ කඩතුරාවන්ද පාමුලට වැටී සමාජ ව්‍යුවහය නිරුවත් වීම සිදුවිය. සාධාරණත්වය, යුක්තිය වීම වෙනුවට ශක්තිය, යුක්තිය වීම සිදුවිය. මේ තත්ත්වය මධ්‍යතන යුගයේදී සුලභ ලක්‍ෂනයක් විය. එසේම මේ ලිපියේ රෝම අධිරාජ්‍යයේ පරිහාණියට පලපෑ බොහෝ කරුණු රෝමවරු හෝ එම පාලනය බිදවැටුනාට යුරෝපා සමාජයෙන් වියැකී නොගොස් ශේෂවී දීර්ඝ කාලයක් එම සමාජයට විවිද අහිතකර බලපෑම් ගෙන දෙමින් අන්ධකාර යුගයක් ස්ථාපිත කර තබාගන්නට විය.

එහෙත් මේ තත්ත්වයන් පසුගිය ආසන්න ශතවර්ශවල ව්‍යාපත්වූ අධිරාජ්‍යවාදයෙන් බැටකෑ රටවල් නැවත නිදහස ලබා ගත්පසුව උදාවී ඇත්තේ ඇතැම් අවස්ථාවල අධිරාජ්‍යවාදීන්ගේ වරදකින්ම නොව ඔවුන්ගෙන් නිදහසින් පසුව පැමිණි එම රටේම ස්වදේශික පාලකයන්ගේ වරදවල් වලිනි. ඇතැම් යටත්විජිත, අධිරාජ්‍යවාදීන්ට නතුවීම නිසා ඒ රටවල සම්පත් ආක්‍රමණික අධිරාජ්‍යවාදීන් තමන්ගේ සුභසිද්ධියට යොදාගෙන ඒවා තිබූ ර‍ටවල වැසියන්ට අහිමිකලා සේම ඔවුන් ගිය පසුවද ඔඩුදුවන ගැටළුද බොහෝ රටවල ඉතිරිකල බව සත්‍යයකි. එහෙත් බොහෝ රටවල මේ තත්ත්වයට අමතරව නිදහස ලැබූ තමන්ගේ රටේ ජනයාට සැබෑ නිදහස ලබාදෙනවා වෙනුවට තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට ක්‍රමයන් දියත් කරනවා විනා රටේ දියුණුවට නිසි විනයකින් යුතු ක්‍රියාමාර්ග නොගැනීම තවමත් බොහෝ යටත්විජිතකරණයට හසුවූ රටවල් දුක්විදිමින් සිටින්නට හේතුවකි.

සුපුරුදු ලිපිය සතරවන කොටසසේදී...

Monday, December 19, 2011

රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages - 2


ඔබලාට මතක ඇති මීට මාසයකට විතර කලින්, යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era යන මාතාකාව යටතේ ලිපියක් සත් සමුදුරේ පලකලා. ඒ ලිපිය ලිපි මාලාවක පළමු වැන්න වුනාට ඉන්පසුව එහි දෙවන කොටස විවිද හේතුනිසා පලකරන්න බැරිවුනා. මෙන්න එහි දෙවන ලිපිය මේ ලිපියෙන් කතාකරන්නට බලාපොරොත්තුවෙන්නේ රෝම යුගයට පසුව එළඹුන මධ්‍යතන යුගය එහෙමත් නැත්නම් යුරෝපය ආපස්සට ගමන්කල යුගයක් ගැන කතා කරන්නයි.

මේ ලිපියේ ආරම්භයේ Medieval කියන වචනය ඔබ දකින්නට ඇති එය ලතින් බසින් බිදි ආ වදනක්. එය ලතින් බසින් දක්වනවා නම් "Medium aevum" එහි අර්ථය ඉංග්‍රීසි බසින් "The Middle Ages" යන්නයි. මධ්‍යතන යුගයට පෙරාතුව තිබුන යුග ඔබ මේ වන විටත් දන්නා ආකාරයට පෞරානික ග්‍රීක යුගය හා රෝම යුගයයි. ඉන්පසුව එනම් මධ්‍යතන යුගයට පසුව පැමිණි යුගය පුනරුද යුගයයි (Renaissance Period).

මධ්‍යතන යුගය පැවති කාලවකවානුව දළ වශයෙන් දක්වන්නේ නම් එය ක්‍රි.ව. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 15 වන සියවස අතර කාලයේ පැවතුනායයි කිව හැකියි. තවත් ආකාරයකට කියනවා නම් ක්‍රි.ව. 500 සිට ක්‍රි.ව. 1500 දක්වා. මේ කාලය ටිකක් අමුතුයි. මායාකාරියෝ, රදලයෝ, ප්‍රවේණි දාසයෝ විතරක් නොවෙයි. නයිට්වරු, ආර්යාවෝ,රජවරු, බිෂොප්වරු, පූජකයෝ සහ පූජකාරාම වගේම ඒ කාලය අලලා සෑදුන චිත්‍රපටි වලින් වගේම අද පවා නිරුපද්‍රිතව තිබෙන බලකොටු සහ විශාල දේවස්ථාන ආදියත් මහ‍පොලව මත ඉදිවුනේ මේ යුගයේදී. එසේම කුරුස යුද්ද මාලාවේ යුද්දයන් ඇතිවූයේද මේ කාලවකවානුවෙදිමයි (පළමු කුරුස යුද්දය ඇතිවූයේ  ක්‍රි.ව. 1095 දීය).

රෝම යුගයට පසුව පැමිණි යුගය කියල කිව්වට මධ්‍යතන යුගය ආරම්භවෙලා ටිකකාලයක් යනකම් රෝම යුගයත් ඊට සමගාමීව පැවතුනා. තවත් ආකාරයකට කියනවා නම් රෝම පාලනයත් යුරෝපයේ පැවතුනා  ඇතැම් ස්ථාන වල. ඒවගේම විවිද දෙවිතාවතාවන් අදහමින් සිටිය රෝම ජනතාව ක්‍රිස්තියානිකරණය වීම ක්‍රි.ව. 300 ගණන්වල සිදූවු නිසා ඒ දායාදයත් මධ්‍යතන යුගයේ ජනතාවට ලැබී තිබුනා.

එහෙත් රෝම යුගය බිදවැටෙමින් තිබුන අතර එය බටහිර හා නැගෙනහිර යනුවෙන් කොටස් දෙකකට බෙදී තිබුන අතර ‍බටහිර කොටස විවිද ආක්‍රමණිකයන්ට නතුවී බිදවැටුනත් නැගෙනහිර අර්ධය කිතුනු Byzantine අධිරාජ්‍ය නමින් බැබලෙමින් තිබුන අතර එහි අගනුවර වූනේ ඒ කාලයේ කොන්ස්තන්තිනෝපල් හෙවත් දැන් ඉස්තාන්බුල් ලෙස හැදින්වෙන නගරයයි.මේ  Byzantine අධිරාජ්‍යයේ කැපීපෙනෙනම රජූවූයේ  ක්‍රි.ව. 5 වන සියවසේදී රාජ්‍ය පාලනය සිදුකල Justinian I රජුයි.


නැ‍ගෙනහිර කොටස මෙසේ යථාතත්වයේ පැවතුනත් බටහිර අර්ධයේ රෝම පාලනයට නම් උදාවෙලා තිබුනේ හොද කලදසාවක් නොවෙයි. විවිද ජර්මැනික් පාර්ශව වල ආක්‍රමණයන්නට එය නතුවෙමින් පැවතුන අතරේ පොදුවේ Barbarians ලෙසත් හදුන්වන මොවුන්ගෙන්  Saxons වරු බ්‍රිතාන්‍ය අත්පත් කරගත් අතර Franks වරු Gaul දේශය එහෙමත් නැත්නම් වර්ථමානයේ ප්‍රංශය කියන ප්‍රදේශය අත්පත් කරගන්නා අතරේ Goths වරු ඉතාලිය තමන් යටතට ගත්තා. ඒඅනුව ‍එතෙක් පැවති රෝම අධිරා‍ජ්‍යයේ අවසාන අධිරාජ්‍යාගේ බිදවැටීම ක්‍රි.ව. 476 දී පමණ සිදුවෙලා තිබෙනවා.

මේ බිදවැටීමට අමතරවරෝම අධිරාජ්‍යයට ක්‍රි.ව. 434 - 453අතර කාලයේදී සෑ‍හෙන්න බලපෑමක් ඇති කරන්නට එදා සුවිශාල හන් අධිරාජ්‍යයේ පාලකයා වුන Attila ප්‍රමුඛ තැනක් ගෙන තිබෙනවා. එසේම උතුරු යුරෝපයේ ස්කැන්ඩිවිනීයානු රටවල වාසය කල වයිකිංවරුත් ක්‍රි.ව. 8 වන සියවස කාලයේදී ඒ ප්‍රදේශවල අනසක පතු‍රුවාගෙන ඉදල තිබෙනවා.

මේවගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතිකමය හා ඉතිහාසමය සංසිද්ධීන්ගේ ගැලපීම් වල ඇති පරස්පරතා ඇති මධ්‍යතන යුගයේ පළමු අවධිය හෙවත් Early Middle Ages කියන කාල පරාසය Dark Ages හෙවත් අදුරු යුගයක් ලෙස හදුන්වන අතර ඇතැම් ඉතිහාසඥයන්  මේ ආකාරයේ අස්ථාවරත්වයක් පැවති කාලවකවානුවක් සේ සලකා සමස්ථ මධ්‍යතන යුගයම අදුරු යුගයක් ලෙසත් හදුන්වනුලබනවා.

වැඩවසම් යුගය ලෙසද හදුන්වන මෙම කාලයේ තානාන්තර හා රාජකාරී අනුක්‍රමයෙන් විහිදී තිබුනේ මෙසේය.


ඉහලින්ම රජු සිටි අතර ඔහුට දේවත්වයක් ආරූඪ කර තිබූ අතර මිහිපිට සිටි නියෝජ්‍ය දෙවියෙකු ලෙස ඔහුව සැලකීය. මේ නිසාම නව ‍රජෙකුට කිරල පලන්දවා සිංහසනාරූඩ කිරීම අතිඋත්කර්ශවත් ආගමික උත්සවයකදී ආගමික තත්ත්වයෙන් ඉහලම සිටි ආර්ච් බිෂොප්වරයෙකු විසින් ඔටොනු පලන්දනු ලැබීය.

රජුට පහලින් සිටි ප්‍රභලම කණ්ඩායම වූයේ Barons වරු වූහ. ඔවුන් හා සමමට්ටමෙන් සිටි අනෙක් කණ්ඩායම වූයේ Bishop වරු වූහ.  Barons වරුන්ට පහලින් ඔවුන් යටතේ සිටින්නෝ වූයේ Lords වරුන්ය. මොවුන්ට ඉඩම් හිමි රදල පැලැන්තියේ අය සේම Knights වරුන්ද අයත්වූහ.මේ සියල්ලන්ටම පහලින් සිටින්නවුන්වූයේ Peasants ලෙස හැදින්වූ ප්‍රවේණි දාසයන්ය. Barons වරුන් හා අනෙකුත් ර‍ජුට පක්‍ෂපාත නිලයන් විශේෂයෙන්ම පැවැත්වුන උත්සවයකදී රජුට තම පක්‍ෂපාතීත්වය පෙන්වා සිටියේ දනගසා තමා රජුගේ මිනිසෙකු බව වාචිකව ප්‍රකාශකර සිටීමෙනුයි (Sire, I become your man).

මධ්‍යතන යුගයේ රජවරුන්ට සෛදාන්තිකව දැවැන්ත බලයක් ගොනුවී තිබුනි. එය ප්‍රායෝගිකවද හිමිව තිබුනත් එම බලය පවත්වාගෙන යාම ඔවුන්ට තනිවම කලහැකි කාර්යයක් නොවූ බව මෙම ලිපියේ තවත් ඉදිරියට යනවිට පැහැදිලි වේ. කෙසේවෙතත් ර‍ජවරුන්ට නිලබලයෙන් ලැබී තිබූ මෙම අසීමිත යයි කියන බලය හේතුවෙන් ඔවුන්ට නීති සම්පාදනය, යුක්තිය පසිදලීම, ආරවුල් සමථයකට පත්කිරීම මෙන්ම යාබද රාජ්‍ය සමග යුද ප්‍රකාශ කිරීම, මහා උත්සව පැවැත්වීම ආදිය රජවරුන් මූලිකව සිදුකල කාර්යයන්වූ අතර මේ හැම කාර්යකටම වඩා බාරදුර කාර්යය වූයේ  තමන්ට වඩා පහල ස්ථරයේ සිටි ‍එහෙත් ඇතැම්විට රජුටත් වඩා ප්‍රභලත්වයෙන් සිටි Barons වරුන් තමන්ට අවනතව‍නසේ පාලනය කරගෙන යාමයි. ඇතැම් රජවරුන්ට පමණක් තමන්ගේම කියා ශක්තිමත් හමුදාවක් සිටියත් බොහෝමයක් රජවරුන්ට සිටියේ ඉහත කී Barons වරුන් සපයා දුන් හමුදාවකි. රජවරුන්ට තම පරම්පරාවෙන් උරුමවූ සැපසම්පත් ධනය මෙන්ම තම පක්‍ෂපාතී Barons වරුන්,  Lords වරුන් ලබාදුන් වස්තුව මෙන්ම තමන් අතින් පරාජයට පත්වූ රජවරුන්ගේ හෝ ප්‍රභූන්ගේ වස්තුවද අයිතිවිය. තවද විශාල බලකොටු, උද්‍යාන, විවිද සතුන් මෙන්ම රූමත් ලලනාවන් රැසක්ද රජුට හිමිවී තිබුනි.

රාජ්‍යයේ උත්සව අතර නයිට්වරුන් එකනෙකා සටන්වැද තම ශක්තිය පෙන්වූ War Games ප්‍රධානවිය. මේවා Mock Battle නැතහොත් tourney ලෙසද හැදින්වූ අතර රාජ්‍යයේ සිටි ප්‍රභූන්, ආර්යාවන් හා කෙරුම්කාරයන් එකට නැරඹූ ලේ වැකුන උත්සවයක් විය. මෙහිදී සෙල්ලමට සටන් කිරීමක් නොව පරාද වන ප්‍රතිවාදියා තම හිතවතෙකු වූවත් ඔහුව අවසානයේ මරාදැමිය යුතු උත්සවයක් විය. මෙය පිරිමි පමණක් නොව කාන්තා පාර්ශවයද සතුටින් නැරඹූ ජාතික මට්ටමේ උත්සවයක් බවද කියයි.

රජවරුන් අත‍ලොස්සක්ම හැරුන කොට අනෙක් රජවරු අකුරු දැන සිටි අය නොවූ බවටද මතයක් ඇත. ඔවුන්ට ලියකියවිලි ලියලිය සිටීමට අවශ්‍ය නොවූහ අකුරු දත් රාජ‍්‍යයේ සිටි අය රජුට අවශ්‍ය ලේඛණ සම්පාදනය කරදුන් අතර රජුට තිබුනේ එයට තම මුද්‍රාව තියා වලංගුබාවය ලබාදීමයි. තවද ඔවුන්ට අකුරු ඉගන ගන්නවාට වඩා තම රනශූරත්වය දියුණුකරගැනීම, විනෝදයෙන් කල්ගත කිරීම වැදගත්විය. ඇතැම්විට තමන් දන්නා මනුශ්‍ය සතුරන් පමණක් නොව දූශමාන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබුන අමනුශ්‍ය සතුරන් සොයා මරා දැමීමට රටපුරා ගිරිදුර්ග වනදුර්ග පසුකර සංචාරය කල යුතුවූ අතර අද පවා අසන්නට ලැබෙන සුරංගනා කතාවල සිටින මායකරුවන්/මායාකාරීයන්, ඉන්‍ද්‍රජාලිකයන්, සිරකරන ලද කුමාරිකාවන් ආදි කතාවලද කාලවකවානුව සැලකිල්ලට ගතහොත් මධ්‍යතන යුගයට නෑකම් කියන බවක් පෙනේ.

අතිශෝක්තියෙන් බොහෝ කාරණා මෙකල සිදුවූ බව කියයි. වර්ථමානයේ පවා මේ යුගය ගැන සදහන් වන බොහෝ කරුණු වලට ඒකාලයේ පටන් මේ අතිශෝක්තිගත කාරණා ඇතුලත්වූ නිසා සත්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය කරුණු රැසක් තිබෙන බව ඉතිහාසඥයන් ඇතැම් අවස්ථාවල පවසයි. කරුණුකාරණා තර්කානුකූලව නිවැරදි කරගැනීමට එහෙමත් නැත්නම් තේරෙන විදියට කියන්නේ නම් "තාරබර" ඉවත් කර ලබා ගැනීමට රජවරු ඇතුළු සියළු දෙනාට අවශ්‍යවූයේ නැතිබව කියයි. මේ කාරණවලට එක් උදාහරණයක් නම් එංගලන්තයේ ඉහලින් ගෞරවාදරයට පත්වූ මහා ආතර් රජුගේ පුරාවෘතය අනුව ඔහු මිය ගියේ නැත. සිදුවූයේ ඔහු දීර්ඝ නින්දකට යාම පමණකි. යම් දිනයක නැවත ඔහු අවධිවේ. කෙසේවෙතත් මෑතක ඩිස්කවරි නාලිකාවෙන් නිෂ්පාදනය කල වැඩසටහනකදීද කියවුනේ ආතර් රජු යනු මුළු එංගලන්තයම පාලනය කල රජෙකු නොව ප්‍රාදේශීය පාලකයෙකු වීමට බොහෝඉඩකඩ ඇතිබවයි. ඒ සදහා ඔවුන් සාක්‍ෂි රැසක්ද ඉදිරිපත් කලහ.

‍එසේම කුඩාකල පටන් අප දන්නා රොබින් හුඩ් චරිතයටද පදනම් ඇත්තේ මෙම මධ්‍යතන යුගයයි. හිස් ආවරණයක් දාගත් (hood) රොබින් නම් මිනිසා ගැන පුරාවෘතය සත්‍ය මිනිසෙකු පදනම් නොවූ කාරණයක් යයි ඇතැම් ඉතිහාසය පිළිබදව ප්‍රවීනයන්ගේ අදහසයි. එකල රජවරුන් හා රදලයන්ගෙන් බැටකමින් සිටි ප්‍රවේණිදාස ජනයා තමන්ට පිහිටවීමට මෙවන් මිනිසෙකු පැමිනෙනවානම් යන සිතුවිල්ල ඇතැම් විට මෙවන් ශක්තිමත් කතාවක් ගොඩනගන්නට හේතුවන්නට ඇතැයිද නැතහොත් ඒ ඒ අවධිවල ප්‍රභූන්ගේ පීඩනය ඉවසා ගත නොහැකිව විවිද කැරලි සිදුකරන්නට ඇති පුද්ගලයන්ට මෙවන් සැලකිල්ලක් ලබාදෙන්නට ඇතැයිද මතයක් පවතී.

රජු හෝ ඊට පහලින් සිටි වෙනත් අය නීතිය පසිදලීමේදී නිවැරදි යුක්තිය කෙසේවෙතත් රජුට හෝ එම ප්‍රභුවරයාට හැගෙන යුක්තිය අවසාන තීන්දුව විය. එයට හිස නමනු විනා අභියෝග කිරීම කිසිවිටෙක නුවණට හුරුනොවීය. නිවැරදි සාක්‍ෂි විමසුමක් ‍හෝ යථාර්තවාදී විනිශ්චයකට යනු පසෙක තබා තමන්ගේ සිතට දැනෙන‍ හෝ තමන්ට පාඩුවක් නොවෙන විනිශ්චයක් ලබාදීම මෙකල සුලභවූ බව කියයි.

ලිපියේ පෙරද සදහන් කල පරිදි රජුට පසුව බලවත් වූයේ Barons වරුන්ය. මෙම ප්‍රභූන් සතුටින් තැබීම හෝ ඔවුන් තමන්ට අවනත වන අයුරින් පාලනය කරගැනීම එකල රජවරුන්ට පැවරී තිබුන බාරදූර කාර්යයක්විය. නැතහොත් ඔවුන් රජුට විරුද්ධව පෙරලා කැරලි ගසන හෙයිනි. කෙසේවෙතත් මෙම Barons වරුන් රජු‍‍ගෙන් ඍජුවම නින්දගම් පිදුම් ලැබූ ඇත්තෝවූහ. රජුගේ හමුදාවට අවශ්‍ය සේනාව සපයා දීමද මොවුන් කර ඇත. ඇතැම් Barons වරුන්ගේ බලප්‍රදේශ ඔවුන්ටම අවශ්‍ය ආකාරයකට එම අයගේ නීතිරීති දියත් කරමින් බලකොටුවල වාසයකරමින් සිට ඇත. මෙය යුරෝපය පුරාම දක්නට ලැබුනි.

Vlad Dracula
12 වන සියවසේදී පමණ මෙය කැපී පෙනනු බව පැවසෙන අතර ප්‍රංශයේ සිටි Sire de Coucy නම් Barons වරයාට තම ශරීර ආරක්‍ෂකයන් වශයෙන් නයිට්වරුන් 50 දෙනෙකු සිටිබව පැවසෙන අතර එම එක් නයිට්වරයෙකුට 10 දෙනා බැගින් සහායක භටයන් සිටිබව කියයි. එපමණක් නොව කුලී හේවායන්ගෙන් සැදුම්ලත් හමුදාවක්ද ඇතැම් බැරන්වරුන් සතුවිය. එයට විවිද ජාතිකයන්යන්ට අයත් සොල්දාදුවන්, පිටුවහල් කරන ලද අපරාධකරුවන් සේම විවිද හේතු නිසා පිටුවහල්කරන ලද නයිට්වරුන්ද ඇතුලත්විය.

මේ සියළු බැරන්වරුන් අතරින් අතිබලගතු බැරන්වරයාලෙස හැදින්වෙන්නේ ක්‍රි.ව.1430-1476 අතර කාලයේ රුමේනියාවේ ට්‍රාන්ස්වෙල්වේනියාවේ වාසය කල Ghoulish Vlad Tepes නම් බැරන්වරයායි. පුරාවෘත්යන්ට අනුව ඔහුගෙන් හා ඔහුගේ අණදුන් සේනාව අතින් දහස් ගණනක් මිනිසුන් අනේක වදවේදනාවිද ජීවිතයෙන් සමුගත් බව කියයි. ඔහු පිළිබදව ඔබද දන්නා අතර ඔහුගේ ප්‍රසිද්ධම නාමය නම් Dracula වේ. එනම් එහි අර්ථය Dragon's Son යන්නයි.

මීලඟ ලිපිය -
රෝම යුගය බිදවැටීම, සමෘධිමත් රෝම යුගයෙන් පසු අදුරු මධ්‍යතන යුගයක් පැමිණිම හා යටත්විජිත නිදහස ලැබූ පසු උදාවූ තත්ත්වයේ සමාන කමක් තිබේද? - 3
මූලාශ්‍ර -

http://industrialrevolution.sea.ca/causes.html
http://www.nvcc.edu/home/jwulff/mus103/renaissance_period.htm
http://en.wikipedia.org/wiki/Depiction_of_the_Middle_Ages_in_popular_culture
http://en.wikipedia.org/wiki/Early_Middle_Ages 
http://listverse.com/2011/02/15/top-10-reasons-we-should-revive-the-dark-ages/

Friday, December 16, 2011

වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට පදනම් වන්නේ මේ මාතෘකා ටික පමණක්ද?

මේ ලිපිය ලියන්න හිතුනේ අහම්බෙන් වගේම ක්‍ෂනිකවම හිතට දැනුන අදහස් මතයි. මෙන්න මේකයි කාරනේ අපි කුඩා කාලේ චිත්‍රපටි නැරඹුවේ චිත්‍රපටි ශාලාවලට ගිහිල්ලා. එහෙමත් නැත්නම් රූපවාහිනියේ පෙන්වන චිත්‍රපටි. හැබැයි මුල් කාලේ සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්නුවේ නැහැනේ. පස්සේ මෑත කාලෙක තමයි බහුලවම සිංහල චිත්‍රපටි පෙන්වන්න පටන්ගත්තේ. දැන්නම් මොකක් හරි චැනල් එකක දිනකට එකක් හරි බොහෝවිට සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය වන නිසා පැරණි වගේම අළුත් චිත්‍රපටියක් සිනමා ශාලාවකට යන්නේ නැතුවම ගෙදර ඉදලා බලන්න පුළුවන්.

ඒත් පැරණි චිත්‍රපටි අතරින් 70 දශකයේ වගේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි පැවසෙන යුගයෙන් පසු නිපදවූ චිත්‍රපටි අතරින් කීයෙන් කීයද රසවිදින්න පුළුවන්. ඉංග්‍රීසි චිත්‍රපටියක් ගත්තම අඩුම තරමින් කතාව හොද නැතත් දර්ශනීය පසුතලයන්, කතාබට ඔබින ආකාරයේ ඇදුම් පැලදුම්, තාක්‍ෂණික උපක්‍රම වගේම ඒ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සුලභ සිදුවීම්, ජීවන පිළිවෙත් වගේ දේවල් හරි දැනකියාගන්න අවස්ථාවක් ලැබෙනවා. වෙන එකක් තියා ඉන්දියානු සිනමාව ගත්තත් කතාව හා අනෙකුත් සිදුවීම් අභව්‍ය වූවත් අලංකාරත්වයක්, ජීවී බවක් හා විශිෂ්ඨ සංගීත නිර්මාණයන් අපේ හිතට කා‍වැදෙන ආකා‍රයෙන් ඉදිරිපත් කරන්න ඔවුන් කෙතරම් සමත්වෙලා තියෙනවාද? ‍සමහර පාසල් යන කාලේ බලපු හින්දි සිනමා නිර්මාණ වල කතාව නම් ගන්න දෙයක් නැහැ. ඒත් අදටත් ඒවායේ තිබුන ගීත කොතරම් රසවින්දන ශක්තියකින් යුක්තද?

අපේ සිනමාවට මොනවද වෙලා තියෙන සංවර්ධනය හරිනම් ස්වර්ණමය දශකය ‍වුන 70 දශකයෙන් පසුව ඉදිරියට යායුතු වූවත් මොකක්ද වෙලා තියෙන්නේ. එක්කෝ භීෂණ කාලය පදනම් කරගත්ත චිත්‍රපටියක් හදාවි, නැත්නම් එකම ආකාරයේ ළමා චිත්‍රපටි පෙලක්, නැත්නම් දැන් කෙරෙනවා වගේ අවුරුදු 30 ක් ගැන තිබුන යුද්දය ගැන. මේ යුද්දය ගැන චිත්‍රපටි හදලා ආයෙමත් ඒ අමිහිර මතකය අවදි කල යුතුද? මිනිස්සු ඒ කාලකන්නි කාලේ විවිද අමිහිරි අත්දැකීම් විදල හෙම්බත්වෙලා තියෙන අතරේ ආයෙමත් ඒවා ආවර්ජනය කරන්න ඕනද? 70 දශකයේ චිත්‍රපටි බැළුවහම පේනවා ඒවායේ තේමාවන් විවිදයි කියන එක. ඒ ලක්‍ෂනය ඇයි පසුකාලෙක ගිලිහිලා ගියේ?

උදයකාන්ත වර්ණකුලසූරිය, ජයන්ත චන‍්ද්‍රසිරි, එතනින් ගියාම බුද්ධි කීර්තිසේන කියන අධ්‍යක්‍ෂකවරු නම් අඩුම තරමේ වෙනස් තේමාවල චිත්‍රපටි කිහිපයක්ම කරා. ඒකට නම් ස්තූතිවන්ත විය යුතුයි. ඉතින් ඒවගේ වෙනස් ආකාරයේ තේමාවන් ඇති සරල, පහත් විහිළු නැති, අනෙකා රිදවා කරන විහිළු නැති, බොරුවට කෑගහල අනෙකාට බැනල විහිළු ආතල් එකක් නොදෙන චිත්‍රපටි හදන්න බැරිකමක් නැහැනේද?

සමහරවිට මේ කියන සරල චිත්‍රපටිවල එතරම් තේරුමක් නැතිවෙන්න පුළුවන්.ඒත් විවිද ගැටළු අතරේ මානසික විඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට ඒක ලොකු සහනයක් වේවි. ටෙලිනාට්‍ය ගත්තත් සතියකට අතේ ඇගිලි ගානකට අඩුයි මේ වගේ විනෝදාස්වාදය දෙන සරල, පහත් ගණයට නොවෙන ටෙලි නිර්මාණ.

මේ මොනවත් බැරිනම් ස්වතන්ත්‍ර නිර්මාණ නොවුනත් කමක් නැහැ. හින්දි, දෙමල හෝ ඉංග්‍රීසි හරි වෙන මොන රටේ මොන භාෂාවේ වුනත් හොද නිර්මාණ කොපි කරල හරි හිත සැහැල්ලු වෙන ආකාරයේ නිර්මාණයක් කරන්න බැරි මිනිහෙක් නැතිවෙන්නේ විදියක් නැහැ. දුක් අදෝනායි, පහුගිය අමිහිරි දේවලුයි, ලංකාවේ දුප්පත් කමයි, හැමදාම පෙන්වන්න හදන ගැමි සුවදයි නැතුව වෙනස් ආකාරයේ හොද නිර්මාණයි දැන් අවශ්‍ය.

අඩුම තරමේ සම්භාව්‍ය වගේම සරල ආකාරයේ විදේශීය නිර්මාණ හරි රූපවාහිනියේ මීට වඩා පෙන්වනවනම් කොච්චර හොදද? මෙගා ආකාරයේ විදේශීය සිනමා හෝ ටෙලි නිර්මාණ හැරුන කොට අනෙක් ඒවා බදු වලින් ඉවත් කරනවනම් ඒවවත් බලන්න හැකියාවක් ලැබෙනවා. නැත්නම් ඉතින් පරණ තැටිම තමයි අහන්න බලන්න වෙන්නේ...

Thursday, December 15, 2011

අමුතුම ආකාරයේ පින්තූර රැසක් - Unusual Pictures

මේ දවස්වල වැඩත් එක්ක මොනවත් බ්ලොග් අඩවියේ පළකරන්න බැරිවුනත් මේ පින්තූර ටික දැක්කම ඒවා ඔබලාටත් පෙන්වන්නට හිතුනා. හැබැයි මම විශ්වාස කරන විදියට නම් මේවා Photoshop වලින් හදපු ඒවා ‍නම් නොවෙයි. ඒත් දැන් Photoshop වලින් ස්වාභාවික විදියටම ව්‍යාජ පින්තූර සකස් කරන්න පුළුවන් නිසා 100% ක්ම සත්‍ය පින්තූරදැයි සැකයකුත් සමහර පින්තූර සම්බන්ධයෙන් ඇතිවෙනවා.

මේ වගේ කරත්තයක් පාලනය කරන එකත් ලේසිපහසු වැඩක් නොවෙන්න ඇති...
 පිස්සු පූසෙක්!
 මේයා කව්ද කියල අමුතුවෙන් කියන්න ඕනද?
 පෙරේතකම....
 අපේ රටෙත් සපත්තු පාලම් වල මෙහෙම දේවල් වෙනවා...
 දික්කසාදයත් නිර්මාණශීලිව
 මෙහෙම උම්මත්තකයොත් නැතුවම නැහැ...
 මේක රූපලාවන්‍ය ක්‍ෂෙත්‍රයේ චර්ම ප්‍රතිකාර ක්‍රමයක්. මේ මාළු සමේ මැරුන සෛල කා දමනවා...
 මේ වගේ දසුන් පළමු/දෙවන ලෝක යුද්ද කාල වලදී සුලභයි.
 වැඩි සෙනේ දබරෙටයි!!!
 ‍සම්මානනීය හොලිවුඩ් නළු ඩෙන්සිල් වොෂින්ටන් එක එක විදියට...
 මෙන්න දිවියට වැරදුන තැනක්...




මේක බොහොම දුර්ලභ වගේම ඛේදනීය කරුණක් ඇතුලත් පින්තූරයක්. දිනය 1937 මැයි 1937 වෙලාව සවස 7:25 යි. මේ තමයි ලෝකේ මේ දක්වා තැනූ විශාලම ගුවන් නෞකාව වන අඩි 803 දිග Hindenburg ගුයන් නෞකාව බැස්සවීමට ටික වෙලාවකට කලින් මගීන් විශාල සංඛ්‍යාවක්ද සමගින් ගිණිගෙන දැවෙන ආකාරය.

මෙහි සිට ගෙන සිටින අයට ප්‍රීති ජනක වූවත් ලෝකයේ පීඩිත ජනතාවට හා විප්ලවවාදීන්ට අතිශය සංවේගය උපදවන පින්තූරයක්. එයට හේතුව තමයි 1967 ඔක්තෝබර් 07 වනදා මෙහි වැතිර සිටින ශ්‍රේෂ්ඨ විපලවාදියා බොලිවියාවේදී අල්ලා ගන්නා ලද පසු ප්‍රශ්න කලත් එයට අවනත නොවන විට ඔහු මරා දමන්නට ඇමරිකානු CIA සංවිධානයේද අනුග්‍රහය ලත් බොලිවියානු රජය තීරණය කිරීම. මේ තිබෙන්නේ අප හොදින් හදුනන චේ ගුවේරාගේ නිසල දේහයයි. 1967 ඔක්තෝබර් 10 වනදා ඔහු වෙඩි තබා මරා දමන අතර මේ පින්තූරය ‍කැමරා කාචයට හසුකර ගනු ලැබුවේ Freddy Alberto නම් ඡායාරූපශිල්පිය විසින්. මෙම සේයාරුව ගැනීමෙන් පසු චේ ගේ අත් සිරුරින් වෙනකොට චේ ගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් වෙත රැගෙන යන්නේ ඇගිලි සලකුණු පරීක්‍ෂා කොට චේ දැයි නිවැරදිවම දැනගනු පිණිසයි. කෙසේවෙතත් දේහය කවුරුත් නොදන්නා රහසිගත ස්ථානයක වලලා දැමූවත් ඉන් වසර තිස් ගණනකට පසුව ඒ ගැන රහස රැකගෙන සිටි අයලබාදුන් තොරතුරු අනුව සිරුරේ ඇටකටු නැවත කියුබාවට ගෞරවාන්විතව රැගෙන ගොස් රාජ්‍ය ගෞරවසහිත අවසන්ගමනක් චේට ලබාදෙන්නට කියුබානු විප්ලවයේ සඟයා වන පිදෙල් කස්ත්‍රො ප්‍රමඛ කියුබානු රජය පියවර ගන්නවා...

රජවරුන් දෙදෙනෙකුගේ හමුව : 1970 දෙසැම්බර් 21 වනදා එවකට ඇමරිකානු ජනපති වූ රිචඩ් නික්සන් හා රොක් සංගීතයේ රජ්ජු‍රුවෝ වෙච්ච එල්විස් ප්‍රෙස්ලි හමුව සුදු මන්දීරයේදී සිදුවූ අයුරු තමයි මේ

දැවැන්ත පෞරෂත්වයක් වගේම වසර තිස් ගණනත් සෝවියට් දේශයේ වැසියන් පමණක් නොවේ ප්‍රතිවාදී නායකයන් පවා භයපක්‍ෂපාත කමක් දැක්වූ නායකයෙකු වුන ජෝස‍ෆ් ස්ටාලින් කියන මහා පුරුශයා තමයි මේ. සාමාන්‍යයෙන් ස්ටාලින් කියන්නේ ගොරෝසු චරිතයක් විදියට අපි අහල හා දැකලා තිබුනත් මේ විහිළුතහළුවෙන් සිටින දුර්ලභ අවස්ථාව පින්තූරයට නගා තිබෙන්නේ ඔහුගේ ශරීර ආරක්‍ෂකයා වශයෙන් කටයුතු කල Lt. Gen. Nikolai Vlasik නම් හමුදා නිළධාරියෙක්. මේ පින්තූරය ගෙන තිබෙන හමුදා නිලධාරයාටත් කොච්චර ස්ටාලින් එක්ක සිටියත්, අප මීට පෙර කිහිපවිටක් කතාබහ කල ගුලාග් කදවුරු  වලත් නේවාසිකව දුක්විදින්න වෙලා තියෙනවා. ඒ 1952 කුමන්ත්‍රණ ‍චෝදනාවකට. 1953 දී ස්ටාලින් මිය පසුව ඔහුට නිදහස් වෙන්න අවස්ථාවත් ලැබුන අතර මේ පින්තූරය නම් පිටස්තර ලෝකයේ මිනිසුන් මුල්වරට දැක තිබෙන්නේ 1960 දී.

මේ කවුද කියල දැන්නම් කවුරුත් දන්නවානේ. මේ තමයි ලෝකයේ අංක‍ එකේ බලවත්ම පුද්ගලයා ලෙස සලකන ඇමරිකානු ජනපති බැරැක් (ආ කියන්න බැරි වුනා මේ ලිපියේ අර ඔබලා හදුනනවා ඇතිනේද කියලා අහල තිබුන මුලින්ම කාරෙකෙන් බහින කෙනා තමයි ලෝකයේ අංක දෙකට බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ). මේ ඔහු 2006 දී සිය පියාගේ නිජබිම වූ කෙන්යාවේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වජීර් කියන නගරයට ගියවෙලාවේ ඔහුගේ පියාගේ පැත්තේ නෑයන් විසින් (ඔබා‍මාගේ පියා ඉස්ලාම් ආගම ඇදහූ අයෙක්) කෙන්යානු සාමප්‍රදායික ඇදුමක් අන්දවන ආකාරය. මේ පින්තූරය අන්තර්ජාලය පුරා ව්‍යාප්තවුනේ ඔබාමා ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා වෙන්න රටපුරා යන අවස්ථාවේදී ඔහුගේ පක්‍ෂයේම ප්‍රතිවාදිනිය වුන දැන් ඔහුගේ රජයේ රාජ්‍ය ලේකම් පදවිය උසුලන අපිට එතරම් ප්‍රිය නැති හිලරි ක්ලින්ටන් නම් කාන්තාවගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමින්.

(හැබැයි ඇයගේ සැමියා වුන 1992 - 2000 අතර කාලයේ ජනපතිවුන බ්ල් ක්ලින්ටන් නම් ලෝක පොලිස්කාරයාගේ භූමිකාවෙන් පිටස්තරව ගත්විට බොහොම සුන්දර මනුස්‍සයෙක් කියල තමයි කියන්න වෙන්නේ. මතකනේ මොනිකා ලෙවෙන්ස්කි සිද්ධිය. ඒක වුන වෙලාවේ ඕන්නම් ප්‍රතිවාදීන්ට ඔහුව ගෙදර යවන්න වුනත් හැකියාව තිබුනත් ඔහුට ඔවුනුත් කැමති නිසාද කොහේද වැඩේ එලිවුනාට එතරම් දැඩි දඩුවමක් දෙන්නට ඔවුන්ටවත් උවමනා වුනේ නැහැ. ඒ විතරක්යැ දැන් අවුරුද්දකට විතර කලින් උතුරු කොරියාවේදී ඇමරිකානු මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් ඔත්තු බැලුව කියල අල්ලා හිරගෙදර දැම්ම වෙලාවෙත් අර අච්චර පෝරිසාද උතුරු කොරියානු ජනාධිපතිත් මේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට තමන්ගේ රටට එන්න දුන්න විතරක් නෙමේ. හොදට සලකලා කතා බහකරල අර බවලතුන් දෙදෙනා නිදහස් කරල යන්නත් දුන්නනේ. ඉතින් එච්චර මිනිස්සු නම්ම ගන්න පුළුවන් ‍මනුස්සයාගේ ගෑනි තමයි මේ පිස්සු චාටර් වැඩේ කරේ).

දැන් මේ පින්තූරය ගැන කතාවට ආයෙත් එනවා නම් මෙයින් හිලරි ක්ලින්ටන් පාර්ශවය අදහස් කලේ ඔබාමා යනු ඇමරිකාවේදී ක්‍රිස්තියානි අයෙක් ලෙස රඟපෑවත් උපතින් ඉස්ලාම් ආගමික හා එම ආගමට හිතවත් අයෙක් කියල ඇමරිකානු ජනතාවට ඒත්තු ගන්වන්නයි. ඒත් ඇමරිකානු ජනතාව මේ ගෑනු මනුස්සයාගේ කට්ටිය කියන එක ඇහුවෙත් නැහැ. ඒ වගේම ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා වෙන්නත් හැකිවුනා. දැන් හැබැයි මේ බැරැක් මුස්ලිම් රටවලට දෙන ‍වැඩමන්ට් එක දැක්කම පේනවනේ ඇදුම ඉස්ලාම් වුනත් වැඩනම් *********

මේ වගේ කතාකරන්න බොහෝදේ තියෙන තව පින්තූර ගොඩක් තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඒවත් බලන්න සලස්වන්නම්....

කැටපත් පවුර වගේ පිටක් තියෙන මෙන්න මේ යෝදයාගේ පින්තූරය මඟහැරිලනේ. ඔන්න මම ඒකත් එකතුකලා.